ධම්ම චක්ක - Dhamma Chakka

  • Home
  • ධම්ම චක්ක - Dhamma Chakka

ධම්ම චක්ක - Dhamma Chakka පින් කැමති ඇත්තෝ මේ දහම් කරුණු දැක බලා අවබෝධ කරගෙන කුසල් වඩවා ගනිත්වා !!!

සබ්බ දානං ධම්ම දානං ජිනාති.


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !
“දසබලසේලප්පභවා - නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා - ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ ස

තුන්ගේ සසර දුක නිවාලමින්)
බොහෝ කල් ගලා බස්නා සේක්වා..!

- සළායතන සංයුත්තය - උද්දාන ගාථා -

ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා

Happy Vesak ☸️🙏❤️
15/05/2022

Happy Vesak ☸️🙏❤️

15/05/2022
ලෝ වාසී සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය වන" උතුම් වෙසක් පුන්පොහොය දිනය අදයි!සිදුහත් කුමාරයාගේ උපත, මහා බෝසතාණන් වහන්සේ ග...
15/05/2022

ලෝ වාසී සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය වන" උතුම් වෙසක් පුන්පොහොය දිනය අදයි!

සිදුහත් කුමාරයාගේ උපත, මහා බෝසතාණන් වහන්සේ ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වයට පත්වීම, ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් අමාදම් දෙසූ අමා මෑණී බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ පරිණිර්වානය යන සම්බුදුතෙමගුල අද වැනිම වෙසක් පොහෝ දිනයක සිදු විය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක් දෙවිඳුන්ට පැවසුවේ,
මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ ලෙසය.ඒ උතුම් සිදුවීම ද වෙසක් පෝ දිනෙකම සිදු වූ බව මහාවංශය සාක්ෂිදරයි.

එමෙන්ම විජය කුමරුගේ ලංකාවට ගොඩබැසීම ද සිදුවූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේදී මය. එනම් ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේද වෙසක් පුන් පොහෝ දිනයකයි.දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකයත්, ධර්මාශෝක රජතුමා රාජ්‍ය අනුග්‍රහය ලබාදී ප්‍රථම වරට වෙසක් දිනය සැමරීමත්, දුටුගැමුණු රජතුමා අසදෘශ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් යන ඓතිහාසික සාසනික සිදුවීම් අද වැනි උතුම් වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදී සිදුව තිබෙයි.

බෞද්ධ දර්ශනය තරම් ලෝකය ප්‍රායෝගිකව තේරුම් ගත හැකි වෙනත් දර්ශනයක් නොමැති තරම්ය.බුදු දහමේ සැබෑ හරය වූ සියළුදේ අනිත්‍ය බව එනම්, හටගත් සියල්ල වෙනස් වෙමින් පැවත නැතිවීම යන ස්වභාවය වටහාගැනීම තුළම එකිනෙකා කෙරෙහි වෛරී සහගතබව අතහැර දයාව,මෛත්‍රීය,කරුණාව ආදී මානවගුණධර්ම ජීවිතයට එකාබද්ධ කරගැනීමට මනා පිටුවහලක් වනබව මා විශ්වාස කරමි. මන්ද වෙනස්වීම්වල ස්වභාවය යථාර්ථය ලෙස විනිවිද දැකිය හැකිනම් එ තුළින්ම යහපත් ආකල්ප සංවර්ධනය කරගනිමින් ,රටත් ජාතියත් අභිවෘද්ධිය කරා රැගෙනයාම ප්‍රායෝගිකවනු නොඅනුමානය .
ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් මංගල්‍යය
ලංකාවාසී හා ලෝකවාසී සියළුම බෞද්ධජනතාවට,ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නියලීමට මෙන්ම ,බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත් ගුණයෙන් සැරසී ලෝකයම ඒකාලෝක කරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවායි මම ප්‍රාර්ථනය කරමි.

ඔබ සැමට උතුම් තෙරුවන්සරණයි !

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි🙏 ☸️------------------------------------------------☸️ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස...
14/05/2022

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි🙏 ☸️
------------------------------------------------
☸️ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී ඇත.
☸️අවිද්‍යාවේ අඳුර නසමින් සකල ලෝක වාසීන් දුකින් මුදා ගැනීමට අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ඇවිද අවසන් ආත්ම භාවයේ කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජතුමන් හා මහාමායා දේවිය මව්පියන් කොට ලුම්බිණි සල් උයනේදී උපත ලබන්නේ අදවන් පින්බර ‍පොහෝ දිනකයි.
☸️සිදුහත් කුමරා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවන්හි සැප සම්පත් අත්විඳිමින් සිටියද තම මෙහෙසිය වූ යසෝදරාවන් සිඟිති රාහුල පුත් බිහි කළ දිනයේ ගිහි ගෙයින් නික්ම යන්නේ සියලු බැඳීම් අත්හැර දමමින් චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධයෙන් උතුම් බුද්ධත්වය ලබා ගැනීම උදෙසාය.
විවිධ ශාස්තෘවරුන් වෙත යමින්ද තම සිරුරට දැඩි දුක් දෙමින්ද විමුක්ති මාර්ගය සෙවූ අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වන්නේ අද වැනි වෙසක් ‍පොහෝ දිනකයි.
☸️අනතුරුව දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළේ ද අද වැනි උතුම් ‍පෝ දිනකයි.
☸️බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවැනි වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝදායි. විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ දැක්වෙයි.
☸️බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේ ද අද වැනි වෙසක් ‍පෝ දිනකය.
මෙවන් ශාසනික වැදගත්කමින් යුත් උතුම් වෙසක් ‍පොහොය දා ශ්‍රී ලංකා වාසීන් මෙන්ම සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් වෙසක් උළෙල සමරයි.

මෙවන් ශාසනිකව ඉතාම වැදගත් අවස්ථා රාශියක් සිදුවූ වෙසක් පෝ දින වන අද දින ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නියැලෙමින් සසර ගමන සැපවත් කරගැනීමටත් නිවන් සාක්ෂාත් කරගැනීමටත් වීරිය කරමු.
තෙරුවන් සරණයි!️ ☸️🙏

🌷  #වෙසක් අටපට්ටම්  කුඩුව යනු වෙසක් සැරසිල්ලක් ම නොව එය බුදුදහමේ සම්පූර්ණ සාරංශයයි...අටපට්ටම නිර්මාණ කරන්නේ බට පතුරු එකට...
14/05/2022

🌷 #වෙසක් අටපට්ටම් කුඩුව යනු වෙසක් සැරසිල්ලක් ම නොව එය බුදුදහමේ සම්පූර්ණ සාරංශයයි...
අටපට්ටම නිර්මාණ කරන්නේ බට පතුරු එකට බැඳීමෙනි...එයින් නිරූපනය වන්නේ අපි විසින් තාවකාලිකව විවිධ බැඳීම් ගොඩක් ඇති කරගන්නා බවය..
එය ලස්සන කරගන්නේ තුනී සව් කොල වලිනි...එයින් කියවෙන්නේ අපි තාවකාලික අස්තීර දෙයින් ජීවිතය ලස්සන කරගන්නා බවයි..
අටපට්ටමේ ත්‍රිකෝණ 8කි...එයින් කියවෙන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයි...
මැද කොටු 4කි...එයින් කියවෙන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ යන්නා මැදුම් පිලිවෙතින් සෝවහන් සකෘර්ධාගාමී අනාගාමී අරිහත් යන මාර්ග ඵල යට පැමිණෙන බවයි...🙏🙏🙏🌷
අටපට්ටම තුල ඇති ඉටිපන්දමක් ඇත...එයින් කියවෙන්නේ මාර්ග ඵල වලට පැමිණි පුද්ගලයා තමා තුලින්ම ප්‍රක්ඝාවේ ප්‍රදීපය දල්වන බවයි..
අවසානයේ වෙසක් කූඩුව ඉටිපහනෙන් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වෙයි.එයින් කියවෙන්නේ ප්‍රක්ඝාවේ ආලෝකයෙන් අජාමර නිවනට යන බවයි ..

☸️🌼..බක් පෝය වැදගත්කම ..🌼☸️අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන...
16/04/2022

☸️🌼..බක් පෝය වැදගත්කම ..🌼☸️
අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගෙත් විල් පෙළින් සමුපේත වූ, බක් මාසය සත් සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි. වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි. මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවණක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දනා නිවීසැනහී ගියේත් බක් මාසයේ ය.
භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.
බුදුරජාණන් වහන්සේ බක් අව‍ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ. ලෝක නාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ. මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.
මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වය‍ට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඵෙතිහාසික පෞරාණික ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතු ව ක්‍රිියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.
🌼 නාගදීප චෛත්‍යය
නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යා‍පනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශත වර්ෂයේ යාප‍නයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ අමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමුවූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. නාගදීපය නමින් හැඳින්වෙන ස්ථානය පුරාණයේ සිංහලයන් ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසය අතින් වැදගත් තැනක් ගෙන ඇත. මෙය යාපා පටුන නමින් හැඳින්වූයේත් එහි ද්‍රවිඩ බලය වැඩිවූයේත් පොළොන්නරු යුගයෙන් පසුව බව සැලකිය හැකි ය. නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නෙ‍ාවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාග දීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බව කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නො බලා දුෂ්කරකම් ගැන නො සලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්ත ව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මල ව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසා ය.
🌼 සතර පෙර නිමිති පහළවීම
සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක් පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේ ය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදු ව සිටිය හ.
සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කළකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසි තිබුණේ ය. විසිනම වසරක් සපිරි සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා(මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසළ පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.
🌼 කිඹුල්වත් පුර ගමන
සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක් මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්‍ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්‍ණ කළහ.
තෙරුවන් සරණයි 🌼🙏
පොහොය වර්ණනාව..📖️

🙏 බක් පුර පසළොස්වක පොහොයේ වැදගත්කම 🙏
☸️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි.
☸️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
☸️ සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

මැදින් පුන් පොහොය දිනයේ වැදගත්කම...🙏☸️ සුද්ධෝදන රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් ...
17/03/2022

මැදින් පුන් පොහොය දිනයේ වැදගත්කම...🙏

☸️ සුද්ධෝදන රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් “කාළුදායි ඇමති” පිටත් කොට උන් වහන්සේව “ශාක්‍ය දේශය”(වර්ථමානයේ නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.

☸️ සුද්ධෝදන රජතුමන් විසින් බුදුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩමවා ගැනීම සඳහා නව වාරයකදී පිටත් කළ කාලුදායි ඇමති ඇතුලු පිරිස බුදුන් දැක බණ අසා ඒහි භික්ෂුභාවයෙන් මහණව රහත් ඵලයට පත්වූයේ ද මැදින් මාසයේදීය.

☸️ කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුරදුන්ට නිග්‍රෝධාරාමය පූජා කිරීම සිදුවූයේ ද මැදින් මාසයේදීය.

☸️ බුදු පියාණන් වහන්සේ විසින් සිය ඥාතීන්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට නැග “යමා මහ පෙළහර” පෑ සේක. එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියාණන් වහන්සේ හට) තෙවන වරට වඳින ලද්දේ අද වැනි මැදින් පුන් පොහොය දිනයකදීය.

☸️ බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩමවා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට “ධර්මපාල ජාතකය” දේශනා කරනු ලැබුවේ මැදින් පුන් පොහෝ දිනකදීය.

☸️ එම දේශනාව අසා සුද්ධෝදන රජු “අනාගාමී ඵලය” ලබාගන්නා ලද්දේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයක වේ.

☸️ මහා ප්‍රජාපතී ගෝතමී සුළු මවට ද දම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවන ලද්දේ මැදින් පුන් පොහෝ දිනයක වේ.

☸️ එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ මුල්ම වරට කාන්තාවන් සඳහා පැවිදිවීමට අවසර ඉල්ලීමද මැදින් පුන් පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීමක් වේ.

☸️ බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට “සඳ කිඳුරු” ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් පුන් පොහෝ දිනයක වේ.

☸️ බුදු පියාණන් වහන්සේ විසින් “නන්ද” කුමරුන් සහ “රාහුල” කුමරුන් පැවදි කරනු ලැබුවේ මැදින් මාසයේදීය.

☸️ බුදු පියාණන් වහන්සේ විසින් කිසිදිනක දී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවදි කරනොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් මාසයේදීය.

මෙවන් ශාසනිකව වැදගත් අවස්ථා රාශියක් සිදුවූ මැදින් පෝ දින වන අද දින ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නියැලෙමින් සසර ගමන සැපවත් කරගැනීමටත් නිවන් සාක්ෂාත් කරගැනීමටත් වීරිය කරමු.

තෙරුවන් සරණයි!

පින්බර නවම් පොහොය දිනයක් වේවා !!!නවම් පෝය දිනයේ ඇති වැදගත්කම🌸*මහා සංඝයාට ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම🌸*සැරියුත් මුගලන...
16/02/2022

පින්බර නවම් පොහොය දිනයක් වේවා !!!

නවම් පෝය දිනයේ ඇති වැදගත්කම
🌸*මහා සංඝයාට ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම
🌸*සැරියුත් මුගලන් වහන්සේලා අගසව් තනතුර ලැබීම
🌸*බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම
🌸*ප්‍රථම සංග සම්මේලණය පැවැත්වීම

නවම් පොහොය වර්ණනාව
සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුනු පොහෝ දිනය සැලකිය හැකි ය. සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක ය. සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයක ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය. මෙසේ සලකා බලන කල්හි නවම් පුනු පොහෝ දිනය බොදු බැතිමතුන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයෙකි.
ප්‍රථම මහා සංඝ සන්නිපාතය
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීමත් බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සන්නිපාතයත් රජගහ නුවර වේළුවනාරාමය කේන්ද්‍රස්ථානය කරගෙන නවම් මස මැදි පොහෝ දා සිදු විය. උරුවේල කාශ්‍යප - නදී කාශ්‍යප - ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් හිමිවරුන් දෙනම ප්‍රමුඛ දෙසිය පනසක් රහතන් වහන්සේ ද යන එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේලාගෙන් වේළුවනය බබළන්නට විය. තරු පිරිවරා ගත් පුන්සඳ මෙන් එක්දහස් දෙසිය පනසක් මහ රහතන් වහන්සේ මැද වැඩ හුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධර්මසේනාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මොග්ගල්ලාන යන මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍ර ශ්‍රාවක තනතුරුවලට පත් කළ සේක.
අගසවු තනතුරු පිරිනැමුණු ආකාරය පිළිබඳ ව භික්ෂූන් අතර වැරදි හැඟීම් ඇති විය. මුලින් පැවිදි වූ භික්ෂූන් සිටිද්දී බුදු රජාණන් වහන්සේ ළඟ දී සසුනට ඇතළත් වූ සැරියුත් මුගලන් හිමිවරුන් අගසවු තනතුරුවලට පත්කළහ යි ඇතැම් භික්ෂූහු දොස් නැගූහ. මේ පිළිබඳ ව භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ කථා ඇසූ තථාගතයන් වහන්සේ සියලු භික්ෂූන් රැස් කරවා මෙසේ කරුණු පැහැදිලි කර දුන්හ. “මහණෙනි, පඤ්චවර්ගික භික්ෂූහු, යස භික්ෂුව, භද්‍රවර්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ හැම දෙනා වහන්සේ ම අනෙකක් පතා ම පින් කළහ. අගසවු තනතුර නො පැතූහ. සැරියුත් මුගලන් දෙනම අගසවු බව පතා පින් කළ බව වදාරා” ඒ දෙදෙනා වහන්සේ ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්ෂූන් තුළ පහළ වූ කුකුස් බිඳලූ හ.
සාරිපුත්ත හා මොග්ගල්ලාන චරිතාපදාන
මෙයින් එක් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් හිමියෝ බමුණු මහසල් කුලයෙහි උපන් හ. නමින් සරද මානවක නම් වූ හ. මුගලන් හිමියෝ ගැහැවි මහසල් කුලයෙහි උපන් ය. නමින් සිරිවඩ්ඪ කුටුම්බිය නම් වූ හ. ඔහු දෙදෙනා ම ඉතා ම දැඩි හිතවත් බවින් යුත් මිතුරෝ වූ හ. සරද මානවකයෝ පියාගේ ඇවෑමෙන් ‍කුලසතු මහා ධනයට හිමිකාරයා වූ හ. නුවණින් ලෝක තත්ත්වය විමසා බැලූ සරද මානවක තෙමේ වස්තුව දුගී මගී යාචකාදීන් හට මහ දන් දී මෝක්ෂ ධර්මය සොයනු පිණිස තවුස් පැවිද‍්දෙන් පැවිදි විය. ඔහු අනුව පැවිදි වූ තවුස් පිරිස සූ සැත්තෑ දහසක් පමණ වූහ. ප්‍රධාන තවුසාණෝ පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් උපදවා ගෙන සිය පිරිසට ද එය ලබන පිළිවෙත් මඟ කී හ. ඒ අනුව කිසිණු පිරියම් බවුන්හි යෙදීමෙන් ඔවුහු සියල්ලෝ ම පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් ඉපද වූ හ.
එසමයෙහි අනෝමදස්සී නම් බුදුහු ලොව පහළ වූ හ. නිසභ හා අනෝම යනුවෙන් අගසවු දෙනමක් වූ හ. දිනක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සරද තවුසාණන් වෙත වැඩම කළහ. දෙ අග සවුවන් ප්‍රධාන ලක්ෂයක් රහතන් වහන්සේ තථාගතයන් පිරිවරා ගෙන හුන්හ. සරද තවුසාණෝ බුදුරදුන් ඇතුළු රහතන් වහන්සේට පුෂ්පාසන පැන වූ හ. සරද තාපසයෝ බුදුන් වහන්සේ ගේ මස්තකයෙහි මල් සතක් දරමින් සිටිය හ. අනතුරු ව ඔහුගේ සත්කාරය මහත් ඵල කරණු පිණිස බුදුහු නිරෝධ සමාපත්තියට සමවැදුණා හ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුහු දකුණු පස වැඩ සිටි නිසභ තෙරුන් අමතා තාපසයනට පුෂ්පාසන මෝදනාව පවත්වන ලෙස වදාළ හ. නිසභ තෙරහු එසේ කළ හ. ඔබගේ දෙසුම් කෙළවර ද්විතීය ශ්‍රාවකයන් ඇමතූ හ. අනෝම තෙරහු ද දහම් දෙසූහ. සරද තාපසයන් හැර අනෙක් සූ සැත්තෑවක් පමණ වූ පිරිස රහත් වූ හ. සරද තවුසාණෝ අගසවු තනතුරු ලබන රිසින් සිිටි නිසා රහත් නො වූහ. ඔහු බුදුන් හට සතියක් මුළුල්ලෙහි පුෂ්පඡත්‍රය දරමින් කළ මහා සත්කාරය හේතුකොට ගෙන අනාගතයෙහි මේ නිසභ තෙරුන් මෙන් බුදු කෙනෙකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වා යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි ඒ බුදුන්ට සැරියුත් නමින් අගසවු තනතුරු ලබන බව වදාළ හ.
සිරිවඩු කෙළඹියා හට සිය යහළුවා ගේ මේ උදාර පින්කම පිළිබඳ තොරතුරු දන්වා යැවූ හ. ඔහු ද බුදු පාමොක් භික්ෂු සංඝයාට සත් දවසක් මහදන් පවත්වා භාග්‍යවතුන් වැඳ සිට හේ මෙසේ කී ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මාගේ යහළු සරද තාපසයෝ යම් බුදු කෙනකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වායි ප්‍රාර්ථනා කළාහු ද, මම ද ඔබට ම දෙවැනි ‍ශ්‍රාවක වෙමි”යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු ඔහුට ද විවරණ දී වදාළ හ.
අප බුදුරදුන් කලැ සරද තාපසයාණෝ රජගහ නුවරට නුදුරෙන් වූ උපතිස්ස නම් බමුණු ගම්හි සාරි බැමිණිය ගේ කුස පිළිසිඳ ගත් හ. සිරිවඩුහු ද රජගහ නුවරට නුදුරෙන් වූ කෝලිත බමුණු ගම් හී මොග්ගලී නම් බැමිණිය ගේ කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් පසු ලොව පහළ වූ හ. උපතිස්ස හා කෝලිත නමින් ඔවුන් දෙදෙනා හැඳින් වූ හ. ඔවුන්ට පන්සියය බැගින් පිරිවර සෙනග සිටිය හ. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගත් මේ තරුණ යහළුවන් දෙදෙනා මුල පටන් ම එකට හැසිරුණු මිතුරෝ වූ හ. ක්‍රීඩා නාටකයක් බලා සසර කලකිරී සසර දුකින් නිදහස් වීමේ උපාය මාර්ගයක් සොයමින් ඇවිදින්නට වූ හ.
එකල රජගහ නුවර මහත් ලාභයෙන් හා කීර්තිකාමිත්වයෙන් යුතු ව වෙසෙන සඤ්ජය නම් පරිව්‍රාජකයෙක් සිටියේ ය. උපතිස්ස කෝලිත දෙ යහළුවෝ පන්සියයක් අතවැසි පිරිස ගම්වලට යවා ඉතිරි පන්සියයක් අතවැසි පිරිස සමඟ සඤ්ජය තවුසාණන් ගේ අසපුවට ගොස් ඔහු ගුරු කොට තවුස් වෙස් ගත්හ. ඔවුහු ටික දිනකින් සඤ්ජය ගේ ධර්ම මාර්ගය ඉගෙන ගෙන තමන් සොයන නිවන් මග ඔහු ළඟ නො මැති බව තීරණය කොට එතැනින් ඉවත් ව ගිය හ. “දෙදනා ගෙන් යමෙක් පළමු කොට නිවන් ලැබූයේ නම් ඔහු අනිකා හට ද දැන්විය යුතු ය.” යනුවෙන් කතිකාවක් කරගෙන දඹදිව නොයෙක් ගම් නියම්ගම් වල හැසිරෙන්නට වූ හ. මෙසේ කතිකා කරගෙන රජගහා නුවර හැසිරෙන කලැ ප්‍රථම ධර්මදූත පිරිසට අයත් අස්සජි හිමියන් උපතිස්ස තරුණයා හට හමු විය. උන්වහන්සේ ගේ දර්ශන සම්පත්තියෙන් ම උපතිස්ස තරුණයා රහත්මඟට පිළිපන් උත්තමයකු බව දැන ගත්තේ ය. අස්සජි හිමියන් ළඟට පැමිණ ආචාර විධි දක්වා, “ඔබතුමා කවර ශාස්තෘවරයකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබ වහන්සේ ගේ ආචාර්යවරයා කවුරුන් ද? ඔබ වහන්සේ කවරකු ගේ කිනම් ධර්මයකට රුචි කෙරෙහිදැ”යි ප්‍රශ්න කෙළේ ය.
අස්සජි හිමියන් ලෝකයේ ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ ව වැඩ වෙසෙන බවත් තමන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් උන්වහන්සේ තමාගේ ආචාර්යවරයා බවත් තමා උන්වහන්සේ‍ ගේ ධර්මයට රුචි කරන බවත් උපතිස්ස තරුණයා හට ප්‍රකාශ කෙළේ ය. ඔහු ධර්මයක් දේශනා කරන ලෙස දැන් වූ විට, තමන් වහනසේ ශාසනයට අලුත ඇතුළත් වූ කෙනෙකු බව පළමුවෙන් ප්‍රකාශ කොට සියලු බුද්ධ වචනය ම ගැබ් කොට මේ ගාථාව වදාළ හ.
“යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ
තෙසං ච යො නිරොධො - එවං වාදි මහා සමණො”
“යම් ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයයෙන් උපදිත් ද, ඔවුන් ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ හ. ඔවුන් ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළ හ. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේ ය.”
ඉක්බිති උපතිස්ස තරුණයා මේ ධර්ම චක්‍රය ඇසීමෙන් සෝවාන් විය. (මෙහි දී උපතිස්ස පරිව්‍රාජකයා ගාථාවේ පළමු දෙ පදය අසනවාත් සමග ම සෝවාන් විය. ඉතිරි දෙ පදය අසන ලද්දේ සෝවාන් වීමෙන් පසුව ය.)
මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් පසු උපතිස්ස පරිව්‍රාජකයා අස්සජි හිමියනට ස්වකීය ප්‍රසාදය පළකොට බුදුන් දැකීමට යහළුවාත් සමඟ වේළුවනාරාමය වෙත පැමිණෙන බව ද දන්වා සිය යහළු කෝලිත පරිව්‍රාජකයා සොයාගෙන ගියේ ය. උපතිස්ස ඈත එනු දුටු කෝලිත පරිව්‍රාජකයා සිය යහළුවා නිවන් ලබන ලදැයි සිතා ඒ ගැන විච‍ාළේ ය. උපතිස්ස තෙමේ අස්සජි හිමියන් විසින් වදාළ ගාථාව ප්‍රකාශ කෙළේ ය. එය අසා කෝලිත ද සෝවාන් විය.
අනතුරු ව උපතිස්ස - කෝලිත දෙදෙනා සඤ්ජය ගේ ආශ්‍රමයට ගොස් බුදුරදුන් වෙත පැමිණීමට කථා කළ හ. එහෙත් ඔහු නො කැමති විය. උපතිස්ස - කෝලිත දෙනො පරිව්‍රාජක පිරිස දෙසිය පනසක් දෙනා සමඟ වේළුවනාරාමයට ගිය හ. සිවු පිරිස මැද ධර්ම දේශනා කරන බුදුපියාණන් වහන්සේ දුර එන්නා වූ ඔවුන් දැක භික්ෂූන් අමතා, “මහණෙනි, මා කරා පැමිණෙන්නා වූ තෙල පරිව්‍රාජකවරු දෙදෙනා මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවකයෝ දෙදෙනා වෙති”යි වදාළ හ. බුදුරදුන් වෙත පැමිණි ඔවුනට ධර්ම දේශනා කළහ. කෝලිත - උපතිස්ස දෙදෙනා හැර සියලු දෙනා ම රහත් වූ හ. අනතුරුව පැවිද්ද හා උපසම්පදාව ඔවුනට දුන් හ. උපතිස්ස කෝලිත දෙදෙනා හට ප්‍රථම සංඝ සන්නිපාතය වූ දිනයේ අග්‍රශ්‍රාවක තනතුරු දී වදාළහ. උපතිස්ස තෙරෙම් රූපසාරී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් සාරිපුත්ත යනුවෙන් ද කෝලිත තෙමේ මොග්ගලී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් මොග්ගල්ලාන යනුවෙන් ද ප්‍රකට වූ හ. ධර්මසේනාධිපති සැරියුත් මාහිමියෝ ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍ර ය. මහාර්ධිලාභී මුගලන් මාහිමියෝ ඍද්ධිවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍රය හ.
ධම්මසේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිය මෑණියන් වන සාරි බැමිණිය මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ඇය සම්‍යක්දෘෂ්ටික තැනැත්තියක බවට පත්කොට සෝවාන් ඵලයට පමුණුවා එදවස ම පිරිනිවන් පෑ වදාළ හ. උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවූයේ මගධ ජනපදයෙහි නාලක නම් තමන් වහන්සේ උපන් ගම්හිදී ය. මුගලන් මහ රහතන් වහන්සේ සැරියුත් මාහිමියන් මෙන් නානාප්‍රකාර ප්‍රාතිහාර්යයන් දක්වා ධර්ම දේශනා කොට බුදුරදුන් වැඳ අවසර ගෙන කළුගල් ලෙනට වැඩ පිරිනිවන් පෑ සේක. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගේ පරිනිර්වාණය සිදුවූයේ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීමට ප්‍රථමයෙනි. මුගලන් හිමියන් ගේ පිරිනිවීම සිදුවූයේ සැරියුත් හිමියන් ගේ පිරිනිවීම සිදු වූ ඉල් පුනු පොහොයන් අඩමසක් ගත වූ උඳුවප් මස කාලපක්ෂ උපෝසථ දිනයේ යි.
ඕවාද ප්‍රාතිමෝක්ෂය
නවම් පුනු පොහෝදා සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු දී පසුව මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය ප්‍රථම බෝධියෙහි (විසිවසක්) පිරිසිදු ව නො කැළැල් ව පැවතුණි. එබැවින් ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන් ගේ වැරදි පිළිබඳ ව විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන් ගෙන් එබඳු වැරදි සිදු නො වී ය. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වූ හ. රහත්හු සුලභ වූ හ.
එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයනට ඕවාද ප්‍රාතිමෝක්ෂය හික්මීම පිණිස වදාළ හ. ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමක් නැත. මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුවරයන් වහන්සේලා‍ ගේ අනුශාසනාවෝ වෙති. සියලු බුදුවරයන් වහන්සේලාගේ ශාසන පරමාර්ථ වශයෙන් එක සමාන ය. එහෙත් ශාසනායුෂ වශයෙන් විවිධත්වයක් ඇත. වැඩි ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඩි කල් පවත්නේ නො වෙයි. අඩු ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් බොහෝ කලක් පවතින්නේ ය. අවවාද ප්‍රාතිමෝක්ෂය ශාසනාන්තර්ධානය දක්වා ම උදෙසීම දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවල සිරිත ය. අල්පායුෂ්ක බුදුවරයන්ගේ ශාසනවල ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ ප්‍රථම බෝධියේ දී එනම්, මුල් අවුරුදු විස්ස ඇතුළත පමණකි.
අතීතයෙහි ලොව පහළ වූ විපස්සී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු අසූදහසකි. සිඛී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු හැත්තෑ දහසෙකි. වෙස්සභූ බුදුරදුන් හට අවුරදු හැට දාහකි. කකුසඳ බුදුරදුන් හට හතළිස් දහසකි. කෝණාගමණ බුදුරදුන් හට අවුරුදු තිස් දහසකි. කාශ්‍යප බුදුරදුන් ගේ පරමායුෂ වර්ෂ විසි දහසකි. අප ගෞතම බුදුරදුන්ගේ ආයුෂ අවුරුදු අසූවකි. මෙසේ හෙයින් දිර්ඝායුෂ්ක - අල්පායුෂ්ක වශයෙන් ශාසනායුෂවල විවිධත්වයක් ඇති බව සැලකිය යුතු ය. ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වනු ලබන ගාථා තුන මෙසේ ය.
1. ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විභෙඨයන්තො
2. සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං
3. අනූපවාදො අනූපඝාතො පාතමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං
(ධම්මපද - බුද්ධවග්ග)
1. ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ශාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නො වෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නො වෙයි.
2. කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදී සියලු අකුශල කර්ම නො කිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද, උපදවන ලද කුශලයන් වැඩීම ද, පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන් ගේ අනුශාසනා යි.
3. ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නො කිරීමත්, පාණි ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දේශනා කොට වදාළේ නවම් පුනු පොහෝ දිනයක ය. දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි විසිරී පැතිර සිටින ශ්‍රාවක සංඝයා එක් තැනකට රැස් කොට සය මසකට හෝ තෙ මසකට හෝ මසකට හෝ වරක් බුදුරජාණන් වහන්සේ මේ ‍ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිරිතකි. ශ්‍රාවක භික්ෂු සංඝයාගේ හික්මීමට ප්‍රථම බෝධිය‍ෙහි දී එය ප්‍රමාණවත් විය. අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රථම බෝධියෙහි දී ස්වකීය ශ්‍රාවකයන් හට ඕවාද ප්‍රාතිමෝක්ෂය වදාරණ ලදී. අවුරුදු විස්සෙන් පසුව ආණා ප්‍රාතිමෝක්ෂය වදාළ හ. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වුවත් පසුව මහා රජස්ක පද පරම පුද්ගලයෝ ද පැවිදිවන්නට වූහ. එහෙයින් කෙනෙක් බුදුහු හඳුනති. කෙනෙක් නො හඳුනති. කෙනෙක් සුවච වෙති. කෙනෙක් දුර්වච වෙති. පූර්ව භික්ෂු සමාජයෙහි එනම්, ප්‍රථම බෝධියෙහි භික්ෂූන් අතර තිබුණු නිර්මල තත්ත්වය පශ්චාත් භාගයෙහි ක්‍රමයෙන් දුර්වල වෙන්නට විය. පසු ව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා ගේ සුඛ විහරණය ආදී දස කරුණක් නිමිතිකොට සිකපද පනවන ලදී.
ආයුසංස්කාරය හැරීම
සැරියුත් - මුගලන් අගසවු හිමිවරුන් ගේ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩිය හ. එහි දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, සතර ඉර්ධිපාද වැඩුවහුට කැමති නම් කල්පයක් (ආයුස්කල්පයක්) වුව ද ජීවත් විය හැකිය” යි වදාළ හ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ නමුත් ආනන්‍ද හිමියන්ට මාරාවේශ වී සිටි හෙයින් සිහි එළවා ගත නො හී බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළ නො හැකි විය. ආනන්ද හිමියන් ගේ පමාවක් බලා සිටි මාරයා අවුත් බුදුරදුන්ට පිරිනිවන් පාන සේ ආරාධනා කෙළේ ය. තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට වදාළ සේක. භාග්‍යවතුන් වස්සේ, “ඉදිරි තුන් මාසය පමණක් සමාපත්තියට සමවැද ඊට පසු නො සමවදින්නෙමි”,යි අධිෂ්ඨාන කොට ආයුසංස්කාරය හැරියහ. ආයුසංස්කාරය හැරීම යනුයෙන් අදහස් කරනුයේ මෙතෙක් කාලයකින් පිරිනිවන් පාන්නෙමි යි කාලය සීමාකර ගැනීම යි. තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හළ කෙණෙහි ම මහාභූමි චලනයෙක් වීය. පසුව ආනන්ද හිමියන් බුදුුරජාණන් වහන්සේට කපක් වැඩ සිටින්නට (ආයු කල්පයක්) ආරාධනා කළ නමුත් ආයුසංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පාන බව වදාළ හ. චාපාල චෛත්‍යයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූටාගාරයට රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාදය ද කළහ.
බුදුරජාණන් වහන්සේ පාවා නගරයට වැඩම කොට චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනයෙහි විසූ සේක. ඔහු ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ අන්තිම දානය වළඳා ඔහුට අනුමෙවෙනි බණ වදාළ හ. ලෝහිත පක්ඛන්දිකා රෝගය සමාපත්ති බලයෙන් දසමසකට මතු නො වන ලෙස යටපත් කොට තිබුණි. චුන්ද ගේ දානය වැළඳූ දිනට ඒ දස මස සම්පූර්ණ විය. එහෙයින් නැවැතත් රෝගය මතුවුණි. ‍එහෙත් චුන්ද ගේ ප්‍රණීත ආහාරය නිසා රෝගය උත්සන්න නො වී ය. සමාපත්ති බලයෙන් රෝගය යටපත් කර ගන්නට හැකි නමුත් බුද්ධ ශරීරයට ද රෝග පීඩාදිය පොදු ධර්මතා බව ලෝකයා හට අවබෝධ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ එය නො කළහ.
පාවා නගරයෙන් පිටත් වූ තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජවරුන් ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණු සේක. එකල්හි දෙව් බඹ පිරිස අහසෙහි සුවඳ මල්, සුවඳ සුනු විසුරුවා දිව්‍ය සංගීතාදිය පැවැත් වූහ. සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් සම්බුද්ධ පරිනිර්වාණ ප්‍රවෘත්තිය අසා බණ අසනු පිණිස අවුත් ආනන්ද හිමියනට දැන්වී ය. තෙවරක් ම දැන් වූ නමුත් ආනන්ද හිමියෝ එය බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වන බව සිතා ඔහුගේ ඉල්ලීමට ඉඩ නො දුන්හ. පසුව තථාගතයන් හට මේ කාරණය දැන ගන්නට ලැබී තමන් වහන්සේ වෙත පැමිණීමට සුභද්‍රට අවසර දුන් හ. බුදුරදුන් වෙත පැමිණි සුභද්‍ර පරිව්‍රාජකයා හට ‍ධර්ම දේශනා කළහ.
“සුභද්‍රය එකුන් තිස් වියේදී සත්‍යය සොයා ගිය මම යම් දිනයක පැවිදිවීම් ද, එදා පටන් අද වන තෙක් අතර කාලය අවුරුදු පනස් එකක් වේ. මේ කාලයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යය තබා විදර්ශනා ප්‍රඥාව දියුණු කරන කිසි ම පුද්ගලයෙකු මේ සස්නෙන් පිටත්හි නො දුටුවෙහි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වූ කිසිම ශාසනයක (ආගමයක) ආර්ය මාර්ගයට පැමිණි කිසිම (ගිහියකු තබා) මහණෙක්වත් ඇති නො වේ.” යනුවෙන් වදාළහ.
මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථම - ද්විතීය - තෘතීය චතුර්ත්ථ ශ්‍රමණයන් පිළිබඳ ව සඳහන් කරමින් සෝවාන්, සෙදගැමි, අනගැමි, රහත් යන චතුර්විධ ශ්‍රමණවරු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රකාශිත ධර්ම විනයෙහි ලැබෙන බව වදාළහ. ධර්ම දේශනාව අවසනැ සුභද්‍ර තෙමේ තෙරුවන් සරණ ගොස් පසුව පැවිද්ද හා උපසම්පදාව ලබා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් විය. බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම ශ්‍රාවකයා වීමේ ගෞරවය හිමිවනුයේ සුභද්‍ර හටය.
අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද, නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම වැදී එයින් නැගිට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. ආයුසංස්කාරය අත් හැරීම පිළිබඳ විස්තරයට අනෙක් පරිනිර්වාණය දක්වා වූ තුන් මාසය තුළ කරුණුත් සංකේෂේපයෙන් මෙසේ දැක්වූයේ මුල් කරුණු වලට ප්‍රයෝජනවත් වන හෙයිනි.
© පොහොය වර්ණනාව
අතිපූජනීය මාපලගම සිරිසෝමිස්සර ස්වාමීන්වහන්සේ

අමතර වැඩවලින් නිදහස් වෙමු!
වැඩ කරන ගමන් හරි සිල් පද අට නොබිඳෙන විදිහට සිල් සමාදන් වෙලා දවස ගත කරමු!
ධර්මය අහන්න, දහම් පොත් කියවන්න, ධර්මය මෙනෙහි කරන්න, භාවනා කරන්න පොහොය දිනය වෙන් කරගමු!
මේ පෝයෙ ඉඳන්වත් ඔය ඉන්න තැන ඉඳන් අඩියක් හරි නිවනට ළං වෙමු!
ඔබ සැමට පින්බර පොහෝ දිනයක් වේවා..🙏☸️❤️
තෙරුවන් සරණයි!

මේ බුද්ධ පූජාවක් තබා අනතුරුව ඉවත් කර ඇති ආහාර කීපයකි..මෙය සතෙකුට හෝ මිනිසෙකුට දුන්නානම් කොච්චර යහපත් දයනුවෙන් බොහො දෙනෙක...
02/02/2022

මේ බුද්ධ පූජාවක් තබා අනතුරුව ඉවත් කර ඇති ආහාර කීපයකි..

මෙය සතෙකුට හෝ මිනිසෙකුට දුන්නානම් කොච්චර යහපත් ද
යනුවෙන් බොහො දෙනෙක් කියනු ඇත..

දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය.

බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.

“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”

“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය.

දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය.

බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.

බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය.

නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.

ධර්ම විනිශ්චය පොතෙන් උපුටා ගත්තකි

Address


Alerts

Be the first to know and let us send you an email when ධම්ම චක්ක - Dhamma Chakka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share