30/12/2022
මොක්පුර රුවන් දොරටු ඔබ දැක තිබේ ද ? නැත්නම් අසා තිබේ ද ?
පුද්ගලයා ස්වයං පරීක්ශණයකින් ලැබෙන අත්දැකීමක්, ස්වකීය ඥාණයෙන්, අභ්‍යන්තරික විග්‍රහයකින් පසුව තම මතක මන්දිරයෙහි විවිධාකාර වූ සහ ආවේණික වූ රූප සටහන් ආකාරයෙන් ගබඩා කර ගනී ද, ඒ ඒ රූප සටහනෙහි පරතෙර හොඳින් වටහාගනී ද, යම් අවස්ථාවක ඒ දත්තයන් ඒ අත්දැකීම් බාහිර පාර්ශවයන් හා සාකච්ඡා කරන කල තව තවත් ප්‍රකට වේද, ඒ සාවූ ධර්මතාවයන් පමණක්ම ඔවුන්ගේ හුදෙක්ම වූ අවබෝධයන් ලෙස වටහා ගත යුතුය.
ඉන් පරිබාහිර අන් පාර්ශවයක අත්දැකීමක් හෝ කතාන්තරයක් තම මතක මන්දිරය රූපසටහන් ලෙස ගබඩා කර තබා ගෙන සිටියද ඒවා ඔවුන් විසින් ජායාරූපකරනය නොකළ, අනුන්ගෙන් බාගත කල ජායාරූප පමණක් බව සිහිකොට ගත යුතුය. ඒවාහි පූර්ණ අයිතිය මේ පුද්ගලයා සතු නොවීම යනු, ඒ ජායාරූපයන්හි පරතෙර, අගමුළ හෝ උප්පත්ති කතාව මොහු නොදැනීමමය.
එසේම, මේ දෙ ආකාරයක් වූ ජායාරූපයන් මතක මන්දිරය තුළ එකම රාක්කයක ගබඩා කර ඇත. ඒවායේ මූළික අයිතිය පිළිබඳ නොවිමසන තාක් ඒවායේ අයිතිය තමා සතු ලෙස පුද්ගලයා සිතයි.
මොක්පුර දුටුවන් එහි පිවිසන දොරටු මේ ආකාර කැටයමෙන් මේ ආකාර දඹ රනින් මැණික් ඔබ්බවා නිර්මාණය කර ඇති ආකාරය වර්ණනා කරයි, තව ද, ඒ විස්තරයන් අසා සිටින්නන්ට මැවී පෙනෙන ආකාරයෙන්ම විස්තර කරයි.
අසා සිටින්නන් ඒ දකිනා මැවෙනා රූපය තම මතක මන්දිරය තුළ ගබඩා කරගෙන කාලයක් අන් අයට ඒ පිළිබඳ කතාන්තර හෝ වර්ණනාවන් කරයිද, ඒ රූප සටහන් අනුන්ගේ බව අමතක වී තමන්ගේම වචනයන්ගෙන් වර්ණනාවන් සිදු කරමින් කාලයකට පසු, තමන් විසින්ම වර්ණනා කරන මින් පෙර නොදුටු රන් දොරටු සත්‍ය ස්වභාවයෙන් පරිබාහිරව මවා පෙන්වන බව නොහඳුනයි ද, ඔවුන් ඒ රන් දොරටු තුළින් මොක්පුරයට ඇතුළු වූවාවුන් දැයි යන අවිනිශ්චිත සංකල්පය සමග වාසය කරයි.
ඒ අවිනිශ්චිත සංකල්පය හේතුවෙන් පුද්ගලයා තම ස්වකීය ගවේශණය නවතා, අනුන්ගේ ගවේශණයක ඔවුන් දුටු යම් ස්ථානයන්, තමන් දුටු ස්ථානයන් ලෙස වරදවා තේරුම්ගෙන තමාගේ දැනුමෙන් ඒ මොක්පුර රන් දොරටු විස්තර කරයි. ඒ ඔහුගේ විස්තරයන් සත්‍යයෙන් තොර බැවින් ඔහුගේ වචනයන් බාහිරයට වඩාත් ප්‍රකටය, කාලෝචිතය, ගෝචරය.
ඒ කාරණා හේතුවෙන් මේ පුද්ගලයා පවසන රන් දොරටු ඔස්සේ මොක්පුර යෑමට දස දෙසින් පිරිස් පැමිණේ. සැමදා පැමිණේ නමුත් කිසිදා මොක්පුර නොයේ. මන්ද මේ පුද්ගලයා පවසන මොක්පුරය හුදෙක් සංකල්පයකි. මුළාවකි. ඔහුද මුළාවී අනුන්ද මුළාවක සඟවන වචනයන්ගෙන් විස්තරයන්ගෙන් යුක්ත වේ.
මොක්පුරය බොහෝ දුර ය. එය මේ මෙතනම බැවින් බොහෝ දුර ය. මේ මෙතන යනු වර්ථමානය නම් යම් පුද්ගල සංකල්පයක් සකස් වන ස්ථානයයි. පුද්ගලයින් අතීත මතකයක සහ අනාගත උපකල්පනයක් මත මේ මොහොතේදී ස්වකීය කතාන්තරයක් නිර්මාණය කරමින් කල් ගතවේ. මොක්පුරය මත මොහු මේ කතාව සකස් කරනවා මිස ඉන් පරිබාහිර තැනක් නැත.
ඇතෙක් ළගට ගොස් අන්ධ පිරිසක් තම තමාට ස්පර්ශ වන ආකාරයෙන් ඇතා විස්තර කරයි. කෙනෙක්ට මහා බිත්තියක් ලෙස ඇතා පෙනෙන අතර තවකෙනෙකුට කුල්ලක් ලෙස දිස්වේ. මොවුන් සියළුදෙනා ඇතා සමීපයටම ගොස් ඇති බැවින් දර්ශණය වන්නේ ඒ අකාරයෙන් ය. එසේනම් මොවුන් අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇතා දෙස බැලිය යුතුය. නමුත් අනෙක් පසින් මොවුන් අන්ධයන් බව අමතක නොකළ යුතුය.
එසේනම් මේ අන්ධයින් මුළින් අන් පාර්ශවයකින් මොක්පුරය පිළිබඳ අසා දැන ඒ වර්ණනාවන් ඒ ආකාරයෙන් දැන, තම ස්වකීය ගවේශණයෙන් එය දැක බලා එය එසේම යැයි ප්‍රත්‍ය කර ගත යුතුය.
උත්තල කාචයක් හිරු එළියට අල්ලා, ඒ හරහා එන හිරු එළියෙන් කඩදාසියක් දැල්වීම කළ හැකිය. එය ක්‍රියාත්මක කර බලනතාක් ඒ පිළිබඳ සෑම අවබෝධයක්ම අනුන්ගේ අයිතිය යටතේ ඇති ඔබ බාගත කල ජායාරූපයන් බව සිහි කොට ගත යුතුය. යම් දිනක ඔබ ඒ ක්‍රියාව සිදුකර කඩදාසියක් ගිනි තබා ඒ ඔස්සේ වඩා වැඩි අවබෝධයක් ලබයිද මේ ඔබගේ අයිතියකි, අවබෝධයකි.
දේශණාවන්ගෙන් ඇසූ ධර්මයන් ප්‍රායෝගිකව වඩා තමාගේම අවබෝධයන් ලෙස ඒවා වර්ග නොකර ගන්නතාක්, ඔබ මොක්පුරය ලෙස ගබඩා කරගන්නේ අනුන් සතු දේපළකි.
සමහර දොරවල් තිබෙනවා ඔබ දැක ඇති සංවේදක වලින් විවෘත වන, බොහෝ පිරිස් ඇතුළු වන මේ දොරටු අසලසිට අඩි දෙක තුනක් ඔබ්බේදීම මේ සංවේදක ක්‍රියාත්මක වී දොර විවෘත වීම් සිදුවනකල ගමන් කරන්නාට කිසිඳු අපහසුවකින් තොරව නොකඩවා නොනවත්වා තම ගමනය කලහැකිය. නමුත් යම් අයෙක් සංවේදක ක්‍රියාත්මක වන පරාසෙයෙන් ඔබ්බේ දොරට ඈතින් හෝ ළඟින් සිටියොත් මේ දොරටු විවෘත වීම සිදු නොවේ, මන්ද සංවේදක ක්‍රියාත්මක නොවීම නිසාවෙන්,
එසේ නම් ඇතා දැකීමට යන අන්ධයන් ඇතා ළඟම සිටගෙන සිටියත් ඇතාට ඉතා දුරින් සිටියත් වැඩක් නැත, ඔවුන් අන්ධයන් බැවින්, එසේනම් සංවේදක ක්‍රියාත්මක වී අන්ධ බාවයෙන් මිදී ඇතා දැකීමට නම් නිවැරදි තැන සිටගත යුතුය.
අප සමඟ සම්බන්ධ වන බොහෝ පිරිස් මේ ඇතා ළඟම සිටගෙන සිටින අන්ධයන් ය. බෝදියේ පඬුරු ගැට ගසා බාර හාර වන්නන් ඇතාට ඉතාම ඈතින් සිටගෙන ඇතා සොයන අන්ධයන් ය. එසේ නම් නිවැරදි තැන සිට ගැනීමට අපගේ ඉගැන්වීම් උපයෝගී කර ගැනීම සුදුසුය. සංවේදක ක්‍රියාත්මක වන පරාසයට පැමිනෙන්නන්ගේ අන්ධ භාවය අහිමි වනු ඇත. ඇස විවෘත වනු ඇත.
ඔබ ඇතා සමීපයෙහිම සිටගෙන ඇතිබව වටහා, සෙමෙන් පසුපසට ගමන් කිරීම යනු මේ පෙනෙන මැවෙන ලෝකය පටිලෝමව දැකීමයි, එසේ සයායතන ලෝකය පටිලෝමව බලන්නාවුන් සංවේදක ක්‍රියාත්මක වන පරාසයේ අන්ධ භාවයෙන් ගැලවෙනු ඇත.
___________________________________________________________________~Onenessed