02/02/2026
සමිඳුන් පුදදුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය
සාන්ත සභා මාතාව පෙබරවාරි මස 02 දින අති උත්සවශ්‍රීයෙන් සමිඳුන් පුදදුන් මංගල්‍යය හෙවත් "කානික්ක" දේව මාතාවන්ගේ මංගල්‍යය සමරන්නීය. කානික්ක යනු දෙවිඳුන් සඳහා පුදන පඬුරු ලෙස හැඳින්වේ. දිව්‍ය පුත්‍රයාණන් වන ජේසු සමිදාණන් උපත ලබා දින හතළිහකට පසු දේව මාලිගාවේ ඔප්පු කළ බව දේව වචනය සඳහන් වේ. ( ලූක් 2/22- 38) ඔවුන් වහන්සේ සේ දේව මාලිගාවේ ඔප්පු කරන ලද්දේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පරිදි ය. ( නික්මයාම 13/2,12) , ( ලෙවී 12/6-8) මෙම මංගල්‍යය දේවමාතාවන් සිහිපත් කරන අනිවාර්යය අනුස්මරණ මංගල්‍යයක් ලෙස දේව වන්දනා වසර තුළ කැපී පෙනේ. මෙම මංගල්‍යයේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ අවසාන සමයට අයත් බව පිළිගෙන තිබේ. එහෙත් 4 වන සියවසේ සිට කැපී පෙනෙන විකාශනයක් මෙම මංගල්‍යය සතුව පවතී. මෙය මුලින්ම ආරම්භ වූයේ පෙරදිග සභාවන් තුළය. පසුකාලීනව බයිසන්තියානු පිළිවෙත් හරහා මෙම මංගල්‍යය රෝමයට සේන්දු වූ අතර , මුල් කාලයේ සිටම මෙම මංගල්‍යය හා දිව්‍ය පූජාව ඉටි පහන් දිව්‍ය යාගය ලෙස ජන ව්‍යවහාරයේ සහ ජනවන්දනාවේ පැවැතිණි. මුල් කාලයේදී මෙම මංගල්‍යය පිළිබඳ හා දිනය පිළිබඳ යම් යම් ගැටලු ඇති වූ බව සභා ඉතිහාසයේ සඳහන් වේ. මේ නිසාම ඇතැම් පෙරදිග සභාවන් හා එංගලන්ත සභාව මෙම මංගල්‍යය ජනවාරි ජනවාරි 28 පෙබරවාරි 03 අතර කාල වකවානුවේදී සමරනු ලබන අතර බොහෝ පෙරදිග සභාවන් හා කතෝලික සභාව පෙබරවාරි මස 02 දින ම සෘජුවම මෙම මංගල්‍ය සමරනු ලැබේ. මෙම මංගල්‍යය සඳහා සභා පියවරුන්ගේ දේශනා හා ඉගැන්වීම් මෙන්ම ලිඛිත වාර්තාවන් ද පවතී. ජෙරුසෙලමේ ශා. සිරිල් , ශා. ජෝන් ක්‍රිසොස්තම් , ශා. ඇන්ඩෲ , ශා. ජුවාම් දමසේනූ ...වැනි ප්‍රධාන පෙළේ සභා පිය ඉගැන්වීම් සම්ප්‍රදායක් ද මෙම මංගල්‍යය සතුව පවතී. තවද ජනවන්දනා ඉතිහාසයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ලද එජේරියා නම් තැනැත්තියගේ වාර්තාවට අනුව ක්‍රි.ව. 5 වන සියවසේදී ශුද්ධ වූ දේශයේ ජෙරුසෙලමේ ඉතා උත්සවශ්‍රීයෙන් මෙම මංගල්‍යය සැමරූ බවට සාධක ඇත. පසුකාලීනව ක්‍රිස්තු වර්ෂ හත අට සියවස් වල දී රෝමානු ජනවන්දනාවට මේ එක් වීමත් සමගම ලිඛිත සාක්ෂි ලෙස පළමුවන ජෙලසිස් ශුද්ධෝත්තම පියතුමා විසින් මෙම මංගල්‍ය අනුමත කිරීමෙන් පසුව මුළු යුරෝපා යුරෝපාකරයේ ම මෙය විකාශය වූ බව සඳහන් වේ. කල්යත්ම තාපසාරාම වලදී මෙම මංගල්‍ය සඳහා පූර්ව රාත්‍රියේ මෙහෙයන්ද ආරම්භ වන්නට විය. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට පෙර මෙම මංගල්‍යය කානික්ක දේවමාතා මංගල්‍යය ලෙස ව්‍යවහාර වුණිද , ඊට පසුව දේවධාර්මික අර්ථකථනයෙන් සමිඳුන් පුදදුන් මංගල්‍යය ලෙස අරුත් ගැන්විණි. ලාංකේය ජන වන්දනා සම්ප්‍රදාය තුළ මෙම මංගල්‍යය හා මෙම මංගල්‍යය සමරන දෙව්මැදුරු ආශ්‍රිතව සුවිශේෂී භක්ති අභ්‍යාස අදත් පවතී. ඒවා අතුරින් ඉටිපහන් ආශිර්වාදය , පරවියන් හා කොබෙයියන් වැනි කුරුල්ලන් ආසිරි ගැන්වීම් , ළදරු වෙන්දේසි තැබීම් , ළදරුවන් උදෙසා සුවිශේෂී ඇදුම් සම්ප්‍රදායන් හා ආසිරි ගැන්වීම් මේවා ප්‍රධාන වේ. මේවායේ ඉතිහාසය ද මෙම මංගල්‍යය අරබයා බද්ධව පවතී. මෙම මංගල්‍යයට අනුව දෙවි සමිදුන්ට හිමිදේ යළිදු දෙවිඳුන්ට පුද දෙන්නට ද , දෙවිඳුන්ට අප සැම කැපවිය යුතු බවත් , භාග්‍යවත් මාතාවන් වන මරියෝත්තමාවන් මෙන් දේව කැමැත්තට හිස නමා දෙවිදුන්ගේ ප්‍රබල ක්‍රියා සිහිකොට ඒවා නිහඬ ව මෙනෙහි කිරීමේ සුවිශේෂී ගුණාංගය ද මෙහිදී ඉස්මතු කර දක්වාලයි.
ශ්‍රී ලංකාව තුළ කානික්ක දේවමාතාවන් නමින් කැපකළ දේවස්ථාන කීපයක්ම දැකිය හැක. ඉන් පළමු ඓතිහාසික දේවස්ථානය ලෙස කළමුල්ල නම් කළ හැකිය. එය ජුසේ වාස් මුනිතුමන්ගේ කාලවකවානුව දක්වා දිවයයි. මඩකලපුව පදවියේ තන්ඩවන්වේලි දේවස්ථානයේ කානික්ක මාතාවන්ගේ ඓතිහාසික ප්‍රතිමාවක් ඇත.
1) කොළඹ අගරදගුරු වසම
කළමුල්ල, බෝලවලාන , පිටිපන , දෙහිවල , නායකකන්ද , නිරිපොළ
2) යාපනය පදවිය - පරුතිතිවු (පරෙවිදූව )
3) හලාවත පදවිය
මාරවිල , කන්දතොඩුවාව , කල්පිටිය මීසමට අයත් පළුකතුරේයි සහ පුක්කුලම
4) මන්නාරම පදවිය - මන්නාරම තුල්ලුකුඩිරුප්පු , පලයිකුලි , සම්පල්තෝට්ටම්
5) මඩකලපුව පදවිය - තන්ඩවන්වේලි
සටහන - අසේල දසනායක