සදහම් මග

සදහම් මග Buddhism, Budu Bana, Nivana, Nirvana

24/06/2024
24/05/2024

43. ලෝමස කාශ්‍යප ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණෝ පෙර භවවලදී තමා කිසිවෙකුට හිංසා නොකළ බව වදාළහ. එසේනම් බෝසත් ලෝමස කාශ්‍යප තවුසා සිය ගණන් සතුන් මරා යාගයක් කිරීමට සූදානම් වූයේ ඇයි?
නාගසේන තෙරණුවෝ - මහරජ, බරණැස් රජුට මුළු ලොවම රජ වීමෙහි කැමැත්තක් ඇති විය. ඒ සඳහා ලෝමස කාශ්‍යප තවුසා ලවා විශාල යාගයක් කළ යුතු විය. සිල්වතකුවු තවුසා එයට අකමැති විය. එවිට රජු යාගය කරන්නේ නම් තම දියණිය වන චන්ද්‍රවතිය තවුසාට විවාහ කර දෙන බවට පොරොන්දු විය. රජ කුමරිය දුටු තවුසා රාගයෙන් මත් විය. ධ්‍යානවලින් පිරිහුණි. විසුරුණු සිත් ඇත්තෙක් විය. යමෙකුගේ සිත විසුරුණු විට කළ නොහැකි දෙයක් නැත. අසූචි අනුභව කරයි. නග්නව වීදියෙහි ඇවිදියි. විෂකුරු සර්පයා වුවද අතින් අල්ලා ගනියි. මද කිපුණු ඇතා ඉදිරියට වුවද බිය නැතිව යයි. මහා සමුදුරටත් පනියි. දුෂ්කර ගිරි දුර්ග තරණය කරයි. ප්‍රපාතයකට වුවද පනියි. නොකටයුතු බොහෝ දේ කරයි. මෙසේ ලෝමස කාශ්‍යප තවුසා පර පණ නැසීමට සූදානම් වූයේ රාගයෙන් මත්වය. ඔහු හොඳ සිහියෙන් සිටියේ නම් එසේ නොකරනු ඇත. කාමයෙන් මත්වූ තවුසා පළමු යාග කණුවෙහි බැඳ සිටි ඇතා මැරීමට කඩුව ඔසවත්ම ඇතා මරණ භයින් තැතිගෙන මහා හඬ නැඟීය. ඒ අසා අනෙක් සත්තුද එක්විටම මහ හඬින් හැඬූහ. ඒ හඬ ඇසු තවුසාට ප්‍රකෘති සිහිය ලැබුණි. තමා කරන්නට යන ක්‍රියාවේ බරපතලකම වැටහුණි. පසුව අප වැනි තවුසන්ට මෙබඳු දේවල් සුදුසු නැතැයි පවසා නැවතත් වනයට ගොස් ධ්‍යාන උපදවා ගෙන මරණින් පසු බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනි.

20/05/2024

41. බක්කුලත්ථේර ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණෝ “මම භව දුකට හෙවත් කෙලෙස් රෝගයට වෙදාණන් වෙමි” යයි වදාළහ. එසේම තමාගේ අල්පාබාධික (නීරෝගී) භික්ෂුන් අතර බක්කුල තෙර අග්‍ර යයිද වදාළහ. බුදුපියාණන් අනුත්තර වූයේ නම් එසේ වන්නේ කෙසේද?

නාගසේන තෙරණුවෝ -
මහරජ, බුදුසසුනෙහි චක්ඛුපාල තෙර, මහා කාශ්‍යප තෙර ආදී ධූතාංග පිරූ ශ්‍රාවකයෝද වූහ. ඒවා උන්වහන්සේලාගේ අතිරේක ගුණාංගයෝය. මේ ලෝකයෙහි මිනිසුන් අතර කෙනෙක් උසස් ජාති ඇත්තෙක් වෙයි. කෙනෙක් මහත් ධන සම්පත් ඇත්තෙක් වෙයි. කෙනෙක් අතිදක්ෂ වෙයි. කෙනෙක් මහත් ප්‍රඥාව ඇත්තෙක් වෙයි. මේ සියලු දෙනාම පරදවා රජු උතුම් වෙයි. එලෙසම අප බුදුපියාණෝද සියලු සත්වයන්ට අග්‍රවූ සේක. ශ්‍රේෂ්ඨ වූ සේක. බක්කුල තෙරුන් අල්පාබාධික වූයේ ප්‍රාර්ථනා වශයෙනි. මහරජ, බක්කුල තෙරණුවෝ අනෝමදස්සී නම් බුදුපියාණන් දවස බුදුපියාණන්ට ඇතිවූ උදරාබාධයක් සුව කර ඒ පිනින් උපනුපන් ජාතිවල කිසිම රෝගයක් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කළහ. ඉන්පසු පදුමුත්තර නම් බුදුපියාණන් දවස සිවුවණක් පිරිස මැද එක් භික්ෂු නමකට අල්පාබාධික භික්ෂුන් අතර අගතැන් තනතුරු දෙනු දැක, එහි ප්‍රසන්නව මතු බුදුකෙනෙකුගේ ශාසනයෙහි එම තනතුර ලැබේවා යයි ප්‍රාර්ථනා කර බොහෝ කුසල් කළහ. නැවතත් කාශ්‍යප බුදුපියාණන් දවස දිරාපත් වූ සංඝාරාමයක් දැක එය අලුත්වැඩියා කර ආරෝග්‍ය ශාලාවක්ද තනවා දුන්හ. එයට අවශ්‍ය බෙහෙත් වර්ගද සපයා දුන්හ. මේ සියලු කුසල් කර අප මහ බුදුපියාණන් දවස කොසඹෑ නුවර සිටු කුලයක උපන්හ. ඔහු පිළිසිඳ ගත් දින සිටම එම සිටු කුලයට යස ඉසුරු ළඟා විය. දෙමව්පියෝ පුතුගේ නිරෝගි භාවය පතා උපන් දිනම යමුනා ගංඟාවෙහි නෑවීමට ගෙන ගියහ. එසේ යමුනාවෙහි ජලස්නානය කරවීම නීරෝගී භාවයට හේතු වන්නේය යනු එකල පිළිගත් මතයකි. කිරි මවකගේ ප්‍රමාද දෝෂයකින් එක්තරා මත්ස්‍යයෙක් මේ ළදරුවා ගිල දැම්මේය. කුමරාගේ පිනින් කිසි අනතුරක් සිදු නොවුනි. ළදරුවාගේ පිනින් මත්ස්‍යයාගේ කුස තුළ වේදනාවක් ඇතිවී තිස් යොදුන් පමණ වේගයෙන් පීනා ගොස් බරණැස නුවර විසූ ධීවරයන්ගේ දැලකට අසුවිය. ධීවරයෙක් මේ මත්ස්‍යයා දැක සතුටුව කදක දමා විකිණීමට ගියේය. ඒ මසු මිලට ගත් සිටු භාර්‍යාවක් මත්ස්‍යයාගේ කුස හුන් රන්වන් බිළිඳු දැක පුත්‍ර ස්නේහය උපදවා පෝෂණය කළාය. කොසඹෑනුවර විසූ මේ ළදරුවාගේ සිටු දෙමව්පියන් බරණැස එක් අපුත්තක සිටු කුලයක තම පුතා වැඩෙතැයි අසා එහි ගොස් ඒ දරු හට උරුමකම් කීයෙන් රජුගේ විනිශ්චය පරිදි දෙකුලයෙහිම පෝෂණය සඳහා කුමරා පැවරීය. සිටු පවුල් දෙකක වැඩුණ නිසා බක්කුල කුමරා යයි දඹදිව ප්‍රසිද්ධ වූ මොහු අප බුදුපියාණන් කොසඹෑ නුවරට වැඩි විට බණ අසා පැහැදී මහණව රහත් විය. පෙර කළ මහා කුසල් බලයෙන් බක්කුල තෙරණුවෝ නීරෝගී භික්ෂුන් අතර අග තනතුරද ලදහ. මහරජ, බුදුපියාණෝ හා සමාන කෙනෙක් සමස්ත ලෝකයේම නැත. බක්කුල තෙරුන්ට වූයේ පෙර බුදුවරුන් දවස පින්දහම් කළ ප්‍රාර්ථනාවක් ඉටුවීමකි. එම අගතැන දෙන ලද්දේ විමුක්තිලාභී රහතුන් වෙනුවෙනි. බුදුපියාණන් එයට අයත් නොවෙයි.

Address

Wadduwa

Alerts

Be the first to know and let us send you an email when සදහම් මග posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share