12/05/2026
බෝගස්වැව සිංහල මහවිරු ගම්මානයට තවමත් කෙණහිලි
බෝගස්වැව පරිපාලනය වෙන්නේ කිලෝමීටර් 70ක් දුර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවෙන්…
බෝගස්වැව ඉඩම් සංවර්ධනය කරන්න මහවැලි අධිකාරියට වැඩපිළිවෙළක් නෑ…
රුවන්මඩුව වැව යටතේ ඉඩම් අක්කර 450ක් තවම බෙදා දීලා නෑ…
බෝගස්වැව ඉඳල පදවිය රෝහලට කිලෝමීටර් 21ක් දුරයි…
පදවිය-බෝගස්වැව පාරේ සපත්තු පාලම් වැස්සට අඩි 30ක් යට වෙනවා…
බෝගස්වැව පන්සල ගමට අධ්‍යාපන ආයතනයක්…
දහම් පාසලේ ළමයි ඉගෙනගන්නෙ ගස්යට…
යුද්ධයෙන් මියැදුණු කොටි ත්‍රස්තවාදීන්ට කරන උපහාරයක් ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් ‘මහා වීර පවුල්’ ලෙස නම් කෙරිණි. එල්.ටී.ටී.ඊ.ය විසින් මහා වීර පවුල් පමණක් පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැඟෙනහිර ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියැදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් ‘සිංහල මහා වීර පවුල්’ ලෙස නම් කර බෝගස්වැව පදිංචි කළේය. උතුර, නැඟෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්වැව ‘සිංහල මහා වීර ගම්මාන’ ඇති කිරීම නැවත යුද්ධයක් ඇති නොවෙන්නට දැමූ ‘බැරියර්’ එකක් ලෙස ද හැඳින්විය හැකිය.
එක පෙළට ගම්මාන පහකි. බෝගස්වැව 1,2 නාමල් ගම, සැළලිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්වැවෙන් ආරම්භ වී නන්දිමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත් භූමි ප්‍රමාණය අක්කර තුන්දහසකට වැඩිය. ආරක්‍ෂක අංශ සැලසුම් ප්‍රකාරව බෝගස්වැව සිංහල පවුල් හාරදහස් පන්සීයක් පමණ පදිංචි කරවීමට යෝජිතව තිබිණි. අංගසම්පූර්ණ පාසලක්, සෑම ගමකට ම පන්සලක්, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් සංවර්ධිත ප්‍රදේශයක් ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් සකස් කර තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ 2012 වර්ෂයේ දී බෝගස්වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් පළමු අදියර යටතේ නිවාස දහසක් ඉදිකර ‘සිංහල මහා වීර පවුල්’ දාහක් පදිංචි කරවීය. මෙරට සතර දිග්භාගයේ ම රණවිරු පවුල් එම ගමට පැමිණ පදිංචි වූහ. උතුරු වසන්තය යටතේ සෑම නිවසකට ම විදුලිය, ජලය ලබා දුන්නේ ය. ඒ ගම්මාන හරහා කාපට් මාර්ග ඉදිකෙරිණි. එහෙත් රාජපක්‍ෂ ආණ්ඩුව බිඳ වැටීමත් සමග බෝගස්වැව නිවාස ව්‍යාපෘතිය ද කඩාකප්පල් විය.
“නැවත පදිංචි කරන්න ඉස්සෙල්ලා, යුද්දෙ කාලේ ඉඳල බෝගස්වැව 01 ගමේ පිරිසක් ජීවත් වෙලා තියෙනවා. කොටි ත්‍රස්තවාදීන් ඒ ගමට පැනල පවුල් පිටින් කැතිගාලත් තියෙනවා. 2012 අවුරුද්දෙ ඉඳල තමයි බෝගස්වැව දියුණු වෙන්න පටන් ගත්තේ. ගොවිතැන් කරන්න වතුර දුන්නා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක් වියළි ආහර මල්ලක් දුන්නා. අපේ ගම්වල මිනිස්සු වගා සංග්‍රාමය පටන් ගත්තා. වී, එළවළු, ධාන්‍ය, පලතුරු හැම දේම වගා කළා. මේක පින් පොළොවක්. මයියොක්කා දණ්ඩක් විසි කළත් පැළ වෙනවා. වගා බිම්වලින් හොඳ අස්වැන්නක් ලැබුණා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ගම්වලට කණකොකා හඬලන්න පටන් ගත්තෙ යහපාලන රජය පත් වුණාට පස්සේ. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු, වගා ළිං ව්‍යාපෘතිය නතර කළා. වගා ආධාර, සහනාධාර සේරම නතර කළා. වෙච්ච අසාධාරණය ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම ‘උඹලව මෙහේට ගෙනත් දාපු උන්ට කියපල්ලා’ කියල අපිව අසරණ කළා. අදටත් මේ ගම්වලට දේශපාලන සරණක් නෑ. උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි නායක හාමුදුරුවෝ පිහිට නොවෙන්න අපේ දරුවන්ට උගන්න ගන්න විදිහක් නෑ. හාමුදුරුවෝ ගමේ පන්සලට ගුරුවරු ගෙනැත් ළමයින්ට නොමිලේ උගන්වනවා. දහම් පාසල හාරහා සෑම පාසල් දරුවෙක්ටම අවුරුද්දටම ප්‍රමාණවත් පාසල් උපකරණ, නිල ඇඳුම් ලබාදෙනවා…” පිළිවෙළට කතාව ගොනු කරමින් සිටි දහම් පාසල් ගුරුවරියට කතාව අවසාන කිරීමට නොහැකි වූවාය. පන්සිල් ගනිමින් සිටි පිරිමි දරුවෙක් හිටි හැටියේ ඇදගෙන වැටෙනු දුටු ඇය ඔහු අසලට දිවගියා ය. සිහිසුන්ව ඇද වැටී සිටි දරුවා විහාර ගෙට රැගෙනැවිත් පැදුරක හාන්සි කරවා පොතක් ගෙන ඇය පවන්සැලුවාය. දිය බිඳු කිහිපයක් මුහුණට ඉස විනාඩි කිහිපයකට පසු දරුවට සිහිය ආවේය. හේ රසිකය. බෝගස්වැව විද්‍යාලයේ 8 වසර පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. බෝගස්වැව 02 ගම්මානයේ පදිංචිකරුවෙකි. ඔහුගේ පියා පෙදරේරුවෙකි. මව රැකියාවක් නොකරන්නීය. ඔහුට වැඩිමහල් සහෝදරියක් ද සිටී.
“අද උදේ දුන්නෙ කිරි. මේ පුතා කිරි බොන්නෙ නෑ. උදේට නොකා එන්න ඇති. ඒ නිසා තමයි ක්ලාන්තෙ දාන්න ඇත්තේ. මේ දහම් පාසලේ ළමයින්ට උදේට කිරි කෝප්පයක් හරි කැඳ කෝප්පයක් හරි දෙනවා. දවල්ට හැම ළමයකුට ම පෝෂ්‍යදායී ආහාර වේලක් දෙනවා. නායක හාමුදුරුවෝ එහෙම කරන්න තීරණය කළේ දහම් පාසල පටන්ගත්ත මුල් කාලේ පන්සිල් ගන්නකොට ළමයි දහයක්, දොළහක් ක්ලාන්තෙ දාලා වැටුණු නිසයි. මේ ගම්වල ගොඩක් ළමයින්ට සමබල ආහාර වේලක් ලැබෙන්නෙ නෑ. දරුවන්ට හොඳට කන්න අඳින්න දෙන්න මවුපියන්ට වත්කමක් නෑ. මේ ගම්වල ගොඩක්ම අයට හරිහැටි රස්සාවක් නෑ. කුලී වැඩ කරන්නත් ඈතට යන්න ඕනෑ…” ඇයගේ කතාවට බෝගස්වැව 02 ගම්මානයේ පදිංචි සමීර ප්‍රසාද් ද අඩු වැඩි එකතු කළේය. හේ 39 හැවිරිදි එක්දරු පියෙකි. ඔහුගේ මුල් ගම පොලොන්නරුවය.
බෝගස්වැව 02 ගම්මානයේ පදිංචියට පැමිණ ඇත්තේ 2013 වර්ෂයේ ජනවාරි මාසයේය. මොහොතකට ඔවුන්ගේ හඬ යටපත් කළ අපි හඬ ඉස්මතු කළෙමු.
පදවිය සහ මුලතිව් රක්‍ෂිතවලට මායිම්ව පිහිටි බෝගස්වැව එක, දෙක ගම්මානවල පවුල් දහසකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙති. ‘මහවැලි එල් කලාපයට’ අයත් බෝගස්වැව සුළු පිරිසක් වාරි ජලයෙන් යල, මහ වී ගොවිතැන් කරති. බහුතරය වැසි ජලයෙන් මාස් කන්නය ගොඩ බෝග වගා කරන බෝගස්වැව ගොවිතැනට වින කටින වන සත්ව උවදුර ද අති ප්‍රබලය. අලින්ගෙන් සිදු වන හානිය අති විශාලය. වන සත්ව උවදුර කොතරම් ප්‍රබල වුවද එය මැඬපැවත්වීමට කිසිදු පිළියමක් නැත. එමෙන්ම අස්වැන්න අලෙවි කිරීමට සාධාරණ වෙළෙඳපොළක් නොමැතිවීම ද බෝගස්වැව දැවෙන ගැටලුවකි. කෘෂිකාර්මික කටයුතු කරගෙන යෑම සඳහා ගමේ ගොවීන්ට ඉඩම් අයිතිය තවම ලබා දී නැති බව ද සමීර ප්‍රසාද් අප සමග පැවසුවේය. වගා කරන ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය ලැබෙන්න මීට වඩා උනන්දුවෙන් මිනිසුන් වගා කටයුතුවල නියැළෙන බව ද හේ පැවසීය.
“බෝගස්වැව 02 ගමේ සමහර පදිංචිකරුවන්ට ගොඩ ඉඩම්වලට ඔප්පු තියෙනවා. තව පිරිසකට තියෙන්නේ බලපත්‍ර. ඒත් රුවන්මඩුව වැව යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කරල තියෙන ඉඩම් අක්කර 450 තවම බෙදා දීලා නෑ. සමහර මිනිස්සු හිතුමතේ කැලෑව කොටාගෙන වගා කරනවා. එහේම වගා කරපු දහසයදෙනකුට මහවැලි අධිකාරිය නඩු දාල තියෙනවා. ඒත් වගා ඉඩම් බෙදා දෙන්න මහවැලි අධිකාරියට තවම වැඩපිළිවෙළක් නෑ. මිනිස්සු අතහැර ගිය ඉඩම් බෝගස්වැව ගමේ අනු පවුල්වලට හරි නාය යෑමෙන් අවතැන් වෙච්ච පවුල්වලට බෙදා දෙන්නෙත් නෑ. කෙටියෙන්ම කියනවා නම් බෝගස්වැව ඉඩම් සංවර්ධනය කරන්න මහවැලි අධිකාරියට වැඩපිළිවෙළක් නෑ. ගම වල් වැදෙනකොට වන සතුන් රජ කරනවා. ගෙවත්තක වම්බොටු පැළයක්වත් හිටුවල පලදාව ගන්න බෑ. වන සතුන් කනවා. ගම වටා තියෙන විදුලි වැට කළමනාකරණය කරන්න නිසි වැඩපිළිවෙළක් නෑ. පදවියෙන් බෝගස්වැව පාරේ මොරඔය හරහා වැටුණු සපත්තු පාලම් දෙකම වැහි කාලෙට අඩි 30ක් විතර උසට පිටාර ගලනවා. වැස්ස අඩු වුණත් පිටාර වතුර සතියක්, දෙකක් තියෙනවා. වතුර හොඳට ම බහිනකම් පාරෙ යන්න බෑ. ගම ඇතුළෙ මිනිස්සු හිර වෙනවා. හදිසි රෝගීන්ව රෝහලකට ගෙනියන්න විදිහක් නැතිව අන්ත අසරණ වෙනවා. ගමේ ඩිස්පැන්සරියෙත් රෝගීන් පරීක්‍ෂා කරන්නෙ දවල් කාලයට විතරයි. ලෙඩකට බෙහෙත් ගන්න පදවිය රෝහලට ම යන්න ඕනෑ…”
“බෝගස්වැව ඉඳල පදවියට කිලෝ මීටර් 21ක් දුරයි. වව්නියාව රෝහලට බෝගස්වැව ඉඳල කිලෝ මීටර් 32ක්. ඒ වගේම බෝගස්වැව, වව්නියාව මාර්ගය වැස්සට වාරිමාර්ගයක් වගෙයි. තැන, තැන පාර මැද පොල් හිටුවන්න තරමේ වළවල්. කාලෙකින් පාර ප්‍රතිසංස්කරණය කරලා නෑ. මේ ගම්මානවල වකුගඩු රෝගීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ රෝගීන්, ගර්භිණී මවුවරු වව්නියාව රෝහලට යන්නෙ අබලන් පාරෙන්. පාරේ බස් එකේ ගියත් දවස ම ඉවරයි. ඒ වගේම බෝගස්වැව ගම අයිති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. කැබිතිගොල්ලෑව තියෙන්නෙ බෝගස්වැවට කිලෝ මීටර් 70ක් දුරින්. ගමේ කෙනෙක්ට රාජකාරියක් කරගන්න කිලෝමීටර් 70ක් දුරට යන්න වෙලා. ග්‍රාමසේවා නිලධාරිවරයා, කෘෂි නිලධාරීන් කැබිතිගොල්ලෑවේ ඉඳල එන්න ඕනෑ. නිලධාරීන්, ගමේ මිනිස්සු දෙගොල්ලොම මහා අපහසුතාවට පත් වෙනවා. බෝගස්වැව ගමේ පරිපාලනය උතුර පළාත් සභාව යටතට පැවරුවානම් මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. ඒත් උතුර පළාත් රාජ්‍ය ආයතනවලදී බෝගස්වැව සිංහල මිනිස්සුන්ට සලකන්නේ කල්ලතෝනී ගානට දාලා…” සමීර ප්‍රසාද්ගේ කතාවට බර්ටි බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති සිරිවර්ධන ද අඩු වැඩි එකතු කළේ ය. ඒ පොදු හඬ පරයමින් අතුල කරුණාතිලක මහතාගේ හඬ ඉස්මතු විය. හේ යුද හමුදාවේ හිටපු මේජර්වරයෙකි. බෝගස්වැව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සැඳෑ සමය කැප කර සිටින හේ එම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත්තේ වසර තුනකට ඉහතදීය.
“උතුරේ ආරක්‍ෂාවට මේ ගම්මාන රැකෙන්න ඕනෑ. ගම්මාන රැකෙන්නනම් ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්න ඕනෑ. ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ වීර්ය දරමින් ඉන්නෙ ඒ යුතුකම ඉටු කරන්න. උන්වහන්සේට ශක්තිය දෙන්න තමයි මම බෝගස්වැවට ආවේ. මේ ගම්මානවල බහුතරය දුප්පත්. ආහාර ආහේනිය ප්‍රබලව තියෙනවා. කෑම දෙන්න පටන් ගත්තට පස්සෙ අවට ගම්මානවල ළමයින් මේ දහම් පාසලට එන්න පටන් ගත්තා. දැන් ළමයි තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් ඉගෙන ගන්නවා. දහම් පාසලට අමතරව ගමේ ළමයින්ට අභිධර්මය, භාවනා, සූත්‍ර පන්ති තුනක් පවත්වනවා. කැමැති දරුවන්ට පන්තිවලට සහභාගි වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ගමේ ළමයි ඒ පන්තිවලටත් උනන්දුවෙන් සහභාගි වෙනවා. ළමයින්ගේ දෙමවුපියොත් පන්සලට එකතු කරගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට වගා ක්‍රම හඳුන්වාදීම, ආධාර ලබාදීමටත් සැලසුම් කරල තියෙනවා. වැරදිවලට යොමු වෙලා ඉන්න පුද්ගලයන් යහමඟට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ගමේ ගෙදරක මරණයක් වුණාම රුපියල් 75000ක මුදලක්, ටෙන්ට්, පුටු ලබාදෙන සුබසාධන සේවාවක් පටන් ගත්තා. ගමේ ගැහැනු දරුවෙක් වැඩිවියට පත් වෙච්ච අවස්ථාවක, විවාහ උත්සවයකට රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කරන්න තීරණය කරල තියෙනවා. ගැබිනි මවුවරුන්ට දරුව ලැබෙන තෙක් මාස් පතා පෝෂණ මල්ලක් ලබාදීමටත් වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ වගේම විවිධ ප්‍රදේශවලින් ඇවිත් පදිංචි වෙලා ඉන්න පවුල් එකමුතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරල තියෙනවා. සාමූහිකත්වය තුළින් යහපත් බෞද්ධ සමාජයක් ගොඩනැඟීම තමයි අපේ වෑයම…” අතුල කරුණාතිලක බෝගස්වැව සංවර්ධන සංග්‍රාමය වචන කරනවිට එහි නියමු උතුර පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවන් දෙසට අපි යොමු වීමු.
හාමුදුරුවනේ, මේ පැරැණි විහාරස්ථානයක්ද? අපි පැනයක් යොමු කළෙමු.
‘වැඩසිටින බෝධීන් වහන්සේ නම් අවුරුදු තුන්සියක් විතර පරණ බව පේනවා. බෞද්ධ පුරාවස්තු තියෙනව කියනවා. ඒත් පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන නෑ. ඉඩම් අක්කර නවයක් විහාර භූමියට වෙන් කරල තියෙනවා…” ශ්‍රී සාල ආරණ්‍ය සේනාසනය ලෙස නම් කර ඇති බෝගස්වැව විහාරස්ථානය ‘ශ්‍රී සාල වන උද්‍යාරාමය’ ලෙස නම වෙනස් කිරීමට අදහස් කරගෙන සිටින බව ද එහි විහාරාධිපති උතුර පළාතේ ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ අප සමග පැවසූහ.
“මේ බෝගස්වැව ගමේ පන්සල. ආරණ්‍ය සේනාසනයකින් එහා ගිය බෞද්ධ සිද්ධාස්ථානයක්. ගමේ සියලුම ආගමික කටයුතු සිද්ධ වෙන්නෙ මේ පන්සලෙන්. ඒ වගේම විහාරස්ථානයට අයිති අක්කර නවයම ගස් වවල, උද්‍යානයක් විදිහට සංවර්ධනය කරන්න සැලසුම් කරල තියෙනවා. ඒ නිසා තමයි ‘සාල වන උද්‍යාරාමය’ කියල නම වෙනස් කරන්න තීරණය කළේ. ඒ වගේම මේ ගම දියුණු කරන්න, දුප්පත් දරුවන්ට උගන්වන්න බෞද්ධ පින්වතුන්ගේ උපකාරය ඕනෑ. උතුරේ සංචාරය කරනකොට බෝගස්වැවටත් ඇවිත් යන්න කියල මම කියනවා. එතකොට මේ ගම්මානවල දුප්පත්කම ඇස්වලින් බලාගන්න පුළුවන්…” උතුර පළාතේ ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම ලෝක බෞද්ධ ප්‍රජාවට අවබෝධ වන බව සැබෑය. ඊට අඩු වැඩි ඇවැසි නැත.
දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බලකොටුව පිහිටා ඇත්තේ බෝගස්වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසිදහසක් මහරහතන් වහන්සේ සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මවාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. ‘එන්ජීඕ හැතිකරය’ ඇතැම් සිංහල, දෙමළ ඊනියා සාම දූතයන් උතුරේ දෙමළ ජනතාවට බෙදා දීමට විවිධ වූ ආධාර ලොරිපිට පටවාගෙන යන්නේ දළාද වහන්සේ වැඩම කළ බෝගස්වැව ගම මැදින්ය. එහෙත් බෝගස්වැව සිංහල ගම්මාන මැද එම ලොරි නතර නොවේ. බෝගස්වැව මිනිසුන් ඒ ගැන දුක් නොවේ. අනුන්ගෙන් යැපෙන්න ඔවුන් අකමැතිය. බෝගස්වැව සිංහලුන්ගේ ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් සංවර්ධනය කිරීමය. ගමේ පාසල දියුණු කිරීමය. ග්‍රාමීය රෝහලක් ඇති කිරීමය. වගා සහනාධාරය නැවත ලබාගැනීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට ඒ හොඳට ම ප්‍රමාණවත් ය.
මේ වචන ටික සටහන් නොකරන්න හිතට වධයකි. දහස් ගණනින් තරුණ ජීවිත, අත්, පා, ඇස්, මස්, ලේ බිලී දී ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් උතුර නැඟෙනහිර භූමිය නිදහස් කරගත්තේ එක, එක දේශපාලන කාඩරයන්ට බඩපිළුම් ගැසීමට නොවේ. සියලු ජාතීන්ට සහජීවනයෙන් ජීවත්වීමට රටක් බිහි කිරීමට ය. එහෙත් අද උතුර නැඟෙනහිර දෙමළ දේශපාලනඥයන් ඒ භූමියේ පදිංචි සිංහල ජනතාවට, රාජ්‍ය ආයතනවල සිංහල නිලධාරීන්ට පල නොකියා පළා බෙදති. ප්‍රභාකරන් යුද්ධයෙන් දිනාගැනීමට ගිය ඊළම දෙමළ දේශපාලනඥයන් යාප්පුවෙන් ඩැහැගැනීමට වලිකන බව පෙනේ. මොළ කළඳක් හෝ ඇති ඕනෑම කෙනකුට එය හොඳින් වැටහේ. එහෙයින් කොටි ත්‍රස්වාදයට එහා ගිය අති බිහිසුණු බෙදුම්වාදී ක්‍රියාපිළිවෙත ගැන සොයාබැලීම ජනතාවාදී රජයේ ප්‍රධාන වගකීමකි.
නියපොත්තෙන් කැඩිය යුතු දේවල් පොරවෙන් කොටන්න ඉඩ නොතබා නියපොත්තෙන්ම කැඩිය යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම මිනිසකුට ම සහජීවනයෙන් ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කිරීම ද ජනතාවාදී ආණ්ඩුවක වගකීමකි.
තරංග රත්නවීර