Methsith Arana

Methsith Arana The official page of Methsith Arana. International Bhikkhu Attitude Training Center. සසුන් කෙත සරු කරන වැලිමළුවේ පාරමිතාව..
(2)

"මෙත්සිත් අරණ" - භික්ෂු ආකල්ප පුහුණු මධ්‍යස්ථානය

👉👉 මේ මහා පුණ්‍යකර්මයට ඔබටත් දායක විය හැක 👈👈

✺ ලංකා බැංකුව - රුවන්වැල්ල ශාඛාව:
- BOC Ruwanwella - 81180881
✺ සම්පත් බැංකුව - රුවන්වැල්ල ශාඛාව:
- Sampath Bank Ruwanwella - 120161003765

24/05/2026

කෙතක් වගේ කුසගින්දර නිවා දැමුව පියා...

ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකය...
21/05/2026

ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්‍රකාශ කළවිට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

"බුද්ධො’පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස."

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ.

ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි
හතසංසාරචක්කාරො - පච්චයාදීන චාරහෝ
න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති
(විසුද්ධි මග්ග)

1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා)

2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන)

3. සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ)

4. චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ)

5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි)

අරහං නම් වන සේක.

මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්‍යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්‍රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය.

මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ.

සංසාරය චක්‍රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්‍යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්‍රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්‍රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය.

සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ.

නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද තිබිය යුතුය.

ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘

මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක.
කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක.
සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’.
යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්‍ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්‍රීති වේගයන් උපදී.

එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය.

මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්‍රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය.

21/05/2026

අද දවස සුභ වේවා....

සිද්ධාර්ථ, යශෝධරාවන්ට පමණක් දෙවෙනි වූ මහ පොළොව කම්පා කළ අවසන් ප්‍රේමනීය සමුගැනීම 😔🙏කල්ප ලක්ෂයක් පුරාවට පැමිණි සුන්දර බැඳ...
20/05/2026

සිද්ධාර්ථ, යශෝධරාවන්ට පමණක් දෙවෙනි වූ මහ පොළොව කම්පා කළ අවසන් ප්‍රේමනීය සමුගැනීම 😔🙏

කල්ප ලක්ෂයක් පුරාවට පැමිණි සුන්දර බැඳීම...

කල්ප ලක්ෂයක් පුරාම සමාන අදහස් ඇතිව, අවංක ස්වාමියෙක් සහ ස්වාමිදූවක් විදිහට, අප්‍රමාණ බැඳීමකින් බොහෝ කුසල් කරගෙන ආපු පින්වන්තම දෙදෙනෙක් තමයි පිප්ඵලි කුමාරයයි (මහා කාශ්‍යප මහරහතන් වහන්සේ) භද්‍රා කාපිලානියයි.

ඔවුන් බ්‍රහ්මලෝකයේ වෙසෙන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩ වදාළ සේක. එකල්හි රජු බඹලොවින් ච්‍යුතව මගධරට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි උපන්නේය. ඔහු පිප්ඵලිමාණව නම් විය. දේවිය මදුරට සාගල නගරයේ කෝසියගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නාය. ඕ බද්දකාපිළානි නම් වූවාය.

පිප්ඵලිමාණව විසි අවුරුදු වයසටත් බද්දකාපිලානි සොළොස් අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්ඵලිමාණවගේ මාපියෝ “දරුව, දැන් ඔබ වැඩිවිය පැමිණ සිටින්නෙහිය, කුලපරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතුය. ඔබට දැන් කුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැ”යි කීය. පිප්ඵලිමාණව තෙමේ “මෑණියනි, පියාණෙනි, මට එබන්දක් නොකියනු මැනව, මම ඔබ දෙදෙනා ජීවත් වන තුරු ඔබ දෙපලට උපස්ථාන කර ඉන් පසු පැවිදි වන්නෙමි”යි කීහ. ඔවුහු දින කීපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවාය.

පිප්ඵලිමාණව තෙමේ උපායකින් මවුගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔප ලවා වස්ත්‍ර හඳවා නානාලංකාරයෙන් සරසවා මවු කැඳවා ඇයට රන්රුව දක්වා “මැණියනි, මෙබඳු කතක් ලද හොත් ගෙයි වෙසෙමි, නො ලද හොත් නො වෙසෙමි”යි කීය.

බැමිණිය පණ්ඩිත බැවින් “අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක, මොහු හා එක්ව පින් කළ කතක් ද සිටිය හැකි ය, ඇති නම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකි ය. ඇය සෙවිය යුතුය”යි සිතා බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා “මේ රූපයට සමාන රූ ඇති කාන්තාවක් අපට සෑහෙන පවුලක දුටහොත් එතැනට අත්තිකාරමක් වශයෙන් මේ රූපය දී එත්වා”යි කියා කාන්තාවක් සෙවීමට බමුණන් පිටත් කර යැව්වා ය.

“බමුණෝ කොහි යන්නෙම්දෝ ”යි සිතන්නාහු “මදු රට ලස්සන කතුන් උපදනා රටෙක, අපි පළමු කොට එහි යමු”ය යි සිතා එහි ගොස් සාගල පුරයට ඇතුළු වූහ. ඔවුහු එහි දී ගෙන ගිය රන්රුව එක් නානතොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රාකාපිළානිගේ කිරිමව ඇය නහවා සරසා සිරියහන්ගැබ හිඳුවා තොමෝ නෑමට එන්නී රන්රුව දැක “භද්‍රා”ය යි සිතා කිපී “මේ අවිනීත කෙල්ල කුමට මෙහි අවුත් ඉන්නී දැ”යි තර්ජනය කොට කන්මුලට අතුල්පහරක් දිණ. ඇගේ අත්ල කළුගලකට ගැසූ කලෙක මෙන් පුපුරු ගැසුවේය. ඕ පස්සට පැන “මේ රළු මහ බෙල්ලක් ඇත්තියට ස්වාමිදුව යි රැවටුණෙමි ය, මෑ අප ස්වාමිදුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුය”යි කීවා ය. එය ඇසූ බමුණෝ ඇය වටා සිට “තිගේ ස්වාමිදුව එසේ ම දැ”යි ඇසුවෝය. “මැගේ කිනම් ලස්සනක් ද මගේ ස්වාමි දූ මැයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලස්සනය, ඈ දොළොස්රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් වුවමනා නැත”ය යි ඈ කීවාය. “එසේ නම් අපි එහි යමු”ය යි රන්රුව රථයෙහි තබා ගෙන ඇය හා ගොස් කෝශිය ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගෘහද්වාරයෙහි සිට තමන්ගේ පැමිණීම දන්වා යැවූහ.

බ්‍රාහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට “කොහි සිට අවුදැ”යි විචාරා “මගධරට මාතොට නම් ගම කපිලබ්‍රාහ්මණගේ නිවසෙන් ය”යි කී කල්හි ආ කරුණ විචාළේය. ඔවුහු තමන් ආ කරුණ බමුණාට දැන්වූහ. එකල්හි බමුණා “යහපත දරුවෙනි, ඒ බ්‍රාහ්මණ පවුල අප හා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනක , දැරිය දෙන්නෙමි”යි කියා ඔවුන් ගෙන ගිය පඬුරු පිළිගත්තේය. දැරියක් සෙවීමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්ඵලීමාණවට දැන්වූහ.

එකල්හි පිප්ඵලි මාණවක තෙමේ “මම එබඳු දැරියක් නො ලබති යි සිතීමි. ලදුම්හ යි මොහු කියති, මෙය නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි”යි සිතා “භද්‍රාවෙනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමට ය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නො වී තමාට සුදුසු සැමියකු ලබා ගන්න ය”යි රහසින් හස්නක් ලීවේ ය. භද්‍රා කුමරිය ද තමා සැමියකුට පාවා දෙන්නට යන බව අසා පිප්ඵලීමාණවට රහසින් හස්නක් ලීවා ය. එය ලීවේ ද තමා පැවිදිවන බලාපොරොත්තුවෙන් සිටින නිසා පිප්ඵලී මාණවකහට අන් බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහා ය. ඔවුන් දෙදෙනාගේම හසුන් සේවකයන් අත යැවූහ. අතරමග එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරා දමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදෙනාටම යැවූහ. වැඩිහිටියන්ගේ වුවමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදෙනාගේ ම සමාගමය සිදු විය.

එදින පිප්ඵලී ද මල් දමක් ගොතවා ගත්තේ ය. භද්‍රා ද මල් දමක් ගොතවා ගත්තාය. රාත්‍රී භෝජනයෙන් පසු සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා “යමෙකුගේ පැත්තේ මල්දම් මලානික වුවහොත් ඔහුට රාගසිත් ඇතිවූ බව දත යුතුය” කියා එකිනෙකාගේ කයෙහි නො ගැටෙන සේ ඉතා පරෙස්සමින් නිදි නො ලබා රාත්‍රිය ගත කළෝය. එක යහනෙහි ඔවුනොවුන් නො ගැටී ශයනය කරන්නා වූ ඔවුහු දවල් කාලයේ ද ඔවුනොවුන් මුහුණ බලා රාග සිතින් සිනාසීමකුදු නො කරන්නාහ.

ඔවුහු මාපියන් ජීවත්වනතාක් ධනපරිහරණයෙන් ද තොරව විසූහ. මාපියන් ඇවෑමෙන් ඔවුනට එය කරන්නට සිදු විය. පිප්ඵලී මාණවකට සත් අසූකෝටියක් ධනය හිමිව තිබිණි. ඔහුගේ කරමාන්ත ප්‍රදේශය දොළොස් යොදුනක් විය. ඔහුට යන්ත්‍ර යෙදූ වැව් සැටක් විය, අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇණි තුදුසක් ද, අස් ඇණි තුදුසක් ද, රිය ඇණි තුදුසක් ද වූහ.

දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවරන ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසෑ තැන්වලින් පණුවන් මතුකොට කාකාදීන් විසින් කනු දැක, “මොවුහු කුමක් කත් දැ”යි අසා “ආර්‍ය්‍ය, පණුවන් කති”යි කී කල්හි “මොවුන් කරන මේ පව හිමිවන්නේ කාට දැ”යි ඇසීය. “ආර්‍ය්‍යෙනි, ඒ පාපය හිමිවන්නේ ඔබටය”යි ජනයෝ කීහ. එකල්හි පිප්ඵලී මාණවක තෙමේ “මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි”යි සිතා ගත්තේ ය.

එදින භද්‍රා ද ඇතුළු මිදුලෙහි තලසැළි තුනක් වනා කිරිමවුන් හා සිටින්නී කවුඩන් විසින් තල පණුවන් කනු දැක “මොවුන් කුමක් කත් දැ”යි අසා “තල පණුවන් ය”යි කී කල්හි “මෙහි පාපය වන්නේ කවරකුට දැ”යි ඇසීය. කිරිමවුහු “ඔබට ය”යි කිවූය. “මෙතෙක් සතුන් කරන පාපය හිමි වන්නේ මට නම් ජාති දහසකිනුදු මට සංසාරයෙන් ගොඩ නැඟෙන්නට නො පිළිවන්නේ ය, මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා සතර රියන් වස්ත්‍රයක් හා බත් නැළියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට භාර දී පැවිදිවන්නෙමි”යි භද්‍රා සිතුවා ය.

🎈භද්‍රා හා පිප්ඵලී මානවක පැවිදිවීම

මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදයට නැග මහඟු පලඟෙහි හිඳ ගත්තේ ය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි බොජුනක් එළවූහ. දෙදෙනාම ආහාර ගෙන සේවකයන් බැහැරවූ කල්හි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා “සොඳුර, ඔබ මේ ගෙට එන කල්හි කොතෙක් ධනය ගෙන ආවෙහි දැ”යි කීය. “හිමියෙනි, ගැල් පනස් පන් දහසකැ”යි භද්‍රා කීවා ය. “ඒ සියල්ලත් මේ ගෙයි ඇති සත් අසූ කෝටියක් ධනයත් සියලු ගම් බිමුත් ඔබටම පවරමි”යි මානවක කීය. “ඔබ කොහි යන්නට දැ”යි භද්‍රා ඇසුවා ය. “මම පැවිදි වන්නෙමි”යි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නී “මමත් පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරු සිටියෙමි”යි කීවා ය.

ඔවුනට භවත්‍රය ගිනිගත් ගෙයක් සේ වැටහිණ. ඔව්හු වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍ර ගෙන්වා ගෙන ඔවුනොවුන්ම හිසකේ ඉවත් කර ගෙන “ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසා ය”යි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැස ගියෝ ය. ගෙයි විසූ කිසිවෙක් ඔවුන් නො හැඳින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාසකර්මකාර ග්‍රාමද්වාර වලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඬමින් පාමුල වැඳ වැටී “අප කුමට අනාථ කළෝ දැ”යි කිවූහ. “දරුවෙනි, අපි භවත්‍රය ගිනිගත් ගෙයක් සේ පෙනී පැවිදි වීමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක් ද මඳවන්නේ ය. දැන් තෙපි ම තොපගේ හිස් සෝදා ගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජීවත් වවු ”ය යි කියා ඔවුන් හඬද්දී ම තාපස යුවළ නික්ම ගියහ.

පිප්ඵලි මාණවකහට පැවිදි වීමෙන් පසු ව්‍යවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමය ය. මඟට පිළිපන් තාපසතුමා සිතනුයේ “මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රීරත්නයක් එන්නී ය. මෙසේ යන අප දන්නා සමහරුන් “පැවිදිවීත් මොහුනට වෙන් විය නොහැකැයි සිතනු ඇත. පැවිදි වී මොහු අකටයුත්තක් කෙරෙතියි අප කෙරෙහි සිත් දූෂ්‍යකර ගෙන ඇතමුන් අපායට ද යනු ඇත. එබැවින් මා විසින් මැය හැර යා යුතුය”යි සිතී ය.

🎈අඹුසැමියන් වෙන්වීම

ස්ථවිරතුමා යනුයේ දෙමන්සලකට පැමිණ එහි නැවතිණ. භද්‍රා ද පැමිණ ස්ථවිරයන් වැඳ සිටියා ය. එකල්හි ස්ථවිරතුමා කියනුයේ “සොදුර, තී වැනි ශෝභන ස්ත්‍රීයක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ “පැවිදි වීත් මොවුනට වෙන් විය නොහෙති”යි අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ගෙන අපායට යන්නාහ. එබැවින් මේ දෙමඟින් තී එක් මඟක් ගනුව, මම අනික් මඟ ගනිමි”යි කීය.

එකල්හි භද්‍රා කාපිළානි කියන්නී “එසේ ය ආර්‍ය්‍යන් වහන්ස, මාගම පැවිද්දන්ට කිලුටෙක, මොවුහු පැවිදිවීත් වෙන් නොවෙති යි දොස් දකිති. නුඹ වහන්සේ එක් මඟක් ගනු මැනව, අප වෙන්වෙන්නෙමු”යි තුන්යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැඟට ඇඳිලි බැඳ “කල්ප ලක්ෂයක් පැවති මිත්‍රසන්ථවය අද කෙළවර වන්නේ ය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේ ය. මම වමින් ඉන්නා ජාතියේ ය. එබැවින් නුඹ වහන්සේට දකුණු මඟ සුදුසු ය. අපට වම් මඟ සුදුසුය”යි කියා වම් මඟට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන් වෙන කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය. අහස ගිගුරුවේ ය. සක්වළගල මහ හඬ නැංවී ය.

🎈බුදුරදුන් පෙර ගමන් කිරීම

මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩ වෙසෙන සේක් පොළොව සැලෙන හඬ ඇසී කවරකු නිසා පොළොව කම්පා වේදැ”යි බලන සේක් පිප්ඵලි මාණවක භද්‍රාකාපිළානි යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැක, “මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාණ ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින් ද ඔවුනට සංග්‍රහ කිරීම වටනේය”යි ගඳකිළියෙන් නික්ම කිසිවකු නො අමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පා සිවුරු ගෙන තුන් ගව්වක් දුර පෙර ගමන් කොට රජගහ නුවරට හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුක යට පර්යංකය බැඳ වැඩ හුන් සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දකු මෙන් නො හිඳ ඔවුන්ට හැඳින ගත හැකි වනු පිණිස අසූ රියන් තැන් ගන බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ හුන් සේක.

එකල්හි ඒ වනය කුඩ පමණවූ ද රියසක් පමණවූද ගෙවල් පමණවූද බුද්ධරශ්මි පුඤ්ජයන් ඔබ මොබ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳ දහසක් පෑවූ කලෙක මෙන් ආලෝකවත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන් ද, මොනොවට පිපුණු සුදු රත් නෙළුම්මලින් ගැවසුණු ජලතලයක් මෙන් ද, වනය බැබලිණ. නුගරුකෙහි කඳ සුදු ය, පත් නිල්ය, ගෙඩි රතු ය, එදා සියලු නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණ. මහකසුප් තෙරණුවෝ දුරදීම බුදුරදුන් දැක “මුන්වහන්සේ මාගේ ශාස්තෲවරයාණෝය, මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය”යි දුටු තැන සිට නැමි නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක් හිඳ වැඳ “සත්ථා මෙ භන්තේ භගවා, සාවකෝ හමස්මි, සත්ථා මෙ භන්තෙ භගවා, සාකො හමස්මි” යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමිය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකවෙමි”යි කීය.

🎈කාශ්‍යප තෙරුන් වහන්සේට උපසම්පදාව දීම.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයකු නො දැනම දනිමියි කියා නම් නො දැකම දකිමි යි කියා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය, කාශ්‍යපය, මම වනාහි මේ චතුස්සත්‍ය ධර්මය දැන ගෙනම දනිමි යි කියමි, දැකම දකිමි යි කියමි”යි වදාරා “තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං” යනාදීන් අවවාද තුනක් දී වදාළ සේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනීම ම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.

මහාකාරුණිකවූ බුදුරජාණන් වහන්සේ, අවවාද තුනෙන් මහාකසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නමැති උත්තම තත්ත්වය ප්‍රදානය කොට තෙරුන් වහන්සේ ද සමඟ බහුපුත්‍රිකන්‍යග්‍රෝධ වෘක්ෂමූලයෙන් බැහැරව මඟට පිළිපන් සේක. බුදුන් වහන්සේ මඳ දුරක් ගමන් කොට මඟින් ඉවත්ව, එක්තරා ගසක් මුල වැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූ සේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක, තමන් වහන්සේගේ පටරෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුළහ.

🎈සිවුරු මාරු කිරීම

ශාස්තෲන් වහන්සේ සඟළ සිවුර මත වැඩ සිටිසේක. ඉක්බිති උන්වහන්සේ එය පිරිමදිමින් “කාශ්‍යපය, නුඹේ මේ පට දෙපට සිවුර මෘදුය”යි වදාළ සේක. එකල්හි තෙරණුවෝ “ශාස්තෲන් වහන්සේ මගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ, උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝ ය”යි සිතා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ මේ පට පිළියෙන් කළ සඟළ සිවුර පිළිගන්නා සේක්වා”යි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යපය, පරිභෝගයෙන් දිරා ඇති මේ පාංසුකූල චීවරය නුඹට දැරිය හැකිදැ”යි වදාළ සේක. “එසේය හිමියනි, ලැබෙතොත් ඒ පාංසුකූල චීවරය පරිභෝග කරමි”යි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “මා විසින් මේ පාංසුකූලය ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝගකර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නො කළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරීමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින්ම යැ”යි වදාරා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙරවූ සිවුර බුදුන් වහන්සේ පෙරවූ සේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළහ. එකෙණෙහි මහ පොළොව කම්පිත විය.

තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘථග්ජන භාවයෙන් සිට අටවන දිනයේ සව් කෙලෙසුන් නසා, අර්හත් ඵලයට පැමිණ වදාළ සේක. පසු කාලයේදී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගුණ වදාරා “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං මහාකස්සපො” යනුවෙන් උන්වහන්සේ බුදු සස්නෙහි ධූතවාදීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

(මේ මහාකාශ්‍යප චරිතය මනෝරථපූරණී, සංයුත්ත නිකායට්ඨකථා, අපදානට්ඨකථා යන ග්‍රන්ථයන් හි දක්නා ලැබේ.)

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුර්ගතියකට පැමිණෙන්නට සිදු නොවී දෙව් මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබීමට හා අප බුදුරදුන්ගේ සසුනෙහි අර්හත්ඵලයට පැමිණ ධුතවාදීන්ගෙන් අගතැන් ලැබීමටත් මූල හේතුව වූයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහං ගුණය ය. මෙසේ ලොව්තුරා බුදුරදුන්ගේ අරහං ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනීම වැඳීම උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරීම මල් පහන් ආහාර සුවඳදුම් වස්ත්‍රාදිය පිදීම යනාදියෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිතකථා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඒවා ඒ ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.

🎈භද්දාකාපිලානි මහරහත් තෙරණින් වහන්සේ

කාශ්‍යප තරුණයා පැවිදි වූ කළ භද්දා කාපිලානි තරුණියද මහා ප්‍රජාපතීගෝතමී තෙරණිය සමීපයෙහි පැවිදි වූවාය. පැවිදිව මේ ලොවෙහි තිබෙන්නාවූ පි‍්‍රයතම වචනය අර්හත්භාවය ලබන්නට ඕ තොමෝ භාග්‍යවන්තියක වූවාය. රහත් බවට පැමිණ පුබ්බේනිවාසානුස්සසති ඥානයෙන් කෝටිප්‍රාප්ත වුවාය. ආර්ය සංඝයා මධ්‍යයෙහි භික්ෂුණින් පිළිවෙලින් තනතුරුවල තබන අවස්ථාවක් උදා වූ කල පෙර විසූ කඳපිළිවෙල සිහිකරන්නවුන් අතර අගතනතුරෙහි තබාලීය. ඕ තොමෝ එක් දිනක මහකසුප් තෙරණුවන්ගේ ගුණ කීර්තිය මුල්කොට තමන් වහන්සේ සැපත් අර්හත්භූමිය පිළිබඳව උදන් අනන්නට වූවාය.

සන්සුන් මනස් ඇති බුද්ධ පුත්‍රවූ ඒ කාශ්‍යප තෙමේ රහත්බව ලැබ පෙර විසූ කඳපිළිවෙල සිහිකළේය. ඇතිවීම හා නැතිවීම දකියි.

එහෙයින් ඉපදීම නිම කළේය. අභිඥාව ලබාගත්තේය. මේ ත්‍රිවිද්‍යාව හේතුකොට ගෙන බ්‍රාහ්මණයා (කාශ්‍යප මහරහතන් වහන්සේ) ත්‍රිවිද්‍යාව දත්තෙක් වේ.

එසේම භද්දාකාපිලානිද මරණය නිමකර ත්‍රිවිද්‍යාව අවබෝධ කළ හෙයින් බල සෙනඟ සහිත මාරයා පරදවා දැන් අවසාන සිරුර දරයි.

ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවී දුරුකළ ආශ්‍රව ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු.

මේ ආකාරයට අනන්ත භව සංසාරයෙහි ස්වාමියා, බිරිඳව, පාරමී දම් පුරා කාශ්‍යප, මහරහතන් වහන්සේ භද්දාකාපිලානි මහරහත් තෙරණින් වහන්සේ ලෙස ලොවට පහළ වී සඳහටම ඝොරතර කටුක සංසාර සාගරයෙන් එතෙරවූහ. දෙදෙනා වහන්සේ, දෙදෙනා වහන්සේට කල්‍යාණ මිත්‍ර වූහ. සද්පුරුෂ වූහ. එවන් වූ උත්තම උතුමෝ මහත්වූ අස්වැසිල්ලකි. කරන ලද දාන පාරමී ශක්තිය අපමණ රැක්කා වූ ශීලස්කන්ධය අපමණය. වැඩුවාවූ භාවනා සිත අපමණය. ලද්දාවූ නිවුනු සිතක මනහරත්වය අපමණය. එවන් වූ අර්හත් සිතක, විරාගී සිතක, නිවුනු සිතක ස්පර්ශය ලබන්නට අපහට ශක්තියක්ම වේවා වීර්යක්ම වේවා!

තවත් විස්තර සහිතව දැනගන්න 👇

https://pitaka.lk/books/suvisi-gunaya/3-8.html

20/05/2026

සතර වරන් දෙවි පිහිට ලැබෙන්නයි...

Address

No 1, Methsith Arana/මෙත්සිත් අරණ, Hathmaththa Waththa, Kannaththota
Ruwanwella
71300

Alerts

Be the first to know and let us send you an email when Methsith Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Methsith Arana:

Share