Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ

  • Home
  • Sri Lanka
  • Rajagiriya
  • Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ

Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ සත්වයින්ට ධර්මය තරම් මවෙක් පියෙක් නොමැත. ඒ ධර්මයම සත්වයින්ට පිළිසරණය.
(2425)

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක් දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.

එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි. මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක් දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්, විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යෑම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.

කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.

අප පුණ්‍යවන්තය.දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි.

බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා...!

සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා...!

තෙරුවන් සරණයි!

'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ
පුබ්බකොට න පඤ්ඤෝයති
අවිජ්ජා නනීවරනානං
තන්හා සංයෝජනං
සන්දාවතං සංසරතං
මමඤ්චෙව තුම්හාකඤ්ච

අවිද්‍යා නීවරණයෙන් වැහිලා
තණ්හා සංයෝජනයෙන් බැඳිලා
පින්වත් මහණෙනි නුඹලාත් මමත්
බොහෝ කාලයක්
මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා.
මේ සංසාරය අති දීර්ඝයි.
මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ'

සියල්ලෝ සංසාර බිය දකිත්වා...! අප්‍රමාදී වෙත්වා...!

පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, ද...
21/08/2026

පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත් වෙලා ඇති. පින්වත, දැන් ඇතියි කිව්වට වැස්ස අහන්නේ නැහැ. පින්වත, අඩු හෝ වැඩි අන්ත දෙකට නොයා, කාටවත් හිරිහැරයක් නොවන මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න යැයි, කොතෙක් කිව්වත් මනුෂ්‍ය අපි අහන්නෙත් නැහැ නේ. පින්වත, මනුෂ්‍යයාගේ තෘෂ්ණාධික හැසිරීම්වල හේතුඵල ධර්මයෝ හේතුවෙන්, පාරිසරික හැසිරීම් ද වේගවත් වෙනවා. පින්වත් මනුෂ්‍යයෝ පරිසරය මරා දමද්දී, පෙරළා පරිසරය ද මිනිස්සු මරා දමනවා.

පින්වත, අනාගතයේ දවසක් ඒවි, අතීතයේ සහ වර්තමානයේ අපි අසාධාරණ ලෙස කපා දැමූ සෑම එක් ගසක් වෙනුවෙන් ම එක් මනුෂ්‍යයා බැගින් බිලි ගන්න. පින්වත, යම් පින්වතෙක් එක මනුෂ්‍යයකුට සිදු කරන කායික හෝ මානසික පීඩාවන් වගේ නොවේ, සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම අනතුරට පත් කරන පාරිසරික විනාශ කිරීම්වල ප්‍රතිවිපාකයෝ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ගේ පාරිසරික චේතනාවෝ හරිම පිරිසිදුයි. උන්වහන්සේලා ප්‍රාතිමෝක්‍ෂ ශීලයට අදාළව ගසක් කපනවා තබා, තණකොළ ගසක්වත් ගලවන්නේ නැහැ. එම නිසා ම විකෘති අව්, වැසි, සුළං ඉදිරියේ පැවිදි ශ්‍රාවකයන්ට බියක් නැහැ. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුව කිපෙනවා, සිහිනුවණින් පරිහරණය කරන්න.

පින්වත, පාරිසරික විකෘතීන් ඉදිරියේ අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාපමිතුරා හොඳින් හඳුනා ගන්න. පින්වත, වර්තමානයේ මුළු ලෝකය ම එකට ළං වෙලයි තිබෙන්නේ, අපිට පමණක් තනිවම පාරිසරික විකෘතීන් ජය ගන්න බැහැ. පින්වත, බාහිර ලෝකය ගැන නොසිතා ඔබේ හෘද සාක්‍ෂියට ඔබ අවංක වෙන්න. පින්වත, එවිටයි පාරිසරික විකෘතීන් හේතුවෙන් බියෙන් සලිත ලෝකය තුළ, ඔබ නොබියව ජීවත් වෙන්නේ. පින්වත, අසාධාරණ ලෙස පරිසරයට ගසක් අහිමි නොකළ මනුෂ්‍යයෙක්, ප්‍රචණ්ඩ සුළඟකට බිය විය යුතු නැහැ. පින්වත, අපි නොදන්නවාට අපිට විරුද්ධව අපි මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසූ පාරිසරික වැරදි සහිත ෆයිල් හෙවත් ලිපි ගොනු දහස් ගණනක් අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර අධිකරණය තුළ ගොඩ ගැසී තිබෙනවා. පින්වත, අපේ රටේ අධිකරණයේ නීති තර්ක තුළින් විත්තිකරුවාට ඇප ලැබුණත්, සංස්කාර අධිකරණයේ ඇප නැති බව සිහිනුවණින් අපි තේරුම් ගන්න ඕනේ. පින්වත, සංස්කාර අධිකරණයේ දඬුවම්වල හැඩරුව පටිච්චසමුප්පන්නව වේදනාකාරී නිසා මයි, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට පනවන්නේ, “මහ පොළොව මතට කෙළ පිඬක්වත් දමන්න එපා” ය කියලා.

පින්වත, සංස්කාර අධිකරණයේ ඇප නැති නිසා මයි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට, අපේ ආරක්‍ෂාව උදෙසා උතුම් සිල් පද දෙසිය විස්සක ප්‍රාතිමෝක්‍ෂ ශීලයක් පනවා තිබෙන්නේ. පින්වත, තෘෂ්ණාවේ වියරුව මට්ටු කරන්නයි, දහවල් දොළහෙන් පසුව ආහාරයෙන් වළකින්න, තුන්සිවුර සහ පාත්‍රයේ සීමාව තුළ ජීවත් වෙන්න යැයි පැවිදි අපිට අවවාද කොට තිබෙන්නේ. පින්වත, මෙම සීමාව පැන්නුවොත් කාමයෝ හිස ඔසවනවා. පින්වත, කාමයෝ හිස එසෙව්වොත්, ඇප නැති නඩු ෆයිල් අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර අධිකරණයේ ගොඩ ගැසෙනවා. පින්වත, මේවා ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලාගේ සිවුපසයෙන් යැපෙන අපේ පුණ්‍යවන්ත පැවිදි ජීවිත සමග බැඳුණ සුන්දර හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ සියලු පෙනෙන සහ නොපෙනෙන ලෝක ධර්මයෝ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක, අපේ භව ආරක්‍ෂාව උදෙසා මහා කරුණාවෙන් අපිට දේශනා කොට වදාළා පමණක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අහිතක් නම් ඇති කොට ගන්න එපා, පැවිදි අපිට විනය කාරණා දෙසිය විස්සක් පැනවූවාය කියලා. මෙය සටහන් තබන භික්ෂුව ප්‍රාතිමෝක්‍ෂ ශීලයට නිරතුරුව ම හදවතින් ම වන්දනා කරනවා, ගෞරවනීය ප්‍රාතිමෝක්‍ෂ ශීලය, ඔබවහන්සේ මයි, භික්ෂුවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේවත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝත් දකින්න සැලැස්වූයේ. පින්වත, මේ සියල්ලට ම ඉහළින් කල්‍යාණමිත්‍ර ආශ්‍රය සහ කල්‍යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කිරීමත් තිබෙනවාය කියන අර්ථය අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, මේ ලෝක ධාතුවේ ලොකුම පරතරය තිබෙන්නේ පංච ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්ත වන තෘෂ්ණාවත්, ඊට ප්‍රතිවිරුද්ධ අර්ථය වන, චතුරාර්ය සත්‍යය ධර්මයන් අතරත් බව භික්ෂුව සටහන් තබනවා.

පින්වත, අපේ රටේ වැඩියෙන් ම මිනීමැරුම් සිද්ධ වන්නේ, වැඩිපුරම සොරකම් සිද්ධ වන්නේ හෙරොයින් ආදි වූ මත්ද්‍රව්‍ය හේතුවෙන් වගේ ම අපේ රටේ වැඩියෙන් ම රණ්ඩු සරුවල්, මාර්ග අනතුරු සිද්ධ වන්නේ, රටේ ජනතාවගේ වකුගඩු, අක්මා, දිය වෙලා යන්නේ රටේ විකිණෙන නීත්‍යනුකූල මත් වතුර හේතුවෙන් කියලයි, භික්ෂුවට නම් සිතෙන්නේ. පින්වත, ඉහත කාරණය වැරදි නම් ඔබේ අදහසට අදාළව එය නිවැරදි කොට ගන්න. පින්වත, නීත්‍යනුකූල අරක්කු බදු මුදල්වල රසය රාජ්‍ය භාණ්ඩාගාරයට දැනෙන තාක් කල්, මතට තිත කියන කාරණය, ආදීනවය වසා පෙන්වන, කෙටි ආස්වාදයේ මංමුළාවීමක් පමණක් මයි. පින්වත, මත් වතුර වේවා, මත්ද්‍රව්‍ය වේවා අසීමාන්තිකව ඔඩුදුවා ඇති සෑම රාජ්‍යයක ම සැබවින් ම ඊට ඉහළින් තිබෙන්නේ මත් වතුර, මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් නොවේ. අදාළ රටේ ජීවත් වන ජනතාවට, රටේ ජාතික ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, දක්‍ෂයාට ලැබිය යුතු නිලතල, බලතල බෙදී යෑමේ විෂමතාවයන් හේතුවෙන් ඇති වූ සමාජ ඛේදවාචකයන්ගේ හේතුඵල ධර්මයෝයි. පින්වත, රටක ජනතාවට ජීවත්වීමේ ප්‍රශ්න වැඩි නම්, “මත් වෙන්න එපා” යැයි කියන පාඩම ජනතාව ඉගෙන ගන්නේ නැහැ. පින්වත, හුඟ දෙනෙක් මත්ද්‍රව්‍ය, මත් වතුර ගන්නේ ප්‍රශ්න අමතක කරන්න. පින්වත, ඔහු කැමැති සැබෑ පීඩිත ජීවිතයෙන් තාවකාලිකව මිදිලා, මත් මායාවේ කෙටි ආස්වාදයේ සිහින දකින්න. පින්වත, මත් මායාවේ කෙටි ආස්වාදය දීර්ඝ ආදීනවයේ වියරු ඇබ්බැහිවීමක් සිදු කරනවාය කියන කාරණය මත්ලෝලියා දකින්නේ නැහැ. පින්වත, සැබැවින් ම ඔහු අසරණයි. පින්වත, එම අසරණභාවය සැබවින් ම මනුෂ්‍යත්වයෙන් දැකිය හැක්කේ එම අසරණභාවයේ ගොදුරක් වී, සත්පුරුෂ ආශ්‍රයෙන් මත් ඇබ්බැහියෙන් මිදුණ පින්වතකුට මයි.

පින්වත, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ හේතුඵල ධර්මයෝ මතු කොට දෙන දහමක්. පින්වත, යම් සමාජයක් පංචශීලයට අදාළව පස්වෙනි සිල් පදය වන සුරාවෙන් මත්වීමෙන් වළකින්න නම්, එම සමාජය තුළ පංචශීලයට අදාළව මුල් සිල් පද හතර හොඳින් රැකෙන්න ඕනේ. පින්වත, යම් සමාජයක ආර්ථික විෂමතාවයන් හේතුවෙන් පංචශීලයේ පළමුවෙනි සිල් පදය දුර්වල කරන මනුෂ්‍ය හිංසනය බලවත් ලෙස සිදු වනවා නම්, එවැනි සමාජයක කෙලෙසක නම් අවංකව මතට තිත තබන පස්වෙනි සිල් පදය ආරක්‍ෂා වෙන්න ද..? පින්වත, පළමුවෙනි සිල් පදයෙන් යම් රාජ්‍යයක් අනාරක්‍ෂිත වුණොත්, ඉතිරි සිල් පද හතරේ අර්ථයන් කැඩී, බිඳිලා ම යනවා. පින්වත, යම් සමාජයකට යම් පමණකට හෝ පංචශීලය රැකෙන වැඩසටහනක් අවශ්‍ය නම් ජාති, ආගම්, පක්‍ෂ භේදයන්ගෙන් තොරව “අපි හැමෝම මගේ ම දරුවෝ” යැයි පරාර්ථකාමීව දකින්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, සක්විති රජවරු ලෝකය දිනන්නේ පංචශීලයේ ශක්තියෙන්. පින්වත, සක්විති රජතුමා තමාට යටත් රාජ්‍ය නායකයන්ට කියලා දෙන රාජ්‍ය තාන්ත්‍රික ධර්මාවවාදය වන්නේ “දිවිහිමියෙන් පංචශීලය සුරකින්න” කියන පාඩමයි. පින්වත, අපේ සමාජයේ අතීතයේ පටන් ඕනෑම රාජ්‍ය නායක පින්වතෙක් තම පාලනය පටන් ගන්නේ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ජනතාවට දුන්න පොරොන්දු අමතක කොට, මනුෂ්‍ය හිංසනයේ පළමුවෙනි සිල් පදය කඩා බිඳගෙන මයි. පින්වත, අපි, අපේ ම පංචශීලයේ දුර්වලභාවයන් හේතුවෙන් සමාජගත වන ප්‍රශ්න ඉදිරියේ, කෙටි ආස්වාදයේ වීර කතා කියන්න අතිදක්‍ෂයෝ වුවත්, හේතුඵල ධර්මයෝ අකුරට කියා දෙන චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඉදිරියේ අන්ත අසරණයෝ.

පින්වත, පාර්ලිමේන්තුවේ වල් පැළ වෙනුවට, මල් පැළ සිටෙව්වත්, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දැන් පින්වත් ඔබට වැටහෙනවා නේද..? පිංවත, සමාජයේ සිදු වන යහපත් සහ අයහපත් දේවල් තුළින් ධර්මයක් මතු කොට දකින්න. පින්වත් ඔබට දැන් වැටහෙනවා ද, සමාජය තුළ තිබෙන්නේ වල් පැළ හෝ මල් පැළ පිළිබඳව ප්‍රශ්නයක් නොව ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රායෝගිකව ජීවිතවලට ගළපා නොගැනීමේ ප්‍රශ්නයක්ය කියලා. පින්වත, අනාගතයේ කවුරුන් බලයේ සිටියත්, කවුරුන් බලයට පත් වුවත්, ඉහත ඇත්ත තේරුම් නොගත්තොත් ජාතියට අයිති වන්නේ පරාජයෝ මයි. පින්වත, අපිව පාලනය කරන්නේ අපි හෝ රටේ නායක පින්වතුන් නොවේ. පින්වත, අපිව පාලනය කරන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් කොට ගත්, අපි හැමෝගේ ම පටිච්චසමුප්පන්න සංස්කාරයෝයි. පින්වත, සද්ධර්මයේ අරුත දන්නා පින්වත් නායකයන් දක්‍ෂ විය යුතුයි, තමන්ගේ සහ පින්වත් ජනතාව තුළ සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම් කෙරෙහි සිහිනුවණින් පසු වෙන්න.

පින්වත, පංචශීලයට අදාළ දැනීම් සමාජයේ යහපත උදෙසාත්, පංචශීලය නොසලකා හැරීමේ දැනීම් සමාජයේ අයහපත උදෙසාත් හේතු වෙනවා. පින්වත් ජනතාව තම ඡන්දයෙන් පාලක පින්වතුන්ලාව පත් කොට ගත්තත්, එම පාලක පින්වතුන්ලා ජයග්‍රාහීව රැකෙන්නේ ජනතා ඡන්දයෙන් නොවේ. පින්වත, ජයග්‍රහණයේ පින කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව ආරක්‍ෂා වෙන්නේ නැහැ. පින්වත, දානයට ආනිශංස තුනක් තිබෙනවා. ශීලයට ආනිශංස පහක් තිබෙනවා. මෛත්‍රියට ආනිශංස එකොළහක් තිබෙනවා. පින්වත් පාලක පින්වතුන්ලා ලබන වාර්තාගත ජයග්‍රහණයන් ජනතාවගේ ආශීර්වාදයෙන් නොසැලෙන දීර්ඝ විජයග්‍රහණයන් බවට පත් කොට දෙන සැබෑම ඡන්දය වන්නේ තම පොරොන්දු අකුරට ඉටු කරන, මනුෂ්‍ය හිංසනයෙන් තොර පංචශීලයේ ශක්තිය මයි.

පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි. පින්වත, කාමයේ කෙටි ආස්වාදයෝ, කාමයේ දීර්ඝ ආදීනවයෝ අපෙන් සඟවනවා. පින්වත, කෙටි ආස්වාදයෙන් වැසුණ තෘෂ්ණාවේ දෑස් විවෘත කොට දෙන කල්‍යාණ මිත්‍රයා, ලෞකික සැපයේ උරුමය දරාගත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පින්වත, ‘කෘතවේදීභාවය’ දුර්ලභ අර්ථයක්. පින්වත, ගෙවී ගිය සතියේ මහා වැසි, මහා සුළං හේතුවෙන් ජීවිත අහිමි වූ සියලුම රටවාසී පින්වතුන්ලාට, පින්වතියන්ලාට මේ උතුම් ධර්ම දානමය පින්, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය ම පිණිස හේතු වේවා..! යැයි ‘කෘතවේදී’ මෙත් සිතින් අපි ප්‍රාර්ථනා කරමු...!!!

- පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ.

පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය
(07/12/2025)

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න - https://www.facebook.com/kaalenadharmasaakachcha/

පින්වත, සුන්දර වස්සානයේ තුන්වන සතිය උදා වෙලා. පින්වත, මේ රාත්‍රියේ කැලැ රොදේ ගස් අතරින් එබිකම් කරන ඇසළ සඳවතියගේ නවයොවුන්...
17/08/2026

පින්වත, සුන්දර වස්සානයේ තුන්වන සතිය උදා වෙලා. පින්වත, මේ රාත්‍රියේ කැලැ රොදේ ගස් අතරින් එබිකම් කරන ඇසළ සඳවතියගේ නවයොවුන් ප්‍රභාස්වරභාවය හොඳටෝම හීන වෙලා. පින්වත, ඇය තව ටික දවසකින් කළුවර සඳක් ම වේවි. පින්වත, රූපයේ කෙටි ආස්වාදය සහ රූපයේ දීර්ඝ ආදීනවයෝ ගැන සඳවතිය මොනතරම් ලස්සන පාඩමක් අපිට කියලා දෙනවා ද? පින්වත, කළුවර දිශාවට වයසට යන සඳවතිය අපි හැමෝටම හරිම පූර්වාදර්ශීයි. පින්වත, ඇය කළුවර දිශාවට වයසට යද්දී, තම වයසට යන රූපයට කෘත්‍රිම රූපලාවණ්‍යයෝ දමාගෙන ලෝකයා රවටන්නේ නැහැ. පින්වත, ඇය වයසට යද්දී, තරුණ වෙන්න හදන්නෙත් නැහැ. පින්වත, ඇය වරෙක ප්‍රභාස්වර නවයොවුන් සඳක් වෙලා, ඉන් ඉක්බිති කළුවර සඳක් වෙලා, ‘රූපයේ මායාව’ ගැන අපිට කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය යැයි අපි දකින්නේ, සතර මහා ධාතුවෙන් සැදි රූපයෝ මයි. පින්වත, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා රූපයේ ස්වභාවය ජරා, ව්‍යාධි, මරණයෝ මයි. පින්වත, වස්සානයට පෙර අවසාන ධර්ම දේශනාවේ දී භික්ෂුවට දහස්කඩ සිවුරක් පූජා කළා. භික්ෂුව එම චීවරය සංඝයාට පූජා කළා. පින්වත, භික්ෂුව ධර්ම දේශනාවලට පොරවන සිවුර මාස තුනකින්වත් පඬු පොවලා නැහැ. පින්වත, ඒත් එම චීවරය පැහැයෙන් දුර්වල වුවත් චීවරයේ අරමුණු භික්ෂුවට සාක්ෂාත් කොට දෙනවා. පින්වත, අපි රූපයට රැවටෙන්න හෝ රවට්වන්න නරකයි. පින්වත, චීවරය වේවා රූපයට රැවටුණොත්, අපි වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන සියලු ධර්මයන්ට ම රැවටුණා වෙනවා. පින්වත, රූපයට, රූපයේ ස්වභාවයෙන් තිබෙන්නට දෙන්න, එවිට ඵස්සයට විවේකී නිදහසක් ලැබෙනවා. පින්වත, මේ රාත්‍රිය තුළ නිදහස නැහැ. පින්වත, මේ රාත්‍රියට නොබැඳුණ ඵස්සය තුළයි, ‘නිදහසේ උල්පත’ තිබෙන්නේ.

පින්වත, පින යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන්ට. පින්වත, පිනේ කෙටි ආස්වාදයක් තිබෙනවා වගේ ම, පිනේ දීර්ඝ ආදීනවයකුත් තිබෙනවා. පින්වත, පින උතුම් සම්මා දිට්ඨියෙන් ඔබ පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණා වූ පින, ඔබට සම්මා ඥාන, සම්මා විමුක්තිය දිශාවට ම උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “මනුෂ්‍යයාටත්, දෙවියාටත්, පැවිදි අපිටත් පින අවශ්‍යයි” කියලා. පින්වත, පිනට තවත් නමක් කිව්වොත් වර්ණය, සැපය, බලය යැයි කියන්න පුළුවන්. පින්වත, පින දුකෙන් පිරුණ පංච උපාදානස්කන්ධ ලෝකයේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලට යටත් මහා බලවතා වෙනවා. පින්වත, පින පංච උපාදානස්කන්ධ ලෝකයේ මහා බලවතා වුණත්, කරුණාකර පිනට රැවටෙන්න එපා. පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන් අපේ ජීවිත තුළින් දුර්වල වෙද්දී, අපි පිනට රැවටෙනවා. පින්වත, පින හේතුඵල ධර්මයක් හැටියට නොදකින පින්වතා, පින ‘මගේ’ කොට දකිනවා. පින ‘මම’ යැයි දකිනවා. පින්වත, පින මමත්වයේ දැඩිභාවයෙන් බර කොට ගත්තොත් පිනට නිවන් මඟේ පෙරට යන්න බැහැ. පින්වත, පැවිදි අපිත් පිනට රැවටෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. පින්වත, පැවිදි අපි පිනට රැවටුණොත් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ බල කණු දෙදරා යනවා. පින්වත, සම්මා ඥානයෝ මෝදු වෙනකම් පැවිදි අපි ඉහත අනතුරේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්.

පින්වත, මෙම රාත්‍රියේ පරිසරයේ සුළඟ ටිකක් වේගවත් වෙලා. පින්වත, සුළඟට ගස්කොළන් ඇඹරෙන හඬ, රාත්‍රී නිහඬභාවයට අහිංසක අභියෝගයක් කරනවා. පින්වත, සතර මහා ධාතුවේ කිපීම්, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් සංසිඳුවා ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, මේ උදා වෙන්නේ වස්සානයේ තුන්වැනි සතිය. පින්වත, භික්ෂුව වස් සමාදන්ව වැඩසිටින කැලෑ මායිමේ පිහිටි දුප්පත් ගම්මානයේ පුංචි කුටිය භික්ෂුවට මහා නිදහසක් ලබලා දෙනවා. පින්වත, ඵස්සය ළඟ තෘෂ්ණාවට නැවතීමක් මොහොතකට හෝ තැබුවා ම, නිදහස මහා නිදහසක් වෙනවා. පින්වත, විවේකය ආර්ය විවේකයක් වෙනවා. පින්වත, නිදහස උදෙසා සටන් කරන්න, අරගල කරන්න එපා. පින්වත, අරගල කොට ලබන නිදහස යළි මානසික සිර ගෙදරක් වෙනවා මයි. පින්වත, නිදහස අනුනගෙන් නොඉල්ලා, ඔබ තුළින් ඔබ මතු කොට ගන්න. පින්වත, භික්ෂුව මේ මොහොතේ ලබන විවේකී නිදහස මාරයාටවත් උදුරා ගන්න බැහැ. පින්වත, භික්ෂුවටත් අවශ්‍ය නම් තිබුණා, නගරයේ වඩාත් සුවපහසු, සිවුපසය බහුල තැනක වස් සමාදන් වෙන්න. පින්වත, එවැනි ආරාධනාවන් අඩුවකින් තොරව භික්ෂුවට ලැබුණා. පින්වත, භික්ෂුව, භික්ෂුවගේ පිනට රැවටෙන්නේ නැහැ. පින්වත, භික්ෂුව අනුනගේ පිනට රැවටෙන්නෙත් නැහැ. පින්වත, භික්ෂුව මෙතෙක් සෑම වස්සානයක් ම උපයෝගී කොට ගත්තේ භික්ෂුවගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කොට ගෙන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වර්ණය, සැපය, බලය උදෙසා මයි. පින්වත, සුළඟේ රිද්මයට පරිසරය සින්දු කියන මේ යෞවන රාත්‍රියේ, භික්ෂුවගේ හෘද සාක්‍ෂිය විවෘත වෙලා තිබෙන්නේ භික්ෂුව උදෙසා නොව, බුදුරජාණන් වහන්සේගේ පූර්වාදර්ශී ශ්‍රාවකත්වය උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක අපි පිනේ ඇස්බැන්දුම් මායාවන්ට නොරැවටී, ගුණාත්මකභාවයට පත් වුණොත් පමණක් මයි, ගිහි පින්වත් ඔබට පින් සිදු කොට ගන්න, පුණ්‍ය කෙතක් බවට පැවිදි අපිට පත් විය හැක්කේ. පින්වත, පැවිදි අපි පිනේ ආස්වාදයට යට වුණොත්, පැවිදි අපේ පුණ්‍ය කෙත පෙරළා නිසරු කෙතක් බවට ම දුර්වල වෙලා යනවා.

පින්වත, උතුම් සංඝ සමාජයට, නිරාගමික පින්වතුන්ලා චෝදනා කරනවා, විවේචනය කරනවා යැයි ගැටෙන සිත් ඇති කොට ගන්නේ නැතිව, අපි සමාජය ඉදිරියේ දිගහැරෙන අසත්පුරුෂ ධර්මයන් නුවණින් තේරුම් අරගෙන, අකුසල් යටපත් කොට ගෙන කුසල් ධර්මයන්ගෙන් පැවිදි අපි නැගී සිටිමු. පින්වත, මේ උදා වූ වස්සානය ඊට සුදුසු ම කාලයයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට අමතරව, පැවිදි අපේ චාරිකාවන් සීමා කොට පැනවූ වස් ශීලයේ අයෝමය කුසල් ශක්තිය ශාසන අභියෝගයන්ට ඔරොත්තු දෙන මහා ආරක්‍ෂිත වැටක් වෙනවා. පින්වත, පැවිදි අපි සමාජයට පිහිටක් වෙන්න නම්, කොටින්ම සමාජයට පුණ්‍ය කෙතක් වෙන්න නම්, අපි, අපේ උතුම් පැවිදි ජීවිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් කොට ගන්න ඕනේ. පින්වත, දුකට හේතු වෙන ‘තෘෂ්ණාවේ බර’ සැහැල්ලු කොට ගන්න ඕනේ. පින්වත, උතුම් සංඝ සමාජයේ තෘෂ්ණාවේ බර සැහැල්ලු වෙද්දී, පැවිදි අපේ ජීවිතවල ශෝක, පරිදේවයන්ට ශක්තිමත්ව පවතින්න බැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට අනුනගෙන් සිදු වන වැරදිවලට භික්ෂුව කවදාකවත් අනුනට චෝදනා කරන්නේ නැහැ. පින්වත, විපාකයට පැමිණෙන භික්ෂුවගේ අතීත අකුසල්වල හිඩැස්, භික්ෂුව විදර්ශනාමය කුසලයෙන් මයි පුරවා ගන්නේ. පින්වත, උදා වූ මෙම වස්සානය සංඝ සමාජයට අකුසල් මැඩලන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පාරාදීසයක් ම විය යුතුයි. පින්වත, විපාකයට පැමිණෙන අකුසලයේ හිඩැස් වසා දමන කුසලයේ බල පවුරක් ම විය යුතුයි. පින්වත, තවත් මාස තුනකින් වස් පවාරණය සිදු කොට සමාජයට විවෘත විය යුත්තේ, ඊට මාස තුනකට පෙරාතුව වස් අධිෂ්ඨානය කළ භික්ෂුව හෝ සංඝයා නොව, අයෝමය කුසලයේ බල පවුරක් මයි. පින්වත, උතුම් සංඝ සමාජයට එල්ල වෙන අසත්පුරුෂ අභියෝගයෝ ජය ගත යුත්තේ සත්පුරුෂ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මයි.

පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් පින් කරනවා. පින්වත, භික්ෂුව පින පෙරළා ආයෝජනය කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසා මයි. පින්වත, එවිට පින සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තිය දිශාවට පාවඩ එළනවා. පින්වත, භික්ෂුව මේ තබන සටහනත් උතුම් ධර්ම දානමය පිනක්. භික්ෂුව එම ධර්ම දානමය පින තුළින් “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින ධම්මානුපස්සනාව මෝදු කොට ගන්නවා. පින්වත, එවිට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පත්තර පිටුවෙන් අඩක් පුරා සටහන තිබුණත් එහි ‘තෘෂ්ණාවේ ලාටු’ නැහැ. පින්වත, තෘෂ්ණාවේ ලාටු ඵස්සයේ තැවරුවොත්, විඳීමේ රස නහර අවදි වෙන්නේ ආයාසයකින් තොරව මයි. පින්වත, මෙම ධර්ම සටහනේ සැබෑ අයිතිය තිබෙන්නේ අවිද්‍යාව හේතුවෙන් පටිච්චසමුප්පන්නව භික්ෂුව පුහුණු කළ අතීත සංස්කාරයන්ටයි. පින්වත, එම අතීත සංස්කාරයෝයි, භික්ෂුවට මෙම සටහන් තබන්න ‘දැනීම්’ සකස් කොට දෙන්නේ. පින්වත, ඉහත ධර්මානුකූල හේතුව නිසා ම, මෙම සටහන්වලට තිබෙන්නේ මිලක් නොව, පිනක් පමණක් මයි. පින්වත, අපි දක්‍ෂ විය යුතුයි, එම වියදම් වෙන පින, වියදම් නොවන, දුක විනිවිද පෙනෙන ආර්ය ධනයක් බවට පත් කොට ගන්න. පින්වත, මෙම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යැයි ආර්ය ධනයන් හතරක් තිබෙනවා. පින්වත, දිට්ඨි විශුද්ධිය මුල්කොටගත් ආර්ය ධනයෝ, අපිට මඟ සහ නොමඟ පටලවන්නේ නැහැ. පින්වත, ආර්ය ධනයෝ කෙලෙස් ලෝකයට බරක් වුණාට, ආර්ය ධනයෝ දිට්ඨි විශුද්ධිය විකසිත වන ජීවිතවලට බරක් නැහැ. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ පංච උපාදානස්කන්ධන්ගේ අනිත්‍ය දැක්ම ආර්ය ධනයේ හේතුඵල ධර්මයෝ වෙනවා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

13/08/2026
බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොට...
12/08/2026

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සකස්වෙන, කෙළෙස් වැසිවල වේගවත්භාවය නිසාම, වලාකුළු මතින් කඩාහැළෙන ස්වාභාවික වැස්ස විකෘතියක් වෙලා. නමුත් වස්සාන කාලයේ පින්වතුන්ලා තුළ සකස්වෙන්නාවූ, ශක්තිමත් පින් සිතුවිලි නිසාම, චීවර මාසයේදී වැසි ඇදහැළීම ධර්මතාවයක්ම වෙනවා.

මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතේ, වස් ශීලය සමාදන්ව වැඩසිටින කුටිය ඉදිරිපිටින් ගලායන දොළ පාර, හොඳටම සිඳිලා ගිහින් තිබෙන්නේ, වනන්තරේ කොළ රොඩුවලින් වැසී ගිය දොළ පාරේ, පල්වෙච්ච වතුර, තැන් තැන්වල එකතුවී තිබෙනවා. මේ ලිපිය සටහන් තබන මොහොතේත්, කුරුල්ලන් කිහිපදෙනෙක් දොළ පාරේ තැන් තැන්වල රැඳුණු වතුරේ, හොඳ, නරක නොබලාම පියාපත් ගසමින් නානව පේනවා. වැසි සමයේත්, පල්වෙච්ච වතුර නාන කුරුල්ලන් දකිනකොට, භික්ෂුවට සිතුණේ, අනිත පටිච්චසමුප්පන්න භව ගමනේ තමන්ට ලැබුණු වස් කාලයෙන් ප‍්‍රයෝජනයක් නොගත්, මනුෂ්‍යයන්ගේ වර්තමාන පටිච්චසමුප්පන්න ඛේදවාචක යයි. මේ දවස්වල කැලය හරිම විවෘතයි. මහපොළොව මත, අතුරණයක් සේ හොඳින් වියළිලා ඇතිරිලා තිබෙන, කොළ රොඩු මත කටුස්සෙක් දිවගියත් හොඳින් ශබ්ද නැෙඟනවා. පංචනීවරණ යටපත් වූ සිතක, ක්ෂණයෙන් මතුවෙන කෙළෙස් ධර්මයක්, මතුවූ සැණින් හඳුනා ගන්නවා සේ, වියළී ගිය කොළ රොඩු සහිත පරිසරය හඳුනා ගැනීම හරිම පහසුයි.

විදේශගතව කලක් වැඩවාසය කරලා භික්ෂුව මුණගැසීමට කුටියකට පැමිණි ස්වාමින් වහන්සේ නමක්, භික්‍ෂුවගෙන් විමසුවා ‘‘ඔබ වහන්සේ දැන් බෞද්ධ ජනතාව අතර ටිකක් ජනපි‍්‍රයයි, ඔබවහන්සේ කොහොමද මෙහෙම කුටියකට වෙලා විවේකීව වැඩසිටින්නේ කියලා. භික්‍ෂුව එම ස්වාමින් වහන්සේට ලබාදුන් පිළිතුර වූයේ, කැලයේ කුටියක වැඩසිටිනකොට, මගේ සිත කුටිය කියන සංඥාව තුළ නැවතිලා තිබෙන්නේ කියලා. නගරයට වැඩියහම නගරය කියන සංඥාව තුළ විවෘතව කටයුතු කරනවා. ආරණ්‍යයක වැඩසිටින කොට විවෘතව ආරණ්‍යය සංඥාව තුළ වැඩසිටිනවා. ධර්ම දේශනා පවත්වන කාලයට, ධර්ම දේශනා සංඥාව තුළ විවෘතව වැඩසිටිනවා. පසුගිය මාස දෙකේ රට පුරා ධර්ම දේශනා පවත්වපු අවස්ථාවේ, මා තුළ තිබූ ධර්ම දේශනා සංඥාව දැන් භික්ෂුව ළඟ නැහැ. ඒවාට සම්බන්ධ වූ පින්වත් ගිහි පැවිදි පින්වතුන්ලා ගැන කිසිදු සටහනක් දැන් මා ඇසුරේ නැහැ. කුටියක වැඩසිටිනකොට කුටිය කියන සංඥාව තුළ භික්‍ෂුවගේ සිත නැවතිලා. භික්‍ෂුව විවිධත්වය කරා විවෘතව ගමන් කරනවා. ප‍්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින්, නමුත් එක වරකට, එක සංඥාවක් තුළ පමණයි භික්‍ෂුව ස්ථානගත වෙන්නේ. මේ සුන්දර වස්සානය, වස්සානය කියන සංඥාව තුළම භික්ෂුව ගත කරනවා. මෙය බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක අපට දේශනා කොට වදාළ ප‍්‍රතිපදාවයි.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන පුළුල් භවත‍්‍රයම ආවරණය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකය කුටිය කියන කුඩා සීමාවට අරගෙන, එම කුටිය කියන සංඥාවත් අනිත්‍ය බව දකිමින් ජීවත් වෙනකොට, සිතට ලොකු නිදහසක්, විවේකයක්, ලැබෙනවා. කුටි සංඥාව ද අනිත්‍ය වශයෙන් දකින නිසාම, එම විවේකය විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන විවේකයක් බවටයි පත්වෙන්නේ. හැමදාමත් කුටියට තනිරකින දසදෙනෙක්ගෙන් පමණ වූ වළිකුකුළු රංචුව, වියළී ගිය කුණු රොඩු අවුස්සමින් ආහාර සොයන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. කුටි සංඥාව තුළ ස්ථානගත වෙච්ච භික්‍ෂුවගේ සිත, හාර අවුස්සා බලන්න භික්‍ෂුවට කිසිම අවශ්‍යතාවක් නැහැ. භික්‍ෂුවගේ සිත වර්තමානය තුළ ප‍්‍රභාෂ්වරව තිබෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැසි තුන්මාසයක් භික්‍ෂූන් වන අපිට පනවන්නේ, පුරා මාස නවයක් ස්වාමින් වහන්සේලා වන අපි තුළින් ශක්තිමත් වුණ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, උපයෝගී කොටගෙන, විවේකී වස් තුන් මාසය තුළ ඥායපටිපන්න ගුණය ඇතිකොට ගැනීමටයි. එසේ නොමැතිව, ගිහි පින්වතුන්ලා සමග මුහුවෙලා සුපුරුදු පරිදි පින්කම් කරමින් ජීවත්වීමට නොවේ. භික්‍ෂූන් වහන්සේලා වශයෙන් පුරා මාස නවයක් ප‍්‍රගුණ කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, ඒ කියන්නේ උජුපටිපන්න ගුණයේ ශක්තිය උපයෝගී කොටගෙන විවේකී මනසකින්, ඥායපටිපන්න ගුණය ඇතිකොට ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ඥායපටිපන්න ගුණය කියලා ධර්මයේ හඳුන්වන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය, සම්මා සමාධිය පරිපූර්ණ කොටගෙන, මහා සංඝරත්නය ඇතිකොට ගන්නා වූ ලෞකික චුතූපපාත ඥාන, පූර්වේ නිවාසානුස්සති ඥාන, දිව්‍ය චක්ඛු, දිව්‍ය ශ්‍රෝත ඥාන සහ සෝවාන් සකෘදාගාමි ආදීවූ විදර්ශනාවන් ලෝකෝත්තර ඥානයන්මයි.

වර්තමාන සමාජයේ සද්ධර්මයට අදාළ සූත්‍ර, විනය, අභිධර්ම, ධර්මයන් හොඳින් හැදෑරීම, ධර්මයට සහ අධර්මයට අදාළ විභාග ඉහළින් සමත්වීම, ආචාර්ය, මහාචාර්ය පදවි ලැබීම වැනි ධර්මතාවන් ඥායපටිපන්න ගුණය යැයි වරදවා දකින පින්වතුන්ලා සිටිනවා.

ඥායපටිපන්න ගුණය යනු උජුපටිපන්න ගුණයේ ඵලයයි, උජුපටිපන්න ගුණය යනු සුපටිපන්න ගුණයේ ඵලය වශයෙන් අපි නිවැරැදිව හඳුනා ගන්න අවශ්‍යයි. මේ ති‍්‍රවිධ ගුණයන්ගෙන් පෝෂණය වුණා වූ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් දේශනාකොට වදාළා වූ, උතුම් ශී‍්‍ර සද්ධර්මය, තම අත්දැකීම් තුළින් ලැබූ පන්නරය, ශික්‍ෂණය තුළිනුයි පින්වත් ලෝකයාට ධර්මය දේශනා කිරීමේ සාමීචිපටිපන්න ගුණය ඇතිවෙන්නේ. මේ උතුම් වස්සාන කාලය තුළ මහා සංඝරත්නය වන අප විසින්, ගිහි පින්වතුන් ශ‍්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව පූජා කරන සිව්පසය, මධ්‍යම ප‍්‍රතිපදාවට අදාළව ලබමින්, අපි තුළ ශක්තිමත්ව වැඞී තිබෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රයෝජනයට ගනිමින්, උතුම් ඥායපටිපන්න ගුණයත්, ලෝකයාගේ හිතසුව පිණිස සාමීචිපටිපන්න ගුණයත් ශක්තිමත් කොට ගැනීමේ වගකීමටයි, අපි බැඳී සිටින්නේ. එසේ නොවී, වස්සාන තුන් මාසයත්, ගිහි පින්වතුන්ලා සමඟ ගිහි වගකීම්, පින්කම් උදෙසාම අපි කැපවුණොත් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ වස්සාන කාලය පැවිදි අපගේ ජීවිතවලට, ඥායපටිපන්න ගුණයේ ඉඩෝරයම එකතුකොට ගත්තා වෙනවා. අපගේ උතුම් ඥායපටිපන්න ගුණය ඉඩෝරයට හසුවූ තැන, ලෝකයට නිවන් මඟ අර්ථාන්විතව මතුකොට දෙන, සාමීචිපටිපන්න ගුණයේ සිසිල් දිය කඳ සිඳී යෑමේ, අනතුර කරාම සමාජය ගමන් කරනවා. මේ උතුම් වැසි සමයේදී, පැවිදි සමාජයේ අපි සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක දකිමින්, ලෞකික බන්ධනයන්ගේ විෂම දුක දකිමින්, සුපටිපන්න ගුණය තව තව ශක්තිමත්කොට ගනිමින්, දුකින් මිදීමේ, දුක නැතිකොට ගැනීමේ එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගනිමින්, උජුපටිපන්න ගුණයේ ශක්තිමත්භාවය තුළ සකස්කොට ගන්නා ඥායපටිපන්න ගුණයත්, සාමීචිපටිපන්න ගුණයත් ශක්තිමත්කොට ගැනීමේ වීර්ය අපි තුළ ඇතිකොට ගතහොත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වස් ශීලය පැනවීමෙන් බලාපොරොත්තු වූ අරමුණ, සංඝ සමාජයේ අපි විසින් නිවැරැදිව ඉටුකළා වෙනවා. වස් ශීලයන් අධිෂ්ඨාන කරන, ඇසළ පොහොයට පෙරාතුව, ගෙවී ගිය වසරේ අපි තුළ වැඩුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව, ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථය, මෛති‍්‍රය, සමාධියේ ශක්තිය, සිදුකොට ගන්නා වූ පින්කම්, තුළින් රැස්කොට ගන්නා වූ සෑම කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යතාවය, මේ වස් තුන්මාසය තුළ සුමගින් දකිමින් ජීවත් වෙමින්, සංස්කාරයන්ගේ යථා ස්වභාවය මතුකොට දැකීමට අපි දක්‍ෂ වුණොත් එම දක්‍ෂතාවයම අපගේ උතුම් ඥායපටිපන්න ගුණයට ශක්තියක් වුණා වෙනවා.

දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති, මුළු පරිසරයම හරිම නිහඬයි. විටෙක හඹා එන සුළඟ මොහොතකින් නවතිනවා, රාති‍්‍ර නින්දට යෑමට පෙරාතුව, කුරුල්ලන් නඟන විවිධ කුරුලූ නාදයන්, පරිසරයේම කොටසක් බවට පත්වෙලා. තෘෂ්ණාවේ දෙවැනියෙක් ළඟ නොනැවතුණ, භික්‍ෂුවගේ සිත ද, නිහඬ පරිසරය වගේමයි, සිත තුළ මතුවෙන විදර්ශනාත්මක පී‍්‍රතිය, පස්සද්ධිය මේ සන්ධ්‍යාවේ පරිසරයේම කොටසක් බවට පත්වූ කුරුල්ලන්ගේ නාදයන් වගේ, වෙන්ව දකින්න බැහැ, වෙන් කරන්නත් බැහැ, විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයත්, විවේකී සිතක කොටසක්ම වෙනවා. සමාජය නිරතුරුවම කියන දෙයක් තමයි, ලෝකය හරිම දුකයි, ලෝකය හරිම අමිහිරියි, ලෝකය හරිම දරුණුයි කියලා. විවෘත සමාජය ඉදිරියේ මේ කතාවන් ඇත්ත වුණත්, සැබෑ ලොව්තුරා ධර්ම මාර්ගය ඉදිරියේ, ඉහත කතාවන් සියල්ලක්ම බොරු වෙනවා. තෘෂ්ණාවේ දෙවැනියෙක් ළඟ නැති, භික්‍ෂුවගේ ජීවිතය, දුකෙන් බැහැර වූ විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයන්ම ජීවිතය කොටගන්න ජීවිතයක් වෙනවා.

වස් තුන් මාසය තුළ මහා සංඝරත්නය උතුම් සංඝරත්නයේ ගුණයන් තුළ වැඩසිටිමින් උතුම් ඥානසම්පන්න ගුණය උදෙසා වීර්යය වඩන විට, පින්වත් ගිහි පින්වතුන්ලාට මහා සංඝරත්නය කියන අර්ථය උතුම් පින් කෙතක්ම වෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසලයක් බවට බුදුරජාණන් වහන්සේ පනවන්නේ, මේ උතුම් ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත් වූ පින් කෙතේ සශ‍්‍රීක අස්වැන්නේ ශක්තිය දැකලාමයි.

පින්වත් ගිහි පින්වතුන්ලා මේ උතුම් ශක්තිමත් මහා සංඝරත්නය නමැති පින්කෙතේ, සිව් පසය වපුරා සශ‍්‍රීක අස්වනු ලබනවා වගේමයි, ගිහි පින්වතුන්ලා දක්‍ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැසි තුන්මාසයක් පැනවීම තුළ, ගිහි පිංවතුන්ලාගෙන් බලාපොරොත්තු වුණ වගකීම මතුකොටගන්නට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල් සංස්කාරයනුත් අනිත්‍යවෙලා යනවා. අතීත සංසාරයන් පුරාවට පටිච්චසමුප්පන්නව පින්වත් ඔබත්, මමත්, ගිජ්ජකුට පර්වතයට වඩා උසට, කඨින චීවර මහා සංඝරත්නයට පූජාකොටගෙන තිබෙනවා. ඒ සැම අටමහා කුසල් සංස්කාරයන්ට සැප විපාකයන් සකස්කොට දී අනිත්‍යභාවයට පත්වුණා. එම නිසා ගිහි පින්වතුන්ලා දක්‍ෂවෙන්න. මෙම වස් තුන්මාසය පුරාවට සහ චීවර මාසය පුරාවට, සිදුකොටගන්නා සෑම පින්කමක්ම ආර්ය්‍ය අෂ්ටාංගිකමාර්ගය වැඩෙන ආකාරයෙන් සිදුකොටගන්න. පින්කම් උදෙසා ඇතිකොටගන්නා තරගකාරී මනෝභාවයෙන් මිදෙන්න. පොඞ්ඩ වැරදුණු තැන, තමන් අවශ්‍ය දෙය සිදුනොවුණ තැන, තමන්ට මුල් තැන නොලැබුණ තැන, ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් ඇතිකොටගෙන සම්මා සංකප්පයන් දුර්වලකොටගන්න එපා.

පින්වත් ගිහි පින්වතුන් දක්‍ෂවුණොත් මේ උතුම් කඨින පින්කම් මාලාව, දශකුසල් ධර්මයන් වැඩෙන පින්කම් මාලාවක් බවට පත්කොටගන්නට, එහි ඵලය වශයෙනුයි පින්වත් ඔබතුළ උතුම් පංචනීවරණ ධර්මයන් තුනීවූ සම්මා සමාධිවත් සිතක් ඇතිවෙන්නේ. මේ උතුම් සම්මා සමාධියෙන් පෝෂණය වූ සිතයි, පින්වත් ඔබට මේ උතුම් අටමහා කුසලයක් වන, කඨින චීවර පූජාවන් අනිත්‍යවූ කුසල් සංස්කාරයන්ගේ කියන විදර්ශන අංග මතුකොට දෙන්නේ. බුදුරජාණන්වහන්සේ පින්වත් ගිහි පින්වතුන්ලාට වත් පින්කම් මාලාව පැනවීම තුළින් බලාපොරොත්තු වුණේ ඉහත අර්ථයයි. එසේ නොමැතිව තරගකාරීව, ආශ්වාදයන් තුළට බැසගනිමින්, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වඩමින් සැරසිලි වලින් පාට පාට විදුලි බුබුඵ වලින්, ආලෝකමත් වන, අස්වාභාවික ආලෝකයන්ගෙන් මොහොතකට මිනිස් සන්තානය ආලෝකවත් කිරීම නොවේ. පින්කම් සිදුකිරීමේදී, විචිත‍්‍රභාවය, ආලෝකමත්භාවය අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නමුත් එම විචිත‍්‍රභාවය, ආශ්වාදය උදෙසා නොව අවබෝධය උදෙසා විය යුතු වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා විසිතුරු විසිතුරු දෙය පූජා කරන්නට පෙරලා පටිච්චසමුප්පන්නව විසිතුරු විසිතුරු දේවල්ම ලැබෙනවාය කියලා. අතීතයේ තැඹිලි කෝම්බයක පොල්තෙල් දමා පන්දම් පත්තු කරපු අපි, බකට් එක ඉටිපන්දමක් පත්තු කරපු අපි, මැටි පහන් වැටියකින් ආලෝක පූජාවන් පවත්වපු අපිට වර්තමානයේ, විසිතුරු විසිතුරු සැරසිලි, නේක වර්ණ විදුලි බුබුඵු, පින්වත් ඔබේ දෑස් ඉදිරියට ආලෝකමත්වන මේ සුන්දර විසිතුරු ලෝකය, අතීතයේ සුන්දර විසිතුරු දේවල් තෙරුවන් සඳහා පූජා කිරීම සිතේ ඵලයයි. පින්කම් සිදුකරන පින්වතුන්ලා ඉහත ධර්මානුකූල යථාර්ථය නිවැරැදිව හඳුනාගන්න ඕනේ. පින්වත් ඔබේ දෑස් දෙක ඉදිරිපිට තිබෙන විසිතුරු, සුන්දර නේක වර්ණ විදුලි ආලෝකයන් බබළන ලෝකය, අතීත සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්ය කියන කාරණය. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි අනිත්‍යභාවයට පත්වෙන සංස්කාරයෝ, වංචාවක්, සංස්කාරයෝ ප්‍රෝඩාවක් ඇස්බැන්දුමක්ය කියලා. ඒ නිසාම මේ උතුම් වැසි තුන්මාසය තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන, ආකාරයෙන් පින්කම් සිදුකරගනිමින්, මේ සැම කුසල්, අකුසල් සංස්කාරයන්ට අනිත්‍ය වී යන ධර්මථාවයක් බව එමගින් දක්විණි. අවබෝධයේ විදර්ශනාත්මක ප‍්‍රඥාවේ ආලෝකය පින්වත් ඔබ තුළ ඇතිකොට ගැනීමට දක්‍ෂ වෙන්න. මේ උතුම් අර්ථය තුළ පින්වත් ඔබ නිවැරදිව ස්ථානගතවුණොත් පමණක්මයි, පින්වත් ඔබ තෙරුවන් කෙරෙහි අර්ථවත්ව ශ‍්‍රද්ධාව ඇති උතුම් බෞද්ධ පින්වතෙක් බවට පත්වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, තම නිය සිලට පස් ටිකක් අරගෙන දේශනා කරනවා. මහණෙනි, මැරෙන සත්ත්වයින්ගෙන් ශ‍්‍රද්ධාව අර්ථවත්ව සකස්කොටගෙන මියයන්නේ, මගේ නිය සිලේ තිබෙන පස් ප‍්‍රවාහයටයි කියලා. මහපොළොවේ පස් ප‍්‍රමාණයට, සත්ත්වයා අසද්ධාව තුළ මියගොස්, දුගතිගාමී වෙනවාය කියලා. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව කියන අර්ථයේ ඇති උතුම් ශක්තිමත්භාවය ඉහත උපමාවෙන් පින්වත් ඔබ නිවැරැදිව ඔබ කෙරෙහි අනුකම්පාවෙන්, විතර්කයන්ගෙන් තොරව තේරුම් ගන්න දක්‍ෂවුනොත් පිංවත් ඔබට අර්ථවත්ව තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිකොටගත් උතුම් බෞද්ධ පිංවතෙක් වීමේ සියලූම සාධක, මේ උතුම් කඨින පින්කම් මාලාව තුළ සැඟවී තිබෙනවාය කියන කාරණය කරුණාවෙන් සිහිපත් කරනවා.
(දිවයින පුවත්පත‌ෙන් උපුටා ගැනීම)

සම්පූර්ණ ලිපි මාලාව - http://sithanivanabuduvadan.blogspot.com/…/10/blog-post.html
ධර්ම දානය පිණිස share කරන්න...
තෙරුවන් සරණයි.

පින්වත, සියලු කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි අවට තිබෙන සුන්දර මනස්කාන්ත පරිසරයත්, අපි අවට තිබෙන ...
11/08/2026

පින්වත, සියලු කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි අවට තිබෙන සුන්දර මනස්කාන්ත පරිසරයත්, අපි අවට තිබෙන විකෘති කළ අවලස්සන පරිසරයත් යැයි කියන්නේ, පින්වත් මනුෂ්‍යයාගේ ම සංස්කාරයන්ගේ ඵලයක්. පින්වත, අපේ පිනට වර්තමානයේ සුන්දර මනස්කාන්ත පාරිසරික අත්දැකීම් වින්දත්, අපේ ම පවට අනාගතයේ දී වියළි, ශුෂ්ක, අවලස්සන පාරිසරික අත්දැකීම් අපිට අත්දකින්න සිද්ධ වෙන්න පුළුවන්. පින්වත, මේ වැසි සහිත ශීතල රාත්‍රියේ, කුටිය අසලින් ගලාගෙන යන දොළ පාර හරිම වේගවත්. පින්වත, ශීතල රාත්‍රියේ ඇසෙන නිසසල ඝෝෂාවක්. පින්වත, ඝෝෂාව තුළත් නිහඬ බවක් තිබෙනවා. පින්වත, ඒ නිහඬභාවය අයිති ඝෝෂාවට නොවේ. ඒ නිහඬභාවය අයිති පින්වත් ඔබේ සම්මා සමාධිමත් සිතටයි.

පින්වත, සිතුවිලි යටපත් වූ මේ යෞවන රාත්‍රියේ අවිවේකී දොළ පාරේ රිද්මය භික්ෂුවට ඇසෙන්නේ පිරිත් සජ්ඣායනය කරන හඬක් වගේ මයි. පින්වත, ඒ පරිසරය හෝ දොළ පාර පිරිත් කියනවා නොවේ. ඒ පිරිත් සජ්ඣායනය කරන හඬක් සේ ඇසෙන්නේ, ශ්‍රෝත විඤ්ඤාණයේ මායාවයි. පින්වත, ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම්, කනේ ඵස්සය හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මායාවයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සංස්කාරයෝ හේතුවන් සකස් වන විඤ්ඤාණය මායාවක්” ය කියලා. පින්වත, සම්මා සමාධිමත් සිතකට මේ මායාව පිරිත් හඬක් සේ ඇසුණත්, කාමච්ඡන්දයන් බහුල සිතකට මේ හඬ, සංගීත හඬක් සේ ඇසෙන්න පුළුවන්. පින්වත, බියෙන් තැතිගත් පින්වතෙකුට මේ හඬ අමනුෂ්‍යයෙකු හෝ නපුරු තිරිසන් සතෙකුගේ අඳෝනාවක් සේත් ඇසෙන්නට පුළුවන්. පින්වත, ශ්‍රෝත විඤ්ඤාණයේ මායාවෙන් මිදෙන්න කරුණාකර, කනේ ඵස්සය ඉදිරියේ විදර්ශනාවේ තිත තබන්න. පින්වත, විඤ්ඤාණයේ මායාව පාරිසරික රිද්මයන්ට මෝහයෙන් පණ දෙනවා.

පින්වත, පසුගිය දවසක පින්වත් දරුවෙක් භික්ෂුවට පුංචි බඳුනක සිටවූ මල් සහිත පුංචි මල් ගසක් පූජා කළා. භික්ෂුව ඇත්තට ම සිතුවේ එය ස්වාභාවික මල් ගසක්ය කියලා. පින්වත, ඇසේ ඵස්සය තුළ බැසගත්ත විඤ්ඤාණයේ මායාව, සංස්කාරයන්ට අදාළවයි හඳුනා ගැනීම්, චේතනා, දැනීම් සකස් කොට දෙන්නේ. පින්වත, සළායතනයන් තුළ පටිච්චසමුප්පන්නව බැසගත් විඤ්ඤාණ මායාව ඉදිරියේ අපි ස්වාභාවිකත්වය යැයි සිතා කෘත්‍රිම දෙයටත් රැවටෙන්න පුළුවන්. පින්වත, වර්තමාන බාහිර පංච උපාදානස්කන්ධ ලෝකය අපේ පින නිසා ම ලස්සන, සුන්දර රූපයන් බහුල ලෝකයක්. පින්වත, වටාපිටාවේ කොහේ බැලුවත් ලස්සන, සුන්දර දේවල් වැඩියි. පින්වත, ඔබේ ම පටිච්චසමුප්පන්න පින සතුටින් පිළිගන්නවා වගේ ම, ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාවෙන් පින බුක්ති විඳින්න.

පින්වත, ඔබේ සළායතනයන්ගේ ඵස්සය තුළ බැසගත්ත විඤ්ඤාණයේ මායාවට රැවටී ස්වාභාවිකත්වයේ වේශයෙන් ම මතු වන, කෘත්‍රිම ලෝකය ඉදිරියේ සිහිනුවණ ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, රූපය යැයි කියන්නේ අනිත්‍ය වී යන සතර මහා ධාතුවක්. පින්වත, ඔබේ ආධ්‍යාත්මික රූපය තුළ පටිච්චසමුප්පන්නව බැසගත්ත විඤ්ඤාණය යැයි කියන්නේ, සංස්කාරයන්ගේ මායාවක්. පින්වත, විවේකී රාත්‍රියේ භික්ෂුවගේ ජීවිතය දෙස නුවණින් විමසා බලද්දී, මේ සංස්කාර මායාව හරිම අපූරුවට භික්ෂුවට පෙනෙනවා. පින්වත, භික්ෂුව මෙතෙක් අත්වින්ද දුක, සැප, නින්දා, අපහාස, කීර්ති, ප්‍රශංසා, ලාභ, අලාභයෝ අතීත සංස්කාර මායාවේ පුරාවස්තු හැටියට මයි භික්ෂුවට පෙනෙන්නේ. පින්වත, මේ අතීත සංස්කාර පුරාවස්තු “මම” යැයි දකින්න එපා. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා. පින්වත, මායාවේ ලෝකය උතුම් ධම්මානුපස්සනාවෙන් ම දකින්න.

පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ හතර වෙනි සතිය. පින්වත, පැවිදි අපි ඇතිකොට ගත් වස් අධිෂ්ඨානය අපේම විඳීම්වලට අපවිත්‍ර වෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ තෘෂ්ණාවේ පාරාදීසයට. මේ තෘෂ්ණාවේ පාරාදීසයේ බහුලව ම තිබෙන්නේ අපි කැමති ඇලීම් සහ අපි අකමැති ගැටීම්වලින් ගහණ පාරිසරික රූප චේතනාවන් මයි. පින්වත, විඤ්ඤාණයේ මායාව පංච උපාදානස්කන්ධ ලෝකයේ පස් පොළේ ම පටිච්චසමුප්පන්නව බැසගෙනයි සිටින්නේ. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඇත්තට, පංච උපාදානස්කන්ධ ලෝකයේ කොතනකවත් තැනක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ආධිපත්‍යය පංච උපාදානස්කන්ධ ලෝකයේ මහා බලවතා වෙනවා.

පින්වත, මායාකාරී සංස්කාර ලෝකයක් තුළ ජීවත් වන නිසා ම, භික්ෂුව අදත් උදෑසන, “මා විසින් අධිෂ්ඨානය කළ වස් අධිෂ්ඨානය යළි ආවර්ජනය කරමි” යි වස් අධිෂ්ඨානය නැවුම් කොට ගත්තා. පින්වත, ගිහි පින්වතුන්ලාට පැවිදි අපි අයිති කොට දෙන “නොකැඩෙන” කඨින පිනකට පැවිදි අපි අපේ ප්‍රාතිමෝක්‍ෂ සීලයන්ගේ ශක්තිය සමථ සහ විදර්ශනාවේ ඝන යදමක් බවට පත් කොට ගන්න ඕනේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය තවමත් උපන්දා වගේ ම නැවුම්. පින්වත, ඒ නැවුම් ශාසනයේ ළදරු කිරි සුවඳ භික්ෂුවට මේ නිමේෂයේදීත් දැනෙනවා. පින්වත, ඒ නැවුම් ශාසනයේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මව්කිරි, අපේ ළදරු භික්ෂු ජීවිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ණය, සැපය, බලයෙන් ලොකු මහත් කරනවා. පින්වත, තෘෂ්ණාව හිඟ ලෝකය උතුම් සද්ධර්මයක් මයි. පින්වත, එහි සද්ධර්මයේ ඕපනයික ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා ඕපනයිකව වැඩෙනවා.

පින්වත, උදේ සහ දවල් කියලා වෙනසක් නැහැ, මේ ප්‍රදේශයට නිරතුරුව ම වහිනවා. ඒත් ඉතින් වැස්ස ගැන නොතකා ගමේ පින්වතුන් උදෑසන ම පිණ්ඩපාත ශාලාවට පිණ්ඩපාත දානය බෙදන්න එනවා. පින්වත, ගිහි පැවිදි අපේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යන සළායතනයන්ගේ ඵස්සයෙන් කඩා හැලෙන මහා කෙලෙස් වැසි සමග ගනිද්දී, මේ පරිසරයට වහින වැස්ස මොන පුංචි වැස්සක් ද? පින්වත, මේ පරිසරයට වහින වැසි ජලය ගලාගෙන යන්නේ මහවැලි, කැළණි, කළු ගඟට. එහෙත් අපේ සළායතනයන්ගේ ඵස්සයෙන් කඩා හැලෙන කෙලෙස් වැසි භවාත්‍රයේ කාම ලෝකය පුරාවට පටිච්චසමුප්පන්නව ගලාගෙන යනවා.

පින්වත, අපේ විවේකී මනසට, විවේකී අදහස් ගලාගෙන එනවා. එම විවේකී අදහස් කාමච්ඡන්දයෝ සෝදා, පෙරා පංච නීවරණ මණ්ඩි රහිතවයි ගලාගෙන එන්නේ. පින්වත, මේ රාත්‍රිය ආදරයක් නැති ආදරණීය රාත්‍රියක්. පින්වත, මේ විවේකී රාත්‍රියේ පස්සද්ධිය අයිති වෙන්නේ කාමච්ඡන්දයෝ යටපත් කළ, සප්ත බොජ්ඣංගයෝ වැඩෙන ජීවිතවලට පමණක් මයි. පින්වත, බාහිර ලෝකයේ ලස්සන, සුන්දර, මනස්කාන්ත තැන් සොය, සොයා ඉන්නේ නැතිව, ඔබේ ම ආධ්‍යාත්මික රූපයෙන්, ලස්සන, සුන්දර, මනස්කාන්ත ස්වභාව ධර්මයන් මතු කොට ගන්න. පින්වත, එවිට ඔබට ඒහිපස්සිකව ඔබ තුළින් ම පෙනේවි මේ ලෝකයේ ලස්සන ම, සුන්දර ම, විචිත්‍ර ම තැන් තිබෙන්නේ ඔබේ ම සප්ත බොජ්ඣංගයෝ වැඩෙන ජීවිතය තුළයි කියලා. පින්වත, තමා තුළින් ම ලෝකයේ සැබෑ ම සුන්දරත්වය දකින්නා, බාහිර ලෝකයේ සහ පරිසරයේ සුන්දරත්වය සහ ලස්සන බලන්න රට වටේ, ලෝකේ වටේ සවාරි යන්නේ නැහැ. පින්වත, ඔහුට, ඔහුගේ ම ජීවිතය අතිවිචිත්‍ර සමථ සහ විදර්ශනාවේ පාරිසරික රඟහලක් පමණක් මයි.

පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ ගොඩාක් පැරණි පරණ බඩු කඩයක්. පින්වත, පටිච්චසමුප්පන්න අතීත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පුරාවස්තු එහි ගොඩ ගහලා තිබෙනවා. පින්වත, වර්තමාන ඵස්සය තුළ බැසගත්ත අවිද්‍යාවේ මායාව අතීත පංච උපාදානස්කන්ධ පරණ බඩු කඩයේ ගොඩ ගැසී ඇති අතීත පුරාවස්තු අපිට පෙන්වන්නේ නැහැ. පින්වත, අවිද්‍යාවේ ලෝක වගකීම අතීත පුරාවස්තු අමතක කොට, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධයෝ තෘෂ්ණාවෙන් සුරතල් කිරීම පමණක් මයි. පින්වත, වර්තමානයේත්, අනාගතයේත් එකම සාඩම්බර අවසන් හිමිකරු අතීතය බව, අපි හැමෝට ම අමතක වෙලා යන්නේ, අවිද්‍යාවේ මව්කිරෙන් පෝෂණය වන තෘෂ්ණාවේ උපාදානයෝ නිසා මයි.

පින්වත, අතීතයට එකතු වන පුරාවස්තු “ලෝකය” කුසල් සහ අකුසල් සංස්කාරයෝ විසින් නැවත නැවත අලුත් කොට දෙනවා. පින්වත, අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක් පහළ වුණා. අනාගතයේ ආයෙමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වත, වර්තමානයේ අපි ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක. අනාගතයේ අයෙමත් අබුද්ධෝත්පාද කාලයක් ඇති වෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය නමැති පරණ බඩු කඩය, කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් නැවත නැවත නැවුම් වෙනවා. අවිද්‍යාව නිසා ම, අපි හැමෝම සිතන්නේ අපි අලුත් ම අලුත් මනුෂ්‍යයෝ කියලා. පින්වත, පටිච්චසමුප්පන්නව අතීතයේ අපි ගොඩ ගැසුව අතීත මළ කඳක් ගොඩ අපි දකින්නේ නැහැ. පින්වත, අතීත මළ කඳන් වෙනුවට අපි දකින්නේ ආස්වාදනීය අනාගත උපත් මයි.

පින්වත, අනාගත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව නිවා දමන්න නම්, වර්තමාන පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත කෙරෙහි හොඳින් සතිය සිහිය ඇති කොට ගන්න ඕනේ. පින්වත, වර්තමාන පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි ඇත්ත ඇති සැටියෙන් දකිද්දී, අනිත්‍ය වී ගිය අතීත පංච උපාදානස්කන්ධයන්ගේ මායාවට, ඔබේ චිත්ත විශුද්ධිය තුළින් පෝෂණය වෙන දිට්ඨි විශුද්ධිය විදර්ශනාවට ආරම්භයක් ඇති කොට දෙනවා. පින්වත, රූපය කායානුපස්සනාවෙන් විනිවිද දකින්නා ලෝකය දෙසට ඉගිලෙන්න ඔහුගේ ඵස්සයට තෘෂ්ණාවේ අත්තටු දෙන්නේ නැහැ.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ තමා තුළ සකස් වන ඵස්සයට ලෝකය පුරා රවුම් යන්න තෘෂ්ණාවේ අත්තටු දෙන්නේ නැහැ. උන්වහන්සේලා අවබෝධයෙන් ම දන්නවා, ඵස්සයට අත්තටු දුන්නොත්, අවිද්‍යාව, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ සිත් සේ රස්තියාදුවේ යනවාය කියලා. පින්වත, ලෝක රස්තියාදුවේ ඵලය වන්නේ භව දුකට හේතු වන සංස්කාරයන්ගේ වෙහෙසයි. පින්වත, අපි හැමෝම සංස්කාරයන්ගෙන් වෙහෙසට පත් වුණ මනුෂ්‍යයෝ. පින්වත, අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණයෝ හෙවත් දැනීම්, කෙටි ආස්වාදයෝ තුළින් සහ දීර්ඝ ආදීනවයෝ තුළින් පෙරළා සංස්කාර වෙහෙස මයි අපේ ලෝක උරුමය බවට පත් කොට දෙන්නේ. පින්වත, ලෝක උරුමයක් යැයි ‘යුනෙස්කෝ සංවිධානය’ නම් කොට ඇති ගොඩාක් ස්ථාන ලෝකය තුළ තිබෙනවා නේද? පින්වත, ඔය වර්තමාන ලෝක උරුමයන් යනු මොනතරම් නම් සුන්දර මෝහයේ ඇස්බැන්දුම් ද?

පින්වත, ඔබට ඔබේ පටිච්චසමුප්පන්න ලෝක උරුමයන් දකින්න අවශ්‍ය නම්, කරුණාකර සම්මා සමාධිමත් සිතින් දෑස් පියාගෙන අතීතයේ ඔබ ගොඩ ගැසූ මහා මළ කඳන් ගොඩ නුවණින් දකින්න. පින්වත, අතීතයේ සතර අපායන්ට වැටුණ වෙලාවේ අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමිපුරුෂයා, දරු මුනුපුරන් අහිමි වෙච්ච වෙලාවේ, දෑසින් හෙලූ කඳුළු සාගරය, මහා සාගරයේ ජල කඳට වැඩි බව සිහිනුවණින් දකින්න. පින්වත, අතීතයේ යුද්ධවලට, අනතුරුවලට මැදි වෙලා, රණ්ඩු සරුවල් වෙලා, රජවරුන්ගෙන් දඬුවම් ලබලා, තිරිසන් ලෝකවල තවත් තිරිසන් සතෙකුගේ ගොදුරක් වෙලා ගලා ගිය රුධිර සාගරය නුවණින් දකින්න. පින්වත, අවිද්‍යාව අපිට උරුම කොට දී ඇති පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාර රාජකීය ලෝක උරුමයෝ මොනතරම් නම් සාහසික ද?

පින්වත, සංස්කෘතියක්, ඉතිහාසයක්, සදාචාරයක් ගැන නොසිතා, අපි හම්බ කරලා, කාලා, බීලා, විනෝද වෙලා, මැරිලා මරණින් පසුව සියල්ල ඉවරයි කියලා සිතන්න මොනතරම් නම් ලේසි ද? පින්වත, හරිම ජොලි ජීවිතයක්. පින්වත, ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය බින්දුවට දමලා, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට නිරාගමිකභාවයේ හෙළුවැලි දුහුල් ඇන්දවීමට ධර්මානුකූලව කියන්නේ මිථ්‍යා දෘෂ්ටිකභාවය යැයි කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීත් නිරුවතින් ජීවත් වුණ නිගණ්ඨයන්, ආජීවකයන් කොතෙක් නම් සිටියා ද? පින්වත, මේ අයට රාජ්‍ය අනුග්‍රහයන් පවා ලැබුණා.

පින්වත, ලෝකය යන්නේ සංස්කාරයන්ගේ ඉරණම් ගමනක්. පින්වත, වර්තමානයේ අපි ජීවත් වන සමාජය යන්නේත් සංස්කාරයන්ගේ ඉරණම් ගමනක්. පින්වත් ඔබ සමාජය ගමන් කරන මේ මිථ්‍යා දෘෂ්ටික ගමනට අකමැති නම්, ඔබ මුලින් ම වෙනස් කළ යුත්තේ සමාජය නොව, පින්වත් ඔබේ ම අකුසල් මූලයන්ගේ බරයි. පින්වත, ඊට එකම මාර්ගය තවත් මැතිවරණයක් නොව, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය මතු කොට නොගෙන තවත් මැතිවරණ දහයකට ගියත්, අපි යන්නේ අඳුරු අතීතයට මයි. පින්වත, යමෙක් ඉතිහාසය සඟවන්න උත්සාහ ගන්නේ ඒ අඳුරු අතීතයේ පාඩම් පොත් වසා දමන්න මයි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

උපුටා ගැනීම - 2025 අගෝස්තු මස 10 ඉරිදා දිවයින පුවත්පතින්

Address

Kalapaluwawa
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ:

Shortcuts

Share