27/04/2026
පින්වත, සිංහල අලුත් අවුරුදු අසිරිය ගෙවී ගියත්, පුණ්‍යවන්ත සිංහල බෞද්ධකම නම් ඔබේ ජීවිතයෙන් ගෙවී යන්න දෙන්න එපා. පින්වත, සිංහල බෞද්ධකම අහිමි කොට ගත්ත ජීවිතයක් යැයි කියන්නේ, අකුසල් මාරයාගේ ඇලීම් සහ ගැටීම් තරග පවත්වන දිවා සහ රාත්‍රී කෙළි බිමක්. පින්වත, මෙම දිවා සහ රාත්‍රී අකුසල් කෙළිබිම ආලෝකවත් කරන්නේ අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය සහ අනුවණින් මෙනෙහි කිරීම යැයි කියන අසද්ධර්මයේ බලශක්තිය විසින් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කුසල් ධර්මයන් තුළ ජීවත් වෙන්නා, කුසල් සංස්කාරයෝ විසින් ම ආරක්‍ෂා කරනවා” ය කියලා. පින්වත, “අකුසල් ධර්මයන් තුළ ජීවත් වෙන්නා අකුසලය විසින් ම අනාරක්‍ෂිත කොට දමනවා” ය කියලා. පින්වත, ඔබ ලබන ජයග්‍රහණයේ සහ පරාජය යැයි කියන අර්ථයන් දෙකේ ම සැබෑම හිමිකරුවා, ඔබේ ම සංස්කාරයන් බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, ලෝකය පරිපූර්ණ වශයෙන් දුකට පමණක් අයිති නැහැ. පින්වත, ලෝකය තුළ කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය හේතුවෙන් සකස් වන සැපයකුත් තිබෙනවා. පින්වත, කෙටි සැපය පසුපස සැඟවුණ දීර්ඝ ආදීනවයේ දුක, කෙටි සැපය අසිහියෙන් පරිහරණය කිරීමේ හේතුඵල ධර්මයෝ ම වෙනවා. පින්වත, සිංහල බෞද්ධකම නිවැරදිව දරා ගත්ත ජීවිතයක් තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සද්ධර්ම රසය, යස අගේට මුසු වෙලා තිබෙනවා. පින්වත, මෙම සද්ධර්මයේ රසය සති සම්බොජ්ඣංගයෙන් මොනවට ප්‍රණීත වෙලයි තිබෙන්නේ. පින්වත, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂාවේ ඕපනයික රසකාරකයෝ, සද්ධර්මයේ ලෞකික සැපයන්ට විදර්ශනාමය රුවගුණ ලබා දෙනවා.
පින්වත, හැමදාමත් අවුරුදු නැහැය කියන කතාව සද්ධර්මයට අගෞරව කරන කතාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සැප ලැබීමේ නිවන් මාර්ගය තුළ ගමන් කරන නිසා ම, උන්වහන්සේලාට හැමදාමත් අවුරුදු ප්‍රීතිය, පස්සද්ධිය තිබෙනවා. පින්වත, මොහොතක් ගෙවී ගිය අවුරුදු සතියට සිත යොමු කරන්න. පින්වත, අවුරුද්දේ නාමයෙන් ඔබ තුළ වැඩුණේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සැකය, විචිකිච්ඡාව නම්, ඔබ පංච නීවරණ අවුරුද්දක් උදා කර ගත් පින්වතෙක් වෙනවා. පින්වත, “එවිට අධර්මයෝ අධර්මයන් ම වසර පුරාවට වඩවා දෙනවා” යැයි මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඔබ ගෙවී ගිය සිංහල අවුරුද්ද චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ ජීවත් වුණ පින්වතෙක් නම්, පින්වත, දුක, දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වීම, ඊට මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි සිහිනුවණින් දැක, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය තුළින් පංච නීවරණයෝ යටපත් කොට ගෙන, සති සම්බොජ්ඣංගය මුල්කොට ගත්, සප්ත බොජ්ඣංගයෝ මතු කොට ගත් පින්වතෙක් නම්, ඔබ සප්ත බොජ්ඣංග අවුරුද්දක් උදා කොට ගත් පින්වතෙක් වෙනවා. පින්වත, එවිට “ධර්මයෝ ධර්මයන් ම වඩවා දෙනවා” යැයි මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ලෝකය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, ගෙවී ගිය පංච නීවරණ අවුරුදු සතියේ අවාසනාවන්ත හදිසි අනතුරු මරණ පනහක් පමණ රටේ සිද්ධ වෙලා තිබුණා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝක අභියෝගයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. පින්වත, වසරකට වරක් උදා වන සිංහල අවුරුදු නැකැත් ධර්මයෝ, පින කෙරෙහි, කුසලය කෙරෙහි, ඉන්ද්‍රිය සංවරය කෙරෙහි සතිය සිහිය ඇති කොට දෙන කල්‍යාණ මිත්‍රයෙක් බවට පත් කොට ගන්න. පින්වත, පංච නීවරණයන්ගෙන් අසංවර ඉන්ද්‍රියෝ අපිව අභියෝගයේ ගොදුරු බවට පත් කොට ගන්නවා.
පින්වත, අප්‍රමාදී ජීවිතයකට විශේෂයෙන් සිංහල අවුරුද්දක් කියලා දවසක් වෙන් වෙලා නැහැ. පින්වත, අප්‍රමාදී ජීවිතය හැමදාමත් ධර්මයේ උපේක්‍ෂාවෙන් අවුරුදු කනවා. පින්වත, ජීවිතයට පත්තියන් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව, පින්වත, පමණ දැන, වේලාව දැන, ප්‍රත්‍යවේක්‍ෂාවෙන් ආහාර, ඖෂධ, නිවාස, ඇඳුම් පැලඳුම් පරිහරණය, පින්වත, වැඩිහිටියන්ට ගරු කිරීම, පින්වත, යහපත් සෞඛ්‍යය පුරුදු ජීවිතයට එකතු කොට ගැනීම, පින්වත, ආදායම සහ වියදම කෙරෙහි සිහිනුවණ, හැමදාමත් පින්වත් ගිහි ජීවිතවලට අවුරුදු අසිරිය ලබලා දෙනවා. පින්වත, වසරකට එක දවසක් අවුරුදු රස විඳින ලෝකය තුළ, ඔබ හැමදාමත් අවුරුදු කන්න. පින්වත, දුකට බර ලෝකය තුළින් සැපය උපක්‍රමශීලීව උදුරා ගන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය පෙරළා හෝ සැපය මතු කොට ගන්නවා. පින්වත, භික්ෂුව මේ ලෝකය පෙරළන්නේ සති සම්බොජ්ඣංගයෙන්. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් ලෝකය පෙරළද්දී, උතුම් සද්ධර්මයේ රසයක් මයි භික්ෂුව මතු කොට ගන්නේ. පින්වත, සද්ධර්මයේ රසයෝ මතුවෙද්දී, මධ්‍යස්ථ වීර්යය තුන්සිය හැටපස් දවස පුරාවට ම අවුරුදු සතුට උදා කොට දෙනවා. පින්වත, අද දවසේ භික්ෂුවට තදින් කැස්ස සහ පීනස් තත්ත්වයක් ඇති වුණා. ඉපදීම නිසා මයි මේ ජරා, ව්‍යාධි, මරණ දුක යැයි අසනීපය තුළින් භික්ෂුව ධම්මානුපස්සනාව මතු කොට ගත්තා. පින්වත, අසනීපයට වෛද්‍ය ප්‍රතිකාරත් ගත්තා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට දිනන්න දෙන්න එපා. පින්වත, බිඳෙන ලෝකය තුළින් නොබිඳෙන විදර්ශනා ප්‍රඥාවට, ඔබේ ජීවිතය සමග අප්‍රමාදීව පෙර ගමන් යන්න.
පින්වත, මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “ස්වාමීන් වහන්ස, බුදු දහමේ උගන්වන විද්‍යාවත්, පන්ති කාමරයේ දී උගන්වන නවීන විද්‍යාවත් අතර වෙනස කුමක් ද?” කියලා. පින්වත, බුදු දහමේ විද්‍යාව සහ නවීන විද්‍යාව අතර වෙනස, අවබෝධයත්, දැනුමත් අතර තිබෙන මහා පරතරයේ වෙනසයි. පින්වත, මෙම පරතරයේ වෙනස, ලෝකයේ, භවාත්‍රයේ දිග සහ පළල වගේ ම විශාලයි. පින්වත, කාම භවාත්‍රය වගේ ම, අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ දක්වා ම, නවීන විද්‍යාවේ හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, කාම, රූපී, අරූපී භවාත්‍රයේ නිරෝධය වගේ ම, අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ ම නිරෝධය, උතුම් බුදු දහමේ විද්‍යාව හෙවත් සම්මා විමුක්තිය වෙනවා. පින්වත, මෙම දෙඅර්ථයේ වෙනස අහසයි පොළොවයි වගේ පරතරයක් නොවේ, මහ පොළොවෙන් යොදුන් දසදහසකට යටින් පිහිටි නිරයන් එකසිය තිස්දෙකත්, සියලු දිව්‍ය තලයන්ට සහ රූපී සහ අරූපී බ්‍රහ්ම තලයන්ට ඉහළින් තිබෙන අනාගාමී බ්‍රහ්ම තල අතර පරතරය ම වෙනවා. පින්වත, බුදු දහමේ විද්‍යාව කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් මතු කොට ගත්තා වූ, සප්ත බොජ්ඣංගයන්ගෙන් පෙරා පිරිසිදු කොට ගත්තා වූ, සම්මා ඥානයන්ගෙන් තෘෂ්ණාව හිස් කොට ගත්තා වූ දුකේ නිරෝධයයි. පින්වත, නවීන විද්‍යාව යනු පතපොතේ දැනුමෙන් ඉගෙන ගත්තා වූ, කාමච්ඡන්දයන් ආදි වූ පංච නීවරණයන්ගෙන් රස ගන්වා ගත්තා වූ, තෘෂ්ණාවට ජයකොඩි බඳින්නා වූ, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ ජරා, ව්‍යාධි, මරණ, පංච උපාදානස්කන්ධ දුකේ ළදරු සුරතලායි. පින්වත, සම්මා විද්‍යාව ලෝකය නිවා දමනවා. පින්වත, නවීන විද්‍යාව ලෝකය අවුළවනවා.
පින්වත, මැදපෙරදිග යුද්ධය දෙස මොහොතක් බලන්න. පින්වත, නවීන විද්‍යාවේ තෘෂ්ණාවේ හාස්කම්වලින් ලස්සන ලෝකයක් ගොඩ නගලා, එම ලෝකය නවීන විද්‍යාවේ තෘෂ්ණාවේ බලපුළුවන්කාරකම්වලින් අවුළවලා, දේපළ, සම්පත්, මිනිස් ජීවිත වියරුවෙන් විනාශ කරලා, ආයේ අයෙමත් අනාගත විනාශය උදෙසා ලෝකය විද්‍යාවේ තාක්‍ෂණයෙන් යළිත් ගොඩනගනවා. පින්වත, විද්‍යාවේ ලෝකය, යුද්ධයේ විනාශය ගණන් බලන්නේ ඩොලර් බිලියනවලින්. පින්වත, සම්මා විද්‍යාව, යුද්ධයේ විනාශය ගණන් බලන්නේ ගැඹුරු අවිද්‍යාවෙන් උපදින, තෘෂ්ණාවේ උපාදානයන්ගෙන් ජවය ලබන, අකුසල් සංස්කාරයන්ගේ ප්‍රණීත ම ආහාරයෝ වන සතර අපායේ වියරු ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන්. පින්වත, නවීන විද්‍යාවේ ජවයෙන්, යුද වියරුවෙන් නළියන නායකයන්ගේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත කුමක් වේවි ද? පින්වත, ද්වේශය, වෛරය, පළිගැනීමට, සද්භාවයෙන් හේතුඵල ධර්මයන්ට යටත්ව උපකාර කරන්න, සූත්‍රගත ධර්මයන්ට අදාළව නිරයන් එකසිය තිස්දෙකක් හැමදාමත් භවාත්‍රයේ මඟ බලාගෙන සිටිනවා. පින්වත, අතීත රහතන් වහන්සේලා දුක ලෝකය තුළ තියලා පිරිනිවී ගියා. පින්වත, නවීන විද්‍යාවට ඔටුනු පලන්දවා, අපේ තෘෂ්ණාව, අවිද්‍යාවට ජාති, ජරා, ව්‍යාධි, මරණ ගොදුරු බිම් සංවර්ධනය කොට දෙනවා. පින්වත, සම්මා විද්‍යාව, අවිද්‍යාව නිවා දමා, පටිච්චසමුප්පාද ධර්මයෝ ම නිවා දමන දහමක්. පින්වත, නවීන විද්‍යාවෙන් ලබන දැනුම, ආර්ය අෂ්ටාංගික මාර්යෙන් පෝෂණය කොට ගන්න. එවිට නවීන විද්‍යාව ලෝකයට ආශීර්වාදයක් ම වේවි.
පින්වත, මනුෂ්‍ය සමාජයේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම හුඟාක් අඩු වෙලා. පින්වත, මනුෂ්‍ය ජීවිතවල මිල බැහැලා. පින්වත, එකම දිනයේ හදිසි අනතුරුවලින් දහපහළොස් දෙනා මිය ගියත්, එකම දිනයේ දියේ ගිලී දහපහළොස් දෙනා මියගියත්, එම අවාසනාවෝ සමාජයට දැනෙන්නේ නැහැ. පින්වත, මනුෂ්‍ය ජීවිතවලින් පින පිරිහිලා යද්දී, මනුෂ්‍ය ජීවිතවල වටිනාකම අඩු වෙලා යනවා. පින්වත, ජීවත් වුණාය, මිය ගියාය කියලා වෙනසක් නැහැ. පින්වත, තම ජීවිතයට තමා විසින් ම වටිනාකමක් නොදෙද්දී, මරණයට කෙසේ නම් වටිනාකමක් ලැබෙන්න ද? පින්වත, අවිද්‍යාවේ මහා වැසි තුළින් නැගෙන අකුසල් සංස්කාර සැඩපහර හරිම වේගවත්. පින්වත, සිහිනුවණ නැති මනුෂ්‍යයන්ගේ අකුසල් සංස්කාර සැඩපහරට ගසාගෙන යද්දී, සිහිනුවණ ඇති ඔබ, මෙම අකුසල් සැඩපහරට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. පින්වත, ගෙවී ගිය සිංහල අවුරුදු උදාවේ දී, සිදු වුණ අවාසනාවන්ත හදිසි අනතුරු මරණ අපිට බල කරන්නේ, උදා වුණ වසර බොහෝම සිහිනුවණින් ගත කරන්න කියලයි. පින්වත, අවුරුද්දේ ආරම්භය මහ මඟ සහ දියේ ගිලීමෙන් සිදු වූ මරණ හැත්තෑපහක පමණ කඳුළක් නම්, අවසානය කඳුළු ගංගාවක් නොවීමට අපි වගබලා ගත යුතුයි. පින්වත, ස්වභාව ධර්මයේ අවාසනාවන්ත සිදුවීම් අපිට බල කරන්නේ, ලෝකයාට අවංකභාවය පෙන්වීමට පෙරාතුව, තමා තමාගේ හෘද සාක්‍ෂියට අවංක වෙන්න කියලා. පින්වත, අපේ වචන සහ අපේ ක්‍රියාවෝ හරිම වර්ණවත් වුවත්, අපේ සැඟවුණ අභ්‍යන්තර චේතනාවෝ කළු පැහැයට හුරුයි නේද? පින්වත, ජීවිතය ම පටිච්චසමුප්පාද දහමක් වූ කල්හි, අපි කෙසේ නම් ස්වභාව දහම සමග හැංගිමුත්තම් කරන්න ද? පින්වත, පින පිරිහුණ තැන, අපි මාරයාගේ ප්‍රණීත ගොදුරක් වෙනවා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ