Handugala Sri Chandaselarama Purana Viharaya

Handugala Sri Chandaselarama Purana Viharaya දසබල සේලප්පභවා - නිබ්බාන මහා සමුද්ද පරියන්තා.
අට්ඨංග මග්ග සලිලා -
ජින වචන නදී චිරං වහතූති෴🙏🌼😇
🟦🟨🟥⬜🟧

දුරුතු පොහොය වර්ණනාව...දුරුතු පුන් පොහොය දිනෙක පොහොය පිළිබඳ ඉගෙනීම, උගැන්වීම, පොහොය වර්ණනාව අධ්‍යයනය සැදැහැවත් උවසුවෙකුට...
03/01/2026

දුරුතු පොහොය වර්ණනාව...

දුරුතු පුන් පොහොය දිනෙක පොහොය පිළිබඳ ඉගෙනීම, උගැන්වීම, පොහොය වර්ණනාව අධ්‍යයනය සැදැහැවත් උවසුවෙකුට සිය ධර්මප්‍රීතිය වඩවාගන්නට මහඟු උපකාරයකි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට වසරේ ප්‍රථම මාසය ජනවාරිය යි. පුදුමය නම් දුරුතු පුන් පොහෝ දිනය ම, අප ශාස්තෘන් වහන්සේ මේ දිවයිනට වැඩි ප්‍රථම දිනය වීමයි. සම්බුද්ධත්වය සාක්ෂාත් කළ පළමු වසරේම නව මසක් ගිය තැන අප ලක්දිවට වැඩ මේ පොළෝතලය මේ යුගයේ ප්‍රථම වතාවට බුදු පා පහසින් පවිත්‍ර කිරීම සිහි කරමින් වසරේ මුල්ම පුරපසළොස්වක පොහොය දින සිට ම යමෙක් උපෝසථ සිල් පිරීම අරඹන්නේ නම් එය මොනතරම් ආශීර්වාදයක් ද?

ඉතා ඈත අතීතයේ සිට ම යහපත් මිනිස්සු සෑම දිනකම මෙලොව ඇති සාමාන්‍ය කටයුතු ම නොකොට පොහෝ දිනවල වැඩ අත්හැර උපෝසථය ආරක්ෂා කළහ.

බිම්බිසාර රජුගේ ද ඇරයුමෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපෝසථ දිනයන්හි රැස්ව ගිහි පින්වතුන් වෙත දහම් දෙසන්නට අනුමත කළ සේක. දිනෙක විශාඛා මහෝපාසිකාවට අටසිල් සමාදන් ව මහත්ඵල අයුරින් රකින ආර්ය උපෝසථය පිළිබඳව දේශනා කළ සේක. එවක් පටන් සැදැහැවත් උවසු උවැසියන් පොහෝ දිනවල ආරාමයන්ට රැස්ව සංඝයා වෙතින් දහම් පද අසමින්, අෂ්ටාංග සිල් පුරමින් ප්‍රතිපත්තිගරුක නිෂ්කාමී දිවියක් ගත කළහ.

‘අනුජානාමි භික්ඛවේ, චතුද්දසේ පණ්ණරසේ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතුන්ති’

“මහණෙනි, තුදුස්වක, පසළොස්වක, අඩමසක් පාසා එන අටවක දිනයන්හි රැස් වී (ආරාමයට පැමිණෙන ගිහියන්ට) දහම් දෙසන්නට අනුදනිමි.”

(උපෝසථක්ඛන්ධකය – මහාවග්ගපාළි)

දුරුතු පුන් පොහෝ දා...

සම්බුද්ධත්වය දිනා සත් සති ගෙවා බරණැස මිගදායේ දහම්සක පෙරළා දහම් දුටු සඟ පිරිස දහම් චාරිකාවේ පිටත්කොට භාග්‍යවතුන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවේලාවෙහි වැඩ සිටින කල පෑ තුන්දහස් පන්සියයක් වූ ඍද්ධිප්‍රාතිහාර්ය අතර පස්වැනි ප්‍රාතිහාර්යය ප්‍රථම ලංකාගමනයට පසුබිම සැකසීය. එකල්හි උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයෙහි මහා යාගයක් එළැඹුනි. ‘මේ මහා යාගය මැදට මේ ශ්‍රමණයන් වහන්සේ වැඩියහොත්, ඍද්ධීන් පෑවොත් මා වෙත ගලන මේ සියලු සත්කාර ගංගාව ඔහු වෙත ඇදෙන්නේ ය. අනේ හෙට දින මහා ශ්‍රමණයා නොඑන්නේ නම් ඉතා හොඳ ය.’ කියා සිතක් ඔහුට උපනි.

ලක්දිව අහස් කුස පෑයූ හිරු මඬල...

අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගෙවී ආ ඒ පුන්පොහෝ දින උරුවෙල් කසුප්ගේ සිත දැන ජටිලාශ්‍රමයට නොවැඩ – උතුරුකුරු දිවයිනට වැඩ, එයින් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත විල සමීපයෙහි දී වළඳා එහිම දිවා විහරණයට වැඩහුන් කල්හී අප ලක්දිවවාසීන්ගේ පිනට මේ කුඩා දිවයින ඒ උතුම් බුදු ඇසට පෙනුණේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු පුන් පොහෝ දා බින්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ඉහළ ගුවන් ගැබෙහි පහළ වී හිරු මඬලක් සෙයින් සවණක් ගණ බුදුරැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩහුන් සේක. මහාවංශයේ මෙසේ සඳහන් වේ.

“පඨමං සෝ ඉධාගන්ත්වා – යක්ඛනිද්ධමනං අකා…” “ඒ අපගේ භාග්‍යවතුන්වහන්සේ පළමුවෙන් මේ දිවයිනට වැඩම කොට යක්ෂයින් දමනය කොට වදාළා…”

වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාවෙහි එය ඉතා දීර්ඝව විස්තර කොට පවතී. දැන් මහියංගණ සෑ රජුන්ගේ කොත් කැරැල්ල පිහිටි තැනට ඉහළ අහසේ පත්කඩය අතින් ගත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. ස්වභාවයෙන් ම අති බිහිසුණු, ඝෝර, කර්කෂ, රෞද්‍ර යක් පෙළ දමනයට ඝන අන්ධකාරාදිය මවා සංවේග උපදවා ඔවුන්ගේ අවසරයෙන් මියුගුණ සෑ පිහිටි බිම පත්කඩය අතුරා මේ මහා භද්‍රකල්පයේ සිව්වන වරට ලොව පහළ වී වදාළ අපගේ ධර්මස්වාමී වූ තුන්ලෝකාග්‍ර අසමසම ශාස්තෘන් වහන්සේ පළමුවරට මේ ලක් මහීතලය සුවපත් කරවමින්, පාරිශුද්ධ කරවමින් එහි වැඩ සිටි සේක. ඍද්ධි බලයෙන් පත්කඩයේ වට සීමාවෙන් ගිනි දැල් පිට වී ගියේ ය. යක්ෂ සමූහයා දකුණු දිග මුහුදු තෙරට එක් රොක් වූහ. මහ සයුර රළ දියඹ දෙසට යම් දුරක් ගොස් මහා පවුරක්ව උස්ව නැගුණි. බුදු කරුණා බෙලෙන් මේ ලක්දිව අනාගත මිනිස් වාසයට සුදුසු කරවමින්, එකිනෙකා මරා ගන්නා ඒ රෞද්‍ර ගති ඇති යකුන්ට සමඟියෙන් ප්‍රීතිමත්ව සිටීමට ඉඩ සලසමින් යොදුන් ගණනක් විශාල සශ්‍රීක ‘ගිරි’ නම් දිවයින එහි පමුණුවා – ඔවුන්ගේ කැමැත්තෙන් ම එයට ඇතුළුව ‘අනේ මෙය සොඳුරු බිමකි. ක්ෂේමස්ථානයකි. අපට මෙය ඉතා හොඳ ය.’ යන සිතුවිලි අතර සිටි යක්ෂ සමූහයා සහිත ගිරිදිවයින පෙර තිබූ තැන ම පිහිටුවා වදාළ සේක.

ලක්දිවට සෙත් පතා බුදු මුවින් දෙසූ මහ පිරිත...

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ලංකාදීපය ආරක්ෂා වීමට මෙසේ සෙත් පිහිටවූහ.

“භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැලවූ (පිටත්කර) ඉක්බිති තුන් යලක් පැදකුණු කොට මහා පරිත්ත නම් පිරිතක් කිරීමට ඇරැඹි සේක. එවිට දිවයින්වැසි සුර අසුර කිනුරු නා ආදීහු… දසනඛසමවධානයෙන් (දස ඇඟිලි එක් කොට) බබළන ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ම නමදිමින් සිටියාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිරිත් කොට අණ පිහිටුවා, පෙර හුන් තැනට ම අවුත් එහි වැඩ හිඳ සමවතට සමවන් සේක. උන්වහන්සේ විසින් පිහිටුවන අණ සියලු කල්හි ඔවුන් හට, වැඩ හුන් පත්කඩ මෙන් විය. (ගිනිගෙන ගිනි දැල් විහිදුණු පත්කඩය වෙතින් ඈත් වන්නට ම සිත පිහිටි අතර ඒ දෙස බලන්නටවත්, ඒ දෙසට එන්නටවත් කිසිවිට නොසිතයි. එසේ ලංකාව වෙත ඔවුන්ගේ පැමිණීම වැළකුණි.) භාග්‍යවතුන් වහන්සේ සමවතින් නැඟී එම අස්නෙහිම වැඩහිඳ එහි රැස්ව සිටි සුර අසුර ගඳඹ කිනුරු ආදීනට දහම් දෙසූ සේක. දේශනා කෙළවර නොයෙක් කෙළ දහස් ගණන් සත්වයනට ධර්මාභිසමය විය. සීලයෙහි පිහිටියාහු වනාහී ගණන් ඉම් ඉක්මවූහ.”

(වංසත්ථප්පකාසිනී)

මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ දුරුතු පුන් පොහෝදා යක්ෂ දමනය කොට ලක්දිවට සෙත් පැතූහ.

ඇයි බුදුරජාණෝ ම ශාසනය නො පිහිටවූයේ?...

කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සම්බුදුරජාණන් වහන්සේලා විසින්ම මේ දිවයිනෙහි සම්බුදු සසුන් පිහිටවා සිව්වනක් පිරිස තනවා මහා බෝධිය වැඩමවීමට මැදිහත් වූ නමුත් අප බුදුරජුන් කල එසේ නොවූයේ එවිට මෙහි මිනිස් වාසය නොතිබුණු හෙයිනි. පළමුවර පමණක් නොව බුදුරජුන් ලක්දිව වැඩි අවස්ථා තුනේ දී ම මිනිස් වාසයක් නොතිබුණි.

ලංකාදීපේ ලෝකදීපෝ – මනුස්සාභාවතෝ තදා

ලෝකයට එකම පිළිසරණ වූ අපගේ මහා මුනින්ද්‍රයාණන් වහන්සේ එකල ලංකාදීපයෙහි මිනිසුන්ගේ වාසයක් නොතිබුණු නිසා,

දීපට්ඨං දේවසංඝඤ්ච – නාගෝ සමනුසාසිය
සසංභෝ නභමුග්ගන්ත්වා – ජම්බුදීපං ජිනෝ අගා

ලංකාවාසී දෙව් පිරිසටත්, නා පිරිසටත් ඔවුන්ගේ යහපත උදෙසා අනුශාසනා කොට සංඝයා වහන්සේලා සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගී දඹදිවට වැඩමවා වදාළා.

(මහාවංශය)

ඉහත ගාථා රත්නයෙන් සඳහන් වන්නේ තෙවැනිවර අප බුදුරජුන්ගේ වැඩමවීමට අනතුරු සිදුවීමයි. එසේම පළමුවර ද මිනිස් වාසය නොතිබුණෙන් ලක්දිව මග ඵල ලැබුවෝ, සරණසිල්හි පිහිටියෝ දෙවියෝ සහ නාගයෝ ය.

අසිරිමත් කේශ ධාතූන් වහන්සේලා...

මහියංගණ පින්බිමෙන් ඇසුණු දහම් ස්වරයෙන් සුවපත්ව සෝවාන් ඵලයට පත් වූ අප ලක්දිව සමන්ගිර පව් විමාන අධිගෘහිත මහා සුමන සමන් දෙව්රජාණෝ ඉතා සැදැහැයෙන්, බුදුරජුන් නැති අඩුව පුරවා බුද්ධානුස්සතිය වඩනු වස් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය…

එවිට භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණ ජාල හස්තයෙන් උත්තමාංගය පිරිමැද මිටක් පමණ වූ මෙනේරි මල්වන් නිල්මිණි සුණු අඳුන් පැහැගත් කේශ ධාතූන් ප්‍රදානය කොට පෙරලා උරුවේලාවට ම වැඩි සේක.

මියුගුණ සෑ විකාශය...

සුමන සමන් දෙව්රදාණෝ ඒ නිල්මිණිවන් කේශ ධාතූන් වහන්සේලා රන් කරඬුවෙන් පිළිගෙන (සුවණ්ණචංගෝටවරේන ආදාය) බුදුරජාණන් වහන්සේ වැඩ සිට දහම් අමා වැසි වැස්සවූ බිම රුවන් රැසක් අතුරා ඒ මත දා කරඬුව පිහිටුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් වසා රියන් හතක් උසැති මාණික්‍යමය සෑයකින් බුදුරදුන් පිදූහ.

බුදුරදුන් පහළ වූ පළමු වසරේම ලක්දිව ධාතු සෑයක් බැඳීම මොන තරම් අසිරිමත් ද?...

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි කල සඳුන් දර සෑයේ උණුහුම නිමෙන්නට පෙර අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය, මහාඍද්ධි බලැති සරභූ නම් මහරහතන් වහන්සේ දහසක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සම්බුදු චිතකය පැදකුණු කරන කල්හි ඍද්ධියෙන් ග්‍රීවාස්ථි ධාතුව ගෙන ඒ දහසක් සඟ පිරිස සමඟ අහසින් වැඩ මහියංගණ ඉඳුනිල්මිණි සුවඳවත් ධාතු ගර්භයෙහි තැන්පත් කළ සේක. ඉනික්බිති සීවලී-සුමන යන මහඍද්ධිමත් ළදරු සාමණේර දෙනම ලවා නාග භවනයෙන් ගෙන්වන ලද මේද වර්ණ පාෂාණයන්වලින් දොළොස් රියන් කොට සෑය බැඳවීය.අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩි පසුකලෙක දෙවන පෑතිස් නිරිඳුගේ මලණුවන්, උද්ධචූලාභය කුමරු තිස් රියන් කොට ගඩොලින් සෑය කරවීය. එයින් සියක් වසක් ඇතුළත දුටුගැමුණු මහ රජතුමා අසූරියන් කොට (අඩි 120) මියුගුණ සෑ බැඳවීය.

මියුගුණ සෑ රජුන් ලක්දිව ඉදිවූ පළමු සෑයයි. සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා පෞරාණික සෑ රජුයි.දෙව්රජෙකුගේම මැදිහත් වීමෙන් තැනවුණු සෑයයි. රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ලක්දිව තැනුණු මුල් ම සෑයයි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශාරීරික, පාරිභෝගික ලෙස සදා පවිත්‍ර වූ මහා සෑ රජාණෝයි.

මහා ගණ අඳුරෙන් මිදෙනු වස් පුණ්‍ය ක්ෂේත්‍රය සකසා වදාළ අපගේ ප්‍රාණසම ශාස්තෘවර තුන්ලෝකාග්‍ර ශාන්ති නායකයාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වූ දුරුතු පුන් පොහෝදා ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන, ආමිස ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන් ම පින් පුරන්නට — කුසල් වඩන්නට ඔබ සැමට තෙරුවන් සරණ, මියුගුණ මහසෑ ආශීර්වාදය සැලසේවා!!!...

සාදු සාදු සාදු!!!...

( උපුටාගත් සදහම් ලිපියකි )

01/01/2026

අද දින සිදු කළ අධිෂ්ඨාන පහන් පූජාව 🪔🪔

☸️අද දෙසැම්බර් 31 දවසයි...2025 වර්ෂයේ අවසන් දවසයි...🔷🔸🔸🔸🔸🔶🔸🔸🔸🔸🔷🔷පින්වත් ඔබ සියලු දෙනාටම නිදුක්-නිරෝගී සුවය ලැබේවා! ගුණදම...
31/12/2025

☸️අද දෙසැම්බර් 31 දවසයි...
2025 වර්ෂයේ අවසන් දවසයි...
🔷🔸🔸🔸🔸🔶🔸🔸🔸🔸🔷

🔷පින්වත් ඔබ සියලු දෙනාටම නිදුක්-නිරෝගී සුවය ලැබේවා! ගුණදම් පූරණය කරගැනීමට ශක්තිය නොඅඩුව ලැබේවා!
සියලු දෙනාටමත් සෙතක්-ශාන්තියක්~‍යහපතක්ම වේවා!

🔷අද දවසේ කරන කියන ඔබගේ යහපත් කටයුතු සාර්ථක වේවා! යහපත් සිතුම් පැතුම් ඉටුවේවා! සියළු දුක්-දොම්නස් කරදර-විපත්-අතුරු අන්තරාවන් දුරු වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා!කායික පීඩා මානසික පීඩා නොම වේවා!

🔷අද දවස වගේම අනාගත කාලය සියලු දෙනාටම කරදර දුක්පීඩා විපත් උවදුරු නැති සතුටින් සැනසීමෙන් යුතුව ජීවිතය ගත කිරීමට හැකි පුණ්‍යවන්ත වාසනාවන්ත කාලයක්ම උදාවේවා!

🔷යම් කායික- මානසික රෝගපීඩාවක් වේනම් ඉන් සුවය ලැබී ඔබේ කයටත්-මනසටත් නිදුක්-නිරෝගී සුවයම වේවා!කරන කියන රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා!සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්න ලැබේවා!

🔷තුණුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන්,උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳු , උතුම් ස්වර්ණමාලී මහ සෑරජුන් ප්‍රධාන අටමස්ථාන-සොලොස්මස්ථානවල අනන්ත අනුහසින්,සෝමාවතී හා සෙන්කඩගල වැඩසිටින උතුම් දළඳා වහන්සේලාගේ පිහිටෙන්, ජීවිතයේ සිදුකළ දාන-ශීල-භාවනාමය පින්කම්වල බලයෙන්,අනුහසින් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා!

🔷අපල-උපද්‍රව,සතුරු කරදර බාධක මගහැරී ජීවිතයට සෙතක්-ශාන්තියක්-‍යහපතක්ම වේවා!!!
තෙරුවන් සරණයි!!!

ශුභ නව වසරක් වේවා෴
29/12/2025

ශුභ නව වසරක් වේවා෴

__උඳුවප් පෝය___ශ්‍රී සංඝමිත්තා මහරහත් මෙහණිය ගැන, ලංකා මෙහණෙ සසුන ගැන, ජයසිරි බෝ හිමි ගැන, අනුරාධපුරය ගැන, සිංහල කාන්තා ...
03/12/2025

__උඳුවප් පෝය___

ශ්‍රී සංඝමිත්තා මහරහත් මෙහණිය ගැන, ලංකා මෙහණෙ සසුන ගැන, ජයසිරි බෝ හිමි ගැන, අනුරාධපුරය ගැන, සිංහල කාන්තා ප්‍රබෝධය ගැන, මෙනෙහි කරන හැම බෞද්ධයන් තුළ ම පහළ වනුයේ මහා ප්‍රීතියෙකි. නො මැරෙන සැනසිල්ලෙකි. නො සි‍ඳෙන අධිෂ්ඨානයෙකි. සිංහල වනිතා පක්ෂය පිළිබඳ පැවැති හැම දුර්මතයන් ම බිඳ හැර දමා හෙළ වනිතාවන් ගේ හදවත් තුළ නො පරවන සේ හැඟුම් මල් පුබුදුවා තබා අමරණීය නමක් ලංකා ශාසන ඉතිහාසයට ඇතුළත් කොට ලොව්තුරා පහන් ටැඹේ එළියෙන් නිවන් පුරයට පිවිසෙන විමුක්ති මාර්ගය එළි පෙහෙළි කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහරහත් උත්තමාව ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කළගුණ සැලකීම විශේෂයෙන් සිංහල කාන්තාවන් ගේත් අවිශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ගේත් පරමෝදාර ශ්‍රෙෂ්ඨ යුතුකමකි.

එදා මිහින්තලා කන්දෙන් පැන නැගී ලංකාවේ දස අතට විහිදී ගලා ගිය ශාන්තිනායක අමා මෑණියන් වහන්සේ ගේ නිර්මල ධර්ම ගංගාව නිසා සියලුම සිංහලයෝ බෞද්ධයන් බවට පත් වූ හ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බරවී, අවිද්‍යාවෙන් අඳුරු වී, පැවැති මේ දිවයින උපබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී, ඒ සද්ධර්මාමෘතය පානය කළ සිංහලයෝ බුදු සසුන් හි පැවිදි වන්නට වූහ. එහෙත් මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා ආර්‍ය්‍ය ශ්‍රාවිකාවන් බවට පත් ව සිටි අනුලාවන් ප්‍රධාන සිංහල කාන්තා පක්ෂයට මහණ වන්නට ඉඩෙක් නො ලැබිනි. මිහිඳු මාහිමියන් ගේ අනුදැනීම ඇති ව දෙවන පෑතිස් නිරිඳුන් ගේ ආරාධනයෙන් සංඝමිත්තා ස්ථවිරාවන් ප්‍රධාන භික්ෂුණී සංඝයා ලංකාවට වැඩම කොට අනුලාවන් ප්‍රධාන, සෝවාන් ඵලයට පත් ව සිටි ස්ත්‍රී සමූහයා මහණ කොට ලංකා මෙහෙණ සසුන පිහිටුවන ලදී. සිංහල කාන්තාවන් හට ඒතාක් වැසී තිබුණු ආගමික හා ජාතික නිදහස ලබා දෙමින් ලෞකික වූත් ලෝකෝත්තර වූත් විමුක්තියේ හැම දියුණුවක් ම හෙළි කර දුන් හ. සිංහල කාන්තාවන් ජාත්‍යන්තර කීර්තියට පවා පත් කරවමින් ලොව්තුරා ගුණදම් වගාවේ හිමිකාරියන් බවට පත්කළ හෙළ කතුන්ගේ නළලත රන් තිලකයක් බඳු වූ සිරි සඟමිත් මහ රහත් මෙහෙණියන් ගේ විසිතුරු චරිතාපදානය සිහි කිරීම මෙම ඓතිහාසික උඳුවප් පුනු පොහෝ දිනයෙහි ඉතා ම උචිත වන්නේ ය. උදාර අධිරාජයකු ගේ දයාබර දියණියක වූ එතුමිය රජමාළිගයත් එහි සියලු ඓශ්චර්‍ය්‍යයත් අතහැර දමා ආත්ම පරිත්‍යාගයෙන් යුතු ව සිදු කළ ශාසනික සංග්‍රහය සදානුස්මරණීය සිද්ධියකි. විමුක්ති රසයෙන් ලංකා මාතාව පින වූ ඒ උත්තමාව ගේ අවිනශ්වර කීර්ති රාශියට අනුපමේය මෙහෙයට කෘත ගුණ සැලකීම හැම සිංහල කාන්තාවක ගේ ම පරම යුතු කමෙකි.

ළදරු විය,
සංඝමිත්තා උත්තමාව ගේ දෙගුරුන් පිළිබඳ වූ තොරතුරු මහින්ද පුරා වෘත්තය දැක්වීමෙහි දී විස්තර කොට ඇත. නැවැතත් එය සඳහන් කිරීම අනවශ්‍ය ය. එබැවින් එතුමිය ගේ බාල කාලය පිළිබඳ ව අවශ්‍යයෙන් දැනගත යුතු විශේසයෙන් අපේ බෞද්ධ බාලිකාවන් විසින් ආදර භක්තියෙන් යුක්තව සිහිපත් කළ යුතු කරුණු රාශියක් ඇත. සකල ජම්බුද්වීපය ම ඒකච්ඡත්‍ර නැංවූ ශ්‍රෙෂ්ඨ අධිරාජයකු ගේ දියණියක වූ සංඝමිත්තා කුමරිය ගේ බාලිකා ජීවිතය හැම අතින් ම ආදර්ශ සම්පන්න ය. මනා රූප සම්පත්තියත්, ලලනා ලාලිත්‍යයත්, කාන්තිමත් ප්‍රසාදාවහ දර්ශනයත්, එතුමියට ජන්මයෙන් ම ලැබුණු දායාදයෝ වූ හ. එහෙත් ඇය කිසි විටෙකවත් එයින් උද්දාමවත් නො වූවා ය. ඇය ගේ හැම ඉරියව් පැවැතුම් ප්‍රසාදජනක ය. ආචාර සම්පත්තිය ශෝභන දර්ශනය හා පවිත්‍ර චරිතය හේතු කොට ගෙන සංඝමිත්තා ළදරු කුමරිය දුටුවන්ගේ නෙත් සිත් ඇද ගැනීමෙහි එකතින් ම සමත් වූවා ය. ඉගෙන ගත යුතු අවස්ථාවෙහි මැනැවින් ඉගෙනීමෙහි යෙදීමත් ක්‍රීඩා කළ යුතු අවස්තාවෙහි ක්‍රීඩ‍ාවන් හි යෙදීමත්, ‍විවේකී ව සිටිය යුතු අවස්ථායෙහි හුදකලාව විවේක සුවය විඳීමත්. විනෝද විය යුතු අවස්ථාවෙහි විනෝදවත් වීමත් ඇය ගේ දෛනික ජීවිතයේ දක්නට ලැබුණු ගුණාංගයෝ යි. කුඩා කළ සිට ම පොත පතට මෙන්ම ආගම ධර්මය ට ද ප්‍රිය කළ සංඝමිත්තා කුමරිය මුල සිට නික්ලේශී බෞද්ධ කාන්තාවන් ගේ උදාර චරිතාපදානයන් කියවීමට විශේෂයෙන් සැලකිලිමත් වූවා ය. මහා ප්‍රජාපතී ගෝතමි - යසෝදරා - ඛෙමා - උත්පලවණ්ණා වැනි භික්ෂූණී ශාසනය ශෝභාවත් කළ උත්තමාවන් ගේ චරිත කථා කියවීමට ඇය නිතර ආසා කළා ය. වයස අවුරුදු හත අට පමණ වන විට පවා ඇය තුළ තිබුණු බෞද්ධ ප්‍රබෝධය දකින ඕනෑම කෙනෙකුට වුව ද අනාගතය පිළිබඳ ව විශාල බලාපොරොත්තු ඇතිකර ගැනීමට පහසුවෙන් ම පිළිවන් විය.

තරුණ විය,
දිනෙන් දින ගුණ නුවණින් මෙන් ම මනා රූසම්පතින් ද වැඩෙන සංඝමිත්තා කුමරිය ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තරුණ වියට පත් වූවා ය. රජකුමරියක වශයෙන් පුහුණු කළ යුතු යම් යම් ශිල්ප ශාස්ත්‍රාදියක් වී නම් ඇය එය මැනැවින් ඉගෙන ගත්තා ය. එසේ ම ගෘහණියක වශයෙන් දත යුතු ගෘහ සංවිධානය පිළිබඳ යම් වගකීමක් ඇත්නම් ඇය ඒ කාර්‍ය්‍යයන් පිළිබඳව ද මනා පුහුණුවක් ලැබුවා ය. ඇයට ජන්ම දායාදයක් වශයෙන් ලැබුණු රූපශ්‍රීසම්පත්තිය තරුණ වියේ දී තවත් බැබළෙන්නට විය. ‍එහෙත් එතුමිය කිසිවිටක වත් අභිමානයට හෝ මහේශාක්‍ය භාවයට හෝ හේතුවක් වශයෙන් නො සැලකුවා ය. නිහතමානී පැවැත්මත්, නිරහංකාර බවත්, සමානාත්මතාවත්, චාම් ජීවිත පැවැත්මත්, ඇය ගේ ජීවිතය තුළින් දක්නට ලැබිණ. භද්‍ර යෞවනයෙන් පරිපූර්ණ වූ සංඝමිත්තා රාජදුහිතෘව ධර්ම‍ාශෝක දම්පතින් ගේ මනදොළ සපුරවමින් සොළොස් වියට පා තැබුවා ය.

විවාහ ජීවිතය,
කුඩා කල පටන් නම විරාගික සංකල්පනාවන් ගෙන් යුතු ව වැඩුණු සංඝමිත්තා කුමරිය සො‍ළොස් වියට පිවිසියත් විවාහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙක් නො වීය. එහෙත් හැම මවුපිය කෙනෙකුන් විසින් ම කළ යුතු වූ ශ්‍රෙෂ්ඨ යුතුකමක් නම් සුදුසු අවස්ථාවෙහි දී ස්වකීය දූ දරුවන් ආවාහ විවාහ ජීවිත වලට ඇතුළත් කිරීම ය. ඒ දෙගුරුන් සතු යුතුකම සංඝමිත්තා කුමරිය‍ ගේ දෙගුරුන් වූ ධර්මාශෝක දම්පතීන් විසින් ද ඉටු කළ යුතු ව තිබිණි. ධර්මාශෝක දම්පතීහු ඒ පිළිබඳ සාකච්ඡාවෙක යෙදුණාහ. සිය දියණියට සරිලන සැමියෙකු සෙවීමෙහි ඔවුහු සැලකිලිමත් වූ හ. ධර්මාශෝක දම්පතීනට ඒ පිලිබඳ අමුතු ප්‍රශ්නයක් පැණ නො නැඟිණි. සංඝමිත්තා කුමරිය අමුතු ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නො සිටියා ය. මවුපියන් හට එය ලොකු පහසුවක් විය. ශුභ මුහුර්තාදිය සලකා බලා රාජකීය චාරිත්‍රානුකූලව “අග්ගිබ්‍රහ්ම” නම් කුමාරයෙකු හට සංඝමිත්තා දූ කුමරිය සරණ පාවා දුන්හ. මේ රාජකීය විවාහ ජීවිතය හැම අතින් ම ආදර්ශ සම්පන්න ව ගෙන යන්නට සංඝමිත්තා කුමරිය දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියා කළා ය. සිය පති දේවයාට දැක්විය යුතු යුතුකම් කොටස ඇය ඔහු‍ ගේ නියම සහකාරියක වශයෙන් මැනැවින් ඉටු කළා ය. විවාහ ජීවිතය සාර්ථකවත් වනුයේ පති-පත්නීන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසයත්, පති-පත්නී භක්තියත් මත ය. ඒ අතින් අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සංඝමිත්තා කුමරියත් ආදර්ශ සම්පන්න ය. සමගියෙන් හා සමාදානයෙන් ගෙන ගිය ඔවුන් ගේ විවාහ ජීවිතය අවශේෂ ලෝකයාට ද ආදර්ශයට ගත හැකි ය. බෞද්ධ සාහිත්‍යයේ එන නකුලමාතා - නකුල පිතා යන දම්පතීන් මෙන් සංඝමිත්තා කුමරිය සහ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් ඉතා ම වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කළ හ. ගෘහ ජීවිතයේ උතුම් පරමාර්ථය වනුයේ වංශ පරම්පරා‍ව නොසිඳ පැවැතමට සමත් දරු සම්පත්ති ය යි. මේ රාජකීය දම්පතීන් ගේත් ඒ මුඛ්‍ය පරමාර්ථය සර්වප්‍රකාරයෙන් සාර්ථකවත් බවට පත් කරලීමට සමත් පුත් රුවනක් ඔවුනට ලැබුණේ ය. මවුපියන් ගේ සිත් සතන් අතිශයින් ප්‍රසන්න බවට පත් කරවමින් උපන් මේ කුඩා කුමරුවාට සුමන යන ප්‍රියකරු නාමය තැබූ හ. රාජකීයයන් ගේ දැඩි ප්‍රේම සම්බන්ධයත් ගෘහවාසයත් ස්ථිර බවට පත් කරවන් ප්‍රධාන මාර්ගයක් වශයෙන් මේ පුත්‍ර ලාභය සඳහන් කළ හැකි ය. එහෙත් මේ දම්පතීන් ගේ ජීවිත තුළින් දර්ශනය වූයේ එයට හාත්පසින් ම විරුද්ධ වැඩ පිළිවෙළකි.

මේ කාලය වන විට අශෝක රජතුමාගේ අභිෂේකයෙන් සිවුවන වස සම්පූර්ණ විය. එතුමා කාලිංග යුද්ධයෙන් පසු ව චිත්ත වේදනාවෙන් සිටින විට සත් හැවිරිදි ‍න්‍යග්‍රොධ සාමණේරයන් ගේ දර්ශනයෙන් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර පරිත්‍යාගයන් හි යෙදුණේ ය. ස්වකීය රාජ්‍ය තන්තුයේ මෙන් ම ස්වකීය ජීවිතයේත් විශාලත ම පරිවර්තනයනක් නොබෝ කලෙකින් ඇති විය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කළ හැකි හැම සේවයක් ම නො අඩුව ඉටු කෙළේය. ලාභලෝභ ලබා ගැනීමෙහි අපේක්ෂවෙන් බුදු සසුනට හොර රහසේ ඇතුළු වී ශ්‍රමණ වෙස්ගෙන සිටි විවිධ තීර්ථකයන් සසුනෙන් ඉවත් කරවීමට මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් එතුමා විසින් ධර්ම සංගායනාවක් කරවන ලදී. ශාසනය පිරිසිදු වීමෙන් පසු නැවැතත් බැබළෙන්නට වයි. ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත ධර්ම දූතයන් යැවීමට ද කටයුතු සංවිධානය කෙළේ ය. නව ශාසන සංශෝධනයෙන් පසු බුදු සසුන් හි නොයෙක් තරාතිරම් වල අය පැවිද් වන්නට වූහ. උපරාජ පදවිය අතහැර ධර්මාශෝක අධිරාජයාගේ සහෝදර තිස්ස කුමාරයාණෝ එතුමා ගෙන් අවසර ගෙන සසුන් ගත වූහ. එතුමා සමග සසුන් ගත වූ ජන සංඛ්‍යාව ඉතා විශාලය හ. යුවරජතුමා‍ ගේ පැවිදි වීමෙන් පසු සංඝමිත්තා කුමාරිය ගෙන් අනුමැතිය ලැබ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද සසුන් ගත විය. සිය පති දේවයන් ගේ පැවිදිවීම පිළිබඳ ව සංඝමිත්තා කුමරිය තුළ අමනාපයක් නො වී ය. ඇය ඔහු ගේ උදාර අධ්‍යාශය අවංක හෘදයෙන් ම අනුමත කළා ය.

නොබෝ කලකින් සංඝමිත්තා කුමරිය ගේ දයාබර පුතණුවන් වූ සුමන කුමාරයාත් සත් හැවිරිදි වියට පිවිසෙනවාත් සමග ම සසුන පැවිද්ද ලැබී ය. අනූහය කෝටියක් ධනය වියදම් කොට සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයට උපහාර වශයෙන් සුවාසූ දහසක් වෙහෙර විහාර කොටත් හිමි නො වූ සාසන බන්ධුත්වයට සිය පියාණන් වහන්සේ පත් කරවනු පිනිස මහින්ද කුමාරයාණෝ බුදු සසුන් හි පැවිදි බව ලැබූ හ. ඒ පිළිබඳ විස්තර පොසොන් පෝය පිළිබඳ කොටසේ දී දක්වා ඇත. එයින් බලා දත මැනැවි.

පැවිදි බව ලැබීම,
කුඩා කළ පටන් විරාගික හැඟීම් විලින් පිබිදී සිටිය සංඝමිත්තා කුමරියට ලෞකික සැප සම්පත් තව දුරටත් විඳීමට අවශ්‍යතාවක් නො වී ය. ස්වකීය සැමියාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සිය පුත් සුමන කුමාරයාත් සහෝදර මහින්ද කුමාරයාත් සසුන් හි උතුම් පැවිදි බව ලැබූ හෙයින් සංඝමිත්තා කුමාරිය ගේ අපේක්ෂාව වනුයේ ද පැවිදි වීමට ය. ඇය ගේ උදාර අධ්‍යාශය පිය රජතුමා හට දැන්වී ය. අශෝක චක්‍රවර්තීන් සිය අනුමැතිය ඒ සඳහා දුන්නේ ය. ආයුපාලි නම් මහරහත් මෙහෙණින් වහන්සේ ගේ ආචාර්‍ය්‍යයත්වයෙන් හා ධම්මපාලා නම් මහරහත් මෙහෙණින් වහන්සේ ගේ උපාධ්‍යායයත්වයෙන් සංඝමිත්තා කුමරිය භික්ෂුණී ශාසනයෙහි පැවිදි වූවා ය. මහා ආත්ම විශ්වාසයකින් හා චිත්ත බලයෙකින් යුක්ත ව ක්‍රියා කළ සඟමිත් තෙරණිය නොබෝ කලෙකින් ම සව් කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත් වූවා ය.

ලංකා ගමන,
මිහිඳු මහරහත් මාහිමියන් ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂය යි. ඔවුහු සසුන් හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවන පෑතිස් නිරිඳුන් ගේ මාර්ගයෙන් උපබුදු මිහිඳු මාහිමියනට දැන් වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නො හැකි බවත් ඒ සඳහා සිය නැගණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළ හ. එය ඇසූ දෙවන පෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන් හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්‍ය්‍යය සඳහා භික්ෂුණී සංඝයා ලංක‍ාවේ නො මැති හෙයින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේ ම පෙර තුන් බුදුවරයන් වහන්සේලා ගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිට දුන් බෝධි රාජයා ගේ ශාඛාවක් ද එවනු මැනවි” මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුනු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූ හ. ටික දිනකින් එහි ගිය ලාංකික ‍රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්වා සංඝමිත්තා මහරහත් මෙහෙණිය ද හමුව සිය සොහොවුරු මිහිඳු මාහිමියන්ගේ පණිවුඩය සැළ කළ හ. එහෙත් සිය පුතාත් මුණුබුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටිය ධර්‍මාශොක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුල දී එතරම් කැමැත්තක් නො දැක්වී ය. පසුව එතුමාට සඟමිත් මාතාව කරුණු විස්තර කර දුන්නේ මෙසේ ය.

“පියාණෙනි! මගේ සහෝදරයන් වහන්සේ ගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලා ව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතු යි. මගෙන් උදාර සේවාවක් ලංකා වාසීනට සිදු වනු ඇත” යනුවෙන් ඇය පැවසුවා ය. එය ඇසූ දම්සෝ නිරිඳුන් “දිය‍ණියෙනි, එසේ නම් වඩිනු මැනැවි. මගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිස වේවා. එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමග ම බෝධිරාජයා ගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙළ කොට දෙන්නෙමි”යි කී හ. මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් උත්තමාවන් භික්ෂුණී සංඝයා සමග පිරිවර සහිත ව ලංකාවට එවීමට සූදානම් කරවී ය.

අධිෂ්ඨාන පස,
ධර්‍මාශෝක අධිරාජයා රජ මාළිගාවෙහි මහා සංඝයා විෂයයෙහි දන් පිරිනමා අවසනැ මහා‍ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැ යි මෝගගලීපුත්තතිස්ස මහරහතන් මාහිමියන් ගෙන් විමසී ය. එය ඇසූ මොග්ගලීපුත්තතිස්ස මාහමියෝ බෝධි ශාඛාව ලංකාව යැවිය යුතු යැ යි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පස රජතුමාට දේශනා කළ හ.

ලංකාවෙහි ‍රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට ‍අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන් ම ගැළ වී රන් කටාරමෙහි පිහිටා වා.
බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැද සිටී වා.
සත් දිනකට පසු නැවැත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන් ගෙන් හා ඵලයන් ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේ වා.
දෙවන පෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන කල්හ් යමාමහ ප්‍රාතිහාර්ය කෙරේ වා.
ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් රුවන්වැලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධ වේශය ගෙන අහසට පැන නැගී යමා මහ පෙළහර කෙරේ වා.
යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් ඇ‍‍ඳේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළ හ’ යනුවෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ රජතුමාට සිහිපත් කරවූ හ. ඒ ඇසූ රජතුමා අතිශයින් සතුටු ව පැළලුප් නුවර පටන් බෝධීන් වහන්සේ දක්වා සත් යොදුන් මග සැරසවී ය. රන් කටාරමක් ඒ සඳහා පිළියෙළ විය. රජතුමා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියේ ය.

මහ බෝ පෙළහර,
දහස් ගණන් මහ රහතන් වහන‍්සේලා ද අභිෂේක ලත් රජ දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් ද අප්‍රමාණ ජන සමූහයක් ද බෝධීන් වහන්සේ වෙත රැස් ව සිටිද්දී අශෝක අධිරාජයා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා ඇඳිලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙනෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය ද ඉතිරි කොට තබා සියලුම ශාඛාවෝ අන්තර්දාන වූ හ. මේ අසිරිමත් පෙළහර දුටු රජතුමා අතිශය ප්‍රීතියට පත් ව දඹදිව රාජ්‍යයෙන් පුදමි යි අභිෂේක කෙළේ ය. නැවත සුගන්ධාදිය පූජා කොට තුන් යලක් පැදකුණු කොට අට තැනක දී ඇඳලි බැඳ බෝධිය ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කොට සත්‍යක්‍රියා බලයෙන් බෝධිය ගනු පිණිස මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රන් කටාරම තබ්බවා, රුවන් පුටුවකට නැගී රන් තෙලි කූරක් ගෙන ශාඛායෙහි ‍ඉරක් ඇඳ, “මේ බෝධි ශාඛාව ලක්දිවට යා යුතු නම්, මා සර්වඥ ශාසනයෙහි විමති රහිත නම්, මේ බෝධි ශාඛාව තමා ම බිඳී රන් කටාරමෙහි පිහිටා වා”යි සත්‍ය ක්‍රියා කෙළේ ය. මේ සත්‍යක්‍රියාව අවසානයෙහි බෝධි ශාඛාව තමා ම අයත්නයෙන් සිඳී රන් කටාරම මත්තෙහි පිහිටියා ය. එය දුටු රජතුමා ඇතුළු මහා පිරිස ප්‍රීති ඝෝෂා පැවැත් වූ හ. මහා සංඝයා වහන්සේ සාධු නාද කළ හ. බෝධි ශාඛාව මුල් සියයකින් කටාරමෙහි පිහිටියා ය. මහ පොළොව කම්පා විය. නා නා ප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය පහළ විය. මිනිස් දෙව් බඹුන් ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව් තලය ඒකා කෝලාහල විය. බෝධි ශාඛාවේ ඵලයන් ගෙන් හා පත්‍ර වලින් සවණක් රැස් විහිදෙන්නට විය. රජතුමා නැවැතත් බෝධිය රාජ්‍යයෙන් පුදා රාජ්‍යයෙහි අභිෂේක කොට මහා බෝධි පූජා පැවැත් විය.

‍අශෝක අධිරජතුමා බෝධීන් වහන්සේ ආරක්ෂා කරනු පිණිස පරිවාර සෙනගත් ඇති ව ගංගා නම් නදියෙහි සරසන ලද නැවට බෝධීන් වහන්සේ නංවා එකොළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා ස්ථවිරීන් වහන්සේ ත් මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිසත් නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාමලිත්ති නම් තොට ට පැමිණියේ ය. එහි දී දෙවියෝත් නාගයෝත් මනුෂ්‍යයෝත් උදාර පූජාවෙන් බෝධි රාජයා පුදමින් සත් දවසින් ම එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවැතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධිරාජයා ඔසවා ගෙන ග්‍රීවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කෙළේ ය. සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේලාත් මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසත් නැවට නංවා මෙසේ ප්‍රකාශ කෙළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මගේ මිත්‍ර රජතුමා ද එසේ ම කෙරේ වා” යනුවෙනි.

මහා පෙරහැරින් නැව් නැංවූ මේ රාජකීය සම්භාවනීය පිරිස ‍හා බෝධි ශාඛාවත් අතර මග දී දෙවියන් ගේ හා නාගයන් ගේ නොයෙක් පූජා බලමින් උඳුවප් පුර පසළොස්වක් පොහෝ දා ලක්දිව දඹකොළ පටුනට පැමිණිය හ. නැව වෙරළට ළං වූ පසු රජතුමා ග්‍රීවය තෙක් ජලයට බැස සොළොස් කුල ජනයන් සමග බෝධි ශාඛාවත් සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව පිළිගෙන පසුව රාජකීය සම්මාන සහිත ව මහ පෙරහරින් අනුරාධපුර මහ මෙවුනා උයන වෙත කැඳවා ගෙන ගියේ ය.

ජයසිරි බෝ හිමි,
ශ්‍රී සංඝමිත්තා මහරහත් උත්තමාවගේ වැඩමවීමෙන් සිදු වූ දෙවැනි ප්‍රතිඵලය නම් ජයසිරි බෝ හිමි ශාඛාවක් ලංකාවට ලැබීම ය. සිරිමා බෝරදුන් බුදුන් වහනසේගේ ආත්ම විමුක්තියේ විජයග්‍රණය මුළු ලෝකයට ප්‍රදර්ශනය කරන සංකේතයකි. සිංහල ජනවංශයේ සකල පුණ්‍ය ඵලයක් ම එක් තැනක පල ගත් කලක් මෙන් ලංකා ධරණී තලයේ එනම්, අනුරාධපුර අපරාජිත ශුද්ධ භූමියේ ඒ මහා ජය භූමියේ ජය සිරි බෝ හිමි මුල් බැස ගියේ ය. මුළු ලෝකයේ ම තිබෙන ‍ඓතිහාසික පැරැණිතම වෘක්ෂ රාජයාණන් වූ ද සිංහල බෞදධයන් ගේ ශ්‍රෙෂ්ඨතරම පූජනීය වස්තුව වූ ද සිරි මා බෝ හිමි ලක්දිවට වැඩම වීම පිළිබඳ මංගල පුවත සිදුවුණු උඳුවප් පොහොය ශ්‍රෙෂ්ඨ ආගමික දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලෝකයේ සිදුවුණු ඓතිහාසික අපූර්වතම සංග්‍රාමයක තොරතුරු ලෝකයා හමුවේ කියා පාන එනම්. බුද්ධත්වය පිළිබඳ ශ්‍රෙෂ්ඨ පණිවුඩය සමස්ත ‍ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන ජය සිරි මහ බෝ හිමියන් ගේ දකුණු ශාඛාව ලක්දිවට ලැබීමත් මේ දක්වා එය නිර්මලව ආරක්ෂා වීමත් සිංහල බෞද්ධයන් වූ අප ගේ මහා වාසනාවකි. බුදුරජාණන් වහන්සේ ගේ නිකෙලෙස් සිරුරේ සිසිල් පහස ලත් බෝ හිමි පාරිභෝගික චෛත්‍යයකි. ජය සිරි බෝ සමිඳුන් හට කලින් කල යෝනකයන් ගෙන් හා හින්දුන් ගෙන් සිදු වූ අතවර බොහෝ ය. එහෙත් එය කල්පාන්තය තෙක් නො නැසිය හැකි ය. දඹදිව ගයාවේ අද පවත්නේ එදා බුදුරදුන් පිට දීමෙන් පරම පූජනීය බවට පත් මහා බෝධිය නො වැ විනාශයට පත් කිරීමෙන් පසු ඇතිවුණු අංකුරයෙකි. එහෙත් ධර්මාශෝක අධිරාජයා ගේ දවස වන තෙක් එය නිර්මල ව නිරුපද්‍රිත ව බැබළුණේ ය. දෙවන පෑ තිස් නිරිඳුන් දවස ලක්දිවට ලැබුනේ ඒ නියම බෝධියේ ශාඛාවෙකි. මෙසේ සලකන කලැ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ වෙසෙන සිරිමා බෝ හිමි අද දඹදිව තිබෙන බෝධි රාජයාට වඩා පැරණි ද පූජනීය ද වෙයි.

භක්ති පූජා,
අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි පෙර තුන් බුදුවරයන් ගේ බෝධි ශාඛා පිහිට වූ ස්ථානයෙහි රෙහෙණ නැකතින් පෘථිවියෙහි බෝධි ශාඛාව පිහිටා වදාළා ය. එකෙණෙහි ම මිහිකත තොමෝ සාධුනාද දෙන්නාක් මෙන් කම්පා වූවා ය. සවණක් බුදුරැස් විහිදුවමින් සිදු වූ අසිරිමත් පෙළහර දුටු දෙවන පෑතිස් නිරිඳුන් එයට උපහාරයක් වශයෙන් ලක් රජයෙන් බෝධි ශාඛාව පිදී ය. අනුරපුර ජය බිමේ ජයසිරි බෝ හිමි මුල් බැසගති. සිරිමා බෝ හිමි ලක් පොළොවේ මුල් බැස ගියා පමණක් නො වැ එය සිංහල ජාතියේ ද, සිංහල දේශයේ ද මුල් බැස ගියේ ය. ජයසිරි මහ බෝ හිමියන් ගේ සිසිල් පහස ලබා එන සීතල සුළං රැළි පවා බොදු බැතිමතුන් ගේ ගතට සිතට සැනසිල්ලක් ලබා දෙයි. දෙවන පෑතිස් නිරිඳුන් ගෙන් ආම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු - භාතිය - ධාතුසේන - අඹහෙරණ - සලමෙවන් - දෙටුතිස් ආදී පශ්චාත් කාලීන රජවරුන් විසින් ද මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව පවත්වා තිබෙන අයුරු අපේ ශාසන ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. අද පවා අනුරපුරේ තිබෙන ශ්‍රී ජය බෝධි රාජයා හට ලංකා වාසී බෞද්ධ ජනතාව දක්වන ගෞරවය අසීමිත ය. ලක්ෂ ගණන් බැතිමතුන් ගේ සැදැහැබැති වඩවන ජය ශ්‍රී මහ බෝධි රාජයා සිංහල ජාතියේ ප්‍රෞඩත්වය මැනැවින් ආරක්ෂා කර දෙන්නේ ය.

ශාසනික සේවය,
මහත් ආත්ම ශක්තියකින් හා ආත්ම බලයකින් යුත් සංඝමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගය සිංහල ජාතිය පවත්නා තාක් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවතිනු ඇත. ලාංකික කාන්තාවන් ගෙන් කිසිදු ගෞරවයක බලාපොරොත්තු නො වී හුදු කරුණාවෙන් ස්වදේශය හැර දමා විදේශගත ව අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය වනිතාවන් ගේ හද තුළ තැන්පත් වී ඇත. සංඝමිත්තා මහ රහත් උත්තමාව නිසා ලංකාවට රහත් මෙහෙණින් පිරිසක් ඇති වූවා පමණක් නො ව එතුමිය ගේ මාර්ග දේශකත්වය නිසා ම ශ්‍රෙෂ්ඨ සිංහල වනිතාවන් රැසක් පහළ වූ හ. විහාරමහාදේවි වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්තියෙන් හා දේශමාමකත්වයෙන් යුත් වීරවරියන්, ලීලාවතී - කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජ මෙහෙසියන්, ඇහැළේපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, හේමාවන් වැනි ගුණ නුවණින් යුත් වනිතාවන් මේ රටේ පහළ වූයේ නම් මතුවට පහළ වන්නේ නම් ඒ සංඝමිත්තා මහරහත් උත්තමාව‍ ගේ අනුපමේය සේවයේ විශිෂ්ට ඵලය නිසා ය. ලංකා භූමියේත් සිංහල කාන්තා ප්‍රගතියේත් එක් එක් අංශය ගෙන බලත් බලත් සඟමිත් මාතාව නිසා බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නො වුණු එක ද අංශයක් හෝ ඇතැ යි කිව නො හැක. සිංහල කාන්තා ඉතිහාසයේ ස්වර්ණ යුගයක් යැ යි නම් කළ හැකි යම් යුගයක් වේ නම් ඒ සියල්ලම සඟමිත් මාතාව ගේ ශ්‍රී නාමයට බැඳී එක් ව ඇති ණයගැති භාවය පිළිබඳ නො නැසෙන සිහිවටනයෝ වෙති. නොයක් ග්‍රන්ථ කාරණයෙහිත් ධර්මදූත සේවාවන්හිත් යෙදුණු සිංහල භික්ෂුණීන් පිළිබඳ වැදගත් ප්‍රවෘත්ති ඉන්දියා ඉතිහාසයෙහි සඳහන් ව ඇත. වරක් පිරිහී ගිය චීන භික්ෂූණී ශාසනය නැවතත් ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්ෂුණීන් විසිනි. මෙසේ ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙමින් සිංහල භික්ෂුණී සංඝයා විසින් උදාර සේවාවක් සිදු කරන ලදී. මේ ‍රටේ ශාසනික සංවර්දනය සඳහා විශාල සේවයක් සංඝමිත්තා මෙහෙණියගෙන් සිදු විය. දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකා භික්ෂුණී ශාසනය විශාල වශයෙන් දියුණු වී තිබිණි. සාමයික වශයෙන් හෝ වේව යි, සාමාජික වශයෙන් හෝ වේව යි, ආර්ථික වශයෙන් හෝ වේව යි යම් උච්චස්ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම් ඒ සියල්ල ම ශ්‍රී සංඝමිත්තා උත්තමාව ගේ උද්දීප්ත යුගය සිහිපත් කරන සංකේතයන් යැ යි කීම පිළිබඳ ව නැඟිය හැකි විරෝධයක් නැත. මැදහත් මාවත ඔස්සේ සමාජවාදය කරා ගමන් කරන මැදහත් රජයක් නියෝජනය කරන ලෝක ජාතීන් ගේ මහ මුළුව ඉදිරියේ සිංහල රටේත් සිංහල දේශයේත් සිංහල ජාතියේත් උදාරත්වය ප්‍රදර්ශනය කරන්නට ලෝක ශාන්තිය පිණිස අහිංසා ධර්මයේ ජයසංඛ නාදය සමස්ත ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරවන්නට හැම අතින් ම ප්‍රබල ලෝක ඉතිහාසයේ අභිනව පරිච්ඡේදයක් ගොඩ නැං වූ රාජ්‍ය නායිකාවන් මේ රටේ කලින් කල පහළ වනුයේ සංඝමිත්තා රහත් මෙහෙණිය විසින් උදාකළ ස්වරණමය නිදහස නිස යි. සිංහල කාන්තා පක්ෂයට පරාභවය පිළිබඳ නිදි යහනින් නැගිට සෞභාග්‍යයේ අරුණෝදයෙන් ප්‍රබෝධවත් වන්නට හැකි වූයේ එතුමිය විසින් හෙළි පෙහෙළි කර දුන් විමුක්තියේ රජත මාර්ගය නිසා බව හැම හෙළ කාන්තාවක විසින් ම මහත් ගෞරව නමස්කාරයෙන් යුක්ත ව සිහිපත් කළ යුතු යි.

සිහිවටනය,
මෙසේ සිංහල කාන්තා පක්ෂය පිළිබඳ කළ හැකි හැම සේවයක් ම නො අඩුව ඉටු කොට එකුන් සැටවියේ දී උත්තිය රජු ගේ රාජ්‍යයෙන් නව වැන්නෙහි සිංහල වනිතා සමාජය ආලෝකවත් කළ මිණි පහන හත්ථාල්හක මෙහෙණවර දී නිවී ගියා ය. සිවුවන මහින්ද ගෙන් පසු එනම්, දශම ශතවර්ශයනේ පසු ලංකා මෙහෙණ සස්නට සිදු වූ අභාග්‍යය පළ කරන්නට මෙන් නො වේ නම් සිංහල කාන්තාවන් ගේ කෘතවේදීත්වය ලෝ හමුවේ ප්‍රදර්ශනය කරන්නට මෙන් එසේත් නැතිනම් “අහෝ සියලු සකරදම්හු අනිසයහ” යන තිලෝගුරු බුදු වදන අපට සැබෑ කරවන්නාක් මෙන් ථූපාරාමය අසළ දුක් මුසු සිහිවටනයක් අද ද දක්නට ඇත. සිංහල වනිතාවට නිදහස් ලෙස සිතන්නටත් ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමටත්, එතුමිය දුන් උරුමය හා වර්ෂ දෙදහස් ගණනක් මුළුල්ලෙහි ඒ පිළිබඳ ව ඔබ තුළ ඇති පුරුද්ද අදත් හදවතට නගා ගත යුතු ය.

බාලිකාවනට,
ශ්‍රී සංඝමිත්තා ‍උත්තමාවගේ චරිතාපදානය ඉතා විසිතුරු ය. ඇය ගේ බාලිකා ජීවිතය - තරුණ ජීවිතය - විවාහ ජීවිතය හා පැවිදි ජීවිතය උදාර හැඟීම් වලින් හා ශාන්ත ගති පැවතුම් වලින් පිරුණු ආදර්ශ පිණ්ඩයෙකි. අද නොයෙක් විෂම අදහස් වලින් පිරුණු චරිත සංවර්ධනයට නො වැ හුදෙක් ම චරිත දූෂණයට හේතු වන විවිධ පොත් පත් සඟරාදිය කියවන කුඩා - තරුණ බාලිකාවනට පාසල් පොතක් වශයෙන් සංඝමිත්තා චරිතය කියවන්නට ඉඩ පහසුකම් ඇතිකර දුන්නොත් උදාර සේවයක් එයින් සැලසෙනු ඇත. ආගමික භක්තිය, ජාතික මමත්වය, සිංහල සංස්කෘතිය, සිංහල ශිෂ්ටාචාරය ආදිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බටහිර සිරිත් විරිත් අනුකරණය කරමින් ජීවත් වන බොහෝ බාලිකාවනට බෞද්ධ ශ්‍රාවිකා පාළියේ එන උදාර ආධ්‍යාශයන් ගෙන් පිරුණු උත්තමාවන් ගේ විශිෂ්ට ආදර්ශවත් චරිතාපදානයන් කියවන්නට පහසුකම් ඇතිකරලීම මේ රටේ සංස්කෘතිය ගැන ආදරයක් ඇති ගුරු දෙගුරු හැම දෙනා ගේ ම ශ්‍රෙෂ්ඨ යුතුකමක් වශයෙන් සැලකිය යුතු ය. නිකළැල් චරිත ශුද්ධියත්, නිහතමාන බවත්, නිරහංකාර පැවැත්මත්, වනිත‍ා ජීවිතය සරසන ගුණාංගයෝ වෙති. බාහිර අලංකාරයට වඩා ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුත් ජීවිතයක ඇති අගය සංඝමිත්තා චරිතාපදානයෙන් මැනැවින් අවබෝධ කර ගන්නට හැකි ය. විනීත ගුණගරුක් බාලිකාවන වනු කැමැති අපේ කුඩා තරුණ බාලිකාවන් විසින් මහත් ආදර භක්තියෙන් යුතු ව සංඝමිත්තා උත්තමාව ගේ ශ්‍රී නාමය සිහිපත් කල යුතු ය.

තවද, ඈත අතීතයේ සිට ම අපේ සිංහල බෞද්ධයෝ පදවීතිහාර පුණ්‍ය ක්‍රියාවන්හි බොහෝ ගෞරවයෙන් යෙදෙති. තුණුරුවන් පවත්නා පූජනීය ස්ථානයකට ශ්‍රද්ධාවෙන් යුක්තව යෑම පදවීතිහාරය යි හෙවත් ධර්ම යාත්‍රාව යි. එය බුදු - පසේ බුදු - මහරහතන් ආදී උතුමන් විසින් අනුගමනය කරන ලද සම්‍යක් ක්‍රියා මාර්ගයකි. අශෝක අධිරාජයා ද මෘගයාත්‍රා පිණිස යෙදූ කාලය ධර්‍මයාත්‍රා පිණිස යෙදූ සැටි ශිලා ලිපි වලින් හා අනුශාසනා ලිපි වලින් හෙළි වෙයි.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන සිරිපා වන්දනාව පිණිස අපේ සිංහල බෞද්ධයෝ වසරෙහි අගට එළඹෙන උඳුවප් පෝය වෙන් කරගෙන ඇත්තා හ. උඳුවප් පෝයෙන් ආරම්භ කරන සිරිපා වන්දනාව වෙසක් පෝයෙන් අවසන් කරති.

________________________

ශාස්ත්‍රවේදී පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර ස්ථවිරපාදයන් වහන්සේ රචිත “පොහොය වර්ණනාව” කෘතියෙන් උපුටා ගැනීමකි.

ධර්ම දානයක් ලෙස සලකා බෙදාහරින්න.
තෙරුවන් සරණයි.
🙏🏼🙏🏼🙏🏼

Address

Handugala
Pothuhera
60330

Website

Alerts

Be the first to know and let us send you an email when Handugala Sri Chandaselarama Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Handugala Sri Chandaselarama Purana Viharaya:

Share