16/02/2026
නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසලේ අභිමානවත් 40 වන සංවත්සරය - මාණික්‍ය ජයන්තිය අදයි!
"මානිවත්ත අභික්ඛම - නොනැවතී ඉදිරියට" යන බුදු වදන ආදර්ශ පාඨය ලෙස ගෙන කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 45 වන දහම් පාසල ලෙස, 1986 පෙබරවාරි මස 16 වන දින, සිසු දරු දැරියන් 250 දෙනෙකුගෙන් හා ගුරු මණ්ඩලය 8 දෙනෙකුගෙන් ආරම්භ කරන්නට යෙදුණු නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසල් මාතාවට අද දිනට වසර 40ක් සපිරෙයි.
වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඇරඹි, හිටපු ප්‍රධානාචාර්ය පූජ්‍ය පිටිගල පඤ්ඤාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟපෙන්වීමෙන් ස්වර්ණමය යුගය කරා පියමන් තැබූ මෙම දහම් පාසල, අද වන විට දරු පිරිස 500 පමණ දක්වාත්, ආචාර්ය මණ්ඩලය 25 දක්වාත් වර්ධනය වී, පරිපාලන ව්‍යුහය අංශ 14ක් යටතේ විධිමත්ව වත්මන් ප්‍රධානාචාර්ය පූජ්‍ය බුලත්සිංහල ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
🌀අප ආ ගමන් මගේ ස්වර්ණමය සන්ධිස්ථාන:
🔸ආරම්භයේ පටන් කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථාන පහ අතර රැඳෙමින්, 2003, 2005 හා 2018 වර්ෂයන්හී දී අනුශූරතාව ද, 2016, 2017 වර්ෂයන්හීදී ශූරතාව මෙන්ම 2019 සිට 2025 දක්වා අඛණ්ඩව කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ශූරතාව දිනා ගැනීමය අප දූ දරුවන් සමත් වූහ.
🔸අවසන් දශකයේ දී තුන්වරක් (2016, 2017 හා 2024) දිස්ත්‍රික් ශූරතාව දිනූ කොළඹ දිස්ත්‍රික්කයේ එකම දහම් පාසල නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසලයි. 2024 වර්ෂයේදි කොළඹ දිස්ත්‍රික් ශූරතාව දිනූ අප දහම් පාසල අතිපූජ්‍ය කිතලගම හේමසාර නා හිමි අනුස්මරණ අභියෝගතා කුසලානය පළමුවරට ජයග්‍රහණය කිරීමද අභිමානයෙන් සිහිපත් කරමු.
🔸2024 වර්ෂයේදී දිවයිනේ සියළු දහම් පාසල් අතරින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට ඔසවා තැබුමට අපගේ දූ දරුවන් සමත් වීම අප ලද විශිෂ්ටතම ජයග්‍රහණයයි. මාණික්‍ය ජයන්තිය සමරණ මේ මොහොතෙත් සමස්ත ලංකා ශූරයෝ ශ්‍රී ආනන්දයයි.
🔸 ලෝක ප්‍රජාවම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මොහොතක පවා, නව තාක්ෂණය මුසු කරගනිමින් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ දහම් පාසල නොකඩවා පවත්වාගෙන යමින් දරු දැරියන්ගේ දහම් පිපාසය සංසිඳුවීමට අප කටයුතු කළ බව සිහිපත් කරනුයේ අභිමානයෙනි.
🔸 40 වසරක ප්‍රගමනය සනිටුහන් කරමින්, විශ්ව ගම්මානයට පිය නගන දූ පුතුන් උදෙසා 2026 වසරේ දී නිවන්තිඩිය ශ්‍රී ආනන්ද ඉංග්‍රීසි දහම් පාසල (Niwanthidiya Sri Ananda English Dhamma School) ආරම්භ කිරීම, අප අත්පත් කරගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
ආරම්භයේ පටන් ශ්‍රී ආනන්ද දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළා වූ මහා සංඝරත්නයටත්, ආචාර්ය මණ්ඩලයටත්, දහම් පාසල් සංවර්ධන සමිතිය ඇතුළු සියලුම දායකකාරකාදීන්ටත් මෙම පුණ්‍යවන්ත මොහොතේ අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමු.
ලක් මවගේ ජීවනාලිය වන්, ගුණගරුක දරු පරපුරක් ශ්‍රී ආනන්ද දහම් පාසල මාතාවගේ සෙවණ තුළින් තව තවත් බිහිවේවා!
#මාණික්යජයන්තිය