13/08/2026
🔴 කඳුකරයේ විවිධ ප්‍රදේශවලින් මේ දිනවල බහුලව බඹර සහ දෙබර දෂ්ඨන පිළිබදව වරින්වර වාර්තා වෙනවා.එම නිසා අපි කල්පනා කලා කඳුකරයේ වැඩ සිටිනා මහාසංඝරත්නය මෙන්ම කැපකරු දායක ආදි මහාසංඝරත්නය ඇසුරු කරනා පින්වතුන්වද මේ පිළිබදව විශේෂයෙන්ම දැනුවත් කිරීමට.
තේ වතු ආශ්‍රිතව සහ කඳු බෑවුම් සහිත ප්‍රදේශයන්හි විශේෂයෙන්ම හැටන් , දික්ඔය , නාවලපිටිය , ගම්පොල , මාතලේ සහ නුවර එළිය ආශ්‍රිත ප්‍රදේශවල වැඩ සිටිනා ස්වාමින්වහන්සේලා විශේෂයෙන්ම මේ පිළිබදව දැනුවත්ව සිටීම ඉතාම සුදුසු වනවා.
🔴 භික්ෂූන්වහන්සේලා ආරක්ෂිත විය යුත්තේ ඇයි ?
1) හිමිදිරි උදෑසන පිණ්ඩපාතය පිණිස වැඩම කරනා භික්ෂූන්වහන්සේලාගේ පාත්‍ර තුල පැණි රස සහ සුවඳ වහනය වන පළතුරු ආදිය ඇත්නම් එය බඹරුන් සහ දෙබරුන් ආකර්ෂණයට හේතුවක් විය හැක.මේ පිළිබදව කඳුකරයේ භික්ෂූන්වහන්සේලා විශේෂයෙන් අවධානය යොමු කල යුතුය.
2) කඳුකරයේ වාසය කරනා බඹර උකුස්සා හෙවත් Crested Honey Buzzard පක්ෂියා බඹරුන්ගේ සහ දෙබරුන්ගේ කූඩුවලට පහර දුන් අවස්ථාවලදි බඹරුන් සහ දෙබරුන් කූඩුවලින් පිටතට විත් ඉතා ආවේගශීලි ලෙසින් හැසිරෙන මොහොතක ඒ අසළින් ගමන් ගන්නා අය වෙතොත් පහර දීමේ හැකියාවද පවති.මෙවැනි පාරිසරික හේතුන් පිළිබදවද භික්ෂූන්වහන්සේලා දැනුවත්ව සිටීම යහපත්ය.
3) කඳුකරයේ ඇතැම් තේ වතු ආශ්‍රිතව ජනතාවගේ කෑගැසීම් , ඝෝෂාවන් නිසාවන් මෙන්ම බඹර සහ දෙබර කූඩූවලට පහරදීම් ආදිය නිසාද මෙම සතුන් ආවේගශීලිව කූඩු අවට සැරි සරමින් පහරදීමට පෙළඹෙනු ඇත.
4) කඳුකරයේ විහාරස්ථාන සහ විශේෂයෙන්ම වනගත ආරණ්‍ය සේනාසන ආශ්‍රිතව පළතුරු ආදි සුවඳ වහනය වන අපද්‍රව්‍ය විවෘත පරිසරයට බැහැර කිරීම තුලින්ද බඹරුන් සහ දෙබරුන් එම ස්ථාන කරා ආකර්ෂණය වීමේ වැඩි ඉඩක් පවතිනවා.
5) අධික සුළං පවතින අවස්ථාවන්හිදි බඹරුන්ගේ සහ දෙඹරුන්ගේ කූඩුවලට හානිවීමෙන් එම සතුන් අවට පරිසරයේ සැරිසැරීමට අවකාශ පවතිනවා.
🔴 බඹර, දෙබර දෂ්ඨනයකදි ,
1) බඹර දෙබර දෂ්ඨනයකදි අපගේ ශරීරය විසින් Anaphylaxis නම් ඉතා ක්ෂණික සහ දරුණු එමෙන්ම ජීවිතයට තර්ජනයක් ගෙන දිය හැකි අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් දැක්විය හැක.මෙමඟින් තත්පර කිහිපයක් තුලදී දැඩි ජීවිත අවදානමක් මතු වීමට හැකියාව ඇත.
2) එමෙන්ම හෘදය සහ ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය එකවර නතරවීම හෙවත් Cardio Respiratory Arrest තත්වය ඇතිවීමේ අවදානම ඇත.
🔴 දෂ්ඨනයක් සිදුවුවහොත් කල යුත්තේ,
1) ප්‍රථමයෙන්ම තවදුරටත් බඹර සහ දෙබර දෂ්ඨනවලට නිරාවරණය නොවී ආරක්ෂාකාරීව වැඩ සිටිය යුතුය.
2) ශරීරයේ දෂ්ඨන ස්ථානවල ඇති විෂ තුඩු නොකැඩෙන සේ ශරීරයෙන් ඉතා සීරුවෙන් ඉවත් කර ගත යුතුය.
3) දෂ්ඨනයත් සමඟ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවේ නම් ප්‍රථමාධාරයක් ලෙස කෘතීම ශ්වසනය පපු තෙරපුම් ක්‍රමවේදය හරහා නිවැරදිව ලබා දිය යුතුය.
4) අධික වේදනාව සමනය උදෙසා අවශ්‍යම වේ නම් පමණක් පැරසිටමෝල් ඖෂධය පමණක් වැළදීම සුදුසුය.
5) බඹරුන්ගේ හෝ දෙබරුන්ගේ දෂ්ඨනයකට ලක්වූ වහාම අත් බෙහෙත් සිදුකර ගැනීමෙන් වැළකී රජයේ රෝහලක් වෙත ඉතාම ඉක්මනින් යොමු වීම වඩාත්ම හිතකර ක්‍රියාව වනු ඇත.
හදිසි තත්වයකදී සුව සැරිය ගිලන් රථ සේවාව - 1990
ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය - 0112686143
🔴 කඳුකරවාසි මෙන්ම වනාන්තර ආශ්‍රිතව වැඩ සිටිනා අපේ මහාසංඝරත්නය මෙවැනි බඹර සහ දෙබර දෂ්ඨන වලින් වැළකී ආරක්ෂාකාරීව වැඩ සිටිත්වා.
තෙරුවන් සරණයි !
සුඛො පුඤ්ඤස්ස උච්චයො සංවිධානය