05/10/2025
🙏තපෝකම්ම සුත්තං🙏
🌼තපස්කර්ම ගැන වදාළ දෙසුම🌼
-----------------🌼--------------------
මා විසින් මෙසේ අසන ලදී. එසමයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය ලද මුල් කාලයෙහි උරුවෙල් ජනපදයෙහි නේරංජරා නදී තෙර අජපාල නුගරුක් සෙවනෙහි වැඩවසන සේක. එකල්හි හුදෙකලා විවේකයෙන් භාවනානුයෝගී ව වැඩසිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේට මෙවන් අදහසක් ඇතිවූයේය. ‘ඒකාන්තයෙන් මම් ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වූයෙම් වෙමි. ඒකාන්තයෙන් ඒ අනර්ථය පිණිස පවතින දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වූයෙම් වෙම් යහපති. සිහියෙන් යුතු ව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිටියෙම් සම්බෝධිය අවබෝධ කෙළෙම් යහපති.’
එකල්හි පාපී මාරයා සිය සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත සංකල්පනාව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙය කීය.
“යම් මගෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු බව ලබත් ද, ඒ තපස් චර්යාවෙන් බැහැර ව අසුද්ධ වූයේ, සුද්ධ වූ මාර්ගය වරදවා ගත්තේ, පිරිසිදු වූයේ ය සිතන්නෙහි ද?”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පාපී මාරයා යි දැන පවිටු මාරයා හට ගාථාවලින් පිළිතුරු වදාළ සේක.
“අමර යන නම් ලද යම් කිසි තපස් චර්යාවක් ඇද්ද, එය අනර්ථ සහිත බව දැන අත්හළෙමි. ඒ සියල්ල යහපත සලසන්නේ නොවෙයි. එය වැලි කතරෙහි නැවක නැගී හබලෙන් පදවනු වැන්න.
සත්‍යාවබෝධය පිණිස සීලයත් සමාධියත් ප්‍රඥාවත් ඇති මාර්ගය වඩමින් පරම ශුද්ධියට පත්වූයේ වෙමි. මාරය, තා නැසුණෙහි ය.”
එකල්හි පවිටු මාරතෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්තාහ. සුගතයාණෝ මා හැඳිනගත්තාහ’ යි දැන දුකට පත් ව නොසතුටු සිතින් එහි ම නොපෙනී ගියේය.
සාදු! සාදු!! සාදු!!!