Sri Sunethradevi Purana Rajamaha Viharaya -Nivithigala-Sri lanka

Sri Sunethradevi Purana Rajamaha Viharaya -Nivithigala-Sri lanka ධම්මෝ භවේ රක්කති ධම්ම චාරී - ධර්මයේ හැසිරෙන්නා දර්මය විසින් රකී

නිකිණි පොහොය දිනයේ වැදගත්කම..දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර...
27/08/2026

නිකිණි පොහොය දිනයේ වැදගත්කම..

දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.

භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ.

🌻 මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය. පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදුරදුන් පිරිනිවී තෙමසිනි. බුදුරදුන් පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසේ ය. එයින් තෙමසකට පසුව කියන්නේ නිකිණි මාසයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.

🌻 එමෙන්ම මේ සංගායනාවට අත්‍යවශ්‍යම පුද්ගලයා වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝයි. ආනන්ද හාමුදුරුවෝ අරහත් මාර්ගයට පිවිසියේ ද නිකිණි පසළොස්වක දවසේ ය. ඒ මගින්ද නිකිණි පොහොය වැදගත් වේ.

දඹදිව වර්ෂා සමය තුළ ඉතා තදින් වැස්ස වසී. මෙම වැසි කාලය තුළ කුරුල්ලෝ ද කූඩුවලට වී සිටිති. සිව්පාවෝද තම තමන්ගේ වාසස්ථාන වලට වී සිටිති.

ඇවිදින්නට නොයති. එකල සිටි අන්‍ය තීර්ථකයෝද ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) දහම් දෙසමින් ඇවිදිති. මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ. ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස නියෝග පැනවූහ. මේ නියමය පනවන්නට මිනිසුන් කෑගහන තෙක් සිටියේ මන්දැයි ඔබ සිතනු ඇත. තාථගතයන් වහන්සේ කිසිම විනය නීතියක් හේතුවක් නැතිව හේතු රහිතව පනවන්නේ නැත. හේතුවක් ඇතිවන තෙක් සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේ මහජන බසට කන් දීමයි. බුදු සිරිතේ බොහෝ තැන්වල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මාවත පෙනේ. මේ අනුව භික්‍ෂූන් ඇසළ පසළොස්වක දවසේ පොහොය කිරීම නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය මෙයට වඩා බලවත් ය.

වස් විසීමෙන් අදහස් කළේ ධාරානිපාත වැස්සට නොතෙමී සිටීම පමණක් නොවේ. ඒ කාලය තුළ වීර්යය වඩා මාර්ග ඵල ලබා ගැනීමය. වස් විසීමට පෙර එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගනිති. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන කමටහන් දෙති. මෙසේ කමටහන් ගෙනයන භික්‍ෂූහු වස් කාලය තුළ කමටහන් වඩා සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දකින්නට එති. මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ ය.

වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. පෙරවස් සහ පසුවස් වශයෙනි.

🌻 ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය. ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් ය.

ඇසළ මාසය දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් හැම පුරවැසියෙකුම දඹදිව ඇසළ උළෙල සමරති. සුද්ධෝදන රජ පවුලට ද එයට සූදානම් වූ බව සඳහන්ව ඇත. මේ උත්සව සමය නිසා ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු කැමැත්ත දැක් වූයේ නැත.

එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටියේ ය. මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට නියම කළේ ‘රාජා අනුවත්තිතුං’ යනුවෙනි.

රජුගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න යනුවෙනි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ ය.

පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු ය.

කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය. සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වී නිකිණි මස සිදු වූ බව සිතන්නට ඉඩ ඇත.

කකුසන්ධ නම් මහ තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) සඳහන් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්, ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට දුන් බවයි.

අදත් සේරුවිල මහ උත්සවය පවත්වන්නේ නිකිණි මාසයේ ය. මේ අනුව බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිවේධ, පර්යාප්ති අංශ දෙකටම අයත් සිද්ධීන් කිහිපයක් සිදු වූ මාසයක් පොහොයක් වශයෙන් නිකිණි මාසය වැදගත් වන බව සඳහන් කළ යුතුය.

ඇසළ පොහොයේ වැදගත්කම :-...............................................ඇසළ පුන් පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ර...
28/07/2026

ඇසළ පොහොයේ වැදගත්කම :-...............................................

ඇසළ පුන් පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති නිසාම බෞද්ධ අපට සුවිශේෂී දිනයකි.

☸️ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව පහළ වූ බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ඇරැයුමෙන් පස්මහ බැලුම් බලා දඹදිව කපිල වස්තුපුරයෙහි සුද්ධෝදන මහ රජතුමාගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය කුස පිළිසිඳගන්නා ලද්දේ ඇසළ පුන් පෝදා ක ය.

☸️ සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය සිදු කරන ලද්දේ ද ඇසළ පුන් පෝදාකය. රාහුල කුමරුගේ උපත සිදු වූයේ ද ඇසළ පුන් පෝදාකය.

බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

☸️ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

ඒ ⁣අනුව බලන කල ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය ලොව පහළ වූ අසිරිමත් දිනය ඇසළ පුන් පෝදාය.

☸️ ගෞතම බුදුපියාණන් වහන්සේ ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සුපගමනය බරණැස ඉසිපතනයේ දී සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ බුදුපියාණන් වහන්සේ ගණ්ඩම්බ රුක මුලයේ දී තීර්ථකයන්ගේ මානය දුරු කිරීම සඳහා යමාමහ පෙළහර දැක්වූයේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ තව්තිසා දෙව්ලොවට බුදුපියාණන් වහන්සේ වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බණ(අභිධර්මය) දේශනා කරන ලද්දේ ද ඇසළ පුන් පෝදාකය.

☸️ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.

එමෙන්ම ලංකා ශාසනික ඉතිහාසයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක් අනුස්මරණය කැරෙන ඓතිහාසික දිනයකි ඇසළ පුර පසළොස්වක පොහොය.

☸️ ශ්‍රී බුද්ධ වර්ෂ 847 දී කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්තකුමරු විසින් මෙරටට වැඩම කරවන ලද දළදා වහන්සේ වෙත පූජෝපහාර දක්වමින් වාර්ෂිකව සිදු කරනු ලබන දළදා පෙරහරේ ආරම්භය සිදු වූයේ ද ඇසළ පුර පසළොස්වක පෝදකය.

☸️ ස්වර්ණමාලි මහා සෑ රදුන් සඳහා මංගල ශීල ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමත්

🏵️ පොසොන් පොහොය දිනයේ වැදගත්කම...🏵️ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙ...
28/06/2026

🏵️ පොසොන් පොහොය දිනයේ වැදගත්කම...🏵️
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.

ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය.

ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.

☸️. ලංකාවේ ප්‍රථම මහණ උපසම්පදාව
භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව...

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රධාන ධර්‍මදූත පිරිස සමග පැමිණි භණ්ඩුක කුමාරයා මිහිඳු මාහිමියන් ගේ මවු බිසොවුන්ගේ සහෝදරියගේ දුව ගේ පුත්‍රයා ය. මිහිඳු මාහිමියන් මවු බිසොවුන් හට දේශනා කළ ධර්‍මය අසා අනාගාමී ඵලයට පැමිණියේ තෙරුන් වහන්සේ වෙත ම වාසය කෙළේ ය. වේදිස ගිරියෙහි මාසයක් වැඩ සිටි මිහිඳු මාහිමියන්
වහන්සේ පොසොන් පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මදූත පිරිස සමග ලංකාවට වැඩිය හ. ඒ ධර්‍මදූත පිරිස සමග භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද පැමිණියේ ය. පොසොන් පොහෝදා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට තිසරණයෙහි පිහිටුවා ‍පසුව අනාගාමි ඵලයට පත් ව සිටි භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. මේ ලංකාවේ සිදු වූ මුල් ම මහණ උපසම්පදාව යි.

බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයක දී හෝ භික්‍ෂු නමක උපසම්පදා කිරීමට උපසපන් භික්‍ෂූන් පස්නමකගේ සහභාගිත්වය ප්‍රමාණවත් බව සම්බුදු රදුන්ගේ නියමයයි. මේ කරුණ මැනවින් දැන සිටි මිහිඳු මා හිමියන් තම ධර්ම දූත පිරිසට උපසම්පදා භික්‍ෂූන් පස්නමක් සම්බන්ධ කර ගැනීම උනවහන්සේ තුළ පැවති බුද්ධි මහිමය ප්‍රකට කරන සිදුවීමකි.

☸️. සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම...

මිහිඳු මහරහතන් වහන්සේ ගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්‍ම ශ්‍රවණයට කාල ඝොෂා කළ හ. සාම‍ණේරයින් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්‍ම දේශනා කළ සේක.

☸️. බුද්ධ චරිතය දෙස බලන කල්හි පොසොන් පෝදා එක් සිද්ධියක් සිදු වී ඇත.

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

දීර්ඝ කාලීනව බලනවිට පොසොන් පොහොයෙහි අගය වෙසක් පොහොය දිනයට පමණක් දෙවන වන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් සැලකිය හැකිය.එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වූයේ එහෙයිනි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.

මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මේරටේ දී පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ රට තුළ ව්‍යාප්ත කළහ.උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසක වරයාණෝ වූහ.මේ නිසා පංචශීලය මැනවින් ආරක්‍ෂාකරන සමාජයක් ගොඩනැගීමට පහසුවිය.
බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් කරන ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි. ‘මහින්දාගමනය සැලකිය යුත්තේ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙසය, උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොවේ. එවකට මෞර්ය රාජ්‍යයේ උපරිම පෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරය ද ගෙන ආහ. අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!!
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!!

තෙරුවන් සරණයි ..!නවම් පුර පොහොය වැදගත්කම .....අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා ස...
01/02/2026

තෙරුවන් සරණයි ..!
නවම් පුර පොහොය වැදගත්කම .....

අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවන් වැදගත් සිදුවීම් නවම් පෝය දිනයේදී සිදුවීම නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පෝය දිනයේදී අදිටන් කරගන්නවාට සැකයක් නොමැත. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයකි, නවම් පෝය දිනය. දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එකම අදිටන මුළු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි.

නවම් පොහෝදිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත්සවු තනතුරුවලට පත්කරන ලදී.

සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක්ම සිටියදී , ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇතිවූ විටත් ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් දෙසා වදාළේ.

මහණෙනි, පංචවාර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුහු තුන් බෑ ජටිල යන හැමදෙනාම විවිධ ප්‍රාර්ථනා සහිතව පින් කළහ. අග සවු පදවි පතමින් පින් කළ දෙදෙනා වූයේ සැරියුත් – මුගලන් දෙනමයි. එමනිසා ඒ දෙනම එකී තනතුරුවලට පත් කළ වග බුදුන්වහන්සේ පැහැදිලි කර දුන් සේක.

සැරියුත් හිමියන් බමුණු මහ සල් කුලයෙහි උපන්නේ මෙයට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරය. එදා ඔහු ‘සර්දා’ නම් විය.

මුගලන් හිමියන්ද උපන්නේ මහසල් කුලයේ ය. හේ නමින් සිරිවඩ්ඩ නම් විය.

මේ දෙදෙනා අඹ යහළුවෝ වූහ. සර්දා, තම පියාගේ ඇවෑමෙන් ලද ධනය දුගී, මගී, යාචකයන්ට බෙදා දෙමින් මෝක්ෂය සොයා යමින් පැවිදි විය.

එදවස අනෝමදස්සි නමින් බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේගේ අග සව්වන් වූයේ නිසග සහ අනෝම ය. අනෝමදස්සි බුදුන් වහන්සේ සාරද තවුසන් හමුවන්නට වැඩම කළහ. උන්වහන්සේ දහම් දෙසුමට සවන් දුන්නද රහස් ඵලයට පත්නොවිණ. එයට හේතුව, සාරද අනාගතයේ බුදුබව ලබන ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ බැවින්ය.

ගෞතම බුදුරදුන් පහළ වූ කල මුගලන් තෙරුන් උපත ලැබුවේ කෝලිත බමුණු ගමේය. මොග්ගලී නම් බැමිණියගේ පුත්‍රයාවූ බැවින් ඔහු මොග්ගල්ලාන නමින් ප්‍රසිද්ධ විය. රූපසාරී නම් බැමිනියගේ පුත්‍රයා සාරිපුත්ත නම් විය.

පසුව ධරම සේනාධිපති වූ සැරියුත් මාහිමියෝ ප්‍රඥාව අතින් අග තැන සිටි ශ්‍රාවකයාණෝ වූහ. සෘද්ධිවන්ත භික්ෂූන් අතර ප්‍රමුඛයා වූයේ මුගලන් තෙරුන්ය.

නවම් පුනු පොහෝදා සැරියුත් – මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීමෙන් අනතුරුව, මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය, අප තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළසේක. බුද්ධ ශාසනය ප්‍රථම වසර විස්ස තුළදී ඉතා විනයගරුකව පැවැතිණි. එම නිසා එම කාලය තුළදී තමන්ගේ ගෝලයන් වූ භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පැනවීමක් අවශ්‍ය නොවීය. මේ නිසා ආණාප්‍රතිමෝක්ෂය දේශනා කරන්නට අවශ්‍යතාවක් පැන නැඟුණේ නැත. ආණ, ප්‍රතිමෝක්ෂය ‘අණ කිරීමක්, ලෙස හැඳින්විය හැකිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කොට වදාළේ, නවම් පුණු පොහෝ දිනකදීය.

සැරියුත් – මුගලන් යන අග සවු හිමිවරුන් පිරිනිවන් පෑමෙන් පසුව, ගෞතම බුදුන් වහන්සේ රජගහනුවරින් පිටත්ව ගොස් චාපාල චෛත්‍යය අබියසදී ආනන්ද හිමිපාණන් හමුව සතර ඉර්ධිපාද වැඩු අයකුට අවශ්‍ය නම් කල්පයක් වුවද ජීවත්විය හැකි බව ප්‍රකාශ කළහ.

එහෙත් ආනන්ද හිමියන්ට බුදුරදුන් කරන ලද ඉල්ලීම පැහැදිලි නොවිණි. එබැවින් නවම් පුණු පොහෝ දිනක බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක.

තමාගේ ගැලවුම්කරුවා තමන්ම බවත්, විමුක්තිය උදාකරගත හැකිවන්නේ, තමාගේ උට්ඨාන වීර්යයෙන් බවත් එසේම විමුක්තිය, ලබා ගැනීම දෙවියන්ගේ ආධාරයෙන් කළ නොහැකි බවත්, අප අවධාරණය කළ යුතුය. තමා අපේක්ෂා කරන විමුක්තිය, නිවන පසක් කරගත හැකි වන්නේ තමාගේම ස්වශක්තියෙන් ය. සියලු සත්ත්වයන්ට මෙත් පතුරුවා සමස්ත ලෝ වැස්සන්ට දයාව, කරුණාව, මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි.

Address

Thiriwanaketiya-agalawaththa
Nivitigala

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sunethradevi Purana Rajamaha Viharaya -Nivithigala-Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share