27/05/2026
කතෝලික ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශනය
XIV වන ලියෝ ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කරන ලදී.
දසවන ශාන්ත පියුස් පූජක සංඝයේ උත්තරීතර ජෙනරාල්,
ඩේවිඩ් පල්ලියාරානි පියතුමා විසිනි
අති උතුම් ශුද්ධෝත්තම පියතුමනි,
අවුරුදු පනහකට වැඩි කාලයක් පුරා, දසවන ශාන්ත පියුස් සංඝය විසින් කතෝලික විශ්වාසය සහ සදාචාරය විනාශ කරමින් පවතින දෝෂයන් හමුවේ, හෘදසාක්ෂියට අදාළ ගැටලුවක් ශුද්ධාසනය ඉදිරියේ තැබීමට උත්සාහ කර ඇත. කනගාටුවට කරුණක් නම්, සිදු කළ සියලු සාකච්ඡා කිසිදු ප්‍රතිඵලයක් අත්කර දී නොමැති අතර, යොමු කරන ලද කිසිදු ගැටලුවකට සැබවින්ම සතුටුදායක පිළිතුරක් ලැබී නොමැත.
අවුරුදු පනහකට වැඩි කාලයක් පුරා, ශුද්ධාසනය සැබවින්ම සලකා බැලූ එකම විසඳුම ලෙස පෙනී යන්නේ සභා නීතිමය දඬුවම් පමණක් බවයි. අපගේ මහත් කනගාටුවට කරුණක් වන්නේ, සභා නීතිය මෙසේ භාවිතා කරනු ලබන්නේ විශ්වාසය තුළ ස්ථිර කිරීමට නොව, එයින් ඉවත් කිරීමට බව අපට පෙනී යාමයි.
පහත දැක්වෙන ලේඛනය තුළ, දසවන ශාන්ත පියුස් සංඝය, ඔබගේ ශුද්ධත්වය ඉදිරියේද සහ විශ්වීය සභාව ඉදිරියේද කිසිවක් සඟවා නොගෙන, දාරකභක්තියෙන් සහ අවංකභාවයෙන්, කතෝලික විශ්වාසය පිළිබඳ තම භක්තිය ප්‍රකාශ කිරීමට සතුටු වෙයි.
අප සංඝය විසින් මෙම සරල විශ්වාස ප්‍රකාශය ඔබගේ අත්වල තබමු. සභාව සමඟ සම්පූර්ණ සම්බන්ධතාවයේ සිටීමටත්, සැබවින්ම අපව කතෝලිකයන් ලෙසත්, එම නිසා ඔබගේ පුත්‍රයන් ලෙසත් හඳුන්වා ගැනීම සඳහා අවම අත්‍යවශ්‍ය දේ මෙය බව අපට හැඟේ.
අපගේ එකම ආශාව වන්නේ, රෝමානු කතෝලික විශ්වාසය තුළ ජීවත් වීමත්, එහි ස්ථිර කරනු ලැබීමත් පමණි.
එබැවින්, සැබෑ කතෝලික විශ්වාසය තුළ දැඩිව මුල් බැස ස්ථිරව සිටිමින්, දිව්‍යමය යාගයටත්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන දේව සභාවටත් සුදුසු සේවකයන් වීමට සෑමවිටම උත්සාහ කරන්නෙමු. මන්ද, ශුද්ධවු පාවුලු අපෝස්තුළුතුමා පවසන පරිදි: “විශ්වාසයට එකඟ නොවන හැමදෙයම පාපයකි,”¹ සහ එය සභාවේ එකමුතුවෙන් වෙන් වූ භේදකාරී තත්ත්වයකි.²
කතෝලික ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශනය
දිව්‍ය ප්‍රඥාව වූ ද, වචනය තෙම මාංශගත වූ ද, එකම සත්‍ය ආගමක් කැමති වූ ද, පැරණි ගිවිසුම සම්පූර්ණයෙන්ම අවලංගු කර එකම සභාවක් පිහිටු වූ ද, සාතන් ද ලෝකය ද ජයගත්තා වූ ද, කාලයේ අවසානය දක්වා අප සමඟ වැඩ සිටින්නා වූ සහ ජීවතුන් හා මළවුන් විනිශ්චය කිරීමට නැවත පැමිණෙන්නා වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ නාමයෙන්.
දෙවි පියාණන්ගේ පරිසමාප්ත රූපය වන, මනුෂ්‍යයෙකු වූ දෙවියන්ගේ පුත්‍රයා වන, උන්වහන්සේ, මාංශ ගතවීම සහ කුරුසියේ යාගය ස්වෙච්ඡාවෙන් ඔප්පු කිරීම මඟින් ලෝකයේ එකම මිදුම්කරු සහ ගැලවුම්කරු ලෙස පත් කරනු ලැබීය.
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම අතිශය වටිනා රුධිරය වැගිරවීමෙන් දේව යුක්තිය සම්පූර්ණ කළ අතර, එම රුධිරය තුළ උන්වහන්සේ විසින් පැරණි ගිවිසුම අවලංගු කරමින් නව සහ සදාකාලික ගිවිසුම ස්ථාපිත කළහ.
එබැවින්, දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයන් අතර එකම මැදිහත්කරුවාණන් ද, පියාණන් වෙත පැමිණිය හැකි එකම මාර්ගයද, උන්වහන්සේ ය. උන්වහන්සේ දන්නා තැනැත්තා පියාණන්ව ද දනී.
දිව්‍ය නියෝගය අනුව, අතිශුද්ධ වූ කන්‍යා මරිය තුමිය මුළු මිදීමේ කාර්යයට සෘජුව හා ඉතා සමීපව සම්බන්ධ කරනු ලැබීය. එබැවින්, සම්ප්‍රදායෙන් අපට ලැබුණු ආකාරයට මෙම සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කිරීම යනු, දිව්‍ය සැලැස්ම අනුව ඇති මිදීමේ සත්‍ය අදහස වෙනස් කිරීමක් වේ.
කතෝලික සම්ප්‍රදායික ඉගැන්වීම අනුව, ගැලවීම සඳහා ඇත්තේ එකම විශ්වාසයත් එකම සභාවත් බව විශ්වාස කරයි. රෝමානු කතෝලික සභාවෙන් පිටත සහ ඇය සැමවිටම ඉගැන්වූ විශ්වාස ප්‍රකාශය නොමැතිව, සම්පූර්ණ ගැලවීම සහ පව් කමා කිරීම පිළිබඳ සත්‍යතාව සම්පූර්ණ ලෙස නොලැබෙනු ඇත.
ඒ අනුව, ආත්ම ගැලවීම සඳහා සෑම මනුෂ්‍යයකුම කතෝලික සභාව සමඟ සම්බන්ධ විය යුතු අතර, එයට ඇතුළත් වීමේ සාමාන්‍ය සක්‍රමේන්තුමය මාර්ගය ලෙස එක් බව්තිස්මයක් පවතී. මෙම අවශ්‍යතාවය කිසිදු විශේෂ භේදයකින් තොරව මුළු මනුෂ්‍ය වර්ගයාම, එනම් ක්‍රිස්තියානීන්, යුදෙව්වන්, මුස්ලිම්වරුන්, අන්‍ය ආගමිකයන් සහ මිත්‍යාමතධාරීන් යන සියල්ලන්ම වෙනසක් නොමැතිව ඇතුළත් කරයි.
සියලු මනුෂ්‍යයන්ට සුභාරංචිය ප්‍රකාශ කර, ඔවුන් කතෝලික විශ්වාසයට පරිවර්තනය කිරීමේ අපෝස්තලික මෙහෙවර, කාලයේ අවසානය දක්වා බලපැවැත්වෙන අතර, එය ලෝකයේ ඇති අතිශය අවශ්‍ය හා අතිශය හදිසි කාර්යයට පිළිතුරු සපයයි.
“අදහා බව්තිස්ම ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය; එහෙත් අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේය.”³
එබැවින්, මෙම මෙහෙවර ඉටු කිරීම අත්හැර දැමීම මනුෂ්‍යත්වයට එරෙහි ඉතා බරපතළ වරදක් බව සැලකේ.
රෝමානු සභාව පමණක්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කළ සභාව හඳුන්වන ලක්ෂණ හතරම, එනම්, එකමුතුව, ශුද්ධත්වය, සර්වසාධාරණත්වය, සහ අපෝස්තලිකත්වය, එකවර සම්පූර්ණයෙන්ම දරයි.
ඇයගේ එකමුතුව මූලික වශයෙන් උත්පන්න වන්නේ, සියලු සාමාජිකයන් එකම සත්‍ය විශ්වාසයට එකඟව සිටීමෙන් වන අතර, එම විශ්වාසය කතෝලික අධිකාරි පද්ධතිය විසින් ශතවර්ෂ ගණනාවක් පුරා විශ්වාසවන්තව ආරක්ෂා කර, ඉගැන්වීම් කර, පරම්පරාවෙන් පරම්පරාවට භාර දී ඇත.
ඇදහිල්ලේ එක් සත්‍යයතාවයක් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන්, මුලු ඇදහිල්ලම විනාශ වන අතර, කතෝලික සභාව සමඟ ඇති සම්පූර්ණ එකමුතුව මූලික වශයෙන්ම අසම්භව කරයි.
විවිධ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් අතර එකමුතුව නැවත ස්ථාපිත කිරීමට ඇති එකම මාර්ගය වන්නේ, කතෝලික නොවන අය වෙත ප්‍රේමයෙන් සහ හදිසි අවධාරණයෙන් එකම සත්‍ය සභාව තුළ, එකම සත්‍ය විශ්වාසය ප්‍රකාශ කිරීම සඳහා, කරන කැඳවීමයි.
කතෝලික සභාව කිසිදු ආකාරයකින් අසත්‍ය නමස්කාර ක්‍රමයක් හෝ අසත්‍ය සභාවක් හෝ සමඟ සමාන තත්ත්වයකින් සලකා බැලිය හෝ සලකනු නොලැබිය යුතුය.
ශුද්ධෝත්තම පාප්වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයා වන අතර, මුළු සභාව මත එකම උත්තරීතර අධිකාරීත්වය දරන්නාය. ඔහු පමණක් කතෝලික අධිකාරි පද්ධතියේ අනෙකුත් සාමාජිකයන්ට, ආත්මයන් පිළිබඳ පාලන බලය සෘජුවම පවරා දෙයි.
“ශුද්ධාත්මයාණන් වහන්සේ පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකයන්ට පොරොන්දු වූයේ, ඔවුන්ට, ඔහුගේ ප්‍රකාශන මඟින් නව ධර්මයක් ප්‍රකාශ කිරීම සඳහා නොව, ඔහුගේ උපකාරයෙන් අපෝස්තුළුවරුන්ගෙන් පවරා දුන් ප්‍රකාශනය, එනම් විශ්වාසයේ භාණ්ඩාගාරය, නොවෙනස්ව රැකගෙන විශ්වාසවන්තව විවරණය කිරීම ය.”⁴
එකම ඇදහිල්ලකට අනුරූප වන්නේ එකම ආකාරයක පූජනීය ආචාර ක්‍රමයක්ය. එය එම විශ්වාසයේ උත්තරීතර, සත්‍ය සහ පූර්ණ ප්‍රකාශනයයි.
ශුද්ධවූ දිව්‍ය පූජාව යනු, කුරුසියේ පූජාව, කාලය තුළ අඛණ්ඩව පවත්වාගෙන යාමක් වන අතර, එය බොහෝ දෙනා වෙනුවෙන් ඔප්පු කරනු ලබමින්, පූජාසනය මත නැවත ප්‍රකාශයට පත් කරනු ලබයි. එය රුධිර රහිත ආකාරයකින් ඔප්පු වුවද, ශුද්ධවූ දිව්‍ය පූජාව මූලික වශයෙන් පව් කමා කිරීම සහ වරප්‍රසාදයන් ලැබීම සඳහා වූ පූජාවකි.
අනෙකුත් කිසිදු නමස්කාර ක්‍රමයක් පූර්ණ වන්දනාවක් ලබා නොදේ. එසේම, එයට අනුකූල නොවන වෙනත් කිසිදු නමස්කාරයක් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් ප්‍රසන්න නොවේ. ආත්මයන්ගේ පවිත්‍රත්වය සඳහා එයම ප්‍රමාණවත් මාර්ගය වේ.
එබැවින්, ශුද්ධවූ දිව්‍ය පූජාව කිසිසේත්ම සරල සිහිවටන උත්සවයක් ලෙස හෝ, ආත්මික භෝජනයක් ලෙස හෝ, ජනතාව විසින් පවත්වන පූජනීය රැස්වීමක් ලෙස හෝ, පරිත්‍යාගි වීමක් නොමැති පාස්කු අභිරහසක් හෝ, දිව්‍ය යුක්තිය තෘප්තිමත් නොකොට, පව් කමා කිරීමකින් හෝ වරප්‍රසාද ලැබීමකින් තොරව සහ කුරුසියක් නොමැතිව පවත්වන සැමරුමක් ලෙස සීමා කළ නොහැක.
කතෝලික සභාව මඟින් දානය කරනු ලබන සක්‍රමේන්තු තුළින් ආත්මයන්ට ලැබෙන උපකාර, සෑම තත්ත්වයකදීමත්, සෑම යුගයකදීමත්, විශ්වාසිකයන් හට වරප්‍රසාද තත්ත්වයේ ජීවත් වීමට ප්‍රමාණවත් වේ.
දස පණත තුළ අඩංගු සහ කන්ද උඩ දේශනය තුළ සම්පූර්ණත්වයට පත් කරන ලද සදාචාර නීතිය, ආත්මයන්ගේ ගැලවීම ලබා ගැනීම සඳහා ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි එකම නීතිය ලෙස සැලකේ.
වෙනත් ඕනෑම සදාචාර කේතයක්, උදාහරණයක් ලෙස, මැවීම පිළිබඳ ගෞරවය හෝ මනුෂ්‍යය අයිතිවාසිකම් මත පදනම්ව, ආත්මයන් ශුද්ධ කිරීම සහ ගළවා ගැනීම මූලික වශයෙන් ප්‍රමාණවත් නොවේ.
එබැවින්, එවැනි කිසිදු වෙනත් සදාචාර නීතියකට, එකම සත්‍ය, සදාචාර නීතිය ප්‍රතිස්ථාපනය කළ නොහැක.
ස්නාවක ජුවාම් තුමාගේ ආදර්ශය අනුගමනය කරමින්, පව්කාරයන්ට අවවාද කිරීමටත්, ඔවුන්ගේ ආත්ම ගැලවීම සඳහා අවශ්‍ය මාර්ග කිසිවිටෙකත් අත්හැර නොදමීමටත් සැබෑ ත්‍යාගිශීලිත්වය තුළ අප බැඳී සිටින බව අපට උගන්වයි.
තමා පාපී තත්ත්වයක සිටිමින් අප ස්වාමීන් වහන්සේගේ ශරීරය භුක්ති විඳින සහ උන්වහන්සේගේ රුධිරය පානය කරන තැනැත්තා, තමන්ටම නින්දා කරගන්නා බව ශුද්ධවූ පාවුලු තුමාගේ ඉගැන්වීම් වල සහ සභා සම්ප්‍රදායේද සඳහන් නීතියක් ලෙස සැලකේ. මෙම නීතිය කිසිදු අධිකාරියකට වෙනස් කළ නොහැකි බවද එම ඉගැන්වීම පවසයි.
ස්වභාවධර්මයට එරෙහි වන අපිරිසිදුකමේ පව් කෙතරම් බරපතලද යත්, ඒවා සෑම විටම සහ සෑම අවස්ථාවකදීම පළිගැනීම සඳහා දෙවියන් වහන්සේට මොරගසන අතර, සෑම ආකාරයකම අව්‍යාජ කිතුනු ආදරය සමඟ සම්පූර්ණයෙන්ම නොගැලපේ. එබැවින් එවැනි ‘ජීවන රටාවක්’ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙස කිසිසේත්ම පිළිගත නොහැකිය. මෙම දුෂ්ට ක්‍රියාවෙහි යෙදෙන යුවලකට එයින් මිදීමට උපකාර කළ යුතු අතර, සභාවේ දේවසේවකයන් හට - විධිමත් හෝ අවිධිමත් ලෙස - කිසිඳු ආකාරයකින් ආශීර්වාද කළ නොහැක.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගතවීම සහ මිදීම තුළින්, ආයතන සහ ජාතීන් ද උන්වහන්සේගේ අධිකාරියට යටත්වීමේ අවශ්‍යතාවය සෘජුවම උත්පන්න වේ. එබැවින්, ආයතන සහ ජාතීන්ගේ ලෞකිකත්වය යනු, අපගේ ස්වාමීන් වහන්සේගේ දිව්‍යත්වය සහ සර්වලෝක රාජකීයත්වය යටිඅරුතෙන් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකේ.
රිස්තියානි ලෝකය යනු සරල ඉතිහාසමය සංසිද්ධියක් පමණක් නොව, මනුෂ්‍යයන් අතර දෙවියන් වහන්සේ කැමති වූ එකම පිළිවෙලයි.
සභාව ලෝකයට අනුව හැඩගැසීම නොව, ලෝකය, සභාව මගින් පරිවර්තනය වීම අවශ්‍ය බව එම අදහස පවසයි.
මෙම විශ්වාසය සහ මෙම මූලධර්මයන් තුළම, ඒවා ඉගැන්වීමට හා ස්ථිර කිරීමට දේව වරප්‍රසාදය ලැබූ අයගෙන් අපට උපදෙස් සහ තහවුරු කිරීම ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. අපගේ ස්වාමීන්ගේ උපකාරයෙන්, ඒවා අත්හැරීමට වඩා, මරණය වුවද අපි තෝරා ගනිමු.
මෙම නොවෙනස්වන විශ්වාසය තුළම ජීවත් වීමටත් මරණය ලබීමටත් අපි ආශා කරමු. එය, නොවෙනස්වන සදාකාලික සත්‍යයේ සෘජු දර්ශනයට අපව ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මූලස්ථානය,
2026 මැයි 14,
ස්වර්ගාරෝහණය වූ අප ස්වාමීන් වහන්සේගේ මංගල්‍යය දින,
ඩේවිඩ් පල්ලියරානි
¹ රෝම 14:23
² සම්ප්‍රදායික රෝමානු ආචාර විධියේ, උප-දීක්ෂක පදවියට පත් කරනු ලබන අයට දෙන ගෞරවනීය හා විධිමත් ආගමික අවවාදය
³ මාර්ක් 16:16