10/09/2026
Seth News - 2026.09.09
2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුනු දේවස්ථාන සහ ප්රමුඛපෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරන ලද නඩුවේ විභාගය ඊයේ (08) නිමාවට පත්විය.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකළපුව ප්රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව වසර 3කට වැඩි කාලයක් විභාග විය.
නඩු විභාගය අවසන් කළ නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (09දා) පෙරවරු 12.00ට පෙර විත්තියේ ලිඛිත දේශන භාර දෙන ලෙස නියෝග කළේය. ඒ අනුව නීතිඥ නියෝජනයක් නොමැති විත්තිකරුවන්ගේ දේශන නඩු කටයුතු අවසන් වූ ඊයේ (08) භාරදීම සිදුවිය.
2023 වසරේ ඔක්තෝබර් 10දා පැමිණිල්ලේ නඩුව ආරම්භ වූ අතර එතැන් සිට 2026 වසරේ අගෝස්තු 13දා පැමිණිල්ලේ නඩුව අවසන් කළ අවස්ථාව වන විට සම්පූර්ණ දින 249ක් පැමිණිල්ලේ සාක්ෂි විමසීම සිදු විය. පැමිණිල්ල විත්තිකරුවන්ට ඉදිරිපත් කළ චෝදනා පත්රයේ සාක්ෂිකරුවන් 2,309ක් ලැයිස්තුගත කර තිබුණ ද නඩු විභාගයේදී කැඳවන ලද්දේ සාක්ෂිකරුවන් 547 දෙනකු පමණය.
පාස්කු ප්රහාර මාලාව සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මියගොස් ඇත. ඒ අනුව චුදිතයන් 24 දෙනකුට එරෙහිව නඩුව විභාග වේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය නිසා විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් 224 දෙනකු මරණයට පත්විය. මෙයින් තැනැත්තන් 584 දෙනකු පමණ තුවාල ලැබුවේය. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270ක් නඟා තිබේ.පැමිණිල්ලේ නඩුව අවසානයේ, විත්තියේ සාක්ෂි වීමසීම සිදුවිය. ඒ අනුව මේ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින 24 දෙනාගෙන් නීතිඥ නියෝජනයක් නොමැති චුදිතයකු වන 06 වැනි විත්තිකාර රිස්කාන් නිහඬව සිටින බව දැනුම් දුන්නේය. ඉතිරි විත්තිකරුවන් 23 දෙනා විත්ති කූඩුවේ සිට ප්රකාශ දුන්නේය.
නඩුවේ 1 වැනි විත්තිතරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනකු ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවන ලදි. නඩු විභාගය අතර විත්තිකරුවන් 7 දෙනකු දී ඇති පාපොච්චාරණ ස්වේච්ඡාවෙන් දී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ‘වොයර් ඩයර්’ සත්යතා පරීක්ෂණයක් පැවැත්විණි.
නඩුවේ 1,4,11,12,15 සහ 18 යන චුදිතයන් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 (1) වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරි හෝ ඊට ඉහළ ශ්රේණියේ පොලිස් නිලධාරියකු හමුවේ ලබා දී ඇති ප්රකාශ ස්වේච්ඡාවේන් ලබා දී ඇති බව සත්යතා පරීක්ෂණයේදී තහවුරු විය.5 සහ 11 වැනි විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්රහයේ 127 වැනි වගන්තිය අනුව ගල්කිස්ස සහ මාවනැල්ල දිසා විනිසුරුවරයා ඉදිරියේ දී ඇති ප්රකාශ ද ස්වේච්ඡාවෙන් දී ඇති බව අධිකරණය නිගමනය කළේය.
8 වැනි චුදිත වන මොහොමඩ් පිරවුස්ගේ ප්රකාශය ස්වේච්ඡාවෙන් ලබා දී නොමැති බව අධිකරණය නිගමනය කළේය. නීතිපතිවරයා වෙනුවෙන් ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර්, ජනාධිපති නීතිඥ ජනරාල් හරිප්රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුදර්ශන ද සිල්වා සහ අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි සහ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබූහ. 1,2,7,8,10,15,17,18 සහ 19 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කනීල් මද්දුමගේ මහතා පෙනී සිටින අතර 12, 13 චුදිතයන් වෙනුවෙන් රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන යන නීතිඥ මහත්වරුන් ද 20, 25 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ලෝරන්ස් ඇඩම්ස්, සංජීව රුවන්පතිරණ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ. සෙසු විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නියෝජනයන් නොමැති අතර ඔවුහු සිය නඩුවට පෙනී සිටිති.
නඩුවේ තීන්දුව ලබන 22දා පෙරවරු 9.00ට ප්රකාශ කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් ගොනුකර ඇති අතර, එම සිද්ධියට අනුබල දීම, කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පැවරීම සඳහා තවත් තැනැන්තන් රැසකට එරෙහිව විමර්ශන ක්රියාත්මක වේ.