19/03/2025
ලක්දිව කිතු සසුනේ විරාජමානව බැබළෙන මීගමු පුරවරය පුංචි රෝමයක් කළ අති ගෞරවනීය ජෝන් විස්ත්රිනි මාහිමිපාණන්ගේ 130 වන අනුස්මරණ දිනය යෙදී ඇත්තේ අද දිනටයි.
වර්ෂ 1817 දී ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයේ ප්‍රභූ පවුලක උපත ලැබූ විස්ත්රිනි පියතුමාගේ දෙමාපියන් ඉතා භක්තිවන්ත යුවළක් වන අතර කුඩා කල සිටම ක්රිස්තුමන්ට ප්‍රේම කළ මෙතුමා වර්ශ 1833 දෙව් සත්හලට ඇතුළු වන ලදි. වර්ෂ 1840 දී මෙතුමා ලොම්බාඩිහි රදගුරුතුමා අතින් පූජක වරම් ලබා තම සාන්තුවර ජීවිතයේ පියගැට පෙළ නැගීම ආරම්භ කරන ලදී.
මෙතුමාගේ ප්‍රථම රාජකාරිය වූයේ නාපෝලි නගරයේ ඇති රෝහලක මානසික රෝගීන්ව බලා ගැනීම වන අතර එහිදී රෝගීන්ගෙන් පහර කෑමට සිදුවූ නිසා මෙතුමා දැඩි ලෙස අසාධ්‍ය වන ලදී.වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී තමාට ස්නායු රෝගයක් වැලඳී ඇති බව දැනගත් මෙතුමා තම රෝගයට සුවය පතා භාරයක් වූ අතර එය ඉටුකිරීම සඳහා මෙතුමා අප දේශයට ධර්මදූත මෙහෙවර දියත් කිරීම සඳහා වර්ශ 1846 දී පා තබන ලදී.
ප්‍රථමයෙන් යාපනය රදගුරු පදවියේ සේවය කළ මෙතුමා තමාගේ රෝගය ද නොතකා ජනතාවගේ සුබ සෙත සලකා ගිහිලිකරුවක ආධාරයෙන් දැඩි අව් රශ්මියේ ධර්මදූත මෙහෙවරේ යෙදෙන්නා දුටු යාපනයේ ජනතාව විසින් මෙතුමාව දමිළ භාෂාවෙන් " සම්මනිස ස්වාමි " ලෙස ආමන්ත්‍රණය කරන ලදී.එහි අර්ථය වන්නේ " සුරදූත පියතුමා " යන්නයි.එසේම මෙම නාමය ලැබීමට තවත් හේතුවක් ලෙස මෙතුමා සිදු කළ ප්රාතිහාර්යයන්ද දැක්විය හැක.
පසුව කොළඹ පදවියට මාරුවීම් ලැබූ මෙතුමා වර්ශ 1857 දී මහවීදිය දේවස්ථානයේ මීසම්පාලක පියතුමා ලෙස පත් වූ අතර එය මෙතුමාගේ ධර්මදූතික මෙහෙවරේ බලකොටුව ලෙස එතුමා විසින් තෝරා ගන්නා ලදි.වසර 38 ක් පුරාවටම මීගමුව කිතුණු ජනතාවට සේවය කළ මෙතුමා සැබෑ ජනතා නායකයකු ලෙසද ඉතිහාස ගතවී ඇත.
ලක්දිව කිතු සසුනේ අත්යාලංකාරම දේවස්ථානයක් වන වත්මන් මහ වීදිය දේවස්ථානයේ නිර්මාතෘවරයා වන මෙතුමා වර්ෂ 1874 දී මුල්ගල තබා දේවස්ථානයේ වැඩ ආරම්භ කරන ලදී.ඇතැම් ඓතිහාසික ලිපිවල මෙතුමාව කලා ශිල්පියෙකු ලෙසද හඳුන්වා ඇති අතර ඊට හේතු වී ඇත්තේ මහා වීදිය දේවස්ථානයේ අලංකාරත්වයයි.දේවස්ථානය මෙසේ ගොඩනැගීමට එවකට සිටි සහායක පියතුමන් වන අසව් පියතුමාගේද සහය නොඅඩුව ලැබී ඇත.
දේවස්ථානයේ මුල් බිත්ති තම පෞද්ගලික ධනයෙන් ඉදිකළ මෙතුමා දුගී දුප්පතුන්ටද ජාති භේද ආගම් භේද නොතකා තම පෞද්ගලික ධනයෙන් උපකාර කරන ලදී.ඇවිදීමට අපහසු තමන්ගේ දෙපා වලින් මුළු මීගමුව පුරාම සංචාරය කළ මෙතුමා ධීවරයාගේ සැබෑ මිතුරෙකි.තම දේව විශ්වාසයේ බාහිර සලකුණක් ලෙස ප්රාතිහාර්ය කරමින් ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කළ මෙතුමා එවකට සැබෑ ජීව ජීවමාන ශාන්තුවරයෙකි.
මීගමුව පුරවරයේ කීර්තිමත් පාසලක් වන ශාන්ත මරියා මහා විද්‍යාලයේ නිර්මාතෘ ද වන්නේ මෙතුමාය.එසේම වර්තමානයේ මහවිදිය දේවස්ථානය පවත්වන මංගල්යයන්ගේද ආරම්භය වන්නේ මෙතුමාය.උදාහරණ ලෙස වාර්ෂික මැයි මංගල්‍යය,භරත සංගයේ ජුසේමුණි මංගල්‍යය හා දිව්‍ය හෘදයේ මංගල්‍යය දැක්විය හැකිය.මෙතුමාගේ කාලවකවානුවේදී මහාවිදිය දේවස්ථානයේ මංගල්‍යයන් 20 කට ආසන්න ප්‍රමාණයක් උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.
එතුමාගේ ප්‍රාතිහාර්යයන්ගේ ජීවමාන සලකුණක් ලෙස වත්මන් මුන්නක්කරය සිරිකුරුස දේවස්ථානය හැඳින්විය හැකි අතර ඓතිහාසික වාර්තා තුළද මෙතුමාව ශුද්ධ වන්තයෙකුලෙස රදගුරුතුමන්ලා හා සභාවේ ජේෂ්ඨයන් විසින් සඳහන් කර ඇත.
තම පූජක ජීවිතයේ 50 වන සංවත්සරය දින ශුද්ධෝත්තම පියතුමන් විසින් පිරිනමන ලද සුදතුම්පිය ගෞරව නාමය ලැබූ මෙතුමා වර්ෂ 1895 මාර්තු 19 වන දින ස්වර්ගස්ථ විය.
එතුමාගේ දේහය ආශ්චර්යමත් දේව මාතාවන්ගේ ප්රාතිහාර්යාත්මක ප්‍රතිමාව යටින් තිබෙන විස්ත්රිනි පියතුමන්ගේ පිළිරුව යටින් තැන්පත් කර ඇති බවට සැලකේ.ශුද්ධවූ සභාවේ සාන්තුවර භාවයට එසවීම සඳහා මෙතුමාව යෝජනා කර තිබූ අතර දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට පසු එම වැඩපිළිවෙළ අඩාල වී ඇත.එතුමාව සිහිපත් කරන මේ දිනයේදී එතුමාගේ ආත්මයට ශුද්ධවන්ත භාවය ලබාගැනීමට වරම් ලැබේ යැයි අපි ප්‍රාර්ථනා කරමින් අපගේ යැඳුම් දෙවි පියාණන් වහන්සේට ඔප්පු කරමු.