24/02/2026
ලෙබනනයේ බෙකා නිම්නයේ අල්-නබි ෂයිත්ගම්මානයේ පදිංචි රහාෆ් අල් හලබාවි, දරුණු මොළයේ පිළිකාවකින් පීඩා විඳි පස් හැවිරිදි මුස්ලිම් දැරියකි. මෙම රෝගය ඇගේ මුළු ජීවිතයටම දැඩි ලෙස බලපා තිබුණි.
රහාෆ් තව ජීවත් වන්නේ මාස කිහිපයක් පමණක් බවත්, මොළයේ පිළිකාව ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කළහොත් වෛද්‍ය සංකූලතා හේතුවෙන් ඇය මිය යාමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් ඇගේ දෙමාපියන්ට දන්වා තිබුණි.
සිය දියණියගේ මරණයට හේතු විය හැකි මෙම භයානක ශල්‍යකර්මය පිළිබඳව ඇගේ පියා වන මුහම්මද් අලි අල්-හලබාවි බෙහෙවින් බියට පත් විය. 2014 අප්‍රේල් 22 වන දින, මුහම්මද් සිය දියණියව බෙකා නිම්නයේ සහ්ලේ හි පිහිටි ශුද්ධවූ චාර්බල් (St Charbel) දේවස්ථානය වෙත රැගෙන ගියේ දිව්‍ය පූජාවට සහභාගී වීමට සහ සිය දියණියව සුවපත් කිරීම සඳහා ශුද්ධවූ චාර්බල් මුනිඳුන් කෙරෙහි විශ්වාසය තබමිනි. ඔහු තම දියණිය සුවපත් කරන ලෙස ශුද්ධවූ චාර්බල් මුනිඳුන්ගේ මැදිහත් වීම පතා මුළු හදවතින්ම යාච්ඤා කළේය.
මුහම්මද් දේවස්ථානයේ යාච්ඤා කරමින් සිටියදී, ශුද්ධවූ චාර්බල් මුනිඳුන් ඔහු ඉදිරියේ පෙනී සිට මෙසේ පැවසූහ: "ඔබේ යාච්ඤාවන් පිළිගනු ලැබුවා, ශල්‍යකර්මය ගැන බිය නොවන්න, රහාෆ්ට එය කිරීමට ඉඩ දෙන්න, ඇය සියයට සියයක් සුවපත් වනු ඇත."
ශුද්ධවූ චාර්බල් මුනිඳුන්ගේ දර්ශනයෙන් මවිතයට පත් වූ මුහම්මද්, වහාම තම දියණියව රෝහල වෙත රැගෙන ගියේ ශල්‍යකර්මය සිදු කිරීම සඳහාය. වෛද්‍යවරුන් එය පිළිගෙන අතිශය භයානක මොළයේ පිළිකාව ඉවත් කිරීමේ ශල්‍යකර්මය ආරම්භ කළහ. ශල්‍යකර්මය අවසානයේ කිසිදු වෛද්‍ය සංකූලතාවයකින් තොරව ඉතා පහසුවෙන් පිළිකාව ඉවත් කිරීමට හැකිවීම ගැන වෛද්‍යවරු පුදුමයට පත් වූහ. ශල්‍යකර්මයෙන් පසු රහාෆ් පූර්ණ සුවය ලබා නැවත සිය පවුලේ අය සහ මිතුරන් සමඟ සතුටින් කාලය ගත කළාය.
මුහම්මද් නැවත සහ්ලේ හි ශුද්ධවූ චාර්බල් දේවස්ථානයට පැමිණ තම යාච්ඤාවන් පිළිගැනීම ගැන චාර්බල් මුනිඳුන්ට ස්තූති කළේය. ඔහු එහි සිටි පූජකතුමාට සහ ජනතාවට මෙසේ පැවසීය: "ශුද්ධවූ චාර්බල් සැමටම අයිතියි, දේවස්ථානය සැමටම අයිතියි, විශ්වාස කරන්න, විශ්වාස කරන්න, විශ්වාස කරන්න."
ජේසු පිහිටයි!
පරිවර්තනය හා සැකසුම - Saints and Angels