03/09/2026
"කලපුවටම බස්සාම කලපුව ගැන කියා දුන් අපූරු පරිසර දහම් පාසල් පාඩම.."
පරිසර දහම් පාසල සංකල්පය යටතේ අද 01/09/2026 මීගමුව මහා වීදිය මීසමට අයත් ශාන්ත නිකුලා සහ ශ්රී කුරුස දේවස්ථානයේ දහම් පාසල් ශිෂ්ය නායක නායිකාවන් සඳහා පරිසරය, විශේෂයෙන්ම මීගමු කලපුව සහ කඩොලාන පරිසර පද්ධති පිළිබඳව දැනුම ලබාදීමේ වැඩසටහනක් ඉතා ප්රායෝගික අයුරින් අප විසින් සිදු කරනු ලැබුණි.
මෙහි අති විශේෂ දෙයක් වූයේ පන්ති කාමර හෝ දේශන ශාලා තුළ උගන්වන පරිසර පාඩම් වලට ඔබ්බෙන් ගිය සැබෑ ප්රායෝගික අත්දැකීමක් ළමුන්ට ලබා දීමයි.
එනම් මීගමු කලපුවට බැස මීගමු කලපුව සහ කඩොලාන පරිසර පද්ධති පිළිබඳව දැනුම ලබා ගැනීමට අවස්ථාව නිර්මාණය කිරීමයි.
මෙහිදී මම ඔරුවක ඇනියේ වාඩිවී ළමුන්ගෙන් මෙන්ම අසල සිටි ධීවරයින්ගෙන් ප්රශ්න උත්තර අසමින් අපි අපේ පරිසර අත්දැකීම් එකිනෙකා සමග බෙදා ගත්තේ ඉතා ප්රායෝගික ලෙසය.
මෙය සියලු දෙනාට සැබෑ පරිසර අත්දැකීමක්ම වෙන්නට ඇතැයි මම විස්වාස කරමි.
එමෙන්ම කඩොලාන පරිසර පද්ධති වල ඇති වැදගත්කම දරුවන් සියැසින් දකින අතරේ මිනිසුන් වන අප විසින් එම වටිනා පරිසර පද්ධති වලට කර තිබෙන නානාවිධ තුවාල එම මොහොතේම සියැසින් දැක ගැනීමට සැමට හැකි උනා.
සියලු දරුවන් මීගමු කලපුවට සහ මෙම වටිනා පරිසර පද්ධතියට සිදු කර ඇති විනාශයන් වෙන වෙනම තෝරාබේරාගෙන පිළිතුරු සැපයීමට ගත් උත්සාහයද ඉතා ඇගයිය යුතුයි.
පෞද්ගලිකව තමුන්ගේ අතින් මෙම පරිසර පද්ධතියට කරන අහිතකර බලපෑම් අවංකවම ඔවුන්ම පැවසීම තුළ ඔවුන්ගේ නිර්ව්යාජත්වය සැමට පෙන්වන්නට විය.
කඩෝලාන ශාක මගින් කාබන් අවශෝෂණය කර ගැනීම ,ඔක්සිජන් නිෂ්පාදනය කිරීම,මුහුදු තෘණවල ඇතිි වටිනාකම, මෙම පරිසර පද්ධති හරහා ආහාර දාම හටගන්නා ආකාරය හා ඉන් විශාල ධීවර ජනතාවක් එය තම ජීවිකාව කර ගනිමින් රටට අවශ්ය පෝෂණ අවශ්යතාවය හා ආහාර සුරක්ෂිතතාවය සැපිරෙන ආකාරයා මෙහිදී සැමට ප්රායෝගිකව දැක ගැනීමට හැකි වුනා.
ශුද්ධවූ ෆ්රැන්සිස් පාප් තුමාගේ ලෞදාතෝසි විශ්ව ලේඛනය පදනම් කරගෙන ශ්රී ලංකාවේ කතෝලික සභාව මේ වන විට අපගේ පරිසරය රැක ගැනීම මහා උතුම් කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම ඉතාමත්ම සතුටට කරුණක්.එය සැබවින්ම දෙවියන්ගේ උත්තරීතට මැවිල්ලට සැබෑ සාක්ෂි දැරීමක්.
එමෙන්ම නායකයෙකු වශයෙන් ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් නිතර නිතර පරිසරය රැකගැනීමේ වැදගත්කම, විශේෂයෙන් මුතුරාජවෙල, මීගමු කලපුව සහ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැඩි වෙහෙසකින් හා නෛතික මාර්ගවලින් කටයුතු කිරීම තුළ සිවිල් සංවිධාන සහ පරිසර වේදීන්හට විශාල ශක්තියක් උන්වහන්සේ ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම වැඩසටහනේදී කැන්ද කොලේ මඤ්ඤොක්කා හා පොල් සම්බෝලය ,පොල් කට්ටේ තේ, අපේ පැරණි ජීවන රටාව තුළ තිබූ සරල බව, ස්වභාවිකත්වය සහ අඩු පරිභෝජන සංස්කෘතියද දරුවන්ට අත්විඳීමට ලැබුනා.
එය මෙම පරිසර පාඩමට සැබෑ අරුතක් හා රසයක් ගෙන ගෙනදුන්නා.
එමෙන්ම සියලු දරුවන් වැඩසටහන අවසානයේ සිය දකුණු අත ඉහළට ඔසවා පරිසරයට මෙන්ම එය මැවූ දෙවියන්ට පොරොන්දුවක් වූයේ කිසි විටෙකත් තමන්ගේ මේ අතින් මේ සුන්දර පරිසරය කෙලෙසන ආකාරයේ කිසිදු ක්රියාවක් නොකරන බවයි.
මෙම අපූරු වැඩසටහන වෙනදා මෙන්ම සැලසුම් කරන ලද්දේ සෙත් සරණ ආයතනයයි.
එහි අධ්යක්ෂක ගරු හේෂාන් පියතුමාගේ මග පෙන්වීම යටතේ ඔහුගේ සහයක පියතුමා වන ගරු අනුර ඩයස් පියතුමා ,ශ්රී කුරුස දේවස්ථානය බාර ගරු ඇන්තනී නිශන් පියතුමා සහ නිසල දිය සෙවන කන්යාරාමයේ ගරු මේරි චන්ද්රිකා කන්යා සොයුරිය, අපේ සෙත් සරණ කාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට කලපුවටම බැස ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරා.
'කලපුවටම බස්සාම කලපුව ගැන කියා දුන් පරිසර දහම් පාසල් පාඩම"
හිරු රක්ත වර්ණයෙන් කඩොලාන මතින් සැඟව යන විට සාර්ථකව අදට නිමවු අතර එය පරිසරය සුරැකීම අප ණය යුක්තියක් බව සහභාගිවූ සියලුම දෙනා තම තමන්ගේ හදවතේ ඉතා ගැඹුරින් සටහන් කර ගනු ලැබුවා.
දිනුෂ නානායක්කාර.
(පරිසරවේදී / ඡායාරූප ශිල්පී)
St.Nicholas Sunday School- Munnakkaraya
St. Nicholas' Church - Munnakkaraya
Holy Cross Church - Negombo
Holy Cross Sunday School Negombo
St.Mary's Church Grand Street Negombo Sri Lanka
St Mary 's Youth Society Grand Street Negombo
Media Circle of Our lady of Fatima, Kuttiduwa Church
Salve Mariya
News - Archdiocese of Colombo
Seth Sarana - Caritas Colombo
Caritas