Ceylon Buddhist Hermitages

Ceylon Buddhist Hermitages Religious organisation

🙏 ඔබ සැමට සුපින්බර ඉල් පුන් පොහෝ දිනයකය වේවා !!! 🙏
07/11/2022

🙏 ඔබ සැමට සුපින්බර ඉල් පුන් පොහෝ දිනයකය වේවා !!! 🙏

💐 ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ       දස්සනස්ස විසුද්ධියා      ඒතං හි තුම්හේ පටිපජ්ජථ                  මාරස්සේතං පමෝහනං 💐        ...
10/03/2022

💐 ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ
දස්සනස්ස විසුද්ධියා
ඒතං හි තුම්හේ පටිපජ්ජථ
මාරස්සේතං පමෝහනං 💐

මේ උතුම් සම්බුද්ධ ශාසනයේ උතුම්ම දානෙය ධර්ම දානයයි ...!!! පින්වත් සැමගේ ජිවිත සුවපත් විමට මේ උතුම් දහම් කරුණු උතුම් චතුරාරීය සත්‍ය ධර්මවබෝය අවබෝධ කරගැනීම මග පඑල පිණිස දහම් පඬු ම වේවා ....!!!

ඉහත සදහන් ගාථාවේ පදාර්ථය ...!!! ආර්ය සත්‍යාවබෝධය තුළින් පිරිසිදු වෙන්ට නම්, මේ මාර්ගය විතරමයි තියෙන්නෙ. වෙන මාර්ගයක් නෑ. ඔබත් මේ මාර්ගයම පිළිපදින්න. මේ මාර්ගයෙන් තමයි මාරයාව රවට්ටන්න පුළුවන් වෙන්නෙ.

☸️💐 උතුම් වූ තෙරුවන් සරණයි ...!!! 💐☸️

🛐 "බුද්ධානු භවයෙන්ද, "ධම්මානු භවයෙන්ද, "සංඝානු භාවයෙන්ද, " ත්‍රිවිධ ‍රත්නයේ අනුහසින් ආශිර්වාදයෙන් රෝග බිය අමුනුෂ බිය දුරුභික්ෂ බිය කියන්නා වු මෙකී දුක්ක දොමනස්සයන් දුරු වී පින්වත් සියළු දෙනාගේම කායික මානසික සැනසීම නිදුක් නීරෝගීමත්භාවය සෙත යහපත චිර ජීවනය උදා වී කරන කියන යහපත කටයුතු සමුර්දිමත් වී සැමට උපන් කුසල් දියුණු වේවා ...!!! නුපන් කුසල් වැඩෙත්වා ..!!! නුපන් අකුසල් නොවැඩෙත්වා ..!!! අවිද්‍යා අදුර දුරු වී ආලෝකය පහළ වේවා ...!!! උතුම් ලොව්තුරැ ධර්මයේ සිසිලෙන් සිත් නිවී සැනසේවා ..!!! උතුම් චතුරාරීය සත්‍ය අවබෝධය මග පඑල පිණිස දහම් පඬු ම වේවා ...!!! පින්වත් සැමට තුණුරුවන්ගේ පිහිට සැලසේවා ..!!!🛐

☸️🛐💐 උතුම් වූ තෙරුවන් සරණයි 💐🛐☸️

🙏🙏🙏☸️ නමෝ බුද්ධාය ☸️🙏🙏🙏🛑 උතුම් වූ ධර්ම දානය උදෙසා මෙය අනෙකුත් පිංවතුන් අතරේ බෙදා හරින්න 🛑සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්ම...
19/11/2021

🙏🙏🙏☸️ නමෝ බුද්ධාය ☸️🙏🙏🙏

🛑 උතුම් වූ ධර්ම දානය උදෙසා මෙය අනෙකුත් පිංවතුන් අතරේ බෙදා හරින්න 🛑

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලී ති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්රෝණයක් පමණ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර
ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි....!!! 🙏🙏🙏

අනුරපුරයෙ වැඩ හිඳිනා මහසෑය
ගැමුණු රජුන් ඉදි කල මහසෑය
ධාතු ද්‍රෝණයක් රැස් විහිදුවනා සෑය
අපිත් වඳිමු රුවන්වැලි මහසෑය

මහ මෙව්නා උයනේ වැඩ සිටින්නේ
දෙවියන් බඹුන් පවා නිතරම පුදන්නේ
ද්‍රෝණයක් මුණි ධාතුන් වැඩ සිටින්නේ
සාදු සාදු මහ සෑයයි වඳින්නේ

ස්වර්ණමාලී මහාසෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා ... !!!

🙏💐උතුම් වූ තෙරුවන් සරණයි 💐🙏

🙏 ස්වර්ණමාලී මාහා සෑය🙏🙏මහා සෑයේ ධාතු ගර්භය කරවීමගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමාගේ ආයාචනය පරිදි වැ...
18/11/2021

🙏 ස්වර්ණමාලී මාහා සෑය🙏

🙏මහා සෑයේ ධාතු ගර්භය කරවීම

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමාගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස දහඅට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.

අනතුරුව දුටුගැමුණු මහ නිරිඳාණන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා විසින් බැල්ම හෙලන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. “පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දර සෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමියි” එම වඩුතුමා පැවසූ කල්හි නරේන්ද්‍ර තෙමේ අතිශයින්ම සතුටට පත්වූයේ ය.

සැදැහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නොපෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල්හි ඒ ඒ දිනයට වුවමනා සියළු ගඩොල් දේවානුභාවයෙන් මහාසෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේ ය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින් ම සන්තෝෂයෙන් යුක්ත වූයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නොකළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස්ලක්ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත‍්‍රාභරණයන් ද ප‍්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විළවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ට ම අනුකූල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.

මහා චෛත්‍ය කරවනු ලබන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියදහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතුවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තාහු ය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ‍්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් පින්කම් කරන්නාහු ය.

මෙම ස්ථූපය වඩාත් සවිමත් වීම පිණිස මහා චෛත්‍යස්ථානයෙහි ගඩොලින් නිමවන ලද ප‍්‍රධාන මල් ආසන තුන ම ඍද්ධි සම්පන්න වූ රහතන් වහන්සේලා විසින් පොළොව සමකොට ගිල්ලවන ලද්දේ ය. මේ ආකාරයෙන් වාර නවයක් තුලදීම ඍද්ධිමත් රහතන් වහන්සේලා විසින් ඉදිකරන සියල්ල ගිල්ලවන ලද්දාහු ය. එවිට උන්වහන්සේලා කරා පැමිණි රජතුමා පසඟ පිහිටුවා වන්දනා කොට “ස්වාමීනී, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහුය. තනවන ලද සියල්ල පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැයි” විචාරන කල්හි පින්වත් මහරජාණෙනි තථාගතයන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහාසෑය නොගිලෙනු පිණිස ඍද්ධිමත් භික්ෂූන් විසින් මෙය කරන ලද්දේ ය. ඒ ගැන සංකා නොඋපදවා චෛත්‍ය කර්මාන්තය කළ මැනවැයි වදාළ සේක.

එය අසා චිත්තප‍්‍රසන්න වූ රජතුමා චෛත්‍ය කර්මාන්තය කරවන්නට පටන් ගත්තේ ය. එකල්හි භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවා “එම්බා ආයුෂ්මතුනි, මහාසෑයෙහි දාගැබ පිණිස මේඝ වර්ණ පාෂාණයන් ගෙන එනු මැනවැයි” වදාළ සේක. එකල්හි ඒ දෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසූ රියන් දිය පළල ඇති මණ්ඩලාකාර වූ මනා පැහැයෙන් යුතු පාෂාණයන් ගෙන වැඩියාහු ය. ඍද්ධිමත් රහතන් වහන්සේලා මල් ආසන මත එක් ගලක් තැන්පත් කළ සේක. ගල් සතරක් සතර පසින් සවි කළ සේක.

සාසනමාමක වූ දුටුගැමුණු නිරිඳාණෝ ස්වර්ණමාලි මහා චෛත්‍ය ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දාහු ය. එම ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවන ලද්දේ ය. ගර්භය මුදුනේ හිරු මඬල ද, සඳ මඬල ද, තාරකා පන්තීන් ද කරවන ලද්දේ ය. එම බෝධීන් වහන්සේ ගේ නැගෙනහිරින් ප‍්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේ ය. ඒ පිළිම වහන්සේට සුදු සේසත් දරන්නා වූ මහබඹු ගේ රුව ද කරවන ලද්දේ ය. විජයුත්තරා නම් වූ ශංඛය අතැති සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන් වන් වීණාවක් ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ඇතුපිට නැඟී සිටින අත්දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිතව පලා යන රුව ද කරවන ලද්දේ ය.

සහම්පතී බ‍්‍රහ්මරාජයා ප‍්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව වදාරන අයුරු ද කරවන ලද්දේ ය. යසකුල පුත‍්‍රයා ගේ උතුම් පැවිදි බව ද භද්දවග්ගිය කුමාරවරුන් ගේ උතුම් පැවිදි බව ද මෙම සසුනෙහි ප‍්‍රථම රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේ ය. සැරියුත්, මුගලන්, මහා කස්සප, අනුරුද්ධ, මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බිල, භද්දිය, ආනන්ද ආදී අසූ මහ රහතන් වහන්සේලා ගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.

රුවන් සක්මන ද කරවන ලද්දේ ය. රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දේ ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද, ගන්ඩබ්බ වෘක්ෂ මූළයේ ප‍්‍රාතිහාර්ය පෑම ද, දෙව්ලොව වැඩම කිරීම ද, දේවාරෝහන ප‍්‍රාතිහාර්යය ද, මහා සමය සූත‍්‍ර දේශනාව ද, රාහුලෝවාද සූත‍්‍ර දේශනාව ද, මහා මංගල සූත‍්‍ර දේශනාව ද, ධනපාල සමාගමය ද, අංගුලිමාල දමනය ද, ආලවක දමනයද, අපලාල දමනය ද, බාවරී බ‍්‍රාහ්මණයා ගේ ශිෂ්‍යන් වන අජිත මෛත්ත්‍යෙ ආදී පිරිස් තථාගත ශ‍්‍රාවකත්වයට පැමිණෙන පාරායන සමාගමය ද කරවන ලද්දාහු ය.

එමෙන් ම ආයුසංස්කාරය අත් හැරීම, චුන්දකම්මාර පුත්තගේ අවසන් දන් පිළිගැනීම, පුක්කුස මල්ල රජදරුවන්ගේ වස්ත‍්‍ර පිළිගැනීම, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ උතුරු දෙසට හිසලා තනවන ලද යහනේ සැතපී පිරිණිවනට වඩිනා රුව ද කරවන ලද්දාහු ය. දෙවි මිනිසුන්ගේ විලාපය ද මහාකස්සප මහරහතන් වහන්සේ සම්බුදු සිරිපා වන්දනා කිරීම ද සඳුන් දර සෑයේ ගිණි ඇවිලීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයා විසින් ධාතු බෙදා දීම ද කරවන ලද්දේ ය.

එමෙන් ම වෙස්සන්තර ජාතකය ද තුසිත දෙව් ලොව සන්තුෂිත දෙව් කුමරු ලෙස වාසය කිරීම ද, මහාමාය දේවිය කුස පිළිසිඳ ගැනීම ද, බෝසත් උපත ද, යශෝදරා සමඟ වන විවාහ මංගල්‍යය ද, මහා අභිනිෂ්ක‍්‍රමණය ද, දුෂ්කරක‍්‍රියාව ද, සුජාතා සිටු දියණිය ගේ කිරිපිඬු පූජාව ද, මාර පරාජය ද කරවන ලද්දාහු ය. දෙව් ලොව වසන්නා වූ තිස් තුන් දිව්‍ය කුමරුවෝ ද, දෙතිසක් දිව්‍ය කුමරියෝ ද, අටවිසි යක් සෙනෙවියෝ ද, අනේක වූ දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය. පුන් කලස් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද, තූර්ය වාදන කරන්නා වූ දෙවි දේවතාවෝ ද, සරසන ලද කැඩපත් අතින් ගත් දෙවි දේවතාවෝ ද, මාලා දාමයන් අතින් ගත් දෙවිදේවතාවෝ ද, ධජ පතාකයන් අතින් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය.

එමෙන්ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. චෛත්‍ය ගර්භය ආලෝකමත් වීම පිණිස එළිය දෙන මැණික් වර්ග ද ගොඩ ගසන ලද්දේ ය. මෙසේ සියලූ රූපයෝ ඝන රනින් ම කරන ලද්දාහු ය. අභිඥාලාභී මහාප‍්‍රාඥ වූ ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේ ගේ අධීක්ෂණය යටතේ චෛත්‍ය කර්මාන්තය මැනැවින් සම්පූර්ණ වූයේ ය. රජුන් ගේ රාජ ඍද්ධිය ද, දෙවියන්ගේ දේව ඍද්ධිය ද, රහතුන්ගේ ආර්ය ඍද්ධිය ද එකට කැටි වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවන ලද්දේ ය.

🙏ධාතු තැන්පත් කිරීම

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා ස්ථූපය කරවන්නා වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිමා කරවා භික්ෂු සංඝයා වන්දනා කොට “පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ‍්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියළු කර්මාන්තයෝ සම්පූර්ණ කරන ලද්දාහු ය. ඉතින් ස්වාමීනි සෙට දවසෙහි දී ධාතු නිධන් කරන්නෙමි. ඒ සඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වා”යි දැනුම් දී සිටියේ ය.

එකල්හි භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂඞ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේ ගේ නම යෝජනා කරන ලද්දාහු ය. ඒ සොණුත්තර නම් රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද යත් ඒ අතීත ප‍්‍රවෘත්තිය මේ අයුරින් දත යුත්තේ ය.

අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස දනව් සැරි සරා වඩින කල්හි ගංගා නදීතෙර වාසී වූ නන්දුත්තර නම් තරුණයෙක් බුදු රජුන් කෙරෙහි ප‍්‍රසන්න වූයේ ය. හෙතෙමේ නිරන්තරයෙන් බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝයා නිමන්ත‍්‍රණය කොට දන් වැළඳවන්නේ ය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ප‍්‍රයාගප‍්‍රෂ්ඨාන නම් වූ ගංතොටින් සංඝයා සමඟ නැව් නැගි සේක. එසේ නැව් නැග ගංගා නදියේ වඩිනා සේක. එකල්හි මහා ඍද්ධිමත් භද්දජි නම් මහරහතන් වහන්සේ ගංගා නදියේ මැද ජලය කැළඹුන තැනක් දැක තමන් ගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා හට මේ වචන පවසන ලද්දේ ය.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම් වනාහී එක්තරා යුගයක දී මහාපනාද නම් රජකෙනෙක්ව සිටියෙමි. එකල්හි මා විසින් වාසය කරන ලද විසිපස් යොදුන් රන් වන් ප‍්‍රාසාදය දැන් මේ ගඟ දිය තුළ ඇත්තේ ය. ඒ ප‍්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම නිසා මෙතන්හි දිය පැකිළීම වන්නේ ය.” එකල්හි ඇතැම් භික්ෂූන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්තෘන් වහන්සේට සැල කළාහුය. එවිට සර්වඥයන් වහන්සේ “පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයා ගේ සැකය දුරු කළ යුතු යැයි වදාළ කල්හි භද්දජි මහරහතන් වහන්සේ විසින් මෙබඳු ප‍්‍රාතිහාර්යයක් කරන ලද්දේ ය. එනම් උන්වහන්සේ අහසට පැන නැඟී සේක. අහස් තලයෙහි පළඟක් බැඳ වැඩසිටි සේක. අනතුරුව සියුම් අතක් දිගුකොට බඹ ලොව පිහිටි සළුමිණි සෑය තම අත මත තබාගෙන නැවත එය රැස්වූ ජනයාට ද, සංඝයාට ද දැක්වූ සේක. යළි එය බඹ ලොව තිබූ තැනම තැන්පත් කළ සේක. ඉක්බිති භද්දජි මහරහතන් වහන්සේ ගංගා නම් ගඟ දිය මත සක්මන් කොට මහපට ඇඟිල්ලෙන් ප‍්‍රාසාදයෙහි කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්සවූ සේක.

මෙම ප‍්‍රාතිහාර්යය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින් ම පුදුමයට පත් වී “අහෝ! රහතුන් වහන්සේලාගේ ගුණ ආශ්චර්යයි. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය අතිශයින්ම ආශ්චර්යයි. මට ද මා කරන ලද්දා වූ මේ පුණ්‍යාණුභාවයෙන් මෙවැනි ආකාරයෙන් ඍද්ධියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙන ඒමට හැකියාව ලැබේවා” යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. ඒ නන්දුත්තර තරුණයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදිව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ වී නමුත් උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේ දැන ගත් සේක. සංඝයා වහන්සේ “ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලී මහාසෑයේ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනැව” යි වදාළ කල්හි “ස්වාමීනී, මම ධාතුන් වහන්සේලා කොයින් රැගෙන එම්ද විචාරණ ලද්දේ ය. එවිට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. “ආයුෂ්මත් සෝණුත්තරය, පිරිනිවන් මංචකයේ සැතපී වැඩහුන්නා වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථ සර්වඥරාජෝත්තමයන් වහන්සේ ලෝසතුන් ගේ යහපත උදෙසා සක්දෙව් රජාණන් හට මෙසේ වදාරණ සේක. “පින්වත් දේවේන්ද්‍රය, පිරිණිවන් පෑමෙන් පසු තථාගත ශරීරයෙහි ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේ ය. එයින් එක් ද්‍රෝණයක් රාම ග‍්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබන්නේ ය. එය නාලොවට ලැබෙන්නේ ය. නාරජවරුන් විසින් පුදනු ලබන්නේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ මහාස්ථූපයෙහි නිධානය පිණිස වන්නේ ය.”

මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග‍්‍රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාජ්‍ය තෙමේ ධාතුන් වහන්සේලා නිධන්කොට අසූ දහසක් ස්ථූප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේ ය. එකල්හි රහතන් වහන්සේලා ශ‍්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒ ධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක.

රාමග‍්‍රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේ ය. එකල්හි ගංගා නදියෙහි සැඩ දිය පහරින් ක‍්‍රමක‍්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංගා නදියට වැටුනේ ය. එය ක‍්‍රමක‍්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේ ය. එකල්හි නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප‍්‍රමෝදයෙන් යුතුව නම් මංජේරික නම් නාග භවනට ගෙන ගියාහු ය. ඉකිබිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහු ය. එය ඇසූ මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නාගභවනට වඩමවා ගන්නා ලද්දේ ය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථූපයක් කරවූයේ ය. නිරතුරුවම රැකවල් කරන ලද්දේ ය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒ ධාතුන් වහන්සේලා වැඩමවා එන මැනැව. හෙට දවසේ මහරජාණෝ ධාතු නිධානය කරවන්නාහු ය.”යි සංඝයා විසින් වදාරණ ලද්දේ ය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘත්‍යයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේ ය. ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත‍්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවූයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේ ය. සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැඟුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඬුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේ ය. එම රථය පිරිවරා ගත් දහස් ගනන් ස්තී‍්‍ර පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශී‍්‍රයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේ ය. ධාතු පූජා පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද කන්කළු බුදු ගුණ ගායනාවෙන් ද අනුරපුර නගරය ගිගුම් දුන්නේ ය.

නගරයේ පවත්නා මහා තූර්ය නාදය අසා සෝණුත්තර රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් පොළොවේ කිමිඳී මහාකාල නාගරාජයා ගේ නාග භවනයෙහි නාරජු ඉදිරියෙහි පහළ වූ සේක. නා රජ තෙමේ හුනස්නෙන් නැගී සිට සත්කාරකරන්නේ පැමිණි කරුණ විමසා සිටියේ ය. එකල්හි රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සන්දේශය පවසන්නේ “පින්වත් නාග රාජයානෙනි, අපගේ ශාස්තෘන් වහ්නසේ වන සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි ඉදිකෙරෙන මහා ස්ථූපයෙහි නිධන් කිරීම පිණිස වදාරණ ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ලඟ ඇත්තාහු ය. ඒ ධාතූන් වහන්සේලා මාහට දෙනු මැනැව. එය රැගෙන යනු පිණිස මම පැමිණියෙමි”වදාළ සේක.

ආගන්තුක ශ‍්‍රමණයන් වහන්සේ ගේ බස් ඇසීමෙන් මහාකාල නාරජ තෙමේ මහත් දොම්නසට පැමිණියේ ය. මෙම ශ‍්‍රමණයන් වහන්සේ ධාතූන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පොහොසත් වන්නේ ය. එබැවින් හැකිතාක් ඉක්මනින් එම ධාතූන් වහන්සේලා වැඩ සිටිනා තැනින් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ යැයි තම සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේය. එකල්හි වාසුල දත්ත නම් නාරජතෙමේ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේ ය. ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල්ලේ ය. මහා මේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය. එවිට ඒ නාග රාජයාගේ ශරීරය යොදුන් තුන්සීයක් දික්ව ගියේ ය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගනනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නාහුය. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වන්නේය. දුම් දමන්නේ ය. එකල්හි බොහෝ දෙවියෝද නාගයෝද අද තථාගත ශ‍්‍රාවක වූ ශ‍්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග‍්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූවාහු ය.

එකල්හි මහාකාල නා රජතෙමේ තම බෑණනුවන් විසින් ඒ ධාතුන් සඟවන ලද බව දැන “අනේ ස්වාමීනී, ඔබ වහන්සේ සොයන ධාතූන් වහන්සේලා මා සන්තකයේ නැතැයි” පවසා සිටියේ ය. මහරහතන් වහන්සේ ඒ ධාතූන් වහන්සේලා දෙනු මැනැවයි යළි යළිත් පවසන කල්හි ඒ නාරජ තෙමේ රහතන් වහන්සේව ධාතු මන්දිරයට ගෙන ගොස් මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේ ය. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඇස් විදහා බලා වදාළ මැනව. නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරය ද මේ අවට සැරසිලි ද මැනැවින් බලනු මැනව. සකල ලංකාද්වීපයෙහි ඇති සියළු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි ඇති සඳකඩ පහණ තරම් වත් නොවටින්නේ ය. අන්‍ය වස්තූන් ගේ වටිනාකම ගැන කවර කතා ද? එහෙයින් පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට ගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි” යි පවසා සිටියේ ය.

එවිට සෝණුත්තර නම් රහතන් වහන්සේ නාරජ හට මෙසේ පිළිතුරු වදාරන්නාහු. “පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ම ය. පින්වත් නාගරාජය, එය මම් දනිමි. එහෙත් තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැක්කේම ය. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ ඇත්තාවූ ස්ථානයට ම ධාතුන් වහන්සේලා ගෙන යෑම යුතු වන්නේම ය. තථාගතයන් වහන්සේලා ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝසතුන් සසර දුකින් එතෙර කරවීම පිණිසම ය. එය වනාහී සර්වඥයන් වහන්සේගේ ඒකායන පැතුම යි. එම කාරණය කරණ කොට ගෙන මම ධාතූන් වහන්සේලා ගෙනයන්නට පැමිණියෙමි. දුටුගැමුණු අභය මහාරජාණන් අද ධාතු නිධානය කරන හෙයින් ප‍්‍රමාද නොකොට මා හට ධාතූන් වහන්සේලා දුන මැනව”යි වදාළ සේක. රහතන් වහන්සේ ගේ ඒ බසට පිළිතුරු දෙන මහා කාල නාරජුන් “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මා ලඟ ධාතූන් වහන්සේලා නැත්තේ ය. ධාතූන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දනනාහු නම් ගෙන යනු මැනව” යි කියා සිටියේ ය.

එකල්හි මහා ප‍්‍රාඥ වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන් වරක්ම කියවාගෙන එහිම වැඩහුන් සේක් ඒ ක්ෂණයෙහිම ඉතා සියුම් අතක් මවා මහාමේරූ පර්වතප‍්‍රාන්තයෙහි දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒ අත ඇතුලූ කොට කුස තුල තිබූ ධාතු කරඬුව ගෙන නාගය සිටිනු මැනැවැයි කියා පොළොවෙහි කිමිඳ ගොස් සංඝයා මධ්‍යයෙහි උඩට මතු වී නැගී සිටි සේක. මෙය නොදත් මහාකාල නාරජු අප විසින් මෙම ශ‍්‍රමණයා රවටන ලදුව හිස් අතින් ම ගියේවනැයි සිතා ධාතූන් වහන්සේලා රැගෙන එනු පිණිස වාසුල දත්ත නාරජුන් හට දැනුම් දුන්නේය. එවිට වාසුලදත්ත නාරජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් අවුත් තම මාමණ්ඩිය වූ මහාකාළ නාරජුට පවසා සිටියේ ය. නා රජ තෙම් ද ශ‍්‍රමණයෙකු විසින් අපි රවටන ලද්දමෝ යැයි හඬන්නට වූයේ ය. සියළු නාගයෝ රැස්ව එක් වන් හඬින් ශබ්ද නගා සෝක කරන්නට වූහ.

මෙය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග‍්‍රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසී මහා සෑ බිමට රැස් වූවාහු ය. ධාතූන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට වන්හ. ඔවුන් හට අනුකම්පා කර සංඝ තෙමේ ධාතූන් ස්වල්පයක් ලබා දුන්නේ ය. මහත් සතුටට පත් නාරජවරු බුදු ගුණ කිය කියා ස්ථූප පූජාවට එක් වූවාහු ය.

ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළඟක් ද රැගෙන ආවේ ය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළඟෙහි තැබුවේය. මහා බ‍්‍රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත‍්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක‍්‍ර දේවේන්ද්‍රයා සුවද පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. සතර වරම් දෙවි රජ මහ දරුවෝ රන් වන් කඩු අතැතිව සිටගෙන සිටියාහු ය. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතු පූජා කරන්නට සිට ගත්තාහු ය. අටවිසි යක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය. පංචසිඛ නම් දිව්‍ය පුත‍්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළාහු ය. තිම්බරු නම් දිව්‍ය පුත‍්‍රයා දිව්‍ය තූර්ය නාදයන් පවත්වමින් සිටියේ ය. මහාකාල නාරජ තෙමේ දෙවියන් හා එක්ව ස්තුති ගීතිකා පැවැත්වුහාහුය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට පටන් ගත්හ.

එකල්හි මාරයාගෙන් සිදුවන බාධා මැඬලීම පිණිස මහා ඍද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සක්වලටම සෙවන සැලසිය හැකි මහත් ලෝහමය ඡත‍්‍රයක් මැවූ සේක. ධාතූන් වහන්සේලා ඉදිරියේ පස් තැනක වැඩ හුන් භික්ෂූන් වහන්සේලා සූත‍්‍ර සජ්ඣායනා කළ සේක. අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර රජතෙමේ තමන් හිස මත දරා ගෙන පැමිණි රන්කරඬුව ආසනයෙහි පිහිටුවා ධාතු පූජා කොට වැඳ වැටුනේ ය. ඒ මොහොතේ රජතෙමේ මෙසේ පවසා සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුඑරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතූ පූජාව කරන්නා වූ මේ මහා පින්කමේ දී ස්වාමීනී සර්වඥධාතූන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත‍්‍රයන් මට පෙනෙන්නේ ය. දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය. දිව්‍යම ය සුගන්ධයන් හාත්පස විහිදෙන්නේ ය. දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නාවූ දෙවියන් බ‍්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ දිව්‍යමය වූ ඡත‍්‍රය ද මානුෂික ඡත‍්‍රය ද විමුක්ති ඡත‍්‍රය ද යන ත‍්‍රීඡත‍්‍රය දරා වැඩ සිටින්නා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අර්හත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකාරාජ්‍ය මම පූජා කරන්නෙමි.” කියා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා ඉදිරියේ ගෞතම බුදු සසුන උදෙසා ලංකාරාජ්‍යය පූජා කළේ ය.

අනතුරුව දෙව්මිනිස් පිරිවරා ගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් ගෙන භික්ෂු සංඝයා සමඟ මහා සෑය ප‍්‍රදක්ෂිනා කරන්නේ නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස්සේ ය. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදු ගුණ කියමින් දෑත් බැඳ වන්දනා කරමින් ස්ථූපය හාත්පස වැඩ සිටි සේක. ධාතු ගර්භයට බැස පී‍්‍රතියෙන් පිනා ගිය නරේන්ද්‍ර තෙමේ එහි තැන්පත් කරන ලද යහනෙහි තැන්පත් කරන්නෙමි යි සිතූ කල්හි ඍද්ධි බලයෙන් ධාතු කරඬුව අහස් කුසට පැන නැංගේ ය.

ඉක්බිති ධාතු කරඬුව ඍද්ධි බලයෙන් විවෘත විය. ධාතූන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ පරම සුන්දර වූ බුදුරජාණන් වහන්සේ ගේ ශී‍්‍ර ශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ඩබ්බ වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමක මහා ප‍්‍රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ‍්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිණි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට පටන් ගත්තාහු ය.

මේ විස්මයජනක ප‍්‍රාතිහාර්ය දර්ශනයෙන් ප‍්‍රසන්නව එකඟ වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගපලප්ප‍්‍රාප්ත වූවාහුය. ඉන් පසු ඒ ධාතූන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටි සේක. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසෙහි පිහිටියේ ය. නරේන්ද්‍ර තෙමේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් සමඟ එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද එම ධතු කරඬුව යහන මත තබා රන් පළඟේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යළි කරඬුව විවෘත කළේය. ඒ ධාතූන් වහන්සේලා මත තම දෑත තැබුවේ ය.

එකල්හි දුටුගැමුණු රජතුමා මේ අයුරින් අධිෂ්ඨානයක් කළේ ය. ඒකාන්තයෙන්ම මෙම ධාතූන් වහන්සේලා ඒ සර්වඥයන් වහන්සේ ගේ ම ශාරීරික කොටස් වන සේක. ඒකාන්තයෙන් ම මේ ධාතූන් වහන්සේලා ලෝක සත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටිනා සේක. එහෙයින් මේ ධාතූන් වහන්සේලා මේ මහාර්ඝ වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිණිවන් පා වදාළ දිනයෙහි සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා යැයි කියා යහන මත ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය. පිරිණිවන් පා වදාරණ ලද භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතූන් වහන්සේලා ඍද්ධි බලයෙන් තැන්පත් වූ සේක. මහා පෘථිවිතොමෝ කම්පා වී ගියා ය. අනේකවිධ වූ අද්භූතජනක ප‍්‍රාතිහාර්යෝ හාත්පසින් දිස්වූවාහු ය.

පහන් සිතැති රජතෙමේ රාජ සේසතින් ද ධාතූන් වහන්සේලා හට පූජා පැවැත්වූයේ ය. ලංකාරාජ්‍යයෙන් සත් දවසක් පූජා පැවැත්වූයේ ය. රජුන්ගේ සියළු රාජාභරණ ධාතූන් වහන්සේලාට පිදුවේ ය. අමාත්‍ය වරුද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද, දේවතාවෝ ද තම ආභරණයන්ගෙන් ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වූවාහු ය. භික්ෂූන් වහන්සේලා රැය පහන් වන තුරු සූත‍්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියාහු ය. සියළු ජනතාවට ම සත්දින මුළුල්ලේ ධාතු පූජා කරන්නට නුවර පුරා අඬ බෙර ඇස්සවූයේ ය. ලංකාද්වීපවාසීහු මනුෂ්‍යන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔව්හු වහා අවුත් ධාතූන් වහන්සේලා දැන වන්දනා කරත්වායැයි විධාන කරන ලද්දේ ය.

සත්දවසක් පුරා කරන ලද ධාතූ පූජාවෙන් සහ ඒ සඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප‍්‍රමුදිත වූ දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියළු කටයුතු සම්පූර්ණ කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා! ”

එකල්හි ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය. ඒ මොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන්වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. “අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසා පූජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො මැලවෙත්වා! මෙම සුවඳ මැටි නොවේලෙත්වා! හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප‍්‍රදීපයෝ නොනිවෙත්වා! මෙහි පූජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතින්වා! මෙම මේඝවර්ණ පාෂාණයෝ එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා!” මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමඟ ලංකාද්වීපය නම් වූ මාතාව ගේ හදවත වන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු පූජෝත්සවය නිමාවට පත් වූයේ ය.

(මහාවංශය ඇසුරෙනි.)
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
උපුටා ගැනීම මහමෙවුනාව වෙබ් අඩවියෙන් සම්පූර්ණ ලිපිය කියවීමට https://mahamevnawa.lk/sitha_niwana_12/

උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...

09/07/2021

💐 නමෝ බුද්ධාය 💐🙏🙏🙏

සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

කොරෝනා වසංගතයට පෙර අප විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සාදා නිමකරන ලද කන්චුක ( කප්රුක් ) චීවරය රුවන්වැලි මහා සෑ රදුන්ට ඉතාමත් භක්තියෙන් යුතුව පූජා කරන ලදි . මේ සදහා දායක වූ සියළු දෙනාට පිං අනුමෝදන් කරන අතර මෙය දකින සියළු දෙනා සාදු කියා පිං අනුමෝදන් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි .

සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

💐🙏 උතුම් වූ තෙරුවන් සරණයි 💐🙏🙏🙏

🙏🙏💐💐.... සොළොස්මස්ථාන ....💐💐🙏🙏මහියංගණං නාගදීපංකල්‍යාණං පාද ලාංඡනංදිවාගුහං දීඝවාපීචේතියංච මුතියංගණංතිස්ස මහා විහාරංචබෝධිං...
21/02/2021

🙏🙏💐💐.... සොළොස්මස්ථාන ....💐💐🙏🙏

මහියංගණං නාගදීපං
කල්‍යාණං පාද ලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මුතියංගණං
තිස්ස මහා විහාරංච
බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං
තථා කාචර ගාමකං
එතෙ සොළසඨානානි
අහං වන්දාමි සබ්බදා

බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම අපහසුය. මෙම සිද්ධස්ථාන 16 පිළිබද විස්තර මෙසේය...

01. මහියංගණ චෛත්‍යය :-

🌹 බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන් වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල් මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

02 . නාගදීප චෛත්‍යය :-

🌹 බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. ‘නයිනතිව්’ නම් දූපත නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ.

03 . කැලණි චෛත්‍යය :-

🌹 බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත.

04 . ශ්‍රී පාදස්ථානය :-

🌹 බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති බවක්ද කියැවේ.

05 . දිවාගුහාව :-

🌹 බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි. ‘භගවා ලෙන’ නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ.

06 . දීඝවාපි චෛත්‍යය :-

🌹 බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා විසින් කරවන ලද ‘දීඝවාපි’ නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත. දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි.

07 . මුතියංගණ චෛත්‍යය :-

🌹 බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්‍රය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත.

08 . තිස්සමහාරාමය :-

🌹 සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන බැවින්, තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත් තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි.

09 . ශ්‍රී‍ මහා බෝධින් වහන්සේ :-

🌹 මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ රෝපණය කරන ලදී.

10 . මිරිසවැටි දාගැබ :-

🌹 දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට ‘මිරිසවැටි’ දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම් සිදු කෙරිණි.

11 . රුවන්මැලිසෑය :-

🌹 මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින් හඳුන්වයි. අඩි 350 ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි. බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී , වැඩ නිමවී ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම කරන ලදී.

12 . ථූපාරාම චෛත්‍යය :-

🌹 ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවෙන් ලබාගත්, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස අඩි 59 කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි.

13 . අභයගිරි චෛත්‍යය :-

🌹 ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි 370 ක් උසවේ. වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී ‘මහා කළු සිංහලයා පලායයි’ යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත. සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි.

14 . ජේතවන චෛත්‍යය :-

🌹 ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි 400 ක් උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ පිළිසකර කෙරෙයි.

15 . සේල චෛත්‍යය :-

🌹 මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත.

16 . කතරගම කිරි වෙහෙර :-

🌹 දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත.

ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර, තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට තනා ඇති සෝමවතී චෛත්‍යය, බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය, තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය, එසේම අවුකන, මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක් ගනී .......

🙏💐🙏 උතුම් වූ තෙරුවන් සරණයි 🙏💐🙏

Address

Thapasaramaya Road
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Buddhist Hermitages posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share