සාන්ත මයිකල් ජේෂ්ඨ කිතුණු හවුල - St.Michael's Senior Catholic Society

  • Home
  • Sri Lanka
  • Moratuwa
  • සාන්ත මයිකල් ජේෂ්ඨ කිතුණු හවුල - St.Michael's Senior Catholic Society

සාන්ත මයිකල් ජේෂ්ඨ කිතුණු හවුල - St.Michael's Senior Catholic Society Church Related Society...

16/04/2026

අප්‍රියෙල් 16 වන දින සුබ අස්න – ශු. ජොහාන් 3: 31 – 36

31 ”ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය; 32 උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක. එහෙත්, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති. 33 උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි. 34 දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි. 35 පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත. 36 යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”

15/04/2026

අප්‍රියෙල් 15 වන දින සුබ අස්න – ශු. ජොහාන් 3: 16 – 21

16 ”දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. 18 උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.
19 ”විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. 20 නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. 21 එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.

14/04/2026

අප්‍රියෙල් 14 වන දින සුබ අස්න – ශු. ජොහාන් 3: 7 – 15

7 ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. 8 සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.
9 ”මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය. 10 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකි ද? 11 ඒකාන්තයෙන් මම ඔබට කියමි; අපි දන්නා දේ කියමු, දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත්, අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නෙහු ය. 12 මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම්, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද? 13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, 15 උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.”

08/04/2026

අප්‍රියෙල් 08 වන දින සුබ අස්න – ශු. ලූක් 24: 13 – 35

13 එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. 14 එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ. 15 තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක. 16 ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය. 17 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ. 18 ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, ”මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. 19 ”කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක. 20 නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. 21 එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත. 22 තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්, 23 උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ. 24 අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ. 25 එවිට උන් වහන්සේ ඔවුන් අමතා, ”බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි, 26 ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා, 27 මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28 ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. 29 එවිට ඔව්හු: ”දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක. 30 තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක. 31 එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. 32 එකල ඔව්හු, ”උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ. 33 ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, 34 ”ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. 35 එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙ‍හි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.

05/04/2026

අප්‍රියෙල් 05 වන දින සුබ අස්න – ශු. ජොහාන් 20: 1 – 9

1 සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2 එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 3 එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. 4 දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, 5 නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. 6 සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, 7 උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. 8 එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. 9 උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.

31/03/2026

මාර්තු 31 වන දින සුබ අස්න – ශු. ජොහාන් 13: 21 – 33, 36 – 38

21 ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 22 උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23 ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24 එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, ”උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය. 25 ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, ”ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය. 26 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27 ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, ”ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක. 28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29 ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය.

31 ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ”දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32 එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33 දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය; 36 සීමොන් පේදුරු කතා කොට, ”ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක. 37 පේදුරු උන් වහන්සේ අමතා: ”ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය. 38 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.

31/03/2026

වැටුණු සෑම විටම නැවත නැගිටින්න: ජේසුස් වහන්සේ තෙවරක්ම බිම වැටුණද, සෑම අවස්ථාවකදීම නැවත නැගිට ගමන දිගටම ගියේය. අසාර්ථකත්වය හමුවේ සැලෙන්නේ නැතිව නැවත උත්සාහ කරන්න.

ඉවසීම ප්‍රගුණ කරන්න: තමාගේම දුර්වලකම් ඉවසා දරා ගැනීම විශාල ගුණයකි. ඒ තුල බොහෝ ප්‍රශ්න විසදෙනු ඇත.

ඔබේ වගකීම් ආදරයෙන් වැළඳගන්න: කුරුසිය බරක් ලෙස නොව, ලෝකය ගැලවීමේ මාර්ගය ලෙස උන්වහන්සේ දුටුවේය. ජීවිතයේ එන අභියෝග සහ වගකීම් මැසිවිලි නොනගා ආදරයෙන් බාරගන්න.

30/03/2026

මාර්තු 30 වන දින සුබ අස්න – ශු. ජොහාන් 12: 1 – 11

1 ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක. 2 ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. 3 එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය. 4 එවිට, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ, උන් වහන්සේ පාවා දීමට සිටි, ජූදස් ඉස්කාරියොත් කතා කොට, 5 ”මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය. 6 ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. 8 දිළින්දො‍් නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.

9 ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ. 10 එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. 11 මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.

27/03/2026

මාර්තු 27 වන දින සුබ අස්න – ශු. ජොහාන් 10 : 31 – 42

31 උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. 32 එවිට ජේසුස් වහන්සේ කතා කොට, ”පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක. 33 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ” ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35 එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 36 එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද? 37 මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න. 38 එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40 උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක. 41 බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: ”ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ. 42 එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.

26/03/2026

කතෝලික සභාවේ සෑම ඉරුදිනක්ම කුඩා පාස්කුවක් බව ඔබ දැනගෙන සිටියාද?

26/03/2026

කොරළවැල්ල මිසමේ ශුද්ධවු සතියේ වැඩ පිළිවෙල..✝️

26/03/2026

මාර්තු 26 වන දින සුබ අස්න – ශු. ජොහාන් 8 : 51 – 59

51 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
52 ජුදෙව්වරු කතා කරමින්, ”ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය. 53 මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
54 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය. 55 ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි. 56 ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක. 57 ජුදෙව්වරු පිළිතුරු දෙමින්, ”තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ. 58 ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.
59 ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.

Address

24 B235
Moratuwa
10400

Telephone

+94712341308

Website

Alerts

Be the first to know and let us send you an email when සාන්ත මයිකල් ජේෂ්ඨ කිතුණු හවුල - St.Michael's Senior Catholic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share