26/05/2026
සුබ වදනට පසුවදනක්
2026-06-26
ශු. මාක් 10 : 28 – 31
ශු. පිලිප් නේරි තුමන්ගේ මංගල්‍යය
*"ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය”යි ජේසුස් වහන්සේ වදාළ සේක.* (අද සුපුවතින්)
*මනුෂ්‍ය ආදරය* හැමවිටම වාගේ "කොන්දේසි සහිතයි". කොච්චර නැහැයි කීවත්, ගැඹුරට හිතලා බැලුවොත් ඇත්ත ඒකයි.
නමුත් *දේව ආදරය*...? දෙවියන් වහන්සේ හිතන විදිහ වෙනස්. *උන්වහන්සේගේ ආදරයට කොන්දේසි නැහැ. සීමා නැහැ. බෙදීම් නැහැ.* ප්‍රමාණාත්මකව (quantity) විතරක් නෙමෙයි, ගුණාත්මකවත් (quality) එය හැමටම එක සමානයි.
"උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක." (මතෙව් 5:45)
ඒ නිසා කොන්දේසි විරහිත දේව ආදරය අත්දැකලා ඒ තුළ ජීවත් වෙන්න ජීවිතයේ කොයි මොහොතේ හරි තීරණය කළ හැකි නම්, ඒ මොහොත කොච්චර පරක්කු වුනත් උන්වහන්සේට එය පරක්කුවක් නෙමෙයි.
# තමන්ගේ ජීවිතය අවසාන වෙන්න ඔන්න මෙන්න තියලා අන්තිම තප්පරයේදී හිත වෙනස් කර ගත්ත දකුණු පස හොරා ට උන්වහන්සේ දුන් පොරොන්දුව මතකද? "ඔබ මා සමඟ අද පාරාදීසයෙහි සිටින්නෙහිය." (ලූක් 23:43)
# අකීකරු පුත්‍රයාගේ උපමාව (හෙවත් "දයාවන්ත පියාණන්ගේ උපමාව") බලන්න. තාත්තා තමන්ව අතහැරලා ගිය බාල පුතා දිගු කාලයකට පසු නැවත ගෙදරට ඒම නිසා විශාල සාදයක් සූදානම් කරනවා. තාත්තගේ ඒ ප්‍රීතියට මුල් වුණේ බාල පුතා වලේ වැටිච්ච අතීතය නෙමෙයි, එයා වලෙන් ගොඩ ආව වර්තමානය.
*"ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය”යි ජේසුස් වහන්සේ වදාළ සේක.* (අද සුපුවතින්)