06/07/2026
ලෝකයේ වෙසෙන සෑම මනුෂ්‍යයෙකුගේම එකම සහ අවසාන බලාපොරොත්තුව "සතුට" ළඟා කර ගැනීමයි. ඒ වෙනුවෙන් මිනිස්සු රත්තරන්, සල්ලි, යානවාහන, ගෙවල් දොරවල් මෙන්ම ආදරය, සබඳතා සහ නිලතල පසුපස නොනවත්වා දුවති.
හැමෝම දුවන්නේ සතුට සොයාගෙන නම්, ලෝකය පුරා මේ තරම් කඳුළු, තනිකම, කලකිරීම, රෝගාබාධ සහ විඳවීම් (දුක) පවතින්නේ ඇයි?
මිනිසා කරන්නේ "සතුට" යැයි වැරදියට වටහාගත්, තාවකාලික ආශ්වාදයන් (ලෞකික සැප) පසුපස හඹා යාමයි. එම හඹායාම තුළම ඔවුන් නොදැනුවත්වම දුක උරුම කරගනී. සතුට සොයන්නාම, තමන් විසින්ම තමන්ව දුකට ඇද දමාගන්නා බව නොදනි.
මිනිසා "මම සතුටු වෙමි, මම දුක් වෙමි" කියා සිතන්නේ අවිද්‍යාව (මෝහය) නිසාය. පංච උපාදානස්කන්ධය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) නිරන්තරයෙන් හටගනිමින් බිඳී යාමම දුකකි. එම නිසා, සතුට සොයා වෙහෙසෙන්නේත්, අවසානයේ දුක විඳින්නේත් ස්කන්ධ පංචකය (හේතු-ඵල ක්‍රියාවලිය) මිස අනන්‍ය වූ පුද්ගලයෙකු නොවේ.
සතුට සෙවීමට වෙරදරන තාක්, මිනිසාට හිමිවන්නේ දුකමය. දුක විඳින්නේ බාහිර ලෝකය "මගේ" කියා අල්ලාගන්නා, අවිද්‍යාවෙන් මුලා වූ සිතම පමණි. සැබෑ සතුට (නිවන) ලැබෙන්නේ සතුට සෙවීමේ ඒ අන්ධකාර හඹායාම නතර කළ දිනටය.