19/05/2026
⭐1 වන පන්තිය
ශුද්ධ වූ සභාව උදෙසා
ශුද්ධ වූ සභාවේ දෘශ්‍යමාන අප එඬේරාණන් ඇතුළු නායකත්වය දරන සියලු ම පූජක පැවිදි සැම අපි ඔබතුමියගේ කරුණාවට භාර කරමු. ඔවුන්ට ප්‍රඥාව, ඉවසීම, නිහතමානීකම සහ ශුද්ධකමෙන් පිරි සිත් ලබාදී, ඔවුන්ගේ කැමැත්ත නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජනතාව මෙහෙයවීමට ශක්තිය දානය කළ මැනව.
ඔවුන්ගේ වෙහෙස, කාර්යබහුලත්වය හා අභියෝග අතරදී ද දයාබර මෑණියනී ඔබතුමියගේ ආදරය හා සැනසීම ඔවුන්ට අත්විඳීමට ඉඩදුන මැනව.විශ්වාසයෙන් දුර්වල වූ හදවත් නැවත ඔබ වෙත කැඳවීමට හා ඔවුන් ආලෝකයක් හා ආශීර්වාදයක් වීමට අවස්ථාව ලබාදෙන්න.
අසරණයන්ට සැනසීමක්ද,තුවාල වූ සිත්වලට සුවයක් ද, බලාපොරොත්තු නැති අයට බලාපොරොත්තුවක්ද, වීමට ඔවුන්ගේ වචන හා ක්‍රියා ආශීර්වාද කළ මැනව.
ශුද්ධ වූ දේවමෑණියන්ගේ මැදිහත්වීමෙන් ශුද්ධ වූ සභාව සදාකාලිකව එකමුතුකමින්, සාමයෙන් හා ආදරයෙන් පිරී පැවතීමට කරුණා ලැබෙන ලෙස අප මෙම ජපමාල පන්තිය ඔප්පු කරමු.
⭐ 2 වන පන්තිය
දිව්‍ය සත්ප්‍රසාදීය වසර උදෙසා .
මෙම දිව්‍ය සත්ප්‍රසාදිය වසර තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ශක්තිමත් කර ගැනීමට අප සැමගේ සිත් මෙහෙයවන ලෙසට අප මේ මොහොතේ දී ආදර මෑණියන්ගේ මග පෙන්වීම ඉල්ලා සිටිමු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ සැබෑ ලෙස වැඩ සිටින්නා වූ ජීවමාන ජේසු ස්වාමීන් වහන්සේ හට ගෞරවය, ස්තූතිය,ගැඹුරු ප්‍ර්‍මය පුද කරන්නට නිරතුරු අපගේ සිත් යොමු කළ මැනව.ශුද්ධ වූ දේව මෑණියනි ඔබගේ මැදිහත් පිහිට තුළින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ උදෙසා යාච්ඤා කරන්න, දේව මෙහෙයන්, ආධ්‍යාත්මික වැඩසටහන් හා ධර්ම සේවාවන්හි නිරත වී සිටින සියලු පියතුමන්ලා කන්‍යා සොහොයුරියන් සහ ගිහි ජනතාව ආශිර්වාද කළ මැනව.ඔවුන්ගේ සේවාව තුළින් විශ්වාසයේ නව ජීවිතය ලොව පුරා පැතිරවීමට ඔවුන් මෙහෙයවනු මැනව. ලෞකිකත්වය, කාර්යබහුලත්වය,සැකය,අවිශ්වාසය හේතුවෙන් ඔබෙන් ඈත්ව මංමුලා වී සිටින සියලු හදවත් නැවත ඔබ වෙත හැරී ප්‍රේමය තුළ සැනසීම ලබන්නට දයාබර දේව අම්මගෙන් මග පෙන්වීම,ආදරය ලැබෙන ලෙස අප මෙම කොන්ත පන්තිය ඔප්පු කරමු.
⭐3 වන පන්තිය
සියලු දෙමව්පියන් වෙනුවෙන්
සියලු දෙමව්පියන් වෙනුවෙන් අපි මේ මොහොතේ මේ කොන්ත පන්තිය ඔප්පු කරමු.තම දරුවන්ගේ ජීවිත සාර්ථකත්වය, ආරක්ෂිත හා සතුටින් පිරුණු එකක් කිරීමට දිනපතා වෙහෙසෙන අප ආදර මව්පියන් අප සිහිකරමු.අසීරු ආර්ථික තත්ත්වයන්,රෝග පීඩාවන් හේතුවෙන් වෙහෙස හා ජීවිතයේ විවිධ බර මධ්‍යයේ ද තම පවුල වෙනුවෙන් කැපවී ජීවත් වන දෙමව්පියන්ට හට දෙව් මවුන්ගේ ආදර රැකවරණය මේ මොහොතේ අපි ඉල්ලා සිටිමු .
තම දරුවන්ට ආදරය තිබුණද එය නිසි ලෙස පෙන්වීමට නොහැකිව ජීවිතයේ තුවාල සමඟ ජීවත් වන දෙමව්පියන් ද,දරුවන්ගෙන් වෙන්ව දුරින් සිටින මව්පියන් ද, තම දරුවන් වෙනුවෙන් කඳුළු සඟවා යාච්ඤා කරන දෙමව්පියන් ද අප මෙනෙහි කරමු. දරුවන්ගේ අනාගතය ගැන බියෙන් හා කනස්සල්ලෙන් ජීවත් වන දෙමව්පියන්ට සැනසීම හා බලාපොරොත්තුව ලබා දුන මැනව.
ස්වර්ගීය දේව මෑණියනි, ඔබගේ මව් සෙනෙහසින් සියලු පවුල් ආරක්ෂා කරනු මැනව.දෙමව්පියන්ගේ හදවත් තුළ ඉවසීම, ප්‍රේමය,අවබෝධය හා සාමය වැඩි කර, ඔවුන්ගේ පවුල් දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් පිරී යාමට කරුණාව ලබා දෙනු මැනව.
⭐4 වන පන්තිය
සියලුම දරු දැරියන් වෙනුවෙන්
මේ මොහොතේ අපගේ හදවත් නිහඬව දෙව් මවුන් වෙත ගෙන යමු.ලෝකයේ කොතැනක හෝ සිනහව සඟවා කඳුළු සමග ජීවත්වන දරුවන් ගැන මොහොතක් සිතමු. පවුලක් හිමි නමුත් පවුලේ විවිධ ප්‍රශ්න ගැටලු හේතුවෙන්,දුක් වේදනා විඳිමින්, අසරණකමින් තැලී පොඩි වූ ජීවිත ද පවුලක් නොමැතිව අනාථභාවයේ කඳුළු සඟවා ජීවත් වන දරු දැරියන්ව ද අප මේ මොහොතේ දෙව් මවුන්ගේ ආදර සෙනෙහසට භාර කරමු. ශාරීරිකව හා මානසිකව හිංසනයන්ගෙන් බියපත්ව ජීවත් වන දරුවන්හට ද,මත්ද්‍රව්‍යට යොමු වී අඳුරට ඇද වැටුණු ළමා ජීවිතය ද ස්වභාවික විපත් හේතුවෙන් පවුල හා බලාපොරොත්තු අහිමි වූ කුඩා දරුවන් ද අප මේ මොහොතේ සිහිපත් කරමු.ඒ වගේම ආබාධිත තත්ත්වයට පත්ව ඇති දරුවන් ද ,වහල් සේවයට හා මංමාවත්වල සිඟා යදිමින් ළමා කාලයේ අහිමි වී ගිය දරුවන්ගේ හඬ අපගේ හදවත් තුළ ඇසෙන්නට ඉඩ හරිමු. ඉගෙනීම තුළින් ඉදිරියට යාමට සිහින දකින සියලු ළමුන් හට සියලු නිවැරදි මාවත් විවර වන ලෙසත් ඔවුන්ගේ බියට සැනසීම ද අඳුරට ආලෝකය ද කඳුළුවලට සතුට ද ඔවුන් වෙත දෙව් මවුන්ගේ මැදිහත් පිහිට තුළින් ලැබෙන ලෙස මෙම ජපමාල පන්තිය ඔප්පුු කරමු.
⭐ 5 වන කොන්ත පන්තිය
සිය පවුල්වලින් ඈත්ව අධ්‍යාපනය හා රැකියාවන්හි නිරතව සිටින සියලු දෙනා උදෙසා
තම පවුල්වල ආදරණීන්ගෙන් ඈත අධ්‍යාපනය හා රැකියාවන් වෙනුවෙන් විදේශයන්හි හෝ දුර පළාත්වල ජීවත් වන සියලු දෙනා මේ මොහොතේ දයාබර මෑණියනි ඔබ වෙත භාර කරමු.ජීවිතයේ බරපතල වගකීම් කාර්යබහුලත්වය අධික වෙහෙසකරබව හේතුවෙන් අනාගතය පිළිබඳව අනීතභාවයකින් සිටින ඔවුන්ගේ සිත් ශක්තිමත් කරනු මැනව. තනිවීම හා පීඩාවන්ගේ පිරුණු මොහොතවලදී ඔවුන්ට ඔබගේ සැනසිල්ල හා ශක්තිය අත්විඳීමට වරම් ලබා දුනමැනව.ඔබ වහන්සේ තම පුත් වූ ජේසුස් වහන්සේ සමග දුක් වේදනා මැද ගමන් කළා සේම අද මේ සියලුම දෙනා හට මව් සෙනෙහසින් ඔවුන්ගේ අධ්‍යාපනික හා රැකියාවන්හි කටයුතු දරා ගැනීමට ශක්තිය ලබා දෙන්න. විශේෂයෙන්ම අප මේ මොහොතේ දී කාර්යබහුල ජීවිතයේ හේතුවෙන් ඔබෙන් ඈත් වී ගිය,යාච්ඤාව සහ ආත්මික ජීවිතය අමතක කර සිටින සියලු දෙනාගේ සිත් නැවත දෙවියන් වහන්සේ වෙත හැරී එන මෙන් යාච්ඤා කරමු.ඔවුන්ගේ හදවත් තම පවුල සමග වඩා ශක්තිමත් කර සතුටින් නැවත ඔවුන් එකමුතු කිරීමට වරම් දුන මැනව ඔබගේ සාමය ආරක්ෂාව සහ ආශිර්වාදය සැම විටම ඔවුන්ගේ ජීවිත තුල පුරවාලන මෙන් අප මේ ජපමාල පන්ති ඔප්පු කරමු.