20/09/2026
කැකිරාවේ සුදස්සන හිමියන් සම්බන්ධයෙන් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පැවති සංඝ අධිකරණයට මා විසින් සිදුකරන ලද ලිඛිත ඉල්ලීම මත ඊට සහභාගී වීමට අවකාශය සැලසිණි. එය ඉතාමත් සාධාරණ සංඝ අධිකරණයක් ලෙස පැවති අතර, විනිශ්චය සභාව සඳහා පස්නමකගෙන් යුතු විනිශ්චය මණ්ඩලය, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ ගුරුවරයාණන් වහන්සේ, කැකිරාවේ සුදස්සන හිමියන් සහ චෝදක පාර්ශවය වෙනුවෙන් පූජ්ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ, පූජ්ය හිඹුටානේ සිද්ධත්ථ හිමියන් හා මා ද සහභාගී විය. එහිදී අධිකරණය විසින් කරුණු විනිශ්චය කළ අතර, වැඩි කාලයක් කැකිරාවේ සුදස්සන හිමියන්ගේ අදහස් විමසීමටත්, චෝදක පාර්ශවයේ තිදෙනා වන අපට මිනිත්තු පහ බැගින් වූ කාලයක් ලබා දීමටත් කටයුතු සම්පාදනය විය.
ශාසනික විනිශ්චයක් යම් අධිකරණයකින් සිදුකළ බැවින් ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් නොකිරීමට කල්පනා කළද, කැකිරාවේ සුදස්සන හිමියන් නිකායෙන් නෙරපා ඇති බවට වැරදි මතයක් සමාජය තුළ ව්යාප්ත වන බව දැකිය හැකිය. එය ඉතාමත් සාවද්ය මතයක් වන අතර, මෙතෙක් රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකරණය මගින් එබඳු තීරණයක් ගෙන නැත. කැකිරාවේ සුදස්සන හිමියන් අපහසුතාවයට පත් නොවීම සඳහා උන්වහන්සේ නිකායෙන් නෙරපීමට නොයන ලෙස අවසාන වශයෙන් මා විසින් එම අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක්ද කරන ලදී. එසේම උන්වහන්සේ දරන මිථ්යා මතවාදයන්ගෙන් සමාජය කාලුෂ්යයට පත් නොවීම සඳහාත්, ඒ වෙනුවට එම මතවාද එකින් එක විනිශ්චය සභාවක් හමුවට කැඳවා ප්රශ්න කරමින් මිථ්යාව බිඳහෙළන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලෙසට යෝජනාවක්ද මා විසින් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, කැකිරාවේ සුදස්සන හිමියන්ට නැවත ලිඛිතව හා වාචිකව කරුණු දැක්වීමට ඉඩ ප්රස්ථාව තබමින්, අවසන් තීන්දුව ප්රකාශයට පත්කිරීමෙන් තොරව එදින අධිකරණ ක්රියාවලිය අවසන් වූ අතර, එම තීන්දුව අනාගතයේදී ප්රකාශයට පත්කෙරෙනු ඇත.
නිකායෙන් නෙරපා හැරීම මත කැකිරාවේ සුදස්සන හිමියන්ගේ ඉදිරි අධ්යාපනික හා ශාසනික ස්ථාවරත්වයට හානි පමුණුවා ගැනීම හෝ නොගැනීම උන්වහන්සේ සතු තීරණයක් වන අතර, උන්වහන්සේට ආයති සංවරයේ (ඉදිරියට සංවර වීමෙහි) පිහිටා සිටිය හැකි බවට මම විශ්වාස කරමි.
රාමඤ්ඤ මහා නිකායේ එම අධිකරණ ක්රියාවලියේ විධිමත් බව හා කාර්යක්ෂමතාව ඉතා අගය කොට සලකන අතර, මහා නායක මාහිමිපාණන් වහන්සේටත්, අධිකරණ ලේකම් නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කර සිටිමි.
මෙම අධිකරණ ක්රියාවලිය පිළිබඳව වැරදි පුවත් සමාජගත වීමෙන් එම අධිකරණයට හා නායක මාහිමිපාණන් වහන්සේලාට සිදුවන අපහසුතාවත්, චූදිත භික්ෂුව අගතියට පත්වීම වැළැක්වීමත් අරමුණු කරගෙන මෙම සටහන තබමි.
අධිකරණය සඳහා අප පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වන්නට පවා තව බොහෝ පිරිසක් සිටියද කලින් ලිඛිත ඉල්ලීම් නොකළ කිසිවෙකුටත් දෙපාර්ශවයෙන්ම සහභාගී වීමට අවකාශ නොවීය. ලිඛිතව කළ ඉල්ලීමේ ලිපිවලට අදාළව ඒ සඳහා කැඳවීමේ ලිපි ලැබුණ පිරිස් පමණක් සහභාගි කරගත් අතරම එය අධිකරණයේ ගරුත්වය හා විධිමත් බව කියා පෑ බවද කිව යුතුය.