27/08/2026
( *ආලෝක අභිරහස්* )
*බ්‍රහස්පතින්දා දිනවල සිහි කළ යුතුයි.*
✳️ . *මෙහි ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රාර්ථනාව සහ අප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව ඇතුළත් වේ.*
✝️ . *විශ්වාස ලක්ෂණය* . ✝️
අහස පොළොව මැවූ සර්වබළධාරී වූ පිතාවන දෙවියන් කෙරෙහි ද, ඔහුගේ ඒක පුත්‍රවූ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තු කෙරෙහිද විශ්වාස කරමි. මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරියතුමන්ගෙන් උපන්නාහ. පොන්සියෝ පිලාත්හට යටහත්ව වද විඳ කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ. පාතාලවලට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් උත්ථානකර වදාරා, පරමණ්ඩලවලට නැගී සර්ව වල්ලභවූ දෙවිපියාණන්ගේ දකුණු පාර්ශවයෙහි වැඩ සිටින්නාහ. එහි සිට ජිවතුන්ටත්, මළවුන්ටත් නඩු වදාරන්ට වඩිත්මය. ස්ප්‍රීතු සාන්තු කෙරෙහි ද, සාධාරණ සාන්ත සභාවෙහි ද, සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයෙහි ද, පාප ක්ෂමාවෙහි ද, මාංශෝත්ථානයෙහි ද, අනන්ත ජීවිතයෙහි ද, විශ්වාස කරමි. ආමෙන් ජේසු.
-✝️- *ස්වාමි වාක් ආරාධනාව* -✝️-
ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව. ආමෙන්.
-💙- *පළමු නමෝ මරිය තුන කීයන විට නමෝ මරියට කලින් කියන යාච්ඤාව* -💙-
✳️ . පිතාවන දෙවියන්ගේ කුමාරි වූ පිරිසිදු දේව මාතාවෙනි, අප දේව විශ්වාසයේ දියුණු වන ලෙස ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව.
-💙- *දේව දූත මංගලම් යැදුම* -💙-
නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ නුඹ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී නුඹ වහන්සේය. නුඹගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශීර්වාද ලද්දාහූම ය. සාන්ත මරියනී, දේව මෑණියනී පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව. ආමෙන්.
✳️ . පුත්‍රවන දෙවියන්ගේ මාතා වූ පිරිසිදු මරියනි, අප දේව ඇදහීමෙහි දියුණු වන ලෙස, ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව.
නමෝ මරියනි...
✳️ . ස්ප්‍රීතු සාන්තු වන දෙවියන්ගේ ප්‍රිය කාන්තාව වූ දේව මාතවෙනි, අප දේව ප්‍රේමයෙහි දියුණුවන ලෙස ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව.
නමෝ මරියනි...
-💙- *ත්‍රීත්ව ස්තෝත්‍රය* -💙-
පිතා, පුත්‍රයා, ස්ප්‍රීතුසාන්තු නම් ත්‍රීත්ව ඒක දේවොත්තමයාණන්ට වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයක් වේවා. ආමෙන්
1️⃣ . *පළමුවන ආලෝකයේ අභිරහස*
💙 . ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය ලැබීම.
රහස - දේවපුත්‍ර භාවයට පිපාසයක්
" එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම - ස්නාපනය කරනු ලැබු සේක. උන් වහන්සේ දියෙන් ගොඩ නැගෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරවියෙකු මෙන් තමන් පිට බැස එනු දුටු සේක. තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක් "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි"යි පැවසී ය."
( ශුද්ධවූ මාක් 1 : 9 - 11 )
යාච්ඤා කරම්හ...
ප්‍රිය ප්‍රසාද වලින් පූර්ණ වූ කන්‍යා බිසෝවෙනි ! "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි." යන දෙවි පියාණන් වහන්සේගේ හඬ අපටත් ඇසෙන්නට අවැසි වරම් ලබා දෙනවා සොදේ.
ස්වර්ගයෙහි වැඩ සිටින 1,
නමෝ මරියනි 10,
ත්‍රීත්ව ස්තෝත්‍රය 1.
අහෝ මාගේ ජේසුනි, අපගේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන් ද, විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනා වූ ආත්මයන් ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමෙන්
2️⃣ . *දෙවන ආලෝකයේ අභිරහස*
💙 . කානා නුවර විවාහ මංගලොත්සවය.
රහස - මරියතුමියගේ මැදිහත් වීම අත්දැකීමට
" මිදියුස හිඟ වූ විට ජේසුස් වහන්සේගේ මෑණියෝ, "මිදියුස නැතැ"යි උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද කතා කොට, "ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ"යි වදාළ සේක. උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, 'මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ'යි කී හ."
( ශුද්ධවූ ජොහන් 2 : 3 - 5 )
යාච්ඤා කරම්හ...
ප්‍රිය ප්‍රසාද වලින් පූර්ණ වූ කන්‍යා බිසෝවෙනි! ජේසුස් වහන්සේ සැබෑ දෙවියන් බව පිළිගන්නටත්, ඔබතුමියගේ මධ්‍යස්ථභාවය තුළින් ජේසු සමිඳාණන් අප වෙත දක්වන කරුණාව වටහා ගන්නටත් අවැසි වරම් ලබා දෙනවා සොදේ.
ස්වර්ගයෙහි වැඩ සිටින 1,
නමෝ මරියනි 10,
ත්‍රීත්ව ස්තෝත්‍රය 1.
අහෝ මාගේ ජේසුනි.
3️⃣ . *තෙවෙනි ආලෝකයේ අභිරහස*
💙. ජේසුස් වහන්සේ කදු මුදුනේ දී දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම..
රහස - දේව රාජ්‍යය පතළ කිරීමට ආශාවක්
" ජොහන් හිරභාරයට බාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. ඒ දේශනාව මේ ය: "නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සෙගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න" යනුයි."
( ශුද්ධවූ මාක් 1 : 14 - 15 )
යාච්ඤා කරම්හ...
ප්‍රිය ප්‍රසාද වලින් පූර්ණ වූ කන්‍යා බිසෝවෙනි! ජේසු සමිඳුන් උගන්වා වදාළ දේව රාජ්‍යයේ උතුම් වටිනාකම් අනුව ලෝ තුළ දිවි ගෙවමින් අවසානයේ දී දේව රාජ්‍යයේ උරුමකරුවන් වන්නට අපට අවැසි වරම් ලබා දෙනවා සොඳේ.
ස්වර්ගයෙහි වැඩ සිටින 1,
නමෝ මරියනි 10,
ත්‍රීත්ව ස්තෝත්‍රය 1.
අහෝ මාගේ ජේසුනි..
4️⃣ . *සතරවන ආලෝකයේ අභිරහස*
💙 . ජේසුස් වහන්සේ අන්‍ය රූප විලාශ වීම.
රහස - ගැඹුරු යාච්ඤා ජීවිතයකට පිපාසයක්
" සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක. මිහි පිට කිසිවෙකුටත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි. එවිට එලියා ද මොසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ. එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, "ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු" යි කී ය. ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.
තවද වළාකුළක් නැගී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, "මේ මාගේ ප්‍රියාදර පුතයාණෝ ය; මොහුට සවන් දෙන්නැ"යි වළාකුළෙන් හඬක් නික්මිණි."
( ශුද්ධවූ මාක් 9 : 2 - 7 )
යාච්ඤා කරම්හ...
ප්‍රිය ප්‍රසාද වලින් පූර්ණ වූ කන්‍යා බිසෝවෙනි! අප අතර ජීවමානව වැඩ කරන ජේසුස් ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ වචනයට සවන් දෙමින් එය අයිති කරගෙන අපගේ ජීවිතයේ දී මහිමයට පත් වනු සඳහා අවැසි වරම් ලබා දෙනවා සොදේ.
ස්වර්ගයෙහි වැඩ සිටින 1,
නමෝ මරියනි 10,
ත්‍රීත්ව ස්තෝත්‍රය 1.
අහෝ මාගේ ජේසුනි.
5️⃣ . *පස්වන ආලෝකයේ අභිරහස*
💙 . දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම.
රහස - ජීවමාන ජේසුස් වහන්සේ මුණගැසීමට පිපාසයක්
" ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශිර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, "රැගෙන වළඳන්න, මේ මාගේ ශරිරය"යි වදාළ සේක. උන් වහන්සේ කුසලානයක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, "ඔබ සියල්ලෝම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ."
( ශුද්ධවූ මතෙව් 26 : 26 - 28 )
යාච්ඤා කරම්හ...
ප්‍රිය ප්‍රසාද වලින් පූර්ණ වූ කන්‍යා බිසෝවෙනි! ස්වර්ගයෙන් පහළ වූ ජීවන දායක භෝජනය වන ජේසුස් සමිඳුන් ආදරයෙන් පිළිගෙන උන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශ්‍රී රුධිරයෙන් ශක්තිමත් වෙමින් එතුමන් සමග ජීවත් වීමට අවැසි වරම් ලබා දෙනවා සොදේ.
ස්වර්ගයෙහි වැඩ සිටින 1,
නමෝ මරියනි 10,
ත්‍රීත්ව ස්තෝත්‍රය 1.
අහෝ මාගේ ජේසුනි.
🙏.. *ශුද්ධවූ ජපමාලය ඔප්පු කිරීම* .. 🙏
සකල ගුණ සම්පන්න කරුණා භරිත වූ දේව මාතාවෙනි ඔබවහන්සේගේ ශ්‍රී පාද පද්මයට වැඳ නමස්කාර කර මේ ජපමාල ධ්‍යානය ඔබවහන්සේට කියා ඔප්පු කරන්නෙමු. එහි අප විභාග කළ කාරණාවල් අපට සිද්ධ කොට දී මෙලොවින් මිදීගිය කල්හි ඔබ හා ඔබගේ ශ්‍රී කුමාරයාණන් දැක මෝක්ෂ සම්පූර්ණකම ලබන්නට කරුණාකර වදාළ මැනව. ආමෙන්.
-💙- *මංගල්‍ය ආරාධනාව* -💙-
මංගල්‍යස්තු රාජේශ්වරියනි, ක්‍රපදයා මාතාවෙනි, අපේ ජීවිතයෙනි, අපේ අමෘතයෙනි, අපේ ආධාරයෙනි, මංගල්‍යස්තු. පරදේශවාසි වූ අපි ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬ ගසම්හ. මේ කඳුළු විලෙහි හඬා වැලපී ඔබටම සුසුම්ලම්හ. එසේ හෙයින් අපගේ මධ්‍යස්ථයෙනි මේ ඔබගේ දයාබර නේත්‍රයන් අප දෙස යොමු කළ මැනව. තවද මේ පරදේශය පසුවූ ඉක්බිති ඔබගේ ශ්‍රී කුසෙහි ආශිර්වාදලත් ඵලවන් ජේසුතුමන්ගේ දර්ශනය අපට ලබා දුන මැනව. දයාවන්තියනි, පරදුඃඛ්‍යා දුඃඛිතිනි, මධුරවූ නිත්‍ය කන්‍ය මරියනි, සාන්තවූ දේව මෑණියනි, ක්‍රිස්තු වාක්දාත වලට අප හේතු වන්තයන් වන ලෙස කන්‍ය ශුද්ධවූ දේව මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව. ආමෙන්.
-💙- *මරියතුමියගේ නිර්මල හෘදයට කැපවීමේ යාච්ඤාව* -💙-
මරියතුමියගේ නිර්මල හෘදයෙනි, පව්කාරයන්ගේ සරණයෙනි, ඔබතුමිය විශේෂාකාරයෙන් අපගේ මාතාවන් හා රාජිණියද බව සිහි කළ මැනව. අප ජීවිත කාලයේදීද, මරණ මොහොතෙහිදී හා මරණයෙන් පසුද නැවත නැවතත් මුළු හෘදයෙන් ඔබතුමියට කැපවෙමු. අතී ආදරවන්ත මෑණියනි, අපගේ පූජක, පැවිදිවූවන්ද ආශිර්වාද කළ මැනව. අපගේ පවුල් ආරක්ෂා කළ මැනව. අපගේ දරුවන් රැකබලා ගත මැනව. ජේසුතුමන්ගේ මාතාවන්වූ මරියනි, අපටද ඔබ නිරතුරු මවක් වුව මැනව. ආමෙන්.
-🌺- *ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ට ප්‍රාර්ථනාව* -🌺-
ස්වාමිනි කරුණා කළ මැනව.
ක්‍රිස්තුනි කරුණා කළ මැනව.
ස්වාමිනි කරුණා කළ මැනව.
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව.
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව.
පරමණ්ඩලවල වැඩ හිඳින පිතාවන දෙවියනි,
✳️ . අපට දයා කළ මැනව
ලෝකය නිදහස් කළාවූ පුත්‍රවන දෙවියනි,
ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි,
සුපරිශුධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි,
ශුද්ධවූ මරියනි,
✳️ . අප නිසා යාච්ඤා කළ මැනව
ශුද්ධවූ දේවමෑණියනි,
කන්‍යාති කන්‍යාවෙනි,
ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
නර්බෝන නුවරෙහි අති සුවඳ කුසුමක් වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
මහිම ඇති වංශ කුලයෙහි උපන්නා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ධර්ම මහිමයෙන් අධික මහිම ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
මුඛමණ්ඩල ශෝභන රූපයෙන් සමස්තයන්ට ප්‍රිය වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ආත්මික ශුද්ධවන්ත ශ්‍රියාවෙන් ශ්‍රේෂ්ඨාදිකාරයන්ට අධික ප්‍රිය වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
යුද්ධ වීර පරාක්‍රමයෙන් රජුන් ගේ සතුට වුණා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ආත්මික සංග්‍රාම පරාක්‍රමයෙන් රාජාතිරජහට අධික සතුටු වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
බුද්ධි ප්‍රඥාවෙන් ප්‍රථම සේවා සමුද්‍රයට සේනාධිපති වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
දස දහස් සත්වයන් ආත්මික සංග්‍රාමයට පමුණුවා මෝක්ෂ සේනාධිපති වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ක්‍රිස්තුස් සේවකයින්ට භෝජන පානය දී ආරක්ෂා කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
චංචල සිත්වූ ජීවිත පරිත්‍යාගියන් ධර්ම උපදේශනයෙන් වෘද්ධි කලාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
මාර්ක් මර්සලියානු සහා සහෝදරයන්ගේ හොඳ සිත් දැඩි කළාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ඔවුන්ගේ පියාවන තර්කලීනු හට දේවාගම උගන්වා කොරවූ අත් පා සුව කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
නික්‍රොස්ත්‍රාස්තුගේ කුටුඹයට අඩංගු සියල්ලනුත් අසල අයත් එකවිටම දේවාගමට ගත්තාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
සය අවුරුද්දක් ගොළුව සිටිය ඔහුගේ ස්ත්‍රීහට කථාවේ බලය දී දේව ස්තුති ගායනා කෙරෙව්වා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
කලාදිහුගේ පුත්‍රයන් දෙදෙනාට ප්‍රසාද ස්ථාපනය දෙවා කුෂ්ටයෙනුත්, මහෝදරයෙනුත් සුවකළාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ක්‍රෝමාන්සිවූ කියන ආණ්ඩුකාරයාගේ හන්දිවාතය සුවකර දෙසියකට වැඩි වූ යක්ෂ රූප සුන්කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ඔහුගේ මුළු කුටුම්භයට දේවවේද එලිය පෙන්වා දාසයින් නිදහස් කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ක්‍රිස්තු ආගම නිසා අධික ධෛර්යයෙන් සංග්‍රාම කළාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
කිසි බයක් නැතුව දුෂ්ට අභිනායක දියෝක්ලේසියානු ඉදිරියේ ක්‍රිස්තුස් ස්වාමිදරුවන් ගැන දේශනා කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
අති නේෂ්ඨූර දියෝක්ලේසියානුගේ සංග්‍රාම තෙද වලට ගරු නොකළාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ගසේ බැඳුම් කා විඳිනු ලබූ ඊතල ශ්‍රී ශරීරය මුළු මෙන් පිරී නොනැසී උන්නා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
විගස සුවලබා කෲර දියෝක්ලේසියානුගේ දුෂ්ට කම් වලට බිය පත් නොවී ක්‍රිස්තුස් ස්වාමිදරුවන් ගැන දෙවනුවත් දේශනා කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
දඬුවදයට පත් වී ජීවිත පරිත්‍යාග වුණාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
අති මුවා වූ ස්ථානයක භූමදාන වුන නමුත් අධික වන්දනාමාන භූමදාන ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
මුළු ක්‍රිස්තියානි ලොවේදී ස්තුති වන්නාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
සකල ලෙඩ පීඩාවලදී අඬගසන ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
සකලවිධ රෝග නිවාරණය කරන්නට වරම් ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
වසූරි ලෙඩ සුවකරන්නට අති වල්ලභවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ස්වර්ග ප්‍රකාශය ලොවට පෙන්වන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
අදර්ශනය වූ දේවදූතයන් දර්ශනය කර පෙන්වන්නට වරම් ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
සකල දූත අග්‍රදූතයන්ගේ නායකවූ ජේසු ස්වාමිදරුවන් මුළු ශක්තියෙන් අනුවාර කළා වූ ශුද්ධවූ සෙබස්තියාම් මුනින්ද්‍රයෙනි,
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි,
✳️ . අපට ක්ෂමාකළ මැනව ස්වාමි.
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි,
✳️ . අපේ ප්‍රර්ථනා අසා වදාළ මැනව ස්වාමි.
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි,
✳️ . අපට දයාකළ මැනව ස්වාමි.
ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන ලෙස,
ශුද්ධවු සෙබස්තියන් මුනින්ද්‍රයෙනි අප නිසා යාච්ඤා කළ මැනව.
*යාච්ඤා කරම්හ.*
ක්‍රපදයා පිරුණු අනන්ත දයාබර වූ සර්වේශ්වර දෙවියනි, ඔබගේ අති උත්කෘෂ්ට 'මාර්තත්‍රීස්' යන ශුද්ධ වූ සෙබස්තියන් මුනින්ද්‍රයා ඔබ නිසා වින්ද දුක් උපද්‍රවයන් ඔබවහන්සේ බලා, උන්වහන්සේ වැගුරුවාවූ රුධිරය අපේ ආත්ම ශරීරවලට ඖෂධ වෙන සැටියට අභිප්‍රාය වූ සේක් වේද, උන්වහන්සේගේ පින් හේතුව බලා සිටින අප ආත්ම ලෙඩ කවර කලෙකත් නොදැක ශරීරයට ඇතිවන වසූරි ආදීවූ සකල රෝගවලින් නිවාරණය කරනු පිණිස ඔබට යාච්ඤා කරමු. - ආමෙන්.
🎗️.*අප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව*.🎗
අහෝ දයාබර සෙනෙහෙවන්ත මෑණියනි, ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අප ආරක්ෂිකාවෙනි, මේ තීරණාත්මක මොහොතේදී අප නිහතමානීව බැගෑපත්ව අයද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව.
දයාබර මෑණියනි, යුද්ධ සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහයට වැඩියා නොවේද? ඔබගේ ඒ නොවෙනස් ප්‍රේමයෙන්, අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පලවා හැරිය මැනව.
අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩ නැඟීමට අපට සහය වුව මැනව. පෙම්බර මෑණියනි, ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහි කරමින් ඔබේ සෙනේබර ආරක්ෂාව හා අප රට වැසි සියලු ජාතීන් ඔබට භාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගොඩනැඟීමට අපට සහය වුව මැනව.අප රටෙහි සියළු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍යය අපට ලබා දුන මැනව. ආමෙන්.
- 𝐻𝑜𝑙𝑦 𝑇𝑟𝑖𝑛𝑖𝑡𝑦 -
- ආත්මික ගමනකට මඟ -
~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~
< https://youtube.com/ >
- 𝑪𝒂𝒕𝒉𝒐𝒍𝒊𝒄 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆, 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑮𝒓𝒐𝒖𝒑 & 𝑌𝑜𝑢𝑇𝑢𝑏𝑒 𝐶ℎ𝑎𝑛𝑛𝑒𝑙 -
💙 . ශුද්ධවූ ස්වාමින් වහන්සේ තුළ මෙහි මුල් කතෘ අයිතිය සුරකින්න කාරුණික වන්න .❤️
ජේසු පිහිටයි..!