20/04/2026
1982 වසරේ මුල්භාගය වනතෙක් එවකට පාර්ලිමේන්තුව රැස්වූයේ ගාලු මුවදොර තිබුණු පැරණි ගොඩනැගිල්ලකය. එය වෙනස් වූයේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය. ඒ අනුව ඔහුගේ මූලිකත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔය මධ්‍යයේ නව පාර්ලිමේන්තු සංකීර්ණයක් ඉදිකළ අතර මුලින් කී ලෙස එය විවෘත කළේ 1982 අප්‍රේල් 29 වැනිදාය. එදා පැවති විවෘත කිරීමේ උත්සවයේ වැඩකටයුතු අවසන් භාගයට පැමිණෙන විට පාර්ලිමේන්තු සංකීර්ණය තුළට පැමිණියේ අපූරු හාදයෙකි. ඒ වෙන කිසිවෙක් නොව වයස අවුරුදු තුන හතරක පමණ හුරතල් අලි පැටවෙකි.
“එදා පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කිරීම නිමිත්‍තෙන් ඒ ගෙනාපු අලි පැටියව ජේ.ආර්. ජනාධිපතිවරයා ඒ උත්සවය අවසානෙදි අපේ විහාරයට පූජා කළා. ඒ අලි පැටියා ඓතිහාසික අලි පැටියෙක්. මොකද මේ අප්‍රේල් මාසයේ 29 වැනිදට නව පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කරලා හරියටම අවුරුදු 44ක්. ඒ කාලේ පුරාවට අලියා ලකුණේ අය (එක්සත් ජාතික පක්ෂයේ) පාර්ලිමේන්තු ගියාට මොකද කවදාවත් ඇත්ත අලියෙක් පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා නෑ.”
44 වසරක් පැරණි මතකයක් මා සමඟින් එසේ අලුත් කළේ කෝට්ටේ රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් විසිනි. ඒ පසුගියදාක මා එම විහාරය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවකය. එදා පාර්ලිමේන්තු ගිය අලි පැටවාගේ සිදුවීම ඇදී ආවේ මෙතෙක් කාලයක් පුරාවට කෝට්ටේ රාජමහා විහාරයේ සිටි හස්තීන් පිළිබඳ මා උන්වහන්සේගෙන් විමසූ හෙයිනි.
“මං මහත්තයාට පාර්ලිමේන්තු ගියපු අලියාව පෙන්නන්නද?”
උන්වහන්සේ එසේ අසද්දී මා හිස සලමින් ලකලෑස්ති වූයේ ඒ හාදයා අවර්ණ පැහැයකට හැරුණු පින්තූරයකින් දැකීමට වුවත් අනුරුද්ධ හිමියන් සිය දකුණත දිගුකොට දුර ඇති යමක් මට පෙන්නුවේය. නමුත් එතැන සිටියේ කෝට්ටේ රජමහා විහාරයේ වර්තමානයේ සිටින හස්තීන් දෙදෙනා වන කෝට්ටේ රාජාත් සුරතල් රාජාත් අතරින් සුරතල් රාජා ය. හේ මා හොඳින්ම දන්නා අඳුනන අලියෙකි. නමුත් මට පසුව දැනගන්නට ලැබුණේ එදා පාර්ලිමේන්තු ගොස් තිබුණේ වෙන කිසිවෙකුත් නොව කෝට්ටේ සුරතල් රාජා බවයි.
“ඒක ටිකක් පරණ කතාවක් නිසා ගොඩාක් අය ඔය කතාව දන්නේ නෑ. ඒත් අපේ රටේ නම් දරපු අලි ඇත්තුන්ට වඩා සුරතල් රාජා පාර්ලිමේන්තු ගිය සිදුවීමත් එක්ක හරි විශේෂයි.”
*මෙයා පැටියා කාලේ මොන වගේ කෙනෙක්ද?
“පොඩි කාලේ බිව්වේ කිරි විතරයි. කොළ ජාති කිසිම දෙයක් කෑවේ නෑ. ඒත් පස්සේ ඒක හරි ගියා. අනෙක තමයි අපි මුලින් හිතුවේ මෙයා ඇත් පැටියෙක් කියලා. මොකද දළ තිබුණා. ඒත් ලොකුවෙද්දි තේරුනා ඒ දළ නෙවෙයි පණු දත් කියලා. අලියා ලොකුවෙනකොට ඒවා දළ දෙක වගේ දිගට වැඩුනා. ඒත් කිතුල් කොට පලන්න ගිහින් පස්සේ කාලෙක ඒවා කඩාගත්තා. ඒවා අද තිබුණා නම් මෙයා ඇතෙක් කියලා හැමෝම රැවටෙනවා.”
පැටවා කල තිබූ සුරතල් පෙනුම නිසා අලි පැටවාට නම් තැබුණේද සුරතල් රාජා ලෙසිනි. ඒ නමුත් රාජා දකින බොහෝදෙනෙක්ට නැගෙන ප්‍රශ්නයක් වන්නේ නමේ හැටියටම මේ හාදයා සුරතල් ද යන්නයි. මන්ද බැලූ බැල්මට රාජා උස මහත තේජවන්ත රෞද්‍ර පෙනුමැති හස්තියෙකි.
“සුරතල් රාජාගේ පෙනුම හින්දා ගොඩාක් අය හිතනවා එයා සැර ඇති කියලා. ඒත් එහෙමට සැරකුත් නෑ. හැබැයි ගොඩක් අය සුරතල් රාජා ළඟට යන්න නම් හරි බයයි.”
වෙනත් හස්තීන්ගේ මෙන් සුරතල් රාජාගේ සිරුරේ ගෝමර පිහිටා නැත. හේ තනි කළුය. ඒ නිසා උප්පැන්නේ නම සුරතල් රාජා වුවත් මේ හාදයාට බොහෝදෙනෙක් ඒ නමින් ආමන්ත්‍රණය කරන්නේ නැත.
“මෙයාට කවුරුත් කතා කරන්නේ කළු අලියා නැත්නම් කලූ කියලා. අපේ රටේ හීලෑ හස්ති පරපුරේ මේ වගේ පෙනුමක් තියෙන වෙනත් හස්තියෙක් නෑ. එකම හස්තියා තමයි සුරතල් රාජා.”
70 දශකය අගභාගයේදී කුඩා පැටවකු කළ වනයක අතරමංව සිටියදී වනජීවී නිලධාරීන්ට හසුව පින්නවල අලි අනාථාගාරයට බාර දී ඇති සුරතල් රාජා මෙරට ප්‍රසිද්ධ පෙරහර මංගල්‍යය ගණනාවකටම තමන්ගේ දායකත්වය ලබාදෙන හස්තියෙකි. නමුත් අනුරුද්ධ හිමියන් පැවසුවේ කුමන පෙරහරකට දායකත්වය දුන්නද සුරතල් රාජාට වසර කීපයක පටන් තමන්ගේ නිවහනේ පෙරහර මගහැරෙන බවයි.
“කලූ ඉස්සර නම් කෝට්ටේ පෙරහරේ ගියපු කෙනෙක්. ඒත් වසර කීපයක ඉඳන් මෙයාගේ මදසමය යෙදෙන්නේ ජූලි ඉඳන් නොවැම්බර් වගේ. ඒ නිසා කෝට්ටේ පෙරහර විතරක්ම නෙවෙයි නුවර ඇසළ පෙරහර මංගල්‍යයත් කලූට මගඇරෙනවා. ඒත් කැලණිය පෙරහර, ගංගාරාම පෙරහර වගේ පෙරහරවලට කලූ සහභාගි වෙනවා. පෙරහරේ යනකොට හරිම තේජවන්ත ගමනක් මෙයාට තියෙන්නේ. අපේ කෝට්ටේ රාජා වගේම තමයි. කිසි වෙනසක් නෑ.”
සුරතල් රාජාගේ ළඟම මිතුරා කෝට්ටේ රාජා ය. දෙදෙනා එකම නිවහනේ සිටින නිසා දෙදෙනාටම පාලුවක් තනිකමක් නැත. ඔවුන් දෙදෙනා නිසා කෝට්ටේ රාජමහා විහාරයට ද වැටී ඇත්තේ සුළුපටු ආලෝකයක් නම් නොවේ.
“කෝට්ටේ රාජයි සුරතල් රාජයි කියන්නේ හරි හොඳ ළමයි. දෙන්නම කියන දේ අහනවා. මට හරිම ලෙන්ගතුයි. හස්තිපාලකවරුන්ටත් හරි ලෙන්ගතුයි. පෙරහරේ යද්දි උනත් කවදාවත් දෙන්නා ප්‍රශ්න දාගෙන නෑ. පෙරහරේ අනෙක් අලි කුලප්පු උනත් මෙයාලා හස්තිපාලක දාලා දුවන්නේ කරන්නේ නෑ. ඒ බහට හරි අවනතයි.”
*සුරතල් රාජා කන්න ආසම දෙයක් තියෙනවද?
“අපි වැඩිපුරම දෙන්නේ කිතුල්. මොකද අලින්ට බඩ හොඳටම පිරෙන්න නම් කිතුල්, පොල්අතු, කොස්අතු වගේ දේවල් දෙන්න ඕන. කන්න ආස දේවල් කිව්වොත් පලතුරු කන්න ආසයි. පලතුරු අතරිනුත් වැඩිපුරම ආස කොමඩු කන්න තමයි.”
කොමඩු ලොරියකට උනත් වගකිව හැකි සුරතල් රාජා සෑහෙන්න ආඩම්බරකාරයෙක් වගද නොකියා බැරිය. කොටින්ම ඉන්දි රාජාට සහ කතරගම වාසනාට පසුව මෙරට මඟුලැතු වන්නට ඉහළම සුදුසුකම් සපුරා ඇති සුරතල් රාජා සමඟින් එකට වසනා කෝට්ටේ රාජාවත් එතරම් ආඩම්බර නැත.
“බොලව් මං ජේ.ආර්. උත්තමයත් එක්ක එකට පාර්ලිමේන්තු ගිය එකෙක්.”
අපි සුරතල් රාජාගේ ආඩම්බරයට මොන කතා කිව්වද උන්දැට නිකමට හෝ කතා කළ හැකිව තිබුණා නම් අපට ඔය විදියටම කියනු ඇත. බලන් ගියාම ඒ කතාවත් ඇත්තය. මුන්දෑ ආඩම්බර නොවී බැරිය.
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප - හස්ති රාවය, ගිජිදු වරුණ