Lord Buddha's Path

Lord Buddha's Path 🙏 උතුම් ධර්ම දානයක් වේවා 🙏

23/02/2026
23/02/2026
23/02/2026

🌿සෝමාවතී පුදබිමේ විශාල හාස්කමක්.. වැල්ලවත්තේ වෙද මහතාගේ අදහාගත නොහැකි සත්‍ය කතාව 🌿

"අන්න අර පැත්තෙන් හේවිසි සද්දයක් ඇහෙනවා... රෑට ඒ පැත්තෙන් මහා පුදුම ආලෝක ධාරාවන් විහිදෙනවා..."

ඝන කැලෑව මැදින් ඇහුණු ඒ අද්භූත කතාව සෝමාවතී පුදබිමේ පුනරාගමනයට මුල පිරුවේ කොහොමද? අද අපිට සැපපහසුවට වන්දනා කරන්න ලැබෙන සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේව, අලි කොටි පිරුණු මහ වනයෙන් මතු කරගන්න මුල් වුණේ වැල්ලවත්තේ හිටපු ගුණගරුක වෙද මහත්තයෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

අද අපි මේ කියන්න යන්නේ, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය, භක්තිය සහ කැපවීම මුසු වූ ඒ සැබෑ ඉතිහාස කතාවයි...

🌿 කතාව ආරම්භ වන්නේ 1950 දශකයේදීයි... ඒ කාලයේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඉතාමත් ගුණගරුක, දක්ෂ වෛද්‍යවරයෙක් සිටියා.. ඒ තමයි B.A. මෙන්ඩිස් වෙද මහතා.

එතුමා නිකම්ම වෙද මහතෙක් නෙවෙයි, රෝගීන් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කළ කෙනෙක්. එතුමා පවත්වාගෙන ගිය බෙහෙත් ශාලාව පිටුපස වැල්ලවත්ත අසරණාධාර ආයුර්වේද බෙහෙත් ශාලා සමිතිය කියලා ශක්තිමත් සංවිධානයක් තිබුණා.

එදා මේ වෙද මහතා ළඟට ලංකාවේ හැම තැනින්ම රෝගීන් ආවේ එතුමාගේ ඖශධවල තියෙන පුදුමාකාර සුවපත් කිරීමේ ගුණය නිසයි. හැබැයි මේ වෙද මහතාට තිබුණු ලොකුම අභියෝගය තමයි බෙහෙත් හදන්න ඕන කරන අමුද්‍රව්‍ය සොයාගන්න එක... අරිෂ්ට, සහ විවිධ තෙල් වර්ග හදන්න අවශ්‍ය දුර්ලභ පැළෑටි සොයාගෙන මෙන්ඩිස් වෙද මහතාගේ කණ්ඩායම නිතරම මහ කැලෑවට වැදුණා...

🐘මේ ගමනට සහභාගී වුණු ආරම්භක සාමාජිකයෙක් තමයි ජෝන් ප්‍රනාන්දු මහතා. අද මේ කතාව අපිට කියන්නේ එතුමාගේ පුත් නිමල් දයාරත්න මහතායි. තම පියාගෙන් අහපු ඒ අතීත අත්දැකීම් නිමල් මහතා විස්තර කරන්නේ හරිම ආදරයෙන්.

එදා මේ පිරිස බෙහෙත් සොයාගෙන ගියේ සාමාන්‍ය වාහනවලින් නෙවෙයි. ඔවුන් සතුව තිබුණා මහා විශාල ලොරියක්. ඒකට හැමෝම කිව්වේ "කැලෑ රජා" කියලා. කැලෑ රජාට අමතරව කරත්ත කිහිපයක් සහ පළපුරුදු මිනිසුන් පිරිසක් මේ කණ්ඩායමට ඇතුළත් වුණා. ඔවුන් මනම්පිටිය, පොළොන්නරුව, සුංගාවිල සහ අරදියපතල වැනි ප්‍රදේශවල සති ගණන් කැලෑ පීරමින් බෙහෙත් හෙව්වා...

ඒ කාලේ ඩී.එස්. සේනානායක මහතාගේ ජනපද ව්‍යාපාර නිසා මිනිස්සු ටික ටික මේ ප්‍රදේශවල පදිංචි වෙලා හිටියා. ඒ අතරේ හිටපු කොහොඹ කඩේ මුදලාලි වගේම ගමේ හිතවතුන් මේ වෙද මහත්වරුන්ට ලොකු සහයෝගයක් දුන්නා.

✨ බෙහෙත් සොයාගෙන යන ගමනේදී සුංගාවිල පැත්තේ තිබුණු පුංචි මුස්ලිම් ගම්මානයක මිනිස්සු මේ වෙද මහත්වරුන්ට මුණගැසුණා. ඔවුන්ගේ ජීවිකාව වුණේ හරක් ඇති කරන එක සහ කරත්තවලින් බඩු ඇදීම... මේ ගම්වැසියන් මෙන්ඩිස් වෙද මහතාගේ පිරිසට මහත් සේ ලෙන්ගතු වුණා...

දිනක් මේ ගම්වැසියන් පිරිසක් ඉතාමත් බැරෑරුම් විදිහට වේද මහත්තයට අපූරු කතාවක් කිව්වා...

"මහත්තයෝ, අන්න අර ඝන කැලෑව ඇතුළෙන් සමහර දවස්වල රෑට හේවිසි සද්ද, බෙර සද්ද ඇහෙනවා. අපි හුඟක් දවස්වලට රෑට ඒ පැත්තෙන් මහා පුදුම රශ්මි මාලාවන් විහිදෙනවා දැක්කා. ඒ පැත්තට යන්න අපිට බයයි..."

මේ කතාව ඇහුවම මෙන්ඩිස් වෙද මහතාටයි, ජෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසටයි ඇති වුණේ පුදුම කුතුහලයක්.. ඔවුන් තීරණය කළා මේක මොකක්ද කියලා බලන්න කැලෑව ඇතුළට යන්න.. වැස්සට තෙමි තෙමි, මඩේ එරෙමින්, අලි කොටි පිරුණු මහ වනය මැදින් ඔවුන් ගඟෙන් එතෙර වෙලා කරත්තවලින් ගමන ආරම්භ කළා.

🛕ඝන වනය පීරමින් ගිය මේ පිරිසට දකින්න ලැබුණේ අමුතුම දර්ශනයක්. උසට උසේ තියෙන මහ පස් ගොඩක් සහ ඒ අවට විසිරිලා තිබුණු පැරණි ගොඩනැගිලිවල සුන්බුන් කෑලි.. ඔවුන් ඒ සුන්බුන් කෑලි කිහිපයක් අරගෙන ඇවිත් මෙන්ඩිස් වෙද මහතාට පෙන්වූ අතර, ඉන් පසුව වෙද මහතා ඇතුළු කණ්ඩායමම එතැනට ගොස් පරීක්ෂා කළා..

එතැන තිබුණේ සාමාන්‍ය නටබුන් නෙවෙයි. මෙන්ඩිස් වෙද මහතාට වැටහුණා මේක කාලයට වැසී ගිය මහා පින්බිමක් බව. වහාම ක්‍රියාත්මක වුණු ඔවුන්, ගමේ මිනිසුන්ගේ සහය ඇතිව ඒ අවට කැලෑව ශුද්ධ කරලා, කුඩා මඩුවක් ඉදි කළා. මෙන්ඩිස් වෙද මහතාගේ වියදමින් ළිඳක් හාරලා, කැලෑවට බෙහෙත් සොයා යන හැම වතාවකම නවාතැන් ගන්නා මධ්‍යස්ථානය බවට මෙය පත් කරගත්තා.

පසුව මේ ගැන වැල්ලවත්තේ වස්කඩුවේ ධම්මකිත්ති සහ ස්වර්ණකිත්ති ස්වාමීන් වහන්සේලා දැනුවත් කළා. උන්වහන්සේලා වැඩම කරලා මේ ස්ථානය පරීක්ෂා කරද්දී තහවුරු වුණා මේ තමයි අපේ ඉතිහාසයේ සඳහන් වන, බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති අති පූජනීය සෝමාවතී පුදබිම කියලා..

🚜 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇවිත් මේක සෝමාවතිය කියලා නිල වශයෙන් තහවුරු කළාට පස්සේ, රට පුරාම මේ පුවත පැතිරුණා.. මිනිස්සු ටික ටික වන්දනාවේ එන්න පටන් ගත්තා.. හැබැයි ඒ ගමන එදා හරිම දුෂ්කරයි. පාරක් නැහැ, විදුලිය නැහැ, වන අලි හැම තැනම...

එදා ප්‍රදේශයේ දිසාපතිව හිටපු රිජ්වේ තිලකරත්න මහතා මේ දුෂ්කරතා දැකලා ඒ ගැන රජයට දන්වා සිටියා. ඒ අනුව සුංගාවිල ප්‍රදේශයෙන් අක්කර දෙකක ඉඩමක් වසර 99 ක බද්දට ලබා දීලා, බැතිමතුන් සඳහා විශ්‍රාම ශාලාවක් ඉදිකළා.. මේ සියල්ල පවත්වාගෙන ගියේ වැල්ලවත්තේ ඒ උතුම් වෙද මහතා ආරම්භ කළ සමිතියෙන්..

පසුව 1960 දශකයේදී, එවකට පළාත් පාලන ඇමතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා සහ පොළොන්නරුවේ මන්ත්‍රීවරයෙකු වූ නෙල්සන් මහතාගේ මැදිහත් වීමෙන් පාරවල් සැකසී, පාලම්පාරු දමා, විදුලිය ලබා දී සෝමාවතිය අද තිබෙන දියුණු තත්ත්වයට පත් කිරීමට මූලික පදනම වැටුණා..

🙏 යුද්ධය පැවති සමයේ කරුණා අම්මාන් වැනි සන්නද්ධ කණ්ඩායම් මේ පූජා භූමිය යුද කඳවුරක් විදිහටත් පාවිච්චි කළා. පස්සේ 2002 දී අපේ රණවිරුවන් මේක නිදහස් කරගත්තා.. 2009 දී ආයෙත් මේ විශ්‍රාම ශාලාව වැල්ලවත්ත සමිතියට බාර දුන් අතර, අදටත් එය බැතිමතුන්ගේ සේවය උදෙසා විවෘතව පවතිනවා.

එදා වගේම අදත් සෝමාවතියේ බුදු රැස් විහිදෙනකොට, ඒ සිසිලස විඳින ඔබ මොහොතකට මතක් කරන්න... එදා වැල්ලවත්තේ ඉඳලා කැලෑ රජා ලොරියෙන් බෙහෙත් සොයාගෙන ගිය ඒ බී.ඒ. මෙන්ඩිස් වෙද මහතා ඇතුළු පිරිස එදා ඒ ඝන කැලෑවට නොගියා නම්, අදටත් මේ මහා පින්බිම කැලෑවට වැහිලා තියෙන්න ඉඩ තිබුණා...

මිත්‍රවරුනි මේක නිකන් ජන කතාවක් නෙවෙයි.. අපේ උරුමය සොයා දුන් උත්තම මිනිසුන්ගේ අසීමාන්තික කැපකිරීමක සත්‍ය කතාවක්... ඉතින් ඔයාලත් සෝමාවතිය පුදබිමේ තියෙන හාස්කම් විශ්වාස කරනවද..?

23/02/2026

ආනන්ද බෝධි පූජා කථා෴
"..මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මෙම සැවැත් නුවර වාසය කොට දනවු සැරිසරා වැඩපි සමයෙක සැවැත් නුවර වාසී වූ බොහෝ ස්ත්‍රී පුරුෂයෝ සුවඳ මල් ආදිය ගෙන වෙහෙරට අවුත් බුදුන් නො දැක ඉතා මහත් වූ ශෝක ඇති ව බුදුන්ට ගෙනා මල් පිදිය යුතු වූ අනික් උත්තම වූ ස්ථානයක් නො ලදින් විහාරොපචාරයෙහි රැස්කොටපියා පලා ගියහ. අනේපිඬු මහසිටාණන් ආදී වූ බොහෝ උපාසක උපාසිකාවරු එදා මේ වල සලාපු මල් දැක කම්පා ඇති ව “බුදුන් නුදුටු කල අප ඇම බුදුන් දුටුවා සේ වැඳ පුදා ගන්නා වූ පූජ්‍යස්ථානයක් ලදුමෝ නම් යෙහෙකැ”යි ඔවුනොවුන් හා සමග කථා කොට පසුව බුදුන් දෙව්රම් වෙහෙරට වැඩිකල හැම දෙන ම ගොසින් බුදුන් දැක ඉතා මහත් වූ සොම්නසට පැමිණ පසුව අනඳ මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! මෙ තෙක් දවස් බුදුන් නොදැක වැඳ පුදා ගන්නා දෙයක් නො ලදින් ඉතා මහත් වූ දොම්නසට පැමිණියම්හ. බුදුහු නම් නානා ස්ථානයෙහි ලෝවැඩ නිසා වඩනා සේක් ම ය. බුදුන් වෙහෙර නැති කල අප ඇම වැඳ පුදා ගන්නා පූජ්‍යවස්තුවක් බුදුන්ට සැලකොට ඉල්වා දුන මැනැවැ”යි කීහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ මෙ පවත් සැලකොට “ස්වාමීනි! නුඹවහන්සේ දුටුවාසේ පූජා කටයුතු ව්සුත කවරේ දැ”යි විචාළ සේක. බුදුහු ආනන්‍ද ය! පූජ්‍ය වස්තු නම් ශාරීරික ය, උද්දේශික ය, පාරිභෝගික ය යි තුනෙක් වෙයි. එයින් ශාරීරික ධාතු පූජා බුදුන් අයාමෙහි වන්නේ ය. උද්දේශික පූජා නම් ධර්මයට ධාතුවට හා බුදුන් වැනි රූපාදියට වෙයි. පාරිභෝගික නම් බුදුන් වැළඳූ පාත්‍ර සිවුරු ආදියට හා පිටදුන් ශ්‍රී මහා බෝධියට කරන්නා වූ සත්කාර ය. එසේ හෙයින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලශාඛාවක් ගෙනවුත් මේ ජේතවනාරාමයෙහි රෝපණය කරවා ඒ බෝධිය මා දුටුවා සේ වැඳ පුදා සත්කාර කළහොත් මට කළා වූ සත්කාර හා සම ම ය”යි වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ මෙපවත් කොසොල් රජ්ජුරුවන් ආදිවූ හැමදෙනාට කියා එ වේලෙහි ම ජේතවනයෙහි දොරටුව ගාවා ආවාටයක් කනවා භූමිමණ්ඩල ය විසිතුරු කොට සරහා එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! ජයශ්‍රී මහා බෝධියට ගොස් ඵලශාඛාවක් අපට ගෙනවුත් දුන මැනැවැ”යි ආරාධනා කළ සේක.

එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ හැම රජ පිරිස් බල බලා සිටියදී “මා යන නියාවත්, ඵලශාඛාව ගෙනෙන නියාවත්, හැමදෙනාට ම පෙනේව”යි අධිෂ්ඨාන කොට ලා ආකාශයට පැන නැගිලා බෝධිමණ්ඩලයට වැඩ නටුයෙන් ගිලිහී එන ඵලශාඛාවක් බිම හිය නො දී ආකාශයෙහිදී ම සඟළසිවුරුපටින් පිළිගෙන නැවත එ කෙණෙහි ම අවුදින් ආකාශයෙන් බැස අනඳ මහ තෙරුන් වහන්සේට දුන් සේක.

අනඳ මහතෙරුන් වහන්සේ දොහොතින් පිළිගෙන කොසොල් මහරජ්ජුරුවන් අතට දී “මහරජ! තොපගේ ස්වහස්තයෙන්ම බෝධි ප්‍රතිෂ්ඨාව කරව”යි වදාළ සේක. රජ්ජුරුවෝ ඒ ශාඛාව රුවන් කරඬුයෙන් පිළිගෙන ඉස්මුදුනෙහි තබාගෙන ආවාටය වටා තුන් යලක් පැදකුණු කොට සිතන්නාහු “රාජ්‍යය නම් හැමදාම මට ස්ථිර ව නියමයෙක් නැත. එසේ හෙයින් අනික් රජෙක් මතු ඇති වී නම් මා අතින් පිහිටුවූ බෝධියට ආදර නො කෙරෙයි. සිටුවරු නම් මහපොළොව වැනියහ. අනේපිඬු මහ සිටාණන් අතින් පිහිටුවමි”යි සිතාලා “සිටාණෙනි! තොප අතින් පිහිටුව ව”යි උන් අතට දුන්හ. එ වේලෙහි ලක්‍ෂයක් අගනා ඝනරන් තලියෙක ගඳ කළල් පුරා යට සිදුරු කොට වළ මැද පිහිටුවා ඒ ඵලශාඛාව සිටාණෝ තමන් ස්වහස්තයෙන් ගඳකලලට වඩාලූහ.

එ කෙණෙහි සියලු සතුන් බල බලා සිටියදී පොළොව පලා පැන නැගියා වූ දිව්‍යනාගරාජයකු සේ මහ නගුලිසක් සා දලුවෙක් ඵලශාඛා පලාගෙන බුදුන් රහතුන්ගේ අධිෂ්ඨාන බලයෙන් හා රජ්ජුරුවන් ගේ සිටාණන්ගේ ශ්‍රද්ධා කුශල බලයෙන් පැන නැංගා වූ ඒ බෝධිය වැඩි වැඩි මහත් වෙමින් සම සිළුටු වූ මහ රිදී කඳක් සේ පනස් රියන් උස මහ කඳෙක් නැගී එතෙනදී පනස් පනස් රියන් දිග ශාඛා පසෙක් ඒ ඒ දිගට බෙදී වනස්පති වෘක්‍ෂ රාජකු සේ සිටගත. එහි ඉන්‍ද්‍රනීල මාණික්‍ය වැනි පත්‍රසමූහයෙන් හා, ප්‍රවාලාඞ්කුර වැනි අභනව පල්ලවාඞ්කුරයෙන් හා, සුරක්ත වූ ඵල සමූහයෙන් හා, එම විගස ම ශෝභාසම්පන්න විය.

ඒ මහා බොධියෙහි මුල පටන් අග දක්වා සියක් රියන. පූර්ව ශාඛාග්‍රෙයහි පටන් පශ්චිම ශාඛාග්‍රයට සියක් රියන. උත්තරශාඛාග්‍රෙයහි පටන් දක්‍ෂිණ ශාඛාග්‍රයට සියක් රියන් උසය. ශාඛාමණ්ඩලය තුන්සියක් රියන. මාගේ ස්වාමිදරුවන්ගේ අපරිමිත පුණ්‍ය ප්‍රභාවයෙන් ජනිත වූ මේ බෝධීන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය පෙළහර දැක සත්කෙළක් පමණ මනුෂ්‍යයන් වසන ඒ සා සැවැත් නුවර සක් රුවන් පහළ වූ දා හැළලි ගිය චක්‍රවර්ති සේනාව සේ ඉතා විස්මයට පැමිණ මහත් වූ පූජා උත්සව කළහ. සාධුකාර දෙන්නවුන් කෙකෙත් දහස් ගණනැ යි කියම් ද? නොයෙක් පූජාභාණ්ඩ ගෙන අත්පොළසන් දිදී ඔල්වරසන් දෙන්නවුන් කෙතෙක් දහස් ගණනැයි කියම් ද? අසුරුසන් දිදී නට නටා ඇවිදනවුන් කෙතෙකැ යි කියම් ද? පිළි ඉස සිසාරා උමතු ව නටන්නවුන් කෙතෙක් දහස් ගණනැ යි කියම් ද? නොයෙක් පූජාභාණ්ඩ ගෙන වෙහෙරට දිවන්නවුන් කෙතෙක් දහස් ගණනැ යි කියම් ද? ඒ සා වෙහෙර අවකාශයක් නැති හෙයින් වාසල් දොරටුයෙන් වැද යා නොහී ගැහැටි ගැහැටී සිටිනා සත්ත්‍වයන් කෙතෙක් ලක්‍ෂගණනැ යි කියම් ද? මාගේ ස්වාමිදරුවෝ එම දා ම බුදු වූ සේක් දෝ හෝ යි සිතමි. එම දා ම පෙළහර පෑ සේක් දෝ හෝ යි සිතමි. එම දා ම ලොව විස්මය පත් කළ සේක් දෝ හෝයි සිතමි.

මෙසේ ආශ්චර්‍ය්‍ය වූ වේලෙහි කොසොල් රජ්ජුරුවන් හා, අනේපිඬු මහසිටාණන් හා, විශාඛා මහාඋපාසිකාවන් හා, බන්‍ධුල මල්ලිකාවන් හා, කෝසල මල්ලිකාවන් හා, වාසභ ඛත්තියාවන් හා යනාදි බුදුන් කෙරෙහි ප්‍රසන්න වූ ස්ත්‍රී පුරුෂයෝ බොහෝ දෙනා ඒ බෝධිය සිසාරා සිටගෙන සත්රුවන්මය බෝධිකොටුවක් කරවා ඇතුළෙහි සත්රුවන් සුන්නෙන් තනා වේදිකාව සිසාරා රන් පැන රිදී පැන-රන්කලස-රිදීකලස තනා මළුව වරා රුවන් මෙහෙයෙන් ම විසිතුරු වූ පවුරු නිමවා, සත්රුවන්මය වූ දොරටු කරවා ඝනරන් දොර ලවා මාලකයෙහි ද රුවන් වැලි ඉස්වා, වටා රකවල් ලවා, සියලු සතුන්ගේ චිත්තානන්‍දනය කොට පැන නැගි හෙයින් ද, ආනන්‍දස්ථවිරයන් වහන්සේගේ නියෝගයෙන් කළ හෙයින් දැ යි මේ ආනන්‍ද මහා බෝධි ය යි නම් තබා දවස් පතා තමන් තමන්ගෙන් පූජා කරන සේ නියෝග කොට එ දවස් නො යෙක් පූජා කොට බුදුන් වැඳ සිටියහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ගොසින් බුදුන් වැඳලා “ස්වාමි දරුවාණෙනි! නුඹගේ මහිම අද පටන් නුඹ වදාළ මැනැවැ යි නැත. අද පටන් මේ ආනන්‍ද බෝධිය ම ලෝකානන්‍ද කොට ලෝවැඩ කෙරෙයි. ඒ බෝධියට සත්ත්‍වයන් කළා වූ සත්කාරය ඉතා උදාර ය. නුඹවහන්සේ ද ඒ ආනන්‍ද බෝධිය පිටලා වැඩහිඳ බෝමැඩ වජ්‍රාසනයෙහි ශ්‍රී මහා බෝධිමූලයෙහි දී නුඹවහන්සේ වන් සමවත් සමවැද වදාළ මැනැවැ”යි ආරාධනා කළ සේක. ස්වාමිදරුවෝ එබසට සිනා පහළ කොට ආනන්‍දය කුමක් කියව් ද, බෝමැඩ දී මා අවන් සමවත් සමවදිනට සුදුසු වූ අනික් භූමියෙක් අනන්තාපරියන්ත සක්වළ වේවා, මෙ මගුල්සක්වළ වේවා බඹලෝ ආදියෙහි වේව යි කිසි තැනෙකත් නැත්ම ය, ඇතකු ධරාලූ සැත් වටු කුරුල්ලොත් ධරාලිය හෙද්දැ”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ තමන්වහන්සේ බුදුන් කෙරේ ඉතා වල්ලභහෙයින් “එසේ වී නම් ස්වාමීනි! ඒ භූමිය පොහෝනා පමණක් සමවත් සමවැද එ බෝකඳට පිටලා වැඩහිඳ ඒ භූමිය පාරිභෝගික කොට වදාළ සේක.”

එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ බෝධිමූලයට වැඩ එ බෝකඳට පිටලා පූර්වදිග් බලා වැඩහිඳ එදා රෑ තුන්යම රාත්‍රිය මුළුල්ලෙහි එ තෙන සමවත් සුවයෙන් දවස් යැවූ සේක. එතැන් පටන් ජේතවනාරාම ය බුදුන නැති විටත් ඇත්තා සේ ම විය. ඒ ආනන්‍ද බෝධියට දවස් පතා ලක්‍ෂයක් පරිත්‍යාග කොට කරන ලද්දා වූ උදාර වූ පූජා වී ය"

|පූජාවලිය|

23/02/2026

භාවනා සතර

බුද්ධානුස්මෘති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්මෘති භාවනාව යන මේ සතර පැවිද්දන් විසින් නො හළ යුතු භාවනා සතරකි. සාමාන්‍යයෙන් දිනකට වරක් දෙකක් වුව ද ඒ භාවනා සිහි කරන්නා වූ පැවිද්දාහට එයින් ශ්‍ර‍ද්ධාවත් සසර කලකිරීමත් මහණ දම් පිරීමෙහි උනන්දුවත් ඇති වේ. ඒ භාවනා සතර පැවිද්දාට ආරක්ෂාවක් ද වේ. එබැවින් එයට “චතුරාරක්ෂාවය” යි ද කියනු ලැබේ. බුද්ධගුණාදිය ලෙහෙසියෙන් සිහි කළ හැකි වීම සඳහා පාඩම් කරගෙන භාවිතය සඳහා යම් කිසි පෞරාණිකාචාර්‍ය්‍යවරයකු විසින් විරචිත “චතුරාරක්ෂාවය” යන නමින් හැඳින්වෙන “බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති” යනාදි ගාථා පෙළක් ඇත්තේ ය. එය බොහෝ කලක පටන් ලක්දිව පැවිද්දෝ භාවිත කෙරෙති. සාමාන්‍ය භාවනාවක් වශයෙන් සජ්ඣායනය කිරීමට ඒ ගාථා පෙළ ඉතා යෝග්‍ය ය. ඒවා සජ්ඣායනා කිරීමේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ ඒවායේ තේරුමත් දැන උගෙන සජ්ඣායනය කිරීමෙනි. එබැවින් තේරුම ද සහිත ව භාවනා ගාථා පෙළ දක්වනු ලැබේ.

බුද්ධානුස්මෘති භාවනාව

1. “සවාසනේ කිලේසේ සෝ ඒකෝ සබ්බේ නිඝාතිය,
අහූ සුසුද්ධසන්තානෝ පූජානඤ්ච සදාරහෝ”

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනාව සහිත ව සකල ක්ලේශයන් නසා අතිශයින් ශුද්ධ සන්තාන ඇතියෝ ය. දෙවි මිනිසුන් විසින් කරනු ලබන අනේක ප්‍ර‍කාර පූජාවන්ට ද සුදුසු වූ සේක.

2. “සබ්බකාලගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි.
සබ්බාකාරේන බුජ්ඣිත්වා ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ.”

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන සර්වකාලයන්ට අයත් සියලු ධර්මයන් තමන් වහන්සේ විසින් ම මනා කොට අවබෝධ කර එකලාව සර්වඥත්වයට පැමිණි සේක.

3. “විපස්සනාදි විජ්ජාහි සීලාදි චරණේහි ච,
සුසමිද්ධේහි සම්පන්නෝ ගගනාභේහි නායකෝ.”

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘධ වූ ආකාශය බඳු වූ විදර්ශනාඥානාදි විද්‍යාවන්ගෙන් ද ශීලාදි චරණධර්මයන්ගෙන් ද යුක්ත වන සේක.

4. “සම්මාගතෝ සුභං ඨානං අමෝඝවචනෝ ච සෝ,
තිවිධස්සා පි ලෝකස්ස ඥාතා නිරවසේසතෝ.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමසුන්දර නිර්වාණයට මනා කොට ගිය සේක. නො හිස් නො වරදින වචන ඇති සේක. ත්‍රිවිධ වූ ම ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ සේක.

5. අනේකේහි ගුණෝඝෙහි සබ්බසත්තුත්තමෝ අහූ
අනේකේහි උපායේහි නරදම්මේ දමේසි ච

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීලාදි අනේක ගුණෝඝයන් කරණ කොට සකල සත්ත්වයන්ට උත්තම වූ සේක. අනේකෝපායයෙන් අදම්‍ය පුද්ගලයන් දමනය කළ සේක.

6. “ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බඅත්ථානුසාසකෝ,
භාග්‍ය ඉස්සරියාදීනං ගුණානං පරමෝ නිධි.

ඒ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකයාට අසහාය සකලාර්ථනුශාසකයන් වහන්සේ වූ සේක. භාග්‍ය ඓශ්වර්‍ය්‍යාදි ගුණයන්ගේ පරම නිධානය වූ සේක.

7. “පඤ්ඤාස්ස සබ්බධම්මේසු කරුණා සබ්බජන්තුසු,
අත්තත්ථානං පරත්ථානං සාධිකා ගුණජෙට්ඨිකා.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ සකල ධර්මයන් කෙරෙහි පවත්නා ප්‍ර‍ඥාව ද සකල සත්ත්වයන් කෙරෙහි පවත්නා මහා කරුණාව ද ආත්මාර්ථ පරාර්ථ දෙක සුදු කරන ප්‍ර‍ධාන ගුණ දෙකෙක.

8. “දයාය පාරමී චිත්වා පඤ්ඤායත්තානමුද්ධරී
උද්ධරී සබ්බධම්මේ ච දයායඤ්ඤේ ච උද්ධරී.”

ඒ භාග්‍යවතුන් වහන්සේ සකල සත්ත්වයන් කෙරෙහි පවත්නා මහා කරුණාවෙන් සමතිස් පෙරුම් දහම් සපුරා ප්‍ර‍ඥාවෙන් තමන් සසර සයුරෙන් නඟා ගත් සේක. සකල ධර්ම සමූහය ද දැන වදාළ සේක. කරුණාවෙන් අන්‍ය සත්ත්වයන් ද සසර සයුරෙන් ගොඩ නැගූ සේක.

9. “දිස්සමානෝ පි තාවස්ස රූපකායෝ අචින්තියෝ,
අසාධාරණඤාණඩ්ඪෙ ධම්මකායේ කථාව කා.”

ඇසට පෙනෙන්නා වූ ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය ද අචින්ත්‍ය ය. අසාධාරණ ඥානයන්ගෙන් පොහොසත් වූ උන් වහන්සේ ගේ ධර්ම කායය ගැන කවර කථා ද? එය අචින්ත්‍යම ය.

මේ භාවනාව කරන්නහු විසින් මේ ගාථාවලින් නාම මාත්‍රයෙන් දැක්වෙන ඉතා ලුහුඬින් දැක්වෙන බුදු ගුණ අන් පොතකින් බලා ගැනීමෙන් හෝ ගුරුන්ගෙන් අසා ගැනීමෙන් හෝ විස්තර වශයෙන් තේරුම් ගත යුතු ය. මේ ගාථා සජ්ඣායනා කිරීමේ දී ශ්‍ර‍ද්ධාව ඇති වන්නේ ඒවා දැන ගෙන සිටින කල්හි ය.

මෛත්‍රී භාවනාව

1. සුඛී හවෙය්‍යං නිද්දුක්ඛෝ අහං නිච්චං අහං විය,
හිතා ච මෙ සුඛී හොන්තු මජ්ඣත්තාථ ච වේරිනෝ.

මම නිරන්තරයෙන් සැප ඇත්තේ වෙම්වා! දුක් නැත්තේ වෙම්වා! මා මෙන් මා හට හිත සත්ත්වයෝ ද මධ්‍යස්ථයෝ ද වෛරීහු ද සුවපත් වෙත්වා!

2. ඉමම්හි ගාමක්ඛෙත්තම්හි සත්තා හොන්තු සුඛී සදා,
තතෝ පරඤ්ච රජ්ජේසු චක්කවාළේසු ජන්තුනෝ.

මේ ගමෙහි සකල සත්ත්වයෝ සැම කල්හි සුවපත් වෙත්වා! එයින් ඔබ රාජ්‍යවල සක්වළ වල සත්ත්වයෝ ද සැම කල්හි සුවපත් වෙත්වා.

3. සමන්තා චක්කවාළේසු සත්තානන්තේසු පාණිනෝ
සුඛිනෝ පුග්ගලා භූථා අත්තභාවගතා සියුං.

මේ සක්වළ හාත්පස අනන්ත චක්‍ර‍වාටයන්හි සියලු සත්ත්වයෝ සකල ප්‍රාණීහු සකල සත්ත්වයෝ සකල භූතයෝ සකල ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ සුවපත් වෙත්වා!

4. තථා ඉත්ථි පුමා චේව අරියා අනරියා පි ච,
දෙවා නරා අපායට්ඨා තථා දසදිසාසු ච.

එසේ ම සියලු ස්ත්‍රීහු ද, පුරුෂයෝ ද, ආර්‍ය්‍යයෝ ද, අනාර්‍ය්‍යයෝ ද, දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අපායිකයෝ ද සුවපත් වෙත්වා! දශදිශාවෙහි සකල සත්ත්වයෝ ද සුවපත් වෙත්වා!

අශුභ භාවනාව

1. වණ්ණ සණ්ඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා,
පටික්කූලානි කායේ මේ කුණපානි ද්වීසෝළස.

මාගේ ශරීරයෙහි ඇති මේ කේශාදි කුණප දෙතිස පැහැයෙන් ද සටහනින් ද ගණ්ධයෙන් ද ආශ්‍ර‍යස්ථානයෙන් ද පිහිටි අවකාශයෙන් ද ප්‍ර‍තිකූලයෝ ය.

2. පතිතම්හා පි කුණපා ජේගුච්ඡං කායනිස්සිතං,
ආධාරෝ හි සුචි තස්ස කාහේතු කුණපේ ඨිතෝ.

ශරීරයෙන් වෙන් ව වැටුණා වූ කුණපයට ද වඩා කයෙහි පවත්නා කුණපය පිළිකුල් ය. කුමක් හෙයින් ද යත්? වැටුණා වූ කුණපයා ගේ ආධාරය (පවත්නා තැන) පිරිසිදු ය. කයෙහි සිටි කුණපය වනාහි කුණපයෙහි ම පිහිටියේ ය. එහෙයිනි.

3. මීළ්හේ කිමිව කායෝ යං අසුචිම්හි සමුට්ඨිතෝ,
අන්තෝ අසුචි සම්පුණ්ණෝ පුණ්ණවච්චකුටී විය.

මේ කය අසූචියෙහි උපදනා පණුවකු මෙන් අසූචියෙහි ම හටගත් දෙයකි. පිරුණු වැසිකිළියක් සෙයින් ඇතුළ ද අසූචියෙන් පිරී ඇත්තේ ය.

4. අසුචි සන්දතේ නිච්චං යථා මේදකථාලිකා,
නානා කිමිකුලාවාසෝ පක්කචන්දනිකා විය.

සිදුරු ඇති අමුමස් සැළියකින් මෙන් මේ ශරීරයෙන් නිරන්තරයෙන් මලමුත්‍රාදි අසූචි ගලන්නේ ය. මේ ශරීරය පල් වූ ගවරවළක් සෙයින් නා නා කෘමීන්ගේ වාසස්ථානයක.

5. ගණ්ඩභූතෝ රෝගභූතෝ වණභූතෝ සමුස්සයෝ,
අතේකිච්ඡෝතිජේගුච්ඡෝ පහින්නකුණපූපමෝ.

මේ ශරීරය ගෙඩියක් වැනි ය. රෝගයක් වැනි ය. වණයක් වැනි ය. පිළියම් කිරීමට දුෂ්කර වූවක, ඉතා පිළිකුලෙක, තැනින් තැනින් බිඳුණු කුණපයක් වැනි ය.

මරණානුස්මෘති භාවනාව

1. මහාසම්පත්තිසම්පත්තා යථා සත්තා මතා ඉධ,
තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සතී.

මහාසම්පත්තියට පැමිණියා වූ සත්ත්වයෝ යම් සේ මළාහු ද එපරිද්දෙන් මම ද මැරෙමි. මට මරණය වන්නේ ය.

2. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා,
මරණත්ථාය ඕකාසං වධකෝ විය ඒසති.

මේ මරණය උත්පත්තිය සමඟ ම ආ එකෙක. මාරයා සැම කල්හි ම මැරීම පිණිස අවකාශයක් වධකයකු මෙන් සොයන්නේ ය.

3. ඊසකං අනිවත්තන්තං සතතං ගමනුස්සුකං,
ජීවිතං උදයා අත්ථං සුරියෝ විය ධාවති.

සැම කල්හි ගමනට උත්සාහ කරන ඇසිල්ලකුදු නො නවතින ජීවිතය, උදා වීමෙහි සිට අන්තයට යන හිරු මෙන් ඉපදීමේ දී පටන් මරණය කරා දුවන්නේ ය.

4. විජ්ජුබුබ්බුල උස්සාව ජිලරාජි පරික්ඛයං,
ඝාතකෝව රිපූ තස්ස සබ්බත්තාපි අවාරියෝ.

විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් පිනි බිඳක් මෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් මේ ජීවිතය වහා ක්ෂය වන්නේය. මේ මරණය කවරාකාරයකින්වත් වැළැක්විය නො හෙන මරන්නට එන සතුරකු වැනි ය.

5. සුයසත්ථාම පුඤ්ඤිද්ධි බුද්ධි වුද්ධි ජිනද්වයං,
ඝාතෙසි මරණං ඛිප්පං කාතු මාදිසකේ කථා.

මහත් වූ යසසින් ද බලයෙන් ද පිනෙන් ද නුවණින් ද වැඩුණා වූ ලොවුතුරා බුදු පසේ බුදු දෙනම ද මේ මාරයා වහා නැසුවේය. මා වැනියන් මැරීම ගැන කවර කථා ද?

6. පච්චයානඤ්ච වේකල්‍යා බාහිරජ්ඣත්තුපද්දවා,
මරාමෝරං නිමේසාපි මරමානෝ අනුක්ඛණං.

ක්ෂණයක් පාසා සිදුවන නාම රූප බිඳීම නිසා ක්ෂණයක් පාසා මැරෙන්නා වූ මම ජීවත් වීමට වුවමනා ප්‍ර‍ත්‍යයන් නො ලැබී යෑමෙන් ද බාහ්‍යභ්‍යන්තරික උපද්‍ර‍වයකින් ද ඇසිපිය හෙළීමකට ද කෙටි කලෙකදී මැරෙමි.

මේ මරණානුස්මෘති භාවනාවත් ගැඹුරු ය. මේවා ගුරුන් ගෙන් අසා විස්තර වශයෙන් දැන භාවනා කළ යුතුය. භාවනා පොත්වලින් හෝ මේවායේ විස්තරය බලා ගත යුතුය.

ශාසනාවතරණය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

#ශාසනාවතරණය
#බුද්ධානුස්සති #අසුබ #මරණානුස්සති #මෛත්‍රී

22/02/2026
22/02/2026

එක්තරා අවස්ථාවක භික්ෂූන් වහන්සේ නමක් බුදුරදුන්ගෙන් විමසනවා ස්වාමීනි සක්විති රජකෙනෙකු විඳින සැප සම්පත් ගැන උපමාවක් කළ හැකිද කියා. එවිට බුදුරදුන් දේශනා කරනවා මහණෙනි එය මෙසේ උපමා කළ හැකියි කියා. යම් දිනක රාජාභිෂේක ලත් ක්ෂත්‍රිය රජ කෙනෙක් පෙහෙවස් සමාදන්ව රජමාලිගාවේ ඉහළ මාලයට වී සිටින විට දස දිශාවම බබළවමින් දිව්‍යමය වූ චක්කරත්නය හෙවත් අහසින් ගමන් කරන රන් සක පහළ වෙනවා. එවිට ඒ රජතුමා පැන් වඩා අධිෂ්ඨාන කළ විට ඒ චක්කරත්නය නැගෙනහිර දකුණ බටහිර සහ උතුර යන සිව් දිශාවටම ගමන් කරනවා. ඒ චක්කරත්නය පිටුපසින් සිව්මහා සේනාව පිරිවරාගෙන යන රජතුමාට ඒ ඒ ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය රජවරුන් නිරායාසයෙන්ම අවනත වෙනවා. එවිට සක්විති රජතුමා ඒ රජවරුන්ට සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමමිථ්‍යාචාරයෙන් බොරු කීමෙන් සහ මත්පැන් පානයෙන් වැළකී දැහැමෙන් රාජ්‍ය කරවන්න කියා අවවාද කරනවා. මෙසේ සාගරය මායිම් කරගත් මුළු මහත් පොළොවම එකම රාජධානියක් බවට පත් වෙනවා.

ඉන්පසුව මේ රජතුමාට අහසින් ගමන් කළ හැකි සත්ප්‍රතිෂ්ඨ පිහිටි ධවල වර්ණ උතුම් ඇත් රුවනක් පහළ වෙනවා. උදෑසනම මේ ඇතා පිට නැගී මුළු පොළොව වටාම රවුමක් ගොස් උදෑසන ආහාරයට පෙර නැවත රජමාලිගාවට පැමිණීමේ වේගයක් මේ ඇතාට තිබෙනවා. ඒ වගේම අහසින් යා හැකි වලාහක නම් අශ්ව රජෙක් හෙවත් අස් රුවනක් පහළ වෙනවා. ඌටත් මුළු ලොව වටාම ඇසිල්ලකින් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට රජුට මැණික් රුවනක් පහළ වෙනවා. එය අට පට්ටම් වූ ඉතා දීප්තිමත් වෛඩූර්ය මාණික්‍යයක්. ඝන අන්ධකාර රාත්‍රියක වුවත් මේ මැණික ඔසවාගෙන සේනාව ගමන් කරන විට අවට යොදුනක් දුරට දවල් කාලයේ මෙන් ආලෝකයක් පැතිරෙනවා. ගම්වල මිනිසුන් හිරු පෑව්වා යැයි රැවටී වැඩපළ පවා ආරම්භ කරන තරම් ඒ ආලෝකය ප්‍රබලයි.

ඒ වගේම රජුට ස්ත්‍රී රුවනක් පහළ වෙනවා. ඇය ඉතා රූමත්. වැඩි උසත් නැති වැඩි මිටිත් නැති වැඩි මහතත් නැති වැඩි කෙට්ටුත් නැති ඉතා අලංකාර කාන්තාවක්. ඇයගේ ශරීරය සීතල කාලයට උණුසුම් වෙනවා. උණුසුම් කාලයට සීතල වෙනවා. ඇයගේ සිරුරෙන් සඳුන් සුවඳත් මුවින් මහනෙල් සුවඳත් හමනවා. රජතුමාට ඉතා කීකරු පතිවත රකින උතුම් කාන්තාවක් ඇයයි. ඊළඟට ගහපති රුවන පහළ වෙනවා. ඔහුට පොළොවේ සැඟවී ඇති නිදන් දකින දිවැස් තිබෙනවා. රජතුමාට අවශ්‍ය ඕනෑම මුදලක් රත්රන් ඉල්ලූ සැණින් ලබා දීමේ හැකියාව ඔහුට තිබෙනවා. දිනක් රජතුමා ඔහුව පරීක්ෂා කිරීමට ගඟ මැදට ගොස් රත්රන් ඉල්ලූ විට ගහපති රුවන ගඟේ වතුරට අත දමා රත්රන් පිරවූ කළයක් මතුකර පෙන්වූවා. අවසාන වශයෙන් රජුට ලැබෙන්නේ පරිණායක රුවනයි. ඔහු රජුගේ අග්‍ර විනිශ්චයකාරයා වගේම උපදේශකයායි. ඉතා නුවණැති ඔහු රජුට රාජ්‍ය පාලනය ගැන නිවැරදිම උපදෙස් ලබා දෙනවා.

මේ වස්තු හතට අමතරව සක්විති රජුට සෘද්ධි හෙවත් විශේෂ පිහිටීම් හතරක් තිබෙනවා. එනම් අන් අයට වඩා රූපශ්‍රීයෙන් යුතු වීම අන් අයට වඩා දීර්ඝායුෂ ලැබීම අන් අයට වඩා නිරෝගී වීම සහ පියෙකුට දරුවන් ආදරය කරන්නා සේ මුළු රටේම ජනතාව රජුට ආදරය කිරීමයි. ඉතින් බුදුරදුන් භික්ෂූන්ගෙන් අසනවා මෙපමණ සම්පත් ඇති සක්විති රජු විඳින සැපය මහත් නොවේද කියා. භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි එය කියා නිම කළ නොහැකි තරම් මහා සැපයක් කියා. එවිට බුදුරදුන් කුඩා ගල් කැටයක් අතට ගෙන අසනවා මේ ගල් කැටයද විශාල හිමාල පර්වතයද විශාල කියා. භික්ෂූන් වහන්සේලා පවසනවා හිමාල පර්වතය අසල මේ ගල් කැටය ගැන කතා කිරීමත් විහිළුවක් කියා. එවිට බුදුරදුන් දේශනා කරනවා මහණෙනි මුළු මහත් පෘථිවියම ජයගෙන සක්විති රජු විඳින ඒ මහා සැපය මේ ගල් කැටය වැනියි. දෙව්ලොව දෙවියන් විඳින දිව්‍ය සැපය හිමාල පර්වතය වැනියි. එනිසා පින් කිරීමෙන් ලැබෙන ආනිශංස සක්විති සැපයටත් වඩා ඉතා මහත් බව වටහා ගත යුතුයි.

22/02/2026
22/02/2026
22/02/2026

ලොව බුදුරජාණන් වහන්සේලාගේ පහල වීම ඉතාමත්ම දුර්ලභය . අතට පත් නිවන පවා අතහරිමින් ලෝක සත්වයන්ව සංසර දුකින් එතර කිරීම සදහා අපිරිමිත වූ මහා කරුණාවෙන් බෝධිසත්වයන් වහන්සේලා පාරමී පුරන්නෝය. අසරණ වූ අප වෙනුවෙන් බුදුවරු අප්‍රමාණ වූ දුක් කන්දරාවක් විදින්නෝය.

අප බෝධිසත්වයන් වහන්සේ අප වෙනුවෙන් සාර සංක කල්ප ලක්ෂයකට ප්‍රථම අතට පත් නිවන අතහැර, මහා මේරු පර්වතය පරයමින් ශරීරයේ අවයව දන් දෙමින්, අහසේ තරු පරයමින් ඇස් දන් දෙමින් පාරමිතා පුරන ලද්දේ අප වෙනුවෙන්මය. අප මහා බෝසතාණන් වහන්සේ අසංකයක් බුදුවරු ඉදිරියේ හදවතින්ම බුද්ධත්වය ප්‍රර්ථනා කරන ලද්දේය. බුද්ධ ශුන්‍ය කල්ප ගණන් ලෝකයේ පැවතියදී අසංකයක් බුදුවරු පහල වීමට කොපමණ කාලයක් වැය වන්නට ඇතිදැයි අපිට සිතා ගැනීමටත් නොහැකිය. ඒ වෙන කව්රුන් සදහා නොව අප වෙනුවෙන්ම වන්නේය.

තවද අප බෝධිසත්වයන් වහන්සේ ශරීරයේ කැලි කපද්දී පවා වේදනාව පරයමින් මෛත්‍රීය පතුරවන ලද්දේය.එදා වෙස්සන්තර ජාතකයේදී පමණක් මහ පොලොව 7 වරකදී කම්පා වෙන ලද්දේය.සිත් පිත් නැති මේ මහා පොලොව පවා ඒ බෝධිසත්වයන් වනසේලගේ ගුණස්කන්ධය හදුනන්නෝය. බුදු වීමට ප්‍රථම මෙසේ නම් බුද්ධත්වයට පත් වූ විට කෙසේනම් විය හැක්කේද.

මේසා අප්‍රමාණ දුක් විදිමින්, බුදු වන ආත්මයේදී අප්‍රමාණ සැප සම්පත් අතහරිමින් කුසට අහරක් නොමැතිව, සීතලේ වැස්සෙන් පින්නෙන් පීඩා විදිමින්, ගල් ගුහ, කැලැ වල පීඩා විදිමින් සා අවුරුද්දක් අප මහා බෝසතාණෝ දුක් විදින්නේ අප කෙරෙහි වූ කරුණා වෙන්මය. මේ මහා පොළොවට, මේ විශ්වයට කතා කිරීමට හැකි නම් ලොව පහල වූ බුදු වරු නුබලා වෙනුවෙන් පාරමිතා පිරුවේ මෙන්න මෙහෙමයි කියා හඩ නගා ප්‍රකාශ කරණු ඇත.අපගේ මුළු ජීවිත කාලයම පමණක් නොව මේ කල්පය ඉවර වුවද උන් වහන්සේලා පිරූ පාරමිතා මෙතෙකැයි කියා නිම කිරීමට කාලය තව වැයවනු ඇත.

මෙපමණ දුක්කස්කන්ධයක් විදිමින් අප වෙනුවෙන් ලෝකයට පහළ වූ බුදුපියාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය ගැන කවර කතාවක්ද.උන් වහන්සේලා ගැන ඇති කරගනු ලබන අල්ප මාත්‍රයක පහන් සිතකින් අප්‍රමාණ පින් ලැබෙන්නේය. එක බක මුණෙකු අප බුදුපියාණන් වහන්සේ දැක සැදැහැ සිතින් එක වැදීමකින් පවා සුගති සම්පත් ලබාදී අවසානයේ පසේ බුදු කෙනෙකුව උපදින බව අප අසා ඇත්තෙමු. තිරිසන් සතෙකු වී එක වැදීමකින් මෙපමණ පිනක් ලැබෙන්නා වූ ගුණ ස්කන්දය ගැන කවර නම් කතාවක්ද.

එක වැදීමකින් පවා සුගති සම්පත් ලබා දෙන්නේ නම් ඒ සා ගුණස්කන්ධයක් පිරි බුදු පියාණන් වහන්සේට එක මලක්, එක පහනක්, එක බත් හැන්දක් පූජා කලේනම් කොපමණ කුසල් රැස් වන්නේදැයි සිතා නිමකළ නොහැක. අග්‍ර ඵලයක්ම ලැබෙන්නේය.
එපමණ උතුම් ගුණස්කන්ධයක් දරණ ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වර්ෂ 2500ක් ඉකුත්ව ගියද අද කොපමණ නම් උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබන්නේද ? අද මෙසේනම් උන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ කොතරම්නම් වැදුම් පිදුම් පුද පූජා පවත්වන්නට ඇත්ද. රට වැසියා සහ කොසොල් රජු අතර තරගයකට මෙන් පූජා කරන ලද දානයක් ගැන අප අසා ඇත්තෙමු. එදා මිත්‍යා දුෂ්ටිකයින් පවා රජුව පැරදීම සදහා කෝටි ප්‍රකෝටි ගණනින් එම දානයට සහභාගී වුහ. කෙළවරක් නොමැති එම දානයද පරදවමින් කොසොල් රජතුමා පසුදින දෙන ලද අසදෘෂ දානය සැම බුදු වරයන් වහන්සේලාටම එක පාරක් ලැබෙන්නේමය.

එපමණ උතුම් ගුණස්කන්දයක් උසුලන තුන් ලෝකයටම ශ්‍රේෂ්ට වූ, උත්තම වූ, ඒ සුගත තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම "අරහං" නම් වන සේක.සම්මා සම්බුද්ධ නම් වන සේක.විජ්ජ චරණ සම්පන්න, සුගතෝ, ලෝක විදු, අනුත්තරෝ පුරිස දම්ම සරථී , සත්තා දෙවමනුස්සනම්, බුද්ධෝ, භගවා නම් වන සේක. කෙළවරක් නොමැති ගුණස්කන්ධයක් උසුලන ඒ බුදු පියාණන් වහන්සේලා කෙරෙහි අල්ප මාත්‍රයක ශ්‍රද්ධාවක් සිත තුල ඇති කර ගන්නේ නම් අප්‍රමාණ කුසල් රැස් වන්නේය.එය එසේමය. ශ්‍රද්ධාව නිවන් දොර විවර කර දෙන්න වූ යතුරකි. ශ්‍රද්ධාවක් නොමැති අයෙකුට නිකම්ම නිකම් වචන ටිකක් පමණි.

බුදු වරුන්ගේ ගුණස්කන්ධය , උන් වහන්සේලා අවබෝධ කල දෙසු ධර්මය, ඒ උතුම් ධර්මය දිවි පරදුවට තබමින් මේ දක්වා රකිනු ලැබූ, රකිනු ලබන්නාවූ ඒ උතුම් මහා සංඝරත්නය තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට, ප්‍රඥාවේ ප්‍රමාණයට අනුව අවබෝධ වනු ඇත.ඒ අනුව මේ මහා ත්‍රිවිධ රත්නයේ හික්මුණ සිත් ඇත්තෝ ඒවායේ ප්‍රනීත වූ මිහිරි ප්‍රතිපල අත් දකිනු ඇත.
නොහික්මුණ සිත් ඇත්තෝ ත්‍රිවිධ රත්නයට අපහාසා කරමින් අප්‍රමාණ අකුසල් රැස් කර ගනීති. එවැන්නන් එදා බුද්ධ කාලයේද සිටින ලදී. අද ද සිටිති. සියල්ලටම කර්මය පොදුය. මන්ද ඒ බුදු රජාණන් වහන්සේලා අප වෙනුවෙන්ම සසරේ දුක් විදිමින් පැමිණි බැවිනි.

🙏🙏🙏

Address

Koswatta

Website

Alerts

Be the first to know and let us send you an email when Lord Buddha's Path posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share