26/11/2025
විධිමත් අධ්‍යාපන පටිපාටියක් ක‍්‍රියාත්මක වූ ලොව මෙතෙක් පැවති බෞද්ධ විශ්වවිද්‍යාල අතරින් ඉහළම පිළිගැනීමකට ලක්වූ බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. එය මේ වනවිට පරිහානියට ලක්ව තිබුණ ද ඒ අනුසාරයෙන් නව නාලන්දාවක් මෙරට ඉදිකර තිබේ. ඒ කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයයි. එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට ඇති විශාලතම බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙසිනි. එහි නිර්මාතෘ මෙන්ම උපකුලපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් ය. උන්වහන්සේ මෙරට මෙහෙණි සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවාවක් කළ සහ කරමින් සිටින හිමිනමකි. ඒ සම්බන්ධව උන්වහන්සේ සමඟ සිදුකළ කතාබහක් ඇසුරින් මේ ලිපිය සැකසේ.
*අවසර ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ තමයි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ. ඒ ආරම්භය සිදුවුණේ කොයි විදියටද කියලා අපි මුලින්ම දැනගන්න කැමතියි?
ඒක ටිකක් දිග කතාවක්. 1962 අවුරුද්දේ අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් වුණු ජේ.ආර්.ජයවර්ධන මහත්තයා සහ එලීනා ජයවර්ධන මහත්මිය ඔවුන්ට අයිති සියලු දේපළ මල්වතු මහා විහාරයේ එවකට හිටපු මහානායක හිමියන්ට පුජා කළාලු. ඒ පූජා කරද්දි තඹපත් ඉරුවක දීපු සන්නසක සඳහන් උනාලු මේ වෙද්දි නාගානන්ද විශ්වවිද්‍යාලය තියෙන මානෙල්වත්ත ඉඩම අනාගතයේදි සම්පූර්ණයෙන්ම ආගමික ස්ථානයක්, අධ්‍යාපනික ආයතනයක් සහ සතර දිගින් වඩින භික්ෂු හික්ෂුණින්ට උපස්ථාන කරන ස්ථානයක් වෙනවා නම් කැමතියි කියලා. එදා මහානායක හිමියන් ඒ කටයුත්ත කරන්න බාර කරලා තියෙන්නේ කන්ඩන්කුලමේ ධම්මකිත්ති නායක හිමියන්ට. උන්වහන්සේ තමන්ගේ ගෝල බාලයින් දාලා ඒ කටයුත්තට අතගැහුවත් ඒක කරගන්න බැරිවෙලා. ඔය අතරේ උන්වහන්සේ මැලේසියාවට වැඩම කරලා එහෙදි මුණගැහුනු ධම්මානන්ද නායක හිමියන්ට කිව්වලු ජේ.ආර්. මහත්‍තයගේ ආසාව ඉටුකරලා මානෙල්වත්ත සංවර්ධනය කරන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න කියලා. උන්වහන්සේ ඒකට සුදුස්සා කළේ මං. 2003 අවුරුද්දේ මට මානෙල්වත්ත ඔප්පුවක් මඟින් ලැබුණා. කොහොමහරි අවසානෙට මට පුළුවන් වුණා ජේ.ආර්. මහත්තයාගේ සන්නසේ තිබුණු ඉල්ලීම් තුනම ඉටුකරන්න. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කියන්නේ එහි ප්‍රතිඵලයක්. ඒක තමයි වර්තමානයේ අපේ රටේ තියෙන විශාලතම බෞද්ධ විශ්වවිද්‍යාලය.
*විශ්වවිද්‍යාලයට නව නාලන්දාව කියලත් කියනවා නේද?
ඔව්, ඒකට හේතුව මේක ඉදිකරලා තියෙන්නේ එවකට ඉන්දියාවේ ඉදිකරලා තිබුණු නාලන්දා විශ්වවිද්‍යාලයේ ආකෘතියට. ඒක එදා ලෝකයේ ධර්මදර විනයදර උගත්තු, පඬිවරු දහස්ගාණක් බිහිකරපු විශ්වවිද්‍යාලයක්. අපි මේ නාගානන්ද විශ්වවිද්‍යාලය හදන්න කලින් ඒක අධ්‍යයනය කළා. ඒ අනුව ඒ ආකෘතියට තමයි හැදුවේ. 2013 අවුරුද්දේ තමයි මුල්ගල තිබ්බේ. 2014 අවුරුද්දේ වැඩ ආරම්භ කළා.
*මේක බෞද්ධ විශ්වවිද්‍යාලයක්. එතකොට එහි අධ්‍යාපනික වැඩකටයුතු සිදුවන්නේ කොයි විදියටද?
නාගානන්ද විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි සිසුන් දෙපිරිසම අධ්‍යාපනය ලබනවා. ඔවුන්ට වෙනත් විශ්වවිද්‍යාලවල වගේ ආචාර්ය උපාධිය වෙනකල් ඉගෙනගන්න පුළුවන්. ගිහි දරුවන්ට වෙනත් විශ්වවිද්‍යාලවල උපාධියක් කරන්න ගන්න මුදලට වඩා සහන මිලකට නේවාසිකව නාගානන්දේ උපාධියක් කරන්න අවස්ථාවකුත් උදාකරලා දීලා තියෙනවා. ඒ වගේම සුවිශේෂිම කාරණය තමයි අපේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් යටතේ මෙහෙණින් වහන්සේලාට නොමිලේම මෙහි නේවාසිකව අධ්‍යයන කටයුතු සිදුකරන්න අවස්ථාව තියෙනවා.
*මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් එවන් අවස්ථාවක් ලබාදෙන්න හිතුවේ ඇයි?
ඇත්තටම මම දැන් වසර ගණනක ඉඳන් අපේ රටේ මෙහෙණි සසුන වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කරනවා. ඒ අතරින් එකක් තමයි මෙහෙණින් වහන්සේලාට නාගානන්ද විශ්වවිද්‍යාලය මඟින් උසස් අධ්‍යාපනය හදාරන්නට ශිෂ්‍යත්ව ලබාදෙන වැඩපිළිවෙල. ඊට අමතරව තව බොහෝමයක් දේවල් කරලා තියෙනවා සහ කරමින් යනවා.
*මෙහෙණි සසුන වෙනුවෙන් ඔබවහන්සේ කරන ඒ සේවාව ගැන අපි දැනගන්න කැමතියි?
මං විදෙස් රටවලට ගියාම දැකපු දෙයක් තමයි ඒ රටවල මෙහෙණින් වහන්සේලා අපේ රටේ මෙහෙණින් වහන්සේලාට වඩා යම්කිසි තැනක ඉන්නවා. ඒ වගේම උන්වහන්සේලා සමාජයට විශාල සේවයක් කරනවා. ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. මේ රටේ මෙහෙණින් වහන්සේලා ගත්‍තම උන්වහන්සේලා ගතකරන්නේ ඉතාමත් දුෂ්කර ජීවිත. පන්සල් වගේ නෙවෙයි මෙහෙණි ආරාම අඩුයි. උදව් උපකාරත් අඩුයි. හරියට දානමාන ලැබෙන්නේ නෑ. ඉගෙනගන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා උන්වහන්සේලා වෙනුවෙන් යම් සේවයක් කරලා අපේ රටේ මෙහෙණි ශාසනය නඟා සිටුවන්න. ඒ වෙනුවෙන් මං මුලින්ම කළේ ලංකාව වටේම ඉන්න මෙහෙණින් වහන්සේලා 800ක් මානෙල්වත්තට වඩම්මලා උන්වහන්සේ වෙනුවෙන් පාරමිතා මහා පරිෂ්කාර පූජාවක් පවත්වලා උන්වහන්සේලාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නු එක. ඒ 2009 දි. එදා ඉඳන් අපි ඒක කරනවා. මේ නොවැම්බර් 25 වැනිදා 20 වැනි වරටත් ඒක සිදුකරනවා. මෙදා සැරේ ඊට මෙහෙණින් වහන්සේලා 5200ක් වඩිනවා. ඒත් එක්කම මේ වෙද්දි අපි කුඩා මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් බුද්ධා ශ්‍රාවිකා අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරලා තියෙනවා. මුලින් මං උන්වහන්සේලා වෙනුවෙන් ආරම්භ කරපු ශිෂ්‍යත්ව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කළානේ. එතැනදි තව කියන්න ඕන, නොමිලේ උපාධිය සිදුකරන ගමන් උන්වහන්සේලාට කෑමබීම ඉඳුම් හිටුම් ඇතුළු අවශ්‍ය සියලු නේවාසික පහසුකම් දෙන්නෙත් නොමිලේ. ඒක ඉතින් කිසි තැනකින් උන්වහන්සේලාට නොලැබුණු වටිනාම අවස්ථාවක්.
*ඒ වගේ අවස්ථාවක් ලැබෙන එක පිළිබඳව උන්වහන්සේලාගේ ප්‍රතිචාර මොනවද?
උන්වහන්සේලාට සතුටුයි. මොකද එදා ඉඳන්ම අපේ රටේ භික්ෂූන් වහන්සේලට ඉගෙනගන්න තැන් තිබුණට මෙහෙණින් වහන්සේලාට තැන් තිබුණේ නෑ. ඒ නිසා නොමිලේම ලැබිලා තියෙන ඒ අවස්ථාව ගැන උන්වහන්සේලා ඉතාම සතුටු වෙනවා. මේ වෙද්දිත් ලබන වසරේ උපාධි සඳහා මෙහෙණින් වහන්සේලා බොහෝමයක් අයැදුම් කරලා තියෙනවා.
*ඔබවහන්සේ හිතන විදියට මෙහෙණින් වහන්සේ කෙනෙකුට අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද?
මං හිතනවා මෙහෙණින් වහන්සේ කෙනෙක්ට අධ්‍යාපනය ඉතාම වැදගත් කියලා. මොකද මේ සමාජය වෙනුවෙන් උන්වහන්සේලාට ධර්මය තුළින් විශාල සේවයක් කරන්න පුළුවන්. ඒකට අධ්‍යාපනය වැදගත්. අපේ විශ්වවිද්‍යාලයට එන මෙහෙණින් වහන්සේ කෙනෙක් උපාධිය අවසන් කරලා ආපසු එළියට වඩින්නේ අධ්‍යාපනයෙන් උගත් කෙනෙක් විදියට. ඒ උගත්කම හේතුවෙන් උන්වහන්සේලාට විවිධ අවස්ථා ලැබෙනවා. මේ වෙද්දි අපෙන් අධ්‍යාපනය ලබපු බොහෝමයක් මෙහෙණින් වහන්සේලා දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවෙනවා. ඒ වගේම පාසල්වල උගන්වනවා. ආගමික වැඩසටහන් කරගෙන යනවා. ධර්ම දේශනාවලට, පිරිතට වඩිනවා. ඒ වගේ උගත් දෙයින් සමාජයට ලොකු සේවයක් කරනවා.
*අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් අපි දැනගන්න කැමතියි, ඉදිරියේදී මෙහෙණි සසුන වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්න මොනවා හරි අලුත් වැඩකටයුතු තියෙනවද?
මේ වෙනකොට මෙහෙණි සසුන වෙනුවෙන් අපි සිදුකරගෙන යන වැඩපිළිවෙල දිගටම කරගන යන්න සහ ඒ හරහා අපේ රටේ මෙහෙණි සසුන තව තවත් නගාසිටුවන්න මම බලාපොරොත්තු වෙනවා.
රුවන් එස්.සෙනවිරත්න