25/12/2023
සකල මිනිස් වර්ගයා පවින් මුදා ගනු පිණිස බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවහලකින් මෙලොව එළිය දුටු ජේසු බිළිඳුන්ගේ උපන් දිනය සැමරීමට ජාති, ආගම්, වර්ණ, දේශ, භාෂා, වයස් භේදයෙන් තොරව කව්රුත් එක්වෙති. මේ වන විට ලොව ජනගහනය වන බිලියන 8.1 ක (කෝටි 801 ක) ජනතාවගෙන් 31% ක් එනම් කෝටි 217.3 ක පිරිසක් කිතුනුවන්ය. (කතෝලික 50%,ප්‍රොතෙස්තන්ත්‍ර 37% ක් හා ඕකඩොක්ස් 12% ක් වශයෙනි. සෙසු 01% කි) ඔව්හු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන, එතුමන් විශ්වාස කරන එතුමන් ගෞරව හා වන්දනා කරන පිරිසකි. ලොව ජනගහනයෙන් 23% ක් ඉස්ලාම් බැතිමතුන්ය. එය සංඛ්‍යාත්මකව කෝටි 155.9 කි. කිසිදු ආගමක් අදහන හෝ විශ්වාස නොකරන නිරාගමිකයින් කෝටි 112.6 ක් ලොව පුරා ජීවත් වෙති. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහනයෙන් 16% කි. ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ප්‍රතිශතය 15% ක් වන අතර එය කෝටි 103.3 ක් වන අතර එම සංඛ්‍යාවෙන් 94% ක් ජීවත් වන්නේ ඉන්දියාවේය. බෞද්ධ බැතිමත්හු 07% ක් වන අතර එය කෝටි 48.75 ක් වනු ඇත. ගෝත්‍රික ආගම් අදහන්නෝ 06% ක් වෙති. සංඛ්‍යාත්මකව කෝටි 40.5 ක්ය.
ගෙවුනු පුරා වසර 2023 ක කාලයක් අඛණ්ඩව කිසියම් පුද්ගලයකුගේ උපන් දිනයක් බහුතර ජනතාවක් සැමරුවේ නම් ඒ ක්‍රිස්තු උපත සිහිකරන නත්තලයි. ‘නත්තල’ යනු කව්රුත් ආදරයෙන් සමරන උළෙලකි. ජාති, ආගම්, වර්ණ, කුල, පක්‍ෂ, බාල, තරුණ, මහළු භේදයෙන් තොරව නත්තල සමරනු වස් නිවෙස, තම සේවා ස්ථානය තුළ නත්තල් ගසක් නිර්මාණය කිරීම, ගවහලක් ඉදිකිරීම බොහෝ රටවල මෙරට බොහෝ තැන්වල දැකගත හැකිය. කුමන අභියෝගයන්, කුමන ආර්ථික ප්‍රශ්න තිබුණද කිතුනු පවුල්වල දෙමාපියෝ තම දූ දරුවන්ට, තමන්ගේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත් ඇඳුමක් සකසා දීමටත්, ගෙදර හුණු තීන්ත ටිකකින් පිරියම් කිරීමටවත් අමතක නොකරති. නත්තල් දිනයේදීවත් ගෙදර කෑම වේලක් රසවත්ව සාදා ගැනීමට සියලු කැපවීම් කරති. දෙමාපියෝ තමනට නත්තල් සුභ පැතීමට එන දූ දරුවන්ට, මුණුබුරු මිණිබිරියන්ට හැකි පමණින් තෑග්ගක් දීමට අමතක නොකරති. නත්තල වූකලී කොයි කා අතරත් සතුට ප්‍රීතිය තීව්‍ර කළ, ගෙවුනු සමයේ තමන් අතින් තම සහෝදරයාට, සහෝදරියට විරුද්ධව සිදුවූ යම් වරදක් නිසාවෙන් සිදුවූ නොහොඳ නෝක්කාඩු අමතක කර දමා ඒවාට සමාවදී නව ජීවිතයක් සඳහා මුල පුරන සමයකි.