23/04/2019
මීගමුවට ගියෙමි.
කිතුණුවකු ලෙස ලියමි.
කතෝලික පියතුමන්ලාගේත්, කන්‍යා සොයුරියන්ගේ සහ සහෝදරතුමන්ලාගේත් විනය සහ සංවරකම දුටිමි. ඔවුන්ගේ සුදෝසුදු ලෝගු වල සුදත්, හතරවටේට දමා ඇති සුදු කොඩි වල සුදත් පැහැදිලිව වෙන් වී පෙනුනේ කඩිසර ගමන් විලාසයෙන් පමණි.
වයස තරාතිරම හෝ ආගම නොබලා ඔවුහු ජනතාව අතර ගැවසෙමින් ඔවුන් හා කරට කර වැඩ කරනු දුටිමි. කෑම බීම අල්ලනු දුටිමි. මිනිසුන් අස්වසනු දුටිමි. තුවාල වලට බෙහෙත් දමනු දුටිමි. කොටින්ම අම්මලා මල ගෙවල් වල වැඩ කරන තෙක් හඬන ළඳරුවන් නලවනු දුටිමි.
මීගමුව අවට ඇති මුස්ලිම් දේවස්ථාන ප්‍රමාණය ගැන මම කිව යුතු නැත. ඒ එකකටවත් සීරීමක්වත් නැත්තේ පියතුමන්ලාව සහ කන්‍යා සොයුරියන්ව ආදර්ශයට ගන්නා සමස්ත කිතුණු ජනකාය තුල ඇති විනයවත් හික්මීමට පින්සිදුවන්නටය. එසේ නොවන්නට මීගමුව මහවීදිය පැත්තෙන් මාලු කපන තඩි පිහි වලට පණ නෑවිත් තිබෙන්නට නොහැකිය.
නුවර සිදුවීම මේ හා සසඳන්නට නොයමි. එහෙත් ඊට සාපේක්ෂව අතිශය භයානක විනාශයක් සිදු වී තිබියදීත් ජනතාවගේත් කතෝලික ආගමික නායකත්වයේත් ඉතා බුද්ධිමත් හැසිරීමක් ඔබත් දකින්නට ඇතැයි සිතමි.
පියතුමන්ලා මාධ්‍යට අනවශ්‍ය විකාරරූපී ප්‍රකාශ නිකුත් කරනවා දුටුවාද? කාදිනල්තුමා හැර අන් කිසිවෙක්, තැන් තැන් වල ප්‍රකාශ නිකුත් කරනු දුටුවාද?
කිසියම් ජන කොටසකට විරුද්ධව ජනතාව උසි ගන්වනු දුටුවාද?
කාදිනල්තුමා ජනතාව ඇමතූ සංවර බුද්ධිමත් ස්වභාවය විනා කිසිඳු ජන කොටසකට සාප කරනු දුටුවාද?
කතෝලික පල්ලිය විසින් ඇති කර ඇති සංවිධානාත්මක ඒකාධිකාරයත්( එය ඉතා අත්‍යවශ්‍ය සහ සාධනීය ලෙස මම දකිමි. ) පියතුමන්ලා තුල ඇති ශික්ෂණය හා විනයවත් බවත් මෙකී නිසොල්මන් ස්වරූපයට හේතු වන බව කිව යුතුය.
මට මෙසේ සිතුණි. අපේ මුස්ලිම් සහෝදරවරු තම ගුරුවරුන්ට දණ ගසා නොවඳින විට කතෝලික අපි, අම්මාට තාත්තාට මෙන්ම පියතුමන්ලාටද දණ ගසා වැන්දෙමු. ( දණ ගසා වඳින සිරිතක් ඇති අන් කතෝලික හෝ ක්‍රිස්තියානි රටක් ගැන මම අසා නැත්තෙමි).
ජනවාරි පලවෙනිදා අපේ අලුත් අවුරුදු දා අපි පල්ලියේ මහදොර ඉදිරියේ කිරි ඉතිරෙව්වෙමු.
අපේ කන්‍යා සොයුරියන් අඳින්නේ සාරි ය. අපේ බයිබලයේ ඇතැම් කොටස් සිංහලයට නගා ඇත්තේ බෞද්ධ ස්වාමීන්වහන්සේලාය.
අපේ පියතුමන්ලා සමහර දේශනා වලට ධම්මපද ගාථා පාඨ උපයෝගී කරගනු මම දැක ඇත්තෙමි.
දර්ශනය පසෙකින් තැබූ විට කිතුදහමට මිනිසුන් ආදරය කරන්නේ, පවතින රටේ සංස්කෘතික වටිනාකම් සහ නීති රීතිවලට "මුහු වීම" නිසාය. වෙනම නීති නැති නිසාය. සරල සාමාන්‍යය මිනිසුන් ලෙස විනා "අමුතු ජාතියක්" ලෙස නොවෙසෙන නිසාය.
මේ හික්මීම ලැබුණේ අප කතෝලික වීම නිසා මතු නොව, " සිංහල කතෝලික, ශ්‍රී ලාංකික කතෝලික" වීම නිසා යැයි මම සිතමි. ඉතින් අප, තව දුරටත් ඒ විනයවත් බවත් හික්මීමත් රැකගත යුතුය. තවදුරටත් අසල්වැසියාට ප්‍රේම කළ යුතුය.
මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල මගේ මිතුරන් පළ කරන සමහර වෛරී සටහන් දකින මට කියන්නට ඇත්තේ, මීගමුවේ සන්සුන්ව යදින පියතුමලාගේ සුදු ලෝගුද කුරුසියේ එල්ලී සිටින ජේසුස්වහන්සේගේ මෛත්‍රියෙන් පිරී ගිය ඇස්ද ආදර්ශයට ගන්න. සිංහල කතෝලිකයන් වශයෙන් තවත් අනවශ්‍ය කලකෝලහාල ඇති වීම වලක්වා ගන්න.
ජේසු පිහිටයි.
Copied :- Nipuna Tharanga