11/12/2021
අද දිනදී,එනම් 2021 දෙසැම්බර් 12 දිනදී, ගුවාඩලූපේ දේවමාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබයි.
"ගුවාඩලූපේ මාතාවෝ" - " Our Lady of Guadalupe".
"ගුවාඩලූපේ මාතාවෝ" හෙවත් "දුඹුරු මාතාවෝ" යනු මේ ලෝකයේ සිටින බහුතරයක් වූ කතෝලිකයන්ගේ ආදරයට හා ගරුත්වයට ලක්වූ දේවමාතාවන් ලත් විශේෂ නාමයක් ලෙස හැඳින්විය හැක. මෙක්සිකෝව රටෙහි 'ආරක්ෂක මාතාවන්' ලෙසද, 'ලතින් ඇමෙරිකාවේ' ආරක්ෂක මාතාවන් ලෙසද "ගුවාඩලූපේ මාතාවන්" හඳුන්වනු ලබන්නීය.
වර්ෂ 1531 දෙසැම්බර් 9 වැනිදා හිමිදිරි උදයේ ජුවන් දියෙගෝ (Juan Diego) නැමැති මෙක්සිකානුවා හට 'ටෙපෙයැක්' (Tepeyac) කඳු මුදුනේ දී පළමුවරට දේවමාතාවන් දර්ශනය වී ඇත. එකම දෙවියන් වූ ජේසුස් වහන්සේගේ මාතාව ඇය බවට එවිට ප්‍රකාශ කර ඇති අතර, එම ස්ථානයේ දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන ලෙස ඉල්ලා ඇය සිටියාය.
මෙම ආරංචිය රැගෙන එවිට මෙක්සිකෝව නගරයේ අගරදගුරු ව සිටිය ජුවන් දි සුමරාගා (Juan de Zumarraga) මුණගැසීමට ජුවන් දියෙගෝ ගොස් ඇති නමුත් අගරදගුරුවරයා විසින් ජුවාන් දියෙගෝ යනු මෝඩයෙකු යයි සිතා ඔහුව ප්‍රතික්ෂේප කොට ඇත.
බලාපොරොත්තු සුන්වූ ජුවන් දියෙගෝ නිවසට නිවසට එන අතරතුර නැවතත් ඔහුට මරිය මාතාවන් දෙවන වරටත් දර්ශනය වී ඇත. එවිට ද ඇය ඉල්ලා සිටියේ අගරදගුරු තුමන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලද, නැවත නැවතත් ඔහු හමුවී ඒ පිළිබඳව ඔහුව දැනුවත් කොට උනන්දු කරවන ලෙස ය.
දෙසැම්බර් 10 දින නැවතත් අගරදගුරුතුමන් මුණගැසීමට ජුවන් දියෙගෝ ගිය අතර එම කතා පුවත සත්‍යයක් නම් කඳු මුදුනට ගොස් දේවමාතාවන් මුණගැසී එම ඉල්ලීම සත්‍යක් බව ඔප්පු කරනු සඳහා ඇයගෙන් සලකුණක් ඉල්ලන ලෙස ජුවන් දියෙගෝ ගෙන් අගරදගුරුතුමා ඉල්ලා සිටින ලදි.
එදිනම කඳු මුදුනට යන ජුවන් දියෙගෝට දේවමාතාවන් තුන්වන වරටත් දර්ශනය වූ අතර, අගරදගුරුතුමා පැවසූ දේ ඇයට පවසා ඇත. එවිට දෙසැම්බර් 11 දින සලකුණක් ලබාදෙන බවටත්, එදිනට නැවතත් ටෙපෙයැක් කඳු මුදුනට පැමිණ ලෙසටත්, ජුවන් දියෙගෝ ගෙන් දේවමාතාවන් ඉල්ලා ඇත.
නමුත් ජුවන් දියෙගෝ ගේ මාමා වන ජුවන් බර්නාදිනෝ (Juan Bernardino) ඉතා දරුණු ලෙස රෝගාතුර වී ඇති අතර ජුවන් දියෙගෝට තම මාමා අසල රැඳී සිටීමට සිදුවී ඇති බැවින් කඳු මුදුනට දෙසැම්බර් 11 වන දින යාමට නොහැකි වී ඇත.
නමුත් දෙසැම්බර් 12 වන දින ඉතා දරුණු ලෙස රෝගාතුර වූ තම මාමා හට 'අන්තිම ආලේපය' ලබා දීමට ගරු පියතුමෙකු රැගෙන ඒමට ටෙපෙයැක් කන්දට යන පාර මගහැර වෙනත් මගකින් ජුවන් දියෙගෝ ගමන් කොට ඇත. එවිට සතර වන වරටත් දේවමාතාවන් ජුවන් දියෙගෝට දර්ශනය වූ විට ජුවන් දියෙගෝ තමන් මුහුණ දී ඇති වේදනාත්මක සිදුවීම ගැන දේව මාතාවන් සමඟ පවසා ඇත.
එවිට දේවමාතාවන් 'මා මෙතන නොමැති ද? මා ඔබේ අම්මායි" ("Am I not hear? I am who am your mother") යනුවෙන් ජුවන් දියෙගෝට ප්‍රකාශ කොට ඇත. අදටත් මෙක්සිකෝවේ ගුවාඩලූපේ බැසිලිකාවට ඇතුළුවන දොරටුව අසල සනිටුහන් වී ඇත්තේ ඉහත කී දේවමාතාවන් විසින් ප්‍රකාශ කළ වදන්ය.
එසේම ඔහුගේ මාමා සුවපත් වී ඇති බවත්, කන්දෙන් මල් නෙළාගෙන පැමිණෙන ලෙසත් දේවමාතාවන් ජුවන් දියෙගෝ ගෙන් ඉල්ලා සිටියාය. එය ශීත සෘතුව වූ අතර මල් පිපෙන කාලයක් නොවීය. නමුත් මෙක්සිකෝවට ආවේණික නොවූ කැස්ටිලියන් රෝස මල් ( Castilian Roses) පිපී ඇති බව ජුවන් දියෙගෝ දුටු අතර එය නෙලාගෙන පැමිණි විට ඔහු පැලඳගෙන සිටි සළුවට ( Tima) මෙම මල් දේවමාතාවන් අතුරා ඇති අතර, එය අගරදගුරුතුමා ළඟට රැගෙන යන ලෙස ඇය ඉල්ලා සිටියා ය.
දෙසැම්බර් 12 වැනිදා මෙම සළුව අගරදගුරුතුමා ළඟට රැගෙන ගොස් සළුව විවෘත කළ විට සළුවේ තිබූ රෝස මල් බිම වැටී ඇති අතර එම සළුව මත දේව මාතාවන්ගේ රුව සනිටුහන් වී ඇති අයුරු රැස්ව සිටි සියලු දෙනා දැක ඇත.
එසේම ජුවන් දියාගෝ ගේ මාමා ද තම රෝගයෙන් මුළුමනින්ම සුවපත් වී ඇත. දේවමාතාවන් තමන්ට ද දර්ශනය වූ බවත්, එම ප්‍රාතිහාර්යය පිළිබඳව අගරදගුරුතුමාට පවසන ලෙසත්, ඇයව "ගුවාඩලූපේ මාතාව" ලෙස හඳුන්වන ලෙසත් දේවමාතාවන් තමන් ගෙන් ඉල්ලා සිටි බව ජුවන් දියාගෝ ගේ මාමා වන ජුවන් බර්නාදිනෝද ප්‍රකාශ කර සිටියේය.
දේවමාතාවන්ගේ රුව රැගත් මෙම සළුව පළමුව අගරදගුරු මැදුරේ කුඩා දේවස්ථානයේ ද, ඉන්පසු අසල ඇති දේවස්ථානයක ද, ස්ථාපිත කළ අතර වැල නොකැඩී ජනතාව එය බැහැදැකීමට පැමිණෙන්නට පටන් ගත්ත. බොහෝ ප්‍රාතිහාර්ය ද ඒ තුළින් සිදු වන්නට පටන් ගැනුණි.
පසුව වර්ෂ 1531 දෙසැම්බර් 26 විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුත් පෙරහැරකින් මෙය ටෙපෙයැක් කඳු මුදුනට රැගෙන එන ලදී. අද ටෙපෙයැක් කන්ද මුදුනේ දේවමාතාවන් එදා ඉල්ලූ දෙව්මැදුර ගොඩනැගී ඇත. එය "ගුවාඩලූපේ මාතාවන්ගේ බැසිලිකාව"(Basilica of Our Lady of Guadalupe) යනුවෙන් හඳුන්වනු ලබන්නේය.
මෙක්සිකෝ ජනතාවගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන, ප්‍රාතිහාර්යයන් බොහෝ සිදුවූ ශුද්ධවූ සළුවක් ලෙස අද එම සළුව සලකනු ලබන්නේ ය. මෙම සළුව වසර 20ක් ඇතුළත දිරාපත් වීමට නියමිතව තිබූ නමුත් දැනට අවුරුදු 490 ක් ගෙවී ගොස් ඇති නමුත් කිසිම උවදුරකට එය ලක්වී නොමැත. දේවමාතාවන්ගේ රුව රැගත් මෙම ශ්‍රී සළුව ගුවාඩලූපේ බැසිලිකාවේ අද ස්ථාපිත කර ඇති අයුරු අපට දැකගත හැක.
මෙම ස්ථානය ලෝකයේ වැඩිම කතෝලිකයින් පිරිසක් ඇදෙන ස්ථානයක් බවට සැලකේ. ජීවිත වෙනස් වන, ප්‍රාතිහාර්යයන් සිදුවන, ශුද්ධ වූ බිමක් බවට එම බිම සැලකේ. ගුවාඩලූපේ මාතාවන් මෙක්සිකෝවේ 'ආරක්ෂක මාතාව' ලෙස 1754 මැයි 25 දින දහහතරවන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් ප්‍රකාශ කරන ලදී. එසේම 1910 දී දසවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ලතින් ඇමරිකාවේ 'ආරක්ෂක මාතාව' ලෙස ගුවාඩලූපේ මාතාව ප්‍රකාශයට පත් කරන ලදී
1979 ජනවාරි 26 දින ශු. දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජුවාන් දියාගෝව සාන්තුවර භාවයට ඔසවන ලදී. අදටත් ගුවාඩලූපේ මාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබන්නේ දෙසැම්බර් 12 වන දා ය.
කුරුසියේදී දේවමාතාවන් අපට බාර දුන්නේ ජේසුස් වහන්සේ විසින් ම ය. ප්‍රේමවන්ත ශ්‍රාවකයා "ඒ මොහොතේම" ඇයව තම නිවසට පිළිගත් බව ශුද්ධ ලියවිල්ල තුළ අපි දකින්නෙමු.(ශු. ජුවාම් 19: 27). ප්‍රේමවන්ත ශ්‍රාවකයා නියෝජනය කරන්නේ අප සැම දෙනාවම ය. එබැවින් දේවමාතාවන් එදා මෙන් අදත් අපෙන් අසන ප්‍රශ්නය "මා ඔබ තුළ නොමැති ද" යන්නයි.
දේවමාතාවන් ප්‍රතික්ෂේප කරන්නට නොව දේවමාතාවන් ජීවිතේට පිළිගන්නට. එතුමිය තුළින් ජෙසුස් ජෙසුස් වහන්සේට, දෙවියන් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට, ළං වන්නට අපි වෙර දරමු. "ගුවාඩලූපේ මාතාවනි අප නිසා යාච්ඤා කළ මැනව".