21/02/2026
මහනුවර, මල්වතු මහාවිහාරාධිවාසී, විංශද් වාර්ගික කාරක සංඝ සභික, හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහපිරිවෙණෙහි හිටපු පරිවේණාධිපති, ශ්‍රී සංඝරාජ මහපිරිවෙණෙහි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති, විචිත්‍ර ධර්ම කථික, පණ්ඩිත රත්නින්දේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර අනෝමදස්ස්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 39 වැනි ගුණානුස්මරණය පසුගිය 10 වැනි දිනට යෙදී තිබිණි.
මහනුවර මල්වතු මහාවිහාරයත් උඩුනුවර, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයත් කේන්ද්‍ර කරගනිමින් උන්වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය අතිමහත් ය.
මහතලා දනව්වෙහි, නැගෙනහිර ලග්ගල උඩසිය පත්තුවේ රත්නින්දේ කෝනාර මුදියන්සේලාගේ පන්සලේ ගෙදර මුදලිහාමි උපාසක මහත්මාට දාව ටිකිරි මැණිකේ මෑණියන්ගේ කුසින් මෙලොව එළිය දුටු දූ දරුවන් සත් දෙනෙකුගෙන් යුතු පවුලෙහි සතරවැනි දරුවා වන උන්වහන්සේ කුඩා කල හීන් බණ්ඩා යන නමින් හැඳින්විණි. උන්වහන්සේගේ වැඩිමහල් සොහොයුරා ද රත්නින්දේ සෝමානන්ද නමින් පැවිදිව සුවිශාල ශාසනික මෙහෙවරක් සිදු කොට අපවත් වී වදාළහ.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජු විසින් එකල විසූ ගණින්නාන්සේලාගේ බස් අනුව සිල්වත් සමාගමෙහි ප්‍රධානත්වය දරමින් පිණ්ඩපාතාදී ශාසනික වත් පිළිවෙත් පුරමින් සිල්වත්ව ගුණවත්ව ශාසන චිරස්තිථිය උදෙසා කටයුතු සිදුකළ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ කෙරෙහි වැරදි වැටහීමක් ඇතිකරගනිමින් උන්වහන්සේ මාතලේ ලග්ගල පුරවරයට පිටුවහල් කළ බව සංඝරාජ සාධු චරියාවෙහි දැක්වේ.
එලෙස ගිරිදුර්ග, වනදුර්ග ආදියෙන් ගහණ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කරන ලද වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රමුඛ සිල්වත් සමාගමෙහි පිරිස එකල, ලග්ගල උඩසියපත්තුවේ ඇටන්වල ග්‍රාමයේ විසූ රාජසම්මාන ලද කෝණාර මුදියන්සේ නම් ප්‍රධානියෙකු මහත් ගෞරවයෙන් පිළිගෙන තමන්ට රාජසම්මාන ලෙස රජුගෙන් ලැබුණු රාජනින්ද හෙවත් රත්නින්ද නම් කැළැබද කුඩා ගල්ලෙන් සහිත ප්‍රදේශය මහජනයා ලවා එළිපෙහෙළි කොට ආවාස කුටි තනවා සිව්පසයෙන් උපස්ථාන කරන ලදී.
එලෙස වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ රාජනියෝගයෙන් ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කොට පැවති අවධියේදී උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් රැකබලාගත් එම කෝණාර මුදියන්සේ යනු අප කථානායකයාණන් වන රත්නින්දේ ශ්‍රී අනෝමදස්සි නාහිමියන්ගේ මී මුත්තණු කෙනෙකි. එබැවින් උන්වහන්සේ සහ වැලිවිට සරණංකර සංඝරාජ පරපුර අතර ඇත්තේ ඓතිහාසික වූ අවියෝජනීය බැඳීමකි.
ක්‍රමයෙන් හැදී වැඩුණු හීන් බණ්ඩා කුල කුමරු පළමුව, ස්වකීය උපන් ගමෙහි පිහිටි මිෂනාරි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව, මහලකොටුව, ස්වභාෂා පාඨශාලාවට ඇතුළත්ව, ශිෂ්‍ය - ගුරු විභාගය දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කළේය. එසමයෙහි ඔහුගේ ඥාතීත්වය දැරූ පිටවල ගුණරතන හා පිටවල සුමංගල යන නාහිමිවරු මව්පිය අවසරයද ඇතිව මෙකී හීන්බණ්ඩා කුලකුමරු මහනුවරට කැඳවාගෙන පැමිණ වර්ෂ 1926 ඔක්තෝබර් මස 20 වැනි දින ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ බරම්මනේ ශ්‍රී විපස්සි නාහිමියන්ට පැවිදි කිරීම සඳහා භාර කළහ.
පැවිදි වීම සඳහා අවශ්‍ය මූලික බණදහම් ආදිය ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරයේදී බරම්මනේ ශ්‍රී විපස්සි නාහිමියන් ඇසුරෙහි සම්පූර්ණ කළ හීන්බණ්ඩා කුලකුමරු වර්ෂ 1926 දෙසැම්බර් මස 26 වැනි දින අතිගෞරවාර්හ අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මල්වතු මහාවිහාරාධිවාසී ගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (පසුව මහානායක) හා බරම්මනේ ශ්‍රී විපස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මහනුවර, මල්වතු මහාවිහාරයේදී "රත්නින්දේ අනෝමදස්සි" යන නමින් පැවිදි බිමට ඇතුළත් විය.
අනතුරුව, හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහපිරිවෙණට ඇතුළත්ව වර්ෂ 1928 සිට 1934 දක්වා ස්වකීය මූලික පාරිවේණික අධ්‍යාපනya සම්පූර්ණ කළ උන්වහන්සේ වර්ෂ 1931 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ද වර්ෂ 1934 දී පාඨශාලා ජ්‍යෙෂ්ඨ සහතිකපත්‍ර විභාගයෙන් ද සමත් වූහ. වර්ෂ 1934 දී මාළිගාකන්ද විද්‍යෝදය මහපිරිවෙණට ඇතුළත්ව විද්‍යෝදය අවසාන විභාගය ද ඉතා උසස් ලෙස සමත් වූ රත්නින්දේ අනෝමදස්සි සාමණේරයන් වහන්සේ එම විභාගයෙන් ප්‍රමුඛස්ථානය ලබන ශිෂ්‍යයාට හිමිවන ශ්‍යාමරාජ ත්‍යාගය ද දිනාගැනීමට තරම් භාග්‍යවන්ත වූහ. ඒ සෑම උසස් ජයග්‍රහණයක් සඳහාම තත් පරිවේණාධිපති බද්දේගම ශ්‍රී පියරතන නාහිමි, කුකුල්නාපේ ශ්‍රී දේවරක්ෂිත නාහිමි හා වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි යන ධර්මාචාර්යයන් වහන්සේලාගෙන් උන්වහන්සේට ලැබුණු මාර්ගෝපදේශකත්වය මහෝපකාරී වූ බව පෙනේ. තවද අපවත් වී වදාළ අතිගෞරවාර්හ හාල්යාලේ ශ්‍රී සුමනතිස්සාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යෝදය මහපිරිවෙණෙහි අධ්‍යාපන ලබන අවධියෙහි උන්වහන්සේගේ සමීපතම මිතුරා වූහ.
වර්ෂ 1944 දී ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වූ උන්වහන්සේ ඉන් ඉතා උසස් ලෙස සමත්ව එකල ලංකාණ්ඩුකාරතුමන්ගේ සුරතින් ඊට හිමි සන්නස් පත්‍රය ද ලබමින් රාජකීය පණ්ඩිත උපාධිධරයෙකු බවට පත්වූහ.
වර්ෂ 1935 මැයි මස 25 වන දින මහනුවර මල්වතු මහාවිහාරීය රාජකීය මංගල උපෝෂිතාගාරයේදී "වාහල නාග" නම් වූ රාජකීය ගෞරව සම්මානය ද සහිතව අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූ උන්වහන්සේගේ උපසම්පදා ආචාර්යයන් වහන්සේලා පස්නමකි. එනම්, අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ සරණංකරාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, හැරමිටිගල ශ්‍රී රතනපාල ධීරානන්දාභිධාන මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බරම්මනේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර මේධංකර විපස්ස්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්නවල ශ්‍රී චන්දජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන පස්නමයි.
අධ්‍යාපන කටයුතු ඉතා මැනවින් නිම කළ රත්නින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1939 දී නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම පරිවේණස්ථානයෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිය ගුරු භූමිකාව ආරmභ කළහ. අනතුරුව වර්ෂ 1940 දී ස්වකීය ආචාර්ය වූ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියන්ගේ හා ශ්‍රී සංඝරාජ පරිවේණාධිපති පණ්ඩිත මහබෝපිටියේ ශ්‍රී මේධංකර නාහිමියන්ගේද බලවත් ඉල්ලීම මත මල්වතු මහාවිහාරීය ශ්‍රී සංඝරාජ මහපිරිවෙණෙහි ආචාර්ය වරයෙකු වශයෙන් එක් ව කටයුතු කළහ. පසුව, වර්ෂ 1959 දී ස්වකීය මුල් ගුරුබිම වූ හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහපිරිවෙණෙහි පරිවේණාධිපති ධුරයට පත්වූ උන්වහන්සේ එකී පරිවේණස්ථානයෙහි ස්වර්ණතම යුගය සනිටුහන් කරමින් එහි අභිවෘද්ධිය සඳහා අනුපමේය වූ සේවාවක් ඉටුකළහ.
උන්වහන්සේ හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහපිරිවෙණෙහි පරිවේණාධිපති භාරගන්නා අවස්ථාවෙහි එහි ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් පමණ වූ අතර උන්වහන්සේge නායකත්වය යටතේ දසවර්ෂයක් ගත වන විට එය 450 ක් දක්වා වැඩිදියුණු කිරීමට සමත් වූහ. මුල්කාලීනව පාරිවේණික ජ්‍යෙෂ්ඨ පන්තියද අනුමත නොවී පැවති එම පිරිවෙණෙහි සාමාන්‍ය පෙළ, උසස් පෙළ, මධ්‍ය පරීක්ෂණය, උපාධි පරීක්ෂණය, ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන ආදී සියලු පන්ති ආරම්භ කොට පවත්වාගෙන යාමට උන්වහන්සේගේ නායකත්වය යටතේ හැකියාව ලැබිණි. එසේ ම එකී පිරිවෙණ වර්ෂ 1960 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් බවටද පත්විය.
මෙම අධ්‍යාපනික සේවාව වඩාත් සාර්ථක කරගැනීම සඳහා පාරිවේණික ආචාර්ය මණ්ඩලය මෙන්ම විශේෂයෙන්ම කඹුරුපිටියේ නන්දරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කුරුණෑගල මහදිසාපති බුළුමුල්ලේ මැතිතුමන් හා උපදිසාපති අබේරත්න වනසිංහ මැතිතුමන් අතිශයින් උපකාරී වූ බව පෙනේ.
වර්ෂ 1970 දී නැවත මල්වතු මහාවිහාරීය ශ්‍රී සංඝරාජ මහපිරිවෙණෙහි සේවය සඳහා වැඩම කළ රත්නින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයටද පත් ව එහි දියුණුව සඳහා කටයුතු කළහ. අනතුරුව වර්ෂ 1980 දී ගුරු සේවයෙන් විශ්‍රාම ලබා මල්වතු මහාවිහාරය කේන්ද්‍ර කරගනිමින් ස්වකීය ශාසනික මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කළහ.
මේ අතරවාරයෙහි මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා වෙත පමණක් හිමිවන දුර්ලභ ශාසනික වගකීමක් වන ශ්‍රී සම්බුද්ධෝපස්ථානය හෙවත් උතුම් වූ වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කරමින් අප්‍රමාණ කුසලයක් රැස්කර ගැනීමටයි ද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. එසේම වසර 20 කට අධික කාලයක් අම්පිටිය සෙමනේරියෙහි පුහුණු වන කතෝලික ශිෂ්‍යයන්ට සිංහල හා බුද්ධ ධර්මය ඉගැන්වීමටද උන්වහන්සේ කටයුතු කළහ. ඒ නිසාම කලක පටන් ගරු ඔස්වෙල් ගෝමස් අගරදගුරුතුමන් හා අම්පිටිය සෙමනේරියෙහි කලක් අධිපතිව සිටි පණ්ඩිතරත්න පියතුමන්ද උන්වහන්සේගේ සමීපතම මිත්‍රයෝ වූහ.
වර්ෂ 1957 දී දඹදිවට වැඩම කර ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික ස්ථානයන් සියැසින් දැක වන්දනාමාන කරගන්නටද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. එසේම ධර්ම දේශනයෙහි ඉතා දක්ෂ වූ උන්වහන්සේගේ අසමසම වූ වාග් චාතූර්යයත් ධර්ම කථිකත්වයත් බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. දීපව්‍යාප්ත වශයෙන් මල්වතු මහාවිහාරය නියෝජනය කරමින් ධර්ම දේශනා සඳහා ලැබෙන ආරාධනාවලින් බහුතරය උන්වහන්සේ වෙතම පැවරුණේ උන්වහන්සේ තුළ පැවති එකී සුවිශේෂී ධර්ම ඥානය නිසාමය. තවද මල්වතු මහාවිහාරයෙහි වාර්ෂික වශයෙන් පැවැත්වෙන උපසම්පදා ගරු විනයකර්මයන්හිදී අතීත සම්ප්‍රදායන්ට අනුගතව ව්‍යක්ත හා ප්‍රතිබල සම්පන්නව ගාම්භීර ලීලාවෙන් කර්ම වාක්‍ය ප්‍රකාශ කිරීමටද උන්වහන්සේ ඉතා දක්ෂ වූහ.
මෙලෙස අද්වීතීය අධ්‍යාපනික, ආගමික හා ශාසනික මෙහෙවරක නිරත වූ පණ්ඩිත රත්නින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙරෙහි පැහැදුණු අතිගෞරවාර්හ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1976 දී උන්වහන්සේ මල්වතු මහාවිහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයක් සඳහා පත් කරන ලද අතර එතැන් පටන් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ සියලු ශාසනික කටයුතු සඳහා මහානායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා මත ස්වකීය දායකත්වය ලබාදුන්හ.
පණ්ඩිත රත්නින්දේ ශ්‍රී අනෝමදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහණ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප නමකි. ඒ අතර අලවතුගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ පල්ලේගම සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහාවිහාරාධිවාසී කාරක සංඝ සභික දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වේ.
වර්ෂ 1984 දී බලවත් ලෙස කායික රෝග තත්ත්වයන්ට භාජනය වූ උන්වහන්සේ සිය අවසන් කාල පරිච්ඡේදය තුළ කායික වශයෙන් ඉතා දුර්වල වුවත් මානසික වශයෙන් ඉතා පොහොසත්ව ධෛර්ය සම්පන්නව ධර්මාන්විත අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට තරම් භාග්‍යවන්ත වූහ.
වර්ෂ 1988 පෙබරවාරි මස 10 වන දින සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ස්වකීය ජීවන චරිතයෙන්ම ලෝකයාට මනාව පසක් කරමින් වර්ෂ 79 ක් ආයු වළදා පණ්ඩිත රත්නින්දේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර අනෝමදස්ස්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මනා සිහිනුවණින් යුතුවම අපවත් වී වදාළහ.
පරමාදර්ශී දිවිපෙවෙතක් ගතකරමින් සම්බුද්ධ ශාසනයෙහි චිරපැවැත්ම උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක වූ මහනුවර, මල්වතු මහාවිහාරාධිවාසී, විංශද් වාර්ගික කාරක සංඝ සභික, හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහපිරිවෙණෙහි පරිවේණාධිපති, ශ්‍රී සංඝරාජ මහපිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපති, විචිත්‍ර ධර්ම කථික, පණ්ඩිත රත්නින්දේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර අනෝමදස්ස්‍යභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම සාධනය කරගනිත්වායි ප්‍රාර්ථනා කරමු.
මාධ්‍ය කාර්යාංශය | Media Bureau
Gadaladeniya Rajamaha Viharaya ගඩලාදෙණිය රාජමහා විහාරය