03/01/2024
නුවරකලාවියේ අයියනායක දෙවියන් සහ අයියනායක වැඳීම
විශේෂයෙන් ම නුවරකලාවියේ ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතු සදහා ගම අසල පැවති වනයට යෑමේ දී වන සත්ත්ව උවදුරු හා අනෙකුත් උවදුරු බියෙන් ආරක්ෂා කරන ලෙස දෙවියන්ට කන්නලව්කොට මහ වැව අසළ පිහිටි විශාල නුග ගසෙහි කොළ ඉත්තක් එල්ලා කැළයට යෑමේ සිරිතක් මොවුන්ට පැවතී තිබේ.එලෙස එක් දෙවියෙකු අරඹයා සිදුනොකළ මෙම වන්දනයට අයියනායක දෙවියන්ගේ වැඩීම කවදා කෙලෙස සිදු වුණිද යන්න නිශ්චිත මතයක් ගැමියන් තුළ නොපවති.එය කෙසේ වුව ද ගැමියන්ගේ මෙම සිරිත පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පවත්වාගෙන පැමිණ තිබේ.
අයියනායක දෙවියන්
මෙලෙසින් වන්දනාමානයට පාත්‍ර වූ අයියනායක දෙවියන් වන්දනාවේ ඉතිහාසය පිළිබඳ ගත් විට අයියනායක දෙවියන් ඇදහීම අනුරාධපුර කාලයේ සිට පැවතෙන්නෙකැයි ඇතැමුන් විශ්වාස කරති.මෙම විශ්වාසය තහවුරු කරන පුරාවිද්‍යා ස්මාරකයක් ජේතවනාරාම විහාරයට අයත් ගොඩනැගිල්ලකින් හමු වී තිබේ.ගොඩනැගිල්ලේ වාහල්කඩ ගල්කණුවක කොටා ඇති කැටයමක ඇතකු, අශ්වයෙකු හා තවත් සත්ත්ව රූපයක් ද, වාහනයක වාඩි වී සිටින පුරුෂයෙකුගේ රුපයක් ද දක්නට ලැබේ. මෙම තැනැත්තා ඉනෙන් පහළට රෙදි කඩක් ඇඳ,කන්වල තෝඩු ද,ගෙලේ මාල ද,අත්වල වළලු ද පැලඳ සිටින බව හෙන්රි පාකර් පෙන්වා දෙයි.දකුණු ඉන්දියාවේ තන්ජෝරයේදී ද මෙයට සමාන අයියනාර් කැටයමක් ඔහු දැක ඇත.පාකර් පවසන පරිදි ජේතවනාරාම ගල් කැටයමින් අයියනායක දෙවියන් නිරූපණය වන්නේ නම් ක්‍රි.ව තුන්වන හෝ හතරවන සියවස දක්වා ඈතට දිවයන දිගු ඉතිහාසයක් අයියනායක වන්දනාවට තිබිය යුතුය.
අයියනායක දෙවියන් ගැන සදහන් වන කතරගම සන්නස පැරණි ලියවිල්ලකි. කිහිරැල් උපුල්වන්,සමන් බොක්සැල් හා විභීෂණ යන දෙවිවරුන් සමග “අයියනාරයන්” යන නම ද එහි දැක්වේ.අයියනාරයන් යනු අයියනායක යන්නෙහි දෙමළ ඌරුවක් විය හැකිය.කෝකිල සන්දේශයේ අයියන් නම් දෙවියෙකු ගැන ද,කෝට්ටේ සමයේ මන්නාරමේ මාවටු පටුන අසල ඇති එම දෙවියාට කැප වූ කෝවිලක් ගැන ද සඳහන් වේ.අයියන් යනු අයියනායක දෙවිඳු බවට ද,කෝවිල අයියනායක දේවාලයක් බවට ද සැකයක් නොමැත.
ලංකාවේ සිංහලයන් අයියනායක නමින් අදහනුයේ අයියනායක දෙවියන් ම බව විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයේ දැක්වේ.තමිල්නාඩුවේ පමණක් නොව ලංකවේ උතුරුකරයේ සිටින ද්‍රවිඩයන් ද අයියනාර් වන්දනාවේ යෙදෙන බවට එහි වැඩි දුරටත් සදහන් වේ.තමිල්නාඩු,කර්ණාටක,කේරළ,ආන්ද්‍රා ආදි සෑම ද්‍රවිඩ ප්‍රාන්තයකම ගම්බඳ ප්‍රදේශවල අයියනාර් කොවිල් දක්නට ලැබේ.ඒවායෙහි අයියනාර් දෙවියන් මෙන්ම උන්වහන්සේගේ පරිවාර දෙවිවරුන් අශ්වයින් පිට හෝ ඇතුන් පිට නැග සිටින අයුරු දැක්වෙන යෝධ ප්‍රතිමා ඉදිකර තිබේ.
අයියනාර් දෙවියන්ගේ රුව සිත්තම් කරන ලද පැරණි ගල්පුවරුවක් චෙන්නායි කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.එහි මැද ආසනයක් මත වාඩිව සිටින රෝගියෙකුගේ පිළිරුවකි.ඔහු තම වම් පාදය දණහිසෙන් නමා ආසනය මත තබා සිටින අතර,දකුණු පාදය ලහත දමා ගෙන සිටි.දකුණතෙහි කසයක් හෝ සෙංකෝළයක් තිබේ.දෙපස ඇති ආසනවල වාඩි වී සිටින්නේ පූර්ණි හා පුෂ්කලා නම් දේවතාවියන් දෙදෙනාය.අයියනාර් වන්දනාවේ දිගු ඉතිහාසයක් පවතින බව දඅකගත හැකිය. තමිල්නාඩුවේ ආර්කෝට්වල ඇති තුන්වන සියවසට අයත් වීරගලක ද,හතරවන සියවසේ ලියැවුණු සිලප්පදිකාරම් කාව්‍යයේ ද අයියනාර් ගැන සදහන්ව තිබේ.
ආන්ද්‍රා ප්‍රදේශයේ දී අයියනායක දෙවියන් “වෙන්කටසු” නමින් හැදින්වෙයි.අඳුරු පැහැති සිරුරක් ඇති මෙම දෙවියා වීරන් නැමති යකුන් පිරිවරා සිටින බව ඔවුනගේ විශ්වාසයයි.චුද්දලෝර් දිස්ත්‍රීක්කයේ චණ්ඩිපලියම් තන්ජෝරයේ ෂියාලි යන පෙදෙස්වල අයියනායක දෙවියන් වෙනුවෙන් අයියානාර් මංගල්‍යයක් ද පැවැත්වේ.තමිල්නාඩුවේ ත්‍රිරුච්චිරාපල්ලි නගරයේ මහාකඩකුලි කෝවිලේ ද අයියනාර් දෙවියන්ට පුදපූජා සිදුකලද එතුමන් මහාකාලිය යටතේ සිටින්නෙක් ලෙසින් මෙහි බැතිමතුන් විශ්වාස කරයි.
මේ ආදි වශයෙන් ඉන්දීය සම්භවයක් සහිත අයියනාර් දෙවියන් ලක්දිවට සම්ප්‍රාප්ත වී අයියනායක නමින් බැතිමතුන් වන්දනා කරනුයේ මෙරට සම්භවයක් සහිත් දෙවිකෙනෙකුට මෙන් දැඩි භක්තියකිනි.සත්කෝරළයේ සහ වන්නිය භාරව සිටින අයියනායක දෙවියන් දකුණු ඉන්දීය ද්‍රවිඩයෙකු බව “වන්නි උපත” නම් පැරණි පුස්කොළ පොතේ සඳහන් වේ.හෙතෙම ආර්ය වංශික කුමාරවරුන් පිරිසක් සමග ගල් නැවක නැගී ලක්දිවට පැමිණි අන්දම “වන්නි පුවත” නම් පැරණි කවි පොතේ විස්තර වේ.මෙම සංක්‍රමණය සිදු වී තිබෙන්නේ බුවනෙකබාහු නම් රජෙකු මෙරට පාලනය කරන සමයේදී ය.මෙලෙස සදහන් වන රජු ගම්පොළ සතරවන බුවනෙකබාහු ලෙස හදුනාගෙන තිබෙන හෙයින් ලංකාවේ අයියනායක වන්දනාව ආරම්භ වී තිබෙනුයේ ක්‍රි.ව. 1341-1351 කාලයේ දී විය යුතුය.
අතීතයේ රජරට වන්නිකරයේ ජීවත් වූ ජනයා තම දෛනික ජීවිතයේ සියලු කටයුතු වලදී අයියනායක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන ලදි.කුඹුරට යන විට,දඩයමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සදහා කැළේට යන විට,වෙනත් ගමනක් පිටත් වීමේ දී ආදි ලෙසින් යාමේ දී කොළ අත්තක් කඩා ගසක එල්ලා අයියනායක දෙවියන් සිහිකරන ලදි.මෙම චාරිත්‍රය ඉටු කළ පුද්ගලයෙකු කැළේ අතරමං වූ විට අයියකායක දෙවියන් මිනිස් වෙසින් පැමිණ අතරමං වූ පුද්ගලයා මිනිස් වාසයකට ගෙනවුත් ඇරලන බව ජන හදවත් තුල නිදන්ගත වූවකි.
උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පතතුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්,වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයක් ලෙසින් සලකනු ලබයි.නිකවැරටියේ පාලම සැදීමට පෙර දැදුරු ඔයේ මංකඩින් එගොඩට ගිය මගීන් සහ ගැල්කරුවන් ඒ අසල වූ විශාල වෘක්ෂයක කොළ අත්තක් කඩා එල්ලා යාමේ සිරිතක් පැවතිණි.කාලයත් සමග එතැන අයියනායක මහ දෙවොල ගොඩනැගුන අතර අදටත් දේවාලය පසුකර යන මගිහු දෙවියන්ට පඬුරු පූජා කිරීමේ හා පොල් ගැසීමේ චාරිත්‍රය සිදුකරන බවට දැකගත හැකිය.අයියනායක දේව වන්දනාව වත්මනේ දී දිවයින පුරා ව්‍යාප්තව පවතින අතර,පැරැන්නන් අතු ඉති එල්ලා පූජෝපහාර පැවැත් වූ මහා වෘක්ෂ වෙනුවට එම වෘක්ෂ අසලම අභිනවයෙන් දේවාල ගොඩනැගිලි ඉදිකර තිබේ.වත්මනදී අයියනායක දෙවියන් උදෙසා දේවාල දැකගත හැකි වුව ද අතීතයේ දී නිශ්චිත වූ දේවාලයක් අයියනායක දෙවියන් උදෙසා නොතිබිණි.
අයියනාර්,කරේනාර්,අයියනායගම්,අයියනාථ,හරිහර පුත්‍ර, වන්නි බංඩාර,වන්නි දෙවියා ආදී නම්වලින් ද හැඳින්වෙන අයියනායක දෙවියන් කාලවර්ණ ශරීරයකින් යුක්තය. රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,හිසේ සුදු ජටාවක් බැඳ සිටින උන්වහන්සේ සුදු ඇතෙකු පිටින් ගමන් බිමන් යති. බෞදයන් පවසන පරිදි සරුවාලයෙන් හා උතුරු සළුවෙන් සැරසී මුහුණ පුරා සුදු රැවුලක් වවා සිටින අයියනායක දෙවියන් පැහැපත් සිරුරකින් යුක්තය.මහලු වියෙහි පසුවන උන්වහන්සේ එක් අතකින් සතර සතිපට්ඨාන සූත්‍ර පොත ද,අනෙක් අතින් රන් බොන්දි වැළ නම් ආභරණ නොහොත් ආයුධය ද රැගෙන සිටිතැයි නියනු ලැබේ.ඇතැම් විට සුරතින් කඩුවක් හා වමතින් සැරයටියක් ද රැගෙන සිටිනු ද චිත්‍රයට නගා තිබේ.
අයියනායක දෙවිඳු මහේෂවර හෙවත් ශිව දෙවියන්ගේ නිවුන් සොහොයුරා යැයි පාකර් සදහන් කරයි.ඇතැමුන් ඔහු මෝහිනී දෙව් දුවගේ පුත්‍රයෙකු බව ප්‍රකාශ කරයි.මෝහිනිය යනු විශ්ණු දෙවියන්ගේ පත්තිනිය වන උමයංගනාවම බවට මතයක් ද පවති.ඒ අනුව අයියනායක දෙවියන් විශ්ණුගේ සහ උමයංගනාවගේ පුතකු ලෙස පිළිගන්නට සිදුවේ.එමෙන් ම මෙතුමා කතරගම දෙවිදුගේ සහ ගණපති දෙවිදුගේ සොහොයුරෙකු යැයි සිතන බැතිමතුන් පිරිසක් ද සිටියි.හෙන්රි පාකර්ට අනුව අයියනායක දෙවියන් “බොකසැල්” නමින් පහතරැටියන් අතර ප්‍රකට වූ දෙවිකෙනෙකි.ද්‍රවිඩයන් පුල්ලෙයාර් සහ ගණේෂ්වර නමින් හදුන්වන දෙවියන් හා අයියනායක දෙවියන් එක් අයෙකු යැයි රජරට වැසියන් විශ්වාස කරන බවට පැහැදිලි වේ. අයියනායක දෙවියන්ගේ ඇමති කට්ටුව අතර “ඉලංදාරි දෙවි, කළු දේවතාවා, කම්බිලි දෙවි, කඩවර, ගුරුමා දෙවි” යන පස් දෙනා අයත් වන්නේ යැයි “හෙන්රි පාකර්ගෙ” ග්‍රන්ථයක ද,ඉපැරණි සිංහලේ ලාංකේය දෙවි දේවතාවෝ”නැමති පොතේ ද සඳහන් වේ.මංගර දෙවියන් මෙතුමන්ගේ දේව මාලිගාව රැකවල් කරන වාහල දෙවියන් ලෙස පිළිගැනේ.
විවිධ හේතු මත විදෙස් රටවල සිට මෙරට සංක්‍රමණය වූවන්ට අයියනායක දෙවියන් පිහිට වූ බවටත්,ඔවුන් වන්නිකරයේ පදිංචි කර වූ බවටත් හේතු සාධක පවති.අයියනායක දෙවියන්ගේ කෝල්මුර කවි පන්තියක මදුරාසියේ සිට පැමිණි කළුකුමාර බණ්ඩාර,රාජකරුණා බණ්ඩාර, වනරාජ බණ්ඩාර,ඉලංගසිංහ බණ්ඩාර,දිවාකර බණ්ඩාර යන කුමාරවරු පස්දෙනා අයියනායක දෙවියන්ගේ අවසරයෙන් මෙහි පදිංචි වූ බව සදහන් වේ.
මේ ආදි ලෙසින් දේව වන්දනා අතර ඉමහත් ගෞරවාදරයෙන් වන්දනා කරනු ලබන අයියනායක දෙවියන් උදෙසා පුදපූජා සිදුකරන ප්‍රදේශයන් අතර තවත් එක් ප්‍රදේශයක් වශයෙන් ඉගිණිමිටිය ප්‍රදේශය පෙන්වාදිය හැකිය.අයියනායක අඩවිය ලෙසින් සලකන දැදුරු ඔයෙන් මෙහා සීමාව තුළ පවතිනන ඉගිණිමිටිය ප්‍රදේශයෙහි අයියනායක දේව වන්දනය නිශ්චිත නොවූ දීර්ඝ ඉතිහාසයක් පවතින්නකි.අතීතයේ මුල් කාලීනයේ ආරක්ෂාව පතා වැව අසල පැවති විශාල නුග ගහේ කොළ ඉත්තක් එල්ලා දෙවියන්ට කන්නලව් කළ ප්‍රදේශවාසීන්, නූතනයේ දී නුග ගස අසලින් අයියනායක දෙවියන් උදෙසා දේවාලයක් ද ඉදිකොට වන්දනාමාන කරනු ලබයි.
විවිධ හේතූන් මත දෙවොලට පැමිණෙන බැතිමතුන් අයියනායක දෙවිදුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනු ලබයි.ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම,අලුතින් ඉඩමක් කඩමක්,ව්‍යාපාරික ස්ථානයක්, වාහනයක් මිළ දී ගැනීම,ලොතරැයි දිනුමක් හෝ වෙනත් ධන ලාභ ලැබීම,මැණික්,මිනිරන්,නිදන් වැනි භූගත සම්පත් අත්පත් කර ගැනීම,සතුරු කරදරවලින් මිදීම,හැරගිය සැමියා හෝ නැති වුන දරුවා සොයා බැලීම,රට ගිය ඥාතියාගේ ආරක්ෂාව,විභාග සහ නඩුහබ ජය ගැනීම වැනි නොයෙකුත් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අයියනායක දෙවිදුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනු ලබයි.ගොවි ජනතාව එදා මෙන් ම වත්මනේ ද තම කුඹුරු,වතුපිටි,හරකාබාන ආරක්ෂා කර ගැනීම,කෘමි වසංගත දුරු වී කුඹුරෙන් හා හේනෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම,පැපොල,සරම්ප,කම්මුල්ගාය වැනි වසංගත රෝග වලින් ආරක්ෂා වීම,පවුලේ සුවය සහ ආරක්ෂාව වැනි ගැටලු වලදී ගම්වාසීන් මෙම දේවාලයට පැමිණෙති.වැසි ලබා ගැනීම,අස්වැන්න සරුකර ගැනීම,රෝග බිය තුරන් කිරීම,පශු සම්පත් වර්ධනය කර ගැනීම ආදී අරමුණු මුදුන්පත් කරගැනීම පෙරදැරි කරගෙන ඉගිණිමිටිය ප්‍රදේශවාසීන් අයියනායක දෙවියන් වෙනුවෙන් වසර පුරාම නොයෙතුත් චාරිත්‍ර වාරිත්‍ර සිදුකරනු ලබයි.
■ මුට්ටි මංගල්‍ය
■ අලුත් සහල් මංගල්‍ය
■ අයියනායක දෙවි කන්නලව්
■ කිලි නැසීමේ චාරිත්‍රය
ආදී චාරිත්‍ර වාරිත්‍ර මෙම ගමෙහි අයියනායක දෙවියන් වෙනුවෙන් වසර පුරාම සිදුකරන ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍රයන් වන අතර මෙයට අමතර තවත් විවිධ වන්දනා ක්‍රම දැකගත හැකිය.ඒ පිළිබඳ සවිස්තරාත්මකව තුන්වන පරිච්ඡේදයේ දී හදුන්වාදෙනු ලබයි.ලක්දිව අනෙක් අයියනායක දෙවොල් වල මෙන් ම මෙම ප්‍රදේශයේ ද අයියනායක දෙවියන් උදෙසා ගැයෙන දේව කන්නලව්,ආරාධනා,ස්තොත්‍ර ආදි ය දක්නට ලැබේ.පොදුවේ ගත් විට ගණ දෙවියන් හා අයියනායක දෙවියන් කෙරෙහි බැතිමතුන්ගේ පවතින භක්තිය නොවෙනස් ලෙස මෙහි ගම්මුන් තුළ ද දක්නට ලැබේ.
මෙතෙර වෙලා අයියනායක දෙවි මුහුදේ වඩමවන්ඩ
සතර වරම් දෙවියන්ගෙන් වරම් ලබා ගෙන වඩින්ඩ
සතර ගෙවා ගෙන දෙවි රජ මෙ ලක්දිවට ගොඩ බහින්ඩ
විතර නොමැති අයියනායක දෙවි මුහුදේ වැඩම වන්ඩ
මෙලෙස මෙම නුවරකලාවියේ ප්‍රදේශවාසීන් ඉතා ඈත අතීතයේ පටන් චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමින් දේව ඇදහීම සදහා අයියනායක දෙවියන්ව වන්දනාමාන කරනු ලබයි.
තවද තෙද බල පතුරන අයියනායක දෙවියන් හට වැඩ සිටින්නට දෙවොලක් මේ ශ්‍රී ලංකා දීපයේ නොමැති බව යම් තැනක සදහන් වේ.
නුවරකලාවියේ පුරාන දේවතා තෝත්‍රය
(උ.ගැ)✨අනුරාධපුර දේවාලය නොච්චියාගම