Sri kalasilarama buddhist temple

Sri kalasilarama buddhist temple Silent monastery

27/07/2026

🙏🙏🙏

https://youtu.be/ICYn1Npsv_k?si=c5_54FiaZyZkvJV2කිතුල්ගොල්ල ශ්‍රී කාලශිලාරාම මහා විහාරයේදී අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන...
13/07/2026

https://youtu.be/ICYn1Npsv_k?si=c5_54FiaZyZkvJV2

කිතුල්ගොල්ල ශ්‍රී කාලශිලාරාම මහා විහාරයේදී අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ විසින් සිදු කළ ධර්ම දේශනාව පින්වත් ඔබටත් මෙම youtub link එකෙන් ශ්‍රවණය කළ හැක.තෙරුවන් සරණයි ❤️🌹🙏

sri kalashilarama maha viharaya

🌸 බුද්ධානුස්සති භාවනාව 🌸භාවනාව කරන තැනැත්තා විසින් එය ඉතා ගෞරවයෙන් ඉතා ආදරයෙන් අද අද ම මින් ප්‍රතිඵල ලබන්නට ඕනෑය යන අදහස...
16/06/2026

🌸 බුද්ධානුස්සති භාවනාව 🌸

භාවනාව කරන තැනැත්තා විසින් එය ඉතා ගෞරවයෙන් ඉතා ආදරයෙන් අද අද ම මින් ප්‍රතිඵල ලබන්නට ඕනෑය යන අදහසින් කළ යුතුය. ගෞරවාදරය අඩු පමණට ලැබෙන ප්‍රතිඵල ද අඩු වන්නේය. බුද්ධානුස්මෘති භාවනාව කිරීමට විවේක ස්ථානයෙක විවේක කාලයක බද්ධපර්යංකයෙන් වාඩි වී ශරීරය කෙළින් තබා උකුළ උඩ වම් අත පළමුව තබා, එය මත දකුණු අත දෙමාපට ඇඟිලි අග එකිනෙකට හැපෙන සේ තබා ගත යුතුයි. මෙයට අඳුරු තැනක් ඇති නම් වඩාත් සුදුසුය. කාල වශයෙන් නම් සවස හතට පමණ කාලය ඉතාම හොඳය. වාඩි වී ඇස් දෙක වසා ගනු.

ඉක්බිති මතු දක්වන වගන්ති කියා තමාට අවවාද කර ගත යුතුයි. මේ අවවාද වගන්තිවල මුලට තමාගේ නමත් යොදා ගනු.

1. ....................... නුඹ කරා ජරා ව්‍යාධි මරණයන් පැමිණෙන්නට මත්තෙන් නුඹේ භාවනා ඉක්මනින් කරනු. ඉක්මන් කරනු.

2. ජරා දුක ව්‍යාධි දුක මරණ දුක අපාය දුක යන මහ දුක් වලට බිය නම්, ඒවායින් මිදෙනු කැමති නම්, කුඩා දුක් ඉවසනු. කුඩා දුක් ඉවසනු.

3. ....................... නිවන් සුවය නමැති උතුම් සුවය, නො නැසෙන සුවය ලබනු කැමති නම් කුඩා සැප අත් හරිනු. කුඩා සැප අත් හරිනු.

මේ අවවාදය කරගෙන ඉක්බිති මෙසේ මෛත්‍රිය වඩනු. මගේ අභිමතාර්ථය සිදුවේවා! සැමදෙනාගේ ම යහපත් අදහස් සියල්ල ම සිදුවේවා! සියල්ලෝ ම සුවපත් වෙත්වා! අපගේ ආරක්‍ෂක දේවතාවෝ සුවපත් වෙත්වා! මේ ගමෙහි (නගරයෙහි) ආරක්‍ෂක දේවතාවෝ සුවපත් වෙත්වා!

මේ අවවාදය හා මෙත් වැඩීම කොට, ඉක්බිති මෙසේ තුන් වරක් සිතනු. මාගේ ඇස - කන - නාසය - දිව - කය යන මේ ඉන්ද්‍රියයෝ ක්‍රියා විරහිත වෙත්වා. රූපාදි ආරම්මණයෝ මා කරා නො පැමිණෙත්වා. මාගේ සිත බුද්ධාරම්මණයෙන් පිටත කිසිවකට නොයාවා. බුද්ධාරම්මණයෙහි ම මාගේ සිත පිහිටාවා.

ඉක්බිති තමන් ඉදිරියෙහි තමාට පස් රියනක් පමණ දුරින් බුදුරජාණන් වහන්සේ වජ්‍රාසන මතුයෙහි වැඩ සිටිනා පරිද්දෙන් සිතා ඒ බුදුරුව දෙස සිතින් ම බලමින් මෙසේ සිතනු.

ස්වාමීනි! අසරණ සරණ වූ මහා කාරුණික වූ සියල්ල දැන වදාළා වූ භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේ ගේ ශ්‍රී පාද යුග්මය අත්‍යාදරයෙන් නමදිමි. මහා කාරුණිකයන් වහන්ස! මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම නුඹ වහන්සේ විසින් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙමි. ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මාගේ මනසට පෙනෙමින් මා ඉදිරියේ වැඩ සිටින සේක්වා!!!

මෙසේ තුන් වරක් සිතා හෝ කියා ඇස නො හැර ම ඉදිරියේ වැඩ සිටින සැටියට බුදුන් වහන්සේ ගැන ම සිතනු. ඇසෙන කිසිම ශබ්දයකට ඇහුම්කන් නො දෙනු. ශරීරයට කොපමණ වේදනා ඇති වුවත් නො සෙල්වෙනු. ඉවසනු. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ශීතලයෙන් උෂ්ණයෙන් වන දුක් සියල්ල ම උත්සාහයෙන් ඉවසනු. මදුරුවකු ලේ බොතහොත් බොන්නට හරිනු. ශරීරය නො සොල්වනු. සෙලවීම වැටහීමට බාධාවකි. සම්පූර්ණ බුදුරුව ම එක වරට සිතට නො වැටහෙනු ඇත.

එබැවින් බුදු රැස් මාලාව සහිත බුද්ධ ශරීරයේ අවයව වෙන වෙන ම සිහි කරනු. බුදුන් වහන්සේගේ අවට රශ්මිය සිහි කරනු. රශ්මිය මැද බුදුන් වහන්සේ සිතනු. උන් වහන්සේගේ පතුල් යුවළ, දන යුවළ, කෙණ්ඩා යුවළ, උකුළ, අත් යුවළ, පපුව, චීවරය, ග්‍රීවය, නිකට, දෙතොල, නාසිකාව, නෙත් යුවළ, බැම යුවළ, නළල් තලය, කන් යුවළ, ඌර්ණ රෝමය යන මේවා වෙන වෙන ම පතුළේ පටන් නළල දක්වා ද නළල පටන් පතුළ දක්වා ද සිහි කරනු. එක් වරකට අඩුම ගණනින් මෙසේ පැයක් භාවනාවේ යෙදෙනු. පැය දෙක තුනක් යෙදිය හැකිනම් වඩා හොඳය.

මේ භාවනාව පිළිබඳ ගිනි ගෑමේ උපමාවක් ආචාර්යවරයෝ දක්වති. පුරාණයේ මනුෂ්‍යයෝ ලී දෙකක් එකට ඇතිල්ලීමෙන් ගිනි උපදවා ගන්න. ගිනි ගෑම නො නවත්වා කළ යුතු වැඩෙකි. නවත්වමින් ගිනි ගානා තැනැත්තා හට ගිනි උපදවන්නට පුළුවන් නොවේ. එසේ ම අතේ පයේ වේදනාවට ඇඟ කැසීමට මැස්සන් මදුරුවන් එලවන්නට ශරීරය සොලවමින් ද, අන් කරුණු වලට සිත යොමු කරමින් ද මේ භාවනාව කරන්නහුට බුදුන් වහන්සේගේ රූපය දැකිය හැකි නොවේ. කොපමණ දුකක් මුත් විඳ දරා ගෙන කියන ලද පරිදි භාවනාවෙහි යෙදෙන පින්වතාට සමහර විට සතියක් ගත වන්නටත් මත්තෙන් ඇසට පෙනෙන සේ බුදුන් වහන්සේගේ රූපය මනැසින් දැකිය හැකි වන්නේය. කොපමණ මහන්සියෙන් වුව ද වරක් එසේ බුදුන් වහන්සේගේ රූපය හොඳින් දැක ගත හොත් පසුවට අමාරුවක් නැතිව බුදු රුව වැටහෙන්නට වන්නේය.

මෙය මුදුන් පමුණුවා ගත් පින්වතාට සකල ශරීරය ම පිනා යන මහත් වූ ප්‍රීතියක් හට ගන්නේය. ශ්‍රද්ධාව හා උත්සාහය ද දියුණු වන්නේය. එබැවින් මෙය යෝගාවචරයන් හට ඉතා උපකාරක භාවනා ක්‍රමයක් වන්නේය. මේ දර්ශනය ලබා ගත් තැනැත්තා බුදුන් වහන්සේ හා එක්ව වාසය කරන්නකු බඳු වන්නේය. එයින් ඔහුගේ සිත පවට නො නැමෙන්නේය. ඔහු කටයුතු ද අතපසු නො කරන්නේය. මෙය විශුද්ධි මාර්ගයේ එන භාවනා ක්‍රමයක් නො වන බව දත යුතුය.

බුරුම රට මණ්ඩලේ නුවර සමීපයේ යෝගාවචරයින් ගේ වාසස්ථානයක් වූ සගයින් නම් පර්වතයේ විසූ සුප්‍රසිද්ධ යෝගාවචරයකු වූ “ගන්ධායුං ශයාඩෝ” නමැති මහා ස්ථවිරයන් වහන්සේ තමන් වෙත පැමිණෙන්නවුනට මුලින්ම මේ භාවනා ක්‍රමය පුරුදු කරවති.

මෙය හොඳින් පුරුදු කර බුදු රුව මැනවින් වැටහෙන්නට පටන් ගත් පසු, බුදු රුව මෙනෙහි කිරීම නවත්වා බුදු ගුණ භාවනාවට පටන් ගත යුතුයි. අරහං ආදි වශයෙන් දැක්වෙන බුදු ගුණ නවය අතුරෙන් පළමු වන ගුණය භාවනා කරන ක්‍රමය මෙසේ දත යුතු. පෙර කී පරිදි පූර්ව කෘත්‍ය සියල්ල නො පිරිහෙලා කොට තමන් ඉදිරියේ වැඩ සිටින බුදුන් වහන්සේ දෙස සිතින් දැක බලාගෙන මතු දක්වන වගන්ති පස පාඩම් කරන්ගෙන ඒවා මෙනෙහි කරනු.

(1) මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක.

(2) සියලු කෙලෙසුන් නැසූ සේක.

(3) සංසාර චක්‍රය සිඳ ලූ සේක.

(4) දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වූ සේක.

(5) රහසින් වත් පව් නො කරන සේක.

මේ වගන්ති පසෙන් දැක්වෙනුයේ නවගුණ පාඨයෙහි “අරහං” යන පදයෙන් දැක්වෙන ගුණයෝ ය. “අරහං අරහං” යනුවෙන් ද ඇතැම්හු භාවනා කරති. භාවනා කරන තැනැත්තා හට “අරහං” යි කියන කල්හි යට කී වගන්ති පසෙන් දැක්වෙන කරුණු සියල්ල ම හෝ එයින් එකක් හෝ දෙකක් හෝ “අරහං” යි කීමෙන් ම වැටහෙතොත් “අරහං” “අරහං” කියා හෝ “සො භගවා අරහං” කියා හෝ භාවනා කිරීමත් යහපත් වේ. නො වැටහෙන තැනැත්තාට යහපත් වන්නේ කියන ලද පරිදි සිංහල වචන වලින් ම භාවනා කිරීමයි.

තථාගතයන් වහන්සේ කර්මක්ෂයකර ඥානයෙන් කුශලා කුශල කර්මයන් ක්ෂය කර සංසාරයේ නැවත නැවත උපදින මැරෙන ස්වභාවය නැති කළ සේක. කියන ලද භාවනා වාක්‍ය පසෙහි “සංසාර චක්‍රය සිඳලූ සේක.” යන තුන්වන වගන්තියෙන් දැක්වෙනුයේ සසර නැවත නැවත ඉපදීමට හේතුවන කර්මයන් ක්ෂය කළ බවය.

🌹 විදර්ශනා භාවනා ක්‍රමය 🌹
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි.

Copy

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භ...
01/04/2026

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. ´´භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි´´ යනුයි. ´´ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීන්, සැපසේ වාසය කරනු මැනවැ´යි කීය.

2. ´´එකල්හි වනාහි පුක්කුසාකි නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. ´´මහණ, ඉදින් තොපට බරක් නොවේනම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි´´යි ´´ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා´´යි කීය.

3. ´´ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක ථන ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය සෘජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුක්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳ ගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ´මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියම් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි කියාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. ´´මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැයි ඇසූහ.

4. ´´ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්බපන්නය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමි´යි කීය.

5. ´´මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ´යි ඇසූහ. ´´ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි´ කීය.

මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේදක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ´´යි ඇසූහ.´´ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදී. මම දැක නොහඳුනන්නෙමි´´යි කීය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ´මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දේශනා කරන්නෙම් නම් යෙහෙකැ´යි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´මහණ, තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි´´ වදාළේය. ´´ඇවැත්නි, එසේයයි´´ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

6. ´´මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත, වන්නේය. ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය. සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටිය හුට වැරදි හැගීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැගීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අරහත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳීමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභඞගයාගේ උද්දෙසය වේ.

7. ´´මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායෝ ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.

8. ´´මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵසස්ස ආයතනය, ජීව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්පස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේ යයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

9. ´´මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම් වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්සනට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. උපේක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණු වූ ශබ්දය අසා සොම්නසට කරුණු වූ ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණු වූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණු වූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණු වූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණු වූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණු වූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණු වූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ ධර්මය අනුව හැසිරෙයි. උපේක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටලොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියන ලද නම් ඒ මේ සඳහා කියන ලදී.

10. ´´මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම් කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම් කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි.) මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.

11. ´´ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය. හෙතෙම සංසිදීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායෝ ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).

12. ´´මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මකද වන්නීය, බාහිරද වන්නිීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රථ බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සහය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).

´´අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳ තද බවක් රථ බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ´එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.

13. ´´මහණ, ආපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නිීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපෝධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක් වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක් වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යත්මිකවූ අපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපෝ ධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මැගේ ආත්මය නොවේයයි´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

14. ´´මහණ තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උනුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද්ද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

15. ´´මහණ, වයොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායෝධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම් උඩට ගමන් කරන්නාවූ වාතයෝය. යටට ගමන් ගරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතයය (යනුයි). මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක් , හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි´, මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නිවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායෝධාතුව කෙරෙහි සිත නොඅලවයි.

16. ´´මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය දර සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නෙවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.

17. ´´ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤාණයෙන් කිසිවක් දැන ගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳීමයි දැන ගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැන ගනියි. මහණ, දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳීමියි දැන ගනියි. ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි. මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳීමියි දැන ගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ සුපර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැන ගනියි.

18. ´´මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගනීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන් වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද එය සංසිදේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැපවේදනාවට කරුණුවූ සද්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුනු ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිදේයයි දැන ගනියි. මහණ, දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි.

හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැන ගනියි. ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැන ගනියි. මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණු වූ ස්පර්ශය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැන ගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.

19. ´´ඉන්පසු පිරිසිඳුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබලීම සහයිත වූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දැක්ෂවූ එන් කරුවෙක් හෝ රන් කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඩුවෙන් රත්‍රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්Ȁdධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍යවූවක්, බැබලීම සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවද්Ȁdධිකා නම් ආභරණයක් කිරීමද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබලීම සහිත වූ උපේක්ෂාවම ඉතිරිවේ.

20. ´හෙතෙම මෙසේ දැන ගනියි. ඉදින් මෙය මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසුදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපේක්ෂාව විඤ්ඤානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේ වූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කෙට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤචඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නේය. එසේවූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපේක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.

21. ´´හෙතෙම මෙසේ දැන ගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව විඤ්ඤානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤ්චාඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයටඅනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව නෙවසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූලධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුපඃත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතමෙ එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි. නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැන ගනියි. හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැන ගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැන ගනියි. ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. නොවැදගත් යයි දැන ගනියි. තණ්හාවෙන් සතුටු නොවියයුතු යයි දැන ගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. නොවැදගත්යයි දැන ගනියි. තණ්හාවෙන් සතුටු නොවියයුතු යයි දැන ගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගිනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැනගනියි. හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳීයි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාවවිඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමින් දැන ගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳීමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවනලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනියි.

22. ´´මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහණ ඇවිලේද, ඒ තෙලද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද, මහණ, මෙපරිද්දෙන් ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි, දැන ගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳීමියි දැන ගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම් වූ අර්හත්ඵල ප්‍රඤාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම් වූ ආර්ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ. ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹිය නොහැකි වූවාවේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම් වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්ය සත්‍යවේ. එය වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධිීහු ප්‍රහීණවූවාහු සිඳින ලද මුල් ඇත්තාහු කරටිය සිඳී තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇවීම නැති කරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

23. ´´එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම් වූ ක්ලෙශ පරිත්‍යගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම් වූ ආර්ය වූ ත්‍යාගයවේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි. ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීන වූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැත ිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රොධයෙක් ව්‍යාපදයෙක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීනවූයේ වෙයි. උඳුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණලද්දේ නැවත ඇතිවීම නැති කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වේ. ඒ අඥාණවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මෝහයක් ද්වේශයක් වේද, එය මොහුගේ ප්‍රහීනවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේනැවත ඇතිවීමකරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම් වූ ක්ලේශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්ය වූ උපසමයවේ. එනම් රාග දෝස මොහන්ගේ සංසිඳීමයි.

24. ´´ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය. හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න වූ භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතමෙ මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟිනලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා අත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්කෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රෝගයකි. හැඟීම හඬකි. හැඟීම හූලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ.මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි. නොමියයි. නොකිපෙයි. නොවෙයි, මහණ යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දිරවයයි´´ වදාළේය.

25. ´´ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්Ȁdධයත් වහන්සේ වනාහි වැඩියේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට ´ඇවැත්නි´, කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයකු සේ අඥානයෙකුසේ අදක්ෂයකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.

26. ´´එසේ නම් මහණ, නුඹ මට ´ඇවැත්නි´ කියා කථා කළයුතුයයි සිතුවෙහිද? මහණ බාලයෙකුගේ අඥාණයකුගේ අදක්ෂයෙකුසේ මට ඔබ ´ඇවැත්නියි´ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්යවිනයෙහියමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි´´ වදාළේය.

27. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)

´´මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?´´ ඇසූහ.

´´ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. ´´මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි´´ (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාකි තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාකි කුලපුත්‍රයන් කුලප්පුවූ එලදෙනක් දිවියෙන් තොර කෙළේය.

28. එකල්හි බොහෝවූ හුක්ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනැට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලාහුය.

´´ස්වාමිීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කථරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?´´ යනුයි.

´´මහණෙනි, පුක්කුසාකි කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපජාතික වූයේ ඒ ලෝකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි´´ වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂුහූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

Cpy

🏵️ දානයේ ප්‍රභේද 🏵️🏵️ ත්‍රිවිධ දානය...ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත...
19/03/2026

🏵️ දානයේ ප්‍රභේද 🏵️

🏵️ ත්‍රිවිධ දානය...

ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ.

සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර - පාන - වස්ත්‍ර - බෙහෙත් - කෙත් - වතු - රන් - රිදී - මුතු - මැණික් - මිල - මුදල් - ගේ - ඇඳ - පුටු - මේස - පැදුරු - කොට්ට - කැති - උදලු - නගුල් - වෑ - පොරෝ - පිහියා - මල් - සුවඳ - විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් - ඉස් - මස් - ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.

අභය දානය යනු රජුන් ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්ත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.

ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.

කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා - රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය.

🏵️ චතුර්විධ දානය...

චීවර දානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, ගිලානපච්චය දානය යි විනය ක්‍රමයෙන් දාන සතරක් වේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන මොවුන්ගේ පහසුව සඳහා චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලානප්පච්චය යන මේ වස්තු සතර කොටස පිළිගැනීමට හා පරිභෝග කිරීමට අවසර දී වදාළ සේක.

චීවර යනු භික්ෂුන් වහන්සේලා හඳින පොරවන වස්ත්‍රවලට හා උන්වහන්සේලාට කැප වූ අන්‍ය වස්ත්‍ර වලට ද බුදු සස්නෙහි ව්‍යවහාර කරන නමෙකි. චීවර නාමයෙන් හඳුන්වන ඒ වස්ත්‍ර දීම චීවර දාන නම් වේ.

අරුණෝදයේ පටන් ඉර මුදුන් වීම තෙක් කාලය බුද්ධාදීන් ආහාර වළඳන කාලය යි. පිණ්ඩපාත යනු ඒ කාලයෙහි පමණක් කැපවූ ආහාර පානයන්ට නමෙකි. පිණ්ඩපාත නාමයෙන් හැඳින්වෙන ආහාර පානයන් දීම පිණ්ඩපාත දාන නම් වේ.

සේනාසන යනු වාසය කරන ගෙවලට හා නිඳන හිඳින ඇඳ පුටු ආදී වස්තුන්ට නමෙකි. සේනාසන නාමයෙන් හඳුන්වන වස්තූන් දීම සේනාසන දාන නම් වේ.

ගිලානප්පච්චය යනු බෙහෙත් පිණිස ගන්නා වස්තූන්ට නමෙකි. බෙහෙත් පිණිස ගත හැකි වස්තු පිණ්ඩපාත නාමයෙන් හඳුන්වන වස්තු අතර ද ඇත්තේ ය. බෙහෙත් වතු දු ඒවා ගිලානප්පච්ය නාමයෙන් හඳුන්වන වස්තු කොටසට ඇතුළු නොවේ. ඒවා ගැන විශේෂ විභාග විනයෙන් දත යුතු ය. විනයෙහි ගිලානප්පච්චය නාමයෙන් හඳුන්වන භික්ෂූන්ට විකාලයෙහි ද කැපවූ වස්තූන් දීම ගිලානප්පච්චය දාන නම් වේ.

🏵️ සවැදෑරුම් දානය...

රූපදාන ය, සද්දදාන ය, ගන්ධදාන ය, රසදාන ය, පොට්ඨබ්බදාන ය, ධම්මදානය යි දානය අභිධර්‍ම ක්‍රමයෙන් සවැදෑරුම් වේ.

රූප දානය යනු පැහැය දීමයි. පැහැය හෙවත් වර්ණය දීමක් වශයෙන් සලකා නිල් - රතු - කහ සුදු ආදී පැහැයයන් ඇහි පුෂ්ප වස්ත්‍රාදි වස්තූන් ද ශරීරය වර්ණවත් කිරීමට පාවිච්චි කරන සුනු වර්ග - කල්ක වර්ග බෙහෙත් වර්ග ද , ගෘහ වස්ත්‍රාදි වස්තූන් වර්ණවත් කිරීමට ගන්නා සායම් වර්ග ද දීම රූප දාන නම් වේ.

සද්ද දානය යනු හඬ දීම ය. ශබ්ධය මල් පොකුරක් සේ අතින් ගෙන අනෙකකුගේ අතට දිය හැක්කක් නොවේ. ශබ්ධය පූජා කරමි යි තුනුරුවන් උදෙසා ගණ්ඨා බෙර ආදිය වැයීම ය, මිල දී පූජා පිණිස අනුන් ලවා වාදනය කරවීමය. ශබ්ද දානය වශයෙන් සලකා සුදුසු තැන්වල ගණ්ඨා ආදිය පිහිටවීම ය, ධර්ම කථිකයනට හඬ වැඩෙන - හඬ මිහිරි වන බෙහෙත් පිදීම ය, ධර්ම ඝෝෂා කිරීමය. ශබ්දදාන වශයෙන් සලකා බණ පිරිත් කීම ය, කියවීම ය යන ආදීහු ශබ්ධ දානයෝ ය.

ගන්ධදානය යනු සුවඳ දීම ය. ගන්ධය ද රූප ශබ්දයන් මෙන් ම වස්තුවෙන් උපුටා අතට ගෙන අනෙකකු අතට දිය හැකියක් නො වේ. ගන්ධ දාන වශයෙන් සලකා සුවඳ ඇත්තා වූ මල් ආදි වස්තූන් තුනුරුවනට පිදීම ද අන්‍ය ප්‍රතිග්‍රාහකයන්ට දීම ද ගන්ධ දානය ය.

මධුර තික්තාදි රසයන් දීම රස දානය ය. රසය ද ආහාරාදි වස්තුවෙන් උපුටා දිය හැක්කක් නො වේ. රසය දෙමි ය, මේ මාගේ රස දානය යි සලකා රසය ඇත්තා වූ ආහාර පානාදිය දීම රසදානය වේ.

ඵොට්ටබ්බ යනු සැපුණු කල්හි ශරීරයට සැප දුක් ඇති වන වස්තූන්ට නමෙකි. එක ම වස්තුව සැපීමෙන් ශරීරයට සැප දුක් දෙක ම ඇති වන බැවින්, දීම සඳහා සැපීමෙන් ශරීරයට සැපය පමණක් ඇති වන වස්තු කොටස් නැත. ඵොට්ඨබ්බ දාන වශයෙන් සලකා ශරීර සුඛයට හේතු වන වස්තු ඇඳ - පුටු - ඇතිරිලි - කොට්ට - මෙට්ට ආදිය දීම ඵොට්ඨබ්බ දාන ය.

රූප ශබ්දාදි අරමුණු පසට අයත් නො වන සියල්ල ම ධම්ම නම් වේ. ඒවායින් කවරක් හෝ දීම ධම්ම දාන නම් වේ. ආමිස දාන, අභය දාන - ධම්ම දාන යන තෙ වැදෑරුම් දානයෙහි කියැවෙන ධර්මදානය අනෙකකි. අභිධර්ම ක්‍රමයෙන් කරන දාන විභාගයේදී කියන මේ ධර්ම දානය අනෙකකි. තුන් ආකාර දානයට අයත් වූ ඇතැම් ආමිස දානය ද අභය දානය ද ධර්ම දානය ද ආරම්මණ භේදයෙන් කියන ධම්ම දානයට අයත් වේ.

ආරම්මණ භේදයෙන් කියන ධර්මදානය, ඕජා දාන - පාන දාන -ජීවිත දාන යන මොවුන් ගේ වශයෙන් දත යුතුය. කිරි - වෙඬරු - ගිතෙල් - මී පැණි - සකුරු - තලතෙල් ආදී ඕජා බහුල වස්තූන් ඕජා දාන වශයෙන් සලකා දීම ඕජා දාන නම් වේ. පිපාසාව සන්සිඳවීමේ අදහසින් පිපාසාව නසන පාන වර්ග දීම පාන දාන නම් වේ. ජීවිත දාන වශයෙන් සලකා දිවි පැවැත්වීමට වුවමනා ආහාර පාන බෙහෙත් ආදිය දීම ය, රෝගීන්ට වෙදුන් පමුණුවා දීම ය, බන්ධන වලට හසුවී සිටින සතුන් මිදවීම ය, දැල් ආදී සතුන් මැරීමේ උපකරණ විනාශ කරවීම ය යන ආදිය ජීවිත දාන නම් වේ. ඕජා දාන - පාන දාන - ජීවිත දාන යන මේවා ධර්ම දානයෝ ය. ධර්ම දාන දෙකක් ඇති බැවින් අවුල් විය හැකිය. අවුල් නොකර ගත යුතු ය.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි.
උපුටා ගැනීමකි !

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Sri kalasilarama buddhist temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri kalasilarama buddhist temple:

Shortcuts

Share