බුදුරජාණන් වහන්සේගේ මහිමය

  • Home
  • Sri Lanka
  • Kandy
  • බුදුරජාණන් වහන්සේගේ මහිමය

බුදුරජාණන් වහන්සේගේ මහිමය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ඔබ වෙත ගෙන ඒමටයි මේ වෑයම...

🌷මරණාසන්න මොහොතේ කළ එකම පිනෙන් දෙවියෙක් වුණ හැටි🌷රජගහනුවර ඉතාමත් පොහොසත් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහු සතුව විශාල වස්තුවක්,...
24/05/2026

🌷මරණාසන්න මොහොතේ කළ එකම පිනෙන් දෙවියෙක් වුණ හැටි🌷

රජගහනුවර ඉතාමත් පොහොසත් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහු සතුව විශාල වස්තුවක්, මුදල් සහ නොයෙකුත් සම්පත් තිබුණා. ඔහුගේ මේ අතිමහත් ධනය නිසාම ඔහු 'මහාධන සිටුවරයා' යන නමින් ප්‍රසිද්ධ වුණා. ඔහුට හැමෝම ආදරය කරන, දැකීමට ප්‍රියමනාප පුතෙක් සිටියා.

මේ පුතා ලොකු මහත් වෙද්දී දෙමාපියන් මෙහෙම හිතුවා: "අපේ පුතා දවසකට රන් දහසක් බැගින් වියදම් කළත්, අවුරුදු සියයක් යනකල් මේ වස්තුව ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට රස්සාවක් කරන්න ඉගෙනගන්න එකේ තේරුමක් නැහැ." මෙහෙම හිතපු දෙමාපියෝ, තමන්ගේ පුතා කයට හෝ සිතට වෙහෙසක් නැතිව සුවසේ සැප විඳිය යුතු යැයි සිතා ඔහුට කිසිදු ශිල්පයක් හෝ ඉගෙනීමක් ලබා දුන්නේ නැහැ.

පුතා නිසි වයසට පැමිණි විට, දෙමාපියන් ඔහුට සුදුසු තරුණියක් විවාහ කර දුන්නා. ඇය උසස් පවුලක, ඉතා ලස්සන, තරුණ පෙනුමෙන් යුතු අයෙක් වුණා. නමුත් ඇය නිතරම සැප සම්පත් විඳීමට පමණක් කැමති, ආගම දහම ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙක්.

ඔහු තම බිරිඳ සමඟ සැප විඳිමින් කාලය ගත කළ අතර පින් දහම් පිළිබඳව කිසිවක් සිතුවේ නැත. මහණ බමුණන්ට හෝ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ගරු සරු නොදැක්වූ ඔහු, මත්පැන් බොන අය සහ අසම්මත මිතුරන් ඇසුරු කරමින් විනෝදයටම බර විය. මෝඩකම නිසා අන්ධ වූ ඔහු මෙලෙස කාම සැපයටම ඇලී කාලය ගෙවා දැමීය. පසුව දෙමාපියන් මියගිය විට, ඔහු නළු නිළියන්ට හා ගායක ගායිකාවන්ට හිතුමනාපයේ මුදල් වියදම් කරමින් තම සියලු ධනය විනාශ කරගත්තේය.

කෙටි කාලයකින්ම ඔහු සතු සියලු සේසතම ඉවර වුණා. පසුව ඔහු ණයට මුදල් ගෙන ජීවත් වීමට පටන් ගත් අතර, කාලයක් යද්දී ඔහුට කිසිවෙකුගෙන් ණය ලබා ගැනීමට පවා නොහැකි වුණා. අවසානයේ තමන් සතු ඉඩකඩම් සහ ගේ දොර පවා ණය හිමියන්ට පවරා දීමට ඔහුට සිදු වුණා. කිසිවක් කරකියා ගත නොහැකි වූ ඔහු, හිඟා කමින් ජීවත් වන තත්ත්වයට පත් වී නගරයේ අනාථ නිවාසයක ලැගුම් ගත්තා.

ඔය විදිහට ඉන්නකොට, දවසක් හොරු කණ්ඩායමක් ඔහු ළඟට ඇවිත් මෙහෙම කිව්වා: "එම්බල මිනිසෝ, ඔබ තවමත් තරුණයි. අතපය හොඳට හයිය තියෙනවා. ඇයි මේ අතපය පණ නැති කෙනෙක් වගේ හිඟා කමින් දුක් විඳින්නේ? අපේ කණ්ඩායමට එකතු වෙන්න. අපිත් එක්ක ගිහින් අනුන්ගේ දේ සොරකම් කරලා සුවපහසුවට ජීවත් වෙමු."

එවිට ඔහු, "මට සොරකම් කරන්න තේරෙන්නේ නැහැ" යි පැවසුවා. එවිට සොරුන් ඔහුට පිළිතුරු දෙමින්, "ඒකට බය වෙන්න එපා, අපි ඔබට සොරකම් කරන හැටි උගන්වන්නම්. ඔබ කරන්න ඕනේ අපි කියන දේ විතරයි" කියා පැවසුවා.

ඔහු එයට කැමති වී සොරුන් සමඟ ගියා. සොරුන් ඔහුගේ අතට ලොකු පොල්ලක් දී, නිවසක බිත්තියක් හාරා ඇතුළු වීමට සිදුරක් හැදුවා. පසුව ඔහුව එම සිදුර අසල නතර කර, "යම් කෙනෙක් මෙතනට ආවොත්, මේ පොල්ලෙන් ගහලා එක පාරින්ම මරලා දාපන්" කියා පැවසුවා. කිසිම වැටහීමක් නැති මේ මෝඩ මිනිසා, ඔවුන් කියූ දේ අසා කවුරුන් හෝ එනතුරු බලාගෙන සිටියා.

සොරුන් නිවස ඇතුළට පැන බඩුමුට්ටු සොරකම් කළා. ඒ අතරතුර නිවසේ වැසියන්ට මේ බව දැනුණු වහාම, සොරුන් පිරිස එහෙන් මෙහෙන් පැනලා බේරුණා.

නිවසේ මිනිසුන් වහාම අවදි වී එහා මෙහා සොයා බලන විට, ගේ බිඳි සිදුර අසල සිටි මේ මිනිසාව දුටුවා. "මේ ඉන්නේ නපුරු හොරා!" යැයි කෑගසමින් ඔහුව අල්ලාගත් ඔවුන්, පොලුවලින් හොඳටම තලා අත් පා බැඳ දැමුවා. ඉන්පසු රජතුමා වෙත ඔහුව රැගෙන ගොස්, "මහරජතුමනි, අපේ ගේ බිඳපු ප්‍රධාන හොරා මොහුයි. ගෙට ඇතුළු වන තැනදීම අපි මොහුව අල්ලා ගත්තා" යැයි පවසා රජුට භාර දුන්නා.

එවිට රජතුමා, "මේ හොරාගේ හිස ගසා දමන්න" කියා නගරයේ ආරක්ෂක නිලධාරියාට අණ කළා. ඔහුත් එය පිළිගෙන, අර මිනිසාගේ දෑත් පිටුපසට කර තදින් බැඳ, බෙල්ලට රතු මල් මාලයක් දමා, හිසට ගඩොල් කුඩු වත් කර (එකල දඬුවම් දීමට පෙර කළ චාරිත්‍රයක්) නගරය පුරා රැගෙන ගියා. බෙර ගසමින්, වීදියෙන් වීදියට සහ හංදියෙන් හංදියට ඔහුව දක්කාගෙන යන අතරතුර කසවලින් දිගටම තැලුවා. "නගරයේ දේපල කොල්ලකෑ හොරා මෙන්න අපි අල්ලා ගත්තා" කියා මුළු නගරය පුරාම ප්‍රසිද්ධ කරමින් ඔහුව මරා දමන ස්ථානයට රැගෙන ගියා.

ඒ වෙලාවේ එම නගරයේ සිටි සුලසා නම් රූපසුන්දරිය තම මාලිගාවේ කවුළුවෙන් පාර දෙස බැලුවා. වධකස්ථානයට රැගෙන යන මේ පුද්ගලයාව පෙර ඇසුරු කර ඇති බැවින් හොදින් හඳුනාගත්තා. "කාලයක් මේ නගරයේම මහා සැප සම්පත් විඳපු මේ මනුස්සයාට අද වෙලා තියෙන විපතක මහත!" කියා ඇයට ඔහු ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා.

ඇය වහාම තම සේවකයෙකු අත අග්ගලා හතරක් සහ බොන්න වතුර ටිකක් ඔහු වෙත යැව්වා. ඒ වගේම, "මේ මිනිසා මේ අග්ගලා ටික කාලා වතුර ටිකක් බොනකල් පොඩ්ඩක් ඉවසන්න" කියා නගරය බාර නිලධාරියාගෙන් ඉල්ලා සිටියා.

ඔය අතරතුර මහා මුගලන් රහතන් වහන්සේ තමන්ගේ දිවැසින් ලෝකය දෙස බලන විට, මේ මිනිසා මහත් විපතකට පත්වී සිටින බව දුටුවා. "මේ මිනිසා පින් කරපු කෙනෙක් නෙවෙයි, පව් කරපු කෙනෙක්. ඒ නිසා මොහු මියගිය පසු නිරයේ උපදින්නේය. නමුත් මා එතනට වැඩම කළොත්, ඔහු තමන් ළඟ ඇති අග්ගලා සහ පැන් මට පූජා කර, ඒ පිනෙන් ඔහු මියගොස් භූමාටු දෙවියෙක් වී උපදින්නේය" කියා උන්වහන්සේ දුටු සේක. ඒ නිසා ඔහුට පිහිට වීමේ අදහසින්, අර සේවකයා අග්ගලා සහ වතුර රැගෙන එන මොහොතේම මුගලන් වහන්සේ ඔහු ඉදිරිපිට පෙනී සිටියා.

අපරාධකරුවකු ලෙස මරණයට නියම වී සිටි ඒ මිනිසා, මුගලන් රහතන් වහන්සේ දැකලා හිතේ ලොකු පැහැදීමක් ඇති කරගත්තා. ඔහු මෙහෙම හිතුවා: "තව ටික වෙලාවකින් මාව මරා දමනවා. ඉතින් මේ වෙලාවේ අග්ගලා කාලා මට ඇති වැඩේ මොකක්ද? මම මේවා මේ ස්වාමීන් වහන්සේට පූජා කළොත්, ඒක මගේ මතු ජීවිතයට ලොකු පිනක් (මග වියදමක්) වේවි."

ඔහු තමන්ට ලැබුණු අග්ගලා සහ වතුර පූජා කළා. මුගලන් වහන්සේත් ඔහුගේ හිතේ ඇති වූ ඒ පැහැදීම තවත් වැඩි කරන්න හිතාගෙන, ඔහු බලා සිටියදීම සුදුසු තැනක වාඩි වී ඒ අග්ගලා වළඳා, පැන් පානය කර එතැනින් වැඩම කළා.

ඉන්පසු වධකයන් විසින් ඒ මිනිසාව මරා දමන ස්ථානයට ගෙන ගොස්, ඔහුගේ හිස කපා මරා දැමුවා. මහා මුගලන් රහතන් වහන්සේට කළ ඒ උතුම් දානයේ පින නිසා ඔහුට මහා සැප සම්පත් ඇති දිව්‍ය ලෝකයක උපදින්නට පින තිබුණා. නමුත්, "මට මේ දානය දෙන්න අවස්ථාව ලැබුණේ සුලසා නිසයි" කියා ඔහු මියයන මොහොතේ සුලසා කෙරෙහි ඇති කරගත් දැඩි ආලය (ආදරය) නිසා ඔහුගේ සිත කිලුටු වුණා. ඒ නිසා උසස් දෙවියෙක් නොවී, කඳුකර ප්‍රදේශයක පිහිටි විශාල නුග ගසක වෘක්ෂ දේවතාවෙක් (රුක් දෙවියෙක්) වී ඔහු උපත ලැබුවා.

ඔහු තමන්ගේ තරුණ කාලයේදී පවුලේ ධනය ආරක්ෂා කරගනිමින් නිසි ලෙස ජීවත් වුණා නම්, ඔහු මධ්‍යම මට්ටමේ සිටුවරයෙක් බවට පත් වෙනවා. එසේත් නැතිනම් ඔහු තම මහලු වියේදී හෝ උත්සාහ කළා නම්, අවම වශයෙන් සුළු සිටුවරයෙක් වීමටවත් ඔහුට වාසනාව තිබුණා.

ඔහු තම තරුණ කාලයේදී පැවිදි වුණා නම්, රහත් භාවයට පත්වීමට තරම් පිනක් ඔහුට තිබුණා. මැදි වියේදී (ජීවිතයේ මැද කාලයේදී) පැවිදි වුණා නම්, සකෘදාගාමී හෝ අනාගාමී යන උතුම් මගඵල ලැබීමට අවස්ථාව තිබුණා. අවසාන කාලයේදී (මහලු වියේදී) හෝ පැවිදි වුණා නම්, අවම වශයෙන් සෝවාන් වීමටවත් ඔහුට හැකියාව තිබුණා.

නරක මිතුරන් ඇසුරු කිරීම නිසා ඔහු ස්ත්‍රීන් පස්සේ යන, මත්පැන් පානයට ඇබ්බැහි වූ, වැරදි වැඩ කරන කෙනෙක් වුණා. මහණ බමුණන්ට ගරු නොකර දුසිරිතෙහි යෙදුණු නිසා ඔහු සතු සියලු සැප සම්පත් ටිකෙන් ටික නැති වී ගොස්, අවසානයේ ඔහු මේ වගේ මහා විපතකට මුහුණ දුන් බව සඳහන් වෙනවා.

ඊට පස්සේ දවසක සුලසා උද්‍යානයට ගිහින් ඉන්නවා දැකපු මේ රුක් දෙවියාට, ඇය කෙරෙහි නැවතත් ආශාවක් ඇති වුණා. ඔහු අන්ධකාරයක් මවාගෙන ඇවිත්, සුලසාව තමන්ගේ විමනට රැගෙන ගියා. එහිදී ඇය සමඟ දින හතක් සංවාසය කරමින් කාලය ගත කළ ඔහු, තමන් කවුද සහ තමන්ට සිදු වූයේ කුමක්ද යන සියලු තොරතුරු ඇයට පැවසුවා.

සුලසා අතුරුදහන් වීම නිසා ඇගේ මව දැඩි ලෙස දුක් වෙමින්, හඬා වැලපෙමින් ඇයව සොයන්නට වුණා. මෙය දුටු මිනිසුන් ඇයට මෙහෙම කිව්වා: "පින්වත් මෑණියනි, මහා මුගලන් රහතන් වහන්සේ කියන්නේ මහා ඍද්ධි බලයක් තියෙන, මහානුභාව සම්පන්න උත්තමයෙක්. උන්වහන්සේට ඇය කොහේද ඉන්නේ කියලා දැනගන්න පුළුවන් වේවි. ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහින් මේ ගැන විමසන්න."

ඇය මුගලන් මහ රහතන් වහන්සේ ළඟට ගොස් තම දියණියට සිදු වූ දේ ගැන විමසුවා. එවිට උන්වහන්සේ මෙසේ වදාළා: "අද සිට හත්වැනි දින, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී ධර්ම දේශනා කරන වෙලාවට, දහම් අසන පිරිස කෙළවරේදී ඔබට ඇයව දැකගන්න පුළුවන් වේවි."

පසුව සුලසා අර රුක් දෙවියාට මෙහෙම කිව්වා: "පින්වත් දෙවියනි, මම ඔබගේ මේ විමනයේ නතර වෙලා දැන් දින හතක් ගත වුණා. මම මෙහෙම ඉන්න එක හොඳ නැහැ. මගේ අම්මා මාව දකින්න නැතුව ගොඩක් දුක් වෙමින් විලාප තියනවා ඇති. ඒ නිසා කරුණාකරලා මාව ආපහු මගේ ගෙදරටම ඇරලවන්න."

ඇගේ ඉල්ලීම අසා ඒ රුක් දෙවියා ඇයව රැගෙන ගොස්, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ ධර්ම දේශනා කරමින් සිටි ස්ථානයට ගියා. ඔහු ඇයව දහම් අසන පිරිස කෙළවරේ නතර කර, තමන් නොපෙනී එතැනම රැඳී සිටියා.

ඒ වෙලාවේ සුලසාව දුටු මිනිස්සු ඇයගෙන් මෙහෙම ඇහුවා. "සුලසා නංගියේ, ඔබ මෙච්චර දවස් කොහේද ගියේ? ඔබව දකින්න නැති නිසා ඔබේ අම්මා අඬලා වැලපිලා හරියට පිස්සු හැදුණු කෙනෙක් වගේ වුණා." එවිට සුලසා තමන්ට සිදු වූ සියලුම විස්තර මිනිසුන්ට පැවසුවා. ඒ කතාව ඇසූ මිනිස්සු පුදුම වෙලා මෙහෙම ඇහුවා. "ඒ තරම් පව් කරපු, කිසිම පින්කමක් කරලා නැති ඒ මිනිහා කොහොමද දෙවියෙක් වෙලා ඉපදුණේ?"

එවිට සුලසා ඔවුන්ට මෙසේ පැහැදිලි කළාය: "ඔහුව මරා දමන්නට මොහොතකට පෙර මම දුන් අග්ගලා සහ පැන් ඔහු මහා මුගලන් රහතන් වහන්සේට පූජා කළා. ඒ පිනේ බලයෙන් තමයි ඔහුට මෙවැනි දේව ආත්මයක් ලැබුණේ."

එය ඇසූ මිනිස්සු මහත් සේ පුදුමයට පත් වූහ. "රහතන් වහන්සේලා කියන්නේ ඇත්තටම මේ ලෝකයාට පින් කරගන්න තිබෙන උතුම්ම පින් කෙතක්. මෙවැනි උතුම් රහතන් වහන්සේ නමකට කරන ඉතාම කුඩා පූජාවක් පවා කෙනෙකුට දිව්‍ය ලෝකයේ උපදින්න තරම් මහත් වූ පිනක් ගෙන දෙනවා නේද?" කියා ඔවුන් සියලු දෙනාම මහත් සතුටටත්, ප්‍රසාදයටත් පත් වූහ.

භික්ෂූන් වහන්සේලා මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට පවසා සිටි අතර, උන්වහන්සේ එය නිමිති කරගෙන මෙම උතුම් ධර්ම කරුණු දේශනා කළ සේක:

"කෙලෙස් නැසූ රහතන් වහන්සේලා සාරවත් කුඹුරක් වැනිය. දානය දෙන පින්වතුන් එම කුඹුරේ වගා කරන ගොවියන් වැනිය. පූජා කරන දාන වස්තූන් වපුරන බිත්තර වී වැනිය. මේ කරුණු සම්පූර්ණ වූ විට ඉතා උසස් ආනිසංස (අස්වැන්න) ලැබෙන්නේය."
"බීජ (දානය), කෘෂිකර්මය (පින් කිරීමේ උත්සාහය) සහ කුඹුර (පින්කෙත) යන මේ කරුණු තුන මියගිය අයටත්, දානය දුන් අයටත් එකසේ උපකාරී වේ. මියගිය අය ඒ පිනෙන් දුකෙන් නිදහස් වන අතර, දානය දුන් අය පිනෙන් දියුණු වෙති."
"මෙලොවදී කුසල් දහම්හි යෙදී, මියගිය අයටත් පින් අනුමෝදන් කරවන තැනැත්තා, තමා කළ ඒ යහපත් පින්කම් හේතුවෙන් මරණින් පසු දිව්‍ය ලෝකයේ උපත ලබන්නේය."

මෙම දේශනාව අවසානයේ අර රුක් දෙවියා සහ සුලසාව ඇතුළු අසූ හතර දහසක් (84,000) සත්වයෝ සත්‍යය අවබෝධ කරගෙන මාර්ග ඵල ලැබූහ.

ඛෙත්තූපම ප්‍රේතවස්තු වර්ණනාව
ප්‍රේතවත්‍ථු අටුවාව.........

🌷ජීවක කෝමාරභච්ච🌷බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සුපතළ "ජීවක කෝමාරභච්ච" යනු හුදෙක් වෙදකමට පමණක් නොව, අභියෝග මැද අ...
17/05/2026

🌷ජීවක කෝමාරභච්ච🌷

බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සුපතළ "ජීවක කෝමාරභච්ච" යනු හුදෙක් වෙදකමට පමණක් නොව, අභියෝග මැද අසමසම වික්‍රමයන් පෑ අසාමාන්‍ය චරිතයකි.

අතහැර දැමූ බිළිඳකු ලෙස මරණය අභියස සිට තක්ෂිලාවේ වසර හතක් පුරා ලැබූ අද්විතීය ශිල්ප ඥානය දක්වා ඔහුගේ ජීවිතය අතිශය විස්මිතය.

ශල්‍යකර්ම කලාවේ පියා ලෙස සැකෙවින් හැඳින්විය හැකි ඔහු, එකල පැවති සීමිත පහසුකම් යටතේ මොළයේ සැත්කම් පවා සාර්ථකව සිදුකළ අයුරු සැබවින්ම විශ්මයජනක වේ.

රාජකීය වෛද්‍ය තනතුර අතහැර බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට කැපවී සේවය කළ ඔහුගේ දිවිසැරිය, වර්තමාන වෛද්‍ය ක්ෂේත්‍රයට පවා ලබාදෙන ආදර්ශය අතිමහත්ය.

ඉතිහාසයේ සැඟවුණු මෙම සුවිශේෂී වෛද්‍ය වික්‍රමය සහ ඔහුගේ ප්‍රතිභාපූර්ණ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයන් ඔබව පුදුමයට පත් කරනවා නොඅනුමානය.

කියවන්න එකතු වෙන්න අප සමග...

0️⃣1️⃣🌟 ලිපිය
01 කුණු ගොඩකින් හමුවූ ලොව දිනූ මහා වෙදැදුරා:

වෙසාලි නුවර අභිසාරිකාවකගේ අනපේක්ෂිත දරු උපතක් ලෙස කුණු ගොඩකට අත්හැර දැමූ බිළිඳකු, මරණය පරාජය කරමින් අභයරාජ කුමරුගේ රැකවරණය මැද රජ මාලිගයේ හැදී වැඩුණු අයුරු සැබවින්ම විස්මිතය. තමාගේ මව්පියන් කවුරුන්දැයි නොදැන රාජ කුමාරවරුන්ගේ අපහාස විඳිමින් සිටි ඔහු, ජීවිතය ජයගැනීමේ අරමුණින් තම කුලගොත රහසක්ව තබාගෙන එකල ලොව ප්‍රමුඛතම ශිල්ප මධ්‍යස්ථානය වූ තක්ෂිලාව බලා පියමං කළේය.

එහිදී වසර හතක් පුරා දිසාපාමොක් ඇදුරුතුමන් යටතේ හදාරන වෛද්‍ය ශිල්පය තුළ, මිනිස් දෑසට නොපෙනෙන දිව්‍යමය බලවේග පවා ඔහුට උපකාර වූයේ ඔහුගේ පෙර පින් මහිමය නිසාමය.
සියල්ල ඉගෙන ගත් ඔහු , අවසානයේ ගුරු උපහාරය මැද තම වෛද්‍ය වික්‍රමය ආරම්භ කිරීමට රජගහනුවර බලා පිටත් වෙයි.

0️⃣2️⃣. 🤛 ලිපිය
මොළයේ සැත්කම් කළ පුරාණයේ විශ්වකර්මයා:

හිස්කබල විවෘත කර මොළයේ ශල්‍යකර්ම කළ හැකි වෛද්‍යවරයකු මීට වසර දෙදහස් පන්සියයකට පෙර සිටියා යැයි පැවසීම අදටත් විශ්මයජනකය.

සත් වසක් පැවති හිසරුදාව එකම නස්‍යකර්මයකින් සුවපත් කරමින් තම වෛද්‍ය වෘත්තිය අභිමානයෙන් ඇරඹූ ජීවක, පසුව බිම්බිසාර රජුගේ සුවකළ නොහැකි යැයි පැවසූ රෝගයක් නියපොත්තක තැවරූ ඖෂධයකින් සුවකර රාජකීය වෙදැදුරා බවට පත් විය.

ඔහුගේ අසමසම දක්ෂතාවය නිසාම, අවසානයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වෛද්‍යවරයා වීමේ භාග්‍යය ඔහුට හිමි විය.

0️⃣3️⃣.👉 ලිපිය
දරුණු රජුන් සහ බුදු හිමියන් සුවපත් කළ මහා වෙදැදුරා:

සිටු වරයෙකුගේ බඩවැල් ,සැත්කමකින් ප්‍රකෘතිමත් කරමින් අසමසම ශල්‍යකර්ම දක්ෂතාවයක් පෑ ජීවක වෙදැදුරාට, මීළඟට මුහුණ දීමට සිදු වූයේ චණ්ඩ පජ්ජෝත රජුට රහසින් ගිතෙල් බෙහෙත් පොවා රාජ උදහසින් ජිවිතය බෙරාගැනිමටයි.

ත්‍රාසජනක සිදුවීමකට පසු නිරුපද්‍රිතව රජගහනුවරට පැමිණි ඔහුට, අවසානයේ හිමි වූයේ ලොව උතුම්ම වෛද්‍ය පදවිය වන බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා වීමේ භාග්‍යයයි.

බුදු හිමියන්ගේ ශරීරයේ දොස් සමනය කිරීමට උපුල් මල් මිටි තුනක සුවඳ ආග්‍රහණය කරවීමෙන් සිදු කළ ඒ අසිරිමත් විරේක කර්මයත්, ඉන් අනතුරුව භික්ෂු සංඝයාට ගෘහපති සිවුරු පූජා කිරීමට මග පෑදුණු අයුරුත් සැබවින්ම ශ්‍රද්ධාජනක පුවතකි.

0️⃣4️⃣.🤛ලිපිය
බුදු හිමියන් වැළඳූ අසිරිමත් දානය සහ සෝණ සිටු තුමා.:

ජීවක වෙදැදුරා උපුල් මල් මිටි තුනක සුවඳින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය සුවපත් කළ ඒ ඓතිහාසික මොහොතේ, උන්වහන්සේට පූජා කිරීමට ලොව ඇති උතුම්ම ආහාරය සොයා මුගලන් මහ රහතන් වහන්සේ දිවැස් යොමු කළහ. එහිදී හමුවන්නේ උපන් දා සිට පය බිම නොතැබූ, රතු පියුමක් වැනි යටි පතුල්වල නීල වර්ණ රෝම පිහිටි, අසූ දහසක් ගම්වලට අධිපති සෝණ කොළිවීස නම් අසිරිමත් සිටු පුත්‍රයාය.

සඳුන් වතුරෙන් මඩවා, සඳුන් සුවඳ කැවූ රන්වන් හැල් සහලින් පිසූ ඒ දිව්‍යමය බතේ සුවඳ මුළු වෙළුවනාරාමයම එකම සුවඳ විමනක් කළ අතර, එහි රසයෙන් මවිත වූ බිම්බිසාර රජු පවා සිතුවේ එය දිව්‍ය ලෝකයෙන් ගෙනා ආහාරයක් කියාය.

තම එකම පය බිම තැබීමෙන් පවා දහස් ගණන් ජනයා වෙවුලවන තරම් මහා පින් බලයක් සහ තේජසක් සෝණ සිටුතුමාට ලැබුණේ පෙර භවයක පසේබුදු හිමි නමකට කළ උතුම් පූජාවක මහිමයෙනි. ඒ ගැන දැනගන්න නම් ලිපිය කියවන්න

0️⃣5️⃣.🤛 ලිපිය
සෝණ ස්වාමීන්වහන්සේ මහ රහතන් වහන්සේ නමක් බවට පත් වීම:

බිම්බිසාර රජු පවා මවිත කළ මහා පින් බලයක් ඇතිව, යටි පතුල්වල නීල වර්ණ රෝම සහිතව උපන් සෝණ සිටු පුත්‍රයා, තම සියලු රාජකීය සම්පත් අතහැර බුදු සසුනේ පැවිදි වේ.

අතිශය දැඩි වීර්යයකින් සක්මන් භාවනාවේ යෙදුණු අතර, ඔහුගේ සියුම් පතුල් පැලී ගියේය.

වීර්යය වැඩි වී සිත කළකිරීමට පත් වූ ඒ තීරණාත්මක මොහොතේ, බුදුරජාණන් වහන්සේ සෝණ හිමියන් හමුවට වැඩම කර "වීණාවක තත්" උපමාවෙන් දහම් දෙසා උන්වහන්සෙට සියලු කෙලෙසුන් නසා රහත් භාවය ලබා ගැනිමට මග පැදූ සේක.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

ජීවක වෛද්‍යවරයාගේ ආශ්චර්යමත් කතා මාලාව නිමා කරමින් ඔබ ඉදිරිපත් කළ මෙම සයවන ලිපිය, මුළු ලිපි මාලාවේම වඩාත් අද්භූත සහ විශ්මයජනක තොරතුරු ඇතුළත් පරිච්ඡේදයයි. සීවෙය්‍යක වස්ත්‍ර යුග්මයේ උපත සහ උතුරුකුරු දිවයිනේ අසිරිමත් ස්වභාවය පිළිබඳ ඔබ ගෙන ආ විස්තරය කියවන්නා දිව්‍යමය ලෝකයකට රැගෙන යන්නකි.

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

0️⃣6️⃣👉ලිපිය
අසිරිමත් උතුරුකුරු දිවයින:

ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට පූජා කළ "සීවෙය්‍යක වස්ත්‍ර යුග්මය" යනු සාමාන්‍ය මිනිස් ලොව නිපදවූවක් නොව, උතුරුකුරු දිවයිනේ මහා කප්රුකින් උපන් දිව්‍යමය වස්ත්‍රයකි.

උතුරු කුරු දිවයින ගැන බොහෝ විස්තර දැනගන්න මේ ලිපිය කියවන්න.

සක්වළ විස්තරයත්, කප්රුකේ අසිරියත් සමඟ නිමාවන මෙම ලිපි පෙළ, අපට පසක් කරන්නේ උතුම් ප්‍රතිකාරයකට සහ පිරිසිදු චේතනාවට ලැබෙන ආනිශංස මෙලොව පරලොව දෙකෙහිම කෙතරම් අසිරිමත්ද යන්නයි...

18/04/2026

🌷අකීකරු යක්ෂයන් දමනය කරන, අසරණයන් රකින උතුරු දිශාවට අධිපති වෙසමුණි රජු🌷

බෞද්ධ සාහිත්‍යයේ සහ ජනප්‍රවාදයේ එන සතර වරම් දෙවිවරුන්ගෙන් ප්‍රබලතම දෙවි කෙනෙකු වන වෛශ්‍රවණ දිව්‍ය රාජයා ගැන ඔබ දැන සිටිය යුතුම කරුණු කිහිපයක්... 🔱

💰 ධනයට අධිපති දෙවිඳා: හින්දු දේව කතාවල එන 'කුවේර' දෙවියන් ලෙසින්ද හඳුන්වන්නේ මොහුයි. ආලකමන්දාව නම් වූ මහා සම්පත් ඇති දිව්‍ය පුරයක ඔහු වාසය කරයි.

👹 යක්ෂ ගෝත්‍රයේ පාලකයා: සියලුම යක්ෂ සේනාධිපතිවරුන් සහ යක්ෂ ගෝත්‍රිකයන් පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ වෙසමුණි රජුටයි. අකීකරු යක්ෂයන්ට දඬුවම් දීමට ඔහුට "ගදා" නම් බලවත් ආයුධයක් පවතින බව විශ්වාස කෙරේ.

📜 ආටානාටිය සූත්‍රයේ නිර්මාතෘ: බුදු සසුනට සහ භික්ෂූන්ට උවදුරු කරන යක්ෂයන්ගෙන් ආරක්ෂාව ලබා දීම සඳහා සතර වරම් දෙවිවරුන් එක්ව බුදුරදුන්ට දේශනා කළේ මේ උතුම් ආටානාටිය සූත්‍රයයි.

🛡️ ආරක්ෂාව සහ අභිවෘද්ධිය: ධර්මයේ හැසිරෙන ගුණවත් මිනිසුන්ට වෙසමුණි රජුගේ බැල්ම සහ ආරක්ෂාව නිරන්තරයෙන් හිමිවන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

🔱 දෙවිඳුන් උදෙසා සිදුකරන පුද පූජා:
වෙසමුණි රජුගේ ආශිර්වාදය ලබා ගැනීමට පිරිසිදුව, සැදැහැ සිතින් මෙම පූජාවන් පැවැත්විය හැකිය...

* පූජා භාණ්ඩ: රතු පැහැති මල්, රතු කොඩි, සුවඳ දුම් සහ තෙල් පහන්.

* පූජා කරන දිනය: අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනවල සන්ධ්‍යා කාලය වඩාත් සුදුසුයි.

* පූජා තට්ටුව: පලතුරු වර්ග 05ක් හෝ 09ක් සමඟ කැවිලි වර්ග ඇතුළත් පූජා වට්ටියක් පූජා කළ හැකිය.

🙏 ආශිර්වාද ගාථාව:

(මෙම ගාථාව සජ්ඣායනා කර දෙවියන්ට පින් අනුමෝදන් කර ඔබේ ප්‍රාර්ථනාවන් සිදු කරන්න)

"ඉන්දෝ යමෝ වරුණෝ චාපි කුබේරෝ ඉති නාමතෝ
සතරෝ තේ මහාරාජා ලෝකපාලා යසස්සිනෝ
තේසං අනුභාවේන සබ්බේ භයා විනස්සන්තු"

👉 (තේරුම: ඉන්ද්‍ර, යම, වරුණ සහ කුබේර යන යසස් ඇති සතර වරම් මහරජවරුන්ගේ ආනුභාවයෙන් සියලු බිය දුරු වේවා!)

✨ විශේෂ උපදේශය:
වෙසමුණි දෙවිඳුන්ගේ ආශිර්වාදය වඩාත් තදින් ලැබෙන්නේ ආටානාටිය සූත්‍රය ශ්‍රවණය කරන සහ පංචශීලය රකින ගුණවත් පුද්ගලයන්ටයි.

👉 වෛශ්‍රවණ (වෙසමුණි) දිව්‍ය රාජයා වන්දනාමාන කිරීමෙන් සහ ඔහුට පින් අනුමෝදන් කිරීමෙන් ලැබෙන බව පැවසෙන ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් මෙසේය....

* අමනුෂ්‍ය බලපෑම්වලින් ආරක්ෂාව:
අකීකරු යක්ෂයන්, භූතයන් සහ ප්‍රේතයන්ගෙන් සිදුවන දෝෂ හෝ කරදර වළක්වා ගැනීමටත්, ගෙදර දොර ආරක්ෂාවටත් වෙසමුණි රජුගේ බැල්ම උපකාරී වන බව විශ්වාස කෙරේ.

* ධනය සහ වාසනාව:
වෛශ්‍රවණ දෙවිඳුන් "කුවේර" ලෙසින්ද හඳුන්වන ධනයට අධිපති දෙවියා බැවින්, දැහැමිව ජීවත් වෙමින් ඔහුට පින් දීමෙන් ව්‍යාපාරික දියුණුව සහ ආර්ථික සමෘද්ධිය ලැබෙන බව බොහෝ දෙනා විශ්වාස කරති.

* සෞඛ්‍යය සහ රැකවරණය:
ලෙඩ රෝග සහ හදිසි විපත්වලින් ආරක්ෂා වීමට ආටානාටිය සූත්‍රය සජ්ඣායනා කරමින් වෙසමුණි දෙවිඳුන් ඇතුළු සතර වරම් දෙවිවරුන්ගේ ආශිර්වාදය පැතීම පුරාණයේ සිටම සිංහල බෞද්ධ සංස්කෘතියේ පවතින්නකි.

* පවුලේ සාමය:
නිවසක ඇති අඬදබර සහ නොසන්සුන්කාරී තත්වයන් දුරු වී සාමය සහ සතුට උදා වීමටත් දෙවියන්ගේ රැකවරණය බලපාන බව පැවසේ.

🌻 බුදුදහමට අනුව බ්‍රහ්ම ලෝක 20 පිහිටා ඇත්තේ එකකට ඉහළින් එකක් වන සේ අනුපිළිවෙළිනි. මෙම බ්‍රහ්ම ලෝක ප්‍රධාන කොටස් දෙකකට බෙ...
12/04/2026

🌻 බුදුදහමට අනුව බ්‍රහ්ම ලෝක 20 පිහිටා ඇත්තේ එකකට ඉහළින් එකක් වන සේ අනුපිළිවෙළිනි. මෙම බ්‍රහ්ම ලෝක ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය: රූපාවචර බ්‍රහ්ම ලෝක (16) සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක (04).
​පහළ සිට ඉහළට ඒවායේ පිහිටීම පහත දැක්වේ:

​🏯🕍⛩️💫🧝‍♂️🧝‍♀️ රූපාවචර බ්‍රහ්ම ලෝක (16):

🧝‍♀️🧝‍♂️💫🕍🌺​මෙහි බ්‍රහ්මයින්ට සියුම් ශරීර පවතී. මේවා ධ්‍යාන මට්ටම් අනුව කොටස් හතරකට බෙදේ.

🌺​ප්‍රථම ධ්‍යාන භූමි:

1.🧝‍♂️🏯​බ්‍රහ්ම පාරිසජ්ජය: මහා බ්‍රහ්මයාගේ පිරිස වෙසෙන ලෝකය.

2.🧝‍♂️🕍බ්‍රහ්ම පුරෝහිතය: මහා බ්‍රහ්මයාට අනුශාසනා කරන ඇමතිවරු වැනි බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

3.🧝‍♂️🕌​මහා බ්‍රහ්මය: ප්‍රථම ධ්‍යාන ලාභීන් අතර උසස්ම බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

🌺​ද්විතීයක ධ්‍යාන භූමි:

4.🧝‍♂️💒පරිත්තාභය: ස්වල්ප වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

5.🧝‍♂️🏩අප්පමාණාභය: අප්‍රමාණ වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

6.🧝‍♂️🏭 ආභස්සරය: ශරීරයෙන් විහිදෙන ආලෝකය සහිත බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

🌺​තෘතීයක ධ්‍යාන භූමි:

7. 🧝‍♂️🏫පරිත්තසුභය: ස්වල්ප වූ සැපයක් ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

8. 🧝‍♂️⛪අප්පමාණසුභය: අප්‍රමාණ වූ සැපයක් ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

9. 🧝‍♂️🏰සුභකිණ්ණය: ශරීරය පුරා පැතිරුණු සැපයක් ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

🌺​චතුර්ථ ධ්‍යාන භූමි:

10. 🧝‍♂️⛩️💒වේහප්ඵලය: ඉතා මහත් වූ ඵල ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

11. 🧝‍♂️🏯🕌අසඤ්ඤසත්තය: රූපය පමණක් ඇති, සිතක් නැති (සංඥා විරහිත) බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

🌺🧝‍♂️​ශුද්ධාවාස භූමි (අනාගාමී උතුමන් උපදින ස්ථාන):

12.🧝‍♂️🕍🏭 අවිහ: තම සැපයෙන් පිරිහීමට පත් නොවන බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

13.🧝‍♂️🕍⛩️ අතප්ප: කෙලෙස් තවන තැතිගැනීමක් නැති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

14. 🧝‍♂️🏰⛪සුදස්ස: මැනවින් පෙනෙන දර්ශන ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

15.🧝‍♂️🏬🏩 සුදස්සී: ඉතා පැහැදිලි දර්ශන ඇති බ්‍රහ්මයින් වෙසෙන ලෝකය.

16.🧝‍♂️⛪⛩️ අකනිට්ඨ: සියල්ලටම වඩා උසස්ම, කුඩා අය නොමැති (සියල්ලෝම ගුණයෙන් වැඩිමහල්) බ්‍රහ්ම ලෝකය.

​🧝‍♂️🏭🏯🏰🕍අරූපාවචර බ්‍රහ්ම ලෝක (04):

🏵💮​මෙහි බ්‍රහ්මයින්ට ශරීරයක් නැත, පවතින්නේ නාමය (සිත) පමණි. මේවා සක්වලේ ඉහළම තලයන් වේ.

🧝‍♂️🕍🏭​ආකාසානඤ්චායතනය: අහස කෙළවරක් නැතැයි යන ධ්‍යානය වඩා උපදින ලෝකය.

🧝‍♂️🕍⛩️​විඤ්ඤාණඤ්චායතනය: විඤ්ඤාණය කෙළවරක් නැතැයි යන ධ්‍යානය වඩා උපදින ලෝකය.

🧝‍♂️🕌🕍​ආකිඤ්චඤ්ඤායතනය: කිසිවක් නැතැයි යන ධ්‍යානය වඩා උපදින ලෝකය.

🧝‍♂️🏩🏪​නේවසඤ්ඤානාසඤ්ඤායතනය: සංඥාවක් ඇත්තේද නැත්තේද යන ඉතා සියුම් සිත් ඇති බ්‍රහ්මයින් වෙසෙන, සමස්ත ලෝකයේම ඉහළම තලය.

🌺🏩🕍🏯⛩️බ්‍රහ්ම ලෝක පිහිටා ඇති දුර ප්‍රමාණ:

☸️☸️ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වන පරිදි අවසාන දිව්‍ය තලය වන පරනිම්මිත වසවර්තියේ සිට යොදුන් පනස්පන් ලක්ෂ අනූදහසක් පමණ දුරින් බ්‍රහ්මපාරිසජ්ජය පිහිටා ඇත.බ්‍රහ්මපාරිසජ්ජයේ සිට යොදුන්
පනස්පන් ලක්ෂ අනූදහසක් දුරින් බ්‍රහ්ම පුරෝහිතය පිහිටා ඇත.ඒ ආකාරයට එක් බ්‍රහ්ම ලෝකයක සිට ඊට ඉහළින් පිහිටි ඊළඟ බ්‍රහ්ම ලෝකයට ඇති දුර යොදුන් පනස්පන් ලක්ෂ අනූදහසක්(5,590,000) බැගින් ඇති බව සදහන් වේ.

🌺🧝‍♂️🕍​මෙම දුර ප්‍රමාණය අරූපාවචර බ්‍රහ්ම ලෝක දක්වාම විහිදෙන බවත්, එම ලෝකයන් කෙතරම් සූක්ෂ්ම සහ විශාල දුරකින් පිහිටා තිබේද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

☸️☸️🌺ථේරවාදී ත්‍රිපිටකය, අටුවා සහ ටීකා මූලාශ්‍ර ඇසුරින් බ්‍රහ්ම ලෝක 20 පිළිබඳ ගැඹුරු විස්තරයක් පහත දැක්වේ.

​1. 🕍🧝‍♂️🏯⛩️බ්‍රහ්ම ලෝකවල උපදින ආකාරය (ධ්‍යාන මට්ටම් අනුව):

🧝‍♂️🧝‍♂️🙋‍♂️🙋‍♀️​බ්‍රහ්ම තලයක ඉපදීමට නම් මනුෂ්‍ය හෝ දිව්‍ය ලෝකවලදී "සමථ භාවනාව" මගින් රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන ලබාගත යුතුය. මරණින් මතු එම ධ්‍යාන ශක්තිය මත අදාළ බ්‍රහ්ම තලයේ "ඕපපාතිකව" උපත ලබයි.

❤🌺​ප්‍රථම ධ්‍යානය: (පිරිහී ගියොත්) බ්‍රහ්ම පාරිසජ්ජය, (මධ්‍යම) බ්‍රහ්ම පුරෝහිතය, (උසස්ම) මහා බ්‍රහ්මය.

💛🌺​ද්විතීයක ධ්‍යානය: පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය.

💚🌺​තෘතීයක ධ්‍යානය: පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්ණය.

💜🌺​චතුර්ථ ධ්‍යානය: වේහප්ඵලය, අසඤ්ඤසත්තය,ශුද්ධාවාස භූමි 5 (ශුද්ධාවාසවල උපදින්නේ අනාගාමී උතුමන් පමණි.
💛🌺අරූප ධ්‍යාන 4 වඩන අය අරූපී
බ්‍රහ්ම තල හතරේ උපදී.

​2.🧝‍♂️🧝‍♂️💫🌠⭐⚡ බ්‍රහ්මයන්ගේ ශක්තිය, ආලෝකය සහ බලය:

🧝‍♂️🧝‍♂️⚡💫​බ්‍රහ්මයන් යනු කාම රාගයෙන් තොර, අතිශය පිරිසිදු ආලෝකමය ශරීර සහිත සත්ව කොට්ඨාසයකි. පහළ බ්‍රහ්ම ලෝකවල සිට ඉහළට යන්නට යන්නට ඔවුන්ගේ ආයුෂ, ශරීර ප්‍රමාණය, ආලෝකය සහ ප්‍රඥාව අති විශාල ලෙස වැඩි වේ.

💫🌠⭐⚡💛​සක්වළවල් ආලෝකමත් කිරීමේ හැකියාව:

☸️​ඒ පිලිබද ධර්මයේ විස්තර වන්නේ මෙසේය:
🧝‍♂️⭐🌠💛බ්‍රහ්මයින්ගේ ආලෝකය කෙතරම් ප්‍රභාමත්ද යත්, ඔවුන් කැමති නම් තමන්ගේ ශරීරයෙන් විහිදෙන ආලෝකයෙන් මුළු සක්වළක්ම හෝ සක්වළවල් දහස් ගණනක් ආලෝකමත් කළ හැකිය. අටුවාවල සඳහන් වන පරිදි, මහා බ්‍රහ්මයෙකුට තමන්ගේ එක ඇඟිල්ලකින් එක් සක්වළක් බැගින් ඇඟිලි දහයෙන් සක්වළ දහසක් (සහස්සී ලෝකධාතුව) එකවර ආලෝකමත් කිරීමේ ශක්තිය පවතී.

🌠⭐🧝‍♂️⚡❤​බලයේ ස්වභාවය:

🧝‍♂️⭐❤⚡💛​මහා බ්‍රහ්මයාට සක්වළ දහසක් කෙරෙහි බලය පැවැත්විය හැකිය. නමුත් මොවුන් මැවුම්කරුවන් නොවේ; කර්ම ශක්තියෙන් උපන් අය වෙති.
💙💚​ශරීරයේ සියුම් බව: ඉහළ බ්‍රහ්ම තලයක බ්‍රහ්මයෙකු පහළ බ්‍රහ්ම තලයකට යන විට, පහළ බ්‍රහ්මයන්ට ඔහුව පෙනෙන්නේ නැත. එවිට ඉහළ බ්‍රහ්මයා තම ශරීරය "ඝන" (ඕළාරික) කරගත යුතුය.
​3.🧝‍♂️⭐❤බ්‍රහ්මයන් සතු ඤාණයන්
​බ්‍රහ්මයින්ට මනුෂ්‍යයන්ට වඩා උසස් ඥාන පවතී. ඒවා ප්‍රධාන වශයෙන් ධ්‍යාන මට්ටම් හරහා ලැබෙන අභිඥා වේ:

❤​දිව්‍ය චක්ඛු ඤාණය: ඉතා ඈත තිබෙන දේ සහ ඉතා සියුම් දේ දැකීමේ හැකියාව.

💜​දිව්‍ය සෝත ඤාණය: ඉතා ඈත තිබෙන ශබ්ද ඇසීමේ හැකියාව.

💛​පරචිත්ත විජාණන ඤාණය: අන් අයගේ සිත් හඳුනාගැනීමේ හැකියාව.

💚​ඉද්ධිවිධ ඤාණය: අහසින් යෑම, ජලය මත ඇවිදීම, ශරීරය මවා ගැනීම වැනි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව.

❤💖​සටහන: අරූපාවචර බ්‍රහ්මයන්ට ඇස්, කන් හෝ ශරීරයක් නැති බැවින් ඔවුන්ට රූප, ශබ්ද දැකීමේ හෝ ඇසීමේ ඥාන නැත. ඔවුන් පවතින්නේ නාමික (සිත) වශයෙන් පමණි.

💖💖විශේෂයෙන්ම "ශුද්ධාවාස" භූමිවල ඉන්නා බ්‍රහ්මයන්ට ලෝකෝත්තර ප්‍රඥාව (මාර්ග ඵල ඥාන) පවතින අතර, අනෙකුත් පෘථග්ජන බ්‍රහ්මයන්ට පවතින්නේ ලෞකික ඥාන පමණි.

🧝‍♂️💜💖අරූපාවචර බ්‍රහ්ම තල 4 (රූපයක් නැතිව විඤ්ඤාණය පමණක් පවතීද?)

🏯🏰🕍⛩️​අරූපී බ්‍රහ්ම තලවල රූපය (කය) කොහෙත්ම නැහැ. එහි පවතින්නේ "නාම" ධර්මයන් පමණයි. නාම ධර්ම කිව්වම විඤ්ඤාණය පමණක් නෙවෙයි, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ කියන නාම ස්කන්ධ හතරම එහි පවතිනවා.
🧝‍♂️👀👂👃👅​ඔවුන්ට ඇස්, කන්, ශරීර නැති නිසා රූප දැකීමක් හෝ ශබ්ද ඇසීමක් නැහැ.
​පවතින්නේ අතිශය සියුම් වූ මානසික ශක්තියක් පමණයි.

​🧝‍♂️⛩️🕍👃👂අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය (සඤ්ඤාව පමණක් පවතීද?)
​මෙහිදී අසඤ්ඤසත්ත කියන්නේ "සංඥාවක් නැති සත්වයන්" ඉන්නා ලෝකයයි.
​මෙහිදී පවතින්නේ රූපය පමණයි, සිත (විඤ්ඤාණය) නැහැ. (අරූපී ලෝකවලට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස්).
​ඒ බ්‍රහ්මයින් හරියට රන් පිළිමයක් වගේ එකම ඉරියව්වකින් ඉන්නවා. ඔවුන්ට වේදනාවක්, දැනීමක් හෝ සිතක් නැහැ.
​මෙය "හිස්" ලෝකයක් නෙවෙයි, රූප ස්කන්ධය පමණක් ඇති බ්‍රහ්මයින් එහි ඉන්නවා. ඔවුන්ගේ ධ්‍යාන ශක්තිය අවසන් වූ පසු නැවත එතැනින් චුත වී සිත උපදින තැනක (මනුලොව වැනි) උපදිනවා.

​3.🕍⛩️🧝‍♂️💜වේහප්ඵල බ්‍රහ්ම ලෝකය:

⛩️🕍🧝‍♂️​වේහප්ඵලය කියන්නේ රූපාවචර චතුර්ථ ධ්‍යාන භූමියක්.
​බ්‍රහ්ම රාජවරු: මෙහි ඉතා බලවත් බ්‍රහ්ම රාජවරු ඉන්නවා.
​ස්කන්ධ පහම පවතී: මෙහි සිත (සංඥා, විඤ්ඤාණ ආදී නාම ස්කන්ධ 4) වගේම ඉතා සියුම් ආලෝකමය රූපයත් පවතිනවා.
​පෘථග්ජන සත්වයන්ට යා හැකි ඉහළම රූපාවචර බ්‍රහ්ම ලෝකය මෙයයි. (මීට ඉහළින් ඇති ශුද්ධාවාසවල උපදින්නේ අනාගාමී උතුමන් පමණයි).

🧝‍♂️🕍⛩️💜​අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය ගැන සරලවම කිවහොත්, එහිදී එම සත්වයාගේ "විඤ්ඤාණය නිරුද්ධ වී" පවතිනවා. එනම් එම කාලය තුළ ඔවුන්ට විඤ්ඤාණයක් කොහේවත් පවතින්නේ නැහැ.
​මෙය පැහැදිලි කරගන්න පහත කරුණු උපකාරී වේවි:

​1. 💚❣💛විඤ්ඤාණය කොහේද තියෙන්නේ?

🕍⛩️💛​අසඤ්ඤසත්තයේ උපදින සත්වයාට එම ආත්මය පුරාවටම (කල්ප 500ක් පමණ) විඤ්ඤාණයක් නැත. එය කොහේ හෝ සැඟවී පවතින්නක් නෙවෙයි; එය සම්පූර්ණයෙන්ම නැවතී (නිරුද්ධ වී) පවතින තත්ත්වයකි.
​ඔවුන් එම භූමියට පැමිණෙන්නේම "සිත එපා" (සංඥා විරාග භාවනාව) කියා කළ අධිෂ්ඨානයක් සහ ධ්‍යාන බලයක් නිසයි.
​එබැවින් එහිදී පවතින්නේ රූප ජීවිතින්ද්‍රිය පමණි.

​2. 🕍⛩️🧝‍♂️🧡එසේ නම් නැවත සිතක් උපදින්නේ කොහොමද?

🕍⛩️🧝‍♂️💚​බ්‍රහ්ම ආයුෂ අවසන් වූ පසු, එම රූපය එතැනින් චුත වෙනවා. ඒ මොහොතේම පෙර කරන ලද කර්ම ශක්තියක් මුල් කරගෙන, සිත පිහිටිය හැකි වෙනත් තලයක (බොහෝ විට මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක) අලුත් විඤ්ඤාණයක් උපදිනවා.
​මෙය හරියට බැටරියක් ගලවා තැබූ ඔරලෝසුවක් වගෙයි. බැටරිය නැති කාලය තුළ ඔරලෝසුව වැඩ කරන්නේ නැහැ (විඤ්ඤාණය නැහැ). නමුත් නැවත බැටරියක් දැමූ සැණින් (වෙනත් භවයකට ගිය සැණින්) එය නැවත වැඩ කරන්න පටන් ගන්නවා.

​3.⛩️🧝‍♂️🕍❣💛එය "හිස්" තැනක් ලෙස පෙනෙන්නෙ ඇයි?
එහි සිතක් නැති නිසා ඔවුන්ට තමන් ඉන්නා බවවත්, ලෝකය ගැනවත් කිසිදු හැඟීමක් නැහැ.
​ඉරියව්ව: ඔවුන් ධ්‍යානයට සම වැදුණු ඉරියව්වෙන්ම (හිඳගෙන, සිටගෙන හෝ සැතපී) කල්ප ගණනාවක් නිසලව ඉන්නවා.
​දර්ශනය: දිව්‍ය චක්ඛු ලාභියෙකුට වුවත් පෙනෙන්නේ ඉතා ප්‍රභාමත්, රන්වන් පැහැති නිසල රූප සමූහයක් පමණයි.

❣❣​
​අසඤ්ඤසත්තයේදී විඤ්ඤාණය කොහේවත් ගබඩා වී නැහැ. එය තාවකාලිකව නැවතී පවතිනවා පමණයි. කර්ම ශක්තිය නිසා නැවතත් සිතක් උපදින්නේ ඔවුන් එම ලෝකයෙන් චුත වී කාම ලෝකයකට පැමිණි විටයි.

🧝‍♂️⛩️❣💛බ්‍රහ්ම ලෝකවල ආයුෂ:

☸️☸️❣ථේරවාදී බුදුදහමට අනුව බ්‍රහ්ම ලෝකවල ආයුෂ ගණනය කරනු ලබන්නේ "මහා කල්ප" වලිනි. ලෝකය විනාශ වී නැවත හටගැනීමට ගතවන සම්පූර්ණ කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ.
​පහළ සිට ඉහළට බ්‍රහ්ම ලෝක 20 හි ආයු කාලය මෙසේය:

​1.🧝‍♂️🕍⛩️💚රූපාවචර බ්‍රහ්ම ලෝක (16)
​ප්‍රථම ධ්‍යාන භූමි:

❤​බ්‍රහ්ම පාරිසජ්ජය: මහා කල්පයකින් 1/3 කි.
💛​බ්‍රහ්ම පුරෝහිතය: මහා කල්පයකින් 1/2 කි.
💜​මහා බ්‍රහ්මය: මහා කල්ප 1 කි.

🏵🌸​ද්විතීයක ධ්‍යාන භූමි:

💚​පරිත්තාභය: මහා කල්ප 2 කි.
💖​අප්පමාණාභය: මහා කල්ප 4 කි.
💗​ආභස්සරය: මහා කල්ප 8 කි. (ලෝක විනාශයේදී සත්වයන් බහුලව රැඳී සිටින්නේ මෙහිය)

💮🏵​තෘතීයක ධ්‍යාන භූමි:

🧡​පරිත්තසුභය: මහා කල්ප 16 කි.
❤​අප්පමාණසුභය: මහා කල්ප 32 කි.
💙​සුභකිණ්ණය: මහා කල්ප 64 කි.

🏵💮​චතුර්ථ ධ්‍යාන භූමි:

💛​වේහප්ඵලය: මහා කල්ප 500 කි.
💖​අසඤ්ඤසත්තය: මහා කල්ප 500 කි. (සිතක් නැතිව රූපය පමණක් පවතින කාලය)

🧝‍♂️🧝‍♀️💖⛩️🏯🕍​ශුද්ධාවාස භූමි (අනාගාමී උතුමන් සඳහා):

❤​අවිහ: මහා කල්ප 1,000 කි.
💙​අතප්ප: මහා කල්ප 2,000 කි.
💚​සුදස්ස: මහා කල්ප 4,000 කි.
💛​සුදස්සී: මහා කල්ප 8,000 කි.
💜​අකනිට්ඨ: මහා කල්ප 16,000 කි.
(සක්වල පවතින ඉහළම රූපී තලය)

​2.🕍🏯⛩️🧝‍♂️💖 අරූපාවචර බ්‍රහ්ම ලෝක (04)
​මෙහි ආයුෂ අති විශාලය. රූපයක් නොමැතිව සිත පමණක් පවතින බැවින් ලෝක විනාශයන් කිහිපයක් සිදු වුවද මොවුන්ට එය බලපාන්නේ නැත.

❤​ආකාසානඤ්චායතනය: මහා කල්ප 20,000 කි.
💛​විඤ්ඤාණඤ්චායතනය: මහා කල්ප 40,000 කි.
💜​ආකිඤ්චඤ්ඤායතනය: මහා කල්ප 60,000 කි.
💚​නේවසඤ්ඤානාසඤ්ඤායතනය: මහා කල්ප 84,000 කි. (මුළු සංසාරයේම සත්වයෙකුට උපත ලැබිය හැකි දීර්ඝතම ආයු කාලය මෙයයි)

💖❤​විශේෂ කරුණක්:
අරූපාවචර ලෝකවල අවුරුදු 84,000ක් නොව "මහා කල්ප" 84,000ක් පවතින බව විශේෂයෙන් මතක තබා ගත යුතුය. එක් මහා කල්පයක් යනු අපට සිතාගත නොහැකි තරම් අති විශාල කාල පරාසයකි.

☸️☸️බුදු දහමේ සදහන් වෙන එක සක්වලක් යනු
අපට පේන සීමාවට වඩා අති විශාල ලෙස පැතිරී පවතින ප්‍රදේශයකි.එක සක්වලකට මෙම බ්‍රහ්ම ලෝක/දිව්‍ය ලෝක/සතර අපාය ආදී තිස් එක් තලය සහ සක්වලක ප්‍රධාන පිහිටීම් වන මහා පඨවිය(මහ පොලොව)/මහාමේරු පර්වතය/සතර මහා සාගරය/සත්කුලු පර්වත/සතර මහා
දිවයින/සප්තමහා සාගර/චක්‍රවාල පර්වතය/ජල තලය/වා තලය යන සියලු
පිහිටීම් අයත් වේ.

💖💚එක සක්වලක් යනු මෙම පිහිටීම් වල එකතුවකටයි.මෙම
සක්වල පිහිටීම ස්වභාව ධර්මයේ සැබෑ
නිර්මාණය බැවින් එය නූතන විද්‍යාවේ හුදු අනුමාන සංකල්පයක් වන ගෝලාකාර පෘථිවි සංකල්පය ඇතුලු විශ්ව තොරතුරු වලට සමාන කල නොහැක.


#බඹලෝක

🌷පසේ බුදුරජාණන්වහන්සේ නිසාම පිපෙන       රං මල් 🌷මුලින්ම කියන්නම් "ගන්‍ධමාදන පර්වතය" ගැන.ගන්‍ධමාදන පර්වතය කියන්නේ හිමාලයේ...
25/12/2025

🌷පසේ බුදුරජාණන්වහන්සේ නිසාම පිපෙන රං මල් 🌷

මුලින්ම කියන්නම් "ගන්‍ධමාදන පර්වතය" ගැන.ගන්‍ධමාදන පර්වතය කියන්නේ හිමාලයේ තියෙන "සුළුකළු පර්වතය", "මහකළු පර්වතය", "නාවෙළුම", "සඳගැබ", "හිරුගැබ", "රන් පස", "හිමවත" යන පර්වත හතටත් එහා තියෙන පර්වතයක්.

ඒ පර්වතයේ නන්‍දමූලක කියන තැන පසේ බුදුවරයන් වසන තැනයි.

ඒ පර්වතයේ රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව කියලා ගුහා තුනක් තියෙනවා. ඒ මැණික් ගුහා දොරටුවේ යොදුනක් උස, යොදුනක් පළල ‘මඤ්ජූසක’ කියලා ගහක් තියෙනවා.(යොදුනක් කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 16ක්)

එම ගසෙහි දියෙහි හෝ ගොඩබිමෙහි හැමතැනකම මල් පිපේ.
පසේ බුදුවරයකු පැමිණෙන දින මල් පිපෙනු විශේශයෙන් පෙනේ. එහි අවට හැමතැන රන් මල් ඇත.

🏵️පිසදමන සේ හමායන සුළඟින් එහි කසල ඉවත් වෙයි.

🏵️මනාව එකලෙස හමන සුළඟින් සියළු රුවන්මය වැලිගොඩැලි සමතලා කරයි.

🏵️දියපොද මුසුව හමනා සුළගෙන් අනොතත්ත විලෙන් දිය ගෙනවුත් ඉසියි.

🏵️සුවඳවත් සුළඟින් හිමාලයෙහි සියළු සුවඳවත් ගස්වලින් සුවඳ ගෙන එයි.

🏵️එක්රැස් කරන්නා සේ හමන සුළඟින් මල් කඩා බිම හෙළයි.

🏵️අතුරා යන පරිදි හමන සුළඟින් ඒ මල් හැමතැන විසුරුවයි.

හැමවිටම එහි ආසන පනවා ඇත.පසේ බුදුවරයකු පහළවන දවසෙහි සහ උපෝසථ දවසෙහි ද සියළුම පසේ බුදුවරු රැස්ව ඒ ආසනවල හිඳගනිති.

එසේ පැමිණි කල (නව) පසේ බුදුවරයන් වහන්සේ එහි ගොස් පනවන ලද අසුනෙහි හිඳිති.

එමෙන්ම ඒ කාලයෙහි තවත් පසේ බුදුවරු පහළ වෙත්ද, උන්වහන්සේලාද රැස්වී පනවන ලද අසුන්වල හිඳිති. කුමන හෝ සමවතකට සමවැද නැගී සිටිති.

එහිදී වැඩිහිටි සංඝතෙරුන් වහන්සේ නවක පසේ බුදුවරයන් වහන්සේගෙන් සියළු පසේ බුදුවරුනට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේදැ’යි කමටහන විචාරති.

එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස කියති.

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
ඛග්ගවිසාණ සූත්‍ර වර්ණනාව
----------------------------------------------------------
#සිංහල #පසේබුදු

🌷පහසු කරගත් ශීලය / සැහැල්ලු වූ රන් කඳ 🌷කඤ්චනක්ඛන්‍ධ ජාතකයදිනක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට, එක්තරා ...
02/10/2025

🌷පහසු කරගත් ශීලය / සැහැල්ලු වූ රන් කඳ 🌷

කඤ්චනක්ඛන්‍ධ ජාතකය

දිනක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට, එක්තරා භික්ෂුවක් පිළිබඳව දැනගන්නට ලැබුණා. ඒ භික්ෂුව පැවිදි වූ සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙක්. ඔහුගේ ආචාර්ය උපාධ්‍යායවරු ඔහුට විවිධ ශීලයන් ගැන ඉගැන්වූවා.

"ඇවැත්නි, ශීලය යනු එක ආකාරයක්, දෙකක්, තුනක්, වශයෙන් දහයක් දක්වාම තිබෙනවා. ඒ වගේම චුල්ල ශීලය, මජ්ඣිම ශීලය, මහා ශීලය, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, පච්ච පටිසේවන ශීලය ආදී වශයෙන් බෙදෙනවා" යැයි ඔවුන් විස්තර කළා.

මෙතරම් විශාල ශීල සමූහයක් ගැන දැනගත් භික්ෂුව සිතුවේ, "මේ සිල් රැකීම ඉතාම අපහසුයි. මේ සියලු සිල් මට රකින්න බැහැ. පැවිදිව සිටීමෙන් ඇති ඵලයක් නැහැ. මම නැවත ගිහි වෙලා දානමාන දී පින් රැස් කර ගන්නවා. අඹු දරුවන් පෝෂණය කරමින් ජීවත් වෙනවා" කියායි.

ඉන්පසු ඔහු සිය ගුරුවරුන් වෙත ගොස්, "ස්වාමීනි, මට මේ සිල් රැකීමට බැහැ. නොහැකි නම් පැවිද්දෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මම සිවුරු අත්හරිනවා. ඔබ මේ පාත්‍රා සිවුරු භාර ගන්න" යැයි කීවා.

"එසේනම් ඇවැත්නි, ඔබ බුදුරජාණන් වහන්සේව වැඳලා යන්න" යැයි කියා ඔහුව බුදුරජාණන් වහන්සේ හමුවට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඔවුන් දුරදීම දැක, "මහණෙනි, අකමැති භික්ෂුවක් බලෙන් කැඳවාගෙන ආවෙද?" යැයි විමසූවා.

"ස්වාමීනි, මේ භික්ෂුව සිල් රැකීමට අපහසුයි කියා සිවුරු අත්හරින්න හදනවා. ඒ නිසා අපි ඔහුව මෙහි කැඳවාගෙන ආවා" යැයි ගුරුවරු කීවා.

බුදුරජාණන් වහන්සේ, "මහණෙනි, ඔබ මොහුට මෙතරම් බොහෝ සිල් කියා දුන්නේ ඇයි? මේ භික්ෂුවට රකින්න පුළුවන් ප්‍රමාණයක් පමණක් කියා දෙන්නට තිබුණා. දැන් ඔබ කටයුතු කිරීම නවත්වන්න. මම මේ ගැන දන්නවා" යැයි වදාළා.

ඉන්පසු උන්වහන්සේ භික්ෂුව අමතා, "මහණ, ඔබට බොහෝ සිල් අවශ්‍ය නැහැ. ඔබට සිල් තුනක් පමණක් රකින්න පුළුවන්ද?" යැයි විමසූවා.

"පුළුවන් ස්වාමීනි" යැයි භික්ෂුව පිළිතුරු දුන්නා.

"එසේනම්, ඔබ අද සිට කය, වචනය සහ මනස යන දොරටු තුන පමණක් ආරක්ෂා කරගන්න. කයින්, වචනයෙන් හෝ මනසින් කිසිදු පවක් කරන්න එපා. දැන් යන්න. සිවුරු අත්හරින්න එපා. මේ සිල් තුන පමණක්ම රකින්න" යැයි බුදුරජාණන් වහන්සේ පැවසුවා.

බුදුරජාණන් වහන්සේගේ වදන් ඇසූ භික්ෂුව අතිශයින් සතුටට පත් වී, "ස්වාමීනි, මම මේ සිල් තුන ආරක්ෂා කරනවා" යැයි පවසා, බුදුරජාණන් වහන්සේට වන්දනා කර සිය ගුරුවරුන් සමඟ ආපසු ගියා.

මෙම සිල් තුනම ප්‍රගුණ කළ භික්ෂුව තවදුරටත් කල්පනා කළා. "මගේ ගුරුවරු මට කියා දුන් ශීලයත් මේ තුනමයි. නමුත් බුදු නොවූ නිසා ඔවුන්ට ඒ බව මට අවබෝධ කරවන්න බැරි වුණා. නමුත් උත්තරීතර ධර්ම රාජයාණන් වන බුදුරජාණන් වහන්සේ සියලු සිල් මේ දොරටු තුනට ඇතුළත් කර අවබෝධ කරවූවා. සැබවින්ම බුදුරජාණන් වහන්සේ මට පිහිට වුණා" යැයි සිතා විදසුන් වඩමින් දින කිහිපයකින් රහත් බවට පත්වුණා.

මේ පුවත දැනගත් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවට රැස්වී, "අහෝ! මේ භික්ෂුව බොහෝ සිල් නිසා ගිහි වීමට සූදානම් වූ මොහොතේ, සියලු සිල් තුන් කොටසකට ඇතුළත් කර අවබෝධ කරවා බුදුරජාණන් වහන්සේ ඔහුව රහත් භාවයට පත් කළා. බුදුරජාණන් වහන්සේලා සැබවින්ම පුදුමාකාර මිනිසුන්" යැයි බුදුගුණ කතා කරමින් සිටියා.

එම ස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ, "මහණෙනි, දැන් කවර කතාවක්ද කියා සිටියේ?" යැයි විමසූ විට, "ස්වාමීනි, මේ කතාව ගැනයි" යැයි භික්ෂූන් පැහැදිලි කළා.

"මහණෙනි, විශාල බරක් වුවද කොටස් වශයෙන් බෙදා දුන් විට සැහැල්ලු ලෙස දැනෙනවා. පෙර භවයකදීත් නුවණැති අය විශාල රන් කඳක් ඔසවන්න බැරි වුණත්, කොටස් කර පහසුවෙන් ඔසවාගෙන ගියා" යැයි වදාළ බුදුරජාණන් වහන්සේ පෙර කතාවක් ගෙනහැර දැක්වූවා.

අතීත කතාව
ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයේ, බෝසතාණන් වහන්සේ කුඩා ගමක ගොවියෙක් ලෙස ජීවත් වුණා. දිනක් ඔහු කුඹුරක් සී සාමින් සිටියා. ඒ ගමේ සිටුවරයෙක් කළවා තරම් විශාල, අඩි හයක් දිග රන් කඳක් ඒ කුඹුරේ සඟවා මිය ගොස් තිබුණා. බෝසතුන්ගේ නගුල එහි පැටලුණා. මුලක් යැයි සිතා පස් ඉවත් කළ ඔහුට රන් කඳක් හමුවුණා. ඔහු එය දැක නැවත පස්වලින් වසා දමා, දවසම සී සා හිරු බැස ගිය පසු ගොනුන්, නගුල ආදිය පසෙකින් තබා රන් කඳ ගෙදර ගෙන යාමට උත්සාහ කළා.

නමුත් එය ඔසවා ගැනීමට නොහැකි වූ ඔහු, එය අසල හිඳ කල්පනා කළා. "මේ රන් කඳ කොටස් හතරකට බෙදනවා. එක කොටසක් ජීවන වියදම් සඳහා ගන්නවා. තවත් කොටසක් නිදන් කොට තබනවා. තවත් කොටසක් කර්මාන්ත සඳහා යොදනවා. ඉතිරි කොටස දානමාන ආදී පින්කම් සඳහා යොදනවා" යැයි ඔහු සිතුවා.

මෙසේ සිතා රන් කඳ කොටස් හතරකට බෙදාගත් පසු එය පුදුම සහගත ලෙස සැහැල්ලු වුණා. බෝසත්හු එය පහසුවෙන් ඔසවා ගෙදර ගෙන ගොස් කොටස් හතරට බෙදා දානමාන පිංකම් කර, තම කර්මානුරූපව මිය ගියා.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව අවසානයේ, සියලු දෙනා සඳහා පොදු වූ ගාථාවක් වදාළා:

“ නිවනට පැමිණෙනු සඳහා දුරුකළ නීවරණයන් ඇති සිතින් නිර්මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශල ධර්මයන් වඩා ද හෙතෙමේ සියලු රහත් ඵලයට පිළිවෙලින් පැමිණෙයි.”

මෙසේ බුදුරජාණන් වහන්සේ ජාතකය නිම කළා.

🙏💙🙏💛🙏💚🙏🧡🙏💜️🙏💙🙏💛🙏💚🙏🧡🙏

එකල රන් කඳ ලැබූ පුරුෂයා මෙදා බුදුරජානන් වහන්සේ විය..

📚 කඤ්චනක්ඛන්‍ධ ජාතකය

Address

Kandy

Telephone

+94713508098

Website

Alerts

Be the first to know and let us send you an email when බුදුරජාණන් වහන්සේගේ මහිමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to බුදුරජාණන් වහන්සේගේ මහිමය:

Share