11/04/2020
අගරදගුරු නික්ලස් මාකස්, පුංචි රෝමයෙන් බිහිකළ කාදිනල් කුරේගේ අනුප්‍රාප්තිකයා, මොක්සුව පතමු!!
ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවියට මෙන්ම කාදිනල් පදවියටද පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ කාදිනල් කුරේ හිමියන් සිය 75 වන උපන්දිනයට මාස තුනකට පෙර එනම් 1976 සැප්තැම්බර් 2 වෙනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වීය.
එය එතරම් මවිතයට කාරණයක් නොවිනි. මන්දයත් 6වන පාවුළු පාප්වහන්සේ 1966 දී යෝජනා සම්මතකල ආකාරයට රදගුරුවරයෙකු වයස 75වන විට විශ්‍රාමයෑම සම්බන්දයෙන් යම් සම්මතයක් එවකටත් ගොඩනැගී තිබුන නිසාය. එහෙත් මවිතයට කාරණයවුයේ ඊළගට ලංකාවේ අගරදගුරු ධුරයට පත්වෙන්නේ කවුරුන්ද යන්නය. කාදිනල් තෝමස් කුරේ හිමි යටතේ ඒවන විටද සහයක රදගුරුවරුන් වශයෙන් එඩ්මන්ඩ් ප්‍රනාන්දු රදගුරුවරයාද, ඔස්වල්ඩ් ගෝමස් රදගුරුවරයාද විය. ඊට අමතරව W.L.A. දොන් පීටර් මාහිමියන් සහ ජෝ ද මෙල් මාහිමියන්ද වුහ. මේ සිව්නම අතරින් කවරෙකු හෝ අගරදගුරුවරයා වශයෙන් පත්වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
රදගුරුවරයෙකු පත්කරනුයේ වතිකානුව මගින් වුවද ඒ සදහා සුදුස්සා සෙවීමට විශ්‍රාරාමික කදිනල්වරයාගෙන් හෝ අගරදගුරුවරයාගෙන් මෙන්ම බිෂොප්වරුන්ගේද (රදගුරුවරුන්) අදහස් විමසීම වතිකානු සභා සම්ප්‍රදායය. එහෙත් 1976 කාදිනල් කුරේ හිමියන් විශ්‍රාම ගිය පසුව ඒ අඩුව පිරවීම සදහා ඊලග අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට වතිකානුව ඊටත් එහා පිළිවෙතකට යොමුවිය.
ඒ අනුව එවකට ලංකාවේ වතිකානු තානාපති හිමියන්වූ කාලෝ කුරිස් අගරදගුරුවරයාගේ අත්සනින් නිකුත්කළ ලිපියකින් එකල කොලබ පදවියේ සේවයකල පියතුමන්ලාගෙන්ද, කන්‍යාරාමවල නායක කන්‍යා සොයුරියන්ගෙන්ද, ගිහි සභා නායක නායිකාවන්ගෙන්ද ඉල්ලා සිටියේ අගරදගුරු වශයෙන් පත්වීමට සුදුස්සන් තිදෙනෙකුගේ නම් සදහන් කර එවන ලෙසයි. ඒ අතරම කාලෝ කුරිස් අගරදගුරුවරයා විශ්‍රාමලත් කාදිනල් කුරේ හිමියන්ගෙන්ද, සහයක රදගුරුවරුන්ගෙන්ද, වෙන වෙනම නිර්දේශ ලබාගෙන ඇත.
කෙසේවුවද නව අගරදගුරුවරයෙක් පත්කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කලේ තවත් මාස කිහිපයකින් අනතුරුවය. එනම් කාදිනල් තෝමස් කුරේ විශ්‍රාම ගොස් මාස හයකටත් පසුවය. වතිකානුවේ තීරණය දැනුම්දීමට පෙර, එසේ තෝරාගත් තැනැත්තාගෙන් වතිකානුවේ තේරීම අනුව මෙම නව වගකීම බාරගැනීමට කැමැත්තේදැයි විමසනු ලැබේ. කොලබ පදවියේ අගරදගුරුවරයා වශයෙන් ධුරය බාරගන්නේදැයි කැමැත්ත විමසා ඇත්තේ එවකට රදගුරුවරයෙකුවත් නොවූ පියතුමෙකුගෙනි.
හේ නිකුලස් මාකස් ප්‍රනාන්දු නම් සාමාන්‍ය පියතුමේක් විය. 1959 දෙසැම්බර් 20වෙනිදා සිට පියතුමෙකු ලෙස සේවයකරමින් සිටි නිකුලස් මාකස් ප්‍රනාන්දු පියතුමා කොලබ සා. පීතර විදුහලේද, සා. ඇලෝසියස් දෙව්සත්හලේද උගන්වමින් මෙන්ම පසුව විදුහල්පති පියතුමන් ලෙසද කටයුතු කර තිබුනි. 1976 දී රෝමයෙන් Moral Theology විෂය සදහා ආචාර උපාධිය අත්කරගත් එතුමා අම්පිටිය ජාතික දෙව්සත්හලේ පුජක පුහුණු කටයුතුවල නිරතවෙමින් සිටියහ.
කොලබ අගරදගුරුවරයා ලෙස පත්වීමට කැමතිදැයි 1976 මාර්තු 21දින වතිකානුව ඔහුගෙන් විමසනවිටද ඔහු සිට ඇත්තේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ පැවැත්වීමට නියමිතව තිබු මාර්තු 25වෙනි දිනට යෙදෙන දේවමාතාවන්ට ගාබ්‍රියල් දේවදූතයා මංගලම්කීම සිහිපත්කරන මංගල්‍යයට සුදානම්වීමේ කටයුත්තකය. වතිකානුවේ විමසීමට නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාගේ පිළිතුරවී ඇත්තේ මරියාතුමියගේ පිළිතුරමය; එනම් ''ඔබ කී ලෙස මට සිදුවේවා"!!! යන්නය.
ඒ වන විට රදගුරුවරයෙක්වත් නොවූ නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමා ඒ අනුව 30/03/1976 දින කොලබ අගරදගුරුවරයා ලෙස ප්‍රකාශයට පත්කළේය. එසේ ප්‍රකාශයට පත්කරනවිටද රදගුරුවරයෙකු හෙවත් බිෂොප්වරයෙකුවත් නොවූ පියතුමෙකු පමනක්වූ නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාගේ ජයාරූපයක්වත් කොලබ කතෝලික මුද්‍රණාලයේ නොතිබි බවත්, ප්‍රදීපය පුවත්පතට ඔහුගේ ජයාරූපයක් සොයාගැනීමට පවා දුෂ්කරවූ බවත් කලක් එහි කතෘවරයෙකුවූ හෙක්ටර් වෙල්ගම්පොළ මහතා දක්වා තිබුණි. ඒතරමට අප්‍රකටව එහෙත් බොහෝදෙනාගේ ගෞවර ආදරය මැද සිය සේවය සිදුකල පියතුමෙකු ලෙස නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාව පිළිගෙන තිබුණි. කොලබ අගරදගුරුවරයා ලෙස පත්වීමට පෙර රදගුරුවරයෙකු ලෙස උසස් කරන ලද නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමා 1977 මැයි දෙවන දින කාදිනල් තෝමස් කුරේ හිමියන් අතින් රජගුරු අභිෂේකයට ඔසවන ලදී. සිංහලෙන් පැවති ප්‍රථම රජගුරු අභිෂේකයද එයය. ලංකාව තුල සහයක රදගුරුවරයෙකු හෝ රදගුරුවරයෙකු නොවී පියතුමෙක් වශයෙන් සිට කෙලින්ම අගරදගුරුවරයෙක් බවට පත්කල ප්‍රථමයාද ඔහුය. එයද ලාංකික සභා නායකයින්ගේද, කොලබ පදවියේ පියතුමන්ලාගේ සහ කන්‍යාරාම ප්‍රධාන කන්‍යා සොයුරියන්ගේ සහ ගිහි නායක නායිකාවන්ගේ මත විමසීමකින් අනතුරුව සිදුවූ පත්කිරීමක් තුලය. එමෙන්ම ලංකා කතෝලික සභා ඉතිහාසය තුල මෙතක් අගරදගුරුවරයා ලෙස පත්වීම ලැබූ ලාබාලම තැනැත්තා වන්නේද නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාය. ඔහු එම තනතුරට පත්වනවිට වයස අවුරුදු 44කි.
නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා මෙන්ම ඔහුට පෙර සිටි ලාංකික සභා නායකයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාද පුංචි රෝමය නම්වූ මීගමුවේ උපත ලැබූ තැනැත්තන්ය. තෝමස් කුරේ කාදිනල්තුමා මීගමුව පෙරියමුල්ල ග්‍රාමයේය. නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා මුන්නකරය ග්‍රාමයේය. 1932 දෙසැම්බර් 06 දින දරුවන් 8 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවෙනියා ලෙස උපත ලැබු නිකලස් මාකස් ප්‍රනාන්දු බිළිදාගේ දෙමාපියන් වුයේ කුරුකුලසූරිය විල්ප්‍ර්ට් සෙවනාරිස් ප්‍රනාන්දු මහතා සහ ලිලී මේරි මාග්‍රට් ප්‍රනාන්දු මහත්මියයි. මීගමුව මුන්නක්කරය ගම අයත්වුයේ මීගමුව මහවීදිය සාන්ත මරියා පල්ලියට. වසර 455ක් පරණයැයි සදහන් මීගමුව සා.මරියා පල්ලි ඉතිහාසය තුල 1932 දෙසැම්බර් 13වෙනි දින ''නිකලස් මාකස්'' ලෙස ක්‍රිස්තියානි කල 115 වෙනියා වී ඇත්තේ පසුව අගරගුරුවරයා වූ නිකුලස් මාකස් ප්‍රනාන්දුය.
මුන්නක්කරය දෙමළ ප්‍රාථමික පාසැලෙන් මුලික අධ්‍යාපනය ලැබූ එතුමා පසුව 1942 දී මීගමුව සා. මරියා විදුහලට ඇතුල්වී ඇත. එවකට සා. මරියා දේවස්ථානයේ මීසම්පාලක පියතුමාවූ සෙබස්තියන් පියතුමාගේ මගපෙන්වීම තුල 1945දී බොරැල්ල දෙව්සත්හලට ඇතුල්වී ඇතුල්වූ මෙතුමෝ දෙව්සත්හල තුලදීම 1953 දී London B.A. උපාධිය ලබාගත්හ. එතුමා දිගින් දිගටම ඉගැනීමේ දක්ෂතාවයන් ප්‍රදර්ශයනය කළ හෙයින්1954 දී රෝමයේ ‘ප්‍රොපගැන්ඩෆඩ්' මිෂනාරි සරසවියේ උසස් අධ්‍යාපනය සදහා යොමුකර ඇත. පුජාත්වරයා ලබා ගන්නේ එහි වසර පහක අධ්‍යාපනය නිමකොට පැමිණියාට පසුව 1959.12.26 දින කාදිනල් අගජිනියස්තුමන්ගේ අතිනි. ඉන් අනතුරුව බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ ගුරුවරයෙක් ලෙසද (1960-1963), බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙවිසත්හලේ ගුරුවරයෙකු සහ අධ්‍යක්ෂ පියතුමා ලෙසද කටයුතුකර ඇත. රෝමයේ ආචාර උපාධිය හදාරන්නට යන්නේ ඉන් අනතුරුව 1973දීය. ආචාර්ය උපාධිය සම්පුර්ණකර ලංකාවට පැමිණ අම්පිටිය ජාතික දෙව්සත්හලේ සේවය කරමින් සිටි පියතුමෙකුවූ එතුමා දේව කැදවීම මත රදගුරුවරයෙකු ලෙස පත්වීමට පෙර 1977 මාර්තු 21 අගරදගුරුවරයා ලෙස පත්වීම ලද්දාහ. ඇත්තවශයෙන්ම, මෙතුමා ප්‍රථමයෙන් අගරදගුරුවරයෙකු වී පසුව රදගුරුවරයෙකු හෙවත් බිෂොප්වරයෙකුවුයේ වූ තැනැත්තේකි. එතුමා රදගුරුවරයට ඔසවන ලද්දේ අගරදගුරුවී මාස දෙකකට පසුව එනම් 1977 මැයි 14 වන දිනය.
1977 සිට පුරා වසර 25ක් කොලබ අගරදගුරුවරයා ලෙස කටයුතුකල නිකුලස් මාකස් ප්‍රනාන්දුය අගරදගුරුතුමා 2002 වසරේ ජුලි 6වෙනි දින විශ්‍රාම යන ලදී. සිය ධුර කාලය තුලදී සභා නායකත්වය තුල ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කිරීමත්, දේශීය සභා දේහය තුල පුජක පුතුන් ගොඩ නැණවීම සහ ඔවුන් මෙහෙයවීමත් සිය කාර්යභාරය කරගත් නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා දයාව, කරුණාව, ඇහුම්කන්දීම සහ මගවීම සම්බන්දයෙන් මෙන්ම දක්ෂ පරිපාලකයෙකු ලෙසද විශිෂ්ඨ නමක් දිනාගෙන සිටියහ. සරල චාම් ජීවිතයක් ගතකල මෙතුමා බොහෝ පියතුමන්ලාට පිය කෙනෙකු මෙන්ම ජීවත්ව සිටින ශාන්තුවරයකු බදුවිය.
විශ්‍රාම යෑමෙන් අනතුරුව නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාද හිටපු කාදිනල් කුරේ හිමියන් මෙන් රාගම, තේ වත්තේ, ජාතික බැසිලිකාව අසළ පිහිටි ''එම්මාවුස්'' ආරාමයේ විසුහ. විශ්‍රාම ගියද කාදිනල් කුරේ හිමියන්ට මෙන්ම නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාටද අමුත්තන්ගෙන් මෙන්ම වැඩ කටයුතුවලින්ද අඩුවක් නොවිණි.
කාදිනල් කුරේ හිමියන් (1901-1988) මෙන්ම නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාද (1932-2020) පුංචි රෝමය නම් අපගේ මීගමුව බිහිකළ විශිෂ්ඨ යුගපුරුෂයන් දෙදෙනෙකි.
වසර 88 ක් ආයු වැළදු නිකුලස් මාකස් ප්‍රනාන්දු හිටපු අගරදගුරුතුමෝ ඊයේ,10/04/2020 දිනට යේදී තිබුන මහ සිකුරාදා මධ්‍යම රාත්‍රීයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාතනික ජීවනය සොයා අප අතරින් නික්ම ගියෝය.
එතුමන් හට මොක්සුව පතමු!!