27/08/2026
සම්බුදු තෙමඟුලෙන් පසු බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම උදෙසා තීරණාත්මක සිදුවීම් සමුදායකට මඟපෑදූ අතිපූජනීය නිකිණි පසළොස්වක පෝය දිනය අදයි.
තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව, උතුම් ශ්‍රී සද්ධර්මය නොනැසී ඉදිරි පරම්පරාවන් උදෙසා පවිත්‍රව පවත්වාගෙන යාමේ උතුම් අරමුණින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ අජාතසත්තු රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ අද වැනි පින්බර නිකිණි පුන් පෝ දිනකදීය.
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික මෙන්ම අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් සංගායනාවට පෙරදින රාත්‍රියේ උතුම් අරහත් ඵලයට පත්වීමත්, ඇසළ පෝයට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ සංඝරත්නය උදෙසා පසුවස් සමාදන් වීමට අවසර ලැබීමත්, බුදුරජාණන් වහන්සේගේ සුළුමව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පංචශතයක් මෙහෙණින් වහන්සේලා උතුම් පිරිණිවන් පෑමත් යන අතිශය සංවේදී මෙන්ම පූජනීය සිදුවීම් රැසකින් නිකිණි පෝය ශාසනික ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී ඇත.
ඔබ සැමට පින්බර නිකිණි පසළොස්වක පෝය දිනයක් වේවා! 🌕☸️✨
•
•
•