26/08/2026
ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක් නෙවෙයි; එය කැපකිරීමක්, ඉවසීමක් සහ බෙදාගැනීමක්. පවුල් ජීවිතයක සැබෑ ලස්සන රැඳී තිබෙන්නේ ලොකු ගෙවල්, යානවාහන හෝ ධනය මත නොව, එකිනෙකා කෙරෙහි දක්වන පිරිසිදු ආදරය රැකගනිමින්, එකිනෙකාගේ සතුට උදෙසා කැපවෙන තරමටයි.
ජේසු, මරියතුමිය සහ ජූසේ තුමාගෙන් සමන්විත වූ නාසරෙත්හි ශුද්ධ වූ පවුල තරම් "ආදරය රැකගෙන සතුට උපයන" තවත් උතුම් ආදර්ශයක් මුළු විශ්වයේම නෑ.
ජූසේ තුමා තමන්ගේ වෘත්තිය වූ වඩුවැඩයෙන් මහන්සි වී පවුල නඩත්තු කළ අතර, මරියතුමිය ආදරයෙන් හා නිහතමානීකමෙන් ගෘහයේ කටයුතු ඉටු කළාය. ඔවුන්ගේ ජීවිතයේ දුක් ගැහැට, අභියෝග රැසක් තිබුණද (බෙත්ලෙහෙමේ ඉපදීමේ සිට ඊජිප්තුවට පලායාම දක්වා), ඔවුන් එකිනෙකා කෙරෙහි වූ ආදරය හා දෙවියන් කෙරෙහි වූ විශ්වාසය අතහැරියේ නැත.
නාසරෙත්හි පවුල සතුට සෙව්වේ මුදල් හෝ භෞතික සැප සම්පත් තුළින් නෙවෙයි. ඔවුන් සතුට උපයා ගත්තේ එකිනෙකාට ආදරය කිරීමෙන්, එකට යාච්ඤා කිරීමෙන් සහ ජේසුස් සමිඳාණන්ව තම ජීවිතයේ කේන්ද්‍රය කරගැනීමෙනි.
අපගේ එදිනෙදා පවුල් ජීවිතයට මෙය සම්බන්ධ කරගන්නේ කෙසේද?
අද වේගවත් හා සංකීර්ණ ලෝකයේ අපේ පවුල්වල බොහෝ විට මතභේද, ආර්ථික පීඩනයන් සහ කාර්යබහුලකම් නිසා ආදරය හා සතුට ගිලිහී යාමට ඉඩ තිබේ. නමුත් නාසරෙත්හි පවුල දෙස බලමින් අපට අපගේ පවුල් ජීවිතය මෙසේ ලස්සන කරගත හැක:
අඩුපාඩු සහිත මිනිසුන් ලෙස එකිනෙකාට සමාව දීම, ඉවසීම සහ රහස් නොසඟවා විශ්වාසය රැකගැනීම තුළින් පවුලේ ආදරයේ පදනම ශක්තිමත් කරගත හැක.
සතුට යනු නිකම්ම ලැබෙන දෙයක් නොව, අප විසින්ම දිනපතා උපයාගත යුතු දෙයකි. කුඩා මොහොතක් හෝ එකට ගතකිරීම, එකට ආහාර ගැනීම, දුක සැප බෙදාගැනීම සහ එකිනෙකාගේ ජයග්‍රහණ අගය කිරීම තුළින් ඒ සතුට පවුල තුළ ගොඩනැඟිය හැක.
ශුද්ධ වූ පවුල මෙන් අපගේ පවුල තුළත් ආත්මිකත්වයට සහ යාච්ඤාවට මුල් තැන දෙන විට, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය පවුලට ලැබේ.
ජීවිතය සැබවින්ම ලස්සන වන්නේ අප සතුව ඇති දේවල් ප්‍රමාණය මත නොව, අප පවුල තුළ රැකගන්නා ආදරයේ සහ උපයාගන්නා සතුටේ ප්‍රමාණය මතමය. නාසරෙත්හි ශුද්ධ වූ පවුලේ ආදර්ශය ගනිමින්, අපගේ පවුල්ද ආදරය හා සතුට පිරුණු පාරාදීසයන් බවට පත්කර ගැනීමට වෙහෙසෙමු.
Api Jesuge අපි ජේසුගේ
26th August 2026