20/09/2021
*බිනර පුර පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම*
🍃🌼මහා ප්රජාපතී ගෝතමී දේවිය පැවිදි වීම.
🍃🌼භික්ෂුණී ශාසනය ආරම්භ වීම.
🍃🌼අෂ්ඨ ගරු ධර්ම පැනවීම.
🍃🌼තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන්වහන්සේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඩු සෑය ඉදි කිරීම.
🍃🌼බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැනපත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉඳි කිරීම.
එක් කාළයක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කළ සේක.
එහි පැමිණි මහා ප්රජාපතී ගෝතමී දේවිය බුදුපියාණන් වහන්සේට වන්දනා කොට එකත් පසෙකට වූණා ය. ඇය බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පණවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන් හටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි.”
බුදු රජාණන් වහන්සේ ප‍්‍රජාපතී ගෝතමී දේවියට මෙසේ දේශනා කළ සේක.
*“අලං ගෝතමී, මා තේ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”*
_“නැත ගෝතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන් හට ගිහි ගෙය අතහැර පැවිදි උපසම්පදාව ලැබීම ගැන ඔබ හට රුචි නොවේවා!”_
මහා ප්රජාපතී ගෝතමී දේවිය විසින් තුන් වරක් ම බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේදීම එය ප‍්‍රතික්ෂේප කළහ.
එවිට මහා ප්රජාපතී ගෝතමී දේවියගේ සිතේ ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදා වීම ප‍්‍රතික්ෂේප කරනවා නේද?’ යි විශාල දුකක් දොම්නසක් හට ගන්නට විය. කඳුළු පිරි මුහුණින් බුදුරජාණන් වහන්සේට හඬ හඬා වන්දනා කළ ඇය භාග්‍යවතුන් වහන්සේව ප‍්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය.
ඉන්පසුව අපගේ බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවර කැමතිතාක් කල් වැඩ වාසය කොට, විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාව වෙත වැඩම කළ සේක.
මහා ප්රජාපතී ගෝතමී දේවිය බුදු සසුනේ පැවිදි බව අපේක්ෂාවෙන් සිටිනා තවත් ශාක්‍ය බිසෝවරු පන්සියයක් සමඟ දිගු හිසකෙස් කපා දමා හිස මුඩුකර ගත්තාය. වර්ණවත් සළුපිළි උනාදමා කාසාය වස්ත‍්‍ර හැඳ ගත්තාය. සියළුදෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදිබව අයදින අදහසින් විශාලා මහ නුවර කූටාගාර ශාලාවට පැමිණියෝ ය.
කඳුළු පිරි දොම්නස් සහගත මුහුණින් දොරටුව අසල සිටිනා මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස ආනන්ද තෙරුන් වහන්සේගේ නෙත ගැටුණි. ආනන්ද තෙරුන් වහන්සේ ඒ පිරිස දෙසට සමීප වෙත්ම ඔවුන්ගේ ඉදිමී පැලී ගිය දෙපා, දුහුවිලි වැකුණු සිරුරු දැක මහත් සංවේගයෙන් යුතුව මෙසේ විමසූහ.
“පින්වත් ගෝතමී දේවියනි, ඇයි මේ? ඔබලා සියළු දෙනාම අතිශයින්ම වෙහෙසී, කුමන කරුණක් නිසා මෙසේ දොම්නස්ව සිටිනවාද?”
ආනන්ද තෙරුන් වහන්සේට වන්දනා කළ ගෝතමී දේවිය “ආනන්දයන් වහන්ස, එය එසේම යි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදුසසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදීම ගැන අපි මහත් සේ දොම්නස්වයි පසු වන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේව සොයා විශාලාවේ සිට මෙතෙක් දුර පා ගමනින්මයි පැමිණියේ” යි පිළිතුරු දුන්නාය.
ආනන්ද තෙරුන් වහන්සේ මොහොතක් නිහඬව සිට මෙසේ කීය. “එසේනම් පින්වත් ගෝතමී දේවියනි, මොහොතක් ඉවසනු මැනවි. මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන් හට බුදුසසුනේ පැවිදි උපසම්පදාව අයැද සිටින්නම්. මා පැමිණෙන තෙක් මෙහි රැඳෙනු මැනවි”
ඉන් පසුව ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවට වැඩම කොට, වන්දනා කොට එකත්පසෙක වැඩ සිටයහ. එකත්පසෙක හුන් ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් පමණ දෙනා විශාලාවේ සිට මෙහි පා ගමනින්ම පැමිණ තථාගතයන් වහන්සේ වෙතින් කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදුන්නේ යැයි හඬමින් දොරටුව අසළ පසු වේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන් හටත් මේ ධර්ම විනය තුළ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන්නේ නම් මැනවි” ඉල්ලා සිටියේය.
“ආනන්දයෙනි, තථාගතයන් වහන්සේගේ ධර්ම විනය තුළ කාන්තාවන්ගේ අනගාරික පැවිදි උපසම්පදාව ගැන ඔබ හට රුචි නොවේවා!” යි බුදු රජාණන් වහන්සේ වදාළ සේක. මේ අයුරින් ආනන්ද තෙරුන් වහන්සේ විසිනුත් තුන් වරක්ම ඉල්ලා සිටියත් භාග්‍යවතුන් වහන්සේ පෙර සේම ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සේක.
එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ සිතුනි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ගේ පැවිදි බව තෙවරක්ම ප‍්‍රතික්ෂේප කළ සේක. එසේනම් මා විසින් මේ ගැන වෙනත් අයුරකින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිය යුතුයි’ යළිත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා කාන්තාවක් හට මාර්ගඵල සාක්ෂාත් කිරීම සිදුකළ නොහැකිද?”
*“භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්ති ඵලම්පි සකදාගාමී ඵලම්පි අනාගාමී ඵලම්පි අරහත්තම්පි සච්ඡිකාතුන්ති”*
_“ආනන්දය, සිදු විය හැකියි. ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවකට සෝවාන්ඵලය ද සාක්ෂාත් කළ හැකියි. සකදාගාමීඵලය ද සාක්ෂාත් කළ හැකියි. අනාගාමීඵලය ද සාක්ෂාත් කළ හැකියි. අර්හත්වය ද සාක්ෂාත් කළ හැකියි, යන කරුණ සිදුවිය හැකියි.”_ බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.
එවිට ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියේ ය.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවකට සෝවාන්ඵලය ද සාක්ෂාත් කරන්නේය, සකදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අර්හත්වය ද සාක්ෂාත් කරන්නේය, යන කරුණ සිදුවිය හැකි දෙයක්ම නම්, කාන්තාවන් හට මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව අනුදැන වදාරණ සේක්වා! ස්වාමීනී මහා ප්රජාපතී ගෝතමී දේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියෝ ය. කුඩා කල කවා පොවා නහවා ඇති දැඩි කරන ලද්දීය. පෝෂණය කරන ලද්දීය. මෑණියන් මියගිය කල්හී කිරි පොවන ලද්දීය. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් හට මේ බුදු සසුනේ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන සේක්වා!”
“යහපති, ආනන්දයෙනි, මහා ප‍්‍රජාපතී ගෝතමිය විසින් මේ අෂ්ඨ ගරු ධර්ම පිළිගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේ ය.” යැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් වහන්සේ හට දේශනා කළ සේක.
ඒ ගරු ධර්ම අට වන්නේ:-
_1. උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_2. භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීම ත්, අවවාද ලැබීමට එළඹීම ත් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_4. වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසිදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_5. බරපතල ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_6. දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_7. භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුත්තේ ය. පරිභව නොකළ යුත්තේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
_8. ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._
බුදුරජාණන් වහන්සේ මේ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට දේශනා කර මෙසේ වදාළ සේක.
“ආනන්දය ප‍්‍රජාපතී ගෝතමිය විසින් මේ ගරු ධර්ම අට පිළි ගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේය”
ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබාගෙන ප‍්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසී ය.
“ගෝතමී දේවියනි, ඔබ මේ අෂ්ඨ ගරුධර්මයන් පිළිගන්නේ නම් එයම ඔබ හට උපසම්පදාව වන්නේය.”
ඒ මොහොතෙහි අධික ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද තෙරුන් හට මෙසේ කීවා. “ස්වාමීනී, ආනන්ද තෙරුන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” එයත් සමඟම එය මහා ප්රජාපතී ගෝතමී දේවියගේ පැවිද්දත් උපසම්පදාවත් එයම විය.
ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහා ප‍්‍රජාපතී ගෝතමීය අෂ්ඨ ගරුධර්ම පිළිගෙන උපසම්පදාව ලැබුවා” යැයි දන්වා සිටියහ. මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ඒ මොහොතේ මෙසේ දේශනා කළ සේක.
“ආනන්දයෙනි, කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව නොලද්දේ නම් මේ බුදු සසුන චිරාත් කල් පවතින්නේය. අවුරුදු දහසක්ම පවතින්නේය. එනමුත් ආනන්දයෙනි” කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව ලැබූ නිසා මේ සසුනේ චිර පැවැත්ම පිරිහී ගියේය. දැන් මෙතැන් සිට පන්සිය වසරක්ම ශාසනයේ පැවැත්ම වන්නේ ය.
ආනන්දයෙනි, ස්ත‍්‍රීන් බොහෝ ඇති පුරුෂයන් අල්ප වූ නිවසක් ඇතුළේ පහන් දල්වාගෙන, රාත‍්‍රියේ සොරකම් කරනා සොරු විසින් පහසුවෙන්ම ආක‍්‍රමණය කරන්නේ යම් සේද, ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.
ආනන්දයෙනි, හැල් වී කෙතක “සේතට්ඨිකා” නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ හැල් වී කෙත වැනසී යන්නේ යම් සේද, උක් වත්තක “මංජෙට්ඨිකා” නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ උක් වගාව වැනසී යන්නේ යම් සේද, ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.
එනමුත් ආනන්දයෙනි, පුරුෂයෙක් විසින් දිය පිරි තටාකයක ජලය පිටතට නොයෑම පිණිස කල් ඇතුවම නියර බඳින්නේ යම් සේද මා විසින් ශාසනයේ රැකවරණය පිණිස කල් ඇතුවම අෂ්ඨ ගරු ධර්මයෝ පණවන ලද්දේය.”
මෙසේ ගෞතම සම්බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලැබී භික්ෂුණී සංඝයා ආරම්භ වූයේ සොඳුරු වස්සාන සමයේ උදාවන උතුම් වූ බිනර පුන් පොහෝ දිනයේ දීය.
අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අෂ්ඨ ගරුධර්ම සහිතව ලබාදුන් පැවිදි උපසම්පදාව නිසා ගෞතම බුදු සසුනේ සිව් වනක් පිරිසම සෝභමාන කරවන භික්ෂුණී මහා ප‍්‍රජාපතී ගෞතමී රහත් තෙරණින් වහන්සේ, ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ, උප්පලවණ්ණා රහත් තෙරණින් වහන්සේ, අම්බපාලී රහත් තෙරණින් වහන්සේ, යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ, පටාචාරා රහත් තෙරණින් වහන්සේ ආදී රහත් තෙරණින් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේලා බිහි වූහ.
වස් කාලයේදී ආරාමවලින්, ලෙන්වලින්, වන සෙන්සුන් වලින් බැහැර නොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේදී ශාසනික ආගමික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් සිදුකරනු ලැබේ. එදා අපේ යතිවරුන්ගේ අතින් ධර්ම ග්‍රන්ථ බහුල වශයෙන් බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදීය.
අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මයට අනුවම දිවිගෙවනා භික්ෂුවක් වේවා! භික්ෂුණියක් වේවා! උපාසකයෙකු වේවා! උපාසිකාවක් වේවා! ඔවුන් සංඝයාව සෝභමාන කරනා බවයි.
මෙවැනි උතුම් ශාසනික වශයෙන් වැදගත් දිනයක් වන බිනර පුන් පොහෝ දින පෙහෙවස් සමාදන් වූ පිංවත් ඔබත් ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම අනුගමනය කරමින් සසරින් එතෙර වන්නට අධිෂ්ඨාන කර ගන්න.
තෙරුවන් සරණයි.
තපෝවනයේ රතන ස්ථවිර
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර.