NDT සඳහම් සිසිල-Buddhist SubCommittee

NDT සඳහම් සිසිල-Buddhist SubCommittee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NDT සඳහම් සිසිල-Buddhist SubCommittee, Religious organisation, diyagama, Homagama.

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා  !!!නිකිණි පොහෝ දිනයේ වැදගත්කම . # ආනන්ද හිමියන් උතුම් අරහත්භාවයට පත්වීම. # ප්‍රථම ධර්ම ස...
11/08/2022

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !!!

නිකිණි පොහෝ දිනයේ වැදගත්කම .
# ආනන්ද හිමියන් උතුම් අරහත්භාවයට පත්වීම.
# ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම.
# පෙරවස් මගහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම.
# සේරැවිල මංගල සෑය සෑදීමට ආරම්භ කිරීම.
# දළදා පෙරහැර පැවැත්වීම.

උතුම් පොසොන් පොහොය අදයි!                                                        “…නුඹගේ මනහර රූ දුටු හෙයින් ඇස් ලද්දමෝ න...
14/06/2022

උතුම් පොසොන් පොහොය අදයි!

“…නුඹගේ මනහර රූ දුටු හෙයින් ඇස් ලද්දමෝ නම් අපි මැ ය. නුඹගේ කන්කලු බස් ඇස් හෙයින් කන් ලද්දමෝ නම් අපි මැ ය. නුඹගේ ගුණයෙහි මිහිරි විඳිනා හෙයින් සිත් ලද්දමෝ නම් අපි මැ ය…. මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා නුඹ සරණ යම්හ...” (බුත්සරණ)

අද දින වැදගත්කම;

• අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ඉත්ථිය, උත්ථිය, සම්බල, බද්දසාල මහරහතන් වහන්සේලා ලක්දිවට බුදුදහම රැගෙන පැමිණීම සහ ලක්දිව බුදු සසුන පිහිටු වීම.

• ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම මහණ උපසම්පදාව සිදු කිරීම.

• බුදු බව ලබා රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කළ බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ඝණ රැස් විහිදීම.

• දේවානම්පියතිස්ස රජු සමඟ 40.000 ක් පමණ පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යෑම.

• සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට පැමිණි දෙවියන්ට මහින්ද මහ රහතන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම.

අද දින වැදගත් සිදුවීම් ය.

14/06/2022
චන්දෝ යථා විගතවලාහකේ නභේ විරෝචති වීතමලෝව භාණුමා ඒවම්පි අංගීරස ත්වං මහාමුනි අතිරෝචසි යසසා සබ්බලෝකන්ති.“වළාකුළු පහව ගිය අහ...
15/05/2022

චන්දෝ යථා විගතවලාහකේ නභේ විරෝචති වීතමලෝව භාණුමා
ඒවම්පි අංගීරස ත්වං මහාමුනි අතිරෝචසි යසසා සබ්බලෝකන්ති.

“වළාකුළු පහව ගිය අහසේ නැගී දිළෙන පුන් සඳ මඬලක් මෙන්, නිර්මලව රැස් විහිදා බබලන හිරු මඬලක් මෙන්, අංගීරස වූ මහා මුනි රජාණෙනි, ඔබ වහන්සේ ඒ අයුරින් ම සියලු ලොව අභිබවා යසසින් බබලන සේක.''

(ගග්ගරා සූත්‍රය - සගාථ වග්ගය - සංයුත්ත නිකාය)

සුපින්බර වෙසක් මංගල්‍යයක් වේ වා!!!

🙏🙏🙏
15/05/2022

🙏🙏🙏

මේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින යුගයයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මහා භද්‍...
17/01/2022

මේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින යුගයයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිව් වැනි බුදුරජාණන් වහන්සේය. සැදැහැබර සිතින් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසට අනුස්මරණීය වූ සිදුවීම් සෑම පුරපසළොස්වක පුන් පොහෝ දිනයකම යෙදී තිබේ.

අඳුරු අහස් ගැබේ පූර්ණ චන්ද්‍රයා නැගෙමින් දුරුතු පුන් පොහෝ දිනයයි මේ උදා වුණේ. පින්බර දුරුතු පොහොය ලක්වාසී බෞද්ධ සැදැහැවතුන් හට සාදුකාර නංවමින් සතුටු විය යුතු දිනයක්.

සිද්ධාර්ථ ගෞතම අපගේ මහාබෝසතාණන් වහන්සේ ගයාවේ නේරංජරා නදිය අසබඩ බෝධි වෘක්ෂයේ සෙවණ යට හිඳිමින් තිලොවම ජයගත්තේ වෙසක් පොහෝ දිනයකයි. ඉන් දෙමසකට පසු බරණැස ඉසිපතන මිගදායේදී ඇසළ පොහෝ දිනයක ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කොට වදාළා. ඒ මිගදාය වනයේදීම ප්‍රථම රහතන් වහන්සේලා හැට නම බිහිකොට වදාළා. අනතුරුව ඒ රහතන් වහන්සේලා දහම් චාරිකාව පිණිස පිටත් කොට ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දහසක් ජටිලයින් දමනය කිරීම පිණිස උරුවේල දනව්ව වෙත වැඩම කොට වදාළා.

උරුවේල කාශ්‍යප කියන්නේ පන්සියයක් ජටිල පිරිසක ආචාර්යවරයා. අපගේ ශාස්තෘන් වහන්සේ මුලින්ම වැඩම කළේ මේ උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමය වෙතටයි. මේ ආශ්‍රමයේ තිබූ ගිනිහල් ගෙයට වැඩම කළ අනන්ත සෘද්ධි ඇති අපගේ බුදුරජාණන් වහන්සේ එහිදී අපලාල නම් ආනුභාව සම්පන්න නාග රාජයෙකුව දමනය කොට වදාළා. ඒ මහා වික්‍රමය දැකලාවත් ඒ ජටිල පිරිසට සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පැහැදුණේ නැහැ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ සසරේ කළ පින් ඇති ජටිල පිරිස කෙරෙහි අනුකම්පාවෙන් ඒ අසළ වන පියසේ වැඩ සිටියා.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ජටිල පිරිස දමනය කරන අදහසින් නොයෙක් සෘද්ධීන් දිනපතාම සිදු කරනු ලැබුවා. ඒ අතරේ කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයේ විශාල යාගයක් කිරීමට කටයුතු සංවිධානය වුණා. ඒ යාගයට උරුවේල කාශ්‍යප ජටිලයාට පැහැදුණු ගිහි පිරිස විශාල වශයෙන් පැමිණෙනවා. ලාභ සත්කාර වලට ගිජු කමින් උරුවේල කාශ්‍යපට මෙහෙම හිතුණා.

“දැන් හෙට යාගයට විශාල යාගයට බොහෝ දායක පිරිසක් ආශ්‍රමයට එනවා. මේ ශ්‍රමණ භවත් ගෞතමයනුත් මේ අසළ වනයේ තමයි ඉන්නේ. හෙට මහා ජනකාය මැද උන්වහන්සේ සෘද්ධියක් එහෙම පෙන්වූවෝතින්, හපොයි ! මගේ ලාභයන් ඔක්කොම පිරීහීයාවි. ඒ නිසා හෙට දවසේ ඒ මහා ශ්‍රමණයා මෙහෙ එන්නේ නැත්නම් කොච්චර හොඳද?”

පරසිත් කියවීමට අතිශයින්ම දක්ෂ වූ බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ මේ සිතුවිල්ල දැක වදාළා. ඒ අනුව උන්වහන්සේ පසු දිනයේ ජටිල ආශ්‍රමයට වැඩම නොකොට උතුරුකුරු දිවයිනට වැඩම කළා. එහිදී ලබාගත් පිණ්ඩපාතය අනවතප්ත විල් තෙරදී වළඳා දිවා විහරණයෙන් වැඩ සිටි ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ මහා කරුණා ඇසින් මේ පින්බර දිවයින දැක වදාළා.

එදා දුරුතු මස පුන්පොහෝ දිනයක්. අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධත්වයෙන් අටමසක් ඉක්ම ගිය ඒ පින්බර දිනයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණෝ ප්‍රථම වරට මේ ලක් දෙරණට වැඩම කොට වදාළ සේක.

ඒ වන විට මේ ලංකාද්වීපය යක්ෂයින්ගේ ග්‍රහණයට ලක් වී තිබුණා. එදින මනෝරම්‍ය වූ මහවැලි ගඟ අසබඩ පිහිටි මහානාග වනය නම් ස්ථානයේ යක්ෂයින්ගේ මහා සභාවක් රැස්වී සිටියා. පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂ සමාගමයට ඉහළ අහසේ පළඟක් බැඳගෙන වැඩ සිටියා. මහා භයානක වර්ෂාවන් ඇති කළා. ඝණ අන්ධකාරයක් ඇති කොට වදාළා. රැස්ව සිටි සියළු යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේගේ මහා ආනුභාවය අභියස තැති ගත්තා, ලොමුඩහ ගත්තා, බියෙන් වෙවුලමින් ඒ සියළු යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අභය දානය ඉල්ලා සිටියා.

ඒ මහා අන්ධකාරය දුරුකරවූ බුදුරජාණන් වහන්සේ “එම්බා යක්ෂයෙනි, මම තොපගේ භය පහ කරවමි. තොප සමඟි වී මා හට හිඳගැනීමට ඉඩක් සැකසිය යුතුය”යි පවසා වදාළා. බියෙන් තැති ගෙන සිටිය යක්ෂයෝ “නිදුකාණෙනි, කුඩා ඉඩක් නොව ඔබවහන්සේට මේ ලක්දිවම දෙමි”යි කියමින් ඉඩ සලසා දුන්නා. ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වන සම්මා සම්බුදුරජාණෝ ඒ මොහොතේ ප්‍රථම වතාවට මේ ලක් දෙරණ ස්පර්ශ කරමින් පත්කඩය එලා ඒ මත වැඩ සිටියා.

මොහොතකින් ඒ පත්කඩය ගිනිගෙන ටිකෙන් ටික පුළුල් වෙන්න පටන් ගත්තා. යක්ෂයෝ තැතිගෙන හිස් ලූ ලූ අත පලායන්ට වුණා. මේ ලක් දෙරණම වසාගෙන ඒ ගින්න පතුරුවා වදාළා. සියළු යක්ෂයෝ තැතිගෙන දුවවිත් වෙරළ අසළට වී නැවතුණා. එවිට සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ රම්‍ය වූ ගිරි දිවයින සෘද්ධි බලයෙන් ලංකාද්වීපය අසලට රැගෙන ආවා. බියපත්ව සිටි සියළු යක්ෂයෝ රැකවරණය පිණිස ඒ දිවයිනට ගොඩ වෙන්ට වුණා. සියළු යක්ෂයින් ගොඩ වූ පසු භාග්‍යවතුන් වහන්සේ යළිත් ඒ ගිරි දිවයින තිබූ තැනටම ගෙන ගියා. මේ අයුරින් පින්බර දුරුතු පොහෝ දිනයේ මේ සොඳුරු දිවයින ශාස්තෘන් වහන්සේ විසින් පවිත්‍රවත් කොට වදාළා.

යළිත් පත්කඩය හැකිලූ කල්හී ඒ මහා ඉසිවර බුදුසමිඳුන් දකිනු පිණිස බොහෝ දෙවි දේවතාවෝ ඒ මහා නාග වන පියසට ඒකරාශී වුණා. බුදුරජාණන් වහන්සේ ඔවුන් හට ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළා. බොහෝ දෙවිවරුන් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් වුණා. සමන්තකූට නම් පර්වත වාසී මහා සුමනසමන් දිව්‍ය රාජයාද ඒ සම්බුදු බණ පද අසා සෝවාන් ඵලයට පත් වීමේ වාසනාව ලැබුවා. ඒ දිව්‍ය රාජයා වන්දනාමාන කිරීම පිණිස පූජනීය වස්තුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ නීලවර්ණ කේශකලාපය පිරිමැද බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ට කේශධාතු මිටක් ප්‍රදානය කොට වදාළා.

ඒ සැදැහැවත් සුමන සමන් දෙවියන් විසින් ඒ කේශ ධාතූන් වහන්සේලා රන්මය කරඬුවකින් පිළිගෙන, ශාස්තෘන් වහන්සේ වැඩ සිටි භූමියේ නා නා විධ මැණික් අතුරා, ඒ මත ධාතූන් වහන්සේලා සහිත කරඬුව වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්‍ය වලින් ඒ සියල්ල වැසෙන පරිදි සත් රියනක් උස දාගැබක් ඉදිකරනු ලැබුවේත් ඒ සුමන සමන් දිව්‍ය රාජයා විසින්මයි. ඒ තමයි ලක් දෙරණේ ඉදි වූ පළමු දා ගැබ වන්නේ. පසු කලෙක සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී ඒ සම්බුදු සිරුර දැවෙමින් තිබියදීම සෘද්ධි බලයෙන් ගත් ග්‍රීවා ධාතූන් වහන්සේලා ද තැනපත් කොට සරභූ මහරහතන් වහන්සේ විසින් දොලොස් රියනක් උසැති මේදවර්ණ පාෂාණමය දාගැබක් ඉදිකරනු ලැබුවා. අනතුරුව එයත් වැසෙන පරිදි උද්ධ චූලාභය රජු විසින් තිස්රියන් දාගැබක් ඉදිකරනු ලැබුවා. ඉන් සිය වසරකට පමණ පසු දුටුගැමුණු නරේන්ද්‍රයන් විසින් අසූ රියනක් උසැති මහා දාගැබක් ඉදි කරනු ලැබුවා. වර්තමානයේ දකින්නට ලැබෙන්නේ ඒ මහියංගණ මහා සෑය නොහොත් මියුගුණ සෑ රජාණන් වහන්සේය.

ඉතින් දුරුතු පුන් පොහෝ දිනය කියන්නේ මේ ඓතිහාසික සිදුවීම් වල අනුස්මරණීය දිනයයි.

පින්බර දුරුතු පොහෝ දිනයේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! ප්‍රථම වරට ලක්දිව ඉදිවූ ඒ මියුගුණ මහා සෑ රජාණන්ටද අපගේ නමස්කාරය වේවා ! ඒ සෑ ගර්භයේ වැඩ සිටිනා අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා !

මේ පින්බර දිනයේ බුදු සසුනේ අසිරිමත් සිදුවීම් සිහි කරමින් උතුම් තෙරුවන් සරණේ පිහිටා, උතුම් සිල් පදයන්හි හික්මෙමින්, දහම් මගේ ගමන් කොට අපටද මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා !

තෙරුවන් සරණයි !

පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා...!පිංබර උඳුවප් පොහොය දිනය ලක්වාසි බෞද්ධයන් හට ඉතමත් වැදගත් පොහෝ දිනයක් වේ. උඳුවප් පොහොය ද...
18/12/2021

පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා...!

පිංබර උඳුවප් පොහොය දිනය ලක්වාසි බෞද්ධයන් හට ඉතමත් වැදගත් පොහෝ දිනයක් වේ.
උඳුවප් පොහොය දිනයේ වැදගත්කම...

🌼 සංඝමිත්තා තෙරණිය
ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

🌼 මිහිදු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව දේවානම් පියතිස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

🌼 ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

🌼 අනුලා දේවිය ඇතුළු සෝවාන් පල ලබා සිටි කාන්තාවන් පිරිස සසුන් ගත වෙමින් ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

🌼 ශ්‍රී පද වන්දනා සාමය ආරම්භ කිරීම.

🌼 බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භ වීම. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සමඟ රහතන් වහන්සේලා පන්සියයක් සමනළ කන්දට වැඩම කිරීම. වෙසක් පොහොය අවසන් වීමත් සමග ශ්‍රී පද වන්දනා සමය අවසාන වීම.

උතුම් මනුෂ්‍යය ආත්ම භාවයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුව ලබනු පිණිස සියළු දෙනා උත්සාහවත් වෙත්වා! 🙏🙏🙏

අද පින්බර වප් පුර පසලොස්වක පොහොය දිනයයි.
20/10/2021

අද පින්බර වප් පුර පසලොස්වක පොහොය දිනයයි.

*බිනර පුර පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම*🍃🌼මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීම.🍃🌼භික්ෂුණී ශාසනය ආරම්භ වීම.🍃🌼අෂ්ඨ ගරු ධර...
20/09/2021

*බිනර පුර පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම*

🍃🌼මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීම.
🍃🌼භික්ෂුණී ශාසනය ආරම්භ වීම.
🍃🌼අෂ්ඨ ගරු ධර්ම පැනවීම.
🍃🌼තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන්වහන්සේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඩු සෑය ඉදි කිරීම.
🍃🌼බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැනපත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉඳි කිරීම.

එක් කාළයක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කළ සේක.

එහි පැමිණි මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය බුදුපියාණන් වහන්සේට වන්දනා කොට එකත් පසෙකට වූණා ය. ඇය බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පණවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන් හටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි.”

බුදු රජාණන් වහන්සේ ප‍්‍රජාපතී ගෝතමී දේවියට මෙසේ දේශනා කළ සේක.

*“අලං ගෝතමී, මා තේ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”*

_“නැත ගෝතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන් හට ගිහි ගෙය අතහැර පැවිදි උපසම්පදාව ලැබීම ගැන ඔබ හට රුචි නොවේවා!”_

මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය විසින් තුන් වරක් ම බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේදීම එය ප‍්‍රතික්ෂේප කළහ.

එවිට මහා ප‍්‍රජාපතී ගෝතමී දේවියගේ සිතේ ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදා වීම ප‍්‍රතික්ෂේප කරනවා නේද?’ යි විශාල දුකක් ‍දොම්නසක් හට ගන්නට විය. කඳුළු පිරි මුහුණින් බුදුරජාණන් වහන්සේට හඬ හඬා වන්දනා කළ ඇය භාග්‍යවතුන් වහන්සේව ප‍්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය.

ඉන්පසුව අපගේ බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවර කැමතිතාක් කල් වැඩ වාසය කොට, විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාව වෙත වැඩම කළ සේක.

මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය බුදු සසුනේ පැවිදි බව අපේක්ෂාවෙන් සිටිනා තවත් ශාක්‍ය බිසෝවරු පන්සියයක් සමඟ දිගු හිසකෙස් කපා දමා හිස මුඩුකර ගත්තාය. වර්ණවත් සළුපිළි උනාදමා කාසාය වස්ත‍්‍ර හැඳ ගත්තාය. සියළුදෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදිබව අයදින අදහසින් විශාලා මහ නුවර කූටාගාර ශාලාවට පැමිණියෝ ය.

කඳුළු පිරි දොම්නස් සහගත මුහුණින් දොරටුව අසල සිටිනා මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස ආනන්ද තෙරුන් වහන්සේගේ නෙත ගැටුණි. ආනන්ද තෙරුන් වහන්සේ ඒ පිරිස දෙසට සමීප වෙත්ම ඔවුන්ගේ ඉදිමී පැලී ගිය දෙපා, දුහුවිලි වැකුණු සිරුරු දැක මහත් සංවේගයෙන් යුතුව මෙසේ විමසූහ.

“පින්වත් ගෝතමී දේවියනි, ඇයි මේ? ඔබලා සියළු දෙනාම අතිශයින්ම වෙහෙසී, කුමන කරුණක් නිසා මෙසේ දොම්නස්ව සිටිනවාද?”

ආනන්ද තෙරුන් වහන්සේට වන්දනා කළ ගෝතමී දේවිය “ආනන්දයන් වහන්ස, එය එසේම යි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදුසසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදීම ගැන අපි මහත් සේ දොම්නස්වයි පසු වන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේව සොයා විශාලාවේ සිට මෙතෙක් දුර පා ගමනින්මයි පැමිණියේ” යි පිළිතුරු දුන්නාය.

ආනන්ද තෙරුන් වහන්සේ මොහොතක් නිහඬව සිට මෙසේ කීය. “එසේනම් පින්වත් ගෝතමී දේවියනි, මොහොතක් ඉවසනු මැනවි. මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන් හට බුදුසසුනේ පැවිදි උපසම්පදාව අයැද සිටින්නම්. මා පැමිණෙන තෙක් මෙහි රැඳෙනු මැනවි”

ඉන් පසුව ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවට වැඩම කොට, වන්දනා කොට එකත්පසෙක වැඩ සිටයහ. එකත්පසෙක හුන් ආනන්ද තෙරුන් වහන්සේ‍ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් පමණ දෙනා විශාලාවේ සිට මෙහි පා ගමනින්ම පැමිණ තථාගතයන් වහන්සේ වෙතින් කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදුන්නේ යැයි හඬමින් දොරටුව අසළ පසු වේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන් හටත් මේ ධර්ම විනය තුළ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන්නේ නම් මැනවි” ඉල්ලා සිටියේය.

“ආනන්දයෙනි, තථාගතයන් වහන්සේගේ ධර්ම විනය තුළ කාන්තාවන්ගේ අනගාරික පැවිදි උපසම්පදාව ගැන ඔබ හට රුචි නොවේවා!” යි බුදු රජාණන් වහන්සේ වදාළ සේක. මේ අයුරින් ආනන්ද තෙරුන් වහන්සේ විසිනුත් තුන් වරක්ම ඉල්ලා සිටියත් භාග්‍යවතුන් වහන්සේ පෙර සේම ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සේක.

එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ සිතුනි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ගේ පැවිදි බව තෙවරක්ම ප‍්‍රතික්ෂේප කළ සේක. එසේනම් මා විසින් මේ ගැන වෙනත් අයුරකින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිය යුතුයි’ යළිත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා කාන්තාවක් හට මාර්ගඵල සාක්ෂාත් කිරීම සිදුකළ නොහැකිද?”

*“භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්ති ඵලම්පි සකදාගාමී ඵලම්පි අනාගාමී ඵලම්පි අරහත්තම්පි සච්ඡිකාතුන්ති”*

_“ආනන්දය, සිදු විය හැකියි. ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවකට සෝවාන්ඵලය ද සාක්ෂාත් කළ හැකියි. සකදාගාමීඵලය ද සාක්ෂාත් කළ හැකියි. අනාගාමීඵලය ද සාක්ෂාත් කළ හැකියි. අර්හත්වය ද සාක්ෂාත් කළ හැකියි, යන කරුණ සිදුවිය හැකියි.”_ බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.

එවිට ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියේ ය.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවකට සෝවාන්ඵලය ද සාක්ෂාත් කරන්නේය, සකදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අර්හත්වය ද සාක්ෂාත් කරන්නේය, යන කරුණ සිදුවිය හැකි දෙයක්ම නම්, කාන්තාවන් හට මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව අනුදැන වදාරණ සේක්වා! ස්වාමීනී මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියෝ ය. කුඩා කල කවා පොවා නහවා ඇති දැඩි කරන ලද්දීය. පෝෂණය කරන ලද්දීය. මෑණියන් මියගිය කල්හී කිරි පොවන ලද්දීය. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් හට මේ බුදු සසුනේ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන සේක්වා!”

“යහපති, ආනන්දයෙනි, මහා ප‍්‍රජාපතී ගෝතමිය විසින් මේ අෂ්ඨ ගරු ධර්ම පිළිගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේ ය.” යැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් වහන්සේ හට දේශනා කළ සේක.

ඒ ගරු ධර්ම අට වන්නේ:-

_1. උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_2. භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීම ත්, අවවාද ලැබීමට එළඹීම ත් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_4. වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසිදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_5. බරපතල ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_6. දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_7. භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුත්තේ ය. පරිභව නොකළ යුත්තේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

_8. ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය._

බුදුරජාණන් වහන්සේ මේ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට දේශනා කර මෙසේ වදාළ සේක.

“ආනන්දය ප‍්‍රජාපතී ගෝතමිය විසින් මේ ගරු ධර්ම අට පිළි ගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේය”

ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබාගෙන ප‍්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසී ය.

“ගෝතමී දේවියනි, ඔබ මේ අෂ්ඨ ගරුධර්මයන් පිළිගන්නේ නම් එයම ඔබ හට උපසම්පදාව වන්නේය.”

ඒ මොහොතෙහි අධික ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද තෙරුන් හට මෙසේ කීවා. “ස්වාමීනී, ආනන්ද තෙරුන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” එයත් සමඟම එය මහා ප‍්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිද්දත් උපසම්පදාවත් එයම විය.

ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහා ප‍්‍රජාපතී ගෝතමීය අෂ්ඨ ගරුධර්ම පිළිගෙන උපසම්පදාව ලැබුවා” යැයි දන්වා සිටියහ. මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ඒ මොහොතේ මෙසේ දේශනා කළ සේක.

“ආනන්දයෙනි, කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව නොලද්දේ නම් මේ බුදු සසුන චිරාත් කල් පවතින්නේය. අවුරුදු දහසක්ම පවතින්නේය. එනමුත් ආනන්දයෙනි” කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව ලැබූ නිසා මේ සසුනේ චිර පැවැත්ම පිරිහී ගියේය. දැන් මෙතැන් සිට පන්සිය වසරක්ම ශාසනයේ පැවැත්ම වන්නේ ය.

ආනන්දයෙනි, ස්ත‍්‍රීන් බොහෝ ඇති පුරුෂයන් අල්ප වූ නිවසක් ඇතුළේ පහන් දල්වාගෙන, රාත‍්‍රියේ සොරකම් කරනා සොරු විසින් පහසුවෙන්ම ආක‍්‍රමණය කරන්නේ යම් සේද, ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.

ආනන්දයෙනි, හැල් වී කෙතක “සේතට්ඨිකා” නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ හැල් වී කෙත වැනසී යන්නේ යම් සේද, උක් වත්තක “මංජෙට්ඨිකා” නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ උක් වගාව වැනසී යන්නේ යම් සේද, ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.

එනමුත් ආනන්දයෙනි, පුරුෂයෙක් විසින් දිය පිරි තටාකයක ජලය පිටතට නොයෑම පිණිස කල් ඇතුවම නියර බඳින්නේ යම් සේද මා විසින් ශාසනයේ රැකවරණය පිණිස කල් ඇතුවම අෂ්ඨ ගරු ධර්මයෝ පණවන ලද්දේය.”

මෙසේ ගෞතම සම්බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලැබී භික්ෂුණී සංඝයා ආරම්භ වූයේ සොඳුරු වස්සාන සමයේ උදාවන උතුම් වූ බිනර පුන් පොහෝ දිනයේ දීය.

අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අෂ්ඨ ගරුධර්ම සහිතව ලබාදුන් පැවිදි උපසම්පදාව නිසා ගෞතම බුදු සසුනේ සිව් වනක් පිරිසම සෝභමාන කරවන භික්ෂුණී මහා ප‍්‍රජාපතී ගෞතමී රහත් තෙරණින් වහන්සේ, ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ, උප්පලවණ්ණා රහත් තෙරණින් වහන්සේ, අම්බපාලී රහත් තෙරණින් වහන්සේ, යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ, පටාචාරා රහත් තෙරණින් වහන්සේ ආදී රහත් තෙරණින් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේලා බිහි වූහ.

වස්‌ කාලයේදී ආරාමවලින්, ලෙන්වලින්, වන සෙන්සුන් වලින් බැහැර නොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේදී ශාසනික ආගමික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක්‌ සිදුකරනු ලැබේ. එදා අපේ යතිවරුන්ගේ අතින් ධර්ම ග්‍රන්ථ බහුල වශයෙන් බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදීය.

අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මයට අනුවම දිවිගෙවනා භික්ෂුවක් වේවා! භික්ෂුණියක් වේවා! උපාසකයෙකු වේවා! උපාසිකාවක් වේවා! ඔවුන් සංඝයාව සෝභමාන කරනා බවයි.

මෙවැනි උතුම් ශාසනික වශයෙන් වැදගත් දිනයක් වන බිනර පුන් පොහෝ දින පෙහෙවස් සමාදන් වූ පිංවත් ඔබත් ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම අනුගමනය කරමින් සසරින් එතෙර වන්නට අධිෂ්ඨාන කර ගන්න.

තෙරුවන් සරණයි.

තපෝවනයේ රතන ස්ථවිර

මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර.

🍃🌼නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම🍃🌼*ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.**භික්ෂූන් වහන්සේ පසු වස් එළඹීම.**ආනන්ද තෙර...
22/08/2021

🍃🌼නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම🍃🌼

*ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.*
*භික්ෂූන් වහන්සේ පසු වස් එළඹීම.*
*ආනන්ද තෙරුන් වහන්සේ රහත් වීම.*
*සේරුවිල වාර්ෂික නිකිණි පෙරහැර.*

*පිංවත් ස්වාමින්වහන්සේලාත්,* *උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන,*
*සැදැහැවත් උපාසක උපාසිකාවන් ද,*
*පින් ඵල නෙළාගන්නා පිංබර පොහෝ දිනයක් වන්නේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය යි.*

*එදා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරක් ගිය තැන,*
*සම්බුදු සසුනෙහි 23,000 කට අධික භික්ෂූන් වහන්සේලා වැස්සට තෙමෙමින් දඹදිව් තලයේ තිබූ පුරාතන නීති නොසලකා ගම් නියම් ගම් පුරා වස්සාන කාලයේ ද පාද චාරිකාවේ යෙදුණි.* *මේ ආකාරයට පාද චාරිකාවේ යෙදෙන ඒ පින්වත් ආර්යන් වහන්සේලාගේ පා වලට හසුවී කුඩා ජීවීනිත්, දලු ලා නැගෙන, නිල් තණකොළත්, පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිසුන් භික්ෂූන් වහන්සේලාට අවමන් කරමින් දොස් නගන්නට විය.*
*මේ තත්ත්වය ගැන දැනුවත් වූ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ දෙයාකාර වූ පෙරවස් හෝ පසුවස් එළැඹෙන ආකාරය දේශනා කර ඒවා පිළිපදින්න යයි භික්ෂූන් වහන්සේලාට උපදෙස් දුන් සේක.*
*ඒ අනුව පෙර වස් වසන්නට නොහැකි වූ පින්වත් භික්ෂූන් වහන්සේලා, පසු වස් වසන පින්බර පුර පසළොස්වක පොහෝ දිනය මේ නිකිණි පොහෝ දිනය යි.*

*මේ ආකාරයට දඹදිව් තලය පුරා වස් එළැඹීමේ බෞද්ධ පිළිවෙත ආරම්භ විය. බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කළායින් පසුව ලාංකීය අරිට්ඨ මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ සිංහල මහ රහතන් වහන්සේලා ඇටසැට ලෙන්වල වස් වසා වැඩවසමින් ලංකා ධරණී තලයේ ප්‍රථම වස් වසා වැඩ විසීම සිදුකළ් සේක.*

*අද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයයි.* *මහා සංඝරත්නය පසු වස් වසා වැඩ වසන පින්බර පොහෝ දිනය අදයි.*

*සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්ම මසකට පසුව සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා ඇතිවූ ගැටලුව මුල් කර කරගෙන රජගහනුවර සප්ත පර්ණි ගුහාද්වාරයෙහිදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ මේ වගේ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකයි.*

*සංගායනාවේදී අපරිමිත මහා මෙහෙවරකට ඇප කැපවූ මහා කාශ්‍යප, මහා කච්චායන, උපාලි, අනුරුද්ධ, පුණ්ණ මන්තානි පුත්ත, කොට්ඨිත, වංගීස, කුමාර කාශ්‍යප ආදී පන්සියයක් මහ රහතන් වහන්සේලාගෙන් සංගායනාව ඒකාලෝක වුණ සේක.*
*මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සාධුකාර නාදය මැද ඉර්ධි බලය පෙන්වමින් සංගායනාවට වැඩම කළ ආනන්ද මහ තෙරුන් වහන්සේ එදින අලුයම් කාලයේදී සතර ඉරියව්වෙන් තොරව උතුම් රහත් ඵලය ලැබුවේ මෙවැනි නිකිණි පුර පස පසළොස්වක පොහෝ දිනකදීය.*

*සැදැහැබර ලාංකීය බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන අසමසම සදා පූජනීය වස්තුව වන උතුම් දළදා සමිඳුන් වැඩ වසන මහනුවර සිරි දළදා මේ මැදුර මුල්කර මුල්කරගෙන බොදු උරුමයන් ලොවට පෙන්වා දුන් අසිරිමත් දළදා පෙරහැර අවසන් වන්නේත් මේ නිකිනි පුර පසලොස්වක පොහෝ දිනයි.*

*විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් එක් දෙවි කෙනෙකු ඇදහීමට විචිත්‍ර අංගයන්ගෙන් සැරසුණු රුහුණු කතරගම මහා දේවාලයේ දේව පෙරහර අවසන් වන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයි.*

*මහාවංශයට අනුව වෝහාරික තිස්ස දුටුගැමුණු වැනි රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය දක්වා පවත්වන උළෙල සිදුකළේද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයි.*

*සැදැහැබර බෞද්ධයිනට ජීවමාන බුදුපියාණන් වහන්සේ උණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර 150කට පෙර වල් අලින්ගෙන් රැක ගැනීමට දිවිහිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය මේ නිසා “දරමිටි පොහොය” ලෙස ද නිකිණි පොහොය හඳුන්වනු ලැබේ.*

සේරුවිල වාර්ෂික නිකිණි පෙරහැර පැවැත්වෙන්නේද මේ නිකිණි පොහෝ දිනයි.

මෙවන් උතුම් සිදුවීම් රාශියක් සිදු වුණ පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ ඔබ සැමත් ආමිස ප්‍රතිපත්ති පූජාවන් සිදු කරගෙන සසරින් එතෙර වන්නට අධිෂ්ඨාන කරගන්න.
සාදු........ සාදු........ සාදු........

තෙරුවන් සරණයි.

සකස් කළේ:-
පූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර

Address

Diyagama
Homagama

Telephone

+94766935267

Website

Alerts

Be the first to know and let us send you an email when NDT සඳහම් සිසිල-Buddhist SubCommittee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to NDT සඳහම් සිසිල-Buddhist SubCommittee:

Share