14/02/2025
ආදරණීයන් වෙනුවෙන් දිවි පිදූ
ශු.වැලන්ටයින් මුනිතුමාගෙ මංගල දිනය අදයි
------❤💗💕🌷🌹🌷💕💗❤------
සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන #ක්ලෝඩියස්_රෝමානු_අධිරාජ්‍යයාගේ පාලන කාලයේ රෝමයේ කතෝලික දෙව් මැදුරක ජීවත් වූ පූජකවරයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වුයේ ය. එහෙත් මෙකළ රෝම අධිරාජ්‍යය පුරා මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිරී ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොට තිබුණි.
කිතු දහම ඇදහීම සිරගත කිරීම, පිටුවහල් කිරීම, වහල් මෙහෙවරට පත් කිරීම, දේපළ රාජ සන්තක කිරීම හා වධ බන්ධනවලට ලක් කර මරණයට පත් කිරීම යන දඩුවම්වලට හේතු සාධකයක් විය. එබැවින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරයෙහි යෙදී සිටි ධර්ම දූතයන්ව අත්අඩංගුවට ගැණිනි. ධර්ම ප්‍රචාරය නතර කිරීමට ද කිතු දහම අතහැර දමා මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන්ට යොමු වීමට ද බලපෑම් එල්ල විය.
දරුණු පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසි රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැළී සිටියේය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය විය. එහෙක් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් හමුදාවට එකතු වීමෙන් වැළකී සිටියහ. රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස්, තම යුධ හමුදාවට බැදීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අතහැර ඒමට තිබෙන අකමැත්ත බව තේරුම් ගත්තේය. එනිසා එවකට රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැදිය යුතු බවත්, විවාහය ඔවුනට තහනම් බවත් ආඥාවකින් නියම කළේය. ඊට විරුද්ධව නැඟී සිටීමට කිසිවෙකු නොවීය.
මෙම ආඥාවේ කුරිරු බව අවබෝධ කරගත් සාන්ත වැලන්ටයින් තුමා යුධ හමුදාවට බැදී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවීය. මෙම කරුණ සැමදා රහසක්ව තබා ගැනීමට නොකැකි විය. යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් වූවද ගැබිණි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වූ ක්ලෝඩියස් රජු චර පුරුෂයන් මාර්ගයෙන් මේ පිළිබදව සොයා බැලීය. මේ අනුව දිනක් උමං සොහොනක විවාහයක් කරමින් සිටිය දී සාන්ත වැලන්ටයින් තුමාව අත්අඩංගුවට පත්විය.
දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට පත් වූ එතුමා දම්වැල් දමා සිරගෙයක තැබිණි. මේ පිළිබඳ ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට වැලන්ටයින්තුමා සමත් විය. ඔහුගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටියදී ම විවාහ කරවීමට එතුමා සමත් විය. එබැවින් එම මුලාදෑනියා හා සෙබළාගේ සහයෙන් මෙම කාර්යය තව දුරටත් කිරීමට එතුමාට හැකි විය. සිරගෙදර ප්‍රධානියාගේ දියණිය මෙම කාර්යයෙහි ප්‍රධාන මැදිහත්කාරිය වූවා ය. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින් තුමාගේ දුක සැප සොයා බැලීය.
එහෙත් මෙය තවදුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැත. ක්ලෝඩියස් රජුගේ චර පුරුෂයින් මේ බව රජුට දැන්වීය. මේ පිළිබඳව මහත් උරණ වූ ක්ලෝඩියස් රජු ක්‍රි. ව. 269 පෙබරවාරි 14 වන දින මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ විනෝද උත්සවයක් වූ “ #ලුපර්කාරියා” පවත්වන දින සාන්ත වැලන්ටයින් තුමාගේ ගෙළ සිද මරා දැමීමට නියම කළේය. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේය. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ “ඔබගේ වැලන්ටයින් ගෙනි” යනුවෙනි. ඒ අනුව වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වූයේ මෙනිසා යැයි පිළිගැනීමක් ඇත.
එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම සඳහාය. එබැවින් ක්‍රි. ව. 496 දී "ග්ලාසියුස් පාප්තුමා" වැලන්ටයින්තුමාව #සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍යය දිනය ලෙස නම් කළේය. අද අප ආදරවන්තයින්ගේ දිනය ලෙස සමරනුයේ එම ආදරවන්තයින් වෙනුවෙන් දිවි පුද කල දිනයයි.
වර්තමානයේ ලොව සෑම රටකම පාසාම මේ දිනය පෙම්වතුන්ගේ දිනය ලෙස සමරණු ලැබූවද එහි ඉතිහාසය පිළිබඳව දැනුමක් ඇත්තේ සුළු පිරිසකට පමණි. වාණිජකරණයට ලක් වූ දිනයක් වුවද එහි සැබෑ අරුත අවබෝධ කරගන්නට මේ ලිපිය ඔබ සැමට යම් තොරතුරක් ලබා දෙනු ඇති. ඔබ සැම ඔබේ ආදරණීයයන් සමඟ ආදරයෙන් පෙම්වතුන්ගේ දිනය සමරන්න.
ඔබ සැමට ජේසු පිහිටයි.....!! 💗🌷🙏
© ප්‍රසාද් ප්‍රනාන්දු...✍️