23/07/2026
ගම්පහ පහළගම ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ආදරණීය දරුවන් සහ දෙමාපියන් වෙත,
ආදරණීය අම්මේ තාත්තේ, දරු දැරියනි,
පසුගිය සතියේ දැනුම් දුන් පරිදි දහම් පාසලේ අධ්‍යාපන කටයුතු ජූලි 26 දා ඉරිදා සුපුරුදු පරිදි ආරම්භ වේ. සියලුම දරුවන් එදිනට දහම් පාසලට සහභාගී කරවන්න. දුරදිග නොබලා හරියට කරුණු නොදන්නාකමින් ඉක්මන් වී දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනයට බාධා වන කිසිදු තීරණයකට එකඟ නොවන ලෙස ආදරයෙන් මතක් කර සිටිමි.
පසුගිය දිනවල සිදු වූ යම් යම් සිදුවීම් නිසා කාගේ හෝ සිතේ චකිතයක් හෝ අවිශ්වාසයක් නොතබාගෙන දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කරවන්න. ඔබේ දරුවා අප සැමගේ දරුවන් සේ සලකමින් කිසිඳු වෙනසක් නොමැතිව දානය, ප්‍රියවචනය, අර්ථචරියාව සහ සමානාත්මතාව ආදී වටිනාකම්වලට මුල් තැන දෙමින් වඩා ගුණදායී ක්‍රමයට අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතාවලින් සියලු දරුවන් පෝෂණය කිරීමට වගකීමෙන් කැපවෙන බවට දහම්පාසල ලෙස අපි ඔබට පොරොන්දු වෙමු. වැඩිහිටි අප සැමගේ පරම වගකීම වන්නේ අනාගත දරු පරපුර කායිකව සහ මානසිකව ශක්තිමත් පෞරුෂ සම්පන්න ආදරණීය සංවේදී පුරවැසියන් ලෙස සංවර්ධනය කිරීම බව අමතක නොකර ඒ වෙනුවෙන් අප සැමදෙනා ඇප කැප වී කටයුතු කරමු.
කිසිඳු අවස්ථාවාදී ආත්මාර්ථකාමී පටු අදහසකට හෝ තමතමන්ගේ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් දහම්පාසල අවභාවිතා කිරීමට, පාවිච්චි කිරීමට හෝ දහම්පාසලේ දරුවන්ගේ අනාගතය බිල්ලට දීමට අවස්ථාවක් නොදෙන ලෙසත් ඉතා ආදරයෙන් සිහිපත් කරමි. එවැනි පටු ආත්මාර්ථකාමී අවස්ථාවාදී කටයුතු වෙනුවෙන් දෙමාපියන් හෝ දරුවන් නොමග යැවීමට, සංවිධානය කිරීමට, ගැටුම් නිර්මාණය කිරීමට කිසියම් පුද්ගලයෙකු ඍජුව හෝ වක්‍රව අනුබල දීමක් සිදු කරයි නම් එවැනි දේ දහම්පාසලේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන් වළක්වා ගැනීමට කොන්දේසි විරහිතව ඇප කැප වන බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් කාරුණිකව දැනුම් දෙමි.
මෙයට,
දහම්පාසල වෙනුවෙන්,
කොටියාගල හාමුදුරුවෝ
ප්‍රධානාචාර්ය,
ශ්‍රී දේවානන්ද දහම් පාසල,
පහළගම, ගම්පහ.
2026. 07. 23