04/05/2025
පින කියන්නේ හරි පුදුම දෙයක්..
සැප උපද්දන දෙයක්.. අපි හැමෝම කැමතියි සැප විඳින්න..පිනට පුලුවන් මනුස්සයන්ට සසරේ සැප හදලා දෙන්න.. සුවපහසුව හදලා දෙන්න..
ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ..
"පින කියන්නේ සැපයට කියන නමක් කියලා"
පිනට පුලුවන් කෙනෙක්ව ඉස්සරහට යවන්න..
ඒ වගේම පින නැතිනං එයාට පස්සට යන්නත් සිද්ද වෙනවා.. පිංකම් වලදි පවා සමහරු නොහිතන විදියට ඉස්සරහට යනවා...
දළදා වන්දනාවේ පෝලිමේ උනත් එහෙම සිද්දි ඔනී තරම් වෙන්න ඇති..අපි කවුරුත් කැමතියි දවස් ගනන් පොලිමක ඉන්නේ නැතුව ඉක්මනින් වඳින්න..සමහරුන්ට තමන්ගේ රැකියාව නිසා හරි, කාගේ හරි හැඳුනුම් කම මත හරි පහසුවෙන් යන්න ලැබුනා..
සමහර අය ඉන්නවා, මොන පිංකමට ගියත් ඉස්සරහම ඉන්නවා..කවුරුත් එයාගේ ගමන වලක්වන්නේ නෑ.. එයා ඉන්න තැනින් යන්න කියන්නේත් නෑ...සමහර වෙලාවට පිංකමක් පටන් ගන්න අන්තිම මොහොතේ ඇවිල්ලා ඉස්සරහම වාඩි වෙනවා.. ඉස්සරහා හිටපු අයට පස්සට යන්න වෙනවා...
සමහරුන්ට වැහිලා තියෙන දොරවල් පවා අවශ්‍ය මොහොතේ ඇරෙනවා..
මේවා සමහරවිට පිනක විපාක වෙන්න ඇති..
අපි දන්නේ නෑ හරියටම කියන්න..
=======================================
බුද්ධ කාලෙත්, පින නිසා ඉස්සරහට ගිය,..
ඒ වගේම පිනේ මදිකම නිසා පස්සට ගිය ලස්සන සිද්දියක් වුනා..
මේක වුනේ දෙවිවරු දෙන්නෙක්ට..
බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වෙලා හත්වෙනි අවුරුද්දේ වස් එලඹීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩියා..භාග්‍යවතුන් වහන්සේ එහි සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය මත ළහිරුමඬලක් සේ වැඩ වෙසෙන කල්හි බණ අසන්නට දෙවිවරු පැමිණියා..
❝ ඉන්දක ❞ නම් දෙවි කෙනෙක් ඒ වෙලාවෙ පැමිණ තථාගතයන් වහන්සේගේ දකුණු පස හිඳ ගත්තා.
❝අංකුර ❞ නම් වූ දෙවියෙක් ද පැමිණ තථාගතයන් වහන්සේගේ වම් පස ඉඳගත්තා.
බුදුරදුන් දෙව්ලොවට වැඩම කළ බව සැලවීමෙන් දසදහසක් සක්වළින් ම මහේශාක්‍ය වූ දේව බ්‍රහ්මයන් පැමිණෙන්නට වුනා..
මේ දෙවිවරු එනකොට බුදුරජාණ් වහන්සේගේ වම් පැත්තේ ලඟින්ම හිටපු ❝අංකුර❞ දෙවියට ටිකෙන් ටික පස්සට යන්න සිද්ද වුනා..
කොච්චර පස්සට යන්න වුනාද කියනවා නං...
යොදුන් දොළහක් පස්සට ගියා..
හැබැයි දකුණු පැත්තේ වාඩි වෙලා හිටපු
❝ ඉන්දක ❞ දෙව්යන් ට එහෙම යන්න වුනේ නෑ..ඔහු නො සැලී තමා සිටි තැන ම හිටියා..
මේ වෙච්ච සිද්ධිය අපගේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා.. දැකලා පිරිසේ පස්සටම ගිය ❝අංකුර❞ දෙවියට කතා කලා..
❝පින්වත් අංකුරය, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මහා දන් දුන්නා නෙව...
නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින් නෙ වාඩිවෙලා ඉන්නෙ... මගේ සමීපයට එන්න...❞
මෙහෙම කතා කරලා, බුදුරජාණ් වහන්සේ මේ දෙන්නට මෙහෙම ඉස්සරහට සහ පස්සට යන්න වෙච්ච හෙතුව පැහැදිලි කරලා පෙර ජිවිත කතාව කිව්වා..
📘 ️❝අංකුරත්❞ පෙර ජිවිතයක දන් දුන්න කෙනෙක්..
ඔහු දන් දුන්නේ නගරේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ටයි...කරත්ත 60,000ක දවසකට දන් දුන්නා..උයන්න 3,000ක් හිටියා..දර පලන්න 60,000ක් හිටියා..කාන්තාවෝ 12,000 බැගින් හිටියා දානේ හදන්න සහ බෙදන්න...
ඔය විදියට මැරෙනකල්ම දානේ දුන්නා..
හැබැයි දන් දුන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කියලා මතක තියා ගන්න...අංකුර මැරිලා දන් දුන් පිනෙන් සුගතියේ ඉපදුනා..අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න පින් තිබුනා..
📕 එතකොට බුදුරජාණ් වහන්සේ ලඟින් ඉස්සරහම හිටපු ❝ඉන්දක❞ දෙවියා කරපු පින මොකක් වෙන්න ඇත්ද???
❝ඉන්දක❞ දන් දුන්නේ එක බත් හැන්දයි... අනුරුද්ධ මහරහතන් වහන්සේට එකම එක බත් හැන්දක් විතරයි පූජා කරන්න ලැබුනේ...
ඒ පිනෙන් දෙව්ලොව ඉපදිලා භාග්‍යවතුන් වහන්සේ ලඟින්ම ඉදගෙන බණ අහන්න තරම් ඒ පින බලවත් වුනා..
ඒ එක බත් හැන්ද නිසා, ❝ඉන්දක❞ දෙවියා ❝අංකුර❞ දෙවියට වඩා කරුණු 10කින් බැබලුනා...
1️⃣මනෝරම්‍ය වූ රූප,
2️⃣ශබ්ද,
3️⃣ගන්ධ,
4️⃣රස,
5️⃣පහස,
6️⃣ආයුෂ,
7️⃣යසස,
8️⃣වර්ණ,
9️⃣ සැප,
🔟️අධිපතිබව
කියන මේ කරුණුවලින් ඉන්දක දිව්‍ය පුත්‍රයා තමයි අංකුර දෙවියන්ට වඩා බබලන්නෙ..
මේ සිද්ධිය අරභයා භාග්‍යවතුන් වහන්සේ,දෙවිවරුන්ට මේ ගාථා වදාලා..
🔸කරමැටි තියෙන නිසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපුරුවත් ඒකෙන් ලොකු අස්වැන්නක් ලැබෙන්නෙ නෑ. ඒකෙන් ගොවියාව සතුටු කරන්නෙ නෑ.
🔸දානයත් එහෙම තමයි. දුස්සීල වූ පිරිසකට කොයිතරම් ලොකුවට දානෙ දුන්නත් ඒකෙන් මහත් විපාක ලැබෙන්නෙ නෑ. ඒකෙන් දායකයාව සතුටු කරන්නෙ නෑ.
🔸සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නෙ ටිකක් වෙන්න පුළුවනි. වැස්සක් හොඳට වැස්සොත් ලැබෙන අස්වැන්න ගොවියාව සතුටු කරනවා.
🔸අන්න ඒ වගේ අටලෝ දහමින් කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ලද පුණ්‍ය උපකාරය මහත් ප්‍රතිඵල ලබාදෙනවා.
🔸යම්කිසි කෙනෙකුට දෙන දානයෙන් මහත්ඵල ලැබෙනවා නම් එබඳූ දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලයි දන් දිය යුත්තේ. දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසල දන් දුන්නාට පස්සෙ ඒ දායකයන් සුගතියේ උපදිනවා.
දෙවිවරු -
🔹සුගතයන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ නුවණින් විමසලා දන් දීම ගැනයි. මේ මිනිස් ලෝකයේ යම් දක්ෂිණාර්හ උත්තමයන් වහන්සේලා වැඩඉන්නවා නම් උන්වහන්සේලාට පුදන දානයෙන් තමයි මහත්ඵල ලැබෙන්නෙ. සරුසාර කුඹුරක බිත්තර වී වැපුරුවා වගේ.
=====================================
අහෝ දන් දීමක අසිරිය..දන් දීම නිසාම දෙව්ලොව උපන්, ඉන්දක සහ අංකුර දෙවියන් ඒ බණ අසා සෝවාන් වුනා..තවත් බොහෝ දෙවිවරු මඟ ඵල ලැබුවා...
දන් දෙනකොට හැකි හැම මොහෝතෙම ආර්‍ය මහා සංඝරත්නය උදෙසා දන් දෙන්න..ඒ දෙන දානය තමයි මහත්ඵල වෙන්නේ..සසරේ මහත් වූ සැප විපාක ලැබෙන්නේ එතකොට තමයි..
නිවන් දකිනා තුරු සැපවත් ජිවිතයක් ලබන්න...හැමෝටම කලින් ඉස්සරහට යන්න..ඉස්සරහටම වෙලා බණ අහන්න..යාන වහන ලබන්න, ගෙවල් දොරවල් ලබන්න..
දෙව්ලොකද දී හරි නිවන් දකින්නත් උපකාර වන්නේ ඒ මහානීය වූ පිනමයි..
අංකුර ප්‍රේත වත්ථුව ඇසුරෙනි
https://tripitaka.online/sutta/13362
සාදු! සාදු!! සාදු!!!
උපුටාගත් සදහම් ලිපියකි.