16/09/2026
"එ කෙණෙහි පස්දෙනා වහන්සේට වැඩිමහලු අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ කෙළ දහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් මාර්ගයෙන් වැඳ අමා මහ නිවන් පුරය දුටු සේක. එදා අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෝවාන් මාර්ගයෙන් වැද අමාමහ නිවන් පුරය දැක සතුටු වූහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ දෙවන වූ සෙදගැමි මාර්ගයෙන් වැඳ අමාමහ නිවන් පුරය දැක පිනා ගියහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ තුන්වන වූ අනාගාමි මාර්ගයෙන් වැඳ අමාමහනිවන් දැක සතුටු වූහ. තව ද අටළොස් කෙළක් මහා බ්‍රහ්මයෝ සතරවන වූ රහත් මගින් වැඳ අමාමහනිවන්පුරය දැක සසර දුකින් මිදී ගියහ. මෙසේ එදා මාගේ ස්වාමිදරුවෝ ඇසළ මැදිපොහෝදා පතළ සඳපානේ කළා වූ පළමුවන ධර්මදේශනාවෙහි තුන් අසඞ්ඛ්‍යයක් දෙවියන් හා අටළොස් කෙළක් බ්‍රහ්මයන් නිවන් දක්වා නිවන් කෙළවර බණ සමහරකොට තොප තොපගේ විමන් යව යි අවසර දුන්සේක. එ කල දිව්‍ය බ්‍රහ්මයෝ ස්වර්ණ රස ධාරාවෙන් අභිෂික්ත ගාත්‍රා ඇතියවුන් සෙයින් පින පිනා සාධුකාර පවත්වා බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුදුන්ට ස්තුති කොට තමන් තමන්ගේ භවනයට ගියාහුය.."
|පූජාවලිය|
🪷 DhammaDana :: ධම්ම දාන