25/07/2026
ගාලු පාර අසල, දියලගොඩ සුරුවම් කුටියට ආසන්නව පිහිටි ශ්‍රී කුරුසය නැවත ස්ථාපිත කිරීම
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන දියලගොඩ පාලම අවට මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන්, ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ නව සුරුවම් කුටියට ආසන්නව පිහිටි ශ්‍රී කුරුසය නැවත ස්ථාපිත කිරීමේ කටයුතු අද දින (2026 ජූලි 24 වැනිදා) සිදු කෙරිණි.
වසර සියයකට වඩා පැරණි පෞරාණික වටිනාකමකින් යුතු මෙම ශ්‍රී කුරුසය දිගු කලක සිට මෙම ස්ථානයේ පැවති අතර, මාර්ගය පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් එය සාධාරණ ප්‍රමාණයක් පසුපසට ගෙන යාමට ග්‍රාමවාසීන් එකඟ වී තිබුණි. එහෙත්, මෙහිදී මාර්ගයේ ගොඩබිම් පැත්තෙහි ඇති කාණුවට යාවන පරිදි ශ්‍රී කුරුසය වඩාත් පසුපසට කර ස්ථාපිත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කරන ලදී. සාමාන්‍යයෙන් කාණුවෙන් ඔබ්බෙහි පිහිටිය යුතු විදුලි කණු ද මේ වන විට කාණුව අසල මාර්ගයේම පිහිටා ඇති පසුබිමක, ශ්‍රී කුරුසය කාණුව දක්වා එතරම් පසුපසට ගෙන යාමට ප්‍රදේශවාසීන්ගේ එකඟතාවයක් නොතිබිණි. මේ සම්බන්ධයෙන් මීසම් සේවක පියතුමා, ග්‍රාම සේවා නිලධාරීතුමා, ග්‍රාමවාසීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය අතර සාකච්ඡා පැවැත්වුණද, එම අවස්ථාවේදී අවසන් එකඟතාවයකට එළඹීමට නොහැකි වුවද, පවතින ප්‍රායෝගික තත්ත්වය සලකා බලා ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන්, මාර්ග ගමනාගමනයට බාධාවක් නොවන පරිදි කාණුවට මඳක් ඉදිරිපසට වන්නට ශ්‍රී කුරුසය අද දින නැවත ස්ථාපිත කිරීමට පියවර ගැනිණි.
සියවසකට වඩා අධික කාලයක සිට ප්‍රදේශයට ආශිර්වාදයක් වූ මෙම ශ්‍රී කුරුසය මේ වන විට සුරක්ෂිතව ස්ථාපිත කර ඇති අතර, අවට අනෙකුත් ඉදිකිරීම් කටයුතු මේ දිනවල තවදුරටත් සිදු කෙරෙමින් පවතී. මෙම ඉදිරි කටයුතු සියල්ල කිසිදු බාධාවකින් තොරව, සමගියෙන් හා සාමකාමීව කරගෙන යාමට අවශ්‍ය වරම් සහ ආශිර්වාදය ලැබේවා යැයි ග්‍රාමවාසීන් ලෙස අප සියලු දෙනා ප්‍රාර්ථනා කරමු.