31/08/2023
“ යථා පරෝපකාරේෂු නිත්‍යං ජාගර්ති සජ්ජනාඃ “
( සැබෑම සත්පුරුෂයෝ නිදි නොලබා ම අනුනට උපකාර කරති. )
පසුගිය දිනක මා ආගමික කටයුත්තකට මහ නුවරට වැඩම කොට නැවත කොළඹට වැඩම කරමින් සිටියෙමි. ඒ වන විට වේලාව රාත්‍රි 10.30 ට පමණ විය. මාවනැල්ල ප්‍රදේශය පසු කර එන විට සෙම් අමාරුවක සිටි රියදුරු මහතා තරමක හතියක් සහිතව හුස්ම ගනිමින් සිටි අතර එය කෑගල්ල පසු කරන විට ටිකෙන් ටික උත්සන්න වන්නට විය.
උණුසුම් යමක් පානය කොට ටික වෙලාවක් විවේක ගෙන නැවත ගමන් කිරීම සුදුසු යැයි කතා කරගෙන අප අඹේපුස්සට ළඟා වුණෙමු. රාත්‍රි 11.15 පමණ වන විට අප අඹේපුස්ස ‘ ජිනදාස තලගුලි ‘ හෝටලය වෙත ළඟා වූ අතර රියදුරු මහතා එම හෝටලයෙන් උණුසුම් තේ එකක් පානය කොට ටික වෙලාවක් විවේකගන්නට විය. ඒ අතරතුර හෝටලයෙහි සේවක මහත්මයෙක් වාහනයේ ම රැදී සිටි මා දැක වාහනය වෙත ඇවිත් ‘ ස්වාමීන් වහන්ස ගිලන්පසට සුදුසු යමක් පූජා කරන්න ද ? ‘ යැයි මාගෙන් විමසූ අතර මට ඒ වෙලාවේ ගිලන්පස අවශ්‍ය නොවූ බැවින් මා බොහොමත් ම කරුණාවෙන් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කෙළෙමි. නමුත් ටික වෙලාවකින් කැප-සරුප් පරිදි ගිලන්පසක් සකසා මා රැදී සිටි වාහනය වෙත ම ගෙනවිත් එය පූජා කරන්නට විය. ජිනදාස තලගුලි සහ හෝටලයේ පින්වත් පිරිස එසේ ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉතා ගෞරවයෙන් කවදත් කටයුතු කිරීම නිසා ඒ සත්කාර මා හට පුදුමයට හේතුවක් වූයේ නැත. මන්ද, මීට පෙර ද ඔවුන් එසේ අප හට උපස්ථාන කොට ඇති බැවිනි.
රියදුරු මහතාගේ හතිය ( වීස් ) වැඩි වීමක් විනා අඩුවක් නොවන බව දුටු තැන ජිනදාස හෝටල් ආයතනාධිපතිතුමාගේ පුතු වන පින්වත් කවිඳු චතුරංග මහත්මා ඇතුළු එම සේවක පිරිස අපේ රියදුරු මහතා වරකාපොල රෝහලට යොමු කළ අතර අපගේ වාහනය ද රැගෙන මධ්‍යම රාත්‍රි 12 ට පමණ අපත් සමඟ රෝහලට ද පැමිණ නැවත කොළඹ දක්වා අපව රැගෙන ඒම සඳහා රියදුරෙක් සහ එම පින්වතුන්ගේ පෞද්ගලික වාහනයක් ද සූදානම් කරවා, අපගේ කරදරය ඔවුන්ගේ දෙයක් සේ සලකා පුදුම තරම් හෘදයාංගම උපකාරයක් අප වෙනුවෙන් සිදු කළේ ය. ඔවුන්ගේ වටිනා කාලය-ශ්‍රමය-ධනය කැප කොට අපහට එසේ උපකාර කළේ කිසිදු ලාභාපේක්ෂාවක් රහිත වූ පාරිශුද්ධ ගුණවත්කම නිසා ම බව මා හොඳින් තේරුම් ගත්තෙමි.
ඇත්ත වශයෙන් ම මේ විස්තරය මෙසේ ලියන්නට සිත් වූයේ ‘ සත්පුරුෂත්ත්වය ගැන, බෝසත්ගුණ ගැන, පරෝපකාරය ගැන ‘ මා නිතර ම වාගේ මෙම සදහම් අමාවැස්ස ෆේස්බුක් පිටුව ඔස්සේ ලියන කෙනෙක් නිසාත්, අප වචන වලින් ලියන ඒ සත්පුරුෂ ක්‍රියාවන්, බෝසත් චර්යාවන් සහ සිනහවකින්වත් ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු නොවී අනුන්ට සිය කාලය-ශ්‍රමය-ධනය කැප කොට හදවතින් ම උදවු උපකාර කරන උදාර බෝසත්ගුණැති මිනිසුන් මේ මිහිමත තවමත් ජීවමාන බව මාහට ප්‍රත්‍යක්ෂ වූ බැවිනි.
අඹේපුස්ස ජිනදාස තලගුලි සහ හෝටලයෙහි පින්වත් කවිඳු චතුරංග මහත්මාණන්ටත් එම සේවක මහත්වරු සැමටත් මා හදවතින් ම පිං අනුමෝදන් කරන අතර ඔවුන්ගේ ඒ උදාර පරෝපකාරී බෝසත්ගුණ තව තවත් වැඩි දියුණු වී ශ්‍රද්ධාදි ගුණ තව තවත් වැඩි දියුණු වී ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සියලු අභිවෘද්ධිය, දියුණුව ඔවුන්ට හැම ලෙසකින් ම සැලසෙත්වා ! යැයි හදවතින් ම ආශිර්වාද කරමි. අනන්ත බුදුගුණ බලයෙන් ඒ පින්වතුන්ලාට සියලු යහපත ම උදාවෙත්වා !!! නිරතුරුව සැනසීම ම සැලසෙත්වා !!! යැයි ද ප්‍රාර්ථනා කරමි.
- කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ...