02/06/2026
🔸 අද කතා කරන්නේ ඤාණත්තය ගැනය. ඤාණත්තය යනු ඤාණ තුනකි. එම ඤාණ තුන් නිර්වචනය වන්නේ මෙසේය.,"කෙසේ නම් වෙන් වෙන්වූ විසුම්හි ප්‍රඥාව විහාරට්ඨ ඤාණය නම් වේද? වෙන් වෙන්වූ සමවැදුම්හි ප්‍රඥාව සමාපත්තට්ඨඤාණය නම් වේද, වෙන් වෙන්වූ විසුම් සමවැදුම්හි ප්‍රඥාව විහාර සමාපත්තට්ඨ ඤාණය නම් වේ,"යනුවෙනි. අනිමිත්ත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අනිමිත්ත විහාර නම් වේ. අප්පණහිත(තෘෂ්ණා ප්‍රණිධි රහිත) නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අප්පණිහිත විහාර නම් වේ.සුඤ්ඤත නම් නිර්වාණයේ හි සිත නැමුණු හෙයින් සුඤ්ඤත විහාර නම් වේ. අනිමිත්ත නම් නිර්වාණයේ නැමුණු හෙයින් අනිමිත්ත වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය අනිමිත්ත සමාපත්තියට නම් වේ. අප්පණහිත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අප්පණිහිත නම් වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය අප්පණිහිත සමාපත්තිය නම් වේ. සුඤ්ඤත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් සුඤ්ඤත නම් නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය සුඤ්ඤත සමාපත්තිය නම් වේ. අනිමිත්ත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් අනිමිත්ත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය අනිමිත්ත විහාර සමාපත්තිය නම් වේ. අප්පණිහිත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් අප්පණිහිත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය අප්පණිහිත විහාර සමාපත්තිය නම් වේ. සුඤ්ඤත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් සුඤ්ඤත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය සුඤ්ඤත විහාර සමාපත්තිය නම් වේ. පහතින් ඇති ධර්ම කොටස් කියවා අවබෝධ කරගන්න.
🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇතිහෙයින් (සංස්කාර නිමිත්ත නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අනිමිත්ත විහාර නමි. තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත යයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අප්පණිහිත විහාර නමි. ආත්මවසයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට බලයි. මෙය සුඤ්ඤත විහාර නමි.
🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිර්වාණය ආවර්ජනා කොට (ඵලයට) සමවදියි. මෙය අනිමිත්ත සමාපත්ති නමි. තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත් බව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය අප්පණිහිත සමාපත්ති නමි. ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණුහෙයින් පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය සුඤ්ඤත සමාපත්ති නමි.
🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාරයන් නුවණින් ස්පර්ශකොට අනිත්‍යය බලයිද පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය අනිමිත්තවිහාර සමාපත්ති නමි. ප්‍රණිධිය භව වශයෙන් දක්නේ අප්පණිහිත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශ කොට බලයිද පැවැත්මෙහි මැදහත්ව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය අප්පණිහිත විහාර සමාපත්ති නමි. ආත්ම වශයෙන් ගැන්ම භයවශයෙන් දක්නේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය සුඤ්ඤත විහාර සමාපත්ති නමි.