30/04/2020
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් වූ විහාරයෙහි වැඩ වසන සේක. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ් මෙයින් ආත්ම පහකට පෙර මව වූ එවකට පේත ආත්මයේ ඉපිද සිටි එක්තරා පේතියක් අරභයා මෙය වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ වේළුවන වෙහෙර වැඩ වසද්දීම සාරිපුත්‍ර, මොග්ගලාන, අනුරුද්ධ, හා කප්පින නම් වූ ආයුෂ්මතුන් වහන්සේලා ද රජගහ නුවරට නුදුරු එක්තරා ආරණ්‍යයක වැඩ වාසය කරන්නෝ ය. මේ කාලයෙහිම බරණැස් නුවර සියල්ලෙන් පිරි මහා සම්පත් ඇති මහා ධනවත් බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට, දුගී මගී යාචකයනට, බැගෑපත් ලෙස සිඟමන් ඉල්ලා එන්නන්ට පිපාසය නිවන සිහිල් දිය පිරි මහා පැන් පොකුණක් සේ, ආහාර පාන, වස්ත්‍ර සයනාසන ආදිය දීමෙහි යෙදුනේ වෙයි. එසේ දෙනු ලබන්නේ ද පැමිණි පැමිණි අයට ඒ ඒ කාලයට සුදුසු වන පරිදිය. සුදුසු දේමය. අවශ්‍ය වනුයේ පා දෝනා පැන් වන්නේ ද, පාගල්වන තෙල් වන්නේ ද, ඖෂධ වේද එයම දෙන්නේ ය. ආහාර පාන, ගිමන් නිවාලන හල්, අවශ්‍ය වේ ද ඒවා දෙයි. පෙරබත් කල්හි නම් මැනවින් සකස් කොට පිළියෙළ කළ ආහාර භික්ෂුවට පූජා කරන්නේ්ය. මෙසේ පිළිවෙළින් ඒ ඒ අයට උචිත උචිත දේ වශයෙන් සියල්ල නො අඩු කොට සකස්කොටම දුන්නේ වෙයි.
යම්කිසි කාරණයකට මොහු බැහැරට යන්නේ නම් මේ සියලු දාන කටයුතු සිය බිරිය වෙත පවරන්නේ කරගෙන ආ පිළිවෙළ හා දානවිධි නො ඉක්මවා පවත්වා ගෙනයන ලෙස අවවාද කරමින්ය. ඇය ද, මැනැවැයි පිළිගන්නීය. වරක් මෙසේ ඔහු ඉවත්ව ගිය විටක පළමුකොට පෙර බතට වඩින භික්ෂූන් වහන්සේගේ දානය ඇය නවතාලීය.
ගමන් වෙහෙස නිවා වාසය පිණිස පැමිණි මගින් හට තම ගෙය පිටුපස හැරදමා තිබූ දිරාගිය ශාලාව පෙන්වා එහි නිදා ගනිවු යැයි කීවාය. සාගිනි ඇත්තවුහට තෙපි අශුචි කාපියව් ද පිපාසා ඇත්තහුහට තෙපි මුත්‍ර බීපියවු ද, ලේ බීපියවූ ද ආදී වශයෙන් යම් පිළිකුල් සහගත දේ ඇද්ද ඒ ඒ දේම කියමින් අමිහිරි නපුරු වචනම කියන්නී ය.
මෙසේ වූ ඇය නොබෝ කලකට පසු මිය ගොස් කරන ලද අකුසල කර්ම බලයෙන් (හිස මත තිබූ බරක් බිම තැබුවා සේ) පේත යෝනියෙහි උපත ලැබුවා ය. තමා කළ, ක්‍රියාවන්ට අනුව මෙහි දුක් අනුභව කරන්නේ කවරකුගේ පිහිට ලැබේදැයි පෙර උපත් බලා ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් වහන්සේ වෙත එලඹීමට සිතා වැඩ සිට ඒ විහාරය වෙතට ගියා ය. එවිට විහාරයට අධිගෘහිත දේවතාවෝ ඇයගේ ඇතුල්වීම වළකාලුහ. ඇය මෙසේ කියන්නී. මම ආර්ය වූ සැරියුත් තෙරුන් වහන්සේ ගේ පෙර ජාති මවක්මි. තෙරුන් වහන්සේ දකින්නට, මට ඉඩ හරි වූ යැයි ඉල්ලා සිටියා ය. ඒ ඇසූ දෙවියෝ ඇයට යාමට අවසර දුන්හ. මෙසේ විහාරයට වන් ඇය සක්මන් කෙළවර වැඩ සිටි සැරියුත් තෙරුන් වහන්සේට තමන් දැක්වීමට සැලැස්වීය.
පේතිය දුටු සැරියුත් තෙරුන් වහන්සේ, ඔබ නග්නය, දුර්වර්ණය, කෘශය, ඉල්පුණු නහරින් යුත් සිරුර ඇත්තීය. ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරෙන් යුතුව මෙහි සිටින ඔබ කවරෙක් වන්නී ද?
පේතිය පිළිතුර දෙන්නී
(ස්වාමීනි) මම මින් පෙර ජාතියක (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ වැදු මව වීම්. පව්කොට පේත ලෝකයෙහි උපන් මම සා පිපාසයෙන් පෙළෙන්නේ වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මළ ද, කෙළ සොටු හා සෙම ද, දවන මළ සිරුරුවළ වුරුණුතෙල් හා වැදු ස්ත්‍රීන්ගේ පහව යන ලේ ද, වණ ඇත්තවුන්ගේ මෙන්ම, හිස් හා නාසයාදී (අගපසඟ) කැපුවන්ගේ් යම් ලෙයක් වේ. නම් එය ද ස්ත්‍රී පුරුෂ ශරීර ආශි‍්‍රත අපවිත්‍ර දේ ද අනුභව කරමින් කල් ගෙවන්නෙමි ය.
ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන් වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි. ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.
ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?