Buddhism - නිවන් මග.

Buddhism - නිවන් මග. In order to propagate humanity !

We all have a journey to take. The only difference is,no one knows when 🤍
10/07/2025

We all have a journey to take. The only difference is,no one knows when 🤍

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි...! අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාවූ උ...
05/06/2020

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි...!

අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාවූ උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක. එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව.

බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව දඹදිව රජකම් කළේ ධර්මාශෝක මහා අධිරාජයා. එතුමාගේ මුල් නම අශෝක. එතුමා දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඒ කියන්නේ යුද්ධ කරල රටවල් ඇල්ලීමේ ප්‍රතිපදාව. පසුව කාලිංග දේශය සමඟ සිදුවුණු බිහිසුණු යුද්ධයෙන් පසුව එතුමා ජීවිතය පිළිබඳව ඉතාමත් කළකිරුණා. එදා එතුමාගේ ජීවිතයටත් මුළු මහත් බෞද්ධ ලෝකයටත් වැදගත්ම අමරණීයම දවසක්.ඒ තමයි මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින රජුගේ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වරණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය, මේ දර්ශනය දැකීමෙන් රජතුමා ගේ සිත පී‍්‍රති ප්‍රමෝදයට පත් වුනා පමණක් නොවෙයි චංචල වී ගිය සිත මදකට නිශ්චල වී ගියා.

ඉන්පසුව එතුමා ස්වකීය ඇමතිවරුන් ලවා මේ පුංචි සාමණේරයන් වහන්සේ ස්වකීය මාලිගයට වැඩම කරවා ගත්තා. තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධාන කළා. එතකොට පොඩි හාමුදුරුවො සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. උන්වහන්සේ සුගතියට මග සකස් කරගත් කෙනෙක්. නිවන් මගට යොමු වූ කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්හ. රජතුමාත් බොහෝ නිහතමානී ලෙස බිමින් වාඩි වුනා. දැන් බලන්න මුළු දඹදිව තලයම හෙල්ලුම් කන ආකාරයට කටයුතු කරපු අධිරාජයෙක් කටයුතු කරන ආකාරය. මේ තමයි ධර්මයේ බලය.

ඉතින් මේ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්ත. ඉන්පසුව එතුමාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුනා. “චන්ඩාශෝක” ධර්මාශෝක බවට පත් වුනා. දිග්විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඉන්පසුව ධර්මාශෝක අධිරාජයා මේ සාමණේරයන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. ඊට පස්සෙ උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන වෙහෙර විහාර අසූහාර දහසක් කෙරෙව්ව. විශේෂයෙන්ම එතුමාට ඒ විහාර සඳහා අවශ්‍ය ධාතුන් වහන්සේලා එදා අජාසත්ත රජතුමා විසින් නිදන් කර තිබූ චෛත්‍යය තුළින් ලබා ගන්නට හැකි වුනා. වර්තමානය වන විට පුරා විද්‍යාඥයින් පවා තහවුරු කරල තිබෙනවා. ඒ වෙහෙර විහාර පිළිබඳව.

මේ වන විට ශාසනයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්‍යලබ්ධිකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට පටන් ගත්හ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇති වුනා. විනය විරෝධී භික්‍ෂූන් වහ්නසේලා එන්න එන්නම වැඩිවුනා. සත් අවුරුද්දකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. ඊට පස්සෙ මේ පිළිබඳව අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කරල තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එය පැවැත්වුනේ පැළලුප්නුවර (පාඨලීපුත්‍ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා. මින් පසුව විනය විරෝධී භික්‍ෂූන් වහන්සේලා සැට දහසක් පමණ සිවුරු අරවා ශාසනයෙන් නෙරපා හැරියා. තුන්වන ධර්ම සාංගායනාවෙන් සිදු වුණූ උදාරම සේවය තමයි රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීම. ඒ අනුව අපි වාසනාවන්ත වුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්න.

එදා පොසොන් පොහොය දා දඹදිව වේදිසා පුරයේ සිට ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක කියන පිරිස සමඟ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළේ. ඒ වෙලාවෙ අපේ රටේ රජතුමා හතලිස් දහසක පිරිවර සමග මුව දඩයමේ ගිහිල්ල හිටියෙ. ඒක ඒ කාලෙ තිබුණු එක්තරා චාරිත්‍රයකි. ඉතින් මේ වෙලාවෙ මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමාට මුණ ගැස්සවීම පිණිස එම පර්වතයට අරක් ගත් දේවතාවා රත්තරන් පාට ලස්සන මුවෙකුගේ වේශය අරගෙන රජතුමාට පෙනෙන්නට තණ කමින් සිටිය. රජතුමා මේ මුවාට විදින්නට ඕන කියල හිතාගෙන දුනුදිය ඇදගෙන ඌ පසුපස්සෙ එලවාගෙන ගියා. අර මුවාත් හරියටම මිහින්තලා පර්වතය ළඟින් දුවගෙන ගිහිල්ල අතුරුදන් වුනා. ඒ වෙලාවෙ රජතුමාව දුටු මිහිඳු මහ රහතන් වහන්සේ ‘තිස්ස’, ‘තිස්ස’ කියල කථා කළා. මේ ශ්‍රී ලංකාදීපයේ තමාට නම කියල අමතන්න තරම් අභිමානවත් පුද්ගලයා, කවුද කියල එතුමා බැලුවා. එතකොට එතුමා දැක්ක මිහින්තලා පර්වතයෙ කසාය වර්ණයෙන් බබලමින් වැඩ ඉන්න මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට එතුමා කලින් මහා සඟ රුවන පිළිබඳව අහල තිබුණත් මේ විදියට ඔබලා කවුද කියල ඇහුවා.

පින්වතුනි, අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි..,

සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉධා ගතා

යන ගාථා රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නෙ “මහරජතුමනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි වැඩම කළා”, යනුවෙන් දේශනා කළා. ඊට පස්සෙ රජතුමා ඇසුවා ඔබ වහන්සේලා මෙහි වැඩියෙ කොහොමද කියල. ඒකට පිළිතුරු දුන් මහරහතන් වහන්සේ දියෙනුත් නොවේ, ගොඩිනුත් නොවේ, කියල පිළිතුරු දුන්න. ඊට පස්සෙ රජතුමා ඇහුවෙ නෑ අහසින්ද වැඩියෙ කියල. මොකද රජතුමාට නුවණ තිබුණ තේරුම් ගන්න මනස දියුණු කරල අහසින් ගමන් කරන උත්තමයෙක් ඉන්නා බවටත් ඒත් නූතන යුගයෙ ඉන්න සමහර මිථ්‍යාදෘෂ්ඨික පිරිස් මේව පිළිගන්නෙ නෑ. රජතුමා ඊට පස්සෙ දුනු ඊතල බිම දාල මහ රහතන් වහන්සේට කන් දුන්න.

ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය සිදු වුනේ ඒ වෙලාවෙ. මහ රහතන් වහන්සේට වුවමනා වුණේ රජතුමාගේ නුවණ පිළිබඳව පරීක්‍ෂා කරන්න. ඒ නිසා අඹ ප්‍රශ්නයක් ඥාති ප්‍රශ්නයක් ඇහුව, එ දෙකටම ඉතාමත් බුද්ධිමත් ලෙස රජතුමා පිළිතුරු දුන්න. ඉන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ මජ්ඣිම නිකායේ පළමුවන කොටසට අයත් ඇතෙකුගේ පියවර සටහනට උපමා කරල වදාළ කුඩා දෙසුම වන "චූල හත්ථි පදෝපම" සූත්‍රය දේශනා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිවර උතුම් තෙරුවන් සරණට පත් වුනා. මේ තමයි අප ලංකා ඉතිහාසයේ අමරණීය දවස, කල්ප ගාණකින් පහළවන ඒ අමා මෑණී බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යාමට අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමාට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ පින්වත් දේවානම්පියතිස්ස රජතුමා ඒ අවස්ථාව සකල ලංකාවාසි සියලු දෙනාටම ලබා දීමට කටයුතු කළා.

මේ උතුම් සූත්‍ර දේශනාවෙ නම් බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි අන්තර්ගතය කුමක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ උතුම් සූත්‍රයේ තිබෙන්නෙ යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්ථාවරම උතුම් තිසරණයට පත්වීම ගැන. ඇත්තෙන්ම කෙනෙක් ධ්‍යාන ලබා ගත්තත්, පුබ්බේනිවාසානුස්සති ඥාණය, චුතූපපාත ඥාණය, ආසවක්ඛය ඥාණය ලැබුවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි කියල පිළිගන්නෙ නෑ. ඒ පිළිගැනීම ඇති කර ගන්නෙ තමා විමුක්තියට පත් වුනා කියල සැබෑ ලෙසට දැන ගත්තට පස්සේ. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට තවත් දේශනා ගණනාවක් සිදු කළා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ දෙවැනි දවසෙම දේවදූත සූත්‍රය දේශනා කළා. මෙය තිබෙන්නෙ මජ්ඣිම නිකායෙ තුන්වන කොටසෙ. අද ඉන්න අපේ සමහර බෞද්ධයන් අපායවත් පිළිගන්නේ නෑ. ඒත් ඒ මිහිඳු මහ රහතන් වහන්සේට වුවමනා වුනේ ශ්‍රී ලාංකිකයන්ට අපාය ගැන කියල දීල අපායෙන් ගලවන්න.

ඉතිං පින්වතුනි, අද දවස තමයි අපේ රටට ඒ ප්‍රඥාලෝකය උදා වුනු දවස, සතුන්ට අභයදානය ලැබිච්ච දවස. අපට සංසාරය ගැන ඉගෙන ගන්න ලැබුණු දවස. ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණු දවස, පින, පව, ගැන දැන ගන්න ලැබුණු දවස, ඒ උතුම් නිවන ගැන දැන ගන්න ලැබුණූ දවස, ඉතින් අපි මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අවාසනාවකට අද අපේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට මේ වැටහීම නෑ. අපි අද පටන්වත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කරමු. ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය ගත කරමු. මෙලොව පරලොව වාසනාවන්ත කර ගනිමු. ඒ උතුම් නිවන සාක්ක්‍ෂාත් කර ගනිමු. ඔබට ඒ වාසනාව උදාවේවා..!

තෙරුවන් සරණයි .....!!!

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..!!!

Significance of Poson full moon Poya day.The day we commemorate the introduction of Buddhism to Sri Lanka by Arahat Maha...
05/06/2020

Significance of Poson full moon Poya day.

The day we commemorate the introduction of Buddhism to Sri Lanka by Arahat Maha Mahinda (son of King Asoka of India) at Mihintale in the third century B.C. Ven Mahinda established the Dispensation of The Buddha (Buddhasasana) in Sri Lanka.
Significance of Poson Full Moon Poya Day

The full-moon Poson Poya Day is noteworthy to the Sri Lankan Buddhists as the day on which Emperor Asoka's son, the Arahat Mahinda, officially introduced Buddhism to the island in the 3rd century B.C.

Accordingly, in addition to the normal ritualistic observances undertaken on a Poya day, on Poson day devotees flock to Anuradhapura, the ancient holy capital city of the country, for it was there that Arahat Mahinda converted the then ruler, King Devanampiya Tissa, and his court to Buddhism, thereby setting in motion a series of events that finally made Sri Lanka the home of Theravada Buddhism.

Even today, on Poson Poya, Anuradhapura becomes the center of Buddhist activity. Mihintale, the spot where the momentous encounter between the Elder and the King took place, accordingly receives the reverential attention of the devotees.

The two rituals of pilgrimage and the observance of the Eight Precepts are combined here. Processions commemorative of the event, referred to as Mihindu Peraheras, are held in various parts of the country.

17/05/2020
17/05/2020

අපේ දේවල් ගැන අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද තව. . .

| නිවන තව හරි ඈතයි..🙏🏻පින්නෙන් පවා වැනසෙනපුංචි කූඩුවට,ඉටි කවර දාලා රැකගන්න හදන අපි'අත්හැරීම' ඉගනගන්න දවසතවම හරි ඈතයි...!...
07/05/2020

| නිවන තව හරි ඈතයි..🙏🏻

පින්නෙන් පවා වැනසෙන
පුංචි කූඩුවට,
ඉටි කවර දාලා රැකගන්න හදන අපි
'අත්හැරීම' ඉගනගන්න දවස
තවම හරි ඈතයි...!

දවස් තුන්සිය හැට හතරක්
වස්තුව පොදි බැඳලා,
එකම එක දවසක්
දන්සලක් දෙන අපි,
'දන්දීම' ඉගනගන්න දවස
තවම හරි ඈතයි...!

මූණට මේකප් දමල සරසනව වගේ
වෙසක් කූඩුවත් සංකර කරලා
කූඩු තරගෙ දිනන්න හදන අපි,
'අනියත බව' ඉගනගන්න දවස
තවම හරි ඈතයි...!
කොටින්ම අපිට,
'නිවන' හිතන්න බැරි තරම් ඈතයි..!

භද්‍රා..එක් බුද්ධාන්තරයකදි පහළ වෙන්නේ, “එකම බෝසත් පතිණියක්” පමණයි.. “සක්විති ස්ත්‍රී රත්නය” නිෂ්ප්‍රභා වන්නේත්... ඔබවැනි...
02/04/2020

භද්‍රා..
එක් බුද්ධාන්තරයකදි පහළ වෙන්නේ, “එකම බෝසත් පතිණියක්” පමණයි.. “සක්විති ස්ත්‍රී රත්නය” නිෂ්ප්‍රභා වන්නේත්... ඔබවැනි “බෝසත් පතිණියක් වූ, ස්ත්‍රී රත්නයක්” අභිමුවදි පමණයි...”

“එසේයි ස්වාමිණී..”

“නැගණිය..
එනිසාවෙන් ඔබ පෙළහර පෑ යුතුයි....

බෝසත් පතිණියකගේ “බලය” ලෝකයා හමුවේ ප්‍රකට කලයුතුයි.. “ස්ත්‍රී රත්නය” කෙබඳුදැයි ලෝකයා දැනගතයුතුයි...

එනිසාවෙන්,...
පිරිණිවනට පෙර,.. “ලොව හිත
පිණිස”,...
ඔබ, පෙළහර පෑ යුතුයි භද්‍රා...”

“ඔබගේ උරමඩළෙහි උපන් මේ සුජාත දුවණිය...
ඔබවහන්සේගේ සර්වඥ වූ බුද්ධාඥාව හිස්මුදුණෙන් දරාගන්නෙමි ස්වාමීණී..

එසේනම්...

“ දුර්ලභ වූ,...

බෝසත් පතිණියක සතු බලය...
බුද්ධ දුහිතෲ බල පරාක්‍රමය, දැක්වීම පිණිස...
මාහට අවසර ලබාදෙන සේක්වා...!!!”

************

එදා මං එනකොටත් එතුමිය වේළුවනයට වැඩම කරල හිටියෙ නැහැ.. උදැහැනැක්කෙම සක් දෙව්‍ රජ්ජුරුවන්ගෙ අණ බෙරලන්නො සක්වල ගලටම ඇහෙන්න අණබෙරලන්න වුණා..

එතුමිය මහා පරිණිර්වාණයට වඩිනවලු... තථාගතයන් වහන්සේගෙන් අවසර ගන්න වේළුවන උයනට වැඩම කොරනවලු..

එදා ඒ ආරංචිය කණට වැටුන විතරයි මට දරාගන්න බැරි උනා..
අනේ.....

මහ ප්‍රජාපතී උත්තමාවත් පිරිණිවන් වැඩියා,..දැන් මෙතුමියත් පිරිණිවන් වඩිනව.... මහා පහන් ආලෝකයක් නිවෙන්න ලං වෙලා කියලයි මට දැනුනෙ...

පණිවිඩේ ඇහුණ වෙලාවෙම හනි හනිකට රජගහ නුවරට ඇවිදිල්ල වේළුවන උයනට එනකොටත්, මහා දේව සේනාවක් වේළුවන උයන පිරිවරාගෙන හිටිය...
පොළව කිමිදීගෙන ආපු නාග පිරිස අවට තැන තැන රංචු ගැහිල...

එදා දන්න කියන භූමාටු දෙවිවරු වගේම...සදෙව් ලෝකයේම උත්තමයො ඇවිදිල්ල උන්නා... බ්‍රහ්ම උත්තමයොත් මහා රාශියක් වැඩම කරල උන්න.. උන්නාසෙල අපිට නොපෙනුනාට , මහා ආලෝක දහරාවන් දැක්කම උන්වහන්සේල බව අඳුරගන්න අමාරු උනේ නෑ...

එහෙම ඉන්න අතරතුරේ ඒ “මහා ස්ත්‍රී රත්නය”, වේළුවන සීමාවට ලඟාවුණා..

“ස්වර්ණ හංස රාජිණියක්... පරිවාර හංසියන් පිරිවරාගෙන ...
වේළුවන පියුම් වනයට සැපත් වෙන්නාක් වගේ...”

“සද්ධන්ත හස්ති රාජිණියක් පිරිවරාගත්ත,... පරිවාර ඇතිණි සේනාවක්.. සද්ධන්ත විලට පිවිසෙන්න වගේ”...

පන්සියයක් පරිවාර මහරහත් මෙහෙණින්වහන්සේලාව පිරිවරාගෙන...
බඹයක් පමණ දුරට විහිදෙන “සෞම්‍යය ප්‍රභාවෙන් විරාජමාණව”...

ඒ...
අසහාය “ස්ත්‍රී රත්නය” ... මහ පොළව සනහ සනහා වැඩම කරා...

ශ්‍රී ශරීරයෙන් නික්මෙන රැස් දහර... සඳ මඩුළු දස දහසක් පායල වගේ...
දුටු දුටුවන්ගෙ සිත සනසන චන්ද්‍ර මණ්ඩලය වගේ මුව මඩල...

මහනෙල් මල් පෙත්තෙන් කරපු දෑස් තුලින්... නිල්මිණි කැටයක් දිලෙන්න වගේ....
සියපත් පෙත්තකින්කලා වගේ සුන්දර මුව මඩලෙ... යාන්තම් රැඳුනු ඒ සිනහව.. අදටත් සිහිවෙනව...

රන්වන් චවිය.... මහනෙල් මලක ඇතුලු ගැබේ තිබෙන , රන්වන් පැහැය වගේ....
“අට සැත්තෑ වියෙහි” පසුවුණත්... උන්වහන්සේ හරියට සොළොස් හැවිරිදි දැරිවියක් වගේ සුන්දරයි...

අනේ...

ඒ උත්තමාව ඈතතියා දකිද්දි පැන නැගුණ සාදු නාදය.... අදටත් මගේ කනේ දෝංකාර දෙනව...

සාදූ...සාදූ...සාදූ....!!!

අහසෙ වැඩ උන්නු මහා දේව සමාගම ඉහල අහසෙ ඉඳගෙන මල් වරුසා වස්සවමින්, මහෝත්තමාව වැඩම කරන මාවත දිගට මල් පාවඩ මවන්න වුණා...
පොළව කිමිදීගෙන ආපු දිව්‍ය නාග මානවිකාවො... මග දෙපස එකතුවෙලා..එතුමිය වැඩම කරන මාවතේ.. එතුමියගෙ පා පිවරක් පියවරක් පාසා... කඩුපුල් මලින් පා කමල් පිලිගත්තා...
එතුමිය තබන පියවරක් පියවරක් පාසාම, පොළව පලාගෙන කඩුපුල් මල් පැනනගිනව...

ඒ වෙනකොටත් වැඩ සිටිය “අසූමහසව්වන්” වහන්සේලා කිහිප නමත් මහා සඟ පිරිවර පිරිවරාගෙන,... ඈත එපිට වේළුවන උයනෙ මහ හුණ පඳුරක් ලඟට වැඩම කල මගේ “තථාගතයන් වහන්සේ”.... එතුමිය එනතුරාවට පෙරමග බලාන ඉන්නාක් වගේ..
පෙරදිග දොරටුවට මුහුණලා අසුන්ගත්තා...

සාදූ...සාදූ...සාදූ....!!!

ඈතින් ඇහෙන සාදුනාදය ටිකෙන් ටික ලංවෙනව..
අහසින් ඇදහැලෙන මල් වරුසාව වේළුවනයෙ උන්නු අපිටත් දං දැං පෙනෙනව...

යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ, මහා පරිණිර්වාණයට වඩින බව ආරංචි වුණ මහා ජනකායක්,...
එදා මේ මහා ආශ්චර්‍යය දකින්න...
එතුමියව දැකබලාගන්න මේ වෙනකොටත් වේළුවන භූමියට පැමිණිලා හිටියා..

“ස්වාමීණී...”
“ආනන්ද....”
“ස්වාමිණී.. එතුමිය විහාර සීමාවට වැඩමකලා ස්වාමීණී..”
“එහෙමද...
මේ ඇයගේත්, තථාගත වූ මාගේත් අවසන් දැක්ම නෙව ආනන්ද...”
“එහෙමයි ස්වාමීණී...”

තවමත් කෙලෙස් දුරින්ම දුරු නොකල ආනන්දයන් වහන්සේට,.. හිතට දුකයි...
කොහොම උනත් ගිහිකාලෙ නෑනණ්ඩිය...

ඒ නැතත් සංසාර පුරුද්ද....

මෙසේ කරුණු කාරණා සිද්ධ වෙද්දි.. යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ වේළුවන උයනේ.. නැගෙනහිර දොරටුවෙන්, විහාර සීමාවට අවතීර්ණ වුණා..

අහෝ... කාට කාටත් ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් වුණා..

එතුමියගෙ, ශ්‍රී දේහය වටා රැඳී තිබුණු, බඹයක් පමණ තැන් දක්වා විහිදුණු ...
සඳ එළියක් වගේ .. ඒ සෞම්‍ය කාන්තිය...

එකවරම නිෂ්ප්‍රභාවුණා...!!!

එයයි ලෝක ධර්මය..

මේ මහා පෲථිවි තලයේ පහල වූ ඒ, “අසහාය උත්තම ස්ත්‍රී රත්නයේ” ප්‍රභාව ගිලිහෙන්නෙ..
මේ මහා පෲථිවියේ පහල වූ “අසහාය උත්තම පුරුෂ රත්නය” වුණු...
මගේ “තථාගතයන් වහන්සේ” අභිමුඛයේදි පමණයි..

මේ සිදුවුණෙත් එයමයි...

මගේ තථාගතයන්වහන්සේ හා එක්ව, “සාර අසඛ්‍ය සියක්දහස් කපක්”, මහ දන් දෙමින්, දුක සැප බෙදාගෙන එන,... ඒ ඝෝරතර සසරෙදි.. එතුමිය කැටිකලා වූ මහා පුණ්‍යපලයේ විපාක වාරයක් තමයි, ඒ සෞම්‍ය ප්‍රභාව..

තජ්ජන වෙච්චි පබාවතියව ඉන්දෙද්දිත්... කාන්තිය විහිදෙන සිරුරක් දැරූ උන්වහන්සෙ ගැන.. තව මොන කතාද...

ඒ තමයි ස්ත්‍රී රත්නයේ, “රත්න ප්‍රභාව...”

මගේ තථාගතයන් වහන්සේ වේළුවන උයනේ පෙරමග බලාන හිඳිද්දි... උන්වහන්සේ ආනුභාවය අභිමුවෙහිදී.. ස්ත්‍රී රත්නයේ පූර්වකෲත පින් බලයෙන් හටගත් ඒ ස්වයං ප්‍රභාව නිෂ්ප්‍රභා වුණා...

“දහවල හිරු හමුවේ.. සඳෙහි ප්‍රභාව නොපෙනෙන්නාක් වාගෙ...”

“ස්වාමීණී... මගේ වන්දනය පිළිගනු ලබන සේක්වා..!!!”

උන්වහන්සේ වෙතට වැඩම කල උත්තමාව, බද්ධ පර්‍යංකයෙන් සිට පසඟ පිහිටුවා නමස්කාර කලා..

“එසේයි නැගණිය...”

එතුමිය සමග පැමිණි පිරිවර පන්සියයක් මහ රහත් මෙහෙණින් වහන්සේලත්, මගේ තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කරල, එකත් පසෙකට වෙලා අසුන්ගත්තා...

“භද්‍රා...
පැමිණි මග, ඔබ සැම සුවයෙන් පැමිණියාද නැගණිය...”

සැම කල්හිම උන්වහන්සේමයි “පුබ්බභාසී”...

“එහෙමයි ස්වාමීණී.. අප සැම සුවසේ පැමිණියා...”

“පැමිණි මග සිවුපසය මනාව ලැබුනාද.”

“මනාව ලැබුණ ස්වාමීණි...
ඔබවහන්සේට කල උපකාරයේ අතුරු පලයන්, වැඩිය මග පුරාවටම අප හට උපකාර පිණිස වුණා..”

“එසේ නේන්නම්,..
ඔබ පමණ මාහට උපකාරී වූවෙක්, බුදු නෙතින් දැකගන්නත් නැහැ නැගණිය..”

මගේ තථාගතයන් වහන්සෙ එසේ වදානරනවත් සමගම නැගී ගිය සාදුනාදය... රජගහ නුවර හුණ වනය ගිගුම් දෙවන්නට වුණා..

මොකක්ද මේ උන්වහන්සේ දේශනා කලේ..

යශෝධරා උත්තමාව මග වඩිනතුරාවට, උන්වහන්සේට සිව්පසයෙන් අඩුවක් වුණේ නැහැ..

ඇයි..?

මගේ තථාගතයන් වහන්සේ හැරුණු කොට.. සසර පුරාවට මහ දන් දුන්න කෙනෙක් ජීවමානව ඉන්නවනම්..
ඒ... මේ ස්ත්‍රී රත්නය පමණක්මයි...එතුමිය දුන් දානයේ විපාකය කොච්චරද කියනවනම්..

එතුමියට පැවිදි වූ දින පටන්,.... ආරාමයෙන් ආරාමයට ගමන් කරමින් ලැබෙන සිවුපසයෙන් මිදීම පිණිස කටයුතු කරන්න සිදු වුණා..

එපමණටම සසර කල පුණ්‍ය සම්භාරය පලදීම බලවත් වුණා..ඒ පින නිසාවෙන්ම, එතුමියගෙ අවසාන තථාගත දැක්ම උදෙසා වැඩම කල මේ ගමනෙදිත්,..පරිවාර පන්සියයක් දෙනා වහන්සේලාට පවා සිව්පසයෙන් නම් කිසිම අඩුවක් වුණේ නෑ..

උන්වහන්සේ වඩින ආරංචියට මග දෙපස රැස්වුණ අය... රැස් කකා දන් දෙනව....
දෙවිවරු විමාන මවාගෙන දන්දෙනව...

මේ ආකාරයට බුදු මුවෙන්ම තමන් වහන්සේගේ සංසාර ගමනේ දුන් දානයන් ගැන ප්‍රශංසා ලබපු උන්වහන්සේ.. නැවතත් තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කලා..

“ස්වාමීණී..
මා දැන් “අට සැත්තෑ” වියෙහි පසුවන්නේ...ඔබවහන්සේ සමගම “වෛශාක්‍ය මුහුර්තයෙන්”,... එක්ව ජනිත වුණු මා..
ඔබවහන්සේට පළමුව “පරිණිර්වාණයට” අදහස්කලා ස්වාමීණී..”

“එහෙමයි නැගණිය..”

“ස්වාමීණී,...
මා, “පෙරකල් දක්නා නුවණින්” විමසා බැලුවා....
පෙර තථාගතවරුන්ගේ ගිහිකල පතිණියන්ව සිට නිවන් වැදගත් උත්තමාවන් සියලු දෙනාම,.. ඒ ඒ තථාගතයන් වහන්සේට පළමුව පිරිණිවන්පා තිබෙනව ස්වාමීණී..

එම සිරිතට අනුවම, මාත් පිරිණිවන්නට අදහස් කරගෙනයි සිටින්නෙ... එනිසාවෙන් මා ඔබවහන්සේගෙන් ඒ සඳහා අවසර ලබාගැනීමේ අරමුණෙන් පැමිණියේ ස්වාමීණී..”

“සාදු..සාදු..සාදූ....!

නැගණිය භද්‍රා...
ඔබගේ අදහස යහපත්...

එයමයි ලෝක ධර්මතාවයත් වන්නේ...ලොව සෑම බුද්ධාන්තරයකදීම.. ඒ ඒ බුදුන් හට සසර උපකාරී වූ ගිහිකල පතිණිය, පළමුව පිරිණිවුණා..”

“ස්වාමීණී...
ඔබවහන්සේ සමග මා... පළමු හමුවීම සිදුවුණේ,... එදා දීපංකර පාදමූලයේ වැතිරසිටි ඔබවහන්සේ හට, “නිලුපුල් අට මිටක්” දුන් දින සිටයි ස්වාමීණී..”

“එය මා හට මතකයි භද්‍රා ..”

“එදා ඔබවහන්සේ, මහා බලවත් අභිඥ්ඥා ප්‍රාප්ත තවුසෙක්ව සිටියා.. මා “සුමිත්‍රා” නම් වූ අස්වාමික බ්‍රාහ්මණ තරුණියක් ස්වාමීණී...”

“ඔබ නිවැරදියි නැගණිය..”

මෙසේ මේ මහා පුරුෂ රත්නයත්,ස්ත්‍රී රත්නයත්..
තමන් වහන්සේලා දෙපල සසර හමුවූ ආකාරය පවසද්දි..

ගුවන දෙදරවමින් නැගූ සාදු නාදය නැත්තටම නැතිවෙලා...
උන්වහන්සෙලා දෙනමගෙ මේ පූර්ව භවයන් පිළිබඳ කතිකාව දෙසට,....
රැස්වුණ දේව,බ්‍රහ්ම,නාගාදී දිව්‍ය සත්වයන් වගේම,... රැස්වුණු මහා ජනකායත් ඒකාත්මික වුණා...

මගේ තථාගතයන් වහන්සේගේ මුවෙන් “සඳුන් සුවඳ” විහිදුනා වගේමයි... එතුමියගෙ මුවෙනුත් “නිල් මහනෙල්” සුගන්ධය විහිදෙනව..

එදා මේ මහා රත්නයන් දෙදෙනා වහන්සේලා... එකිනෙකා දොඩමලු වෙද්දි...
මුළු වේළුවනයම දිව්‍ය සුගන්ධයෙන් ඇලළීගියා...


ඔය..ඔය දැනෙන්නෙ ඒ සඳුන් සුවඳ තමා...
ඔය නිලුපුල් සුවඳත් හමන්නෙ...

දැනෙනව නේද...
ඔය දැනෙන්නෙ... ඕං ඕං....

දැනෙනව නොවෙද සුගන්ධය...

“ස්වාමීණී...
ඔබවහන්සේගේ සර්වඥතාවය උදෙසා, ඕනෑම උපකාරයක් කරන්න හිතාගෙන, මමත් මගේ අතේ තිබුණු “මල් තෙමිට”, දීපංකර තථාගතයන් වහන්සේට එදා පූජකලා...”

“එදා ඔබගේ පැතුම අද සපල වෙලා නොවේද භද්‍රා...”

“එසේයි හිමියණි...
අද ඒ පැතුම සපලවෙලා...
ඔබවහන්සේගේ පැතුමත් සපල වෙලා...

නමුත්, අද පිරිණිවන් යන ගමනේදී මා විසින් කල යුතු යුතුකමක් පවතිනව ස්වාමීණී..”

“ඒ කිමෙක්ද භද්‍රා..?”

“ස්වාමීණී....
ඔබවහන්සේ සමග එක්ව ආ ඒ.. දීර්ඝ ගමනේදී.... මා නිසාවෙන් ඔබවහන්සේ විඳි දුක් ගැහැට අප්‍රමාණයි ස්වාමීණී...”

“භද්‍රා,..
මාගේ සර්වඥතාවය උදෙසා ඔබකල කැපකිරීම් හමුවේ... එම ගැහැට මාගේ පාරමිතා සපිරීමට ආශිර්වාදයන් වුණා නොවේද නැගණිය...”

“එහෙමයි ස්වාමීණී... මා එය දන්නව..
නමුත් මාහට ඔබවහන්සේගෙන් ඒ උදෙසා සමාව අයැදීමට අවශ්‍යයි ස්වාමීණී..”

“භද්‍රා...”

“ස්වාමීණී...”

“ඔබ දැන් කෙලෙසුන් කෙරෙන් දුරුවූ ක්ෂීණාශ්‍රව ආර්‍යාවක්... සමාව ගැනීමක් අවශ්‍ය නැහැ නොවැ..”

“නමුත් ස්වාමීණි,..
අනාගත සත්ත්වයා විසින් අපගේ පෙර භවයන් පිළිබඳ ඔබවහන්සේ විසින් වදාල දේ අසා,...අනුවණකමින්, අස්ථානයේ මාහට පරිභව කලහොත්.....?

එය ඔවුනට මහා අහිත පිණිස වේවි....
එනිසාවෙන් මාහට සම්මුති වශයෙන් සමාවගැනීම පිණිස අවසර ස්වාමීණී...”

“හොඳයි එසේනම්...”

එදා මෙසේ තමන් වහන්සේ හට සසර උපකාර කල මේ “ක්ෂීණාශ්‍රව ස්ත්‍රී රත්නය”... බෝසත් පතිණිය ලෙසින් වූ අතපසුවීම් ගැන සමාව ඉල්ලීම වෙනුවෙන් අවසර පතද්දි... මගේ තථාගතයන් වහන්සේ එය ඉවසා වදාලා...

අවසර ලද බව වටහාගත් එතුමිය, ඒ “ඝෝර භීරාන්ත” අතීත සසර සලකුණු වදාරන්න වුණා...

“ස්වාමීණී...

එදා මා “සදත් ඇතිණියව” ඔබවහන්සේගේ “ලපටි බිසව” ලෙසින් උපන් භවයේ,.. ඔබවහන්සේගේම “ආප්ත බිසව” ලෙසින් “චිංචාව” උපත ලබා සිටියා ස්වාමීණී...

ඔබවහන්සේ දිනක්... හිමගිරි අරණෙහි අප දෙදෙනාට මැදිව... අසූදහසක් සේනාවට ප්‍රමුඛව ගමන් වඩිද්දි,...

ඔබවහන්සේගේ කුම්භය වැදීමෙන් සැලීගිය ඒ සල් ගසෙහි,...පිපී ගිය මල් පොකුරු..මගේ හිසටත්... එම ගසෙහිම ජරපත් දඬුවක්, සපත්ණී වූ ආප්ත බිසවගෙ හිසටත් වැටීගියා ස්වාමීණී...

එම සිදුවීමෙන් ඔබවහන්සේ කෙරෙහි වෛර බැඳගත් ඇය, මතු භවයකදී මනුරාජ කුලයක ඉපිද,... ඔබවහන්සේගෙන් පලිගැනීම උදෙසා... මහා මුසාවක් දක්වා....
බලු වැද්දෙකු ලවා අප සිටින ඉසව්ව සොයාගෙන... ඌ ලවාම විස හීයෙන් ඔබවහන්සේගේ “නැබ මඩල” විද්දා ස්වාමීණී...

“අසූ දහසක් සදත් ඇතුන්ට මහා බල ඇති.....
එක කුංචනාදයෙන්.... අසූදහසක් මහා බල ඇතුන් දණින් තැබිය හැකි වූ ඔබවහන්සේව,...
එයින් මරණයට පත්කලා මතකද ස්වාමීණී....”

“එහෙමයි නැගැනිය..මාහට මතකයි එය..”

“ස්වාමීණී, එදා ඔබවහන්සේට එවන් මහා විපතක් වුණේ මා කෙරෙහි ඇය බැඳි “සපත්ණීරෝෂය” නිසාවෙන්මයි ස්වාමීණී... මා ඔබගේ දෙටු බිරිය නොවූවානම්...ඔබගේ ප්‍රිය බිරිය නොවූවානම්..
එදා ඔබවහන්සේට එවන් විපතක් වන්නෙ නැහැ...

ස්වාමීණී....
එනිසාවෙන් එදා මාවෙතින් වූ වරදට සමාව දෙන සේක්වා...!!!

“නැගණිය....භද්‍රා...

එදා, එසේ මාගේ නැබමඩල විද, මා මරණයට පත් කිරීමට ඒ බලු වැද්දා නොවිද්දානම්..

“පංච මහා සාගර ජලයම,.. එකම මුව විටකින් ගලා යන්නාක් වගේ... ඒ බලුවැද්දා කෙරෙහිම මා මෙත් වඩන්නේ කෙසේද...”

ඒ බලුවැද්දා රැකීම පිණිස... “අසූ දහසක්” සේනාව ඉවත්වන තුරු,...නැබින් ලේ පෙර පෙරා... මා ඔහුව රැක සිටියා නැගැනිය.... මහා කරුණාව පෙරදැරිව මෙත් වඩමින්, පාරමී පුරන්නට මාහට ඊටවඩා අවස්ථාවක් ලැබේවිද....?

එනිසාවෙන්...එසේ ඔබ නිසා වූ විපත, මාහට පාරමිතාව පිණිසම සුව යානාවක් වුණා... ඉතින් කෙසේනම් ඔබ වරද කාරියක් වන්නද භද්‍රා...?

“ස්වාමීණී...
තවත් වරෙක, මා “සඳ කිඳුරියක්ව”, උපන් සමයේ... ඔබවහන්සේගේ ප්‍රිය සොඳුරිය වන්නට මා භාග්‍යවන්ත වුණා...

එදා “සඳ මහ පව්වෙදි”...

පිලැස් සලමින්... රැඟුම් රඟමින්...
දිව්‍ය ලීලෝපේත නුරා රැඟුමෙන්...

රැඟූ,.. අප දෙදෙනගේ ඒ කිඳුරු රැඟුමට වශී වුණු මනු රජුන් නිසාවෙන්... කිඳුරු රාජයාණන් වුණ ඔබවහන්සේට මරණය පමණ මහා දුකකට මුහුණ දෙන්නට වුණා ස්වාමීණී...

එදා මා කෙරෙහි ලොබ බැඳපු ඒ බරණැස් මහරජුන්,.. රහසේම ඔබ විද මරන්නට සිතා, විදහල හීතලය නිසාවෙන්... ඔබ මහා දුක්ඛයකට පත්වෙලා හිටිද්දි...
“සක්දෙව් රජුන්ගෙ” පඬුපුල හුණු කරවන්න සමත් වුණු මා.. බොහෝ වෑයමෙන් ඔබවහන්සේගෙ දිවි ගලවා ගත්තා...

නමුත් ඔබවහන්සේ එපමණ මහා දුකකට පත්වුණේ... එදා බඹදත් රජුන්ගේ සිත බැඳී ගියේ,... මා ලද ඒ රූපශ්‍රීය නිසාවෙන්මයි ස්වාමීණී...

අනිත්‍ය වූ මේ රූපය,.... එදා මහා ආභරණයක් ලෙස සැලකූ මා නිසාවෙන්,.... ඔබවහන්සේට වූ ගැහැට උදෙසා මාහට සමාව දෙන සේක්වා ස්වාමීණී...!!!”

“එදා වූ ගැහැට නොවන්නට.... මා, පෙර බලු වැද්දාට සේම,... බඹදත් රජුන්ටත් මෙත් වඩන්නේ කෙසේද භද්‍රා..”

“ස්වාමීණී...
“පබවතිය” ලෙසින් ඉපිදී.. අද මෙන්ම “කාන්තිය විහිදෙන” රූපයෙන් හෙබි මා... එදා දඹදිව, වරරූපසුන්දරිය වුණා ස්වාමීණී..

දඹදිව තුඩ තුඩ රැව්දුන් මාගේ රූපශ්‍රියාවෙන් ඔදවැඩී ගිය,...ඔබවහන්සේගේ “සීලවතී” මාතාව,.. “ජයම්පතී” දක්වා කූඨ උපායෙන් මා ඔබවහන්සේට සරණ කරදුන් අවධියේ... සත්‍ය දැනගත් මා....

“නැඹුලු මුහුණක් ඇති යකෙකු සේ පෙනෙනා බවට” ,ඔබවහන්සේ හට නිගා කරමින් .. මධු රට මාගේ මව් පියන් කරා ගියා මතකද ස්වාමීණි...?”

“මතකයි භද්‍රා... මනාව මතකයි...”

“ස්වාමීණී..
එදා මා කල, නොහොබිනාකම් නිසාවෙන්.... “සත්වස් සත්දිනක්” පුරාවට... ඔබවහන්සේ නොවිඳි දුකක් නැහැ ස්වාමීණී...

මා එදා “කොකනද වෙණෙහි” තත් හඬ ඇසී,... ඔබවහන්සේගේ පැමිණීම දැනගන්නා තෙක්...

ඔබවහන්සේ මා වෙනුවෙන්ම...
කුඹල්කම් කලා, අරකැමිකම් කලා,ගවපල්ලන්, අස්පල්ලන් මෙන්ම ඇත්ගොව්වන් ලෙසත් ගව මහීෂාදීන්ගේ වසුරු පවා හිස්මුදුනෙන්ම ඇද්දා නොවෙද ස්වාමීණී..”

අනේ ...
මේ වගේ තමන් වහන්සේලා දෙනම සසර පුරාවට ආගිය තැන් ගැන පවසද්දි... එතුමිය නිරාමිස හදවතින් මේ දේවල් පැවසුව වුණත්...
රැස්ව උන්නු පෲතජ්ජන පිරිසට දරාගන්න බැරි උනා...

සසර පුරාවට මේ උත්තමයන් වහන්සේලා දෙනම කොයිවගේ කැපකිරීම් කරද.. කොයිවගේ විශ්වාසයෙන් හැසිරිලාද කියල හිතෙනකොට දරාන ඉන්න බැරිවුණ පිරිස දෙකම්මුල් දිගේ කඳුලු පෙර පෙරාම සාදුකාර දෙන්න වුණා...

අහසපුරා සිටගත්ත දෙව් පිරිස සාදුකාර දෙන්න වුණා...
නා පිරිස සාදුකාර දෙන්නවුණා....

“එදා එපමණ මහා දුක්කම් කටොලු වින්දෙ... මගේ රූපය නිසාවෙන්, මානයෙන් යුතු වූ මා කල නොහොබිනා කටයුතු නිසාවෙන්මයි ස්වාමීණී...

ඒ වෙනුවෙන් මා හට සමාවන සේක්වා...!!!”

“නැගණිය භද්‍රා...
එදා ඔබ, මා හැර නොගියානම්...

බුද්ධාකුර වූ මා..

කෙසේනම් ඉවසීම ප්‍රගුණ කරන්නද...?
කෙසේනම් වීර්‍යය්‍ය වඩන්නද භද්‍රා....?

එදා...
ශාන්තිය වගේම වීර්‍යය පාරමිතාවටත්, ප්‍රඥාව පිණිසත්...ඔබගේ ඒ විප්‍රයෝගය මනා පිටුබලයක් වුණා.. එනිසාවෙන් ඔබගේ දෝෂයක් නැහැ...”

මේ අතරෙ නැගි නැගී එන සාදුනාදය නිමක් නෑ...
කඳුළු සල සලා සාදුකාර දෙන පිරිසේත් අඩුවක් නෑ...
ක්ෂීණාශ්‍රව උත්තමයන් වහන්සේලා ධර්ම සංවේගයට පත්වෙද්දි...
පෲතජ්ජන පිරිස කඳුලු සලමින් සාදු නද දෙද්දි...

අහස වසා සිටිය දේව පිරිස මල් වැහි වස්සවද්දි..

අනේ...
මගේ ආනන්දයන් වහන්සේ හෙමි හෙමීට ඉකිබිඳිනව...

මෙතුමිය පවසන මේ ගමන් මග තුලදි...

මෙතුමියට ප්‍රිය සොහොයුරා වුණ වාර අනන්තයි..
මෙතුමියට ප්‍රිය මිතුරා වුණ වාරගණන අනන්තයි...
ප්‍රිය පුත්‍රයා වුණ වාරගනන අනන්තයි..

ඒ සසර පුරුද්දට වාවගන්න බැරිවුණ මගේ ආනන්දයන් වහන්සෙගෙ... දෑසින් කඳුළු උනන්න වුණා...උන්වහන්සේ මගේ තථාගතයන් අසල වැඩ ඉන්න ගමන් දෑසින් කඳුළු පුරවගෙන බලාන ඉන්නව...

අදින් පසුවට මගේ උත්තමාවගේ දැකුමක් නැහැ...
මගේ අක්කණ්ඩිය දැකගන්න වෙන්නෙ නැහැ..

මා සසරතුල රැඳෙද්දි.. එතුමිය අපිව දමා සසරෙන්ම යන්න යනවා...!!!

“ස්වාමීණී...
එදා “සම්බුලාව” වෙලා උපන් භවයේදී.. ඔබවහන්සේට උවටැන් කරන්න මාත් ඔබවහන්සේ සමගම වනගත වුණාට...

මදටිය වන්, පිටතට නෙරා ආපු මහා දෑසක් ඇතිව...
කය පුරාවට ලොමින් වැසී ගිය...
දෑත දෙපය නිය පහුරින් ආකීර්ණ වුණ..

ඒ “ඝෝර භීරාන්ත යක්ෂයා”, පලවැල පිණිස ගිය මාව ඩැහැගෙන ගියා ස්වාමීණි...

මා මගේ “පතිනි තෙදින්” යක්ෂයාව දමනය කර... නැවත පැමිණෙන පමාවටත්, .. ඔබවහන්සේ බොහෝකොට විස්සෝපයට පත්වෙලා උන්නා නේද ස්වාමීණී...

එදා ඒ යක්ෂයා මාව ගෙන ගියේ අඹුකමට තියාගන්නමයි... ඒ මගේ රූපයට වශීවෙලාමයි.. ඉතිං මා ලැබුව ඒ රූපය නිසාවෙන්ම, ඔබවහන්සේට සිත් තැවුල් ඇතිවන තැනට වැඩ සිදුවුණා ස්වාමීණී...

ඒ වෙනුවෙන් මා හට සමාව දෙන සේක්වා...!!!

“භද්‍රා...
එදිනත් මා ඉවසීම ම ප්‍රගුණ කලා නැගණිය..”

“ස්වාමීණී...
ඔබවහන්සේ එදා මේ “ඝණකඩ මහා බොල් පොළව”..
දියෙහි රැඳි යානවක් සේ...

“සත්වරක්” සොළව සොළවාම.. මිහිකත සාදු නාද දෙද්දි... මහා දන් දුන්නා මතකද ස්වාමීණී..”

“එහෙමයි භද්‍රා...”

“එදා ඔබවහන්සේ මහා දන් දෙද්දි,... සිත බිඳකුදු නොවෙනස්වම මාත් මාගේ සියලු ශ්‍රීය ඔබවහන්සේ අනුවම දන් දුන්නා ස්වාමීණී....

නමුත් ස්වාමීණී...

ඔබවහන්සේ අපගේ දෑසවන් දෙදරුවන්, දනට දුන් කල.... මාහට වාවාගත නොහැකිව,... වනය පුරාවට හඬ හඬා දිවගියා ස්වාමීණී...

“අනේ... ජාලිය....
මයෙ පුතුනේ...ජාලිය....
මයෙ රත්තරනේ..... අනේ කොහිද මයෙ පැටවුනේ...

ඉන්න තැනකින් කතාකරන්නකෝ... අම්ම, මී අඹ පොකුරක්ම අරගෙන ආවා...
අනේ දුහල එන්නකෝ....

අනේ .... ක්‍රිෂ්ණා....
මයෙ පුංචි පැටික්කී.... කොහෙද මයෙ දුවේ....

ජාලිය.....
අනේ ජාලිය.... ඉන්න තැනකින් කතාකරන්න මයෙ පුතේ..... ජාලිය.....”

කිසිම විටෙකත්, ඒ ඔබගේ දානය වැලකීමට නොවෙයි... “අබමල් රොනක පමණවත් අහිතකින් නොවෙයි” ස්වාමීණී...

ජූජකයා හට දන්දෙන මොහොතේ මා සිටියානම්... දරුවන් දෙදෙනාව ජූජකයා අතට පත්කරන්නේ මවිසින්මයි...

නමුත් මා වැලපුනේ අවසන් වරෙට මාගේ දෙදරුවන් දැකගැනීමට තිබූ ආසාව නිසාමයි ස්වාමීණී...

එදා මා... කුරවි කෙවිලියන්ගෙන්... වනේ වනසැවුලන්ගෙන්... ලේන මෲගාදීන්ගෙන් පවා මාගේ දෙපුතුන් ගිය දෙස විමස විමසා මහා විලාප තැබුවා ස්වාමීණී....

“අනේ.. ගිරවුණේ... උඹල දැක්කද මයෙ දරුවො ගිය දිහාවක්... අනේ කියාපල්ල... කියාපල්ල ලිහිණියනේ.... මයෙ දරුවො දැක්කද....

අනේ..... දෙයියනේ...මයෙ දරුවෝ.....”

දානය වැලකීමට නොවෙයි.. දාරක ස්නේහය බුර බුරා නැගෙද්දි...අවසන් වරට ඔවුන්ගෙන් සමුගැනීමේ ආශාව නිසාවෙන්මයි ස්වාමීණී...

“සක් දෙව් රජුන් මහළු වෙසින්” පැමිණ... වහල්කම් පිණිස මාව ඉල්ලූ මොහොතේ... ඔබ වහන්සේ මදෙස බැලූ පමණින්ම,.. මා කැමැත්තෙන්ම වහලියක් වුණා ස්වාමීණී...

එදා.... දරු ස්නේහයෙන් මා නැගූ ඒ... විරහ අඳෝනාව, ඔබවහන්සේට දුකක් ගෙනදුන්නා නම්, ඒ වෙනුවෙන් මාහට සමාවන සේක්වා ස්වාමීණී....”

“නැගණිය,.. භද්‍රා...”

“ස්වාමීණී..”

“අනන්තාපරියන්ත සක්වල, අතැඹුලක් කිරීම උදෙසාවෙන්ම.... එදා මා විසින්.... පොළව සකක් මෙන් සොළවා...මේ මහා පොලවම සාදුනද දෙද්දි දුන් මහා දානයන් පරදා..
ඒ දරුවන් දන් දුන් නිසාවෙන් ඔබට මහා දුකක් ඇතිවුනා නොවෙද ..”

“එසේයි ස්වාමීණී...
දරු විප්‍රයෝගයෙන්,.....එදා පෲතජ්ජන වූ මාගේ හද මඬල පුපුරා යන්න තරම් වුණා.. සම සිඳ ,මස් සිඳ, ඇට ඇටමිදුළු සිඳ පැතීරී සිටිය දාරක ස්නේහය හමුවේ... කෙලෙස් බරිතව සිටි මාගේ සිත වියෝගයෙන් පීඩිත වුණා ස්වාමීණී..”

“නැගණිය....
මා දුන් සප්තමහා දානයන් පරදා දුන්, ඒ “දෙදරු දානය” හමුවේ.... ඔබ සොවින් විලාප නොතැබුවානම්... එදා ඔබ ළය පැලී මියෙන්නත් තිබුණා...

එපමණක් නොවෙයි...

ඔබ එසේ නැගූ විප්‍රයෝගයේ විලාප හමුවේ...

“දන් දීමට සැකසූ සිත, පසුබට නොකිරීමට,.... තුන් තැන සම සිතින් විසීමට” ... එදා මා කොපමණ වීර්‍යයවන්ත වුණාද දන්නේ මා පමණයි නැගණිය...

භද්‍රා...
ඔබ එසේ සොවින් නොහැඬුවානම්...
දුන් මහා දානයන්ට නොදෙවෙනි පරිද්දෙන්....

“ක්ෂාන්තිය, වීර්‍යය, උපේක්ෂාව... වඩන්නේ කෙසේද...”

මෙසේ එදා ඒ, උත්තමාව.... අනන්ත සසරපුරා එක්ව ආ, අප්‍රමාණ භවයන් පිළිබඳව සිහිකර කරාම සමාව ගනිද්දි..

රැස්වසිටි පිරිස අතරෙ නොහඬා සිටිය හැකි එක පෲතජ්ජනයෙක්වත් හිටියෙනම් නැ.. හැම දෙනාම සාදුකාර දිදීම හඬනවා...
හඬ හඬාම සාදුකාර දෙනවා....

ජාලිය කුමරුන් ඔවුන්ගෙන් උදුරගත්තා වගේ... ඉකිබිඳ බිඳ හඬන ගැහැනු... හඬ හඬාම සාදුනාද දෙනවා... බූමාටු වෙච්චි මගෙ ඇහෙත් කඳුලු උනන්න වුණා...

“ස්වාමීණී...
එදා මා, “අමරා”ව උපන් භවයේදී..

අස්වාමිකව සිටි මා... “මහා පැනවත්” ඔබවහන්සේව හස්ත විකාරයෙන් වෙහෙසුවා ස්වාමීණී...

“දමයන්තිය” වූ මොහොතේදී... සඳැල්ලේ සිටි මා... මාගේ රූපයෙන් ඔබවහන්සේ වෙහෙසට ලක්කරා...

ඒ ඒ සෑම භවයකදීම මා වෙතින් වූ ප්‍රමාදයන් උදෙසා සමාව දෙන සේක්වා....!!!

ඔබවහන්සේ සමග එකම යහනේ සැතපෙන කල,... නිදිබරිත මාගේ, හස්ත විකාරයක් නිසාවෙන් ඔබවහන්සේ පීඩාවට පත්වුණාද...

ඔබවහන්සේ උදෙසා තැනූ බොජුනෙහි,.. රසපදම අඩු වැඩී වීමෙන් හෝ ඔබවහන්සේ පීඩාවට පත් වුණාද...

උණුව දිය යුතු අහර ඇල්ව දුන්නාද... ඇල්ව දියයුතු අහර උණුව දුන්නාද...

නොඑසේනම්,..
ඔබවහන්සේට අනවශ්‍ය මොහොතක හෝ පිළිගන්වා... ඔබවහන්සේ වෙහෙසට පත්වුණාද....

එබඳු වූ සියලු ලොකු කුඩා අතපසුවීම් උදෙසාද සමාව දෙන සේකවා....!!!”

එතුමිය පසඟ පිහිටුවා වන්දනා කලා...

“නැගණිය භද්‍රා..

අප හමුවූ මේ අවසන් භවයේදීත්..මා අබිනික්මන් කල පසුව,..

ඔබත්,
පෙර මද්‍රී ලෙසින්ම... සම්බුලාව ලෙසින්ම... කසීසළු පසෙකලා,අභරණ හැරපියා.. රළු කසාවතම දැරුවා...
සිරි යහන පසෙකලා සියලු රජ සැප ඉවතලා... මා අනුකරණය කරමින්, මාලිගයේ සිටිමින්ම... ඔබත් පතිදම බැබලුවා භද්‍රා....

“සක් ලකුණින් ප්‍රතිමණ්ඩිත” මාගේ පාදාන්තයේ පටන්... “අක්බමරු කේසාන්තය” තෙක් සියලු ශරීර ස්වභාවය දත් ඔබ...
සැමවිට මා පිළිබඳව, “රාහුල භද්‍රයන්” කෙරෙහි අහිතක් නූපදිනා අයුරින්ම හැසිරුනා භද්‍රා...
මා පිළිබඳව ඔහු කෙරෙහි ලෝළත්වයටම ඇතිකලා...

එනිසාවෙන්ම, කිසිදිනක මා නොදුටු රාහුල භද්‍රයන්... විසිදහසක් සඟපිරිස මැද මා හඳුනාගෙන දිවවිත් මාගේ සුලැඟිල්ලෙ එල්ලුනා...

ඔබ මා කෙරෙහි අහිතවත් වූවානම්.. රාහුල භද්‍රයන් මා කෙරෙහි බිඳෙන්නට වුවත් තිබුණා...

නමුත් ඔබ,...
මාගේ අභිනික්මන පිළිබඳව මනාව වටහාගෙන... මාතෲත්වය බබළවා වාසය කලා .... එනිසාවෙන්, අද රාහුල භද්‍රයන් “නිවනින් නිවීගියා” නොවෙද භද්‍රා....

ඔබගේ “මාතෲ ස්නේහයත්, පති භක්තියත්” නොවුවානම්.. රාහුල භද්‍රයන් එවන් “ශික්ෂාකාමී” අයෙකු නොවෙන්නට තිබුණා...

එනිසාවෙන් ඔබ මාතාවක් ලෙසත් “පරම වන්දනීයයි” භද්‍රා...

ඔබ ඒ ඒ සියලු තැන්හිදීම,... මාහට කලේ උපකාරයන්මයි....
“සිව් අසංඛ්‍යය කල්ප ලක්ෂයක්” පුරාවට...
“බෝසත්පතිණිය” ලෙසත්...

ඔබ “නිර්දෝශයි”......!!!

ක්ෂීණාශ්‍රව වූ ඔබ..
මේ සසුනෙහි මාහට ඇති “දුහිතෲභාවය” නිසාවෙන්, සියල්ලෙන්ම මුක්තයි...”

මෙසේ යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ තමන් වහන්සේගේ අතීත භවයන් වලදි සිදුවූ අතපසුවීම් එකින් එක පවසමින්.. සිරිතක් ලෙසින් සමාව ගනිද්දි...

මේ දෙස බලාන උන්නු පිරිසට මේ දෙදෙනා වහන්සේ අතර සිදුවුණු කතිකාව දෙස බලාන ඉන්න බෑ... දෑහින් කඳුලුකැට වැගිරෙනව...
සාදු නාදයේ කෙලවරක් නෑ...

“අනේ... මමත් කවදාක හෝ දිනෙක... බුදුවන බෝසතාණන්වහන්සේ නමකට “පතිණිය වේවා...!!!”
කියල නොපැතූ කාන්තාවක් නැති තරම්..

එම මොහොතේ හිටිය,... දැනුම් තේරුම් වයසේ සිටිය කන්‍යාවගේ පටන්... වයසක මැහැල්ල දක්වා සියලුම ස්ත්‍රීන් වගේම... දිව්‍ය,නාග සුපර්ණාදී ස්ත්‍රීන් පවා ඒ පැතුම තම සිතින් ප්‍රාර්ථනාකලා...

“ස්වාමීණී...
භාග්‍යවතුන් වහන්ස, මපියාණන් වහන්ස...

එසේනම්,...
පිරිණිවන පිණිස මා හට අවසර දෙවා වදාරණ සේක්වා....!!!”

පසඟ පිහිටුවා වන්දනා කල එතුමිය පරිණිර්වාණය පිණීස අවසර ඉල්ලාසිටියා...

“භද්‍රා....

බුද්ධෝත්පාදය හරිම දුර්ලභයි.. ඒ වගේම බුද්ධාන්තරයක් කියන්නෙත් අති දීර්ඝ කාලයක්...”

“එහෙමයි ස්වාමීණී..”

“එවන් දුර්ලභ බුද්ධෝත්පාදයත්,...දීර්ඝ බුද්ධාන්තරයත් ඇතුලත,...
“ස්ත්‍රී රත්නයකගේ” පහලවීම… බුද්ධෝත්පාදයක් මෙන්ම දුර්ලභයි..

එනිසාවෙන්ම බෝසත් පතිණියක් අමාමහ නිවනට වැදගැනීම ඒ තරමටම දුර්ලභයි නැගණිය...

භද්‍රා..
එක් බුද්ධාන්තරයකදි පහළ වෙන්නේ, එවන් වූ “එකම බෝසත් පතිණියක්” පමණයි.. “සක්විති ස්ත්‍රී රත්නය” නිෂ්ප්‍රභා වන්නේත්... ඔබ වැනි “බෝසත් පතිණියක් වූ, ස්ත්‍රී රත්නයක්” අභිමුවදීම පමණයි..”

“එසේයි ස්වාමිණී..”

“නැගණිය..
එනිසාවෙන් ඔබ පෙළහර පෑ යුතුයි....

බෝසත් පතිණියකගේ “බලය” ලෝකයා හට ප්‍රකට කලයුතුයි.. “ස්ත්‍රී රත්නය” කෙබඳුදැයි ලෝකයා දැනගතයුතුයි...

එනිසාවෙන්,...

පිරිණිවනට පෙර,.. “ලොවට හිත පිණිස”,...
ඔබ, පෙළහර පෑ යුතුයි භද්‍රා...”

තථාගතයන් වහන්සේගේ මේ ආරාධනයත් සමගම රැස්වෙලා උන්නු දිව්‍ය පිරිස වගේම මනුෂ්‍ය පිරිසත්, තමන්ගෙ හිත්වල නැගී ආපූ ශ්‍රද්ධාව කැටිවුණ ප්‍රීතිය... සාදු නාදයෙන් පලකලා..

වේළුවන උයන සාදුනාදයෙන් රැව් පිළිරැව් දෙනව..

සාදූ සාදූ සාදූ...!
සාදූ සාදූ සාදූ...!!
සාදූ සාදූ සාදූ...!!!

“ඔබගේ උරමඩළෙහි උපන් මේ සුජාත දුවණිය...
ඔබවහන්සේගේ, සර්වඥ වූ බුද්ධාඥ්ඥාව හිස්මුදුණෙන් දරාගන්නෙමි ස්වාමීණී..

එසේනම්...

“ දුර්ලභ වූ,... බෝසත් පතිණියක සතු බලය...
බුද්ධ දුහිතෲ ... බල පරාක්‍රමය.... දැක්වීම පිණිස...

මාහට අවසර ලබාදෙන සේක්වා...!!!”

තථාගතයන් වහන්සේ එතුමියගේ ඉල්ලීමට අවසර දීම් වශයෙන්,.. තුෂ්ණිම් භාවයෙන් වැඩවසද්දි..

මගේ තථාගතයන් වහන්සේගේ ආරාධනාව හිස්මුදුණින් පිළිගත්ත ඒ උත්තමාව,... තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කලා..

එහෙම වන්දනා කරල.. තථාගතයන් වහන්සේව ප්‍රදක්ෂිණා කරන ගමන්, අට දිසාවෙදිම.. නැවත නැවතත් පසඟ පිහිටුවා වන්දනා කරපු එතුමිය..උන්වහන්සේගේ ඉදිරියට පැමිණිලා..
තථාගතයන් වහන්සේට වන්දනා කරගෙනම... උන්වහන්සේට මුහුණලා සත් පියවරක් පසු පසට ගමන් කලා...

සත්වන පියවරේදී නතර වුණු එතුමිය, එකවරම ඉහල අහසට පැනණැංගා...

අනේ... ඒ වෙලාවෙ නැගී ගිය සාදු නාදය.. මේ දැනුත් ඇහෙන්න ඇහෙන්න වගේ...

උන්වහන්සේ තථාගතයන් වහන්සේගෙ ආරාධනය අනුව....
ස්ත්‍රී රත්නයේ පරාක්‍රමය ලොවට හෙලිකරන්න සැරසෙනව...
දුවණියක් තම පියාණන් හමුවේ.... සිය බල පරාක්‍රමය ප්‍රකට කරන්නට සැරසෙනව...

එදා උන්නාන්සෙ අහසට පැන නගිනවත් එක්කම නැගී ආපු ඒ මහා සාදු නාදය.....
අදටත් කන් දෙකේ රැව් දෙන්න වගේ...

සාදූ සාදූ සාදූ...!
සාදූ සාදූ සාදූ...!!
සාදූ සාදූ සාදූ...!!!

අහසෙ රැස්වුණු දෙවියො මල් වැහි වස්සවන්න වුණා...

“ස්වාමීණී.. භාග්‍යවතුන්වහන්ස...

අනන්ත සසර පුරා ඔබවහන්සේ හා එක්ව.... දානාදී නේක පෙරුම්දම් පුරා පැමිණ...

රාහුල භද්‍රයන්හට මව් වූ බැවින්....රාහුල මාතා නම්වූ...

රන්වන් චවියෙන් යුතුවූ හෙයින්... භද්දකච්චානා නම්වූ...

දඹදිව, රූපයෙන් අගතැන් ලැබූ හෙයින්.... රූපා නම්වූ...

දඹදිව, යශසින් ආඩ්‍යය වූ හෙයින්... යශෝධරා නම්වූ..

විහිදෙන ප්‍රභාවෙන් යුත් සිරුරින් යුතු හෙයින්... බිම්බා නම්වූ...

ඔබවහන්සේ හමුවේ .... බුද්ධ “දුහිතෲ” වූ...

“මහා අභිඥා ඇත්තියන් කෙරෙහි අගතැන් ලැබූ”...
“අට සැත්තෑ වියෙහි” වන මා....

පරිණිර්වාණයට පෙර,...
සක්වල ගල කලඹවා...
දස දහසක් සක්වල අතැඹුලක් කරමින්... මහා පෙළහර පාමින්...

“බෝසත් පතිණියගේ” බලය මෙයයි...
“ස්ත්‍රී රත්නයකගේ” බලය මෙයයි.....
“බුද්ධ දුහිතෲවකගේ” බලය මෙයයි...

ලෝකයාහට දක්වා සිටීම පිණිස..
ඔබවහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා ස්වාමීණී...

මා හට අවසර දෙවා වදාරණ සේක්වා...!”

*******

උන්වහන්සේගේ මහා පෙළහර මංගල්‍යය දැකගන්න... ඊලඟ ලිපිය බලාපොරොත්තු වන්න...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Buddhism - නිවන් මග. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share