10/10/2025
දේවධර්ම ජාතකය 🌹
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩවසද්දි බොහෝ බඩු භාණ්ඩ ඇති භික්ෂු නම නිසා මේ ජාතකය වදාළ සේක. සැවැත් නුවර එක් මිනිසෙක් බිරිය මළ පසු සසුනෙහි පැවිදි විය. පැවිද්දට පළමුවෙන්ම ගිනිහල් ගෙයක්, ගබඩාවක් සහිත පන්සලක් තනවා ගිතෙල් තල තෙල් ආදිය පුරවාගෙනම මහණ විය. එතැන් සිට කොල්ලන් කෙල්ලන් ගෙන්වා කැමති පරිදි අහර පිසවා ගෙන අනුභව කරයි. රැයට දවාලට වෙන වෙන අඳනා සිවුරු පෙරවයි. දිනක් ආවාසයෙහි වූ සිවුරු ඇතිරිලි ආදිය බැහැර කොට අව්වේ ලා වේලමින් හිටියේය. එවේලෙහි සේනාසන චාරිකාවේ යෙදුණු පිටිසරබද භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ බොහෝ වූ බඩු දැක කාගේදැයි ව්මසූහ. ඒ භික්ෂුනම මාගේයයි කීයෙන් අල්පේච්ඡතාව ඇති බුදු සසුනෙහි මහණව මෙතරම් පිරිකර කෙසේදැයි කියා උන්වහන්සේ බුදුන් සමීපයට කැඳවා ගෙනගොස් ඒ බව සැල කළහ.
භාග්‍යවතුන් වහන්සේ තත්පවත් විමසා භික්ෂුනම, කුමක් නිසා බහුභාණ්ඩික වන්නෙහි ද? මා විසින් අල්පේච්ඡතාවෙහි ගුණ නොයෙක් ආකාරයෙන් දේශනා කොට තිබෙනවා නොවේදැයි වදාළ සේක. එයින් කිපුණු භික්ෂුනම එසේ නම් සිටිය යුත්තේ මෙසේද කියා සිවුර ගලවා ඉවතලා අදනය පිටින් භය ලජ්ජා නැතිව පිරිස මැද සිටියේය. එවිට සර්වඥ්ඥයන් වහන්සේ "මහණ ඔබ පෙර දිය රකුසුව උපන්කල්හිත් බිය ලජ්ජා සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේද? දැන් මහණව සිටත් මෙසේ පිරිස් මැද භය ලජ්ජා හැර කුමට සිටිනෙහිදැයි විචාල සේක.
එවිටම භික්ෂුනම බිය ලජ්ජා උපදවා ඉවත දැමූ සිවුර පොරවාගෙන වැඳ පසෙක හුන්නේය. භික්ෂූන් වහනසේලාගේ අයැදීමෙන් තථාගතයන් වහන්සේ අතීත කථාව මෙසේ ප්‍රකාශ කළ සේක.
බෝසතාණෝ පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජුට දාව ඉපිද මහිංසාස නමින් ප්‍රසිද්ධ වූහ. දෙවැනි පුත් චන්ද්‍රකුමාර නම් විය. ඔවුන් කුඩා කල්හිම මව් බිසොව කළුරිය කළාය. රජ දෙවැනි බිසොවක විවාහ කොට ගත්තේය. ඇයගෙන් උපන් කුමරා සූර්‍යකුමාර නම් විය. දෙවැනි බිසොවගෙන් බෙහෙවින් සතුටට පත් රජ පුත් කුමරු වෙනුවෙන් කැමති වරයක් ලබා ගන්නැයි කීය. තමන් කැමති විටෙක ලබා ගනිමියි කියා සිටි බිසොව පුතු නිසි වයසට පැමිණි කල්හි රජුට "ස්වාමීනි, ඔබ වහන්සේ පුතු උපන් දිනයෙහි දෙන ලද වරය දැන් යදිමි, මගේ පුත්ට රාජ්‍ය දුන මැනවැ"යි කීවාය.
රජ "මාගේ වැඩිමල් දෙපුතුන් ගිනිකඳන් සේ සිටිද්දී එසේ කළ නොහැකියි'යි ප්‍රතික්ෂේප කළේය. නමුත් දේවිය නැවත නැවතත් ඉල්ලා සිටියාය. රාජ්‍යය නොදුනහොත් පුතුන් දෙදෙනාට ඇයගෙන් අනතුරක් වෙතැයි සිතූ රජ ඔවුන් කැඳවා එපවත් කියා වන වැඩ තමාගේ මරණයෙන් පසු පැමිණ රාජ්‍යය ලබා ගන්නා ලෙස කියා හඬා දොඩා සිඹ සනසා වනයට පිටත් කොට හැරියේය. පියාණන් වැඳ මාලිගයෙන් බැස යන දෙසොහොයුරන් දුටු සූර්‍යකුමාර ඒ බව දැන "මමත් සොහොයුරන් දෙදෙනා සමඟ වනයට යමි"යි නික්ම ගියේය.
තිදෙනා වනයට යන ගමන් බෝධිසත්වයෝ මගින් ඉවත්ව ගසක්මුල හිඳ "සූර්‍යකුමාර, අර පෙනෙන විලට ගොස් නා වතුර බී නෙළුම් කොළයකින් අපටත් වතුර ගෙනෙන්නැයි කීය. ඒ විල වෙසමුනි රජුගෙන් දියරකුසෙකුට ලැබුණෙකි. දේවධර්මය දන්නා කෙනෙකුන් හැර විලට බසිනා අය කා දැමීමට ඔහුට අවසර ඇත්තේය. විලට නොබසිනා කෙනෙකු කෑමට නොපිළිවෙන. සූර්‍ය කුමාරයා කිසිත් නොදැනම විලට බැස්සේය. එකෙණෙහිම දියරකුසා කුමාරයන් අල්වාගෙන දේව ධර්මය දන්නෙහිදැයි ඇසීය. "එසේය, චන්ද්‍ර සූර්‍ය දෙදෙනා දේව ධර්ම නම් වෙයි" ඔහු කීය. "තෝ දේව ධර්මය නොදන්නෙහිය"යි කී රකුසා කුමාරයන් දිය යට සැඟවීය. සූර්‍ය කුමරු ප්‍රමාද වනු බලා බෝධි සත්වයෝ ඔහු සෙවීමට චන්ද්‍ර කුමාරයන් යැවූහ. දිය රකුසා ඔහු ද අල්වා ගෙන "දේව ධර්ම දන්නෙහිදැ"යි ඇසීය. "එසේය, සතර දිශාව දේව ධර්ම නම් වන්නේය"යි කීය. "තෝ ද දේව ධර්ම නොදන්නෙහි"යි කියා චන්ද්‍ර කුමරුන්ද දිය යට සැඟවීය.
චන්ද්‍ර කුමයනුත් පමා වනු දුටු බෝසතාණෝ අනතුරකැයි සිතා දෙසොහොයුරන් සෙවීමට විල ළඟට ගොස්, විලට බට සොහොයුරන්ගේ පියවර විනා ගොඩට ආ පියවර නොදැක පරීක්ෂා කරමින් සිටියහ. රකුසා හිතවත් මිනිසකුගේ වෙසින් පැමිණ විඩාවට පත්ව සිටින හෙයින් විලට බැස දිය නා පැන් බී නෙළුම් අල දළු කා මල් පැළඳ යන ලෙස බෝසතුන්ට කීය. මේ දිය රකුසා විය හැකියන්, නිසැකයෙන් මාගේ සොහොයුරන් අල්වා ගන්නට ඇතැයි සිතූ බෝධි සත්වයෝ "තෝ මාගේ සොහොයුරන් අල්ලා ගත්තෙහිදැ"යි ඇසූව. ඔව්, අල්වා ගතිමි. දේව ධර්මය නොදන්නා මේ විලට බසිනා ඔනෑම කෙනෙකු කා දැමීමට මට අවසර ඇතැයි දිය රකුසා කීය.
තොපට දේව ධර්මයෙන් වැඩක් ඇද්දැයි බෝසතාණන් ඇසූ විට "එසේය"යි රකුසා කීය. එසේ නම් මම දේව ධර්මය දනිමි. තට කියා දෙමි, එහෙත් අපිරිසිඳු නිසා මදක් මැලි වෙමි"යි කීයෙන් නෑමට, බීමට, සැරසීමට සලස්වා අසුනක හිඳුවා දේව ධර්ම කියා දෙන ලෙස බෝසතුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේනම් හොඳින් අසා ගනුවයි බෝධි සත්වයෝ "ලොව පව්කම් සහ නොකළ යුතු ලෝ සිරිත් බිය ලජ්ජාවෙන් නොකොට පින් දහම් වල ඇලී සත්පුරුෂ ගුණයෙන් යුතුව යමෙක් වාසය කරයි නම් ඔවුන්ගේ පැවැත්ම මෙලොව දේව ධර්මය නම් වන්නේය"යි වදාළහ.
පැහැදීමට පත් දිය රකුසා "ඔබට එක් සහෝදරයකු දෙමි. කවුරුන් අවශ්‍යදැ"යි ඇසීය. බාලයා ගෙන එවයි කීහ. එවිට දිය රකුසා ඔබ දේව ධර්මය දන්නවා මිස නො පිළිපදින්නෙකැ"යි කීය. මක් නිසාදැයි ඇසූ විට වැඩිමලා හැර බාලයා ගෙන ඒමට කීයෙන් වැඩිමහල්ලන් පිදීම නම් ජෙට්ඨාපචායනය නොකරන නිසායයි කීය. "රාක්ෂය, මම දේව ධර්මය දනිමි. පිළිපදින්නෙක් ද වෙමි. අප වනගත වූයේ මේ සහෝදරයා නිසාය. ඔහු වනයෙහිදී යකෙකුට ගොදුරු වීයයි කීමෙන් ඇතිවන නින්දාවට බියෙන් මෙසේ කළෙමි"යි බෝසතාණෝ වදාළහ. රාක්ෂයා සාධුකාර දී දෙසොහොයුරන්ම ගෙනවුත් දුන්නේය.
බෝධි සත්වයෝ ඔහුට ධර්ම දේශනා කරමින් පෙර කළ අකුශලයෙන් අනුන්ගේ ශරීරවල ලේ මස් කන රාක්ෂව උපන්නෙහිය. මෙතැන් සිට අකුශල් නොකොට කුසල් කරවයි වදාළහ. ඉක්බිති ඔහුගේ රැකවරණයෙන් එහිම සිට පිය රජුගේ අභාවයෙන් බරණැසට පැමිණ රාජ්‍යය ලබා ගත්හ. චන්ද්‍ර කුමාරයාට යුවරජ තනතුර ද සූර්‍ය කුමාරයාට සෙන්පති පදවියද දී රාක්ෂයාට දේවාලයක් තනවා නිරන්තර පළමුකොට සියළු පුද පූජා පවත්වන ලෙස විධි විධාන සලස්වා දැහැමින් රජකොට කර්මානුරූපව මිය පරලොව ගියහ. ධර්ම දේශනාවසානයෙහි බහු භාණ්ඩික තෙර සෝවාන් විය.
එසමයෙහි දිය රකුසා මෙකල බහු භාණ්ඩික භික්ෂුනමය. සූර්‍ය කුමාර දැන් අනද තෙරණුවෝය. චන්ද්‍ර කුමාර සැරියුත් තෙරණුවෝය. මහිංසාස නම් ලොවුතුරා බුදු රජාණන් වහන්සේම යයි වදාළ සේක.