03/06/2023
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”
මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ප්‍රාදේශික ධර්මයක් ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත් විය. සමගිය - ඉවසීම සහ අහිංසාව වැනි අත්‍යුත්තම ගුණ ධර්ම ජීවිතයකින් ලැබිය හැකි ශ්‍රෙෂ්ඨ ගුණාංග බවට පත් විය. තෘෂ්ණාව - ද්වේෂය වැනි අමානුෂික දුර්ගුණයන් ඉස්මතු කරවන යුද්ධය - පළිගැනීම පිළිකුලට පත් වී ධර්මයේ ජයග්‍රහණය ම අසහාය විජය ග්‍රහණය බවට පෙරළිණ. මෘග ගති ගුණ මුල් කොට ගෙන ගොඩ නගනු ලබන මහා අධිරාජ්‍ය වෙනුවට මෘදු කල්පනා ගුණය පදනම් කොට තැනෙන අතු පැලෙහි ඇති ශ්‍රෙෂ්ඨ බව ප්‍රකට විය.
රාජකීය දඩ කෙළි සහ අවි සරඹවල ඇති ඊනියා වැදගත්කම යටපත් ව ශීල - සමාධි - ප්‍රඥා ගුණයන් ගෙන් ඔප් නැගුණු ශාන්ති ක්‍රීඩාවන් ගෙන් සුවිශාල රාජ මන්දිර රාජකීය වනෝද්‍යාන ආදිය ශෝභා සම්පන්න විය. විවිධ දූෂණයන් ගෙන් සහ අනේකවිධ මිථ්‍යා ආචාර විචාරයන් ගෙන් කෙළෙසී ගිය ප්‍රත්‍යනික දේශයන් පවා ධර්ම ඝෝෂාවෙන් ගුම් ගැන්වී භක්ති නිකේතනයක් බවට පත් විය. අසද්ධර්මයෙන් මුසපත් ව මං නො මං දත නොහී අවිචාරයෙන් භ්‍රමණය වුණු අවාසනාවන්ත අනේක මනුෂ්‍ය ප්‍රාණීහු සන්මාර්ගගාමී ව මහාභාග්‍යශීලී වූහ. සිංහල ජන වංශයේ උදාවීම ලක් බුදු සසුන් පිහිටුවීමට ශතවර්ෂාධික කාලයකට ප්‍රථම වුව ද සිංහලය නව යුගයකට පා තැබුවේ බෞද්ධෝදයෙන් පසුව ය. මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර පොසොන් පුනු පොහෝ දිනයක සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක් බුදු සසුන් පිහිටුවීමෙන් අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අතුල්‍ය පදනම දමන ලදී. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිරීමට මුල් වූයේ මේ ඓතිහාසික මහින්දාගමනය යි. සිංහලයේ හැම යස ඉසුරකට ම මුල් වුණු බුදු සමය නිසා විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක්, ආගමික උද්‍යොගයක් ඇති විය. මෙසේ වැඩෙමින් තිබුණු සිංහල රාජ්‍යයේ නව උද්දීප්තියටත්, සිංහල ජාතියේ නව ජීවනයටත් බුදුසමය මුල් විය. සිංහලයාට නිදහස් ලෙස සිතන්නටත් - තමන් පිළිබඳ ව ආත්ම විශ්වාසයක් ඇතිකර ගන්නටත් මුල් වූයේ බුදු සමය යි.
⭕ මිහිඳු යුගයට පෙර ලක්දිව ආගමික විශ්වාස
අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවීමට ප්‍රථමයෙන් මෙරට පැවති ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට මහාවංශය සහ දීප වංශයත් මුඛ පරම්පරාගත ජන කථාත් පුරා විද්‍යාවත් සහාය වෙයි. පුරාණ ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳ තිබෙන හැම දෙයක් ම මහින්දාගමනයෙන් පසු ව ඇතිවුණු ඒවා බව ස්ථිර වශයෙන් අපට නිගමනය කළ හැකි ය. පුරා විද්‍යාව - වාස්තු විද්‍යාව - ප්‍රතිමා ශිල්පය - හා චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන් දෙස බැලුවත් පුරාණතම ශිලා ලේඛන දෙස විමසුවත් අපට හමු වන්නේ දෙවන පෑතිස් රජු සමයේ මිහිඳු මාහිමියන් ගේ ලංකාවතරණයෙන් පසු ව ආරම්භවුණු බෞද්ධ සංස්කෘතිය යි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය තිබුණු බව යම් යම් සිද්ධීන් දෙස විමසන කල්හි පැහැදිලි වෙයි. ඈත අතීතයේ ලංකාවත් එකට එක් වී තිබුණු බවට ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෙයිමන්නාරමත් අතර පිහිටි “ආදම් ගේ පාලම” සාක්ෂ්‍යක් වශයෙන් භූ විද්‍යඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු හැම විපර්‍ය්‍යාසයක් ම ලංකාවේ ද බල පෑවේ ය. භාරතයේ ආභාසය ආදියේ සිට ම ලංකාවට ලැබුණු නමුදු එය නියම වශයෙන් ම ක්‍රමානුකූල ව බලපාන ලද්දේ මිහිඳු මාහිමියන් ගේ වැඩමවීමෙන් පසුව ය. බෞද්ධ සංස්කෘතියක නියම ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ දෙවනපෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය කාලයේ පටන් ය. විජය රජු ගේ ලංකාවට පැමිණීමත් සමඟ ම සිංහල ඉතිහාසය ආරම්භ විය. විජය කුමරු ලක්දිවට පැමිණෙන අවධියේ මෙහි යක්ෂ ගෝත්‍රිකයන් ද වාසය කළ බව හෙළි වෙයි. විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසින ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ පෙදෙසකට ය.
විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ක්‍රම ගැන වංශකථාවන්හි හා සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙහිත් ස්වල්ප වශයෙන් සඳහන් ව ඇත. ප්‍රාග් යුගයේ එනම්, බුද්ධාගමට කලින් මෙහි පැවැති ප්‍රධාන ලබ්ධි වශයෙන් බ්‍රාහ්මණ ආගම - ජෛනාගම - යක්ෂයන් සහ වෘක්ෂ දේවතාවන් පිදීම යන ඇදහිලි ක්‍රම දැක්විය හැකි ය. අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන හැටියට විජය කුමරු ඇතුළු පිරිස ගේ ලංකාවතරණය සිදු වූයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුණු දිනයේ ය. එදා පටන් ලක්දිව බ්‍රහ්මාගමය පැවැති බව සිතිය හැකි ය. විජය කුමරුන් සමඟ පැමිණි පිරිස අතර බමුණෝ ද සිටිය හ. විජය රජු ගේ පුරෝහිතයා වූ ද කලක් ලංකාවේ අගනුවර වශයෙන් පැවැති උපතිස්ස ගම ඉදිකරන ලද මූලිකයා වූ උපතිස්ස එයින් කෙනෙකි. ක්‍රි.පූ. සතරවැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා කුඩා කාලයේ ශාස්ත්‍රොද්ග්‍රහණය කෙළේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා යටතේ බව මහාවංසයෙහි සඳහන් වේ. එම බ්‍රාහ්මණයා ගේ පුත්‍රයා පසුව පණ්ඩුකාභය රජතුමා ගේ පුරෝහිත තනතුරට ද පත් වූයේ ය. දෙවන පෑතිස් නිරිඳුන් අශෝක චක්‍රවර්තීන් හට තුටු පඬුරු යවන විට අරිට්ඨ කුමරුන් සමග ගිය දූත පිරිසෙහි බ්‍රාහ්මණයකු විසූ බව අපේ මහාවංසයෙහි දැක්වෙයි. ලංකාවේ බුද්ධාගම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණ බලය ශක්තිමත් ව තිබුණු බව මේ කරුණු වලින් පැහැදිලි වෙයි. සිංහල රජවරුන් ගේ බුදුසමය පිළිගැනීමෙන් පසු ඔවුන් ගේ බලය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. එහෙත් පසු කාලවලදී පවා රජවරුන්ට විරුද්ධව කැරලි ගැසීමට කුමන්ත්‍රණ කිරීමට තරම් ඔවුන් බල සම්පන්න ව සිටි බව ද පෙනේ. පණ්ඩුකාභය රජතුමා විසින් ජෝතිය නම් නිගණ්ඨයා හට ගෙයක් තනවන ලදී. කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා උදෙසා රජතුමා විසින් කරවන ලද දෙවොල ඒ නමින් ප්‍රසිද්ධ විය. මොවුහු ජෛනාගමය වැළඳ ගත් මහාවීර නම් ජෛන ශාස්තෘවරයා ඇදහූ ජෛන ශ්‍රමණයෝ වූහ. වට්ටගාමිණී අභය රජතුමාගේ කාලයේ “ගිරි” නමින් ප්‍රසිද්ධ වූ නිගණ්ඨයකු වූ ජෛන ශ්‍රාවකයෙක් විසී ය. ‘ගිරි’ නිගණ්ඨයා විසූ ආරාමය බිඳ දමා පසු ව වළගම්බා රජතුමා විසින් එම ස්ථානයෙහි අභයගිරි නම් විහාරය කරවන ලදී. ජෛනයන් මුල් ම යුගයේ සිට එනම්, විජය රජුගේ කාලයේ පටන් ම ලක්දිව විසූ බව ඓතිහාසික තොරතුරු වලින් හෙලි වෙයි. උතුරු ඉන්දියාවෙන් ජෛනයන් ගේ මෙහි පැමිණීම විජය ගෙන් පසුව වැඩි විය. විජය ගේ පිරිසෙහි කෙසේ වෙතත් ඊට පසුව පැමිණි පිරිස අතර ජෛනාගමය පිළිගත් අය ස්ථිර ව සිටි බවට සාක්ෂ්‍ය තිබේ. ජෛනාගමයේ දියුණුවක් දක්නට නැතත් කාශ්‍යප රජුට දහඅට වැන්නෙහි ඔහු ගේ සොවුරු මුගලන් කුමරා නිගණ්ඨයන් ගේ නිවේදනයෙන් දඹදිවින් ලක්දිවට අවුත් දඹකොළ පටුනෙහි කුඨාර නම් වෙහෙරැ මුළ සිට බළ සෙනඟ රැස් කර වූ බව මහාවංසයෙහි සඳහන් වේ.
යක්ෂයන් ඇදහීම ද මුල් කාලයේ සිට පැවැති බැව් පෙනේ. පණ්ඩුකාභය රජතුමා නුවරින් නැගෙනහිර දිග කාලවේල නම් යක්ෂයා උදෙසා දෙවොලක් කරවී ය. චිත්‍රරාජ නම් යක්ෂයා හට අභය වැවේ යට කොනේ වාසය සලසා දුන්නේ ය. ජලයට අධිගෘහිත භූතයෙක් යැ යි පරණවිතාන මහතා සඳහන් කර යි. අවුරුදු පතා රජතුමා යක්ෂයන්ට බිලි දෙවී ය. වෛශ්‍රවණ - ජුතින්ධර - විභීෂණ ආදී යක්ෂයෝ ද වඩවා මූඛී සහ පච්ඡිම රාජිනී නම් යක්ෂණියෝ ද පුරාතනයේ පටන් ලක් වැසියන් විසින් පුදන ලදහ. බුදුසමය ලක්දිව මුල්බැස ගිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ ලක්දිව පැවැති යකුන් ඇදහීම මහජනයා තුළින් ඈත් නො වී ය. එය කලින් කලට වෙනස් මුහුණුවරකින් අද දක්වා ම පැවැත එයි. පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුරයෙහි බටහිර දොර දිශාභාගයෙහි වෙසමුණියා නුගදෙවොල ද, වැදි දෙවියා තල් දෙවොල ද කරවූ බව සඳහන් ව ඇත. ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලංකාවේ වෘක්ෂදේවතාවන් ඇදහීම පැවැති බවට සාක්ෂ්‍ය වශයෙන් මේ කරුණු දෙක සැලකිය හැකි ය. ස්වභාවධර්මය දේවත්වයෙහි ලා සැලකූ සාමාන්‍ය ජනයා ගංගා - ඇළ - දොළ - ගස් කොළන් ආදිය ඇදහීම කරන්නට වූහ. ගස් කොළන් ආදී අචේතන දේට වැඳීම පුද පූජා කිරීම බුදුසමය ලක්දිව පිහිටුවෙීමෙන් පසුව වුව ද අඩුවෙක් නො වීය. අද පවා ලංකාවේ සමහර පෙදෙස්වල මං මාවත් අසල තිබෙන විශාල වෘක්ෂයන් දේවත්වයෙහි ලා සලකන අයුරු ඉතා පැහැදිලි කරුණකි. ඒ වෘක්ෂයනට කළයුතු ගෞරව විධි උල්ලංඝනය කොට ගියොත් ගමන් බිමන්වලට විශාල බාධක පැමිණෙන බව ඔවුහු පිළි ගනිත්. ප්‍රාග් යුගයේ ලක්වැසියෝ ඉර සඳ ආදී වස්තූන් දේවත්වයට නඟා වැඳුම් පිඳුම් කිරීමත් ඒවා ඔවුන් ගේ දෛනික ජීවිතයට බලපාන අයුරු සම්බන්ධ කර ගැනීමත් කළහ. ලංකාවේ ප්‍රාග් බෞදධ යුගයේ වාසය කළ කොටසකි පරිබ්‍රාජක - ආජීවක හා ශ්‍රමණයෝ. පණ්ඩුකාභය රජතුමා ජෝතිය ගේ ගෙයටත් ගැමුණු වැවටත් අතර පරිව්‍රාජකාරාමයක් ද ආජීවකයන් හට ගෙයක් ද කරවූ යේ ය. එසේ ම එතුමා විසින් මිථ්‍යාදෘෂ්ටි කුල පන්සීයකට වාසය සලසන ලදී. ලංකාවේ පරිව්‍රාජකයන් විසූ බවට භද්දකච්චානා කුමරිය සහ ඇගේ පිරිස ලංකාවට පැමිණි පුවත සාක්ෂ්‍ය වශයෙන් සැලකිය හැකි ය. ඔවුන් පැමිණියේ පරිව්‍රාජිකා වේශයෙනි. ලංකාවේ පාෂාණ්ඩ නමින් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අයත් නොවන ශ්‍රමණ කොටසක් මුල් කාලයේ සිට ම විසූහ. මේ කරුණු ගැන විමසන විට මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ඇදහිලි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි.
⭕ අශෝක
මිහිඳු මාහිමියන් පිළිබඳ පුරාවෘත්තය දැක්වීමේදී එතුමා ගේ දෙගුරුන් පිළිබඳවත් ලක්දිවට බුදුසමය ලැබුණු ආකාරය පිළිබඳවත් බුදු සමය පැතිරීමෙන් පසු ලක්දිව ඇති වූ සමාජ විපර්‍ය්‍යාසය පිළිබඳවත් දැන ගැනීම අවශ්‍ය යැ යි සිතමි. චන්ද්‍රගුප්ත රාජ පරම්පරාව වර්ධනය කළ ලෝක ඉතිහාසයෙහි අමුතු ම පරිච්ඡේදයක් එක් කළ අභිනව රාජ්‍ය තන්ත්‍රයක් ලොවට බිහි කළ කීර්තිමත් බෞද්ධ අධිරාජයාණන් වූ ධර්මාශෝක නිරිඳුන් හා විදිසා පුරයෙහි අධිපති දේව නම් වූ සිටුතුමා ගේ දුහිතෘ වූ විදිසා දේවියත් මිහිඳු මාහිමියන් ගේ දෙගුරුහු වූහ.
මෞර්‍ය්‍ය වංශයෙහි ආදිතමයා වූයේ මගධ දේශාධිපති චන්ද්‍රගුප්ත ය. චන්ද්‍රගුප්ත රජතුමාගේ රාජ්‍යෝදය ලෝක ඉතිහාසයෙහි ශ්‍රෙෂ්ඨ කාලපරිච්ඡේදයකි. එතුමා රාජ්‍යයට පත් වූයේ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය නිපද වූ චාණක්‍ය නම් පෙරෙවි බමුණාගේ උපදෙස් පරිදි ය. චන්ද්‍රගුප්ත ගෙන් පසු සිංහාසනාරූඪ වූයේ එතුමාගේ පුත්‍ර බින්දුසාර රජතුමා ය. එකල රජවරුනට බොහෝ බිසෝ වරුන් වූයෙන් ඔහුට දරුවෝ එක්සිය එක් දෙනෙක් වූහ. අශෝක හා තිස්ස එක මවුකුසින් උපන් සොහොයුරු දෙපළකි. එයිනුදු අශෝකයෝ ප්‍රධානය හ. පියදාස යන අපර නාමයකින් ද හඳුන්වනු ලබන අශෝකයෝ වික්‍රමාතිශය සම්පන්නය හ. මුළු දඹදිව ම හිමිකර ගැනීමේ භාග්‍ය සම්පන්න ව සිටි වීර පුරුෂයෙකි. අශෝක රජ ශූරයෙකු වූ හෙයින් අවන්ති ජනපදයෙහි ප්‍රතිරාජ පදවියට පත් විය. අවන්තිය විශාල ජනපදයකි. උජ්ජේනිය මෙහි අගනුවර විය. උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදී තිබුණි. වේදිස නම් සිත්කලු පුරවරය වූයේ අවන්ති ජනපදයේ යි. අශෝක රජ වේදිස නුවර දේවි නම් රූමත් කුමරිය සරණ පාවා ගත්තේ ය. මේ ගුණවත් පින්බර කුමරිය සමග යුවරජ තුමා වාසනාවන්ත ජීවිතයක් ගත කළේ ය. නොබෝ කළකින් මහා පුණ්‍ය ශක්තියකින් යුත් දූ පුතුන් යුවළක් පහළ වූ හ. මහින්ද හා සංඝමිත්තා යන නාමයෙන් මව්පියන් විසින් ඔවුන් හඳුන්වන ලදී. පියරජු මරණින් පසු පැළලුප් නුවරට පැමිණි අශෝක රජ තිස්ස කුමරු හැර සෙසු සොහොවුරන් එකුන් සිය දෙනා ම මරා රාජ්‍යය ලබා ගත්තේ ය. මේ බිහිසුණු ක්‍රියාව හේතු කොට ගෙන මහජනයා අතරෙහි ප්‍රකට වූයේ පියදාස යන මුල් නාමයෙන් නො වැ අශෝක යන නාමයෙනි.
⭕ කාලිංග යුද්ධය
කලින් නන්ද අධිරාජ්‍යයට ද යටත් ව පැවැති කාලිංගය නන්දයන් ගේ දුර්වල පාලනයෙන් ස්වෛරී වී යැයි සැලකේ. දැනට “ඔරිස්සාව” නමින් හැඳින්වෙන දකුණු ඉන්දියාවේ පිහිටි මෙම කාලිංග දේශය විශාල යුද්ධ හමුදාවක් ඇතිව සතුරු රජකු විසින් පාලනය කරන ලදී. අධිරාජ්‍යයක් පිහිටුවීමේ රාජ්‍ය ලෝභයෙන් මැඩුණු අශෝක රජ තෙමේ කාලිංග දේශය හා යුද වැදුණි. දෘඪ සිතැති ව සිටි අශෝකයන් ගේ ද සිත් කම්පා කර ලීමට තරම් සමත් වූ බලවත් මනුෂ්‍ය ඝාතනයක් එයින් සිදු වුණි. එසේ වුව ද අශෝකයන් නැවතුණේ බිම්බිසාර රජුගේ පටන් දික්විජය පිළිබඳ යුද්ධයන් අවසන් කරමින් කාලිංග දේශය තම අධිරාජ්‍යයට යාබද කොට ගෙන ය. එම යුද්ධය පිළිබඳ ව අශෝකයන් ගේ 13 වැනි ශිලා ලේඛණයේ මෙසේ සඳහන් වෙයි. “එක්ලක්ෂ පනස් දහසක් දෙනා සිරභාරයට ගත්හ. එක් ලක්ෂයක් දෙනා මැරුම් කෑවෝ ය. ඒ ගණන මෙන් කිහිප ගුණයක් තුවාල ලැබූහ” යනුවෙනි. රාජ්‍ය ලෝභයෙන් සිය සොහොවුරන් මැරවීමත් කාලිංග යුද්ධයේදී සිදු කළ දරුණු ක්‍රෑර අමානුෂික ක්‍රියා නිසාත් අශෝකයන් කලක් චණ්ඩාශෝක නමින් ප්‍රසිද්ධ ව විසී ය. ලක්ෂ ගණන් මිනිසුන් මරවමින් ලක්ෂ ගණනකගේ අංගෝපාංග කඩා අනාථයන් බවට පත් කරවමින් ලක්ෂ ගණන් මිනිසුන් සිර ගෙයි ලවා දුක් විඳින්නට සලස්වමින් සිදු කළ මේ දරුණු මනුෂ්‍ය සංහාරයෙන් පසු අශෝක රජ දඹදිව අධිරාජයා ලෙස බුද්ධ වර්ෂ දෙසිය අටලොසෙහි දී සිංහාසනාරූඪ විය.
⭕ ධර්මාශෝක
කාලිංග යුද්ධයේදී සිදු වූ දරුණු මනුෂ්‍ය ඝාතනයෙන් බලවත් කම්පනයට පත් අශෝක රජ අතිශය චිත්ත සන්තාපයකට ගොදුරු වූයෙන් එතෙක් පැවැති චණ්ඩ ගති පැවැතුම් අතහැර දමා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරී ය. මුල දී හින්දු ධර්මය ඇද හූ බලවත් හින්දු භක්තිකයකු වූ අශෝක රජතුමා තමා ගේ වැඩි මහලු සොහොවුරු සුමන කුමාරයාගේ පුත් වූ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ ආකල්පසම්පත්තිය දැක, පැහැදී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ සාහ්‍යයෙන් බුදු දහම වැළඳ ගත්තේ ය. ඉන් පසු චණ්ඩාශෝකයන් ධර්මාශෝක විය. බෞද්ධාගමය වැළඳ ගැනීමෙන් පසු හෙතෙම අමුතු ම පුද්ගලයෙක් විය. දස රජ දහමින් යුතු ව රාජ්‍යය කළ එතුමා සැබෑ බෞද්ධයෙකු සේ උසස් ආගමික ජීවිතයක් ගත කෙළේ ය. දිග් විජයෙන් නැඟුණු ජය කෙහෙළි ධර්ම විජයෝ ජය සංඛනාදය බවට පෙරළා ගත්තේ ය. හිංසාව අහිංසාව බවට පත් විය. යුද බෙරය වෙනුවට දහම් බෙරය ලොව පුරා පතුරුවන්නට හැකි විය. ආත්මාර්ථය පරාර්ථය පිණිස යොදවන්නට හැකි විය. මෘගයාත්‍රා - ධර්මයාත්‍රා හා විහාර යාත්‍රා බවට පත් විය. මෙසේ කාලිංග යුද්ධය හේතු කොට ගෙන ඇති වූ ජයග්‍රහණයෙන් පසුව ජයපානය කළ යුතු වෙනුවට ප්‍රීති උත්සව පවත්වනු වෙනුවට අශෝක චක්‍රවර්තීහු බලවත් චිත්ත පීඩාවට පත් ව යුද්ධය ම්ලේච්ඡ හීන අමානුෂික ක්‍රියාවක් බවට පත් කොට සාමයේ අහිංසා හඬ ලොව පුරා පතුරුවා ලූහ. අශෝක රජතුමා ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු වුවද අන්‍යාගමිකයන් කෙරෙහි ද සාධාරණ වූ සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ ය. අන්‍යාගමික පරිව්‍රාජකයන්ට පවා විහාර - ආශ්‍රම ආදිය සාදා දී ඔවුන්ගේ දන්වැට හා ප්‍රත්‍ය පහසුකම් සැලැස්වී ය.
⭕ ධර්මාශෝක රජු ගේ ධර්මදූත සේවය
රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය “අශෝක ධර්මය” යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නො කළ විරූ අන්දමින් මහජන ශුභසිද්ධිය තකා කටයුතු කල අශෝකයන් “සියළු මිනිස්සු මාගේ දරුවෝ ය රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාට ම සම විය යුතු ය” යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය - මුනි - මොනෙය්‍ය - සාරිපුත්ත - රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබා කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල්ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇති කරගෙන සුහද ව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපද වල දූෂිත පාලනයන් නැති කොට ඒවා ක්‍රමවත් ව සකස් කෙළේ ය. බලිබිලි පිදීම සුරා පානෝත්සව ආදිය හෙලා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සාහ ගති. මෛත්‍රියට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත් කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරී මණ්ඩලයක් යැවී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස “ධර්ම මහාමාත්‍ර” නමින් නිලධාරී පිරිසක් පත් කළේ ය. අධිකරණය මගින් වරද කරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේ ය. පාලනය පිළිබඳ කාර්‍ය්‍යයන් සඳහා ඕනෑම වේලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි. තම රාජ්‍යය තුළ ශිලා ලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජ තෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේ ය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් යැවී ය. ශ්‍රෙෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ චරිතයේ ඇති ශ්‍රෙෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන් ගේ පියා ලෙසත් සලකා ක්‍රියා කළේ ය.
එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියා කළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳ හැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කෙළේ ය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසූ දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනූහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබා ගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන් ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය.
මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව මහ රහතන් වහන්සේ ගේ ආචාර්‍ය්‍යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණ ව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතු ව මහණ වූයේ ය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගේ සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන්ගේ ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේ දී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන්ගේ පැවිදි වීම හේතු කොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන් ගෙන් සසුන කෙලෙසී ඇති බව දැන ගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්තතිස්ස මහ රහත් මාහිමියන්ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංගායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ.
⭕ තෘතීය ධර්ම සංගීතිය
සසුනට හොර රහසේ ඇතුළු වී සිටි සැට දහසක් පමණ තීර්ථක සමූහයා සසුනෙන් බැහැර කොට සසුන පිරිසිදු කෙළේ අශෝක අධිරාජයා ය. අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි දී පැළැලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක අධිරාජයාගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානාත්වයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහත් මාහිමියන් ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා විසින් තෘතීය ධර්ම සංගායනාව නව මාසයකින් කොට නිමවන ලදී. නව රට සසුන් පිහිටුවනු සඳහා ප්‍රබල බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා යැවීමට කටයුතු අරඹන ලදී. කාශ්මීරයට හා ගන්ධාර දෙරටට මජ්ඣන්තික තෙරුන් ද, මහිස මණ්ඩලයට මහාදේව තෙරුන් ද, වනවාසී රටට රක්ඛිත තෙරුන් ද, අපරන්ත දේශයට යෝනක ධම්මරක්ඛිත තෙරුන් ද, මහා රාෂ්ට්‍රයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, යවන ලෝකයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, හිමවත් පෙදෙසට මජ්ඣිම තෙරුන් ද, ස්වර්ණ භූමියට සොණ - උත්තර තෙරවරුණු ද, හෙළදිවට මහා මහින්ද මාහිමියන් ප්‍රධාන ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන තෙරවරුන් සතර නම ද යැවූහ. මිහිඳු හිමියෝ ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපනය පිණිස සුදුසු කාලය උදාවන තුරු වේදිස ගිරිනගරයට වැඩම කොට සිටියහ.
⭕ ලක්බුදු සසුන් පිහිටුවීම
මුටසීව රජු ගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්ස කුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කල සිට ම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධොපාසක ව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙස ද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එව් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහරහතන් වහන්සේත් ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත් පිරිස සමඟ දඹදව වේදිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළ හ. මේ ධර්ම දූත පිරිසගේ ලංකාගමනය සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවන පෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා “පොසොන් සැණකෙළිය” නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙලිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය - සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය. පර්වතයට අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස මුවකුගේ වේසය මවා ගෙණ තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වී ය. කෑම කමින් සිටින සතාට විදී ම සුදුසු නැතැ යි සිතූ රජතුමා මුවාට ඇසෙන්නට දුනු දිය ශබ්ද කෙළේ ය. මුවා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේ ය. මුවා ලුහු බැඳ පසු පස දුවන රජතුමා මිහිඳු හිමියන් දකින විට මුවා අන්තර්ධාන විය. හැම දෙනා ම එක විට රජතුමා දුටුවොත් බිය වෙතැ යි සිතූ මිහිඳු හිමියෝ තමන් වහන්සේ පමණක් රජුට දැක්වූ හ. ඒ සමග ම “තිස්ස, තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙනත් කෙනෙක් නැත්තා හ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියම් හ”යි වදාළ හ. රජු ගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමඟ පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුමා උන්වහන්සේලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. “මා සමඟයැ”යි මිහිඳු හිමියෝ වදාළ හ. “මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ”යි රජතුමා ප්‍රශ්න කෙළේ ය.
“මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී - ඍද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති” යි මිහිඳු හිමියෝ වදාළ හ. නැවැත රජතුමා “ඔබ වහන්සේලා වැඩියේ කෙසේ දැ”යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මාහිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ”යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය.
⭕ නුවණ විමසීම
දෙවන පෑ තිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු හිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ය ආදර්ශ සම්පන්න ය. උන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹ රුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූහ.
“මහරජ, මේ ගසේ නම කුමක්දැ”යි ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජු ගෙන් ප්‍රශ්න කළහ.
රජතුමා - “මෙය අඹ ගසෙකි”යි පිළිතුරු දුන්නේ ය.
මිහිඳු මාහිමි - “මේ හැර තවත් අඹ ගස් තිබේද?
රජතුමා - “එසේ ය, ස්වාමීනි! බොහෝ අඹ ගස් ඇත.”
මිහිඳු මාහිමි - “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?”
රජතුමා - “ස්වාමීනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නො වේ.”
මිහිඳු මාහිමි - “මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?”
රජතුමා - “ඇයි ස්වාමීනි, මේ අඹ ගස?”
මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි”
මිහිඳු මාහිමි - “මහරජ! තොපට නෑයෝ සිටිත් ද?”
රජතුමා - “එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්.”
මිහිඳු මාහිමි - “මහරජ, තොපට නො නෑයෝත් සිටිත් ද?”
රජතුමා - “එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.”
මිහිඳු මාහිමි - “ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත් ද?”
රජතුමා - “ඇයි ස්වාමීනි, මම?”
මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි.”
මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබොධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදොපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමග තිසරණ පන්සිල් හි පිහිටු වීමෙන් බෞද්ධයෙක් විය. එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්ෂුව ගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණියහ. පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට විරුද්ධ නැතැ යි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළ හ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන මඟත් දැක්වූ හ. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාළිගය අසළට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මාහිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ. පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු මාහිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීවිතයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වා ලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විිය. පසුව දෙවන පෑ තිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහ මෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝෂථා ගාරයක් බවට පත් විය. දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන - සිවුවන - පස්වන - සවන - සත්වන දිනයන්හි ආසිවිසෝපම - අනමතග්ගිය - ඛජ්ජනීයකගිගෝමයපිණ්ඩික - ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත් කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව “ජෝතිය වන” නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව 2. ජත්තාඝරපොකුණ 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නමාලි චෛත්‍යය පිහිටි තැන 8. තිස්සරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය - ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහ මෙවුනා උයනෙහි පිහිටුවන ලදී.
⭕ මිහිඳු මිහිමියන් ගෙන් සිදු වූ සමාජ විපර්යාසය
මිහිඳු මාහිමියන් ගෙන් උ