14/04/2022
✝️🌵 ලක්දිව පාස්කු නාට්‍ය 🌵✝️
*****************************
📌 කොරොස්මය හෙවත් චතාරික සමය කිතුනු දේව වන්දනාව තුළ වරප්‍රසාදමය සමය ලෙස සැලකුවහොත් එය නිවැරැදිය. දේවත්වයේ උත්තරීතර බව පසෙකලා මිනිසත් බව ගත් දේවපුත්‍රයාණන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ ශ්‍රී මරණය සහ මහිමාන්විත උත්ථානය සමරන්නට සැදී පැහැදී සිටින දේව ජනතාවක් ලෙස නොයෙකුත් භක්ති අභ්‍යාස කරන්නෙමු. පාදනමස්කාරය ඒ අතුරින් සුවිශේෂී වන්නේය. වත්මන් දේවජනතා වන්දනා අතුරින් ජනප්‍රිය භක්ති අභ්‍යාසයක් ලෙස පාස්කු නාට්‍ය නම් කළ හැකිය.
📌 පෘතුගීසි සමයේ දී මෙරට පළමු කිතුනු නාට්‍ය රඟ දක්වා ඇත්තේ ක්‍රි.ව. 1602 දී කොළඹ අනුනායක දෙව්මැඳුර ආසිරි ගැන්වූ විටදීය. ජේසු නිකායික දියෝගා ද කූඤ්ඤ පියතුමා විසින් එය නිර්මාණය කළ බව සඳහන් වේ. මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණිම රංගනය ලෙස සඳහන් වේ. පසුව ක්‍රි.ව. 1615දී කම්මල දෙව්මැදුරේ මංගල්‍යය දිනයේදී ලෝකය මැවීමද ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීමේ සිදුවීමද රඟ දක්වා ඇත. තවද ක්‍රි.ව. 1617 දී හලාවත කොන්ස්තන්තීනු අගරජුගේ සිත් හැරීමද ක්‍රි.ව. 1627 මාතර දී ශු. ස්නාවක ජුවාම් මුනි චරිතය ඇසුරින් වාසප්පුවද රඟ දක්වා ඇත. ප්‍රැන්සිස්කාන වාර්තාවලට අනුව මෙකල මහා පාද නමස්කාරයක් 16 වන සියවසේදී මෙරට සිදුකර ඇත. දැඩි පශ්චාත්තාපී ක්‍රියා කරමින් යාච්ඤාවෙන් හා භාවනාවෙන් ජේසු සමිදුන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් රැගෙන දුක්ප්‍රාප්ති ගීතිකා හෙවත් පසම් ගී ගයමින් ගමන් කළ බව සඳහන් වේ. පෙර කී ප්‍රතිමාව මෙරටට ගෝවෙන් රැගෙන ආ බවත් එමගින් මෙරට පාස්කු නාට්‍ය ප්‍රථමයෙන් සිදුවූ බවත් පිළිගැනේ.
📌 මෙරට ප්‍රතිමා මගින් පාස්කු රඟ දැක්වීම බෙහෙවින්ම ව්‍යාප්ත වූයේ ඕලන්ද පීඩන යුගයේදීය. ඒ සඳහා ගෝවේ ශාන්ත පාවුළු විදුහල මහඟු පිටිවහලක් විය. මේ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ ශු. ජුසේ වාස් මුනිදුන්ගේ හා අති පූජ්‍ය පඬිවර ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මේ ප්‍රතිමා පාස්කු මෙරට ව්‍යාප්ත විය. ඒ ක්‍රි. ව. 1705 සිටය. ක්‍රි.ව. 1705 දී වන්නියෙන් ආරම්භ වූ පාස්කු නාට්‍ය සඳහා ප්‍රතිමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. එම ප්‍රතිමා අදත් මන්නාරමට නොදුරු පරපාන්කන්ඩල් දේවස්ථානයේද, පේසාලෙයි දේවස්ථානයේද දක්නට ඇත. වන්නියේ හා මහනුවර යන දේවස්ථානවල ශු. සතිය පැවැත්වීමේදී මේ ප්‍රතිමා පාස්කු රංගගත විය. “මහාපාදනමස්කාරය කෘතිය” වනාහි එකල ගෝවේ පැවති පාදනමස්කාරය ඇසුරින් රචනා කරන ලද්දකි. කොළඹ සහ යාපනයේ කතෝලිකයෝ ක‍්‍රිස්තුන් වහන්සේගේ දුක්ප‍්‍රාප්තිය සම්බන්ධව යමක් රචනා කරන ලෙස ගොන්සාල්වෙස් පියතුමාගෙන් ආයාචනා කළහ. එතුමා සිය බුද්ධි මහිමය සහ ඉන්දීය කර්ණාටක සංගීතය මෙහෙයවමින් ගද්‍ය රචනාවක් මෙන්ම පද්‍ය රචනාවක් ද කරවීය. එය ද ශුද්ධවු සතියේ දී විශේෂයෙන් මහ සිකුරාදා දින දි කියවන ලදී. 1730 දී එය බෝලවත්තේ දී දෙමළෙන් සහ සිංහලෙනුත් රංගගත කළහ.
📌 ගොන්සාල්වෙස් පියතුමා පාස්කු නාට්‍ය කලාවට නව අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් මුහුදුබඩ පෙදෙස්වල සේවය කරද්දී ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1728දී ගොන්සාල්වෙස් පියතුමා රචිත දුක්ප්‍රාප්ති ප්‍රසංගය නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත දේශනා නවයේ පසන් පොත පාස්කු නාට්‍ය සමඟ සම්බන්ධ විය. ගොබ් ඉරිදා සිට මහ සිකුරාදා දක්වා ප‍්‍රතිමා උපයෝගී කරගනිමින් මහා පාස්කුදා අප ස්වාමිදරුවන්ගේ දුක්ප‍්‍රාප්තිය, බෝලවත්ත දේවස්ථාන අසල විශාල පාස්කු මණ්ඩපයක් සාදා රඟ දැක්විණි. මේ සඳහා රූකඩ උපයෝගී කර ගනිමින් ගෝවේ දී පැවැත් වූ පාස්කු සංදර්ශනවල ආභාෂය ලබාගෙන ඇත. වේදිකාව මත රූකඩ සංදර්ශනයක් ආකාරයට පාස්කු නාට්‍ය රඟ දක්වමින් එම දුක්ප්‍රාප්ති ප්‍රසංගය තුළ ගීත සජ්ඣායනය කළේය. මෙම සජ්ඣායනා දීර්ඝ නොවීම සඳහා එතුමා දුක්මුසු ස්වරයෙන් ගායනා කරන පසන් හා ලතෝනි ඇතුළත් කළේය.
📌 1705දී වන්නි ප්‍රදේශවල මුලින්ම පාස්කු රඟ දැක්වීමට ගෝවෙන් රැගෙන එන ලද ප්‍රථීමාවල විශේෂත්වය වූයේ මේ ප්‍රථීමා ලීයෙන් නෙළා තිබීමය. නමුත් ඒවායෙහි ලීයෙන් නෙළා තිබුණේ හිස, පාද, දෙඅත් පමණි. ශරීරයේ මැද කොටසට ලීයක් තබා පිදුරු, පුළුන් යොදා ඇදුම් ආයිත්තම්වලින් සරසා තිබිණි. මුල් යුගයේ පැවති පාස්කු දර්ශන නිහඬව රඟ දැක්විණි. ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා මේ නිහැඬියාව බිඳ හැරියේ දුක්ප්‍රාප්ති ප්‍රසංගය හෙවත් දේශනා නවයේ පසම් පොත තුළිනි. එමඟින් මුළු දුක්ප්‍රාප්තිය සතිය හතකට බෙදා දේශනා 09කට සකස් කොට ඉදිරිපත් කළේය. මේ දේශනා උස් හඬින් උච්ඡාරණය කරන විට එදිනට අදාළ ජවනිකාව ප්‍රථීමා මඟින් (රූප විලාසය) වේදිකාවේ රංගගත කෙරිණි. මෙම දේශනා බොහෝ විට උච්ඡාරණය කරන ලද්දේ පුජාප්‍රසාදිතුමකු විසිනි. මෙහිදී ක්‍රිස්තු චරිතය උදෙසා ප්‍රතිමා 09ක් පමණ භාවිතා කළ බව සදහන් වේ. ඒවා නම්
•ජේසුස් වහන්සේ මල් උයනේ යාච්ඤා කරමින් සිටින සුරුවම
•ජේසුස් වහන්සේ සිරගතව සිටින සුරුවම
•ජේසුස් වහන්සේ අඩනිරුවත් කොට ගල්කණුවේ බැඳ දමා ඇති සුරුවම
•ජේසුස් වහන්සේ කටු ඔටුන්න සහිත සුරුවම
•ජේසුස් වහන්සේ පිලාත් අභිමුව සිටින සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසේ කරගසා ගත් සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසිය ඇණ ගසා සිටින සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසිය මත මිය ගිය සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසියෙන් බා මරි මවගේ උකුලේ තබා තිබෙන සුරුවම යනුවෙනි.
📌 මේ පාස්කු රඟදැක්වීම සඳහා තවමත් මේ දේවස්ථානය අනුබද්ධිත පරිවාරික දේවස්ථාන 15ක් ඇත. මෙම මහා පාස්කු රඟදැක්වීම සඳහා අවැසි එක් ප්‍රතිමාවක් හා භාණ්ඩ ශු. සතියේ පරපාන්කන්දල් දේවස්ථානයට රැගෙන එන අතර මහසිකුරාද මෙහෙයෙන් පසු නැවත ඒවා තිබු දේවස්ථානවලටම රැගෙන යයි. මේ නිසා අදත් මෙම සුවිශේෂී සම්ප්‍රදාය ඔවුන් අතර පැවතීම තුළින් ඓතිහාසික කිතුනු උරුමයක සුවිශේෂීයත්ව මැනවින් කියා පායි. පරපාන්කන්දල් දෙවස්ථානයේ ස්ථාපිත දුක් ප්‍රාප්තියේ කිතු සමිඳාණන්ගේ ප්‍රතිමාව ක්‍රි.ව. 1860දී ගෝවෙන් රැගෙන එන ලද්දකි. මෙය නිර්මාණ කර ඇත්තේ ගෝවේ කොස්තා නැමැති මූර්ති ශිල්පියාය. මේ පාස්කු දර්ශනය දක්වා භාවිතා කරන කුරුසිය චන්ඩියාකුලම් ශු. පේදුරු පාවුලු දේවස්ථානයේ ස්ථාපිත ය. එම නිසා ලාංකේය ඉතිහාසය ඉතා සුවිශේෂි ස්ථානයක් වන පරපාන්කන්දල් දේවස්ථානය ලාංකේය කිතුනු උරුමයකි. ගෝවේ ඔරතෝරියාන වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1743 දී අතිපූජ්‍ය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මරණින් පසුව ශු. සතියේදී බෝලවත්තේදී පාස්කු නාට්‍ය රඟ දැක්වූ ආකාරය සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත “දුක් ප්‍රාප්ති ප්‍රසංගය” නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත “දේශනා නවයේ පසන් පොත” පාස්කු නාට්‍ය සමඟ සම්බන්ධ විය. ගෝවේ ඔරතෝරියන් මිෂන් රිපෝට් නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.
📌 “ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමඟින් සැමරූ අතර, ධර්මදූතවරු සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් දෙමළ බසින් ද, අනෙක් ඒවා සිංහල බසින් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස්වලින් ද, දින දෙක තුනක කාලයක් ගෙවා බෝලවත්ත ප්‍රදේශයට පැමිණි ජන සංඛ්‍යාව අතිවිශාල විය. ඔවුහු ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමත්හු දේශීයව සපයා හැකි පොල් අතුවලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, දෙවැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, ඛෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වේ.
📌 මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියලු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක් වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිවිට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදී. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි‚ ආර්යයාවෝ රවිකිඤ්ඤා, වීණා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන් සංගීතයට ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරනු ලැබිණි. කල්යත්ම ලන්දේසි පීඩනය නිම වී බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වූ විට පාස්කු නාට්‍ය කලාව ඉතා ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වන්නට විය. විශේෂයෙන් මුහුදුකරයේ හලාවත, මීගමුව ,පමුණුගම, පිටිපන, දූව ආදී ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වර්ධනය විය.
#අල්තාරයෙන්එහා